Skip to content

පටුනට යන්න

ඉගැන්වීමෙන් ලැබෙන තෘප්තිය හා ප්‍රීතිය

ඉගැන්වීමෙන් ලැබෙන තෘප්තිය හා ප්‍රීතිය

ඉගැන්වීමෙන් ලැබෙන තෘප්තිය හා ප්‍රීතිය

“ගුරු සේවයේ දිගටම නියැලීමට මට උපකාරවත් වන්නේ කුමක්ද? ඉගැන්වීම අමාරු හා වෙහෙසකාරි වුවත් දරුවන් ඉගෙනගැනීමට දක්වන ආශාව හා ඔවුන්ගේ ප්‍රගතිය දකින විට මෙම සේවය දිගටම කරගෙන යෑමට මට අලුත් පණක් ලැබෙනවා.”—නිව් යෝක් නගරයේ ලීමරීස් නම් ගුරුවරිය.

විවිධ අභියෝගයන්, පසුබැසීම් හා බලාපොරොත්තු සුන්වීම් මැද මිලියන ගණන් ගුරුවරුන් තවමත් තමන් තෝරාගත් සේවයේම නියැලෙමින් සිටිනවා. ප්‍රමාණවත් සමාජීය පිළිගැනීමක් නොලැබුණද දහස් සංඛ්‍යාත ශිෂ්‍යයන් ගුරුවරුන් වීමට අවශ්‍ය සුදුසුකම් ලබාගැනීමට වෙර දරන්නේ ඇයි? මේ සඳහා ඔවුන්ව පොලඹවන්නේ කුමක්ද?

රුසියාවේ ඊනා නම් පාසැල් ගුරුවරිය මෙසේ අදහස් දක්වයි. “ඔබ කලක් ඉගැන්වූ කුඩා දරුවන් යෞවනයන් බවට පත් වී සිටිනවා දැකීමත්, ඔබ ඉගැන්වූ දේවල් ඔවුන්ට ප්‍රයෝජනවත් හා ප්‍රායෝගික වුණායැයි අසන්න ලැබීමත්, ඔබ සමඟ ගත කළ කාලය ඔවුන් අගය කරන බව පවසන විටත් එය සිතට මහත් ප්‍රබෝධයක් ගෙන දෙයි.”

“විෂයක් කෙරෙහි ශිෂ්‍යයන්ගේ උනන්දුව පුබුදුවාලීමට සමත් වූ බව දැනගැනීමෙන් ලැබෙන තෘප්තිය අතිමහත්. උදාහරණයක් ලෙස මම වරක් ඉතිහාස පාඩමේ කොටසක් කියා දුන් පසු සමහර ශිෂ්‍යයන් ‘පාඩම නවත්වන්න එපා තවත් කියා දෙන්න’ කියා ආයාචනා කළා. මෙවැනි ක්ෂණික ප්‍රතිචාරයකින් ශිෂ්‍යයන්ගේ මනස තුළ කලින් සිදු නොවූ ආකාරයේ පිබිදීමක් සිදු වී ඇති බව පෙනී යනවා. එම ප්‍රතිචාර මගින් මානසිකව වැටී සිටින ගුරුවරයෙකුගේ තත්වය වෙනස් වීමට පවා පුළුවන්. විෂය කරුණු තේරුම්ගත් බවට ඔවුන්ගේ දීප්තිමත් ඇස් සාක්ෂි දෙන විට එයින් ලැබෙන සතුට කියා නිම කළ නොහැකි” යයි කලින් ලිපිවල අදහස් දැක්වූ ගුරුවරයෙක් වූ ජූලියානෝ පවසයි.

ඉතාලියේ සේවය කරන එලේනා නම් ගුරුවරියගේ අදහස් මේ. “තෘප්තියක් අද්දැකිය හැකි වන්නේ වැදගත්යයි සිතන ලොකු බලාපොරොත්තු ඉෂ්ට වීම තුළින් පමණක් නොවෙයි යන්න මගේ විශ්වාසයයි. හේතුව ඒවා ඉෂ්ට වන්නේ කලාතුරකින්. නමුත් ඉගෙනගැනීමේදී එදිනෙදා ජීවිතයේ දරුවන් ලබන චූටි චූටි සාර්ථකත්වයන් අපව සෑහීමට පත් කරයි.”

වයස අවුරුදු තිස් ගණන්වල පසු වන ඕස්ට්‍රේලියාවේ කොනි පවසන්නේ “ගුරුගෝල සම්බන්ධය නිසා ශිෂ්‍යයෙක් සමඟ විශේෂ බැඳීමක් ඇති වන අතර, එවැනි ශිෂ්‍යයෙක් තමා ලැබූ ගුරුහරුකම් හා මා දැරූ උත්සාහය ගැන ස්තුති කර ලිපියක් එවීමට කාලය ගැනීම තරම් වටිනා තෑග්ගක් තවත් නැහැ” යනුවෙනි.

ආර්ජන්ටිනාවේ මෙන්ඩෝසා නගරයේ ජීවත් වන ඔස්කා ඔහුගේ හැඟීම් ප්‍රකාශ කළේ මෙසේයි. “ශිෂ්‍යයන්ව පාරේදී හෝ වෙනත් තැනකදී හමු වූ විට මම ඔවුන්ට ඉගැන්වූ දේවල්වලට අගය පළ කිරීම නිසා මම වටිනා පුද්ගලයෙක්යයි හැඟී තිබෙනවා.” ස්පාඤ්ඤයේ මැඩ්රිඩ්හි ඒන්ජල් පැවසුවේ මෙයයි. “මගේ ජීවිත කාලයෙන් කොටසක් මේ වගේ අමාරු නමුත් අද්විතීය සේවයකට කැප කිරීමෙන් මම තෘප්තියක් ලබනවා. මම ලබන ලොකුම සතුට නම් මගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස යෞවනයන් අවංක පුරුෂයන් හා ස්ත්‍රීන් ලෙස වැඩී ක්‍රියා කරනවා දැකීමයි. ඒ තරම් ප්‍රීතියක් මට තවත් නැහැ.”

ආරම්භයේදී සඳහන් කළ ලීමරීස් ඇගේ මතකය අවදි කළේ මෙසේයි. “මම හිතනවා ගුරුවරු කියන්නේ විශේෂ පුද්ගලයන් කියලා. ගුරු වෘත්තිය වැනි භාරදූර වගකීමක් දැරීමට ඉදිරිපත් වීම නිසා අපි එක අතකින් අසාමාන්‍ය අය කියා කියන්නත් පුළුවන්. නමුත් ශිෂ්‍යයන් දහදෙනෙක් නැත්නම් අඩු තරමේ එක්කෙනෙක් තුළවත් ඔබට යම් වෙනසක් කරන්න පුළුවන් නම් ඔබේ වගකීම හොඳින් ඉෂ්ට කළා කියන ප්‍රීතිමත් හැඟීම ඔබට ඇති වෙනවා. එය ඔබගේ සේවය ප්‍රීතියෙන් කරන්න උදව් වෙයි.”

ඔබේ ගුරුවරුන්ව ඔබ අගය කර තිබෙනවාද?

ඔබ ශිෂ්‍යයෙක් හෝ දෙමව්පියෙක් හැටියට කවදා හෝ ගුරුවරයෙකුට ඔබ වෙනුවෙන් ගත කළ කාලයට, දැරූ වෑයමට හා දැක්වූ සැලකිල්ලට අගය දක්වා තිබෙනවාද? එසේත් නැත්නම් කාඩ්පතකින් හෝ ලිපියකින් ස්තුති කර තිබෙනවාද? කෙන්යාවේ නයිරෝබි නුවර ජීවත් වන ආතර් ඉතා වටිනා යමක් පැවසුවා. “ගුරුවරුන් ප්‍රශංසා ලබන විට ප්‍රීතියෙන් ඉපිල යනවා. රජය, දෙමව්පියන් සහ ශිෂ්‍යයන් ඔවුන්ගේ සේවය අගය කළ යුතුයි.”

ගුරුවරියක් හා කර්තෘවරියක් වන ලුඈන් ජොන්සන් මෙසේ සඳහන් කළා. “ගුරුවරුන් ගැන මට එක නිෂේධාත්මක ලිපියක් ලැබෙද්දී ඔවුන් ගැන ශුභවාදී ලියුම් සීයක් විතර ලැබෙනවා. මෙයින් මට තහවුරු වන දේ නම් නරක ගුරුවරුන්ට වඩා හොඳ ගුරුවරුන් ගණනින් වැඩි බවයි.” උනන්දුව දනවන කාරණය නම් බොහෝ ජනයා “තමන්ට ඉගැන්වූ ගුරුවරුන්ට ස්තුති කිරීම සඳහා ඔවුන්ව සොයාගැනීමට වෙනත් අයගේ උපකාරය ලබාගැනීමයි.”

කෙනෙකුට අවශ්‍ය අධ්‍යාපනික අඩිතාලම දමන්නේ ගුරුවරුන්. විශ්ව විද්‍යාලවල නම් දරන මහාචාර්යවරු පවා තමන්ගේ ගුරුවරුන්ට ණයගැති විය යුතු හේතු රාශියක් තිබෙනවා. ඔවුන් සඳහා කාලය වැය කිරීමත්, අධ්‍යාපනයට රුචිකත්වයක් හා පෙලඹීමක් ඇති කිරීමත්, දැනුම හා අවබෝධය ලබා දීමත් එවැනි හේතුයි. නයිරෝබි නුවර පදිංචි ආතර් පවසන පරිදි “රජයේ හා පෞද්ගලික ආයතනවල උසස් නිලතල දරන නිලධාරීන් පවා ජීවිතයේ යම් අවධියක ගුරුවරයෙකු යටතේ ශිල්ප හැදෑරූ අයයි.”

අපේ මනස හා හෘදය පොලඹවා කුතුහලයක් ඇති කර, දැනුම හා අවබෝධය සඳහා තිබුණු පිපාසය සංසිඳුවාලීමට මහත් වෑයමක් දැරූ මෙම ගුරු මහත්ම මහත්මීන්ට අප අනිවාර්යයෙන්ම කෘතඥපූර්වක විය යුතුයි.

හිතෝපදේශ 2:1-6 [NW] දක්වා ඇති මෙම වදන්වලට ආනුභාවය දුන් අපේ ශ්‍රේෂ්ඨ ගුරුවරයා වන යෙහෝවා දෙවිට අප මීට වඩා කොයිතරම් ස්තුතිය පුද කළ යුතුද? “මාගේ පුත්‍රය, ඔබ මාගේ කීම් පිළිගෙන, මාගේ ආඥා රක්ෂා කරමින්, ප්‍රඥාවට ඇහුම්කන් දී, විචාර බුද්ධියට ඔබේ සිත යොමු කරන්නේ නම්, එසේය, ඔබ අවබෝධයට හඬගසා, විචාර බුද්ධියට ඔබේ ශබ්දය නඟන්නේ නම්, ඔබ රිදී මෙන් ඇය සොයා, නිධාන ගැන මෙන් ඇය ගැන විභාග කරන්නේ නම්, ඔබ යෙහෝවා කෙරෙහි භයවීම තේරුම්ගන්නේය. දෙවි ගැන සැබෑ දැනුම සොයාගන්නේය. ප්‍රඥාව දෙන්නේ යෙහෝවාය. ඔහුගේ මුඛයෙන් දැනගැන්මද විචාර බුද්ධියද පැමිණෙන්නේය.”

එම කොටසෙහි “නම්” යන යෙදුම තුන් වතාවක් යොදා තිබෙනවා. අපි එම අභියෝගය බාරගැනීමට කැමති නම් අප “දෙවි ගැන සැබෑ දැනුම සොයාගන්නේය.” මෙය අපට ලබන්න පුළුවන් උසස්ම අධ්‍යාපනය නොවෙයිද?

[13වන පිටුවේ කොටුව]

ප්‍රීතිමත් දෙමාපියෙක්

පහත දැක්වෙන්නේ නිව් යෝක් නගරයේ ගුරුවරයෙක් ලද ලිපියක්.

“මගේ දරුවන් වෙනුවෙන් ඔබ කර ඇති දේවලට මගේ හෘදයාංගම අවංක ස්තුතිය ඔබට පුද කිරීමට කැමැත්තෙමි. ඔබගේ සැලකිල්ල, කරුණාව හා දක්ෂකම මගින් මගේ දරුවන්ට ජීවිතයේ හිණිපෙත්තටම යෑමට උපකාර කළේ ඔබයි. ඔබ නොසිටියා නම් ඔවුන්ට කිසිමදාක එය කළ නොහැකිය. අද මගේ දරුවන් ගැන මා ආඩම්බර වන්නේ ඔබ නිසයි. මෙය මට කවදාවත් අමතක නොවන අද්දැකීමකි. මීට, හිතවත් එස්. බී.”

ඔබටත් එසේ දිරිගැන්විය හැකි ගුරුවරයෙකුව ඔබ දන්නවාද?

[12වන පිටුවේ පින්තූරය]

‘විෂය කරුණු තේරුම්ගත් බවට ශිෂ්‍යයන්ගේ දීප්තිමත් ඇස් සාක්ෂි දෙන විට එයින් ලැබෙන සතුට කියා නිම කළ නොහැකියි.’—ඉතාලියේ ජූලියානෝ.

[13වන පිටුවේ පින්තූරය]

‘ශිෂ්‍යයෙක් ස්තුති කර ලිපියක් එවීමට කාලය ගැනීම තරම් වටිනා තෑග්ගක් තවත් නැහැ.’—ඕස්ට්‍රේලියාවේ කොනි