Skip to content

පටුනට යන්න

ජෝජියාවේ ආගම නිසා පමුණුවන හිංසා පීඩා කොපමණ කල් පවතීද?

ජෝජියාවේ ආගම නිසා පමුණුවන හිංසා පීඩා කොපමණ කල් පවතීද?

ජෝජියාවේ ආගම නිසා පමුණුවන හිංසා පීඩා කොපමණ කල් පවතීද?

සෞම්‍ය කලාපීය කළු මුහුදු වෙරළේ සිට හිමෙන් වැසුණු කොකෙසස් කඳුකරය දක්වා විහිදෙන ජෝජියාව ස්වභාව සෞන්දර්යයේ තෝතැන්නකි. යුරෝපීය හා ආසියානු දේශ මායිම් අසල පිහිටි මෙම කඳුකරයේ ඝන වනාන්තර, වේගවත්ව ඇද හැලෙන ඇළ දොළවල් සහ නිල්වන් මිටියාවත් දක්නට ලැබේ. ජෝජියාවේ අගනුවර වන ට්පිලිසි වනාහි, ඉපැරණි ගෘහ නිර්මාණ ශිල්පයට නෑකම් කියන ස්මාරක අතරින් නවීන ගොඩනැඟිලි දිස් වන්නාවූ කාර්යබහුල නගරයකි. එහෙත් ජෝජියාවේ අගනාම වස්තුව වන්නේ සමීප පවුල් සබඳතා පවත්වාගන්නා, මිත්‍රශීලී හා ආගන්තුක සත්කාරශීලී වීම අතින් කීර්ති නමක් දරන එහි රට වැසියන්ය.

ජෝජියාවේ වැසියන් සියවස් ගණනාවක් පුරාම හිංසා පීඩාවලට ලක් වූ බව ඉතිහාසයේ කියැවේ. එම රට රෝම, පර්සියානු, බයිසැන්ටින්, අරාබි, තුර්කීය, මොන්ගෝලියානු, රුසියානු හා වෙනත් ජාතීන්ගේ ආක්‍රමණවලට නතු වී තිබේ. ට්පිලිසි නගරය 29 වතාවක් විනාශ කර ඇති බව එක් ගණනය කිරීමකින් හෙළි විය! a මෙවන් බාධක හමුවේ පවා ජෝජියාවේ වැසියන් සතුටින් දිවි ගෙවමින් චිත්‍ර, නැටුම්, සංගීතය වැනි කලාවන් සඳහා වූ තමන් සතු ආශාව රැකගෙන තිබේ. එපමණක්ද නොව, ඉවසිලිවන්ත ජාතියක් වශයෙන්ද ඔවුහු ප්‍රසිද්ධත්වයක් උසුලති.

ජෝජියාවේ වැසියන් සම්බන්ධයෙන් මෙය තවදුරටත් සත්‍යයක් නොවීම කනගාටුවට කරුණකි. දැන් වසර දෙකක සිට කුඩා කණ්ඩායමක්, තමන්ගේම රට වැසියන් සියගණනකට දරුණු ප්‍රහාර එල්ල කරමින් ජෝජියාවේ කීර්ති නාමය කෙලෙසා ඇත. කෝපයෙන් වියරු වැටුණු මැර කල්ලි පුරුෂයන්, ස්ත්‍රීන් හා බාලයන් ඇතුළු මහලු හා ආබාධිත ජනයාට පවා පහර දී තිබේ. මෙම අහිංසක ජනයාට පහර දී තිබෙන්නේ ඇණ සවි කළ පොලුවලින් හා යකඩ පොලුවලිනුයි. මැර පිරිස, විපතට පත්වූවන්ගේ ඔළු පැළී යන තෙක්, මුහුණේ සම ඉරී යන තෙක් හෝ ඇඟ නිල් වන තෙක් පහර දී තිබේ. ජෝජියාවේ අහිංසක පුරවැසියන්ට මෙතරම් කෲර ලෙස තලා පෙළනු ලබන්නේ මන්ද? ඔවුන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් වන නිසාය. ඇත්තෙන්ම මෙම ක්‍රිස්තියානි සංවිධානය ජෝජියාවේ ක්‍රියාශීලී වීමට පටන්ගත්තේ එම මැර පිරිසගෙන් බහුතරයක්ම මෙලොව එළිය දැකීමටත් කලිනුයි!

හෙළා දැකීම පහර දීමකට පෙරළේ

ජෝජියාවේ ආගමික නිදහස සහතික කරනු ලැබුවද යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පොත් පත් නිතරම වාගේ රාජ්‍ය සන්තක කර තිබේ. වර්ෂ 1999 අප්‍රියෙල් මාසයේදී රේගු නිලධාරීන් පැවසුවේ මහජනයාට පොත් පත් මුදාහැරිය හැක්කේ ජෝජියානු ඕතඩොක්ස් පල්ලියේ අග්‍ර බිෂොප්ගේ අවසරය ලැබුණොත් පමණයි කියාය. b ඊළඟ මාසයේදී ජෝජියාවේ දිස්ත්‍රික් අධිකරණය වන ඉසානි-සම්ගෝරිහිදී ඕතඩොක්ස් පල්ලිය ගැන නැවත වතාවක් සඳහන් කරනු ලැබීය. ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තු නියෝජිතයෙක් මෙන්ම “ජෝජියාව පෙරමුණේ!” [Georgia Above All!] නම් දේශපාලනික කණ්ඩායමේ නායක වන ගුරාම් ෂරාඩ්සේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ නීතික සංස්ථාවන් විසුරුවාහරින මෙන් ඉල්ලමින් ඔවුන්ට විරුද්ධව නඩුවක් පැවරීය. ඔහුගේ චෝදනාව වූයේ සාක්ෂිකරුවන් දේශද්‍රෝහී හා භයානක සෙනඟක් බවයි. ෂරාඩ්සේගේ චෝදනාවට උල්පන්දම් දුන්නේ කවරෙකුද? නඩු ලියකියවිලි සමඟ ජෝජියානු පල්ලියේ අග්‍ර බිෂොප්ගේ ලේකම්ගෙන් ලද ලිපියක්ද අමුණා තිබුණි.

වර්ෂ 1999, මැයි 20වනදා මානව හිමිකම් හා මූලික නිදහස ආරක්ෂා කරනු ලබන යුරෝපීය සම්මුතියට අත්සන් තැබූ බැවින් ජෝජියාව එම සම්මුතියේ පනත් රැකීමට බැඳී සිටියි. මෙම පනත්වල 10වන වගන්තියේ සඳහන් වන්නේ මෙලෙසයි. “තම අදහස් නිදහසේ ප්‍රකාශ කිරීමට සියලුදෙනාටම අයිතියක් ඇත. පෞද්ගලික මත දැරීමේ හා බලධාරීන්ගෙන් බාධාවකින් තොරව ඕනෑම දේශ සීමාවක් හරහා තොරතුරු හා අදහස් හුවමාරු කරගැනීමේ නිදහසද මෙම අයිතියට ඇතුළත්ය.” මෙහි සඳහන් කර ඇති අයිතිය හේතුවෙන් සාක්ෂිකරුවන්ගේ පොත් පත් තහනම් කිරීම සඳහා විරුද්ධවාදීන් තමන් දැරූ වෑයම් අත්හැරියාද? කොහෙත්ම නැත!

ජෝජියාවේ අග්‍ර බිෂොප් විසින් 1999, ජූනි 21වනදා රේගු කාර්යාලයේ ප්‍රධානියාට ලියනු ලැබූ ලිපියක “විදේශ ආගමික පොත් පත් බෙදාහැරීම තහනම් කළ යුතු” බවට නියෝග කර තිබුණි. ඊට අමතරව, යෙහෝවාගේ සාක්ෂිකරුවන් භයානක සෙනඟක් බවත් ඔවුන්ව නීතියෙන් තහනම් කළ යුතු බවත් ජෝජියානු ඕතඩොක්ස් පල්ලියේ නිල ප්‍රකාශක වන ජියෝජි ආන්ඩ්‍රීයාඩ්සේ ප්‍රකාශ කළේය. මෙම හෙළා දැකීම් තුළින් ඇති වූ බලපෑම සුළු පටු එකක්යයි පැවසිය නොහැක. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පොත් පත් පුලුස්සා දැමීමෙහි කලින් නිරත වී තිබූ ආගමික අන්තවාදීන්ට දැන් තමන්ට රිසි පරිදි සාක්ෂිකරුවන්ට පහර දිය හැකි බවත් නීතියෙන් ගැළවී යා හැකි බවත් හැඟුණි. ඔවුන් නැවත වතාවක් පහර දීම ආරම්භ කළේ 1999, ඔක්තෝබර් 17වන ඉරු දිනයේදීය.

දඬුවම් නොලැබූ මැරවරයෝ

එම ඉරු දිනයේදී ට්පිලිසිහි පුරුෂයන්, ස්ත්‍රීන් හා දරුවන් 120දෙනෙක් පමණ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ආගමික රැස්වීමකට පැමිණ සිටියහ. ඒ අතරතුර, නෙරපන ලද ඕතඩොක්ස් පූජක වාසීලී මකාලාවීෂ්වීලී හා ඔහුගේ ගෝලයන් 200දෙනෙක් රැස්වීම් ශාලාවට කඩා වැදුණෝය. c ඔවුහු සාක්ෂිකරුවන්ව වට කර ඔවුන්ට ලී පොලුවලින් හා යකඩ කුරුසවලින් එක දිගටම පහර දුන්හ. මැරවරයන් හතරදෙනෙක් සාක්ෂිකරුවෙකුව අත් දෙකෙන් හා බෙල්ලෙන් ඇදගෙන ගොස් ඔලුව පහළට ඔබා ඔහුගේ හිස බූ ගෑහ. මෙම සිද්ධිය බලා සිටි අනෙක් මැරයෝද ඔහුගේ නින්දාව දෙගුණ තෙගුණ කරමින් ඔහුව උපහාසයට ලක් කළහ. වියරු වැටුණු මැර කල්ලිය විසිරී ගිය පසු සාක්ෂිකරුවන් 16දෙනෙකුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට සිදු විය. එක් සාක්ෂිකරුවෙකුගේ ඉල ඇට තුනක් බිඳී ගොස් තිබුණි. හතලිස් හැවිරිදි සාක්ෂිකාරියක් වන පාටී ඇගේ අද්දැකීම සිහිපත් කළේ මෙලෙසයි. “ඒගොල්ලන් මහා හයියෙන් මට කෑගහන්න පටන්ගත්තා. එක්කෙනෙක් පුළුවන් තරම් හයියෙන් මට ගැහුවා. එයා ගැහුවේ මගේ මූණටයි ඇස්වලටයි. මං අත් දෙකෙන් මූණ වහගන්න හදද්දී ඇඟිලි දිගේ ලේ වැක්කෙරෙන්න පටන්ගත්තා.” නපුරු සතෙකු මෙන් හැසිරුණු මෙම මනුෂ්‍යයාගේ පහර දීම්වලින් පසු පාටීගේ වම් ඇසේ පෙනීම නැති වී ගියේය. අද වන තුරුත් පාටීගේ ඇස යථා තත්වයට ගෙන ඒමට නොහැකි වී තිබේ.

රූපවාහිනිය ඔස්සේ විකාශනය වූ මෙම නීච ප්‍රහාරය ජනාධිපති එඩ්වාඩ් ෂෙවාඩ්නාඩ්සේ විසින් හෙළා දකිනු ලැබීය. ඊට පසුවදා ඔහු මෙසේ ප්‍රකාශ කළේය. “මෙම සිද්ධිය මම තදින්ම හෙළා දකිනවා. නීතිය ක්‍රියාත්මක කරවන ආයතන මගින් ඊට විරුද්ධව අපරාධ නඩුවක් දැමිය යුතුයි.” වීඩියෝ පටිගත කිරීම්වලින් මැර කල්ලියේ නායකයාව හා ඔහුගේ සහයකයන්ව හොඳින් හඳුනාගෙන තිබෙන නිසා ඔවුන්ට විරුද්ධව ස්ථිරසාර සාක්ෂි තිබේ. එහෙත් දැන් අවුරුදු දෙකක් ගත වී තිබුණත් එම අපරාධකරුවන් එක්කෙනෙකුටවත් තවමත් දඬුවම් ලැබී නැත.

දඬුවම් නොලැබීමෙන් තවත් නිර්භය වී

ආගමික හා ආගමික නොවන බලධාරීන් විසින් කිසිදු ක්‍රියා මාර්ගයක් නොගැනීම හේතුවෙන් දැන් ප්‍රහාරකයන් සිතන්නේ ඔවුන්ගේ සැහැසිකකම්වලට ‘බලපත්‍රයක්’ ලැබී ඇති බවයි. දඬුවම් නොලැබීමෙන් නිර්භය වූ මොවුහු නිවෙස්වල, වීථිවල හා නමස්කාර කරන ස්ථානවල සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට අතින් පයින් පහර දීමට හා ඔවුන්ගෙන් සොරකම් කිරීමට දැන් වැඩි වැඩියෙන් පෙලඹෙති. වර්ෂ 1999, ඔක්තෝබරයේ සිට 2001, අගෝස්තු මාසය දක්වා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව ප්‍රහාරයන් 80කට වැඩි ගණනක් වාර්තා වී ඇති අතර එම ප්‍රහාරවලින් විපතට පත්වූවන්ගේ සංඛ්‍යාව 1000කට වඩා වැඩිය. තත්වය මෙසේ තිබියදී, 2001, පෙබරවාරි 9වනදා වාසීලී මකාලාවීෂ්වීලී හා සම්බන්ධ පරීක්ෂණය “තවමත් කරගෙන යන” බව ට්පිලිසි නුවරේ නඩුපවරන්නෙක් පුවත්පත් වාර්තාකරුවන්ට පැවසීය. මෙම ලිපිය ලියන අවස්ථාව වන විට පවා ජෝජියාවේ බලධාරීන්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට වෛරය පාමින් හා අපරාධ සිදු කිරීමට ඔවුන්ගේ විරුද්ධවාදීන්ට ඉඩ දෙමින් සිටි බව කනගාටුවෙන් වුවත් පැවසිය යුතුයි.—“මැර කල්ලි රජයයි” යන කොටුව බලන්න.

පොලිසිය මේ සම්බන්ධයෙන් දරන ස්ථාවරය කුමක්ද? ප්‍රවෘත්ති වාර්තාවලින් හා වීඩියෝ පටිගත කිරීම්වලින් හෙළි වූයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව ප්‍රහාර එල්ල කිරීමට පොලිසිය ඉඩහැරියා විතරක් නොව ඔවුන්ද ඒවාට සහභාගි වූ බවයි! නිදසුනකට, 2000, සැප්තැම්බර් 8වනදා පොලුවලින් සන්නද්ධ වූ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සුග්ඩිඩි නගරයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් 700දෙනෙකු සාමකාමී ලෙස එක්රැස් වී සිටි සමුළුවක් කඩාකප්පල් කළෝය. මෙම සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ වාර්තාවලට අනුව වෙස් වලාගත් පොලිස් නිලධාරීහු ‘අතට අහු වෙච්ච හැම දෙයක්ම විනාශ කරමින්’ සාක්ෂිකරුවන් 50දෙනෙකුට වඩා වැඩි පිරිසකට පහර දුන්හ. යුධ ටැංකි විනාශ කිරීමට යොදාගන්න හිස් ෂෙල් වෙඩි කුඩා දරුවන්ගේ හිසට උඩින් යවන විට ඔවුන් බයෙන් වෙවුලූ විදිහ දකිද්දී තමාට “දරාගන්න බැරි වේදනාවක් දැනුණ” බව සමුළු භූමියේ අයිතිකරු පැවසීය. භූමිය වට කරගත් පොලිසිය එහි දේපළ පුලුස්සා දැමූහ. නමුත් අද වන තුරුත් ඔවුන්ට කිසිදු දඬුවමක් ලැබී නැත.

මෙවන් නීච සිද්ධීන් දුර්ලභයයි පැවසිය නොහැක. (“පොලිසියේ සහභාගිත්වය” නමැති කොටුව බලන්න.) වර්ෂ 2001, මැයි 7වනදා “ජෝජියාවේ නීතික බලධාරීන් ජනයාව වද හිංසාවට හෝ වෙනත් කෲර, අමානුෂික ක්‍රියාවලට ලක් කිරීම ගැනත් ඔවුන්ට නින්දාසහගත ලෙස සැලකීම හෝ දඬුවම් කිරීම ගැනත්” වධ හිංසනයට එරෙහිව පිහිටුවා ඇති එක්සත් ජාතීන්ගේ කමිටුව තම සන්ත්‍රාසය පළ කළේය. “වද හිංසා පිළිබඳව දිගින් දිගටම කෙරෙන පැමිණිලි සියල්ලක් ගැනම ක්ෂණික පියවර නොගැනීම ගැනත් ඒවා පිළිබඳව අපක්ෂපාති හා සම්පූර්ණ පරීක්ෂණ නොපැවැත්වීම ගැනත්” ඔවුහු අදහස් දැක්වූහ. d ඇත්තෙන්ම, යෙහෝවාගේ සාක්ෂිකරුවන් පැමිණිලි 400කට වඩා වැඩිය ඉදිරිපත් කර ඇති අතර එම සිද්ධීන්ට සම්බන්ධ වූ එක අපරාධකරුවෙකුටවත් මෙතෙක් දඬුවම් ලැබී නැත! පාර්ලිමේන්තුවේ ඡන්දය මගින් තෝරාගනු ලැබූ ජෝජියාවේ ඔම්බඩ්ස්මන්වරයා මෙසේ කීමට පෙලඹුණේය. “මානව හිමිකම් උල්ලංගනය කර තිබෙන්නේ තමන්ගේ රැකියාවට එකඟව එම අයිතිවාසිකම් රැකීමට බැඳී සිටින පුද්ගලයන් විසින්මයි. ඔවුන් මානව හිමිකම් ආරක්ෂා කිරීම කඩදාසියකට පමණක් සීමා කර තිබෙනවා.”

ව්‍යාකූලත්වයට තුඩු දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්

මැර කල්ලි හා පොලිසිය විසින් සිදු කරන නීති විරෝධී ප්‍රහාරයන් මදිවට ජෝජියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මෑතකදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව තීන්දුවක්ද දුන්නේය. එමගින් සාක්ෂිකරුවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ව්‍යාකූලත්වයක් ඇති කරවනු ලැබීය.

මෙම තීන්දුවට මඟ පෑදූ සිද්ධීන් කෙරෙහි දැන් අවධානය යොමු කරමු. දේශපාලනඥ ගුරාම් ෂරාඩ්සේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ නීතික සංස්ථාවන් විසුරුවාහැරීමේ අදහසින් ඔවුන්ට විරුද්ධව නඩුවක් පැවරීය. වර්ෂ 2000, පෙබරවාරි 29වනදා ෂරාඩ්සේගේ නඩුව නිෂ්ප්‍රභ කරනු ලැබීය. කෙසේවෙතත්, අභියාචනයක් කිරීමෙන් පසු ඔහු දිනුවේය. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ද ඊට ප්‍රතිචාරයක් වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කළ නමුත් 2001, පෙබරවාරි 22වනදා එම අධිකරණය ඔවුන්ට විරුද්ධව තීන්දුවක් දුන්නේය. එම තීන්දුව ගනු ලැබුවේ සංකීර්ණ නෛතික විස්තර සැලකිල්ලට ගනිමිනි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව, සෑම ආගමක්ම පොදු නීතිය යටතේ ලියාපදිංචි කළ යුතු බවට මෙතෙක් ස්ථාපිත නොකළ නීතියක් තිබෙනවායයි ශ්‍රේෂ්ඨාධිකරණය තර්ක කළේය. එම නීතිය ආගමික සංවිධාන ලියාපදිංචි විය යුතු ආකාරය පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු සපයන බව පැවසේ. මෙම නීතිය තවමත් ස්ථාපිත කර නැති බැවින් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට විකල්ප ක්‍රමයකින් හෝ ලියාපදිංචි විය නොහැකි බව අධිකරණය තීරණය කළේය. කෙසේවෙතත්, ජෝජියාවේ ආගමික ක්‍රියාකාරකම්වල යෙදෙන තවත් සංවිධාන 15ක්ම නෛතික ලෙස ලියාපදිංචි වී ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට ප්‍රතිචාරය දක්වමින් රූපවාහිනියේ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී විනිශ්චය කටයුතු පිළිබඳ අමාත්‍ය මීකයීල් සාකාෂ්වීලී මෙසේ පැවසීය. “නෛතික කෝණයකින් බැලූ කල, මෙම තීරණය සැක සහිත එකක්. මෙය ශ්‍රේෂ්ඨාධිකරණ ඉතිහාසයේ සාර්ථකම වකවානුවයයි පැවසිය නොහැකියි.” ජෝජියානු පාර්ලිමේන්තුවේ නෛතික කමිටුවේ වැඩ බලන සභාපති සුරාබ් ආඩෛෂ්වීලී කෙස්ටන් ප්‍රවෘත්ති සේවාවට පැවසුවේ “සුළුතරයක්ව සිටින ආගමික කණ්ඩායම් යටපත් කිරීම සඳහා අපේ [ජෝජියානු ඕතඩොක්ස්] පල්ලියේ අන්තවාදීන්ට මෙම තීන්දුව මගින් අනුබල ලැබෙන නිසා ඉතා භයානක” ප්‍රතිඵල අත් විය හැකි බවයි. කනගාටුදායක ලෙස, එම තීන්දුව දී දින කිහිපයකට පසු ආඩෛෂ්වීලීගේ සැකයන් සැබෑ කරවමින් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීම යළිත් ආරම්භ විය. වසර 2001 පෙබරවාරි 27, මාර්තු 5, මාර්තු 6, මාර්තු 27, අප්‍රියෙල් 1, අප්‍රියෙල් 7, අප්‍රියෙල් 29, අප්‍රියෙල් 30, මැයි 7, මැයි 20, ජූනි 8, ජූනි 17, ජූලි 11, අගෝස්තු 12, සැප්තැම්බර් 28 හා සැප්තැම්බර් 30 යන දිනයන්හිදී යෙහෝවාගේ සාක්ෂිකරුවෝ මැර කල්ලි, පොලිස් නිලධාරීන් සහ ඕතඩොක්ස් පූජකයන් අතින් පහර ලැබූහ. එම ලැයිස්තුවට තවත් සිද්ධීන් ගණනාවක්ම දිනෙන් දින එකතු වෙමින් පවතී.

වධ හිංසාවේ නව පිටුවක් පෙරළුණු අතර කිසි දිනක සිදු නොවූ අයුරින් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ගනු ලැබූ තීන්දුව පිළිබඳව මහජනයාට පැහැදිලි කිරීමක් සපයන ලදි. “යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සංගමයේ ලියාපදිංචිය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීරණය මහජනයා විසින් වරදවා වටහාගෙන තිබීම කනගාටුවට කරුණකි. . . . පෞද්ගලික නීතිය යටතේ නීතික සංස්ථාවක් ලෙස ලියාපදිංචි වී සිටි විත්තිකරුවන්ගේ ලියාපදිංචිය අහෝසි කළ විට, ඔවුන්ට සිතීමට හා හෘදය සාක්ෂියට අනුව ක්‍රියා කිරීමට තිබෙන නිදහස හෝ ඔවුන්ගේ ආගමික නිදහස උසාවිය විසින් ඍජුව හෝ වක්‍රාකාරව උල්ලංගනය කරනු ලැබුවේවත් ඒවා සීමා කරනු ලැබුවේවත් නැත. ප්‍රසිද්ධියේ හෝ රහසිගතව, තනිවම හෝ සාමූහිකව තමන්ගේ ආගම වෙනස් කිරීමට ඇති නිදහසද මෙමගින් සීමා නොකරන ලදි. . . . මෙම අධිකරණ තීන්දුව මගින් තමන්ගේ අදහස් හා තොරතුරු හුවමාරු කරගැනීමට විත්තිකරුවන්ට ඇති අයිතිය සීමා කළේවත් සාමකාමීව රැස්වීම් පැවැත්වීමට ඇති අයිතිය තහනම් කළේවත් නැත.”

ජෝජියානුවන් දහස් ගණනක් හිංසා පීඩා හෙළා දකිති

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉදිරිපත් කළ මෙම ප්‍රකාශයට මැරවරයන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතත් ජෝජියාවේ පුරවැසියන් දහස් ගණනක් වැල නොකැඩී සිදු වන මෙම හිංසා පීඩා දැනටමත් හෙළා දැක තිබීම සතුටට කරුණකි. වර්ෂ 2001, ජනවාරි 8වනදා සිට මැර ප්‍රහාරවලින් ආරක්ෂාව ලබා දීම සඳහාත් ජෝජියානු වැසියන්ට එරෙහිව සැහැසික ක්‍රියා සිදු කරන අයව අධිකරණය ඉදිරියට ගෙන ඒම සඳහාත් ඉල්ලීමක් කරමින් යෙහෝවාගේ සාක්ෂිකරුවෝ පෙත්සමක් ඉදිරිපත් කළහ. සති දෙකක් තුළදී ජෝජියාවේ සෑම පළාතකම වෙසෙන වැඩිහිටි පුරවැසියෝ 1,33,375දෙනෙක් පෙත්සමට අත්සන් තැබූහ. ජෝජියාවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් සිටින්නේ 15,000ක් පමණක් වන බැවින් පෙත්සමට අත්සන් කළ අයගෙන් බහුතරයක් ජෝජියානු ඕතඩොක්ස් පල්ලියේ සාමාජිකයන් විය යුතුයි. එහෙත් 2001, ජනවාරි 22වනදා පෙත්සම අතුරුදහන් විය! සිදු වුණේ මොකක්ද?

මෙම පෙත්සම මහජනයාට ප්‍රකාශයට පත් කිරීම සඳහා ජෝජියාවේ මහජන විත්තිවාචක වශයෙන් කටයුතු කරන නානා ඩෙව්ඩාරීයානිගේ කාර්යාලයේදී මාධ්‍යවේදීන් සමඟ රැස්වීමක් පැවැත්වීය. රැස්වීම පවත්වන අතරතුර කිසිදු දැන්වීමකින් තොරව වාසීලී මකාලාවීෂ්වීලී සහ තවත් දසදෙනෙක් කාර්යාලයට කඩා වැදී වෙළුම් 14කින් යුත් මෙම පෙත්සම උදුරාගෙන ගියහ. සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ කොකෙසියානු ආයතනයේ නියෝජිතයෙකු පෙත්සම රැකගන්න වෑයම් කළ විට කඩා වැදුණු එම මැරයෝ ඇයට පහර දුන්හ. මකාලාවීෂ්වීලී ඉතා අපහාසාත්මක ලෙස එක දිගටම බෙරිහන් දුන් අතර ඔහුගේ ගෝලයෝ, රැස්වීමේ සංවිධායකයන් අතේ තිබූ වෙළුම් 14න් 12ක්ම උදුරාගෙන ගියහ. මෙය දැක පුදුමයට පත් වූ විදේශ රාජ්‍ය දූතයෙක් මෙසේ පැවසීය. “මට නම් මේක අදහාගන්න බැහැ!” කෙසේවෙතත්, පෙබරවාරි 6වනදා පෙත්සම නැවතත් සාක්ෂිකරුවන් අතට පත් වූ අතර 2001, පෙබරවාරි 13වනදා එය ජෝජියාවේ ජනාධිපතිට ඉදිරිපත් කෙරුණි.

‘සෑම හිරිහැරයකටම එරෙහිව නීතික ක්‍රියා මාර්ගයක් ගනු ඇත’

ජෝජියාවේ ජනාධිපති මෙම පෙත්සමේ ඉල්ලීම්වලට එකඟව ක්‍රියා කරාවිය කියා ජෝජියාව ඇතුළු ලෝ වටා සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් සියලුදෙනාගේම බලාපොරොත්තුව වේ. ඇත්තෙන්ම අතීතයේ කිහිප වතාවකදීම ජනාධිපති ෂෙවාඩ්නාඩ්සේ, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට සිදු කෙරෙන හිංසා පීඩා හෙළා දැක තිබේ. නිදසුනකට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව එල්ල කරන ප්‍රහාර “සමූලඝාතන” හා සමාන බවත් ඒවා “ඉවසිය නොහැකි” බවත් ඔහු 1999, ඔක්තෝබර් 18වනදා සඳහන් කළේය. ජනාධිපති ෂෙවාඩ්නාඩ්සේ 2000, ඔක්තෝබර් 20වනදා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකුට ලියූ ලිපියක මෙසේ සඳහන් කළේය. “සැහැසිකකම් මුලිනුපුටා දමන්න අපි පූර්ණ වෑයමක් දරන්නෙමු. මානව හිමිකම්වලට හා හෘදය සාක්ෂියට එකඟව ක්‍රියා කිරීමේ නිදහස ආරක්ෂා කිරීමට ජෝජියාවේ බලධාරීන් මුළු හදින්ම කැප වී සිටින බවට මම සහතික කරමි.” නැවතත් 2000, නොවැම්බර් 2වනදා යුරෝපයේ ආරක්ෂාව හා සහයෝගිතාව සම්බන්ධ කොමිසම වෙත යැවූ ලිපියක ජනාධිපති ෂෙවාඩ්නාඩ්සේ මෙසේ කීය. “මෙම ප්‍රශ්නය [ජෝජියාවේ සුළුතරයක්ව සිටින ආගමික කණ්ඩායම්වල තත්වය] මහජනයාගේ හා ආණ්ඩුවේ දැඩි අවධානයට ලක් වී තිබේ.” ඔහු එම කොමිසමට මෙසේ සහතික කළේය. “සෑම හිරිහැරයක් හා සැහැසික ක්‍රියාවක් සඳහාම නීතික ක්‍රියා මාර්ගයක් ගනු ඇත. එමෙන්ම, එම අපරාධකරුවන්ට තම ක්‍රියාවලට නීතිය ඉදිරියේදී වගකීමටද සිදු වේ.”

මෙම ගැටලුව ගැන සැලකිලිමත් වන යුරෝපයේ හා ලෝකයේ වෙනත් ප්‍රදේශවල වෙසෙන ජනයා ජනාධිපති ෂෙවාඩ්නාඩ්සේ තම වචනයට එකඟව ක්‍රියා කරයි කියා බලාපොරොත්තු වෙති. එමෙන්ම, කෲර විරුද්ධවාදිකම් මධ්‍යයෙහි ජෝජියාවේ නිර්භීතව සාක්ෂි දරමින් යෙහෝවාට සේවය කරන තම සෙසු ඇදහිලිවන්තයන් වෙනුවෙන් ලෝ වටා සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවෝ නිරතුරුවම යාච්ඤා කරති.—ගීතාවලිය 109:3, 4; හිතෝපදේශ 15:29.

[පාදසටහන්වල]

a වැඩිමනත් විස්තර සඳහා 1998, ජනවාරි 22 පිබිදෙව්! (සිංහලෙන් නොමැත) කලාපයේ “ජෝජියාව—රැකගනු ලැබූ පෞරාණික උරුමයක්” යන ලිපිය බලන්න.

b කෙසේවෙතත්, රේගු දෙපාර්තමේන්තුව විසින් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පොත් පත් රාජ්‍ය සන්තක කිරීම 2001දී නවත්වනු ලැබීය.

c ලෝක කිතුනු සභා සංගමයේ (WCC) සාමාජිකයෙකු වීම සම්බන්ධයෙන් ඕතඩොක්ස් පල්ලිය (GOC) දෝෂාරෝපණයට ලක් කළ වාසීලී මකාලාවීෂ්වීලීව 1990 මැද භාගයේදී පල්ලියෙන් නෙරපා දමනු ලැබීය. (GOC මේ වන විට WCC සාමාජිකත්වයෙන් අහක් වී ඇත.) දැන් මකාලාවීෂ්වීලී, කිප්‍රියාන්ගේ නායකත්වය යටතේ පවතින ග්‍රීක් ඕල්ඩ් කැලැන්ඩරිස්ට්ස් නමැති නිකායේ සාමාජිකත්වය ලබාගෙන ඇත.

d වධ හිංසනයට මෙන්ම වෙනත් ආකාරයේ කෲර, අමානුෂික හා අවමන්සහගත සැලකිලිවලට හා දඬුවම්වලට එරෙහිව පිහිටුවා ඇති එක්සත් ජාතීන්ගේ කමිටුවේ සාමාජිකත්වය දරන රටවල් 123න් එකකි ජෝජියාව. එමනිසා “වධ හිංසාව නීති විරෝධී කිරීම” වෙනුවෙන් ජෝජියාව ඇප කැප වී සිටිය යුතුයි.

[24වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“සෑම හිරිහැරයක් හා සැහැසික ක්‍රියාවක් සඳහාම නීතික ක්‍රියා මාර්ගයක් ගනු ඇත. එමෙන්ම, එම අපරාධකරුවන්ට තම ක්‍රියාවලට නීතිය ඉදිරියේදී වගකීමටද සිදු වේ.”—එඩ්වාඩ් ෂෙවාඩ්නාඩ්සේ, 2000, නොවැම්බර් 2

[24වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“මෙම කාරණයට [සුළු පිරිසක්ව සිටින ආගමික කණ්ඩායම්වලට එරෙහිව සිදු කරන සැහැසික ක්‍රියාවලට] විසඳුමක් ලැබෙයි කියා අප බලාපොරොත්තු වන අතර ජෝජියාවේ සෑම ආගමික කණ්ඩායමකටම කිසිදු බාධාවකින් තොරව නිදහසේ තම ආගමික විශ්වාසයන් ප්‍රකාශ කිරීමට පුළුවන් වෙයි කියා අපි බලාපොරොත්තු වන්නෙමු.”—2001, ජූලි 3වනදා, අ.එ.ජ. වොෂිංටන් ඩී.සී.හි ජෝජියානු තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ඩේවිඩ් සුම්බාඩ්සේ

[20වන පිටුවේ කොටුව⁄පින්තූරය]

මැර කල්ලි රජයයි

ජෝජියාවේ බලධාරීන් පහර දෙන්නන්ට දඬුවම් නොකිරීම නිසා යෙහෝවාගේ සාක්ෂිකරුවෝ තවත් හිංසා පීඩා රැසකට මුහුණ දී සිටිති.

නිදසුනකට, 2001, ජනවාරි 22වනදා, ට්පිලිසිහි ස්වානටීස් උබානී ප්‍රදේශයේ සාක්ෂිකරුවන් 70දෙනෙකු රැස්ව සිටි ශාලාවකට කලින් ඕතඩොක්ස් පූජකයෙක්ව සිටි වාසීලී මකාලාවීෂ්වීලී සහ ඔහුගේ මැර කල්ලිය අනවසරයෙන් කඩා වැදුණහ. එම ප්‍රහාරකයෝ සාක්ෂිකරුවන්ට පයින් හා අතමිට මොළවා ගැසූ අතර ලී හා යකඩ කුරුසවලින්ද පහර දුන්හ. එක් අපරාධකරුවෙක් විශාල ලී කුරුසයකින් සාක්ෂිකරුවෙකුගේ හිසට කොයිතරම් හයියෙන් ගැසුවද කිවහොත් එහි හරහට සවි කර තිබූ පොල්ල කැඩී ගියේය. සමහර සාක්ෂිකරුවන්ව කළුවර කාමරයකට ඇදගෙන ගිය අතර අපරාධකරුවන් කිහිපදෙනෙකු විසින් ඔවුන්ට පහර දෙනු ලැබීය. පිල් දෙකකට වෙන් වී පෙළ ගැසී සිටි මෙම අපරාධකරුවෝ ඔවුන් මැදින් දුවන්න කියා වයස්ගත සාක්ෂිකරුවන්ට බල කරමින් දෙපැත්තේ සිට අතමිට මොළවා හෝ කුරුසවලින් පහර දුන්හ. වැඩිහිටි මැරවරයන් දෙදෙනෙක් අවුරුදු 14ක් වයසැති අසරණ දරුවෙකු පිටුපස එළවා, ඉන්පසු ඔහුට අතින් පයින් ගැසූහ. වයස අවුරුදු 30ක් වන තවත් අපරාධකරුවෙක් අවුරුදු 12ක් වයසැති දරුවෙකුගේ හිසට විශාල ජෝජියානු බයිබලයකින් ගැසුවේය. පොලිසියට දැනුම් දීම සඳහා නිවසින් පිටවීමට වෑයම් කළ එක් සාක්ෂිකරුවෙකුව මැර පිරිසට හසු වූ අතර කටේ ලේ පිරී වමනය යන තෙක්ම ඔවුහු ඔහුගේ මුහුණට පහර පිට පහර දුන්හ. අන්තිමේදී, මේ සෑම දෙයක්ම කළ පසු මැර කල්ලිය විසිරී ගියේය. එහෙත් අද වන තුරුත් ඔවුන්ට කිසිම අන්දමකින් හෝ දඬුවම් කර නැත.

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ එම සභාවේම තවත් ආගමික රැස්වීමක් 2001, අප්‍රියෙල් 30වනදා මකාලාවීෂ්වීලී විසින් කඩාකප්පල් කරනු ලැබුවේය. අපරාධකරුවෝ සාක්ෂිකරුවන්ව එළියට ඇදගෙන ගොස් ඔවුන්ට ඇණ සවි කළ පොලුවලින් ගැසූහ. ටාමාස් නම් සාක්ෂිකරුවෙකුගේ දකුණතේ, වමතේ, වම් පාදයේ හා වම් කම්මුලේ සම ඇණවලට ඉරී ගියේය. එපමණක් නොව, ටාමාස්ගේ ඔලුව පැළුණු අතර ඔහුට මැහුම් පහක් දැමීමට සිදු විය. මැර කල්ලිය රැස්වීම් පැවැත්වූ නිවසද කොල්ලකා එහි ලී බඩු, විදුලි උපකරණ හා සෑම ජනේලයක් වාගේම බිඳ දැමූහ. ඉන්පසු ඔවුහු යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ පොත් පත් විශාල සංඛ්‍යාවක් ගොඩගසා ඒවාට ගිනි තැබූහ. මෙම ප්‍රහාරය හා මෑතකදී වූ වෙනත් ප්‍රහාර සිදු කළ අපරාධකරුවන්ට විරුද්ධව ගත් නීතික ක්‍රියා මාර්ග පිළිබඳව තොරතුරු සපයන මෙන්, අභ්‍යන්තර කටයුතු සම්බන්ධ ඇමති වන කාකා ටාර්ගාමාඩ්සේගෙන් හා ජෝජියාවේ ප්‍රොසික්‍යූට’ ජෙනරාල් වන ජියා මපාරීෂ්වීලීගෙන් මානව හිමිකම් ඇස (Human Rights Watch) නමැති සංවිධානය නිල වශයෙන් ඉල්ලීමක් කළේ 2001, ජූනි 7වනදාය. කෙසේවෙතත්, මෙම අපරාධකරුවන් කිසිවෙකුවත් තවමත් අධිකරණයක් ඉදිරියට කැඳවා නැත.

[21වන පිටුවේ කොටුව]

පොලිසියේ සහභාගිත්වය

වසර 2000, සැප්තැම්බර් 16වනදා මාර්න්‍යූලි නගරයේ පොලිසිය, සමුළුවකට ගමන් කරමින් සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන් ප්‍රවාහනය කළ බස් රථ 19ක් ඉදිරියේ මාර්ග බාධක තැබූහ. එක් බාධකයක් අසල සිටි අපරාධකරුවන් බස් රථවලට ගල් ගැසූ අතර එක් සාක්ෂිකාරියකගේ හිසට පහර වැදුණි. සාක්ෂිකරුවන් කිහිපදෙනෙකුව බස් රථයෙන් එළියට ඇදගෙන ගොස් ඔවුන්ට පහර දුන් අතර තවත් සමහරෙකුගේ බඩු බාහිරාදිය සොරකම් කරනු ලැබීය. ඒ අවස්ථාවේදීම සමුළු භූමිය විනාශ කිරීමේ චේතනාවෙන් පසු වූ මකාලාවීෂ්වීලීගේ ගෝලයන් සිටි බස් රථ කිහිපයකටම සමුළු භූමිය කරා ගමන් කිරීමට පොලිසිය පූර්ණ නිදහස දුන්හ. ආගමික පොත් පත් ටොන් එකහමාරක් පුලුස්සා දැමීමට මෙම මැර කල්ලිය සමත් විය. ඒ අසල සිටි පොලිස් නිලධාරීන්ද සාක්ෂිකරුවන්ට පහර දීමට හවුල් වූහ.

අභ්‍යන්තර කටයුතු සම්බන්ධ අමාත්‍යාංශය මෙම ප්‍රහාර ගැන පරීක්ෂණයක් පැවැත්වීමට අදහස් කරන බවත් ඒ සම්බන්ධයෙන් “නිසි ක්‍රියා මාර්ග” ගන්නා බවත් කොකෙසස් ප්‍රවෘත්ති සේවාව වාර්තා කළේය. අපරාධකරුවන්ට විරුද්ධව නඩු දැමීමට අපරාධ පරීක්ෂකවරුන්ට ස්ථිරසාර සාක්ෂි තිබේ. ජෝජියාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 25වන වගන්තිය සෑම කෙනෙකුටම ප්‍රසිද්ධියේ රැස්වීම් පැවැත්වීමට අයිතිය ඇති බවට සහතික කරයි. එහෙත් එක අපරාධකරුවෙකුටත් විරුද්ධව මෙතෙක් නඩු පවරා නැත. මෙම ප්‍රහාරය සිදු වී මාස පහකට පසු, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සමුළු දෙකක් වැළැක්වීමට මාර්න්‍යූලිහි හා සුග්ඩිඩිහි බලධාරීන්ව පෙලඹුවේ “ජෝජියාව පෙරමුණේ!” නම් දේශපාලනික කණ්ඩායමේ නායක ගුරාම් ෂරාඩ්සේ බව ෂරාඩ්සේගේ නීතිඥ කෙස්ටන් ප්‍රවෘත්ති සේවාවට දැනුම් දුන්නේය.

[21වන පිටුවේ කොටුව]

ජෝජියාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂාව සහතික කරයි

වර්ෂ 1995, අගෝස්තු 24වනදා ජෝජියාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් ආගමික නිදහස සහ කෲර ප්‍රහාරයන්ගෙන් ආරක්ෂාව ලබා දෙන බවට සහතික කරනු ලැබීය. පහත සඳහන් උපුටා දැක්වීමෙන් මෙය සනාථ වේ.

17වන වගන්තිය—(1) පුද්ගලයෙකුගේ ආත්ම ගරුත්වය කෙලෙසිය නොහැක. (2) වධ හිංසාව හෝ අමානුෂික, කෲර, අවමන්සහගත සැලකිලිවලට හෝ දඬුවම්වලට කිසිම ඉඩක් නැත.

19වන වගන්තිය—(1) සෑම පුද්ගලයෙකුටම කතා කිරීමේ, සිතීමේ, හෘදය සාක්ෂියට අනුව ක්‍රියා කිරීමේ, ආගමක් ඇදහීමේ හෝ විශ්වාසයක් ඇතුව සිටීමේ නිදහස තිබේ. (2) පුද්ගලයෙකු දරන අදහස්, ඔහුගේ විශ්වාසයන් හෝ ඔහු අදහන ආගම නිසා ඔහුට හිංසා පීඩා කිරීම තහනම්ය.

24වන වගන්තිය—(1) තොරතුරු නිදහසේ හුවමාරු කිරීමේ හා පුද්ගලික අදහස් වාචිකව, ලිඛිතව හෝ වෙනයම් ආකාරයකින් ප්‍රකාශ කිරීමේ හෝ බෙදාහැරීමේ අයිතිය සෑම කෙනෙකුම සතුයි.

25වන වගන්තිය—(1) අවි සන්නද්ධ හමුදාවට, පොලිසියට හා ආරක්ෂක භටයන්ට හැර වෙනත් ඕනෑම පුද්ගලයෙකුට අවසරයකින් තොරව (අවි නොමැතිව) ගොඩනැඟිල්ලක් තුළ හෝ එළිමහනේ ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වීමේ අයිතිය තිබේ.

[22වන පිටුවේ කොටුව]

ලෝකය විමසිල්ලෙන් බලා සිටියි

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට කරන හිංසා පීඩා නතර කිරීමට ජෝජියාව අපොහොසත් වී තිබීම ගැන ජාත්‍යන්තර ප්‍රජාවේ හැඟීම කුමක්ද?

එක්සත් ජනපදය හා මහා බ්‍රිතාන්‍යය එක්ව කළ ප්‍රකාශය මෙයයි. “යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීමක් කඩාකප්පල් කරනු ලැබීය. විශාල පිරිසකට ඉතා දරුණු ලෙස හිරිහැර කළ අතර තවත් කොටසකට රැස්වීමට පැමිණීමට ඉඩ නොදුණි. මෙම සිද්ධිය ගැනත්, ජෝජියාව තුළ ආගමික නිදහස ඇතුව කටයුතු කිරීමේ අයිතිය උල්ලංගනය කළ වෙනත් මෑත සිද්ධීන් ගැනත් අමෙරිකා එක්සත් ජනපදයේ හා මහා බ්‍රිතාන්‍යයේ තානාපති කාර්යාල තම දැඩි කනස්සල්ල පළ කර තිබේ. . . . මෙම සිද්ධීන් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන මෙන්ද සැමගේ ආගමික අයිතිවාසිකම් ගරු කෙරෙන බවට සහතික කරන මෙන්ද අපි ජෝජියාවේ රජයෙන් ඉල්ලා සිටිමු.”

යුරෝපීය සංගමයේ ජෝජියානු පාර්ලිමේන්තු ඒකාබද්ධ කමිටුවේ නියෝජිත පිරිසෙහි සභාපති අ’ස්‍යූලා ස්ලයිකර් මෙසේ පැවසීය. “මාධ්‍යවේදීන්ට, මානව හිමිකම් උදෙසා සටන් කරන්නන්ට හා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව කර ඇති වත්මන් සැහැසික ප්‍රහාර සම්බන්ධයෙන් යුරෝපීය පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිස වෙනුවෙන් මගේ බලවත් සංවේගය ප්‍රකාශ කරමි. . . . මෙවැනි ක්‍රියාවන් මා සලකන්නේ මූලික මිනිස් අයිතිවාසිකම්වලට එරෙහිව කරන නීච ප්‍රහාරයන් හැටියටයි. මානව හිමිකම් හා මූලික නිදහස ආරක්ෂා කිරීමේ සම්මුතියට අත්සන් තබා ඇති බැවින් ජෝජියාව එම හිමිකම් රැකීමට බැඳී සිටී.”

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව කෙරෙන ප්‍රහාර ගැන යුරෝපයේ ආරක්ෂාව හා සහයෝගිතාව සම්බන්ධ එ. ජ. කොමිසම ජනාධිපති ෂෙවාඩ්නාඩ්සේට මෙසේ ලීවේය. “මෑත සිදුවීම් ඇත්ත වශයෙන්ම බිය උපදවන අතර එය ජෝජියාවේ තත්වය පාලනය කළ නොහැකි තත්වයකට පත් වන බවට ලකුණකි. කිසිදු ක්‍රියා මාර්ගයක් නොගැනීම සුළුතරයක්ව සිටින ආගමික කණ්ඩායම්වලට විරුද්ධව ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට උල්පන්දම් දෙන අයට දිගින් දිගටම තම අපරාධවල යෙදීමට ‘බල පත්‍රයක් ලබා දීමක්’ වැන්න. රටේ නායකයා වශයෙන් මහජනයාට මෙන්ම ජෝජියාවේ නිලධාරීන්ට හොඳ ආදර්ශයක් තබමින් මෙම ප්‍රබල මෙන්ම පැහැදිලි පණිවිඩ දෙක ඔවුන්ට කාවද්දවයි කියා අපි බලාපොරොත්තු වෙමු. (1) අනිත් ආගම් පිළිබඳව අප දරන පෞද්ගලික මතය කුමක් හෝ වේවා එම ආගම්වල සාමාජිකයන්ට විරුද්ධව කොයිම ආකාරයේවත් සැහැසික ක්‍රියාවක් සිදු කළ නොහැක. (2) එවැනි සැහැසික ක්‍රියාවන් සිදු කරන අයට (විශේෂයෙන්ම මෙවන් තුච්ඡ ක්‍රියාවලට අනුබල දෙන හෝ ඒවාට සහභාගි වන පොලිස් නිලධාරීන්ට) නීතියෙන් දිය හැකි උපරිම දඬුවම් ලැබෙනු ඇත.” මෙම ලිපියට එ.ජ. කොන්ග්‍රසයේ සාමාජිකයන් හත්දෙනෙක් අත්සන් තැබූහ.

යුරෝපයේ ආරක්ෂාව හා සහයෝගිතාව සම්බන්ධ කොමිසමේ උපසභාපති හා එ.ජ. කොන්ග්‍රසයේ සාමාජිකයෙක් වන ක්‍රිස්ටෆ’ එච්. ස්මිත් මෙසේ ප්‍රකාශ කළේය. “ජෝජියාව තමන් පැවසූ ලෙස ආගමික නිදහස හා මානව හිමිකම් ආරක්ෂා නොකරන්නේ මන්ද? . . . පොත් පත් පිලිස්සීම හෙල්සින්කි ගිවිසුමට මුළුමනින්ම පටහැනි ක්‍රියාවක් වන අතර එයින් නාට්සි පාලන සමයේ පොත් පත් පිලිස්සීම් සිදු කළ අන්දම මෙම කොමිසමේ ඇතැමෙකුගේ මතකයට නංවන බව නිසැකයි.”

මානව හිමිකම් ඇස නමැති සංවිධානයේ යුරෝපීය හා මධ්‍යම ආසියානු කොට්ඨාසයේ වැඩ බලන විධායක සභාපති මෙසේ ලීවාය. “සුළුතරයක්ව සිටින ආගමික කණ්ඩායම්වලට විරුද්ධව සැහැසික ක්‍රියා සිදු කරන අයට නීතියෙන් දඬුවම් ලබා දීමට ජෝජියානු ආණ්ඩුව අසමත් වී තිබීම තවත් සැහැසික ක්‍රියා රැසකට මඟ පෑදිය හැකි බව මානව හිමිකම් ඇස තම බිය සැක පළ කරයි. මෙම ප්‍රහාර වහා නවත්වන මෙන්ද ඒවාට වගකිව යුත්තන්ට නිසි දඬුවම් දෙන මෙන්ද අපි ඔබගෙන් උදක්ම ඉල්ලා සිටිමු.”

ලෝකය මෙදෙස විමසිල්ලෙන් බලා සිටියි. ජෝජියාව තමා අත්සන් තැබූ ජාත්‍යන්තර ගිවිසුම්වලට එකඟව කටයුතු කරාවිද? ඇත්ත වශයෙන්ම ජෝජියාවේ කීර්ති නාමය පවතින්නේ අවදානම් සහිත තත්වයකයි.

[23වන පිටුවේ කොටුව]

යුරෝපීය අධිකරණයට අභියාචනයක්

වර්ෂ 2001, ජූනි 29වනදා යෙහෝවාගේ සාක්ෂිකරුවෝ යුරෝපයේ මානව හිමිකම් අධිකරණයට නඩුවක් භාර දුන්හ. ජෝජියාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන කිසිදු ක්‍රියා මාර්ගයක් නොගැනීම පිළිබඳව එහි ප්‍රශ්නයක් මතු කර තිබුණි. ඉන් දවස් කිහිපයකට පසු, එනම් 2001, ජූලි 2වනදා යුරෝපීය අධිකරණය ඊට ප්‍රතිචාරය දැක්වීය. මෙම නඩුවට “ප්‍රමුඛත්වය දිය යුතු” යයි නීතික මණ්ඩලයේ සභාපති පැවසූ බව අධිකරණයේ ලේකම් ලියුවේය.

[18වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

රුසියාව

ජෝජියාව

කළු මුහුද

තුර්කිය

[18වන පිටුවේ පින්තූරය]

වර්ෂ 2001, මැයි 13වනදා - මැරවරයෙකු විසින් නිවසට ගිනි තැබීම නිසා උන්හිටි තැන් අහිමි වූ ෂාමෝයාන් පවුල

[18වන පිටුවේ පින්තූරය]

වර්ෂ 2001, ජූනි 17වනදා - යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට සහභාගි වෙමින් සිටියදී දරුණු ප්‍රහාරයකින් විපතට පත් වූ ජියෝජි බාගීෂ්වීලී

[19වන පිටුවේ පින්තූරය]

වර්ෂ 2001, ජූලි 11වනදා - යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට සහභාගි වෙමින් සිටියදී හිසට, පිටට හා ඉල ඇටවලට දරුණු පොලු පහර ලැබූ ඩේවිඩ් සලාරිඩ්සේ

[23වන පිටුවේ පින්තූරය]

වර්ෂ 2000, ජූනි 28වනදා - ට්පිලිසිහි මැරයෝ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පොත් පත් ගබඩාවක් පුලුස්සා දැමූහ

[23වන පිටුවේ පින්තූරය]

වර්ෂ 2000, අගෝස්තු 16වනදා - ග්ලඩානී-නාඩ්සාලාඩවී උසාවියේදී යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු වන කැනේඩියානු ජාතික වොරන් ෂූෆෙල්ට්ට වාසීලී මකාලාවීෂ්වීලීගේ ගෝලයෙක් පහර දුන්නේය

[24වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

AP Photo/Shakh Aivazov