Skip to content

පටුනට යන්න

ජාත්‍යන්තර කර්මාන්තයක් වූ සංචාරක ව්‍යාපාරය

ජාත්‍යන්තර කර්මාන්තයක් වූ සංචාරක ව්‍යාපාරය

ජාත්‍යන්තර කර්මාන්තයක් වූ සංචාරක ව්‍යාපාරය

බහමාස්වල පිබිදෙව්! ලේඛක විසිනි

‘නිවාඩුවක් ගන්න ඕන’ කියලා ඔබ අන්තිම වතාවට කිව්වේ කවදාද? එදා දෛනික කටයුතුවලින් විඩාවට පත්ව සිටි අවස්ථාවේදී මොහොතකට හෝ ඉන් මිදෙන්න ඇත්නම් කියා සමහරවිට ඔබට හැඟෙන්න ඇති. නිවාඩු සුව ලබන්න ඔබ කවදා හෝ දුර බැහැරකට ගිහින් තිබෙනවාද? මේ ගැන හිතලා බලන්න. මීට සියවසකට පමණ පෙර, මිනිසුන්ගෙන් වැඩිදෙනෙක් නිතර නිතර නිවාඩු ගත්තේ නැහැ. ඇරත්, ඔවුන්ගෙන් වැඩිදෙනෙක් තම මුළු ජීවිත කාලයම ගත කළේ තමාගේ උපන් ගමෙන් කිලෝ මීටර් දෙතුන් සීයක සීමාව ඇතුළතයි. වින්දනයක් හෝ අධ්‍යාපනයක් ලැබීමේ අරමුණින් ගව් ගණනක් ඈතට සංචාරය කිරීම, ත්‍රාසජනක අද්දැකීමක් ලැබීමට කැමති අතළොස්සකට හෝ ධනවතුන්ට පමණක් සීමා වූ වරප්‍රසාදයක් වී තිබුණා. නමුත් දැන් සියදහස් ගණනකට තමාගේම රටේ හෝ ලෝකෙ වටේ සංචාරය කරන්න හැකියාව තිබෙනවා. මේ වෙනසට හේතුව මොකක්ද?

කාර්මික විප්ලවයෙන් පස්සේ මිලියන සංඛ්‍යාත ජනකායක් භාණ්ඩ නිෂ්පාදනයට හා සේවාවන් සැපයීමට පටන්ගත්තා. ප්‍රතිඵලයක් වශයෙන් වැඩි ආදායමක් ඉපැයීමට හැකි වූ අතර වැය කළ හැකි මුදල් ප්‍රමාණයද වැඩි වුණා. තාක්ෂණයේ හදිසි දියුණුව හේතුවෙන් යන්ත්‍රෝපකරණ නිපදෙවූ අතර අධික ශ්‍රම ශක්තියක් යෙදවිය යුතු වැඩවලින් වැඩි කොටසක් එමගින් ඉටු කෙරුණා. මෙය හුඟදෙනෙකුට විවේකීව වැඩි කාලයක් ගත කිරීමට මං සැලසුවා. මේ හේතු සාධක ඇතුළුව 1900 ගණන්වල මැදභාගයේදී ගමනාගමන පහසුකම්ද පුළුල් වීම නිසා සංචාරක ව්‍යාපාරයේ ඉදිරි ගමනට මාවත එළිපෙහෙළි වුණා. අනතුරුව, අලුතෙන් බිහි වූ සුපිරි සන්නිවේදන මාධ්‍යයන් සංචාරය සඳහා ආශාවන් උද්දීපනය කළේ නිවෙස් තුළ සිටියදීම ලොව පුරා ඇති ස්ථානවල තිබෙන මනබඳින දර්ශන දැකබලා ගන්න සැලැස්වීමෙනුයි.

එහි ප්‍රතිඵලය වුණේ සංචාරක ව්‍යාපාරය ශීඝ්‍රයෙන් දසත පැතිර යෑමයි. වර්ෂ 1997දී මිලියන 613ක් වූ ජාත්‍යන්තර සංචාරකයන්ගේ සංඛ්‍යාව 2020 වන විට බිලියන 1.6 දක්වා වැඩි වේවි කියා ජගත් සංචාරක සංවිධානය (WTO) ගණන් බලා තිබෙනවා. ඒ වන විට එම සංඛ්‍යාව අඩු වන බවක් නම් නොපෙනෙයි. මෙම ඉල්ලුමට සරිලන සේ සංචාරකයන් සඳහා සේවාවන් සපයන ව්‍යාපාරයන්, තානායම් සහ රටවල සංඛ්‍යාව වැඩි වී තිබෙනවා.

බොහෝ රටවල් සංචාරක ව්‍යාපාරයට පා තබයි

ඇත්තෙන්ම, සංචාරක ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වන්නේ සේවා දායකයන් මෙන්ම සේවා ලාභීන් යන දෙගොල්ලන්ටම ප්‍රයෝජන ලබා දීමයි. සේවා ලාභියා තමාගේ සුපුරුදු ජීවන රටාවෙන් මිදී, සුව පහසුවක්, වින්දනයක් හෝ අධ්‍යාපනයක් ලබනවා. නමුත් සේවා දායකයන්ට ලැබෙන ප්‍රයෝජන මොනවාද? ජාත්‍යන්තර සංචාරක ව්‍යාපාරය විදේශීය මුදල් ඉපැයීමට කදිම මාර්ගයක්. බොහෝ රටවලට විදේශ රටවලින් ගෙන්වාගන්න භාණ්ඩ හා සේවාවන් සඳහා ගෙවීම් කිරීමට සිදු වන්නේ විදේශීය මුදලිනුයි.

ඇත්තවශයෙන්ම, “ලොව පුරා විදේශ විනිමය වැඩියෙන්ම උපදවන්නේ ජාත්‍යන්තර සංචාරක ව්‍යාපාරයෙනි. බොහෝ රටවල ගෙවීම් තුලනය කිරීමටද මෙය වැදගත් සාධකයක් වෙනවා. ඛණිජ තෙල් නිෂ්පාදන, මෝටර් රථ, විදුලි සන්දේශ උපකරණ, රෙදි පිළි නැතහොත් වෙනත් ඕනෑම නිෂ්පාදනයක් හෝ සේවාවක් අපනයනය කිරීමෙන් ලැබුණ මුදලට වඩා ජාත්‍යන්තර සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණ විදේශ මුදල දෙගුණ තෙගුණ වෙමින් 1996දී ඩොලර් බිලියන 423 දක්වා ඉහළ නැග්ගා” කියා WTO වාර්තාවක් පැවසුවා. එම වාර්තාවම මෙසේද පැවසුවා. “සංචාරක ව්‍යාපාරය තමයි ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන විශාලතම ව්‍යාපාරය. ලෝකයේ දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 10ක්” එමගින් ලැබී තිබෙනවා. කලින් සෝවියට් සංගමයට අයත්ව තිබුණ රටවල් කීපයක්ද ඇතුළු රටවල් වැඩි ප්‍රමාණයක් ජාත්‍යන්තර සංචාරක ව්‍යාපාරයට ඇතුල් වී තිබීම හෝ ඇතුල් වීමට ඉක්මන් වීම පුදුමයක් නොවෙයි.

සංචාරක ව්‍යාපාරය මගින් රජය උපයන ආදායම පොදුජන සේවාවන් ප්‍රවර්ධනය කිරීමට, අධ්‍යාපනය නඟා සිටුවීමට හා වෙනත් දේශීය අවශ්‍යතා සපුරාලීමට යොදාගැනෙයි. ඇත්තෙන්ම හැම රජයක්ම උනන්දු වන්නේ තම පුරවැසියන්ට රැකියා ලබා දීමටයි. සංචාරක ව්‍යාපාරයෙන් බිහි වන රැකියා එම අවශ්‍යතාව පිරිමැසීමට අත්වැලකි.

සංචාරක ව්‍යාපාරය රටේ ආර්ථිකයට බලපාන අයුරු නිදසුනක් වශයෙන් දැක්වීමට බහමාස්හි උදාහරණය සලකා බලන්න. ඉතා කුඩා බහමාස් දූපත් පිහිටා තිබෙන්නේ එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාව හා කියුබා දූපත අතර දිවෙන මෙක්සිකෝ බොක්කේ ද්වාරයෙයි. බහමාස්හි කෘෂිකර්මාන්තය වෙළඳ ව්‍යාපාරයක් හැටියට මහා පරිමාණයෙන් සිදු නොකෙරෙන අතර නොයෙකුත් කර්මාන්ත කරගෙන යෑමට ප්‍රමාණවත් අමුද්‍රව්‍යත් එහි නැහැ. නමුත් උණුසුම් කාලගුණයකින් හෙබි මෙම දූපත්වල නැවුම් පහසක් ගෙන දෙන මුහුදු තීරයන් තිබෙන අතර එහි සිටින මිලියන කාලක් පමණ වූ සුළු ජනගහනයත් මිත්‍රශීලීයි. එමෙන්ම මෙය එක්සත් ජනපදයටද සමීපව පිහිටා තිබෙනවා. මේ දායාදයන් සියල්ල සංචාරක කර්මාන්තයේ සඵලත්වයට රුකුලක් වී තිබෙනවා. නමුත් සංචාරකයන්ට සතුටින් පිරි ආරක්ෂා සහිත නිවාඩුවක් සැපයීමට අවශ්‍ය වන්නේ කුමක්ද?

නවීන දින සංචාරකයන්ව තෘප්තිමත් කිරීම

ජාත්‍යන්තර සංචාරක ව්‍යාපාරය බිහි වූ කාලයේදී විදේශ රටකට යෑම ඉතා දුෂ්කර වුණත්, එම අද්දැකීම දුර්ලභ එකක් වූ නිසා එය සිත්ගන්නක් සේ සලකනු ලැබුවා. කෙසේවුවත්, අදදින පුළුල් සන්නිවේදන මාධ්‍ය නිසා තම නිවසේ සුව පහසුවෙන් සිටියදීම රූපවාහිනියෙන් දුර ඈත පිහිටි තැන් පිළිබඳ අදහසක් මනසේ සිතුවම් කරගත හැකියි. එමනිසා සංචාරක තානායම්වලට තිබෙන අභියෝගය වන්නේ සංචාරකයන්ට හුරු හෝ ඊටත් වඩා හොඳ පහසුකම් ලබා දෙමින් ඔවුන්ට සැබවින්ම අමතක නොවන අද්දැකීමක් ලබා දීමයි. ඊට අමතරව, සංචාරකයන් හුඟදෙනෙක් නිතර සංචාරයේ යෙදී සිටින බැවින් ලොව පුරා තිබෙන හෝටල් සහ තානායම් අතර බොහෝවිට තරඟකාරිත්වයක් පවතිනවා.

ප්‍රතිඵලයක් ලෙස ඉතා සිත් ඇදගන්නා පහසුකම් සහ තානායම් බිහි වී තිබෙනවා. උදාහරණයක් හැටියට, බහමාස්හි එක්තරා විශාල සුඛෝපභෝගි හෝටලයක් ගැන සලකා බලන්න. “හෝටලයේ භූමි භාගය සැලසුම් කර තියෙන්නේ සුර පුරයකට ගියා වගේ හැඟීමක් ලබා දෙන්නයි. නමුත් අපේ අභිප්‍රාය ඊටත් වඩා එහාට දිව යනවා. අපේ සේවකයන් සමඟ ඔබ ඇති කරගන්න සුහදතාවය ඔබ තුළ සදා නොමැකෙන සිතුවමක් වෙනවා දකින්නයි අපේ ආශාව” කියා හෝටල් සංවර්ධන සංවිධානයේ අධ්‍යක්ෂක බෙවලි සෝන්ඩස් පවසනවා. එවැනි තානායම් තම සංචාරකයන්ගේ අවශ්‍යතාවන් සපුරාලන්නේ කෙසේද?

තානායමක ඇතුල් පැත්ත

“කාමර 2,300ක් තියෙන අපේ හෝටලය පිරුණහම, සංචාරකයෝ 7,500 සිට 8,000ක් එකම වෙලාවේ තෘප්තිමත් කරන්න සිද්ධ වෙනවා” කියා බෙවලි පවසනවා. “සියල්ල සංවිධානය කිරීම ලේසි පහසු වැඩක් නම් නෙවෙයි. මේ හැමෝගෙම අවශ්‍යතා සියල්ල සපුරාලීමට සංවිධානය වීම, හරියට කුඩා නගරයක් පවත්වාගෙන යනවා වගෙයි. ඒකත් කරන්න වෙන්නේ අමතර අභියෝගවලට මූණ දෙමිනුයි. අපේ සංචාරකයෝ ඔවුන්ගේ ගෙවල්වලදී ගන්න ආහාර අපි ළඟ තියෙන්න ඕන. ඒත් ඔවුන්ගේ අද්දැකීම අමතක නොවන එකක් වෙන්න නම් රසින් රස පිරුණු ප්‍රණීත ආහාර නෙත් පිනවන සේ පිළිගැන්විය යුතු අතර විනෝදය ලැබිය හැකි අද්විතීය අවස්ථාද උදා කර දිය යුතුයි. බොහෝ නිකේතනවල කාර්ය මණ්ඩලයේ සියයට 50ක් හෝ ඊට වැඩි ගණනක් ආහාර සහ බීම වර්ග පිළිගැන්වීමේ කාර්යයෙහි නිරත වෙනවා.”

එහෙත්, අයි. කේ. ප්‍රඩාන්, “නේපාලයේ සංචාරක ව්‍යාපාරයට ඇති වී තිබෙන සමාජීය හා සංස්කෘතික බලපෑම” යන විෂය සම්බන්ධයෙන් ලියූ රචනාවක මෙසේ නිරීක්ෂණය කරයි. “සංචාරයේදී නියම සතුට හා ප්‍රීතිය තීරණය වන සාධක සියල්ල අතුරෙන් වැදගත්ම සාධකය වන්නේ ප්‍රදේශ වැසියන් සංචාරකයන්ට සලකන ආකාරය හා ඔවුන්ට සුරක්ෂිතබවක් හැඟෙනවාද යන්නයි.”

සංචාරකයින් සඳහා ලොව පුරා සාර්ථකව පවත්වාගෙන යන තානායම් මෙම පැතිවලින් උපරිම සේවාවක් ලබා දෙන්නේ කෙසේද? බහමාස්හි ප්‍රධාන පෙළේ තානායමක සේවය කරන විධායකවරියක් එම ප්‍රශ්නයට උත්තර දුන්නේ මෙසේයි. “අපි පුහුණුවක් ලබා දෙනවා. සංචාරකයන්ට සැලකිය යුතු ආකාරය ගැන නැවත නැවතත් මතක් කර දෙනවා. අමතර පැති සම්බන්ධයෙන් දැනුවත් කරනවා. වැරදුණු තැන් හරිගස්සනවා. ඒ කියන්නේ නිතැතින්ම උසස් ගුණයෙන් යුත් සේවාවක් පිරිනැමීමට දරන වෙහෙස අපි අත්හරින්නේ නැහැ. සාමාන්‍යයෙන් බහමාස් ජාතිකයන්ගෙන් වැඩිදෙනෙක් මිත්‍රශීලියි. ඒත් සේවය කරන හැම මොහොතකදීම සමාජශීලී වීමත්, ප්‍රසන්නව සිටීමත්, සිනාවකින් මුව සරසාගෙන සිටීමත් හරිම අමාරු වැඩක්. ඒ නිසා තමයි අපි ඔවුන්ට කාවද්දන්නේ, වෛද්‍යවරයෙකු, නීතිඥයෙකු හෝ රක්ෂණ නියෝජිතයෙකු තම රාජකාරිය වෘත්තීය මට්ටමෙන් ඉටු කිරීමේදී විදහාපාන දක්ෂතාව විදහා දක්වමින් තම කාර්යයෙහි යෙදෙන්න කියලා. සමස්තයක් වශයෙන් පළපුරුදු සංචාරක සේවාවක් පිරිනැමීමට හැකි වන සේ අපි හැම අංශයක්ම පවත්වාගෙන යන්නේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුවයි. මේ ප්‍රමිති පවත්වාගැනීමට කණ්ඩායමක් වශයෙන් අපි මහන්සි වෙලා වැඩ කරන තරමට බාධාවකින් තොරව දිගටම උසස් මට්ටමේ සේවාවන් පිරිනැමීමට හැකි වෙනවා.”

නොපෙනෙන පැත්ත

ඔබ සංචාරයක යෙදී ඇත්නම්, කලින් මොනතරම් සැලසුම් කළත් ඔබ නොහිතුව විදිහට වියදම් කරන්න සිද්ධ වුණ බව ඔබට දැනී නැද්ද? සංචාරකයන්ට සේවාවන් සපයන අයත් ලබන්නේ එවැනිම අද්දැකීමක්.

“සංවර්ධනය වෙමින් පවතින අපේ සමාජයට සංචාරක කර්මාන්තයෙන් බොහෝ ප්‍රයෝජන ලැබිය හැකි” යයි කලින් සඳහන් කළ ප්‍රඩාන් පවසනවා. කෙසේවෙතත්, “කියන්න බැරි තරමටම විසඳිය නොහැකි සමාජීය ගැටලු ඇති වෙන්න පුළුවන්” කියා ඔහු සඳහන් කරනවා. “නවීන දින සංචාරක ව්‍යාපාරයට බලපාන විවිධ පැතිවලට වැඩිපුර අවධානයක් දෙමින් අපි හොඳ සූදානමකින් ඉන්න ඕන” කියලා ඔහු තවදුරටත් පවසනවා. ඔහු යොමු දක්වමින් හිටියේ මොන ගැටලුවලටද?

“සංචාරකයන් විශාල පිරිසකට කෑම බීම, ඉඳුම් හිටුම් සපයන රටවල රටවැසියන්ගේ සම්ප්‍රදායක ජීවන රටා නොසිතූ විරූ අන්දමින් ටිකෙන් ටික බාල වෙයි. සමහර ප්‍රදේශවල ප්‍රාදේශීය සංස්කෘතිය නැත්තටම නැති වෙලා.” සාමාන්‍යයෙන් ඇති වන අතුරු ඵලවලින් එකක් පිළිබඳව බහමාස්හි සංචාරක අමාත්‍යාංශයේ උසස් නිලයක් හොබවන කෝඩෙල් තොම්සන් විස්තර කළේ එලෙසයි. සංචාරක ව්‍යාපාරයෙන් තම රට ලබා තිබෙන ප්‍රයෝජන සියල්ල ගැන තොම්සන් කතා කරන්නේ මහත් ආඩම්බරයකිනුයි. ඒත්, නිවාඩු සුව ලබන්නන්ගේ සංඛ්‍යාව නිතරම රටේ ජනගහනයට වඩා වැඩි වන රටක ජීවත් වීමේ ප්‍රතිඵලයක් ලෙස නොසිතූ නොපැතූ ප්‍රතිඵල බොහෝමයකට මුහුණ දීමට සිදු වී තිබෙන බව ඔහු පිළිගන්නවා.

උදාහරණයක් වශයෙන්, සංචාරකයන් එක්ක වැඩ කරන අය අන්තිමේදී වරදවා හිතන්නේ ඔවුන් හැමදාම නිවාඩු පාඩුවේ ඉන්නවා කියලයි. ඉතින් සමහර ප්‍රාදේශීය වැසියන් මෙම මනඃකල්පිත ජීවන රටාව අනුකරණය කරන්න මහන්සි විය හැකියි. හැමෝම ඒ තත්වයට වැටෙන්නේ නැහැ. ඒත් ඔවුන් සංචාරකයින්ගේ නිකේතන අවට ඔවුන්ගේ විවේක කාලයෙන් වැඩි වේලාවක් ගත කිරීම හේතුවෙන් ක්‍රම ක්‍රමයෙන් ඔවුන්ගේ සම්ප්‍රදායික ජීවන රටාව අහිමි කරගන්නවා. නොයෙක් ප්‍රදේශවල සාමාන්‍ය වැසියන් සංචාරකයින් සඳහා බිහි කෙරෙන පහසුකම් අනුව තම ජීවිත හැඩගස්වාගැනීමට වෑයම් කර තිබෙන නිසා සමහර ප්‍රදේශවල දේශීය සංස්කෘතික රටාව ක්‍රම ක්‍රමයෙන් පහ වී යයි හෝ සම්පූර්ණයෙන්ම නැති වී යයි.

ජාත්‍යන්තර වශයෙන් සංචාරකයන් සඳහා ප්‍රසිද්ධ බොහෝ ස්ථානවල සංචාරක ව්‍යාපාරයන් පවත්වාගෙන යන්නන් ප්‍රශ්න දෙකක් අතර හිර වී සිටියි. වැල නොකැඩී පැමිණෙන සංචාරකයින්ගෙන් ඔවුන් හොඳ ආදායමක් උපයාගන්නවා. නමුත්, වැරදි ආශාවන් සන්තර්පණය කරගැනීමට මාන බලන සංචාරකයින්ව තෘප්තිමත් කිරීමේ අටියෙන් බිහි කර තිබෙන වෙළඳ ව්‍යාපාරයන් නිසා හතු මෙන් වැඩී ඇති සමාජ ගැටලුවල බර ඔවුන්ටත් දරන්න සිදු වී තිබෙනවා.

සමබර සංචාරක ව්‍යාපාරයක්

නවීන දින සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන අති විශාල ප්‍රයෝජනවලින් සමහරක් එහි නිරතුරු පැවැත්මට තර්ජනයක් වන ප්‍රතිඵල බිහි කර තිබෙන බැවින්, නිතර නිතර අහන්න ලැබෙන්නේ ‘සමබර සංචාරක ව්‍යාපාරයක්’ බිහි කළ හැකිද යන්නයි. ලාභ උපදවන සංචාරක ව්‍යාපාර ක්‍රමවලින් ලබන කෙටි කාලීන වාසි ප්‍රයෝජන නිසා ‘රන් බිත්තර දමන තාරාවා මරා දැමීමක්’ වේවි කියා ඇතැමුන්ට වැටහෙනවා. සංචාරක ව්‍යාපාරය සදහටම පවත්වාගැනීමට නම් ඇතැම් බැරෑරුම් ප්‍රශ්නවලට විසඳුමක්ද සෙවිය යුතුයි.

සංචාරක ව්‍යාපාරය පරිසරයට බලපාන අන්දම, දේශීය සංස්කෘතිවලට බලපාන අන්දම ඉදිරියේදී සලකා බැලිය යුතු අතර, සංචාරක ව්‍යාපාරයන් කරගෙන යන රටවල ජාතික පරමාර්ථයන් හා ලාභ ඉපයීමේ අභිමතාර්ථ ඇති තානායම් සහ සුපිරි නිකේතනවල ඉලක්ක සමාන්තරව දිව යනවාද යන්න ඉදිරි කාලයේදී සමබරව සලකා බැලීමට සිදු වෙනවා. මෑත මාසවලදී ආරක්ෂාව හා සුරක්ෂිතභාවය යන කාරණා නිසා සංචාරක කර්මාන්තයට දරුණු පහරක් වැදී තිබෙන අතර මේවා සම්බන්ධයෙන් සලකා බැලිය යුතු වෙනවා. නවීන දින සංචාරක ව්‍යාපාරයේ දියුණුවට මෙම කාරණා කෙසේ බලපායිද යන්න ඉදිරියේදී දැකගත හැකි වෙයි.

විවේකයක් ගන්න දුර ඈත තානායමකට ගිහින් නවාතැන් ගන්න ඕන කියා ඔබට සිතෙන ඊළඟ වතාවේදී ලෝකයේ විශාලතම කර්මාන්තය වන මෙම දේශීය හා ජාත්‍යන්තර සංචාරක ව්‍යාපාරය පිළිබඳව ඔබ සුළුවෙන් නොසිතයි කියා බලාපොරොත්තු වෙනවා.

[15වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]