Skip to content

පටුනට යන්න

සුන්දර වුවත් අභියෝගාත්මක මංගල දිනය

සුන්දර වුවත් අභියෝගාත්මක මංගල දිනය

සුන්දර වුවත් අභියෝගාත්මක මංගල දිනය

පළමු විවාහය ස්ථාපිත කළේ මනුෂ්‍යයන් ගැන හොඳින්ම දන්නා යෙහෝවා දෙවි බව බයිබලයේ සඳහන් වේ. මිනිස් සමාජය ගොඩනැඟීමේ මූලික පුරුක වශයෙන් ඔහු විවාහය නමැති විධිවිධානය පිහිටෙව්වේය. (උත්පත්ති 2:18-24) දේවානුභාවයෙන් ලියන ලද ශුද්ධ ලියවිල්ලේ, විවාහයක් සැලසුම් කිරීමේදී අපට ප්‍රයෝජන ගත හැකි විවිධ ප්‍රතිපත්ති ගැන පෙන්නුම් කර තිබේ.

උදාහරණයකට යේසුස් ‘කායිසර්ගේ දේ කායිසර්ට දෙන්න’ කියා ක්‍රිස්තියානීන්ට පැවසුවේය. (මතෙව් 22:21) එයින් ඇඟෙව්වේ ඔවුන් තම රටේ නීතියට අවනත විය යුතු බවයි. විවාහය නීත්‍යානුකූල කිරීමෙන් විවාහයට පිවිසෙන දෙදෙනාගේ අයිතිවාසිකම් බොහෝ පැතිවලින් ආරක්ෂා වේ. උදාහරණයකට දරුවන්ගේ (රැකවරණය හා අධ්‍යාපනය ඇතුළු) වගකීම් ඉටු කිරීමේදී හා තමන්ට හිමි උරුමයන් ලබාගැනීමේදී මෙය ඉතා වැදගත් වේ. එපමණක්ද නොවේ, හිරිහැර කිරීමෙන් හා අනිසි ලෙස යොදාගැනීමෙන් පවුලේ සාමාජිකයන්ව ආරක්ෂා කිරීමටද නීති සම්පාදනය කර තිබේ. a

සූදානම් වීම

බයිබල් ප්‍රතිපත්තිවලට හා රටේ නීතියට අනුකූලව දෙදෙනෙකු විවාහ වීමට තීරණය කළ පසු සලකා බැලිය හැකි සමහර ප්‍රායෝගික පැති මොනවාද? මේවා අතරින් විවාහය සිදු වන දිනය හා මංගල උත්සවය පැවැත්වීමට බලාපොරොත්තු වන ආකාරය ප්‍රධාන තැනක් ගනී.

“සමහර අවස්ථාවලදී දෙමව්පියන්ගේ අදහස් හා යුවළගේ අදහස් සීයට සීයක් නොගැළපෙන අවස්ථා තිබිය හැකියි. මෙවැනි අවස්ථාවක ඔවුන්ට පවුලේ සම්ප්‍රදායන් හා තමන්ට සැබවින්ම කරන්න අවශ්‍ය දේ අතර එකිනෙකට වෙනස් මතයන් තිබිය හැකියි” යයි මේ සම්බන්ධව ලියැවුණු පොතක කියැවේ. මෙවන් තත්වයකදී කළ හැක්කේ කුමක්ද? “මෙය විසඳීමට එතරම් පහසු නැත. කළ හැකි හොඳම දේ උපායශීලීව සවන් දීම හා ප්‍රශ්නය විවෘතව කතා කර එකඟතාවකට පැමිණීමයි. සෑම කෙනෙකුටම මෙය හැඟීම්බර අවස්ථාවක් වන නිසා එකිනෙකාව තේරුම්ගැනීම හා යමක් කිරීමට පෙර හොඳින් සිතා බැලීම උපකාරවත් වේ.”—විවාහ මංගල්‍යයක් සංවිධානය කිරීමට හා සටහන් තැබීමට පූර්ණ අත්වැලක් (සිංහලෙන් නොමැත) යන පොත ආශ්‍රයෙනි.

මෙම සුන්දර දවස සාර්ථක කරගැනීමට ප්‍රේමනීය දෙමව්පියන්ට උපකාර කළ හැකි නමුත් ඔවුන් තම ආශාවන්ට මූලික තැන දී කටයුතු කිරීමෙන් වැළකී සිටිය යුතුයි. අනිත් අතට අවසාන තීරණය මනාල යුවළ විසින් ගනු ලැබුවද, අන් අය හොඳ චේතනාවෙන් දෙනු ලබන ප්‍රායෝගික යෝජනාවලටද ඔවුන් ඇහුම්කන් දිය යුතුයි. ඔවුන්ට ලැබෙන යෝජනා සුදුසුද නැද්ද කියා තීරණය කිරීමට උපකාරවත් වන බයිබල් ප්‍රතිපත්තිය සලකා බලන්න. “‘කැමති දෙයක් කිරීමට නිදහස ඇතැ’යි කීවත් හැම දේ ම යෝග්‍ය නැත. කැමති දෙයක් කිරීමට නිදහස ඇත. එහෙත් හැම දෙය ම ශුභ සිද්ධියට ඉවහල් නොවේ. කිසිවෙකු තමාගේ ම වාසිය නොසොයා අසල්වාසියාගේ යහපත සෙවිය යුතු ය.”—1 කොරින්ති 10:23, 24, නව අනුවාදය.

මංගල උළෙලට සූදානම් වීමේදී ආරාධනා පත් යැවීමේ සිට උත්සවය සංවිධානය කිරීම දක්වා බොහෝ දෑ ඇතුළත්ය. නව යුගයේ විවාහයන් යන පොතේ (සිංහලෙන් නැත) හෙන්රි බෝමන් පළ කළේ මෙවන් අදහසකි. “මංගල උළෙලේ සාර්ථකත්වය රඳා පවතින්නේ මනාව සැලසුම් කිරීම හා දුර දක්නා නුවණින් කටයුතු කිරීම මතයි. එසේ කිරීමෙන් මානසික පීඩනයෙන් හා වෙහෙසකාරි බවෙන් මිදිය හැකි වේ.” තවදුරටත් ඔහු කියනුයේ “හොඳම තත්වයන් යටතේ පවා යම් වෙහෙසකාරි බවක් දැනිය හැකි නිසා, මෙය අවම කරගැනීමට හැකි සෑම දෙයක්ම කළ යුතු” බවයි.

උත්සවයට පැමිණෙන නෑදෑ හිතවතුන්ට සංග්‍රහ කිරීමට කඩිසරව දුව පැන වැඩ කිරීමට සිදු වේ. මේ සඳහා පවුලේ අයට හෝ ළඟම හිත මිත්‍රයන්ට උපකාර කළ හැකිද? මනාල ජෝඩුව විසින්ම කළ යුතු දේවල් හැර අන් වැඩ කොටස් වගකීමක් ඇතුව කළ හැකි අයට භාර දිය හැකියි.

වියහියදම්

සාධාරණ අයවැයක් සකස් කිරීම අත්‍යවශ්‍යයි. තමන්ට දැරිය හැකි ප්‍රමාණයට වඩා වියදම් කිරීමට යුවළගෙන් හෝ දෙමව්පියන්ගෙන් බලාපොරොත්තු වීම නිසා ඔවුන් ණයකරුවන් බවට පත් විය හැකි අතර, එය සාධාරණ හෝ ප්‍රේමනීය දෙයක් නොවෙයි. අධික ලෙස මුදල් වැය කර විවාහ මංගල්‍ය පැවැත්විය හැකි අය පවා එය චාම් ලෙස කිරීමට තෝරාගනිති. තක්සේරු කරන ලද වියදම හා ඇත්තටම වියදම් වූ මුදල යන මේ දෙකම සඳහන් ලැයිස්තුවක් තබාගැනීම ප්‍රයෝජනවත් බව සමහර යුවළයන්ගේ අද්දැකීමයි. විවාහ මංගල්‍යයට අවශ්‍ය දේවල් සංවිධානය කර අවසන් කළ යුතු දින සටහන් කරගැනීමත් ප්‍රයෝජනවත්ය. මන්ද ඒවා මතකයේ තබාගැනීමට තැත් කිරීම ලොකු පීඩනයක් විය හැකි නිසයි.

මංගල උළෙල සඳහා කොපමණ මුදලක් වැය වේද? වැය වන මුදල් ප්‍රමාණය අප ජීවත් වන රට අනුව වෙනස් විය හැකි නමුත් අපෙන් අසාගත යුතු ප්‍රඥාවන්ත ප්‍රශ්න වනුයේ ‘අප සැලසුම් කළ සියලුම දේ කිරීමට මුදල් තිබෙනවාද? ඒවා ඇත්තවශයෙන්ම අවශ්‍යද?’ යන්නයි. ටීනා නම් අලුත් මනමාලියක් පැවසුවේ “මුලින් නැතුවම බැරි බව හැඟුණු සමහර දේවල් අන්තිමේදී අනවශ්‍ය බව හැඟුණා” යනුවෙනි. යේසුස්ගේ ඔවදන් සලකා බලන්න. “මක්නිසාද කොතක් ගොඩනඟන්ට කැමති වූ නුඹලාගෙන් යමෙක් ඒක නිම කරන්ට තමාට පුළුවන්දැයි පළමුකොට හිඳ වියදම ගණන් බලන්නේ නැද්ද?” (ලූක් 14:28) ඔබ කැමති සෑම දෙයක්ම කිරීමට හැකියාවක් නැත්නම් ඉන් සමහරක් අතහැර දැමිය හැකියි. අනිත් අතට, සියලුම දේ කිරීමට ඔබට හැකියාවක් ඇතත් චාම් විදියට කිරීමට ඔබ තීරණය කළ හැකියි.

ඉතාලියේ මංගල උත්සවයට අවශ්‍ය අංගෝපාංග ඇතුළු සැරසිලි හා සේවාවන් ප්‍රවර්ධනය කිරීමේ සංදර්ශනයක් පැවැත්වුණු අතර, එහිදී නියම ඉතාලි මනාලියක් වැය කරන මුදල ආසන්න වශයෙන් සඳහන් කෙරුණි. කොණ්ඩය සැකසීමට හා රූපලාවණ්‍ය සඳහා අමෙරිකානු ඩොලර් 450ක්ද, සුඛෝපභෝගී වාහනයක් කුලියට ගැනීමට ඩොලර් 300ක්ද, වීඩියෝ කිරීම සඳහා ඩොලර් 600ක්ද, මංගල ඡායාරූප දමන ඇල්බමයට පමණක් ඩොලර් 125 සිට 500 දක්වා මුදලක්ද වැය වේ. එපමණක්ද නොව, උත්සව ශාලාවේ මල් සැරසිලිවලට ඩොලර් 600ක් හෝ ඊට වැඩියෙන්ද, මංගල භෝජනය සඳහා එක්කෙනෙකුට ඩොලර් 45 සිට 90 දක්වා මුදලක්ද, මනාලියගේ මංගල ගවුමට ඩොලර් 1,200ක් හෝ ඊට වැඩියෙන්ද වැය වේ. මෙය ඔබට ජීවිතයේ සුවිශේෂ අවස්ථාවක් නිසා එම දිනය විශේෂ එකක් කිරීමට පෙලඹීම සාධාරණයි. ඔබේ තේරීම කුමක් වුවත් එය සමබරව කිරීම ඥානවන්තයි.

සමහර අය විශාල මුදල් සම්භාරයක් වියදම් කරන අතර තවත් සමහරුන් කැමති වන්නේ පිරිමසා වියදම් කරන්නයි. තවත් අයට වෙන විකල්පයක් නැති නිසා සුළුවෙන් කිරීමට තෝරාගනී. “අපි දෙදෙනාම පුරෝගාමීන් (පූර්ණ කාලීන දේවසේවකයන්) නිසා, අපිට මුදල් තිබුණේ නැහැ. නමුත් එය අපිට ප්‍රශ්නයක් වුණේ නැහැ” යයි එක් මනාලියක් අදහස් දැක්වුවාය. “මගේ නැන්දම්මා මංගල ගවුමට අවශ්‍ය රෙදිපිළි ලබා දුන්නා. එක් යෙහෙළියක් ඇගේ මංගල තිළිණය හැටියට ගවුම මසා දුන්නා. මගේ මහත්තයා ආරාධනා පත්‍ර අතින් ලියූ අතර, අපේ යාළුවෙක් මංගල ගමන යෑමට කාර් එක දුන්නා. ඒ වගේම උත්සවයට අපි අවශ්‍ය කෑම ගත්තා. තවත් කෙනෙක් වයින් සැපයුවා. මංගල උත්සවයට විශාල මුදලක් වැය කළේ නැතත් අපි සෑහීමට පත් වුණා.” තවත් මනාලයෙක් කිව්වේ පවුලේ අය සහ වෙනත් යහළුවන් අවශ්‍ය උපකාරය සපයන විට “වියදම් බොහෝදුරට අඩු කරගත හැකි” බවයි.

ආර්ථික තත්වය කුමක් වුවත් ක්‍රිස්තියානි යුවළයන් පුහු ආටෝපයෙන් හා ලෞකික ආකල්පවලින් මිදිය යුතුයි. (1 යොහන් 2:15-17, NW) බයිබලය සමබර වීම පිළිබඳ ප්‍රතිපත්ති කාවද්දන අතර අධික කෑම, අධික බීම හා ‘නිදොස්’ තත්වයක සිටීමට බාධා කරවන සෑම ක්‍රියාවක් ගැනම අනතුරු අඟවයි. විවාහය වැනි ප්‍රීතිමත් දිනයක මෙම බයිබල් ප්‍රතිපත්තිවලට පටහැනිව ක්‍රියා කිරීම කොතරම් කනගාටුදායක දෙයක්ද!—හිතෝපදේශ 23:20, 21; 1 තිමෝති 3:2.

අන් අයගේ මංගල දිනයට වඩා ඔබේ මංගල දිනය විශේෂ හා විශිෂ්ට එකක් විය යුතුයි යන තරඟකාරි අදහස ඉවතලන්න. එක් රටක මනමාලියන් දෙදෙනෙකු පැළඳගෙන සිටි අසාමාන්‍ය වූ වේල් දෙකක් ගැන සලකා බලන්න. එක වේල් එකක් අඩි 42ක් දිග වූ අතර එහි බර රාත්තල් 500කි. අනික් වේල් එක අඩි 1,000ක් දිග වූ අතර එය උසුලාගෙන යෑමට මනාලියට යෙහෙළියන් 100දෙනෙකු අවශ්‍ය විය. මෙවැනි පිළිවෙතක් අනුගමනය කිරීම, බයිබලයේ සඳහන් සාධාරණකම නමැති ගුණාංගය විදහාපෙන්වීමක් වේවිද?—පිලිප්පි 4:5, NW.

සම්ප්‍රදායන් පිළිපැදිය යුතුද?

විවාහ සම්ප්‍රදායන් රටින් රටට වෙනස් වන නිසා මේ සියලුම සම්ප්‍රදායන් ගැන සාකච්ඡා කිරීම අසීරුයි. මනාල යුවළ යම් සම්ප්‍රදායක් පිළිපදිනවාද නැද්ද යන්න තීරණය කිරීමේදී ඔවුන් තමන්ගෙන්ම මෙවන් ප්‍රශ්න අසාගත යුතුය. ‘මෙහි තේරුම කුමක්ද? මෙය වාසනාව හෝ දරු සම්පත් ලැබීමට ප්‍රාර්ථනා කිරීම (සමහර රටවල දරු සම්පත් ලැබීමට සහල් දමනු ලැබේ) වැනි මිථ්‍යා මත හා සම්බන්ධද? බයිබලයේ හෙළා දකින පුරුදුවලට හෝ බොරු ආගමට සම්බන්ධද? එය අසාධාරණ මෙන්ම අකාරුණික සිරිතක්ද? එය අන් අයව පැකිලීමට හෝ අපහසුතාවට පත් කිරීමට හේතුවක් විය හැකිද? මනාල යුවළගේ ආකල්ප සම්බන්ධව සැක මතු කරයිද? එය අවිනීත ක්‍රියාවක්ද?’ මෙවැනි ප්‍රශ්න අසාගැනීමේදී යම් සැකයක් මතු වේ නම් කළ හැකි හොඳම දේ එය නොකර සිටීමයි. අමුත්තන්ට යුවළ ගන්නා තීරණ ගැන කලින් අවබෝධයක් ලබා දීමට හැකි නම් හොඳයි.

ප්‍රීතිමත් හා හැඟීම්බර අවස්ථාවක්

එම උතුම් දිනය ප්‍රීතිය හා දුක සංකලනය වූ හැඟීම්බර දවසකි. මේ ගැන එක් මනාලියක් කීවේ “ප්‍රීතිය කොතරම්ද කියනවා නම් එය හරියට සිහිනයක් සැබෑ වුණා වාගෙයි” යනුවෙනි. නමුත් මනාලයෙක් කීවේ මෙයයි. “ඒ දවස මගේ ජීවිතයේ නරකම දවස වගේම හොඳම දවසයි. මනාලිගේ ඥාතීන් එදා හඬා වැලපුණා මම ඔවුන්ගේ කුලුඳුල් දියණිය ගෙන යනවා කියා. මගේ බිරිඳ ඇගේ දෙමව්පියන් අඬනවා දැකලා ඇයත් ඇඬුවා. අවසානයේදී මේ හැමෝම අඬනවා බලා ඉන්න බැරිම තැන මගෙත් කඳුළු ගලන්න පටන්ගත්තා.”

මෙවැනි සිදුවීම් පීඩනය නිසා ඇති වන සාමාන්‍ය තත්වයන්ය. ඒ ගැන ඒ තරම් කලබල විය යුතු නැත. පවුලේ නෑයන් අතර හෝ සමහරවිට යුවළ අතර පවා සුළු සුළු ගැටුම් ඇතිවීමද පුදුමයට කාරණයක් නොවේ. “පවුල් දෙකම එකතු වී විශාල ප්‍රිය සම්භාෂණයක් සංවිධානය කරන පළමු වතාව නිසා එය යම් කැලඹිලි තත්වයක් ඇති කළ හැකි අතර, ඔවුන්ගේ සම්බන්ධතාවලටද යම් තාක් දුරට මෙය බලපා හැකි” බව විවාහ මංගල්‍යයක් සංවිධානය කිරීමට හා සටහන් තැබීමට පූර්ණ අත්වැලක් යන පොතේ සඳහන් වේ. “සමහරවිට සැලසුම් කළ ආකාරයටම සියල්ල සාර්ථක කරගැනීමට නොහැකි විය හැකි අතර ඒ ගැන කනස්සලු වීමෙන් ඵලක් නොවේ. මෙවන් අවස්ථාවලදී උපදෙස් ගැනීමට හා සහයට කෙනෙකු සිටීම කියා නිම කළ නොහැකි සහනයක් වනු ඇත.”

එක් මනාලයෙක් කීවේ මෙසේය. “මම ගොඩාක් පසුතැවෙනවා මට උපදෙස් ලබාගැනීමට කෙනෙක් නොසිටීම ගැන. මගේ හැඟීම් හා අදහස් විවෘතව කතා කරන්න කෙනෙක් හිටියා නම් එය කොතරම් අගේද?” මෙවැනි උපකාරයක් ලබාගත හැක්කේ මේරූ යාළුවෙකුගෙන්, නෑදෑ කෙනෙකුගෙන් හෝ ක්‍රිස්තියානි සභාවේ අද්දැකීම් ලත් කෙනෙකුගෙනි.

තම කැදැල්ලෙන් පිට වී යන දරුවන් ගැන දෙමව්පියන්ට හැඟෙන්නේ කොහොමද? ඔවුන්ට ප්‍රීති උද්දාමය, ආඩම්බරය, දරුවන් ගැන මතක සටහන් හා බිය වැනි හැඟීම් සමුදායක් සමඟ පොරබැදීමට සිදු වේ. ඔවුන් පිළිගත යුතු දෙය නම් මැවුම්කරු අරමුණු කළ ලෙස දරුවා “පියාද මවුද අත්හැර” තම සහකාරයාට හෝ සහකාරියට ඇලුම් වන බවත්, ‘ඔවුන් එක මාංසයක්’ වන බවත්ය. (උත්පත්ති 2:24) තමාගේ කුලුඳුල් පුත්‍රයාගේ විවාහය ගැන අදහස් දක්වමින් මවක් මෙසේ පැවසුවාය. “මම දුකට ඇඬුවා වගේම මට ආදරණීය ලේලියක් ලැබීම ගැන සතුටු කඳුළුත් සැලුවා.”

මංගල දිනය ප්‍රීතිමත් හා ගොඩනංවනසුලු අවස්ථාවක් වීමට නම් මනාල යුවළ මෙන්ම දෙමව්පියන්ද එකමුතුකම, සන්සුන්කම, පරාර්ථකාමී වීම හා එකිනෙකාගේ අදහස්වලට ගරු කිරීම වැනි ක්‍රිස්තියානි ගුණාංග විදහාපෙන්විය යුතුයි.—1 කොරින්ති 13:4-8; ගලාති 5:22-24; පිලිප්පි 2:2-4.

පති කුලයට පිවිසෙන බොහෝ යුවතියන් මංගල දිනයේදී යම් කරදරයක් එනම් වාහනයේ දෝෂයක් ඇති වෙයි, කලට වේලාවට යන්න බැරි වෙයි, එය වැසි දිනයක් වෙයි හෝ අන්තිම මොහොතේ මංගල ඇඳුමේ නැවත සකස් කළ නොහැකි තරම් යම් අඩුපාඩුවක් වෙයි කියා බියෙන් පසු වෙයි. බොහෝවිට එවැනි දෙයක් සිදු වන්නේ නැත. කෙසේ නමුත් යථාර්ථවාදී වෙන්න. කිසිම දෙයක් අඩුපාඩු නැතුව සිදු වන්නේ නැති නිසා එවැනි දේ භාරගැනීමට සූදානම්ව සිටින්න. (දේශනාකාරයා 9:11) අතපසු වීම්, අඩු පාඩු සිදු වුණත් ඔබේ මුහුණේ සිනාමුසු ශුභවාදී ස්වභාවය පවත්වාගන්න. එදින යම් අතපසු වීම් නිසා කලකිරෙන බවක් දැනුණත් කලකට පසු එය අන් අය සමඟ බෙදාගත හැකි හාස්‍යජනක කතන්දරයක් වෙයි. සුළු සුළු වැරදීම්වලට මංගල දිනයේ අසිරිය සොරාගැනීමට ඉඩ නොදෙන්න.

[පාදසටහන]

a බොහෝ රටවල ද්වි විවාහය, ව්‍යභිචාරය, විවාහය තුළ සිදු වන වංචනික ක්‍රියා, සැහැසියාව, අඩු වයසේ සිදු වන විවාහ වැනි දේ තහනම් කර ඇත.

[7වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“මුලින් නැතුවම බැරි බව හැඟුණු සමහර දේවල් අන්තිමේදී අනවශ්‍ය බව හැඟුණා.”—මනාලියක් වන ටීනා

[7වන පිටුවේ කොටුව⁄පින්තූර]

පෙර සූදානම සඳහා යෝජිත ලැයිස්තුවක් b

මාස 6කට හෝ ඊට පෙර

❑ අනාගත භාර්යාව හෝ පුරුෂයා හා ඥාතීන් සමඟ සැලසුම් සාකච්ඡා කිරීම

❑ මංගල උත්සවය පැවැත්වීමට කැමති ආකාරය තීරණය කිරීම

❑ අයවැයක් පිළියෙළ කිරීම

❑ නීතිමය අවශ්‍යතාවන් සොයා බැලීම

❑ මංගල උත්සවය පවත්වන ශාලාව වෙන් කරගැනීම

❑ ඡායාරූප ශිල්පියා හමු වී සැලසුම් යොදාගන්න

මාස 4කට පෙර

❑ මංගල ඇඳුම (තිබෙන ඇඳුම්වලින්) තේරීම, අලුතින් මිල දී ගැනීම හෝ මැසීම

❑ මල් ඇණවුම් කිරීම

❑ ආරාධනා පත්‍ර තේරීම හා ඇණවුම් කිරීම

මාස 2කට පෙර

❑ ආරාධනා පත්‍ර යැවීම

❑ මුදු මිල දී ගැනීම

❑ අවශ්‍ය ලියකියවිලි ලබාගන්න

මාසයකට පෙර

❑ මංගල ඇඳුම් කට්ටල ඇඟලා බැලීම

❑ ඇණවුම් කළ දේවල් හා කලින් වෙන් කරගත් කාල වේලාවන් ස්ථිර කරගන්න

❑ දැනටමත් ලැබී ඇති තෑගිවලට ස්තුති කර ලියන්න

සති 2කට පෙර

❑ තමන්ගේ පෞද්ගලික ගෘහ උපකරණ අලුත් නවාතැනට ගෙනයෑම

සතියකට පෙර

❑ උපකාර කිරීම සඳහා ඉදිරිපත් වී ඇති අය කළ යුතු දේවල් සම්බන්ධව නිසි අවබෝධයෙන් සිටීදැයි සොයා බැලීම

❑ කුලියට හෝ අත මාරුවට ලබාගත් බඩු බාර දීමට කටයුතු පිළියෙළ කිරීම

❑ අන් අයට පැවරිය හැකි සෑම දෙයක්ම පවරන්න

[පාදසටහන]

b රටේ නීතිමය අවශ්‍යතාවන් හා පෞද්ගලික තත්වයන් අනුව වෙනස් කළ හැකියි.

[8වන පිටුවේ පින්තූරය]

‘දෙවි එක් කළ දෙය කිසි මනුෂ්‍යයෙකු වෙන් නොකෙරේවා’