Skip to content

පටුනට යන්න

ගුප්ත දේවල් යන්තමින්වත් සොයා බැලීම හානිකරද?

ගුප්ත දේවල් යන්තමින්වත් සොයා බැලීම හානිකරද?

යෞවන අය අසති . . .

ගුප්ත දේවල් යන්තමින්වත් සොයා බැලීම හානිකරද?

ඇත්තටම යෞවන අය ගුප්ත ක්‍රියාවලට කැමැත්තක් දක්වනවාද? මේ බව සොයා බැලීමට පර්යේෂකයන් කණ්ඩායමක් ද්විතීය සහ වෘත්තීය පාසැල් 115ක ශිෂ්‍යයන් යොදාගෙන සමීක්ෂණයක් කළා. මෙම සමීක්ෂණයට අනුව ගුප්ත දේවල් කෙරෙහි තමන් ඇල්මක් දක්වන බව හරි අඩකට වඩා (සියයට 54ක්) කියා සිටි අතර හතරෙන් එකක් (සියයට 26ක්) කියා සිටියේ ඒ දේවල් සඳහා තමන් “දැඩි ආශාවක්” දක්වන බවයි.

ඇලස්කා ඇන්කොරේජ් සරසවියේ පර්යේෂකයන් මෙසේ අදහස් දක්වනවා. “මෑත වර්ෂවලදී සාතන් වන්දනාවට සම්බන්ධ කල්ලිවල අංග ඇතුළත් ප්‍රවෘත්ති, පුවත්පත් සහ සඟරා ආදිය පළවීමෙහි ශීඝ්‍ර වර්ධනයක් තිබෙනවා.” නමුත් ප්‍රවීණයන් පවසන්නේ, යෞවනයන් අතර සාතන් වන්දනාව ප්‍රචලිත වී තිබෙනවාද කියා කීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි. එසේ වුවත් යෞවනයන් තුළ සාතන් වන්දනාවේ අංගයන් සහ ගුප්ත දේවල් කෙරෙහි ඇල්මක් නොමැති බවක් මින් අදහස් නොකරයි.

‘ගුප්ත දේවල් විනෝදයට කරන ඒකේ ඇති වරද මොකක්ද?’ මෙයට පිළිතුරු දීමට පෙර යෞවනයන් මෙම අංශයට පිවිසෙන ක්‍රම මොනවාද කියා සොයා බලමු.

ගුප්ත දේවල් පිටුපස ඇති බොරු වළ

එක් පුවත් වැකියක (U.S. News & World Report) මෙසේ ප්‍රකාශ කළා. “අදදින සිටින දරුවන්ට සහ යෞවනයන්ට ඒ විෂය ගැන විචිත්‍රවත් ලෙස කර ඇති වර්ණනාවන් සහ ඒ පිළිබඳව පළ වී ඇති තොරතුරු ලබාගැනීමට ඕනෑතරම් හැකියාව තිබෙනවා. අවුරුදු 20කට පෙර නම් මේ වගේ දේවල් ගැන හීනෙන්වත් හිතුවේ නැහැ.” ගුප්ත දේවල් පිළිබඳව ඇති පොත් පත් බැලීමට, සඟරා කියවීමට, වීඩියෝ පටි හෝ අන්තර් ජාලය ඔස්සේ භූතමය දේ අඩංගු යම් වෙබ් අඩවි නැරඹීමට යෞවනයන් පෙලඹෙන්නේ ඔවුන් තුළ ඇති කුතුහලය නිසයි.

බීබීසී ප්‍රවෘත්ති ප්‍රකාශයක පැවසුවේ, ජනප්‍රිය රූපවාහිනි වැඩසටහන්වල හොල්මන්, මායා, අවතාර, ඩ්‍රැකියුලා වැනි අංග පෙන්වීම “දරුවන් අතර මායා කර්මය ගැන උනන්දුවක් ඇති කිරීමට ඉවහල් වී තිබෙන” බවයි. හෙවි මෙට්ල් සංගීතයෙහි තිබෙන සැහැසිකකම හෝ භූතමය අදහස් ඇති තේමාවන්ද මේ සඳහා හේතුවක් වෙන්න පුළුවන්. තීරු ලේඛක ටොම් හාපර් ටොරොන්ටෝහි (The Sunday Star) පුවත්පතට මෙසේ තම අදහස් පළ කළා. “සංගීතයේ සිදු වෙන විපර්යාසය ගැන නම් ඇස් කන් වහගෙන ඉන්න බැහැ. ඒක අන්තිම පහත් අඩියට වැටිලා. සිංදුව පුරාම දිවෙන්නේ වියරුව, ආවේශය, භූතමය දේවල්, ලේ වැගිර වීම්, ශාප කිරීම්, සියලු ආකාර සැහැසියාවන්ට අත පෙවීම්, දූෂණය කිරීම්, ශරීරය කපා කොටාගැනීම් සහ දිවි නසාගැනීම් හා සම්බන්ධ දේවල්. එමෙන්ම ඒවායේ ඇත්තේ මරණය සහ විනාශය, මරණය ගැන අනාවැකි කීම, යහපත ප්‍රතික්ෂේප කර නින්දිත දේවල් මහත් ආශාවෙන් පිළිගැනීම වැනි තේමාවන්.”

එවැනි පහත් සංගීතයට සවන් දීම අහිතකර හැසිරීමකට මඟ පාදනවාද? එසේ වන බවට අඩුම වශයෙන් එක් සාක්ෂියක්වත් තිබෙනවා. එය නම් එක්සත් ජනපදයේ දහහතර හැවිරිදි යෞවනයෙක් ඔහුගේ මවට පිහියෙන් ඇන මරා තමාගේ ජීවිතයද නැති කරගැනීමයි. ඔහුගේ කාමරය පුරාම හෙවි මෙට්ල් සංගීතකාරයන්ගේ පිංතූර තිබුණා. මෙම සිද්ධියෙන් පසු ඔහුගේ පියා මෙසේ ඇයැදුවා. “තමන්ගේ දරුවෝ මොන වාගේ සංගීතයටද ඇහුම්කන් දෙන්නේ කියලා හොයලා බලන්න කියලා දෙමාපියන්ට කියන්න.” ඔහු කියා සිටියේ තම පුතා ඔහුගේ මවව මැරීමට පෙර සතියේ “ලේ සහ ඔබේ අම්මව මරන්න” යන රොක් ගීතය ගයමින් සිටි බවයි.

චරිත මවන ක්‍රීඩා ගැන කුමක් කිව හැකිද? එහිදී, එම ක්‍රීඩාවන්ට සහභාගී වන අයව මායාකාරයන් සහ වෙනත් අද්භූත චරිත තිබෙන ගුප්ත පුද්ගලයන් බවට පත් කරනවා. මෙම ක්‍රීඩාවලදීත් පිළිබිඹු වන්නේ සාතන් වන්දනාවට අයත් සැහැසික ක්‍රියායි. a

මීඩියාස්කොප් පර්යේෂණායතනය වාර්තා කරන්නේ මෙසේයි. “හෙවි මෙට්ල් සංගීතයට රුචියක් දක්වන අය සමාජයෙන් වෙන් වෙලා සිටින ආකාරයක්, මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, මානසික ලෙඩ රෝග වැළඳීම, දිවි නසාගැනීම . . . එසේ නැතහොත් තරුණ කාලයේදී අනතුරුදායක ක්‍රියාවල නිරත වන ආකාරයක් පෙනෙන්න තිබෙනවා. නමුත් මෙයාකාර හැසිරීමකට හේතුව සංගීතයම නොවෙයි. හෙවි මෙට්ල් සංගීතයේ පදවැල්වලින් ඔවුන්ගේම වේදනාකාරි හැඟීම් හුවා දක්වන නිසා, සමහරවිට එම ගැටලු සමඟ පොරබදින නහඹරයන් ඊට ඇලුම්කමක් දක්වනවා ඇතැයි කියා උපකල්පනය කළ හැකියි.”

සාතන් වන්දනාව හා සම්බන්ධ සංගීතය අනතුරුදායක බවට පර්යේෂකයන් මුළුමනින්ම එකඟ නොවන්න පුළුවන්. නමුත් සැහැසියාව හෝ ජීවිත හානි කරගැනීම පිළිබඳව පවසන සංගීතය, වීඩියෝ පටි හෝ ක්‍රීඩා යහපත් දේවල් වෙන්න පුළුවන්ද? ඒවා මනසට වස විස නොවේද? රුචි අරුචිකම් කෙසේ වුවත් ක්‍රිස්තියානියෙකු විනෝදයට හෝ ගුප්ත දේවල් කිරීම මහත් විනාශයකට පාර කැපීමක් විය හැකියි.

ගුප්ත දේවල් පිළිබඳ දේවදෘෂ්ටිය

පළවෙනි කොරින්ති 10:20හි [NW] ප්‍රේරිත පාවුල් ක්‍රිස්තියානීන්ට අනතුරු ඇඟවීමක් කරයි. “නුඹලා භූතයන් සමඟ සහභාගිව සිටිනවාට නොකැමැත්තෙමි.” මෙහිදී, භූතයන් කියන්නේ කවුද කියාත් ඔවුන් සමඟ සම්බන්ධකම් පැවැත්වීම ඒතරම්ම අනතුරුදායක ඇයි කියාත් සොයා බැලිය යුතුයි. භූතයන් කියන්නේ කලින් දේවදූතයන් ලෙස සිට පසුව සාතන් නමැති යක්ෂයාව අනුගමනය කිරීමට පටන්ගත් අයයි. සාතන් යන වදනේ තේරුම “විරුද්ධකාරයා” සහ යක්ෂයා යන වදනේ තේරුම “අපහාසකරන්නා” යන්නයි. බයිබලයට අනුව කලින් දේවදූත පුත්‍රයෙකු වූ ඔහු තමා විසින්ම දෙවිට විරුද්ධකම් කිරීමට සහ අපහාස කිරීමට තෝරාගත්තා. කාලය ගතවීමත් සමඟ ඔහු අනිත් දේවදූතයන්වද ඔහුත් සමඟ කැරලි ගැසීමට පොලඹවා ගත්තා. පසුව මෙම දේවදූතයන් භූතයන් බවට පත් වුණා.—උත්පත්ති 3:1-15; 6:1-4; යූද් 6.

යේසුස් සාතන්ව හැඳින්වූයේ “මේ ලෝකයේ අධිපතියා” ලෙසයි. (යොහන් 12:31) සාතන් සහ ඔහුගේ භූතයන්ගේ විනාශය අත ළඟ නිසා ඔවුන් සිටින්නේ “මහත් උදහසින්.” (එළිදරව් 12:9-12) මේ නිසා භූතයන් සමඟ සම්බන්ධකම් පවත්වන අය ඔවුන්ගේ කුරිරු බලපෑම්වලට හසුවීම පුදුමයක් නොවෙයි. සුරිනාම්හි භූතමය ක්‍රියාකාරකම්වල නිරත වූ පවුලක හැදුණ වැඩුණ කාන්තාවක් “භූතමය දේවලට අකමැති අයට භූතයන් වද දෙන ආකාරය” ඇස්පනාපිටම දැක්කා. b මෙසේ මෙම කුරිරු ආත්ම මැවිලි සමඟ සම්බන්ධකම් පැවැත්වීම හැම අතින්ම භයානකයි.

දෙවි තම සෙනඟ වූ පුරාණ ඉශ්‍රායෙල්වරුන්ට සියලු භූත ක්‍රියාවලින් වැළකෙන්න කියා ආඥා කළේ ඒ නිසයි. ‘මේ දේවල් කරන කවරෙක් නමුත් යෙහෝවාට පිළිකුලක්ය’ කියා ද්විතීය කථාව 18:10-12හි පවසනවා. ඒ වගේම ‘භූතවාදයේ’ නියැලෙන්නන්ව දෙවි විනාශ කරන බවටත් ක්‍රිස්තියානීන්ට අනතුරු අඟවයි. (එළිදරව් 21:8) විනෝදයට හෝ භූත දේවල නිරත වීම දෙවි විසින් හෙළා දැක තිබෙනවා. බයිබලයේ ආඥා කරන්නේ “අපවිත්‍ර දෙයකට අත නොගසා සිටින්න” කියායි.—2 කොරින්ති 6:17.

භූත දේවලින් නිදහස් වෙන්න

ඔබ භූතමය දේවල නිරත වීමේ වරදෙහි නිරත වෙමින් සිටිනවාද? එසේනම්, පළමු ශතවර්ෂයේ එපීස නගරයට සිදු වුණ දේ සලකා බලන්න. එහි සිටි බොහෝදෙනෙකු ‘යන්ත්‍ර මන්ත්‍ර ක්‍රියාවල’ නිරත වුණත් සමහරෙකු පාවුල් ශුද්ධාත්මයෙන් කළ නොයෙකුත් බලවත් ක්‍රියා ගැන පුදුම වුණා. ප්‍රතිඵලයක් වශයෙන් ‘යන්ත්‍ර මන්ත්‍ර ක්‍රියාවල නිරත වූ බොහෝදෙනෙක් විසින් තම පොත් පත් ගෙනැවිත් සියල්ලන් ඉදිරියෙහි පුළුස්සා දමනු ලැබුවා. එම පොත් පත්වල වටිනාකම රිදී මිල පනස් දහසක්. මෙසේ, බලගතු ලෙස ස්වාමීන්ගේ වචනය වර්ධනය වී, බලවත් වුණේය.’—ක්‍රියා 19:11-20.

මෙයින් අපට කියාපාන්නේ කුමක්ද? එනම් යම් කෙනෙකුට භූත බලපෑම්වලින් නිදහස් වීමට අවශ්‍ය නම් ඔහු හෝ ඇය සාතන් වන්දනාවට අයිති සෑම දෙයක්ම විනාශ කළ යුතු බවයි. මෙයට පොත් පත්, සඟරා, පෝස්ටර්, විකට පොත් පත්, වීඩියෝ පටි, ආරක්ෂාවට බඳින ආයිත්තම් සහ අන්තර් ජාලය ඔස්සේ ලබාගත් භූතමය දේවල් යන සියල්ලක්ම අයිතියි. (ද්විතීය කථාව 7:25, 26) නිමිති බැලීම සඳහා යොදාගන්න පළිඟු බෝල හෝ වීඡා බෝඩ් (Ouija boards) වැනි දේවල්ද, සාතන් වන්දනාවට සම්බන්ධ සංගීතය අඩංගු කැසට් පටි සහ වීඩියෝ පටිද විනාශ කරන්න.

මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා ධෛර්යය සහ අධිෂ්ඨානය තිබීම අවශ්‍යයි. නමුත් ඉන් ලැබෙන ප්‍රයෝජන බොහෝමයි. ජීන් c නමැති ක්‍රිස්තියානි ස්ත්‍රියක් හානිකර නොවන බව පෙනෙන්ට තිබූ පරිගණක ක්‍රීඩාවක් මිල දී ගත්තා. එම ක්‍රීඩාවේ නිරත වන විට එහි භූතවාදයේ යම් අංගයන් මුසු වී තිබෙන බව ඇයට තේරුම් ගියා. ඉන් වැඩි කල් යන්න පෙර ඇය රාත්‍රියේදී බිහිසුණු සිහින දකින්න පටන්ගත්තා. ජීන් ඇය ගත් පියවර ගැන මෙසේ පවසනවා. “මම රෑ ජාමෙම නැඟිටලා එම ක්‍රීඩාව තිබූ තැටිය විනාශ කළා. ඊට පස්සේ මට කිසි ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ.”

ඒ දේවලින් නිදහස් වීම සඳහා ඔබට අවංක අදිටනක් තිබේ නම් ඔබ ජයගන්න බව නිසැකයි. තමන්ට නමස්කාරය ලබාගැනීම සඳහා සාතන් යේසුස්ව පෙලඹවීමට වෑයම් කළ අවස්ථාවේදී යේසුස්ට තිබූ අදිටන ගැන මොහොතකට සිහි කරන්න. ‘එවිට යේසුස්, සාතන් අහක්ව යව. මක්නිසාද නුඹේ දෙවි වූ යෙහෝවාට පමණක් සේවය කරන්න කියා ලියා තිබේයයි ඔහුට කීවේය. එවිට යක්ෂයා ඔහුව අත්හැර ගියේය.’—මතෙව් 4:8-11.

භූතයන් සමඟ තනිව සටන් කරන්න එපා

“ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ට විරුද්ධව” ක්‍රිස්තියානීන්ට පොරබැදීමක් තිබෙනවා කියා ප්‍රේරිත පාවුල් අපට මතක් කරනවා. (එපීස 6:12) නමුත් සාතන් සහ ඔහුගේ භූතයන් සමඟ තනිව සටන් කරන්න එපා. ඔබගේ දේවභයැති මාපියන්ගෙන් සහ ඔබේ ප්‍රදේශයේ තිබෙන ක්‍රිස්තියානි සභාවේ වැඩිමහල්ලන්ගෙන් ඒ සඳහා උපකාරය පතන්න. ඔබ මෙවැනි ක්‍රියාවල නියැලුණා කියා ප්‍රකාශ කිරීම ඔබව අපහසුතාවයට පත් කරවන්න පුළුවන්. නමුත් ඔබ එය හෙළි කළොත් පමණයි උපකාරය ලබාගත හැකි වන්නේ.—යාකොබ් 5:14, 15.

“යක්ෂයාට විරුද්ධව සිටින්න, එවිට ඔහු නුඹලා වෙතින් පලායනවා ඇත. [දෙවිට] ළං වෙන්න, එවිට [ඔහු] නුඹලාට ළං වන්නේය” යනුවෙන් බයිබලයේ පවසන දෙයද අමතක කරන්න එපා. (යාකොබ් 4:7, 8) ඒ වගේම ඔබට යෙහෝවා දෙවිගේ නිබඳ උපකාරයද ලැබෙනවා. ඔබ නිරත වී සිටින සෑම භූත ක්‍රියාකාරකමකින්ම නිදහස් වීමට ඔහු ඔබට උපකාර කරන බව නිසැකයි.

[පාදසටහන්වල]

a වර්ෂ 1999 සැප්තැම්බර් 8 පිබිදෙව්! කලාපයේ “යෞවන අය අසති. . . . චරිත මවන ක්‍රීඩාවල අනතුරක් තිබේද?” යන ලිපිය බලන්න.

b අපගේ සහකාර සඟරාව වන මුරටැඹ [සිංහලෙන් නැත] සඟරාවේ 1987 දෙසැම්බර් 1වෙනිදා කලාපයෙහි පළ වූ “භූත විද්‍යාවේ වියගසෙන් මිදීම” නමැති ලිපිය බලන්න.

c සැබෑ නම නොවෙයි.

[26වන පිටුවේ පින්තූරය]

සාතන් වන්දනාවට සම්බන්ධ සෑම දෙයක්ම විනාශ කරන්න

[26වන පිටුවේ පින්තූරය]

භූතවාදය කෙරෙහි උනන්දුවක් ඇති කරවන වෙබ් අඩවිවලින් පරෙස්සම් වන්න