Skip to content

පටුනට යන්න

“අපේ ජීවිතයේ සුන්දරම දවස”

“අපේ ජීවිතයේ සුන්දරම දවස”

“අපේ ජීවිතයේ සුන්දරම දවස”

විවාහ දිනය ජීවිතයේ ප්‍රීතිමත් දිනයකි. “අපේ ජීවිතයේ සුන්දරම දවස” විවාහ වූ දවස බව බොහෝ යුවළයන් පවසා තිබේ. නමුත් ඒ දවස ඉතා අභියෝගාත්මක දවසක්ද විය හැකියි. මනමාලයා හා මනමාලිය ඇතුළු පවුලේ සියලුදෙනාටම මංගල කටයුතු සූදානම් කිරීම හා තීරණ ගැනීම ඉතා වෙහෙසකාරි යමක් මෙන්ම මානසික පීඩනයක්ද වෙයි. එපමණක්ද නොව උත්සවයට පැමිණෙන නෑදෑ හිත මිතුරන් බොහෝදෙනෙකුව හමු වී කතා බහ කිරීමද මනාල යුවළට පැවරේ.

විවාහය නව දිවියකට මං පෙත සලසයි. නමුත් නව දිවියට පිවිසීම බලපාන්නේ යුවළට පමණක් නොවෙයි. පවුලක දුවෙක්, පුතෙක්, සහෝදරියක් හෝ සහෝදරයෙක් අලුත් කැදැල්ලක් තනාගෙන වෙන් වී යන කාලය, එම පවුලේ සියලුදෙනාටම නොයෙකුත් හැඟීම් ඉස්මතු වන කාලයක් වේ.

විවාහ චාරිත්‍ර රටින් රටට වෙනස් නිසා මේ සියලුම චාරිත්‍ර සාකච්ඡා කිරීම උගහටයි. මෙම ලිපියේ මූලිකව ගෙනහැර දක්වන්නේ යුරෝපය සහ ඒ හා සමාන චාරිත්‍ර අනුගමනය කරන රටවල් සම්බන්ධවයි. මෙම රටවල ,විවාහය අධික වියදම් දැරිය යුතු උත්සවයකි. මංගල උත්සවය සඳහා ශාලාවක් හෝ අවන්හලක් කුලියට ගැනීම, කෑම පිටින් ගෙන්වාගැනීම වැනි කටයුතු සඳහා සමහර අය මුදල් සම්භාරයක් වැය කරති. ඉතාලියේ සාමාන්‍ය මංගල උත්සවයක් සඳහා අමෙරිකානු ඩොලර් 10,000කට වඩා වියදම් වන බව ගණන් බලා තිබේ. ජපානයේ ඊටත් වඩා වියදම වැඩි විය හැකියි. සාමාන්‍යයෙන් මෙම වියදම් දරන්නේ මනමාලයා හෝ මනමාලිය විසින් නොව ඔවුන්ගේ දෙමව්පියන් විසිනි.

මංගල උත්සව සැලසුම් කරන බොහෝ ආයතන එය කිසිම අඩුවකින් තොර “අති විශිෂ්ට” මංගල දිනයක් කළ හැකි බව ප්‍රචාරය කරයි. මෙයින් පෙනී යන්නේ මෙම ආයතන, මංගල උත්සව ව්‍යාපාරයක් කරගෙන තිබෙන බවයි. “මෙය ඔබේ ජීවිතයේ සුන්දරම දවස” බැවින් මේ සඳහා උපරිමය කරන්න කියා ව්‍යාපාරිකයෝ උනන්දු කරති. ඔබේ සුන්දරම දවස “කිසිදා අමතක නොවන එකක්” බවට පත් කරගැනීම සඳහා ඔවුන් “අත්‍යවශ්‍යයි” කියා පවසන බොහෝ සේවාවන් හා නිපැයුම් ඉදිරිපත් කළ හැකියි. ඒ අතර ඔබේ ඇරයුම්පත, ඔබ “සිහින මැවූ” ඔබේ මංගල ඇඳුම, මනමාලිගේ යෙහෙළියන්ගේ සහ මනමාලයාගේ යහළුවන්ගේ ඇඳුම් කට්ටලද තිබිය හැකියි. ඒ විතරක් නොවෙයි මල්, සුඛෝපභෝගී වාහනයක්, ඉතා ප්‍රණීත ආහාරවලින් පිරුණු අවන්හලක්, ඡායාරූප ශිල්පීන්, සංගීත කණ්ඩායමක් සහ වෙනත් මෙකී නොකී සෑම දෙයක්ම මීට ඇතුළත් වේ. අසිරිමත් මංගල උත්සවයක් පතන මනාල යුවළ බොහෝ දෑ ප්‍රිය කළත් ඒ සෑම දෙයකම වියදම දැරීම පියවරුන්ට කම්පනයක් ඇති කරන්නක් විය හැකියි.

බොහෝ සමාජවල සම්ප්‍රදායන්වලට ප්‍රධාන තැනක් හිමි වී තිබේ. සිරිත් විරිත් පිළිපැදීමේදී නිශ්චිත ක්‍රම තිබෙන අතර ඒවා ඒ විදිහටම කිරීම යුවළගෙන් අපේක්ෂා කරනු ලැබේ. විවාහයකට සූදානම් වීමේදී බොහෝ දේ මතක තබාගත යුතු වුවත් ඒවා සැලසුම් කිරීම සඳහා තිබෙන කාලය සීමිතයි.

මෙය සිත කුල්මත් කරවන අවස්ථාවක්ද නැත්නම් සිත කලකිරෙන අවස්ථාවක්ද? ඔබේ පිළිතුර කුමක් වුවත් මංගල දිනය සැලසුම් කිරීමේදී ප්‍රශ්න රාශියක් සලකා බැලිය යුතුයි. මේ කාලයේදී විවාහ වීමෙන් අදහස් වන්නේ කුමක්ද? මංගල දිනය “සාර්ථක” කරගැනීම සඳහා ඉහත සාකච්ඡා කළ සියලුම අංගයන් අඩංගු විය යුතුද? මුහුණ පෑමට සිදු වන විවිධ ප්‍රායෝගික හා චිත්තවේගීය ගැටලුවලින් මිදෙන්නේ කොහොමද?

මේ සියලුම මානසික පීඩන යටතේ බොහෝ අය තම මංගල දිනය සාර්ථක හා ප්‍රීතිමත් උත්සවයක් කරගැනීමට සමත් වී ඇත. විවාහය සඳහා සූදානම් වන අයට මේ අයගේ අද්දැකීම් ප්‍රයෝජනවත් විය හැකියි. ඒ වගේම සියලුදෙනාට ප්‍රීතිමත්, සුන්දර හා ගොඩනංවනසුලු අවස්ථාවක් වන ආකාරයට මංගල උත්සවය සැලසුම් කිරීමේදී ප්‍රයෝජනවත් වන බයිබල් ප්‍රතිපත්තිද තිබේ.