Skip to content

පටුනට යන්න

ඔබේ රැකියා ස්ථානය අනතුරු රහිත තැනක් කරගන්න

ඔබේ රැකියා ස්ථානය අනතුරු රහිත තැනක් කරගන්න

ඔබේ රැකියා ස්ථානය අනතුරු රහිත තැනක් කරගන්න

රැකියා ස්ථානයේදී සෞඛ්‍යයට හා ආරක්ෂාවට එල්ල වන තර්ජන අඩු කිරීම සඳහා නීති සම්පාදනය කර තිබුණත් වැඩපොළේ දරුණු තුවාල ලැබීම හා මිය යෑම තවමත් විශාල ගැටලුවකි. මෙයින් පැහැදිලි වන්නේ නීති මගින් පමණක්ම රැකියා ස්ථානයේ ආරක්ෂාව සහතික කරගත නොහැකි බවයි. තමාගේ මෙන්ම අන්‍යයන්ගේ ආරක්ෂාව සහතික කරගැනීම පිළිබඳව ස්වාමිවරුන් මෙන්ම සේවකයන්ද යම් තාක් දුරකට වගකිව යුතුයි.

එමනිසා වැඩපොළේ සිටින සියලුදෙනාම තමන්ගේ රැකියා ස්ථානයේදී පවතින වාතාවරණය ගැනද තමන්ගේ පුරුදු ගැනද කිට්ටු අවධානයක් දීම නුවණට හුරුයි. නිදසුනකට, ඔබේ වැඩපොළ ඇත්තෙන්ම ආරක්ෂා සහිතද කියා ඔබ සලකා බලා තිබෙනවාද? ඔබට විෂ ද්‍රව්‍ය සමඟ වැඩ කිරීමට සිදු වෙනවාද? එසේ නම්, ඔබ එම ද්‍රව්‍යවලට එරෙහිව ප්‍රමාණවත් ආරක්ෂාව සලසාගෙන තිබෙනවාද? ඔබ නිතරම මානසික පීඩනයට ලක් වී සිටිනවාද? නීතික කාල සීමාවලට පටහැනිව දිව යන කාලසටහනක් අනුව වැඩ කිරීමට ඔබ සාමාන්‍යයෙන් එකඟ වෙනවාද?

මෙම ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේදී ඔබේ රැකියා ස්ථානය කොතරම් ආරක්ෂා සහිතද යන්න හෙළි විය හැකියි.

අවදානම් තත්වයන් ගැන සාවධානව සිටින්න

යථාර්ථවාදී නොවන කාලසටහනකට අනුව වැඩ කිරීම භයානක දෙයක් විය හැකියි. ඕස්ට්‍රේලියාවේ ක’ටින් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ලෝසන් සේවරි හා තවත් පර්යේෂකයෙක් රැකියා ස්ථාන 37,200ක වැඩ කරන සේවකයන් මිලියන 3.6ක් යොදාගෙන කළ සමීක්ෂණයක ප්‍රතිඵල පර්යේෂණ වාර්තාවක ප්‍රකාශයට පත් කළහ. එහි මාතෘකාව වූයේ “අමතර පැය ගණනාවක් රැකියාවේ යෙදී සිටීම: එය අනතුරුදායකද? එලෙස කිරීමට ජනයා කැමැත්තක් දක්වනවාද?” යන්නයි. එම ප්‍රශ්න දෙකටම ‘එසේය’ යනුවෙන් පිළිතුරු ලැබිණ.

ඇත්තෙන්ම විඩාවට පත් වූ සේවකයන්ගේ කාර්යක්ෂමතාව අඩු වන අතර ඔවුන් අතින් වැරදි සිදුවීමට තිබෙන ඉඩ කඩද වැඩියි. ද සන් හෙරල්ඩ් නමැති ඕස්ට්‍රේලියානු පුවත් පතේ වාර්තාවකට අනුව මහාචාර්ය සේවරි මෙසේ පැවසීය. “බොහෝ ආයතන තම සේවකයන්ව රැකියාවට වහල් කර තිබෙන අතර එවැනි නැඹුරුවාවක් දක්වන සේවකයන්ව සොයා ඔවුන්ට තෑගි බෝග පවා පිරිනමනවා.” මෙවැනි ක්‍රියාකලාපයක් අනුගමනය කිරීමෙන් ඉතා භයානක ප්‍රතිඵල අත් විය හැකියි. මෙම ගැටලුව වැඩියෙන්ම දක්නට ලැබෙන්නේ ප්‍රවාහන ක්ෂේත්‍රය තුළයි. මන්ද එහි රියදුරන්ට පැය ගණනාවක් පුරා විවේකයක් නොමැතිව සේවය කරන මෙන් උනන්දු කෙරේ. ඔවුන්ට එසේ කිරීමට බල කරන අවස්ථාද තිබේ. ඇත්තෙන්ම, මෙය සමහර රටවල නීතියෙන් පවා තහනම් කර ඇත.

අපිළිවෙළකට සිටීම හා අපිරිසිදුකම ඇතුළු රැකියා ස්ථානයේ වෙනත් නොහොබිනා පුරුදුද අවදානමක් විය හැකියි. වැඩ සඳහා භාවිත කරන ආවුද බිම සෑම තැනම විසිරී ඇත්නම් හෝ සක්‍රිය විදුලි රැහැන් නිරාවරණය වී ඇත්නම් අනතුරක් සිදු විය හැකි අතර එය ඇතැම්විට මරණයට පවා හේතුවීමට පුළුවන. විදුලි උපකරණ හා යන්ත්‍ර භාවිත කිරීමේදී අවශ්‍ය ආරක්ෂිත පියවර නොගැනීමෙන්ද එවැනිම ප්‍රතිඵල අත් විය හැක. දරුණු තුවාලවලට හා මරණයට තුඩු දිය හැකි තවත් දෙයක් වන්නේ බිම ඉහිරුණු දියර පිරිසිදු නොකිරීමයි. මෙය විශේෂයෙන්ම අනතුරුදායක වන්නේ විෂ සහිත ද්‍රාවණ ඉහිරුණු විටයි. තෙල් සහිත හෝ තෙතමනය සහිත පොළොවක ලිස්සා වැටීම හේතුවෙන් බොහෝ තුවාල සිදු වී ඇත. එමනිසා පිරිසිදුකමින් හා පිළිවෙළකින් යුතුව වැඩ කරන්න යනු වැඩක් හොඳින් නිම කිරීම සඳහා පිළිපැදිය යුතු ප්‍රධානතම නීතියයි.

කෙසේවෙතත්, බොහෝදෙනෙක් ආරක්ෂිත පියවර ගැනීම ගැන එතරම් නොතකති. එක් ජ’නලයක (Monthly Labor Review) සඳහන් වූයේ මෙලෙසයි. “වැඩක් ඉක්මනින් නිම කිරීමට ඇති වන පීඩනය නිසා කෙටි ක්‍රම සොයාගත යුතුයි යන හැඟීම ඇති විය හැකියි.” ඒ නිසා, ‘මං මීට කලිනුත් මෙහෙම කරලා තියෙනවා. ඒත් මට කිසිම අනතුරක් වුණේ නෑනේ’ කියා තර්ක කරමින් ආරක්ෂාව සහතික කරගැනීම සඳහා පනවා ඇති යම් නීතියක් නොසලකා හැරීමට පෙලඹෙන්න පුළුවන. මෙම ගැටලුව සම්බන්ධයෙන් කර්මාන්ත ශාලා කළමනාකරුවෙක් මෙසේ පැවසීය. “වැඩපොළේ සිදු විය හැකි භයානකම දේ නම් ආරක්ෂිත නීති රෙගුලාසි නොසලකා හැරීමෙන් පසුවත් අනතුරු සිදු නොවීමයි!” ඒ මන්ද? එමගින් අනවශ්‍ය ආත්ම විශ්වාසයක් ගොඩනැඟෙන අතර නොසැලකිලිමත් වීමට තවත් දිරි දෙන නිසයි. මෙය තවත් අනතුරු ගණනාවකට මඟ පාදයි.

වර්ෂ 1986දී යුක්‍රේනයේ චර්නොබිල්හි බලාගාරයක සිදු වූ පිපිරීම බොහෝවිට විස්තර කරන්නේ “ලෝකයේ දරුණුතම න්‍යෂ්ටික අනතුර” වශයෙනි. එම ව්‍යසනයට මඟ පෑදුවේ කුමක්ද? “යන්ත්‍රෝපකරණ ඉතා අපරීක්ෂාකාරි ලෙස ක්‍රියාත්මක කර තිබූ” බවත් “ආරක්ෂාව සඳහා තිබූ නීති රෙගුලාසි දිගින් දිගටම නොසලකා හැර තිබූ” බවත් එම අනතුර පිළිබඳ වාර්තාවක පවසා තිබිණ.

ආරක්ෂාව අවදානමකට ලක් කළ හැකි දේවල් කලින් අවබෝධ කරගැනීමට ස්වාමියාට මෙන්ම සේවකයන්ටද සහයෝගයෙන් කටයුතු කළ හැකියි. නැණවත් ආප්තෝපදේශයක මෙසේ සඳහන් වේ. “නුවණ ඇත්තා විපත්තිය දැක සැඟවෙයි. එහෙත් අනුවණයෝ නොනැවතී ගොස් අච්චු ලබති.” (හිතෝපදේශ 22:3) එසේය, නැණවත් කෙනෙක් අවදානම් සහිත බව පෙනෙන්න තිබෙන තත්වයක් කලින්ම අවබෝධ කරගෙන, එයින් තමාව මෙන්ම අනිත් අයවත් ආරක්ෂා කරගන්නේ කෙසේද කියා සලකා බලයි.

ස්වාමිවරු මෙසේ කටයුතු කරද්දී ඔවුන් තමන්ට විතරක් නොව තමන්ගේ සේවකයන්ටද ප්‍රයෝජන අත් කර දෙති. නිදසුනකට “ගිලන් ගොඩනැඟිලි සහලක්ෂණය” (“sick building syndrome”) මඟහරවා ගැනීමට කටයුතු කළ ආයතනයක් මුළු කාර්යාලයම ප්‍රතිසංස්කරණය කිරීමට තීරණය කළේය. ඉන් ටික කලකට පසු ආයතනයේ නිෂ්පාදනය ඉහළ ගොස් තිබූ බවත් සේවකයන් පෙරට වඩා බොහෝ සෙයින් සෑහීමකට පත්ව සිටි බවත් පෙනෙන්ට තිබිණ. ලෙඩ නිවාඩු දැමූ අයගේ සංඛ්‍යාවද අඩු විය. මෙලෙස අනුන්ගේ සෞඛ්‍යය ගැන උනන්දු වීම ස්වාමියා හා සේවකයන් අතර වඩා සුහද වාතාවරණයක් ඇතිවීමට ඉවහල් වන අතර එය මූල්‍යමය අතින්ද වඩා වාසිදායක විය හැකියි.

කලින් ලිපියේ සඳහන් කළ පරිදි රැකියා ස්ථානවල පවා දැන් ප්‍රචණ්ඩත්වය දක්නට ලැබේ. එසේ නම් ඔබේ ආරක්ෂාව සහතික කරගැනීම සඳහා ඔබට ගත හැකි පියවර මොනවාද?

ගත හැකි පියවර

සුළු වශයෙන් හෝ කලහකාරිත්වය විදහාපෙන්වන සිද්ධීන් ක්‍රමක්‍රමයෙන් දරුණු හිරිහැර දක්වා පෙරළෙන බව අද්දැකීමෙන් පෙනී යයි. එක් සඟරාවක (Harvard Business Review) මෙසේ උපදෙස් දෙයි. “වැඩ පොළේ සිදු වන ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්වීමට වෑයම් කරද්දී සුළු වශයෙන් හෝ කලහකාරිත්වය විදහාපෙන්වන අය බොහෝවිට පසු කාලෙක ඊට වඩා දරුණු අන්දමින් ක්‍රියා කරන බව මතක තබාගන්න.”

කාන්තාවක් සෙසු සේවකයන්ගේ අනවශ්‍ය අවධානය ඇදගන්න වෑයම් නොකළත් ඇය අඳින ඇඳුම්, ඇගේ කතා බහ හා හැසිරීම අවිනීතයි නම් ඇගේ චරිතය හොඳ නැතැයි යන හැඟීම අන්‍යයන් තුළ ඇති විය හැකියි. අන්‍යයන් තුළ නුසුදුසු හැඟීම් පුබුදුවාලීමට අදහස් නොකළත් ඇතැම් අය ඔවුන්ගේ හැසිරීම මගින් වැරදි පණිවිඩයක් දී තිබෙන නිසා ඔවුන්ව ලුහුබැඳීම, දූෂණය කිරීම හෝ මරණයට පවා පත් කිරීම වැනි බරපතළ ගැටලු ගණනාවක් මතු කරවා තිබේ. එමනිසා ඔබේ ඇඳුම් පැළඳුම් හා හැසිරීම අන්‍යයන්ට බලපාන්නේ කෙසේද යන්න ගැන සාවධානව සිටින්න. ‘විනීතව හා සිහියෙන් යුක්තව සිට මනා පිළිවෙළකින් යුත් ඇඳුම්වලින් සැරසෙන්න’ යන බයිබල් උපදේශයද අදාළ කරගන්න.—1 තිමෝති 2:9, NW.

අනතුරකට මඟ පෑදිය හැකි තවත් තත්වයක් හඳුන්වා දෙමින් එක් සඟරාවක (The Monthly Labor Review) මෙසේ පවසා තිබිණ. “පාළු ස්ථානවල රෑ මුළුල්ලේ තනියෙන් වැඩ කරන සේවකයන් සිටින්නේ අවදානම් තත්වයකයි.” එසේ නම් මෙය සලකා බලන්න. තනියෙන් වැඩ කිරීමේදී (විශේෂයෙන්ම රාත්‍රි කාලයේදී) අන්තරාවන්ට මුහුණ දීමේ අවදානම වැඩි වන නිසා එසේ වැඩ කිරීම නැණවත්යයි සිතිය හැකිද? මූල්‍යමය අතින් වාසි ලබාගැනීම සඳහා එවැනි අවදානමකට මුහුණ දීම ඇත්තෙන්ම වටිනවාද?

පීඩනයට ලක් වූ අපේ සෙසු සේවකයන් නුරුස්සන ස්වභාවයක් විදහාපෙන්වන විට හෝ අපට සතුරුකම් පාන විට අප ප්‍රතික්‍රියා කරන ආකාරය සලකා බැලීමද වැදගත්ය. බරපතළ ප්‍රශ්නයකට මඟ පෑදිය හැකි තත්වයක් සන්සුන් කළ හැක්කේ කෙසේද? බයිබල් හිතෝපදේශයක මෙසේ අවවාද කරයි. “මෘදු උත්තරයකින් කෝපය පහ වෙයි. එහෙත් කර්කශ වචනයකින් තරහ හටගනියි.” (හිතෝපදේශ 15:1) එසේය, කාරුණිකව හා ගෞරවාන්විතව පිළිතුරු දීමෙන් තත්වය සන්සුන් කළ හැකි අතර විශාල ඝට්ටනයක් ඇතිවීමද වැළැක්විය හැකිය.

අදදින රැකියා ස්ථාන තුළ දක්නට ලැබෙන පීඩනයෙන් හෙම්බත් වූ පරිසරය තුළ නුරුස්සන හැසිරීම හා රණ්ඩු සරුවල් ඇතිවීම සාමාන්‍ය දේවල් බවට පත් වී තිබේ. පුද්ගලයෙකු අපට විරුද්ධව යමක් කරනවායයි අපට හැඟුණත් ඇත්තෙන්ම ඔහු එසේ හැසිරෙන්නේ තමා තුළ සිර වී ඇති කෝපය, මානසික පීඩනය හා කලකිරීම පිට දැමීමට වුවමනා වන නිසා විය හැකියි. එය ඔහු අප පිටින් යවන්නේ අපත් සමඟ පෞද්ගලික තරහවක් තිබෙන නිසා නොව නමුත් අප ඒ වේලාවේදී එම ස්ථානයේදී සිටීම නිසා වෙන්න පුළුවන. එමනිසා අපි ප්‍රතිචාරය දක්වන ආකාරය ඉතා වැදගත්ය. මන්ද එමගින් තත්වය සන්සුන් කිරීමටත් තත්වය වඩාත් උග්‍ර අතට හැරවීමටත් ඉඩ කඩ තිබෙන හෙයිනි.

සමහරවිට දෙදෙනෙකු අතර අවංකවම එකඟ නොවීම් ඇති විය හැකියි. රැකියා ස්ථානයේ ඇති වන ගැටලු විසඳීම (සිංහලෙන් නොමැත) නමැති පොතේ මෙම ප්‍රයෝජනවත් ප්‍රකාශනය කර ඇත. “ඝට්ටනයක් ඇති වූ විට, . . . අපේ සැබෑ හැඟීම් අවංකව හා පැහැදිලිව ප්‍රකාශ කරන්නේ කලාතුරකිනි.” මෙයට හේතුව කුමක් විය හැකිද? පොත මෙසේ පිළිතුර සපයයි. “යම්කිසි ඝට්ටනයක් මගින් අපේ මනස අවුල් කරන්නත් අපව පාලනය කරන්නත් පුළුවන. ඒ නිසා ප්‍රචණ්ඩකාරි හැසිරීමකින් තොරව ගැටලුව විසඳිය නොහැකියයි සිතන්න අපි පටන්ගන්නෙමු.”

එසේ නම් මෙම ගැටලුවට විසඳුම කුමක්ද? සවන් දීමයි! ඉහත සඳහන් පොතේ මෙසේ අදහස් දක්වා තිබේ. “පුද්ගලයෙකු සමඟ එකඟ නොවීමක් ඇති වූ විට ඔහුට අවංකව සවන් දීම මගින් . . . , අපේ හැඟීම්වලට යට වී එම ගැටුම දිගින් දිගටම ගෙන යනවා වෙනුවට එයට විසඳුමක් සෙවීමට අපි පෙලඹෙන්නෙමු.” එකඟ නොවීමක් හෝ වරදවා වටහාගැනීමක් බරපතළ ගැටුමක් බවට පෙරළීම වළක්වාගැනීම සඳහා මෙය නැණවත් අවවාදයකි.

ඒ නිසා ඔබේ ආරක්ෂාව සහතික කරගැනීම සඳහා ස්ථානෝචිත ප්‍රඥාව භාවිත කර සිහි බුද්ධියෙන් කටයුතු කරන්න. ඔබේ ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පනවා ඇති නීති රෙගුලාසිවලට කීකරු වීම මීට ඇතුළත්ය. ඔබේ රැකියා ස්ථානය වඩාත් ආරක්ෂා සහිත කිරීමට මෙය බොහෝ සෙයින් ඉවහල් වේ.

ජීවිතය, වැඩ සහ විවේක කාලය පිළිබඳව අප දරන ආකල්පය අප තෝරාගන්නා රැකියාවට මෙන්ම ආරක්ෂාව පිළිබඳව අප දරන ආකල්පයට යම් ආකාරයකින් බලපාන බව පැවසිය හැකියි. මේ සම්බන්ධව හොඳ තීරණ ගැනීමට ඊළඟ ලිපිය උපකාරවත් වේ.

[19වන පිටුවේ පින්තූරය]

තෙල් ඉහිරුණු විට එය හොඳින් පිස දමන්න

[21වන පිටුවේ පින්තූරය]

බරපතළ ගැටුමකට මඟ පෑදිය හැකි තත්වයක් මෘදු උත්තරයකින් සන්සුන් කළ හැකියි