Skip to content

පටුනට යන්න

අග්‍ර දේවදූතයා වන මිකායෙල් කවරෙක්ද?

අග්‍ර දේවදූතයා වන මිකායෙල් කවරෙක්ද?

බයිබලයේ දෘෂ්ටිකෝණය

අග්‍ර දේවදූතයා වන මිකායෙල් කවරෙක්ද?

බයිබලයට අනුව ආත්ම විෂයෙහි ජීවත් වන මිලියන ගණනක් දේවදූත මැවිලි සිටිති. (දානියෙල් 7:9, 10; එළිදරව් 5:11) එමෙන්ම ලියවිලිවල මුල පටන් අග දක්වා දෙවිට පක්ෂපාතව සිටින දේවදූතයන් පිළිබඳව යොමු දැක්වීම් සිය ගණනක් දක්නට තිබේ. නමුත්, මෙම ආත්ම මැවිලි අතරින් නම්වලින් හඳුන්වා ඇත්තේ දෙදෙනෙකුව පමණයි. මෙයින් එක් දේවදූතයෙකු නම් ගාබ්‍රියෙල්ය. ඔහු අවුරුදු හයසියයකට වඩා වැඩි කාලයක් පුරා විවිධ පුද්ගලයන් තුන්දෙනෙකුට පෞද්ගලිකවම දෙවිගේ පණිවිඩ රැගෙන ආවේය. (දානියෙල් 9:20-22; ලූක් 1:8-19, 26-28) අනෙක් දේවදූතයා මිකායෙල් වශයෙන් බයිබලයේ නමින් සඳහන් කර තිබේ.

මිකායෙල් අද්විතීය දේවදූතයෙකු බව පැහැදිලිව පෙනී යයි. එසේ පැවසීමට එක් උදාහරණයක් දක්වනවා නම් දානියෙල් පොතේ මිකායෙල්ව හඳුන්වා තිබෙන්නේ යෙහෝවාගේ ජනයා වෙනුවෙන් දුෂ්ට භූතයන් සමඟ සටන් කළ කෙනෙකු ලෙසයි. (දානියෙල් 10:13; 12:1) මෝසෙස්ගේ මිනිය සම්බන්ධ විවාදයේදී මිකායෙල් සාතන් සමඟ පොර බැදි බව දේවානුභාවය ලත් යූද්ගේ ලියවිල්ලේ පවසයි. (යූද් 9) එමෙන්ම මිකායෙල්, සාතන් සහ ඔහුගේ භූතයන් සමඟ යුද්ධ කර ඔවුන්ව ස්වර්ගයෙන් නෙරපනු ලැබුවා කියාද එළිදරව් පොතේ සඳහන් කරයි. (එළිදරව් 12:7-9) වෙන කිසිම දේවදූතයෙකුට දෙවිගේ සතුරන් කෙරෙහි මෙතරම් බලයක් සහ අධිකාරයක් තිබෙනවායයි මෙලෙස විචිත්‍රණය කර නැත. එසේ නම් “ප්‍රධාන” යන අරුත් ඇති “අග්‍ර” යන උපසර්ග පදය යොදාගනිමින් “අග්‍ර දේවදූතයා” ලෙස මිකායෙල්ව හඳුන්වා තිබීම අරුමයක් නොවෙයි.

මිකායෙල්ගේ අනන්‍යතාවය පිළිබඳව ඇති මතභේද

ක්‍රිස්තියානි ලෝකයේ ආගම්වලත් යුදෙව් ආගම් තුළත් ඉස්ලාම් ධර්මයෙත් දේවදූතයන් සම්බන්ධයෙන් තිබෙන අදහස් එකිනෙකට විරුද්ධයි. සමහර පහදා දීම් වියවුල් සහගතයි. උදාහරණයක් පෙන්වනවා නම් එක් බයිබල් විශ්වකෝෂයක (The Anchor Bible Dictionary) පවසන්නේ, “එක උත්කෘෂ්ට දේවදූතයෙක් හෝ අග්‍ර දේවදූතයන් කුඩා කණ්ඩායමක් (හතරක් හෝ හතක්) සිටින බවයි.” තවත් බයිබල් විශ්වකෝෂයකට (The Imperial Bible-Dictionary) අනුව මිකායෙල් යනු “අධිමානුෂික බලයක් ඇති පුද්ගලයෙකුගේ නමකි. මේ පිළිබඳව එකිනෙකට විරුද්ධ අදහස් දෙකක් තිබේ. එකක් නම් ඔහු දේවපුත්‍රයා හෙවත් ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් බවයි. අනෙක අග්‍ර දේවදූතයන් ලෙස හැඳින්වෙන හත්දෙනාගෙන් කෙනෙකු බවයි.”

යුදෙව් සම්ප්‍රදායට අනුව අග්‍ර දේවදූතයන් සත්දෙනා ගාබ්‍රියෙල්, ජෙරමියෙල්, මිකායෙල්, රගුවෙල්, රෆායෙල්, සාරියෙල් සහ යූරියෙල් ලෙස හැඳින්වේ. ඉස්ලාම් ධර්මයට අනුව අග්‍ර දේවදූතයන් හතරදෙනෙකු සිටින බවට විශ්වාස කෙරේ. එම නාමයන් නම් ජිබ්රිල්, මීකාල්, ඉස්‍රායිල් සහ ඉස්රාෆිල්ය. කතෝලිකයන්ද, අග්‍ර දේවදූතයන් සතරදෙනෙකු විශ්වාස කරයි. ඔවුන් නමින් මිකායෙල්, ගාබ්‍රියෙල්, රෆායෙල් සහ යූරියෙල්ය. නමුත් බයිබලය පවසන්නේ කුමක්ද? ඇත්තෙන්ම අග්‍ර දේවදූතයන් කිහිපදෙනෙකු සිටිනවාද?

බයිබලයේ පිළිතුර

මිකායෙල් හැර අන් අග්‍ර දේවදූතයෙකු ගැන බයිබලයේ කිසිදු සඳහනක් කර නැත. එමෙන්ම “අග්‍ර දේවදූතයා” යන යෙදුම බහු වචන ස්වරූපයෙන් ලියවී තිබෙන ආකාරයක්ද දක්නට නොමැත. බයිබලයේ මිකායෙල්ව විස්තර කර තිබෙන්නේ අග්‍ර දේවදූත තනතුර ඔහු පමණක් උසුලන කෙනෙකු ලෙසයි. එමනිසා යෙහෝවා දෙවිගේ ස්වර්ගික මැවිලි වන අනෙකුත් දේවදූතයන් කෙරෙහි අධිකාරය හෙබවීමට එක් කෙනෙකු පමණක් ඔහු විසින් පත් කර ඇතැයි කියා නිගමනය කිරීම සාධාරණයි.

මැවුම්කරු හැර දේවදූතයන් කෙරෙහි බලය පවත්වන එකම විශ්වසනීය තැනැත්තා යේසුස් ක්‍රිස්තුස්ය. (මතෙව් 13:41; 16:27; 24:31) “ස්වාමි වූ යේසුස්” ගැනත් ‘ඔහුගේ පරාක්‍රමයේ දූතයන්’ ගැනත් ප්‍රේරිත පාවුල් විශේෂයෙන් සඳහන් කළේය. (2 තෙසලෝනික 1:6) පේතෘස් නැවත නැඟිටුවනු ලැබූ යේසුස්ව විස්තර කළේ මෙසේයි. ‘ඔහු ස්වර්ගයට ගොස් දෙවිගේ දකුණු පැත්තේ සිටින්නේය. දේවදූතයෝද බලය ලත්තෝද පරාක්‍රමධාරීහුද ඔහුට යටත් කරන ලද්දෝය.’—1 පේතෘස් 3:22.

බයිබලය තුළ ඍජුවම මිකායෙල්ව යේසුස් ලෙස හඳුන්වා නැති නමුදු එක් පදයක අග්‍ර දේවදූතයා ලෙස යේසුස්ගේ නිලතලය හුවා දක්වා තිබේ. තෙසලෝනිකවරුන්ට පාවුල් යැවූ ලිපියෙහි ඔහු පුරෝකථනය කළේ මෙසේයි. ‘ස්වාමීන්ම මහත් ශබ්දයක්ද උත්තම [අග්‍ර] දේවදූතයෙකුගේ හඬද දෙවිගේ හොරණෑ නාදයද ඇතුව ස්වර්ගයෙන් බසින්නේය. ක්‍රිස්තුස් තුළ මළාවූ අය පළමුකොට නැඟිටින්නෝය.’ (1 තෙසලෝනික 4:16) මෙම පදයේ යේසුස්ව හඳුන්වා තිබෙන්නේ බලයට පත් වී සිටින දෙවිගේ මෙසියානු රජ හැටියටයි. එසේ වුවත් ඔහු කතා කරන්නේ ‘අග්‍ර දේවදූතයෙකුගේ කට හඬිනි.’ තවද මළවුන් පවා නැඟිටුවීමට ඔහුට බලය තිබෙන බව සැලකිල්ලට ගන්න.

මනුෂ්‍යයෙකු ලෙස මිහි මත ගත කළ කාලයේ ඔහු නැවත නැඟිටුවීම් කිහිපයක් සිදු කළේය. මෙම නැවත නැඟිටුවීම් කරන විට ඔහු තම කට හඬ නිකුත් කළේ විධානාත්මක ස්වරූපයෙනි. නිදසුන් පෙන්වනවා නම් නායින් නුවර වැන්දඹු ස්ත්‍රියගේ මිය ගිය පුත්‍රයාව යේසුස් නැවත නැඟිටුවන විට ඔහු පැවසුවේ මෙසේයි. ‘යෞවනය, නැඟිටින්න!’ (ලූක් 7:14, 15) ඉන්පසු යේසුස් තම මිත්‍ර ලාසරුස්ව නැඟිටුවන විට ‘ලාසරුස් පිටතට එන්න! කියා මහත් හඬකින් කීවේය.’ (යොහන් 11:43) මෙම අවස්ථාවන්වලදී යේසුස් නිකුත් කළේ සම්පූර්ණ මිනිසෙකුගේ හඬයි.

ඔහුගේම නැවත නැඟිටීමෙන් පසුව යේසුස්ව ස්වර්ගයෙහි ආත්ම මැවිල්ලක් ලෙස ‘උසස් තත්වයකට’ ගෙනෙනු ලැබීය. (පිලිප්පි 2:9) මනුෂ්‍ය ස්වභාවයෙන් ඈත් වූ ඔහුට අග්‍ර දේවදූතයෙකුගේ කට හඬින් ආමන්ත්‍රණය කිරීමට හැකි විය. දෙවිගේ හොරණෑ නාදය ‘ක්‍රිස්තුස් තුළ මළාවූ අයට’ ඇසෙන විට ඔවුන්ව ස්වර්ගයට ඔසවනු ලබන අවස්ථාවේ ‘අග්‍ර දේවදූතයෙකුගේ කට හඬින්’ යේසුස් ‘මහත් හඬක්’ නිකුත් කළේය. ‘අග්‍ර දේවදූතයෙකුගේ කට හඬින්’ කතා කළ හැක්කේ අග්‍ර දේවදූතයෙකුට පමණයි කියා නිගමනය කිරීම සාධාරණයි.

එසේය, අනෙකුත් දේවදූතයන් වන සෙරාප්වරුන් සහ කෙරුබ්වරුන් උසස් ස්ථානවල සිටින බව සැබෑවකි. (උත්පත්ති 3:24; යෙසායා 6:2) නමුත් නැවත නැඟිටුවනු ලැබූ යේසුස් ක්‍රිස්තුස් සියලුම දේවදූතයන්ගේ ප්‍රධානියා එනම් අග්‍ර දේවදූත මිකායෙල් වේ.