Skip to content

පටුනට යන්න

ඉගැන්වීමේදී ඇති වන අභියෝග හා අවදානම්

ඉගැන්වීමේදී ඇති වන අභියෝග හා අවදානම්

ඉගැන්වීමේදී ඇති වන අභියෝග හා අවදානම්

“ගුරුවරුන්ගෙන් බොහෝ දෑ අපේක්ෂා කළත් ඔවුන්ගේ කැපවීමට සමාජයෙන් ඔවුන්ට ලැබෙන ප්‍රශංසාව ඉතා අල්පයි.”—ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්ව විද්‍යාලයේ කෙන් එල්ටිස්.

අප පිළිගත යුතු කාරණය නම් “අත්‍යවශ්‍යම වූ සේවයක්” වශයෙන් හඳුන්වා ඇති ගුරු වෘත්තියේදී අභියෝග රැසකට මුහුණ දීමට සිදු වන බවයි. මෙම සේවයේදී මුහුණ පෑමට සිදු වන සමහර අභියෝග නම් ප්‍රමාණවත් වැටුපක් නොලැබීම, පන්ති කාමරවල ප්‍රමාණවත් පහසුකම් නොතිබීම, ලිපි ලේඛන කටයුතු අධික වීම හා පන්ති කාමරවල ප්‍රමාණය ඉක්මවූ ශිෂ්‍ය සංඛ්‍යාවක් සිටීම, ගුරුවරුන්ට අගෞරවනීය ලෙස සැලකීම, සැහැසියාව මෙන්ම දෙමව්පියන්ගේ නොසැලකිලිමත්බවයි. සමහර ගුරුවරුන් මෙම අභියෝග ජයගෙන තිබෙන්නේ කෙසේද?

ගෞරවයේ ඌනතාව

ගුරුවරුන් මුහුණපාන ප්‍රධාන ගැටලු සම්බන්ධව අපි නිව් යෝක් නගරයේ ගුරුවරුන් සතරදෙනෙකුගෙන් අදහස් විමසුවා. ඔවුන් එක හෙළා කියා සිටියේ “ගෞරව දැක්වීමේ ඌනතාවය” ප්‍රධාන ගැටලුවක් බවයි.

මේ සම්බන්ධව අප්‍රිකාවේ තත්වයද වෙනස් වී ඇති බව කෙන්යාවේ විලියම් පවසයි. “දරුවන් අතර විනය හීන වෙමින් පවතිනවා. මගේ ළමා කාලයේදී (දැන් ඔහුගේ වයස අවුරුදු හතළිහයි) අප්‍රිකානු සමාජයේ ගුරුවරුන්ව සැලකුවේ උසස් නිලයක් දරන ගෞරවයට පාත්‍ර වූ පිරිසක් හැටියටයි. එදා සමාජයේ තරුණ මහලු සැමෝම ගුරුවරයෙක් දිහා බැලුවේ අනුගමනය කළ යුතු ආදර්ශයක් ලෙසයි. මෙම ගෞරවය අද හීන වී තිබෙනවා. අප්‍රිකාවේ ගම්බද ප්‍රදේශවලට පවා බටහිර සංස්කෘතියෙන් බලපෑම් ඇති වෙමින් පවතිනවා. චිත්‍රපටි, වීඩියෝ දර්ශන, පොත් පත් මේ සෑම දෙයකින්ම හුවා දක්වන්නේ අධිකාරියට යටත් නොවීම වීර ක්‍රියාවක් ලෙසයි.”

ඉතාලියේ ගුරුවරයෙක් වන ජූලියානෝ ශෝකයෙන් මෙසේ පවසනවා. “සමාජයේ පැතිර පවතින කැරලිකාරකමේ, අකීකරුකමේ හා අධිකාරයට ගෞරවය නොදැක්වීමේ ස්වභාවය දරුවන්ටද බලපා තිබෙනවා.”

මත්ද්‍රව්‍ය හා සැහැසියාව

කනගාටුවට කාරණයක් නම් මත්ද්‍රව්‍ය උවදුර පාසැල්වලටද තර්ජනයක් වී තිබීමයි. මෙහි බලපෑම කොතරම්ද යත් එක්සත් ජනපදයේ ගුරුවරියක් හා කර්තෘවරියක් වන ලුඈන් ජොන්සන් සඳහන් කරනුයේ මෙයයි. “මත්ද්‍රව්‍ය උවදුරෙන් වැළකීමට ගත යුතු පියවර සෑම පාසැලකම මෙන්ම පෙර පාසැල් විෂය මාලාවටද ඇතුළත් කර තිබෙනවා. [අකුරු ඇල කළේ අපයි.] බොහෝ වැඩිහිටියන්ට වඩා . . . මත්ද්‍රව්‍ය සම්බන්ධ දැනුමක් දරුවන්ට තිබෙනවා.” ඇය තවදුරටත් මෙසේත් පැවසුවා. “මත්ද්‍රව්‍ය උවදුරට වැඩියෙන්ම ගොදුරු වන්නේ කාත් කවුරුත් නැතැයි හැඟෙන, ප්‍රේමය නොලබන, තනිකම හා පාළුව අද්දකින හෝ තමාට ආරක්ෂාව නැතැයි සිතන අයයි.”—Two Parts Textbook, One Part Love.

ඕස්ට්‍රේලියාවේ ගුරුවරයෙක් වන කෙන් මෙසේ ප්‍රශ්න කරයි. “අවුරුදු නවයේ දරුවෙකුට මත්ද්‍රව්‍ය දුන්නේ දෙමව්පියන් විසින්. දැන් ඒ දරුවා ඒකට ඇබ්බැහි වෙලා. මේ වගේ තත්වයන් සමඟ ගුරුවරු වන අපි කටයුතු කරන්නේ කොහොමද?” වයස අවුරුදු තිස් ගණන්වල පසු වන ජර්මනියේ උසස් පාසැලක ගුරුවරයෙක් වන මයිකල් මෙසේ සඳහන් කළා. “පාසැලේ මත්ද්‍රව්‍ය ගනු දෙනු කරන බව දැන සිටියත් එවැනි කෙනෙක් අසු වෙන්නේ ඉතා කලාතුරකින්.” ඔහු විනය නොරැකීම ගැන අදහස් ප්‍රකාශ කළේ මෙසේයි. “සියලු දේ විනාශ කිරීමට දරුවන් තුළ නැඹුරුවාවක් තිබේ. මේස හා බිත්ති කිලුටු කරයි, පුටු මේස කඩා බිඳ දමයි. මගේ සමහර ශිෂ්‍යයන් සාප්පුවල බඩු හොරකම් කිරීම හා වෙනත් දේ නිසා පොලිසියේ ප්‍රශ්න කිරීම්වලට ලක් වී තිබෙනවා. පාසැලේ නිතර හොරකම් සිදුවීම එසේනම් පුදුමයට කාරණයක් නොවෙයි.”

මෙක්සිකෝවේ ගුආනාජුආටෝ ප්‍රාන්තයේ ගුරුවරියක් වන අමීරා කියන්නේ මෙසේයි. “පවුලේ සිදු වන සැහැසියාව හා මත්ද්‍රව්‍ය ගැනීම දරුවන්ට කෙළින්ම බලපාන අතර මෙය අපට ලොකු ප්‍රශ්නයක්. මේ දරුවන් ජීවත් වන්නේ සම්පූර්ණයෙන්ම අසභ්‍ය භාෂාව හා වෙනත් නරක දේවල්වලට නිරාවරණය වූ පරිසරයකයි. දුප්පත්කම තවත් ලොකු ප්‍රශ්නයක්. මෙහි පාසැල් අධ්‍යාපනය දෙනු ලබන්නේ නොමිලේ වුණත් පොත් පත් හා පාසැල් උපකරණ දෙමව්පියන් විසින් සපයා දිය යුතුයි. ඒවා කෙසේවෙතත් සපයා දිය යුතු ඔවුන්ගේ මූලික අවශ්‍යතාවය නම් ආහාරයි.”

පාසැල තුළ අවි!

මෑතකදී එක්සත් ජනපදයේ පාසැල්වල සිදු වුණු වෙඩි තබාගැනීම්වලින් පැහැදිලි වන්නේ එම රටේ සැහැසියාව සුළු කොට තැකිය යුතු යමක් නොවන බවයි. එක් වාර්තාවක පෙන්නුම් කරන පරිදි එහි “පාසැල් 87,125ට සෑම දිනකම තුවක්කු 1,35,000ක් ගෙනෙන බව ගණන් බලා තිබෙනවා. මෙම පාසැල්වලට ගෙනෙන තුවක්කු ගණන අවම කිරීමට නිලධාරීන් අවි ආයුධ පරීක්ෂා කිරීමේ උපකරණ (metal detectors), පරීක්ෂා කර බැලීමේ කැමරා (surveillance cameras), ඉව අල්ලා තුවක්කු සොයාගැනීමට විශේෂයෙන් පුහුණු කරන ලද බල්ලන්, ශිෂ්‍යයන් බඩු තබන කුඩා කබඩ් පරීක්ෂා කර බැලීම, හැඳුනුම්පත් ලබා දීම සහ පොත් බෑග් පාසැලට ගෙන ඒම තහනම් කිරීම වැනි විවිධ ක්‍රම උපයෝගී කරගනී.” (අමෙරිකාවේ ඉගැන්වීම [සිංහලෙන් නොමැත] නමැති පොත ආශ්‍රයෙනි.) මෙවැනි දෑ පිළිබඳව සාකච්ඡා කිරීමේදී ඇති වන සැකය නම් අපි කතා කරන්නේ පාසැල් ගැනද නැත්නම් හිර ගෙවල් ගැනද යන්නයි. එම වාර්තාවේ පෙන්නුම් කරන පරිදි තුවක්කු ගෙන ඒම නිසා ශිෂ්‍යයන් 6,000කට වඩා වැඩිදෙනෙක් පාසැලෙන් අස් කර තිබෙනවා!

නිව් යෝක් නගරයේ ගුරුවරියක් වන අයිරිස්, පිබිදෙව්! සඟරාවට අදහස් දැක්වූයේ මෙසේයි. “ශිෂ්‍යයන් රහසින් අවි පාසැලට ගේනවා. මේවා ආයුධ පරීක්ෂා කරන යන්ත්‍රවලට අසු වන්නේ නැහැ. ඒ වගේම දේපළ විනාශ කිරීම පාසැල්වල ඇති තවත් බරපතළ ප්‍රශ්නයක්.”

වගකීමේ හැඟීමෙන් සේවය කරන ගුරුවරුන්ට, කිසි නීතියකට යටත් වීමට අකමැති සමාජයක සිටින දරුවන්ට අධ්‍යාපනයක් ලබා දීම හා සාරධර්ම ගැන අවබෝධ කර දීම දුෂ්කර කාර්යයක්. බොහෝ ගුරුවරුන් මානසික අවපීඩනයට ලක්වීම මෙන්ම මානසිකව හා ශාරීරිකව විඩාවට පත්වීම පුදුමයට කාරණයක් නොවේ. ජර්මනියේ තුරින්ජීයාහි ගුරු සංගමයේ සභාපති රෝල්ෆ් බුෂ් පැවසුවේ “ජර්මනියේ සේවය කරන ගුරුවරුන් මිලියනයකින් තුනෙන් පංගුවක් ආතතියෙන් (මානසික පීඩනයෙන්) පෙළෙන බවත් රැකියාව කරන අතරතුරේදී මානසිකව හා ශාරීරිකව විඩාවට පත් වන බවත්ය.”

දරුවන් ඇති ළමෝ

තව මුහුණ පෑමට සිදු වන බරපතළ ගැටලුවක් නම් නව යොවුන් වියේ පවත්වන ලිංගික සම්බන්ධකම්ය. අමෙරිකාවේ ඉගැන්වීම නමැති පොතේ කර්තෘ ජෝර්ජ් එස්. මොරිසන් ඒ රටේ තත්වය ගැන කියන්නේ “සෑම අවුරුද්දකම නව යොවුන් වියේ පසු වන දරුවන් මිලියනයක් (අවුරුදු 15-19 අතර ගැහැනු ළමයින්ගෙන් සියයට 11ක්) ගර්භිණී වෙනවා” කියායි. ලෝකයේ දියුණු රටවල් අතරින් වැඩියෙන්ම යොවුන් වියේ ගැබ්ගැනීම් සිදු වන්නේ එක්සත් ජනපදයේ.

මෙම තත්වය තහවුරු කරමින් අයිරිස් පැවසුවේ මෙයයි. “නව යොවුන් වියේ පසු වන දරුවන් කතා කරන්නේ ලිංගික කාරණා හෝ සාදයන් ගැන විතරයි. මේවා ඔවුන්ගේ සිතට කොච්චර කාවැදිලා තියෙනවාද කියනවා නම් ඔවුන්ට ඒ හැර වෙන ලෝකයක් නැහැ. ඒ විතරක් නෙවෙයි, දැන් පාසැල් පරිගණකවලට අන්තර්ජාල පහසුකමුත් තිබෙනවා! ඒ නිසා ඔවුන් අන්තර්ජාල සංවාද පැවැත්වීමට හා අසභ්‍ය පින්තූර බැලීමට පහසුවෙන්ම පෙලඹෙනවා.” ස්පාඤ්ඤයේ මැඩ්රිඩ්හි ඒන්ජල් වාර්තා කරන්නේ “ශිෂ්‍යයන් විවිධ පුද්ගලයන් සමඟ ලිංගිකව හැසිරීම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. මේ නිසා ඉතා බාල වියේ පසු වන ශිෂ්‍යාවන් පවා ගැබ්ගෙන තිබෙනවා” යනුයි.

‘දරුවන් බලාගන්නන් නොව ගුරුවරුන්ය’

ගුරුවරුන් කරන තව චෝදනාවක් නම් දෙමව්පියන් තම දරුවන්ට නිවසේදී ඉගැන්වීමට ඇති වගකීම පැහැරහරින බවයි. දරුවන්ට මුලින්ම අධ්‍යාපනය දීමට බැඳී සිටින්නේ දෙමව්පියන් බව ගුරුවරුන්ගේ හැඟීමයි. යහපත් පුරුදු හා සමාජ සිරිත් විරිත් ඉගැන්වීම ආරම්භ විය යුත්තේ ගෙදරින්. අමෙරිකාවේ ගුරුවරුන්ගේ ඒකාබද්ධ සංගමයේ සභාපති සැන්ඩ්‍රා ෆෙල්ඩ්මන් දැක්වුවේ මෙවන් අදහසක්. ‘ගුරුවරුන්වත් අනෙක් වෘත්තීන්වල නියැලෙන්නන් හා සමානව සැලකිය යුතුයි. ඔවුන් දරුවන් බලාගන්නන් නොව ගුරුවරුන්ය.’

පාසැලෙන් ලැබෙන උපදෙස් ක්‍රියාත්මක කිරීමට බොහෝවිට දෙමව්පියන් අසමත් වෙනවා. කලින් ලිපිවල අදහස් දැක්වූ ලීමරීස් පිබිදෙව්! සඟරාවට මෙසේ පැවසුවා. “ශිෂ්‍යයෙක් බාල අපචාරයෙක්යයි විදුහල්පතිට දැනුම් දුන් විට බලාපොරොත්තු විය හැකි දේ නම් දෙමව්පියන් මේ සම්බන්ධව උරණ වීමයි.” මෙවැනි හික්මවීමට අපහසු ශිෂ්‍යයන් සමඟ කටයුතු කිරීම ගැන අදහස් දක්වමින් ඉහත සඳහන් කළ බුෂ් පැවසුවේ මෙලෙසයි. “පවුල තුළ දරුවන්ව හික්මවීම කෙමෙන් නැති වී යයි. හොඳ උපදෙස් හා මඟපෙන්වීම් අනුව වැඩෙන දරුවන් ඉඳීවියයි බලාපොරොත්තු විය නොහැකියි.” ආර්ජන්ටිනාවේ මෙන්ඩෝසාහි ස්ටෙලා කීවේ “ගුරුවරුන් වන අපි ශිෂ්‍යයන්ට බයයි. අපි ඔවුන්ට අඩු ලකුණු දුන්නොත්, ඔවුන් අපිට ගල් ගසා හිරිහැර කරනවා. අපිට වාහනයක් තියෙනවා නම් ඒකට අලාභ හානි කරනවා” යනුවෙනි.

එසේනම් බොහෝ රටවල ගුරු හිඟයක් තිබීම පුදුමයට කාරණයක් නොවෙයි නේද? නිව් යෝක්හි කාර්නෙගී ආයතනයේ සභාපති වාටන් ග්‍රෙගෝරියන් අනතුරු ඇඟවීමක් කරමින් “ඊළඟ දස වසර තුළ අපට (එක්සත් ජනපදයේ) අලුත් ගුරුවරුන් මිලියන 2.5ක් අවශ්‍ය වේ” යයි පැවසුවා. එහි ප්‍රධාන නගර “ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකාව හා යුරෝපය වැනි රටවලින් හොඳ ගුරුවරුන් ලබාගැනීමට උනන්දුවෙන් ක්‍රියා කරනවා.” ඒ නිසා නුදුරු අනාගතයේදී එම රටවලත් ගුරු හිඟයක් ඇතිවීමට ඉඩ තිබේ.

ගුරු හිඟයට හේතුව

ගුරු සේවයේ අවුරුදු 32ක පළපුරුද්දක් ඇති ජපානයේ යෝශිනෝරි නම් ගුරුවරයා අදහස් දැක්වූයේ මෙලෙසයි. “ජපානයේ ගුරු සේවය සලකන්නේ දිරිගැන්වීමක් ලබා දිය යුතු උදාර සේවයක් හැටියටයි. මෙම සේවය බොහෝ ගෞරවයෙන් සලකනු ලබනවා.” අභාග්‍යයකට මෙන් මෙය සෑම සංස්කෘතියකම දැකිය හැකි ලක්ෂණයක් නොවෙයි. කලින් අදහස් දැක්වූ ග්‍රෙගෝරියන් පැවසුවේ මෙලෙසයි. ගුරු “වෘත්තියට නිසි ගෞරවයක්, පිළිගැනීමක් හා වැටුපක් ලැබෙන්නේ නැහැ. . . . බොහෝ ප්‍රාන්තවල (එ.ජ.) උපාධියක් අවශ්‍ය කරන වෘත්තීන් අතරින් අඩුම වැටුපක් ගෙවන්නේ ගුරු වෘත්තිය සඳහායි.”

මුලින් අදහස් දැක්වූ කෙන් එල්ටිස් මෙසේ පවසයි. “ගුරු වෘත්තියට අවශ්‍ය සුදුසුකම්වලට වඩා අඩු සුදුසුකම් අවශ්‍ය කරවන රැකියා කරන අයට වැඩි වැටුපක් ගෙවන බව දැනගන්නා ගුරුවරුන් ගන්නා පියවර කුමක්ද? ඔවුන් මීට මාස 12කට පමණ පෙර ඉගැන්වූ ශිෂ්‍යයන් ඔවුන්ට වඩා ආදායමක් ලබන රැකියාවක් දැන් හෝ තව අවුරුදු පහකින් කරන බව දැනගත් විට ගන්නා පියවර කුමක්ද? මෙවැනි හේතු නිසා ගුරුවරයෙකුට තමා නොවටිනවායයි හැඟිය හැකියි.”

විලියම් අයර්ස් මෙසේ ලිව්වා. “ගුරුවරුන්ට ලැබෙන්නේ ඉතා අඩු වැටුපක්. . . . අපි උපයන්නේ නීතිඥයෙකු උපයන ප්‍රමාණයෙන් සීයට විසිපහක් පමණයි. ඒ වගේම ගණකාධිකාරින්ගේ වැටුපෙන් භාගයක් වන අතර ට්‍රක් රියැදුරෙක් හා නැව් තටාකවල රැකියා කරන කෙනෙකුගේ වැටුපටත් වඩා අඩුවෙනුයි. . . . ගුරු වෘත්තිය තරම් වෙහෙසීමට සිදු වන, ඒ වගේම අඩු වැටුපක් ලබා දෙන රැකියාවක් තවත් නැහැ.” (ඉගැන්වීම—ගුරුවරයෙකුගේ ගුරු ගමන) මෙම මාතෘකාව යටතේ කතා කරමින් එක්සත් ජනපදයේ හිටපු නීතිපති ජැනට් රෙනෝ 2000 නොවැම්බර් මාසයේදී පැවසුවේ මෙයයි. “අපිට මිනිස්සු හඳට යවන්න පුළුවන්. . . . අපේ ක්‍රීඩකයන්ට විශාල වැටුප් ගෙවනවා. නමුත් අපේ ගුරුවරුන්ට ඇයි මේ අඩු සැලකිල්ලක්?”

“පොදුවේ ගත් කල ගුරුවරුන්ට ගෙවන්නේ අඩුවෙන්” කියා ලීමරීස් පවසනවා. “මම සෑහෙන අවුරුදු ගානක් ඉගෙනගත්තත් මේ වෙහෙසකාරි නාගරික ජීවන රටාවක් ඇති නිව් යෝක් නගරයේ මට තවමත් ලැබෙන්නේ අඩු වාර්ෂික වැටුපක්.” රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග්හි වැලන්ටීනා පැවසුවේ මෙලෙසයි. “ලැබෙන ගුරු වැටුපෙන් පෙනී යන්නේ ගුරු සේවය අගය නොකරන බවයි. ඉස්සර ඉඳන්ම ගුරුවරුන්ට ලැබී තිබෙන්නේ සාමාන්‍ය අවම වැටුපට වඩා හුඟක් අඩු වැටුපක්.” ආර්ජන්ටිනාවේ චුබට්හි මාර්ලින් මෙයට එකඟ වෙමින් මෙසේ පවසයි. “අඩු වැටුපක් ලැබෙන නිසා තැන් දෙක තුනක සේවය කරන්න සිදු වෙලා තියෙනවා. ඒ හින්දා අපිට නිතර එහෙට මෙහෙට දුවන්න වෙනවා. මෙම තත්වය අපේ හැකියාවන් බාල කිරීමට හේතු වී තිබෙනවා.” පිබිදෙව්! සඟරාවට අදහස් දක්වමින් කෙන්යාවේ නයිරෝබි නුවර ගුරුවරයෙක් වන ආතර් පවසන්නේ මෙයයි. “ආර්ථිකය පහත වැටෙන නිසා මට දිගටම ගුරු වෘත්තිය කරගෙන යෑම පහසු නැහැ. මෙම සේවයට බැඳීමට බොහෝ අය මැළිකමක් දක්වන්නේ අඩු වැටුප් නිසා බව මා සමඟ වැඩ කරන බොහෝ අය පිළිගන්නවාට කිසිම සැකයක් නැහැ.”

නිව් යෝක් නගරයේ ගුරුවරියක් වන ඩයනා කියන්නේ ඔවුන්ගේ කාලයෙන් බොහෝ වේලාවක් අමතර ලිපි ලේඛන වැඩ සඳහා වැය කිරීමට සිදු වී තිබෙන බවයි. තවත් ගුරුවරියක් ලිව්වේ “බොහෝ කාලයක් වැය වන්නේ නැවත නැවත කිරීමට සිදු වන ඒකාකාරි චර්යා රටාවට” බවයි. තවත් පොදුවේ චෝදනා එල්ල වන්නේ “දවස මුළුල්ලේම අනවශ්‍ය ලෙස පෝරම පිරවීමට සිදුවීම” ගැනයි.

ගුරුවරුන් මදියි ශිෂ්‍යයන් වැඩියි

ජර්මනියේ ඩියුරන්හි බර්ට්හෝල්ඩ් පැවසූ පරිදි තවත් නිතර කරනු ලබන චෝදනාවක් නම් “පන්ති විශාල වැඩියි. සමහර පන්තිවල ශිෂ්‍යයන් 34ක් පමණ ඉන්නවා. මේ නිසා දුර්වලකම් හෝ අපහසුතා ඇති ශිෂ්‍යයන්ට පෞද්ගලික අවධානයක් දෙන්න බැහැ. ඔවුන්ව අතපසු වෙනවා. ඔවුන්ගේ පෞද්ගලික අවශ්‍යතාවන් සපුරාලීම ගිලිහී යනවා.”

කලින් අදහස් දැක්වූ ලීමරීස් ගැටලුව විස්තර කරන්නේ මෙලෙසයි. “දෙමව්පියන් දරුවන් රැකබලා නොගැනීමට අමතරව ගිය අවුරුද්දේ මට මුහුණ පෑමට සිදු වූ ලොකුම ප්‍රශ්නය වූයේ ශිෂ්‍යයන් 35ක් පන්තියේ සිටීමයි. ටිකක් කල්පනා කර බලන්න, අවුරුදු හයේ ළමයි 35දෙනෙක් එක්ක වැඩ කිරීම ගැන!”

අයිරිස් මෙසේ පවසනවා. “නිව් යෝක් නගරයේ ගුරු හිඟයක් තියෙනවා. විශේෂයෙන් විද්‍යා හා ගණිත ගුරුවරුන්ගේ. ඔවුන්ට මීට වඩා හොඳ රැකියා වෙනත් තැන්වල ලබාගන්න පුළුවන්. ඒ නිසා නගරයේ පාසැල්වල උගන්වන්න විදේශීය ගුරුවරුන් ගෙන්වා තිබෙනවා.”

අනිවාර්යයෙන්ම ගුරු සේවය සඳහා සෑහෙන්න කාලය, ශ්‍රමය වැය කළ යුතුයි. නමුත් ගුරුවරුන්ව මේ සේවයට පොලඹවන්නේ කුමක්ද? ඔවුන් දිගටම මේ සේවයේ නියැලී එය රැකගන්නේ ඇයි? අපේ අවසාන ලිපිය මේ සම්බන්ධව කරුණු ගෙනහැර දක්වයි.

[9වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

සෑම දවසකම තුවක්කු 1,35,000ක් එ.ජ. පාසැල්වලට ගෙනෙන බව ගණන් බලා තිබේ

[10වන පිටුවේ කොටුව⁄පින්තූරය]

සාර්ථක ගුරු සේවයේ රහස

සාර්ථක ගුරුවරයෙක් යන යෙදුමට ඔබ අර්ථකථනයක් දෙන්නේ කෙසේද? දරුවෙකුගේ මතක ශක්තිය දියුණු කිරීම මගින් විභාග සමත් වීමට උපකාර කරන ගුරුවරයා සාර්ථක කෙනෙක්ද? නැතහොත් සාර්ථක ගුරුවරයෙක් වන්නේ ශිෂ්‍යයෙකුට කල්පනා කිරීමට, ප්‍රශ්න කිරීමට හා තර්ක කිරීමට උගන්වන කෙනෙක්ද? එසේත් නැත්නම් යහපත් පුරවැසියෙක් වීමට උදව් කරන ගුරුවරයාද සාර්ථක?

“ගුරුවරුන් හැටියට අපි දරුවන්ගේ සංකීර්ණ ජීවිත මාර්ගයේ ඔවුන් හා එකට අත්වැල් බැඳ යන සහකරුවෝ. මනුෂ්‍යයන් හැටියට ඔවුන්ට අවශ්‍ය කරන ගෞරවය හා උසස් තත්වය ලබා දීමට අප කටයුතු කරනවා නම් අපි වටිනා ගුරුවරුන් වෙනවා. එය පහසු දෙයක් බව හැඟුණද එය ඉෂ්ට කිරීමට අපහසු දෙයක්.”—ඉගැන්වීම—ගුරුවරයෙකුගේ ගුරු ගමන.

දක්ෂ ගුරුවරයෙක් සෑම ශිෂ්‍යයෙකුගේම දක්ෂතාවන් හඳුනාගන්නා අතර ඒවා දළුලා වැඩීමට උපකාර කරයි. විලියම් අයර්ස් නිරීක්ෂණය කළේ මෙයයි. “අපි ඒ සඳහා වඩාත් සාර්ථක ක්‍රමයක් සොයාගත යුතුයි. එය ශක්තීන්, පළපුරුද්ද හා නිපුණත්වය මත ගොඩනැංවිය යුතුයි . . . අමෙරිකානු මුල්වාසීන්ට අයත් දෙමාපියෙක් ‘ධාරණ ශක්තිය අඩු’ යයි ලේබල් ගසා තිබූ තම අවුරුදු පහේ දරුවා වෙනුවෙන් කළ ආයාචනය මට මතක් වෙනවා. ඇය කිව්වේ මෙහෙමයි. ‘වින්ඩ් වුල්ෆ් කුරුලු වර්ග 40ක නම් හා උන්ගේ සංක්‍රමණ මාර්ග ගැන දන්නවා. සමබරව පියාසර කරන රාජාලියෙකුට අගිස්සේ වලිග පිහාටු දහතුනක් තිබෙන බවත් ඔහු දන්නවා. ඔහුට අවශ්‍ය වන්නේ ඔහුගේ හැකියාවන් තේරුම්ගැනීමට හැකි ගුරුවරයෙක්.’”

ශිෂ්‍යයෙකුගේ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට නම් ගුරුවරයා එම ශිෂ්‍යයා කැමැත්තක් දක්වන්නේ මොනවාටද, ඔහුව පොලඹවන්නේ මොනවාද කියා සොයා බැලිය යුතුයි. එපමණක් නොව ඔහුට ආවේණික වූ සිතුවිලි හා හැසිරීම් රටාවට හේතු වන්නේ කුමක්ද කියාත් හඳුනාගත යුතුයි. සේවයට කැප වූ ගුරුවරයෙක් ශිෂ්‍යයන්ට ආදරේ කළ යුතුයි.

[හිමිකම් විස්තර]

United Nations/Photo by Saw Lwin

[11වන පිටුවේ කොටුව]

ඉගෙනුම සෑම විටම විනෝදයක් විය යුතුද?

ගුරුවරයෙක් වන විලියම් අයර්ස් ඉගැන්වීම පිළිබඳව ඇති දුර්මත දහයක් ලැයිස්තුගත කළා. එයින් එකක් නම් “දක්ෂ ගුරුවරුන් ඉගෙනගැනීම විනෝදජනක අද්දැකීමක් බවට පත් කරයි” යන අදහසයි. ඔහු තවදුරටත් පැවසුවේ මෙලෙසයි. “විනෝදය අවධානය වෙනතකට යොමු කරයි, හාස්‍ය උපදවයි. විහිළු කරන්නෙක් සිනා උපදවයි. විහිළු කතා විනෝදය ගෙන දෙයි. නමුත් ඉගෙනගැනීම කියන්නේ සිත් ඇදගන්නා, මුළු අවධානයම යොමු කළ යුතු, පුදුම දනවන, මනස ව්‍යාකූල කරවන මෙන්ම ඉතා ප්‍රියජනක අද්දැකීමක්. එවැනි දෙයක් විනෝදය ගෙන දෙන යමක් නම් හොඳයි. නමුත් මෙය සැමවිටම විනෝදය ගෙන දිය යුතු නැහැ.” ඔහු තව දුරටත් මේ ගැන කිව්වේ මෙසේයි. “ඉගැන්වීමට පුළුල් දැනුම, හැකියාව, දක්ෂකම, විචාර බුද්ධිය හා තේරුම්ගැනීම අවශ්‍යයි. තවද ඉගැන්වීමට අත්‍යවශ්‍ය ගුණාංග නම් අනුන් ගැන සිතීමටත්, සැලකිලිමත් වීමටත් හැකිවීමයි.”—ඉගැන්වීම—ගුරුවරයෙකුගේ ගුරු ගමන.

ජපානයේ නාගෝයා නගරයේ සේවය කරන සුමියෝ ඔහුගේ ශිෂ්‍යයන්ගේ ගැටලුව ගැන පැවසුවේ මෙලෙසයි. “උසස් පාසැල්වල අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් කිසිම දෙයක් කෙරෙහි උනන්දු වෙන්නේ නැති අතර වෑයමක් දරන්නේද නැහැ. ඔවුන් කැමති විනෝදයට පමණයි.”

නිව් යෝක් බෘක්ලින්හි ශිෂ්‍යයන්ට උපදෙස් දෙන රෝසා කිව්වේ මෙයයි. “ශිෂ්‍යයන් තුළ ඇති වන සාමාන්‍ය හැඟීම නම් ඉගෙනගැනීම නිරස දෙයක් බවයි. ගුරුවරුන්ද නීරසයි. ඔවුන් හිතන්නේ සෑම දෙයක්ම විනෝදයෙන් කළ යුතු බවයි. නමුත් අමතක කර තිබෙන දේ නම් තමන්ට යමක් ඉගෙනගත හැකි වන්නේ ඔවුන් ඒ සඳහා දරන වෑයම අනුව බවයි.”

විනෝදයට තදින් බැඳී සිටින යෞවනයන්ට යමක් සඳහා වෑයම් කිරීමට හෝ පරිත්‍යාගයන් කිරීමට අසීරුයි. කලින් අදහස් දැක්වූ සුමියෝ තවදුරටත් මෙසේ පවසනවා. “තමන්ගේ දිගු කාලීන යහපතක් සඳහා යමක් කිරීමේ අවශ්‍යතාවය ඔවුන් වටහාගෙන නැහැ. දැන් මහන්සි වී අධ්‍යාපන කටයුතුවල නියැලුණොත් එයින් ඔවුන්ගේ අනාගතයට යහපතක් වන බව තේරුම්ගෙන තිබෙන්නේ උසස් පාසැලේ ශිෂ්‍යයන් කිහිපදෙනෙක් පමණයි.”

[7වන පිටුවේ පින්තූරය]

ඩයනා, අ.එ.ජ.

[8වන පිටුවේ පින්තූරය]

‘පාසැලේ මත්ද්‍රව්‍ය ගනු දෙනු කරන බව දැන සිටියත් එවැනි කෙනෙක් අසු වෙන්නේ ඉතා කලාතුරකින්.’—ජර්මනියේ මයිකල්

[8, 9වන පිටුවේ පින්තූරය]

“පවුලේ සිදු වන සැහැසියාව හා මත්ද්‍රව්‍ය ගැනීම දරුවන්ට කෙළින්ම බලපාන අතර මෙය අපට ලොකු ප්‍රශ්නයක්.”—මෙක්සිකෝවේ අමීරා

[9වන පිටුවේ පින්තූරය]

‘ගුරුවරුන්වත් අනෙක් වෘත්තීන්වල නියැලෙන්නන් හා සමානව සැලකිය යුතුයි. ඔවුන් දරුවන් බලාගන්නන් නොව ගුරුවරුන්ය.’—අමෙරිකාවේ ගුරුවරුන්ගේ ඒකාබද්ධ සංගමයේ සභාපති සැන්ඩ්‍රා ෆෙල්ඩ්මන්