Skip to content

පටුනට යන්න

වියදම බැලුවේ වේල්ල බැඳලයි

වියදම බැලුවේ වේල්ල බැඳලයි

වියදම බැලුවේ වේල්ල බැඳලයි

විදුලි මෙන්ම ජල අවශ්‍යතාව යන දෙකටම විසඳුම හැටියට වරක් ඉහ මුදුනින් සැලකූ වේලි, දැන් දැන් බොහෝ රටවල හොඳ හිත නැති කරගනිමින් සිටී. වේලි සඳහා ගිය “වියදම හා සසඳන කල ඉන් ලැබූ ප්‍රයෝජන ඊට වැඩියැයි සිතීම උගහටැයි” වර්ල්ඩ් වොච් සඟරාව කියයි. “ලොව පුරා දැනට (අඩි 50ට වඩා උසැති) විශාල වේලි 45,000කට වඩා ඉදි කර ඇතත්, මෙමගින් සිදු වී ඇති අලාභය කිසිවෙකු සිතුවාට වඩා වැඩි බව දැක්වෙන පර්යේෂණ දිනෙන් දින වැඩි වන” බවද එම සඟරාව පවසයි. සිදු වී ඇති සමහර අලාභයන් මොනවාද?

ලෝකයේ ජලමාර්ගවලින් සියයට 60කම, ඒ හා ආශ්‍රිත පාරිසරික තත්වය බිඳ වැටීම ඉන් එක් විශාලම අලාභයකි. වර්ල්ඩ් වොච් තවදුරටත් මෙසේ කියයි. “පරිසර විද්‍යාත්මකව ගනිද්දී, ගංගාවන් අනතුරේ පවතී. ලෝකයේ මිරිදිය පරිසර පද්ධතිය පිරිහීමට පත් කරවන තරමටම එක්කෝ ගංගාවන් සිඳී ගිහින්, එසේත් නැතිනම් වෙන මඟකට හරවා දමා, එසේත් නැත්නම් දූෂණය වී හෝ වේලි බැඳ අවහිර කර දමා ඇත. ලෝකයේ පිහිටි ගංගාවන්ගෙන් හරි අඩකට වඩා, අඩුම තරමින් එක් විශාල වේල්ලක් මගින් හෝ නවතා දමා ඇත. . . . මේ අනුව, ගංගාශ්‍රිත පරිසර පද්ධතියේ සංතුලනය බිඳ හෙළීම සම්බන්ධයෙන් වේලි වගකිව යුතුය. නිදසුනක් වශයෙන්, ලොව මිරිදිය මසුන්ගෙන් පහෙන් එකක්වත් දැන් අනතුරට ලක් වී හෝ වඳ වී ගොස් ඇත.” එමෙන්ම, සැමන් වැනි සාගර මසුන්ටද මෙය බලපා ඇත. බිත්තර දැමීමට උඩුගං බලා පිහිනන සැමන් මත්ස්‍යයාට වේල්ලෙන් එහාට පැනගැනීමට නොහැකි වීම උන්ගේ අනාගතයට විශාල තර්ජනයකි.

ජල විදුලි බලය පරිසර දූෂණයෙන් තොරයැයි එදා බොහෝදෙනා සිතුවද එය අද ප්‍රශ්නාර්ථයකි. ඒ මන්ද? ජලාශ වෙත ගලා එන දිරාගිය ඓන්ද්‍රීය ද්‍රව්‍ය මගින් හරිතාගාර වායු විශාල වශයෙන් මුදාහැරෙන නිසාය. සමාජීය හානිය තවත් පැත්තකි. වේලි බැඳීම නිසා මිනිසුන් දශලක්ෂ 40ත් 80ත් අතර සංඛ්‍යාවක් අස්ථානගත වී ඇත. එය සමහර රටවල සිටින මුළු ජනගහනයටත් වඩා වැඩි සංඛ්‍යාවකි. බොහෝවිට මෙය සිදු වී තිබෙන්නේ ලෝකයේ වඩාත්ම සරු බිම් පෙදෙස්වලය.

වේලිවල ප්‍රයෝජන සම්බන්ධයෙන් තිබූ ආකල්ප දැන් පිට අත පෙරළෙමින් තිබේ. නිදසුනක් වශයෙන්, එක්සත් ජනපදය පුරා පැතිර ඇති ජල මාර්ග හරහා බැඳි විවිධ ප්‍රමාණයේ වේලි 75,000ක් වැනි විශාල සංඛ්‍යාවක් තිබේ. එහෙත් දැන්, වේලි ඉවත් කිරීමේ සහ කඩා බිඳ දැමීමේ ලොව දැවැන්තම කුළු ගෙඩිය බවට එක්සත් ජනපදය පත්ව සිටියි. ඊට අමතරව, ලෝක බැංකුවද වේලි බැඳීමේ ව්‍යාපෘතිවලට සපයන අරමුදල් ගැන දෙවතාවක් සිතන්ට පටන්ගෙන ඇත.

වේලි යම් යම් වැදගත් අරමුණු ඉටු කරන බව නොකිවමනායි. දිගටම එසේ කරනු ඇති බවත් සහතිකයි. එහෙත්, මිනිසා අත ගැසූ වෙනත් බොහෝ ව්‍යාපෘතීන් මෙන් වේලි බැඳීමේ වියරුවද ඔහුගේ ඌන බුද්ධියත් අවිචාරවත්බවත් පෙන්වමින් “ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන නියම කිරීම අයිති නැත” යන ප්‍රොපේත යෙරෙමියාගේ වචන සනාථ කරයි.—යෙරෙමියා 10:23.

[31වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

FOTO: MOURA