Skip to content

පටුනට යන්න

ප්‍රකෝපකාරි යුගයක සුල මුල

ප්‍රකෝපකාරි යුගයක සුල මුල

ප්‍රකෝපකාරි යුගයක සුල මුල

චෙක් ජනරජයේ ප්‍රාග් නුවර බීම හලක අසුන්ගෙන සිටි මිනිසෙකුට වෙඩි තබා මරා දමනු ලබයි. ඒ මන්ද? මේ තැනැත්තා ළඟ තිබූ කැසට් යන්ත්‍රයෙන් නිකුත් වූ මහා සංගීත හඬ ඔහුට වෙඩි තැබූ තුවක්කුකරුට කන්දොස්කිරියාවක් වූ නිසාය. දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හි මංසන්ධියකදී මෝටර් රථයක් පදවාගෙන ගිය අයෙකුට හොකී පිත්තකින් පහර දී මරා දමයි. එයට හේතුව මැරුම් කෑ පුද්ගලයාගේ මෝටර් රථයේ ඉදිරි පහන්වලින් නිකුත් කළ ආලෝකය මගින් මිනීමරුවාගේ දෑස නිලංකාර වීමෙන් ඇති වූ කෝපයයි. ඕස්ට්‍රේලියාවේ ජීවත් වන බ්‍රිතාන්‍ය ජාතික හෙදියකගේ නිවසේ ඉදිරි දොරටුවට පයින් ගසා ගෙට ඇතුල් වූ ඇගේ පරණ පෙම්වතා ඇගේ සිරුර පෙට්‍රල්වලින් නහවා ඇයට ගිනි තබා පලා යයි.

ප්‍රකෝපය හා සම්බන්ධ මේ පුවත්, එනම් මහා මාර්ගයේදී විදහාපෙන්වන ප්‍රකෝපකාරි හැසිරීම, පවුල් තුළ දක්නට ලැබෙන ප්‍රකෝපකාරි ස්වභාවය, ගුවන් මඟීන් සෙසු මඟීන් සමඟ ප්‍රකෝපකාරි ලෙස හැසිරීම අතිශයෝක්තියෙන් කියා පෑමක්ද? එසේ නැත්නම්, ගොඩනැඟිල්ලක බිත්තියක ඇති වන පිපිරීම් මෙන්, සමාජයේ සැඟවී ඇති බරපතළ ගැටලුවක දෘශ්‍යමාන අනතුරක ලකුණුද මේවා? ස්ථිර සාක්ෂිවලින් අඟවන්නේ අවසානයේ කී අදහස සැබෑවක් බවයි.

මහා මාර්ගවල, “ප්‍රචණ්ඩකාරි බව නිසා සිදු වී ඇති මාර්ග අනතුරු සංඛ්‍යාව 1990 සිට සියයට 7කින් පමණ වැඩි වී තිබේ” යයි අමෙරිකානු රථවාහන සංගමයේ (AAA) වාහන ආරක්ෂාව සඳහා පිහිටුවා ඇති පදනමෙන් මෑතක නිකුත් වූ වාර්තාවක සඳහන් වෙයි.

නිවස තුළද ප්‍රකෝපය පැතිර ගොස් ඇත. නිදසුනක් වශයෙන්, 1998 වසර තුළ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ වාර්තාගත සිද්ධීන්වල සියයට 50ක වැඩිවීමක් දක්නට තිබිණි යයි ඕස්ට්‍රේලියාවේ නියූ සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය කියා සිටියේය. එම රටේ විවාහ වී සිටින හෝ පුරුෂයෙකු සමඟ එකට ජීවත් වන සෑම ස්ත්‍රීන් හතරදෙනෙකුගෙන් එක්කෙනෙක්ම ඇගේ සහකරුවාගේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට ගොදුරු වී ඇත.

ගුවන් ගමන්වලදීද තත්වය ඊට සමානයි. ඇතැම් ගුවන් මඟීන් හිටි හැටියේම ගුවන් යානයේ කාර්ය මණ්ඩලය, මඟීන් මෙන්ම ගුවන් නියමුවන් වෙතටද තර්ජනය කර හිටි හැටියේ ඔවුන් වෙතට කඩා පැන තිබේ. එමනිසා, ලෝකයේ සමහරක් ප්‍රධාන ගුවන් සමාගම් තම යානාවල කාර්ය මණ්ඩලයට විශේෂ බඳින පටි සපයා ඇත. එසේ කර ඇත්තේ හදිසියේ කඩා පනින ප්‍රචණ්ඩකාරි මඟීන් ආසනවලම තබා එම පටිවලින් බැඳ තැබීමටයි.

මිනිසුන් එන්ට එන්ටම තමන්ගේ චිත්තවේගී හැඟීම් පාලනය කරගන්ට බැරි තත්වයකට පත් වන බවක් පෙනෙන්ට තිබෙන්නේ මන්ද? ඔවුන් මෙම ප්‍රකෝපකාරි ක්‍රියාවලට පෙලඹෙන්නේ ඇයි? ඇත්තටම, මෙම හැඟීම් පාලනය කරන්නට පුළුවන්ද?

ප්‍රකෝපය ඉස්මතු වන්නේ ඇයි?

ප්‍රකෝප වීම යනු තදබල කෝපාවිෂ්ට හැඟීම් දැනීම හෝ පිට කිරීමයි. මේ අනුව, ප්‍රකෝපකාරි ක්‍රියාවක් සිදු වන්නේ, කෝපය තමා තුළ ඇතිවීමට ඉඩහැර කෝපාවිෂ්ට චිත්තවේගී හැඟීමක් ප්‍රචණ්ඩකාරි ලෙස පිට කිරීමෙනි. “රියැදුරන් ප්‍රචණ්ඩ ක්‍රියාවලට පෙලඹෙන්නේ නිකම්ම තනි සිද්ධියක් නිසා පමණක්ම නොවේ. ඒ වෙනුවට, ඒවා ඔවුන්ගේ පෞද්ගලික ආකල්පවල ප්‍රතිඵලයක් ලෙස සහ එම රියැදුරාගේ ජීවිතයේ ඇති වී තිබූ මානසික පීඩනය ක්‍රම ක්‍රමයෙන් තීව්‍රවීම නිසා ඇති වන්නක්” යනුවෙන් වාහන ආරක්ෂාව පිළිබඳ AAA ආයතනයේ සභාපති වන ඩේවිඩ් කේ. විල්ස් සඳහන් කරයි.

මානසික පීඩනය ඇතිවීමට හේතු වන්නේ අප සෑම දවසකම මනසට උරාගන්නාවූ දහසකුත් එකක් තොරතුරු අපගේ මනස තුළ ගොඩ ගැසීමයි. ඩේවිඩ් ලුවිස් විසින් රචිත තොරතුරු අතිරික්තය (Information Overload) නමැති පොතේ පිටුපස කවරයේ මෙසේ සඳහන් වෙයි. “වත්මන් රැකියාලාභීහු නොයෙක් දත්තවලට යට වී සිටිති. . . . ඉමක් කොනක් නැති තොරතුරු ඔවුන්ගේ මනස්වල ගොනු වෙයි. . . . මේ නිසා දැඩි මානසික පීඩනයකට යට වී දේවල් පරෙස්සමින් තෝරා බේරාගැනීමට අපොහොසත්ව, මානසිකව දුබලව සිටිති.” මෙම ඉමක් කොනක් නැති දත්තයන්වලට එක් උදාහරණයක් ගෙනහැර දක්වමින් එක් පුවත්පතක් මෙසේ සටහන් කළේය. “දිනපතා පුවත්පතක අඩංගු වන තොරතුරු, 17වන සියවසේ විසූ සාමාන්‍ය පුද්ගලයෙකු තම ජීවිත කාලය පුරා උරාගන්නා තොරතුරුවලට සමානයි.”

අපේ මුඛයට ගන්නා දේවල්ද කෝපය රෝපණය කිරීමට ඉවහල් විය හැකියි. සිගරට් බීම, මත්පැන් පානය සහ සෞඛ්‍යයට අහිතකර ආහාර වේලවල් පුද්ගලයෙකුව කෝපාවිෂ්ට තත්වයකට පත් කිරීමට හේතු වන බවක් එන්ට එන්ටම දකින්ට ලැබේයයි කරන ලද මහා පරිමාණයේ අධ්‍යයන දෙකකින් පෙන්වා තිබේ. දසත පැතිර ඇති මේ ජීවන රටා හා පුරුදු මානසික පීඩනයට සහ අතෘප්තියට දායක වෙයි. මෙසේ අතෘප්තියට පත් කෙනෙක් එය පිටතට දමන්නේ අසභ්‍ය වචන පිට කිරීමෙන්, නොඉවසිලිමත් ගතියකින් සහ නුරුස්නා ගතියකින් ක්‍රියා කිරීමෙනි.

නරක පුරුදු සහ චිත්‍රපට

අසංවර හැසිරීම සහ අපරාධ අතර ඇති සම්බන්ධය ගැන කතා කරමින් ඕස්ට්‍රේලියානු අපරාධ විද්‍යා ආයතනයේ (AIC) අධ්‍යක්ෂක ආචාර්ය ඇඩම් ග්‍රේකාර් මෙසේ නිරීක්ෂණය කරයි. “ගෞරවය සහ ආචාරශීලීකම කෙරෙහි සමාජයේ අවධානය අලුතින් යොමු කරවීම සුළු අපරාධ අවම කිරීමේ වඩාත් වැදගත්ම පියවර විය හැකියි.” මෙම ආයතනය දිරිගන්වන්නේ ඉවසිලිවන්ත වීමට, අනුන්ගේ අදහස් උදහස් සැලකිල්ලට ගැනීමට සහ අසභ්‍ය වචන පිට කිරීමෙන් වැළකී සිටීමටයි. එසේ කිරීමට අසමත් වීම නිසා, නොහික්මුණු හැසිරීම සාපරාධී හැසිරීමකට පෙරළෙයි. එහෙත් හාස්‍යයට කරුණක් නම්, අදදින බොහෝදෙනෙකු තමන්ගේ අපේක්ෂා භංගත්වය සහ මානසික පීඩනය සමනය කරගැනීමට තෝරාගන්නා විනෝදාස්වාදයන් මගින් ඔවුන්ගේ නුරුස්නා ගතිය සහ ප්‍රකෝපය තව තවත් වැඩිවීමයි. ඒ කෙසේද?

“ළමෝ සහ වැඩිහිටියෝ සිනමා හල් කරා එක් රොක් වී මරණය සහ විනාශය ප්‍රදර්ශනය කරන චිත්‍රපට නරඹති. ප්‍රචණ්ඩ ක්‍රියා ඇතුළත් වීඩියෝ පට වෙළඳ පොළේ බහුලය. ඒවා උණු කැවුම් මෙන් විකිණී යයි. ‘තුවක්කු, යුද්ධ ටැංකි වැනි සෙල්ලම් බඩු’ බොහෝ දරුවන් අතර ජනප්‍රියයි. සෑම අවස්ථාවකදීම දෙමාපියන් ඊට අකමැති වුවත් තත්වය තවමත් එසේම පවතී. රූපවාහිනියේ පෙන්වන සාපරාධී ජවනිකා ඇතුළත් දර්ශන වැඩිහිටියන් මෙන්ම ළමුන්ද නරඹන්නේ මහත් ආශාවෙනි. මෙය සිහියට ගත යුතු වන්නේ සංස්කෘතික සාරධර්ම බෙදාහැරීමෙහිලා රූපවාහිනිය විශේෂ කාර්ය භාරයක් ඉටු කරන නිසයි” කියා AIC වාර්තාවක් සඳහන් කරයි. වීථිවල සහ නිවෙස්වල සිදු වන ප්‍රකෝපකාරි සිද්ධීන්වලට මෙය සම්බන්ධ වන්නේ කෙසේද? එම වාර්තාව මෙසේ අවසන් කරයි. “සමාජය ප්‍රචණ්ඩ ක්‍රියාවලට ඉඩහරින තරමට, එම සමාජය තුළ සිටින පුද්ගලයන්ගේ සාරධර්මද පිරිහෙයි.”

කෝපය පිට කිරීම හුදෙක් මානසික පීඩනය සමනය කිරීමේ ස්වාභාවික ක්‍රමයක් බවත් එය මේ පීඩාකාරි කලහකාරි සමාජය තුළ නොවැලැක්විය හැකි ප්‍රතික්‍රියාවක් බවත් ඇතැම්හු තර්ක කරති. එසේ නම්, “කේන්තියක් ආවාම, ඒක පිට කරන්න” යන ජනප්‍රිය කියමන ඇත්තටම හොඳ අවවාදයක්ද?

ප්‍රකෝපය පාලනය කළ යුතුද?

ගිනි කන්දක් පුපුරා යන විට ඒ අවට තිබෙන දේ විනාශ වී යන්නාක් මෙන්, දැඩි කෝපයකින් සිටින පුද්ගලයෙක් තමා අවට සිටින්නන්ට මහත් හානියක් පමුණුවයි. තවද ඔහු තමාටද මහත් හානි පමුණුවා ගනියි. කිනම් ආකාරයෙන්ද? “කෝපයෙන් ක්‍රියා කිරීම තව තවත් දරුණු හැසිරීමට මඟ පාදයි” යනුවෙන් අමෙරිකානු වෛද්‍ය සංගමේ ජර්නලය (JAMA) සඳහන් කරයි. කෝපයෙන් ක්‍රියා කරන මිනිසුන්, “එසේ ක්‍රියා නොකරන පුද්ගලයන්ට වඩා වයස අවුරුදු 50 වන විට මිය යෑමට ඉඩ තිබෙන බවක් පෙනී යන්නේ” යයි එක්තරා පර්යේෂණයකින් හෙළි වී තිබේ.

අමෙරිකානු හෘද සංගමය එයට සමාන දෙයක් සඳහන් කරයි. “තම කෝපය පාලනය කරන මිනිසුන්ට වඩා කෝපය ඉක්මනින් පිට කරන අයට ආඝාතය (stroke) සෑදීමේ අවදානම දෙගුණයකින් වැඩිය.” මෙම අනතුරු ඇඟවීම් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම අදාළ වෙයි.

වඩාත් ප්‍රායෝගික වන්නේ කිනම් අවවාදයද? ලෞකික අධිකාරීන් සපයන අවවාද සහ මිනිස් සබඳතා ගැන කියාපාන අධිකාරියක් වූ, වැඩියෙන්ම බෙදාහැර තිබෙන බයිබලය සපයන අවවාද අතර සමානකම් සැලකිල්ලට ගන්න.

කෝපය පාලනය කරගන්න—ප්‍රකෝපයෙන් වැළකෙන්න

ආචාර්ය රෙඩ්ෆඩ් බී. විලියම්ස් JAMAහි මෙසේ සඳහන් කරයි. “‘කේන්තියක් ආවාම, ඒක පිට කරන්න’ යන සරල අවවාදය පෙනෙන විදිහට එතරම් උපකාරවත් වන එකක් නොවේ. ඊට වඩා බොහෝ වැදගත් වන්නේ ඔබගේ කෝපය හොඳින් තේරුම්ගෙන එය පාලනය කරගැනීමයි.” ඔබට ඔබෙන්ම මෙසේ ඇසීමට ඔහු යෝජනා කරයි. “(1) මේ තත්වය මට වැඩදායකද? (2) මගේ සිතිවිලි සහ හැඟීම් සැබෑ කරුණුවලට ගැළපෙනවාද? (3) මගේ මේ කෝපය පහ කරනු පිණිස, මට මේ තත්වය යම් තරමකට වෙනස් කරගන්ට පුළුවන්ද?”

හිතෝපදේශ 14:29; 29:11; NW “කෝපයට ප්‍රමාදවන්නා මහත් විචාර බුද්ධියක් සතු කෙනෙකි. නමුත් ඉවසීම නැත්තා මෝඩකම ඉස්මතු කරයි. අඥානයා තමාගේ මුළු ස්වභාවය පිටතට දමයි, නමුත් ඥානවන්ත පුද්ගලයා අවසානය දක්වා එය සන්සුන්ව තබාගනී.”

එපීස 4:26 “කෝපවුණත් පව් නොකරන්න. ඉර බසින තුරු නුඹලාගේ කෝපය පවතින්ට ඉඩ නාරින්න.”

ෆ්‍රෑන්ක් ඩොනවන්, කෝපය සමඟ කටයුතු කිරීමේදී පුරුෂයන්ට තමන් සඳහා සපයාගත හැකි විසඳුම් (Dealing With AngerSelf-Help Solutions for Men) නමැති තම පොතේ මෙසේ නිර්දේශ කරයි. “කෝපයෙන් බේරී යෑම නැතහොත්, ඔබේ කෝපයට හේතු පාදක වූ ස්ථානය හෝ පුද්ගලයන්ගෙන් ඉවත්ව යෑම කෝපයේ උච්චාවස්ථාවට ආ කල ඉන් බේරීම සඳහා ඉතාම වැදගත් වූද ඉතා වටිනාකමක් ඇත්තාවූද උපක්‍රමයකි.”

හිතෝපදේශ 17:14 “ඩබරය පටන්ගැන්ම වක්කඩක් අරින්නාක්මෙන්ය. එබැවින් තරඟය ඇවිස්සෙන්ට පළමුවෙන් එය අත්හරින්න.”

ද හ්‍යුමනිස්ට් යන සඟරාවට ලියමින් බර්ට්‍රම් රොත්ස්චයිල්ඩ් මෙසේ සඳහන් කරයි. “කෝපයට. . . වගකිව යුත්තේ පෞද්ගලිකවම අපිමයි. මන්ද කෝපවීමට ඉවහල් වන හේතු පවතින්නේ අපේම මනසේය. කෝපය ඔබට ප්‍රයෝජනදායක වූ අවස්ථා ස්වල්පය සමඟ තත්වය දරුණු අතට හැරවූ අවස්ථාවන් බොහෝමය සසඳද්දී පැහැදිලි වන්නේ කෝප වී ක්‍රියා කිරීම නිෂ්ඵල දෙයක් බවයි. කෝපයෙන් ක්‍රියා කරනවාට වඩා කෝප නොවී සිටීම වඩාත් හොඳය.”

ගීතාවලිය 37:8 “තරහෙන් වැළකී උදහස අත්හරුව. කල නොකිරෙව, එයින් හටගන්නේ නපුරු ක්‍රියා පමණක්ය.”

හිතෝපදේශ 15:1 “මෘදු උත්තරයකින් කෝපය පහ වෙයි. එහෙත් කර්කශ වචනයකින් තරහ හටගනියි.”

හිතෝපදේශ 29:22 “තරහකාර මනුෂ්‍යයෙක් තරඟ උපදවයි. කෝප වෙන මනුෂ්‍යයෙක්ද බොහෝ වරද කරන්නේය.”

ලොව වටා වෙසෙන මිලියන ගණනක් වූ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ඉහත සඳහන් උපදෙස හා එකඟ වෙති. මෙවන් ප්‍රකෝපකාරි යුගයක අප ජීවත් වුවත්, බයිබලයේ සඳහන් අවවාද පිළිපැදීම ඇත්තටම ප්‍රායෝගික දෙයක් බව ඔබටම දැකගැනීම සඳහා ඔබගේ පළාතේ තිබෙන රාජ්‍ය ශාලාවට යන මෙන් අපි ඔබට ආරාධනා කරමු.

[29වන පිටුවේ පින්තූරය]

පුපුරා යන ගිනි කන්දක් මෙන්, පාලනය නොකළ ප්‍රකෝපයෙන් හැසිරෙන පුද්ගලයෙක්ද මහත් හානි පමුණුවයි

[30වන පිටුවේ පින්තූරය]

බයිබලයේ අවවාද සැබවින්ම ප්‍රායෝගිකය