Skip to content

පටුනට යන්න

සදාතනික බැම්මක් සේ සැලකිය යුතු විවාහය

සදාතනික බැම්මක් සේ සැලකිය යුතු විවාහය

සදාතනික බැම්මක් සේ සැලකිය යුතු විවාහය

බොහෝ චිත්‍රපටවල දක්නට ලැබෙන ජයග්‍රාහී අවසානය නම් විවාහයයි. පෙම්වතා හා පෙම්වතිය එකතු වන අතර ඔවුන් විවාහ වී “සතුටින් කල් ගෙවනවා.” සාමාන්‍යයෙන් කතාව අවසන් වන්නේ එතැනින්ය.

නමුත් සැබෑ ජීවන ගමනේ අවසානය විවාහය නොවේ. දෙදෙනෙකු එක් වන විට එය අලුත් ජීවිතයක පටන්ගැනීමක් පමණයි. සෑම යුවළක්ම බලාපොරොත්තු වන්නේ දේශනාකාරයා 7:8 පවසන පරිදි “යම් දෙයක අන්තිමය එහි පටන්ගැන්මට වඩා හොඳ” වේවි කියායි.

සදාතනික බැම්මක්

විවාහය දුර දක්නා නුවණින් සැලසුම් කළ යුතු කටයුත්තකි. විවාහ බැම්ම කල්පවතින හා තෘප්තිමත් එකක් වීමට නම් එය ශක්තිමත් අත්තිවාරමක් මත ගොඩනැඟූ එකක් විය යුතුයි. එසේ විය යුත්තේ විවාහයට පසු මුහුණ පෑමට සිදු වන පීඩන විවාහයට පෙර ඒවාට වඩා වැඩි නිසයි. ක්‍රිස්තියානියෙකුට “විවාහය සාර්ථක වූයේ නැත්නම් දික්කසාද වෙනවා” යන හැඟීමෙන් විවාහයකට ඇතුල් විය නොහැකියි. එයට හේතුව වන්නේ විවාහය සදාතනික බැම්මක් වන නිසයි.

දික්කසාද වීම සුදුසුද නැද්ද කියා යේසුස්ගෙන් ඇසූ ප්‍රශ්නයේදී ඔහු පැහැදිලිවම පැවසුවේ, විවාහය ස්ථිර බැම්මක් බවයි. යේසුස් උත්තර දුන්නේ මේ ආකාරයටයි. “පටන්ගැන්මේ සිට ඔවුන් මැවූ [තැනැත්තා] පුරුෂයෙක්ද ස්ත්‍රියක්ද වශයෙන් ඔවුන් මැවූ බවත්, ඒ නිසා මනුෂ්‍යයෙක් තමාගේ පියා සහ මවු අත්හැර තමාගේ භාර්යාවට ඇලුම් වන්නේය කියාද ඒ දෙදෙනා එක මාංසය වන්නෝය කියාද කී බවත් ඔබ කියෙව්වේ නැද්ද? මෙසේ ඔවුහු එවක් පටන් දෙදෙනෙක් නොව එකම මාංසය වෙති. එබැවින් [දෙවි] එක් කළ දෙය මනුෂ්‍යයා වෙන් නොකෙරේවා.”—මතෙව් 19:4-6.

මංගල දිනයෙන් පසු

ක්‍රිස්තියානියෙකුගේ ජීවිතයේ ගන්නා අතිවැදගත්ම පියවර දෙවිට කැපවීම වන අතර, දෙවෙනි තැන හිමි වන්නේ විවාහයටයි. කැපවීම මගින් කෙනෙක් දෙවි සමඟ ඇති කරගන්නා සදාතනික බැම්ම, බව්තීස්මය මගින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරයි. ඒ හා සමානව, දෙදෙනෙකු අතර ඇති වන සදාතනික බැඳීම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ විවාහය මගිනි. දෙවිට කැපවීමේදී හෝ විවාහ ගිවිසගැනීමේදී දෙගිඩියාවෙන් තීරණ ගැනීම කොහෙත්ම සුදුසු නැත. එම නිසා කෙනෙකු විවාහ වීමට තීරණය කිරීමේදී සහකාරයාගේ හෝ සහකාරියගේ විශ්වාසයන්, ඉලක්ක, ආකල්ප හා මානසික ස්වභාවය ගැන සැලකිලිමත් විය යුතුයි.

විවාහයට සූදානම් වීමේදී කරුණාවන්ත වීම, අන්‍යයන් ගැන සැලකිලිමත් වීම හා සහයෝගයෙන් කටයුතු කිරීම අවශ්‍යයි. විවාහයෙන් පසු ප්‍රීතිමත්, සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීමට මෙම ගුණාංග ඊටත් වඩා කොපමණ වැදගත් වෙයිද? අලුතෙන් විවාහ වූ දෙදෙනෙකු අතර ආදර හැඟීම් තිබීම ස්වාභාවිකයි. ප්‍රේමය ‘තමාගේම කාරණා සොයන්නේ නැති’ බව මතක තබාගැනීම එය සෑමදාම රැකගැනීමට උපකාරි වේ. මෙම ගුණාංග වසරක් වසරක් පාසා අදාළ කරගන්නා විට “ප්‍රේමය කිසිකලක පහ වන්නේ නැත.” (1 කොරින්ති 13:5, 8) සැබෑ ප්‍රේමය ඇති තැන බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, මෘදුකම හා ආත්ම දමනය වැනි ශුද්ධාත්මයේ ඵල විදහාපෙන්වීම පහසුයි. මෙම ගුණාංග යුග දිවියක් සාර්ථක කරගැනීමට අත්‍යවශ්‍ය වේ.—ගලාති 5:22, 23, NW.

විවාහයෙන් පසු මෙම ගුණාංග දිගටම පිළිබිඹු කිරීම අභියෝගයකි. නමුත් මෙය සාර්ථක කරගැනීමේ රහස නම් ඔබ විවාහ වූ තැනැත්තාට ප්‍රේම කිරීමත්, ඔහු හෝ ඇය වෙනුවෙන් පරිත්‍යාග කිරීමට කැමති වීමත්ය.

යේසුස් පෙන්නුම් කළ උතුම්ම ආඥාව නම් යෙහෝවාට ප්‍රේම කිරීමත් දෙවනුව ‘තමන්ට මෙන් තම අසල්වැසියාට ප්‍රේම කිරීමත්ය.’ (මතෙව් 22:39) දෙදෙනෙකු ළං කළ හැකි ප්‍රබලතම බැම්ම විවාහය මිස වෙන කිසිවක් නොවේ. එමනිසා විවාහ වූ කෙනෙකුගේ සමීපතම අසල්වැසියා විවාහක කලත්‍රයායි.

කෙසේවෙතත් ශාරීරිකව දෙදෙනෙකු එක් වූ පමණින් හැඟීම්වලින් හා මනසින් එක් වුණායැයි කිව නොහැකියි. ලිංගික කාරණාවලදී උපරිම තෘප්තිය ලැබීමට නම් මනසින් එක් විය යුතු අතර හදවත් හා චේතනාද එකඟ විය යුතුයි. බොහෝවිට විවාහයක සාර්ථකත්වය රැඳී තිබෙන්නේ තමන් කලත්‍රයා වෙනුවෙන් කරන පරිත්‍යාග මතයි. මෙම පරිත්‍යාගයන් කළ යුත්තේ කවුද? ස්වාමිපුරුෂයාද? භාර්යාවද?

ප්‍රේමය හා ගෞරවය දැක්වීම

දෙවිගේ වචනය පවසන්නේ ‘එකිනෙකාට ගෞරවය කිරීමේදී පෙරමුණ ගන්න’ යනුවෙනි. (රෝම 12:10, NW) දෙතුන් වතාවක් ආයාචනය කිරීමෙන් පසු ලබා දෙන දෙයෙහි අගය නිරන්තරයෙන්ම අඩු නිසා හැකි නම්, ඔබගෙන් ඉල්ලීමක් කරන්නත් කලින් ඔබේ කලත්‍රයා වෙනුවෙන් පරිත්‍යාගයන් කිරීමට පුරුදු වන්න. විවාහ විධිවිධානය තුළ දෙදෙනාම වගා කළ යුතු ගුණාංගය නම් එකිනෙකාට ගෞරවය දැක්වීමේදී මුල් පියවර ගැනීමයි.

උදාහරණයකට පුරුෂයන්ට බයිබලයේ පවසන්නේ ‘නුඹලාගේ යාච්ඤාවලට බාධා නොපැමිණෙන පිණිස වඩා දුර්වල භාජන වූ භාර්යාවන්ට ගෞරවය දෙන්න’ කියාය. (1 පේතෘස් 3:7) ස්වාමිපුරුෂයෙක් තම භාර්යාවට නිසි ගෞරවය දක්වන්නේ නැත්නම් ඔහු දෙවිට කරන යාච්ඤාවලට එය බාධාවක් විය හැකියි. භාර්යාවට ගෞරවය දැක්වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? ඇයව සෑම විටම සැලකිල්ලට ගැනීම, ඇයගේ අදහස් උදහස්වලට සවන් දීම හා බොහෝ අවස්ථාවලදී යම් තේරීම් කරන විට ඇයට මුල් අවස්ථාව දීමයි. ඒ හා සමානව භාර්යාවටද තම ස්වාමිපුරුෂයාට ගෞරවය දැක්විය හැකියි. ඇය තම ස්වාමිපුරුෂයාට හොඳ සහකාරියක් වෙමින් ඔහුට සහයෝගය දැක්වීමට උත්සුක විය යුතුයි.—උත්පත්ති 21:12; හිතෝපදේශ 31:10-31.

දේවවචනයේ මෙවන් උපදෙසක් දෙයි. “පුරුෂයන් විසින්ද තමුන්ගේ භාර්යාවන්ට තමුන්ගේම ශරීරවලට මෙන් ප්‍රේම කටයුතුය. තමාගේ භාර්යාවට ප්‍රේම කරන තැනැත්තේ තමාටම ප්‍රේම කරන්නේය. කිසිවෙක් කිසිකලක තමාගේම මාංසයට වෛර කළේ නැත. [ක්‍රිස්තුස්] සභාව ගැන කරන්නාක් මෙන් එකිනෙකා තම තමාගේ මාංසය පෝෂණය කොට රක්ෂා කරගන්නේය.” යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කොපමණ ප්‍රේම කළාද? ඔහුගේ ජීවිතය ඔවුන් වෙනුවෙන් පිදීමට තරම් වූ ප්‍රේමයක් ඔහු පෙන්නුවේය. දේවවචනයේ තවදුරටත් කියනුයේ “නුඹලා [පුරුෂයන්] එක් එක්කෙනාත් තම තමාට මෙන් තම තමාගේ භාර්යාවට ප්‍රේම කරන්න” කියාය. (එපීස 5:28-33) ඒ වගේම දේවවචනය භාර්යාවන්ට දෙන්නේ මෙම උපදෙසයි. ‘දෙවිගේ වචනයට අපහාස නොපැමිණෙන පිණිස තමුන්ගේ පුරුෂයන්ට ප්‍රේම කරමින් ඔවුන්ට යටත්ව සිටින්න.’—තීතස් 2:4, 5.

දුර්වලකම් ඉවසන්න

සැමෝම අසම්පූර්ණ නිසා සෑම කෙනෙකුගේම අතින් වැරදි සිදු වේ. (රෝම 3:23; 5:12; 1 යොහන් 1:8-10) නමුත් කෙනෙකුගේ වැරදි ලොකු කර දැක්වීමට වඩා බයිබලයේ දෙන අනුශාසනාව නම් “ප්‍රේමය පව් රාශියක් වසන බැවින්, සියලු දේවලට වඩා එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්න” යනුයි. (1 පේතෘස් 4:8) සුළු අතපසු වීම් සමඟ කටයුතු කළ හැකි සාර්ථකම ක්‍රමය නම් ඒවා අමතක කර දැමීමයි. වඩාත් බරපතළ වැරදි සම්බන්ධයෙන්ද එසේම කළ හැකියි. කොලොස්සි 3:12-14හි [NW] මෙසේ පවසයි. “දයානුකම්පාවෙන්ද කරුණාවෙන්ද නිහතමානිකමෙන්ද මෘදුකමෙන්ද ඉවසිලිවන්තකමෙන්ද සැරසී සිටින්න. එකිනෙකා ගැන ඉවසමින් යමෙකුට විරුද්ධව පැමිණිල්ලක් ඇත්නම්, එකිනෙකාට කමා කරන්න. යෙහෝවා ඔබට කමා කළාක් මෙන් ඔබත් එකිනෙකාට කමා කළ යුතුය. මේ සියල්ලට ඉහළින්, සියල්ල සම්පූර්ණ ලෙස ඒකාබද්ධ කරන ප්‍රේමයෙන් සැරසෙන්න.”

අපේ විවාහක කලත්‍රයාගේ වැරදි හා අතපසු වීම්වලට කොපමණ වාර ගණනක් සමාව දිය යුතුද? පේතෘස් යේසුස්ගෙන් මෙසේ ඇසුවේය. ‘ස්වාමිනි, මට වරද කරන මාගේ සහෝදරයාට කී වරක් කමා වෙන්ටද? සත්වරක් දක්වාද? යේසුස් ඔහුට කතා කොට සත්වරක් නොව සැත්තෑවර සත්වරක්යයි [හැත්තෑහත් වරක්යයි, NW]’ පැවසීය. (මතෙව් 18:21, 22) යේසුස් මෙහිදී මූලිකව කාවැද්දුවේ විවාහ බන්ධනයෙන් පිට,එනම් එදිනෙදා මුණගැසෙන අය සමඟ කටයුතු කරන ආකාරය පිළිබඳවයි. එසේ නම් විවාහ කලත්‍රයන් අතරේ ඊට වඩා කොපමණ වැඩියෙන් සමාව දීම දකින්න අවශ්‍යද!

විවාහය නමැති ඒකකය මේ කාලයේදී බොහෝ තාඩන පීඩනවලට අසු වුවද එය කිසිදා අභාවයට නොයන්නේ විවාහය ස්ථාපිත කළ දෙවි ආරම්භ කළ සියල්ල “ඉතා යහපත්” නිසාය. (උත්පත්ති 1:31) එය කිසිදා යල් පැන ගිය දෙයක් බවට පත් නොවෙයි. මෙය සැබවින්ම සාර්ථක කරගත හැකි දෙයක් වන අතර එය විශේෂයෙන්ම සාර්ථක කරගත හැක්කේ දෙවිගේ නීති පවත්වන හා එය අගය කරන අයටයි. නමුත් අභියෝගය නම් එකිනෙකාට ප්‍රේම කිරීමටත් ආදරයෙන් රැකබලා ගැනීමටත් විවාහයේදී දුන් පොරොන්දුවලට එකඟව දෙදෙනා කටයුතු කරයිද යන්නයි. එය ඇත්තටම අභියෝගයක් විය හැකි අතර එයට සාර්ථකව මුහුණ දීමට නම් සෑහෙන වෑයමක් දැරිය යුතුයි. නමුත් ඔබට අත් වන ප්‍රතිඵලවලින් කියා නිම කරන්න බැරි සතුටක් ලැබෙන නිසා දරන ඕනෑම වෑයමක් වටී.

[10වන පිටුවේ කොටුව]

වෙන්වීම හා දික්කසාදය

විවාහය ස්ථාපිත කළ දෙවි එය සදාකාලිකව පැවතීම අරමුණු කළේය. නමුත් තමාගේ සහකාරිය හෝ සහකාරයාගෙන් දික්කසාද වීමට ශුද්ධ ලියවිලිමය පදනමක් තිබෙනවාද? එසේ දික්කසාද වූ පසු නැවත විවාහ වීමට හැකිද? යේසුස් මෙයට පිළිතුරු සැපයුවේ මෙසේයි. “මම නුඹලාට කියමි.—වේශ්‍යාකම නිසා මිස තමාගේ භාර්යාව අත්හැර වෙන ස්ත්‍රියක සරණ පාවාගන්න කවරෙක් නමුත් කාමමිථ්‍යාචාරය [පරදාර සේවනය, NW ] කරන්නේය.” (මතෙව් 19:9, අකුරු ඇල කළේ අපය.) දික්කසාද වීමට ඇති එකම පදනම ලිංගික ද්‍රෝහිකම වන අතර, නිර්දෝෂී කලත්‍රයාට නැවත විවාහ වීමේ නිදහස තිබේ.

ශුද්ධ ලියවිල්ලේ 1 කොරින්ති 7:10-16හි විවාහක යුවළයන්ට එකට සිටීමට දිරිගැන්වුවද වෙන්වීමටද අවසර දී තිබේ. විවාහ බන්ධනය පවත්වාගෙන යෑමට විශාල සටනක යෙදෙන සමහර අයට හැඟී තිබෙන්නේ වෙන්වීම එකම විකල්පය බවයි. මෙවැනි පියවරක් ගැනීම ශුද්ධ ලියවිල්ල අනුමත කරන්නේ කුමන තත්වයන්වලදීද?

පුරුෂයෙකු උවමනාවෙන් තම පවුල නඩත්තු නොකරයි නම්. විවාහ වීමේදී පුරුෂයෙක් තමාගේ භාර්යාව හා දරුවන් නඩත්තු කිරීමට බාරගනියි. පුරුෂයෙකු පවුලට අවශ්‍ය ආහාර පාන ඇතුළු මූලික අවශ්‍යතාවන් සැපයීම උවමනාවෙන්ම නොසලකා හරියි නම් “ඔහු ඇදහිල්ල එපා කළේය. ඔහු නොඇදහිලිකාරයෙකුට වඩා නරකය.” (1 තිමෝති 5:8) එමනිසා එවැනි තත්වයක් යටතේ වෙන් විය හැකියි.

දරුණු ලෙස ශාරීරිකව පීඩා කරයි නම්. කලත්‍රයෙකු නිතරම භාර්යාවකට ශාරීරිකව වධ හිංසා පමුණුවනවා නම් පීඩා විඳින තැනැත්තාට වෙන් විය හැකියි. (ගලාති 5:19-21; තීතස් 1:7) ‘දෙවිගේ ආත්මය බලාත්කාරකමට ප්‍රිය වෙන්නාව ද්වේෂ කරයි.’—ගීතාවලිය 11:5.

වෙන්වීමට තවත් පදනමක් වන්නේ දෙවි සමඟ තිබෙන සබඳතාවට, එනම් ඇදහිලිවන්තයෙකුගේ ආත්මිකත්වයට දැඩි තර්ජනයක් එල්ල කරන ආකාරයේ විරුද්ධවාදිකම්ය. කලත්‍රයෙක් සැබෑ නමස්කාරයට තර්ජන එල්ල කරමින් ආත්මික කාරණාවලට විරුද්ධ වෙයි නම් හා ඇදහිලිවන්ත කලත්‍රයා එම කටයුතු කිරීම වළක්වයි නම් මේ අවස්ථාවලදී සමහර ඇදහිලිවන්තයන් වෙන්වීම යෝග්‍ය බව වටහාගෙන ඇත. aමතෙව් 22:37; ක්‍රියා 5:27-32.

කෙසේවෙතත් ඉහත සඳහන් වාතාවරණය නිසා දික්කසාද වන කෙනෙකුට නැවත විවාහ වීමට ප්‍රස්තාවක් නැත. බයිබලයේ පෙන්නුම් කරන ආකාරයට දික්කසාද වී නැවත විවාහ වීමට ඇති එකම පදනම පරදාර සේවනය හෝ “වේශ්‍යාකම” වේ.—මතෙව් 5:32.

[පාදසටහන]

a වෙන්වීම ගැන තවදුරටත් දැනගැනීමට කැමති නම් මුරටැඹ 1988 නොවැම්බර් 1, 22-3 පිටු බලන්න (සිංහලෙන් පළ වී නොමැත).

[9වන පිටුවේ පින්තූරය]

විවාහය සදාතනික බැම්මක් සේ සැලකිය යුතුයි

[10වන පිටුවේ පින්තූරය]

යේසුස් පැවසුවේ අප “හැත්තෑහත් වරක්” සමාව දිය යුතු බවයි