Skip to content

පටුනට යන්න

ආගමික නිදහසට ග්‍රීසියේ සහාය

ආගමික නිදහසට ග්‍රීසියේ සහාය

ආගමික නිදහසට ග්‍රීසියේ සහාය

පළමු වතාවට, ඉකුත් වසරේදී ග්‍රීක රජය යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට විශාල සමුළුවක් පැවැත්වීම සඳහා කදිම ක්‍රීඩාංගනයක් භාවිත කිරීමට අවසර දුන්නේය. එය ආසන 20,000කට ආසන්න සංඛ්‍යාවකින් සමන්විත ගෘහස්ථ ඔලිම්පික් ස්පෝට්ස් ශාලාවයි. වායු සමීකරණය කර ඇති මෙම කෙළි බිම 2004දී ඇතන්ස්හි ඔලිම්පික් ක්‍රීඩා පැවැත්වීමට නියමිත සංකීර්ණයෙන් කොටසකි.

සැලකිය යුතු දෙයක් නම්, 1963දී හා 1988දීත් සාක්ෂිකරුවන් විසින් තම සමුළු පැවැත්වීම සඳහා විශාල ක්‍රීඩාංගන භාවිත කිරීමට සැලසුම් යොදා තිබීමය. කෙසේවුවද, අවස්ථා දෙකේදීම ග්‍රීක් ඕතඩොක්ස් පල්ලියේ තර්ජනවලට අධිකාරීන් යටත් වූ නිසා සාක්ෂිකරුවන්ට ඒවා භාවිත කිරීමට ඉඩ දීම ප්‍රතික්ෂේප කරනු ලැබීය.

වෙනස් ප්‍රතිඵලයක්

වර්ෂ 2001 පෙබරවාරිවලදී සාක්ෂිකරුවෝ තම අපේක්ෂිත සංඛ්‍යාවට ප්‍රමාණවත් ගෘහස්ථ ක්‍රීඩාංගනයක් වන ඔලිම්පික් ස්පෝට්ස් ශාලාව භාවිත කිරීමට ඉල්ලා සිටියහ. එදා සිදු වූ ලෙසම සිදු වේවිද යන ප්‍රශ්නය පැන නැඟිණ. චකිතය තහවුරු කරමින් මුලින්ම අධිකාරීන්ගෙන් ලැබුණේ නිෂේධාත්මක ප්‍රතිචාරයකි.

එහෙත්, සාධාරණ මෙන්ම අගතිසහගත හැඟීම් නොමැති අය බවට ප්‍රසිද්ධව සිටි උසස් නිලධාරීන් මුණගැසීමට වහාම වැඩපිළිවෙළක් යෙදීය. නමස්කාර කිරීම සඳහා මෙන්ම සාමකාමීව එක්රැස්වීම සඳහා ව්‍යවස්ථාපිත අයිතියට ගරු කිරීමට ඔවුන් කැමති වනු ඇද්ද? ඔවුන් ආගමික බලපෑමට යටත් නොවනු ඇද්ද? ඔව්, ඔවුන් තම නිෂේධාත්මක ප්‍රතිචාරය ඉවත් කරගනිමින් අලුත් තීරණයක් දෙනු ලැබීය. එමගින් 2001 ජූලි 27-29 දක්වා ස්පෝට්ස් ශාලාවේ තම සමුළු පැවැත්වීම සඳහා දින නියම කරගැනීමට සාක්ෂිකරුවන්ට දොර විවර විය.

මේ අතරතුර, සාක්ෂිකරුවන්ට තෙසලෝනිකයේ රජයට අයත් පැලේ ඩ ස්පෝ නම් වෙනත් ගෘහස්ත ක්‍රීඩාංගනයක්ද භාවිත කිරීමට අධිකාරීහු අවසර දුන්හ.

දැඩි බලපෑම අසාර්ථක වේ

ඇතන්ස්හි සමුළු දිනයන් ළඟා වෙද්දී නොවිසඳූ තවත් ප්‍රශ්න ඉතිරිව තිබිණ. ඕතඩොක්ස් පූජකයන් දිගටම බලපෑම් කරන විට අධිකාරීන් තම වචනේ වෙනස් නොකරනු ඇද්ද? එමෙන්ම මැර කණ්ඩායම්වලින් එන බාධා නැතුව ප්‍රීතියෙන් එක්රැස් වීමට සාක්ෂිකරුවන්ට හැකි වනු ඇද්ද?

ඕතඩොක්ස් පල්ලිය සමුළුව කඩාකප්පල් කිරීමේ අටියෙන් තම බලය පෑමට ආදියේ පටන් භාවිත කරමින් සිටි උපක්‍රම යෙදීම අත්හැරියේ නැත. සමුළුව ගැන සඳහන් නොකිරීමට ඕතඩොක්ස් පූජකයන් බල කළ බව රූපවාහිනි මධ්‍යස්ථාන මගින් හෙළි කරනු ලැබීය. කෙසේවුවත්, අන්තිමේදී පල්ලියේ ප්‍රයත්නයන් අසාර්ථක විය.

සාක්ෂිකරුවන්ගේ ආගම රහස් එකක්යයි කියමින් ඕතඩොක්ස් පල්ලිය කලින් සිටම දොස් පවරා තිබීම හාස්‍යයට ලක් වන්නකි. මන්ද, පසුව ස්පෝට්ස් ශාලාව තුළ සිදු වන දෑ දැනගැනීමෙන් මහජනයාව වැළැක්වීමට වෑයම් කළේත් පල්ලියමයි. නිර්භීත ජනමාධ්‍යවේදීන් පූජකයන්ගේ බලපෑමට යටත් නොවී සිටීම සතුටට කරුණකි. ඔවුහු සමුළුව පිළිබඳව පුළුල් හා අවංක විවරණයක් ඉදිරිපත් කළහ.

එපමණක්ද නොව, සමුළුවට පැමිණි දහස් සංඛ්‍යාත නියෝජිතයෝද තම විශ්වාසයන් ගැන මහජනයා සමඟ කතා කළ අවස්ථාවලදී සමුළුව ගැන තොරතුරු පැවසූහ. නියෝජිතයෝ තමන් ගැවසුණු සෑම තැනකදීම තම කහපැහැති සමුළු කාඩ් පත පැළඳ සිටියෝය. සමුළුවට ආරාධනා ලැබ සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන් නොවූ බොහෝදෙනෙකුද පැමිණීම හේතුවෙන් අවසාන දිනයේදී ස්පෝට්ස් ශාලාව 15,760දෙනෙකුගෙන් පිරී ඉතිරී ගියේය. ජූලි අවසන් සති අන්ත දෙකේදී තෙසලෝනිකාහි පැලේ ඩ ස්පෝ ශාලාවේ පැවැත්වූ සමුළු සඳහා තවත් 13,173දෙනෙක්ද සහභාගි වූහ.

නිරීක්ෂකයෝ පුදුමයට පත්ව

යෙහෝවාගේ සාක්ෂිකරුවන් වූ ස්වේච්ඡා සේවකයන් 2,604ක විශාල පිරිසක් සමුළුව සඳහා ස්පෝට්ස් ශාලාව පිරිසිදු කර, පින්තාරු කර, සූදානම් කිරීමට එහි ඇදී ආ විට ක්‍රීඩාංගනයේ පාලකයෝ මෙසේ පැවසූහ. “මේ ක්‍රීඩාංගනයේ මීට කලින් කවදාවත් සිද්ධ වෙලා නැති දෙයක් අපේම දෑසින් බලාගන්නයි අපි මෙතන්ට ආවේ.” එක්කෙනෙක් මෙසේ පැවසීය. “හැම අවුරුද්දෙම මේ ක්‍රීඩාංගනය පාවිච්චි කරන්න. එතකොට මේක සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා වෙයි.”

ස්පෝට්ස් ශාලාවේ මහජන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂක ඇන්ඩ්‍රියස් වාර්ඩකිස් පුදුමයට පත් විය. “ඕගොල්ලෝ මේ ක්‍රීඩා භූමිය ලස්සන කරලා තියෙන්නේ පුදුම විදිහට” කියා ඔහු පැවසීය. “මේක නඩත්තු කරන්න අපිටත් කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඒත් මේ සමුළුව සාර්ථක කරන්න ජීවය ලබා දුන්නේ ඕගොල්ලන්ගේ සහභාගිත්වයයි.”

සමුළුව පැවැත්වෙන අතරේදී, සාමකාමී සෙනඟව පාලනය කරන්න තම මිනිසුන්ව අවශ්‍ය නැති බව වැටහුණු පොලිස්පතිවරෙයෙක් මෙසේ ප්‍රකාශ කළේය. “මේ තරම් ආචාරසම්පන්න විනය ගරුක සෙනඟක් මම කවදාවත් දැකලා නැහැ!”

සමුළුවේ උච්ඡ අවස්ථාවක්

දේශීය අධ්‍යාපනය හා ආගම් පිළිබඳ ග්‍රීක අමාත්‍යාංශය මගින් යෙහෝවාගේ සාක්ෂිකරුවන් “ප්‍රසිද්ධ ආගමක්” වශයෙන් පිළිගෙන තිබෙන බව සමුළුවේ අවසාන කතාවේදී නිවේදනය කරනු ලැබීය. එපමණක්ද නොව, ඇතන්ස්හි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දේශීය මූලස්ථානයටද අමාත්‍යාංශය මගින් නිල පිළිගැනීමක් ලබා දී තිබිණ. රජයේ ලියවිල්ලේ එක් කොටසක මෙසේ දැක්වේ.

“පරිපාලනය මගින් ක්‍රිස්තියානි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව ප්‍රසිද්ධ ආගමක් හැටියට සලකනු ලැබේ . . . මින්පසු නීතික වාසි සියල්ලම එයට ලැබිය හැකියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වූ ඉහත ලිපියෙහි නමස්කාරය, නමස්කාර ක්‍රමය හා නමස්කාර කිරීම සඳහා යොදාගැනෙන දේවල් සම්බන්ධයෙන්ද නිදහස රැක දී තිබේ. එමෙන්ම සෑම පල්ලියක් හෝ ආගමික රැස්වීමක් මෙහෙයවීමේ ක්‍රමය සම්බන්ධයෙන් තේරීමේ නිදහසද දී තිබේ. මෙම ආරක්ෂාව, දෙවිට නමස්කාරය සඳහා කැප කර තිබෙන පරිශුද්ධ හා පූජ්‍ය ස්ථානයක් වශයෙන් සැලකෙන මාරෝසිහි පිහිටි සාක්ෂිකරුවන්ගේ ඉඩම හා ගොඩනැඟිලි [යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය] දක්වා පුළුල් වේ. එම ගොඩනැඟිලි හඳුන්වන්නේ බෙතෙල්, එනම් ‘දෙවිගේ ගෘහය’ වශයෙනි.”

ආගමික නිදහස ලබාගැනීමට කැමති යෙහෝවාගේ සාක්ෂිකරුවෝ හා වෙනත් අය මෙම විධිවිධාන සඳහා කෘතඥ පූර්වක වෙති. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් “සියලු ආකාර භක්තියෙන් සහ සන්සුන්කමින් සමාදානවූ නිශ්චල ජීවිතයක්” ගත කිරීමට ක්‍රිස්තියානීන්ට හැකි වන්න කියා ඔව්හු යාච්ඤා කරති.—1 තිමෝති 2:1, 2.

[26වන පිටුවේ පින්තූර]

සාක්ෂිකරුවෝ ඔලිම්පික් ස්පෝට්ස් ශාලාවේ රැස් වෙති

[හිමිකම් විස්තර]

Harry Bilios