Skip to content

පටුනට යන්න

ගතට සිතට සුවය දෙන බයිසිකලය

ගතට සිතට සුවය දෙන බයිසිකලය

ගතට සිතට සුවය දෙන බයිසිකලය

බ්‍රිතාන්‍යයේ පිබිදෙව්! ලේඛක විසිනි

වෙනත් වාහනවලට වඩා මිල අඩු, නාගරික ප්‍රදේශවලදී මෝටර් රථයකට වඩා වේගවත්, ඔබේ ගතට මෙන්ම සිතටද සුවය ගෙන දෙන වාහනය කුමක්ද? උත්තරය බයිසිකලයයි. බයිසිකල් පැදීම වින්දනයක්ද ලැබිය හැකි හොඳ ව්‍යායාමයකි. බොහෝදෙනෙකු තමන්ගේ සෞඛ්‍ය ගැන මහත් සැලකිල්ලක් දක්වන මෙවන් යුගයක බයිසිකල් පදින්න ඔබ යොදවන කාලය හා ශ්‍රමය අපතේ යන්නේ නැත.

බයිසිකලය ලොවට හඳුන්වා දීමේ ගෞරවය හිමි වන්නේ ජර්මන් ජාතික නිර්මාණකරුවෙකු වූ බාරොන් කාල් වොන්ටය. ඔහු විසින් 1817දී සාදන ලද ස්කූටරයකට සමාන මෙම යන්ත්‍රයට තිබුණේ ඉතා සරල සැලැස්මකි. ඩ්‍රාසින් කියා හඳුන්වනු ලැබූ මෙයට රෝද දෙකක්, සීට් එකක් හා හැඬලයක් සවි කරන ලදි. නමුත් එයට පෙඩල තිබුණේ නැත. වර්ෂ 1839දී ස්කොට්ලන්ත ජාතික කම්මල්කරුවෙකු වූ කර්ක්පැට්රික් මැක්මිලන් පිටුපස රෝදය කරකැවීම සඳහා ලීවරවලින් ක්‍රියා කරන පාගන ලෑලි දෙකක් එයට සවි කළේය. එලෙස පෙඩල් ගැසීමෙන් බයිසිකලයක් ඉදිරියට තල්ලු කිරීම හඳුන්වා දුන්නේ ඔහුය. ඊළඟට සිදු වූ දෙය බයිසිකලය ජනප්‍රිය වීමට හේතු පාදක වූ වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැක. ප්‍රංශ ජාතික පියේර් හා අර්නෙස්ට් මීෂෝ යන පිය පුත් දෙපොළ එක්ව ඉදිරිපස රෝදය කරකැවීම සඳහා පෙඩල සවි කළහ. එය හැඳින්වූයේ වෙලොසිපීඩය (ලතින් භාෂාවෙන් “වේගය” වෙලොක්ස් යන වදනින්ද “පාදය” පෙඩිස් යන වදනින්ද හඳුන්වයි) යන නමිනි. එය කලින් සාදන ලද බයිසිකලයට වඩා වේගවත් වූ අතර පැදීමද පහසු විය.

ඉදිරිපස රෝදය විශාල වන තරමටම එහි වේගයද වැඩි විය. පෙනි ෆාදිං කියාද හැඳින්වූ ඒ කාලයේ තිබූ සාමාන්‍ය බයිසිකලය එංගලන්තයේදී තවත් දියුණු කරන ලදි. මෙම බයිසිකලයට මීටර් 1.5ක විෂ්කම්භයකින් යුත් විශාල ඉදිරිපස රෝදයක්ද පිටුපස ඉතා කුඩා රෝදයක්ද සවි කරන ලදි. එංගලන්තයේ භාවිත වූ පෙනි කියා හැඳින්වූ ලොකුම තඹ කාසිය හා කුඩාම තඹ කාසිය වූ ෆාදිං සමඟ එහි රෝද සසඳමින් එම බයිසිකලය නම් කළේ පෙනි ෆාදිං කියාය.

පසු කාලයේදී සාදන ලද බයිසිකලය කලින් එකට වඩා පැදීම වඩාත් පහසු වූයේය. එහි රෝද දෙක බොහෝදුරට එක සමාන වූ අතර එය පදින තැනැත්තාට සමබරතාව රැකගැනීමද පහසු විය. වර්ෂ 1879දී ඉංග්‍රීසි ජාතික හෙන්රි ලෝසන් පිටුපස රෝදය දම්වැලකින් කරකවන යන්ත්‍රයක් පැරිස් නුවර ප්‍රදර්ශනයට තැබුවේය. පසු කාලයේදී මේ මෝස්තරය බිසික්ලෙට් යන නමින් ප්‍රසිද්ධියට පත් විය.

නවීන බයිසිකල්වල ඉදිරිපස රෝදය හා පිටුපස රෝදය ප්‍රමාණයෙන් සමානය. මේ අනුව බයිසිකලයේ මූලික සැකැස්ම වෙනස් වී තිබෙන්නේ සුළු වශයෙනි. අද බයිසිකලය ගමන් බිමන් යෑම හා තරඟ ඇතුළු විවිධ කාර්යයන් සඳහා යොදාගනී. කඳු සහිත රළු පාරවල පැදීම සඳහා සැහැල්ලු රබර් ටයර් දෙකක් සවි කර සාදා තිබෙන (Mountain bicycle) බයිසිකල් පැදීම පහසුය.

ගතට සිතට සුවයක්

බොහෝ රටවල බයිසිකලය ප්‍රයෝජනවත් ප්‍රවාහන මාධ්‍යයක් ලෙස යොදා ගැනේ. වෙනත් වාහන මෙන් ශබ්ද බද්ධ නැත. පරිසරය දූෂණය නොකරයි. බොහෝ අවස්ථාවලදී කෙටි ගමන් ඉතා ඉක්මනින් යා හැක. අප්‍රිකාව හා ආසියාව ඇතුළුව ලෝකයේ වෙනත් ප්‍රදේශවල වෙසෙන මිනිසුන් තමන්ගේ නිෂ්පාදන වෙළඳ පොළට ගෙන යෑම සඳහා බහුලව යොදාගන්නේ බයිසිකලයයි. බොහෝ අවස්ථාවලදී බයිසිකලය පදවන්නා හැර තවත් කෙනෙකුට හෝ දෙදෙනෙකුට එහි ගමන් කළ හැක. පදවන්නා ඔහුගේ ඥාතියෙකුව හෝ මිතුරෙකුව බයිසිකලයේ හරස් පොල්ල මත හෝ ලගේජ් එක මත තබාගෙන යනවා සමහරවිට ඔබ දැක ඇති.

පෞද්ගලික ප්‍රවාහන මාධ්‍යයක් ලෙස, මෝටර් රථ බහුතරයකගේ මනාපය දිනාගෙන තිබෙන බටහිර රටවලත් බයිසිකල් ජනප්‍රිය වීමට පටන් ගෙන තිබේ. මෙයට හේතුව එම රටවල සෞඛ්‍ය ගැන දක්වන සැලකිල්ල දිනෙන් දින වැඩිවීම හා නගරවල පවතින ඒකාකාරිත්වයෙන් මිදීමට වැඩිදෙනෙකු කැමැත්තක් දැක්වීමය. බයිසිකල් සඳහාම වෙන් වූ බොහෝ වීදි එම රටවල් පුරා දැකිය හැක. නිදසුනක් වශයෙන් බ්‍රිතාන්‍යයේ, සයිකල්කරුවන් සඳහාම වෙන් කර ඇති සැතපුම් ගණනාවක් දිවයන පාරවල් සාදා තිබීම ගැන රජයේ නිලධාරීන් බොහෝදෙනෙකු සතුටට පත් වී ඇත.

දුම් පිටවීමෙන් අපද්‍රව්‍ය බැහැර වීමක් සිදු නොවන නිසා බයිසිකල් පැදීම සෞඛ්‍යයට හිතකරය. “එක්සත් රාජධානියේ තරුණ මහලු සැමගේ මරණවලට සහ අකල් මරණවලට ප්‍රධානතම හේතුව වන හෘදයාබාධවලින් ආරක්ෂා වීමට [එමගින්] හැකියි” කියා ප්‍රවාහන උපදේශකයෙක් වන ඒඩ්රියන් ඩේවිස් පවසයි. බයිසිකල් පැදීමේදී පුද්ගලයෙකුගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් සියයට 60 සිට 85 දක්වා ප්‍රමාණයක් වැය කිරීමට සිදු වේ. නමුත් ඇවිදීමේදී වැය වන්නේ සියයට 45 සිට 50 දක්වා ශක්ති ප්‍රමාණයකි. සයිකල් පදින විට ගාත්‍රාවලට දැරීමට සිදු වන බර අඩු නිසා පාදයේ අස්ථිවලට සිදු විය හැකි හානිය, ව්‍යායාම සඳහා මද වේගයෙන් දිවීමේදී සිදු විය හැකි හානියට වඩා අඩු වේ.

බයිසිකල් පැදීමෙන් ගතට දැනෙන තවත් සුවයක් නම් පදින්නා තුළ ප්‍රබෝධවත් හැඟීමක් එමගින් ඇතිවීමයි. බයිසිකල් පදින විට හොඳ චිත්ත ස්වභාවයක් ඇති කිරීමට දායක වන එන්ඩ්‍රොපින් කියා හඳුන්වන රසායනික ද්‍රව්‍ය මොළයට මුදාහැරෙන බව පර්යේෂණවලින් අනාවරණය වී තිබේ. බයිසිකල් පැදීමෙන් හොඳ චිත්ත ස්වභාවයක් පමණක් නොව හොඳ පෙනුමක්ද ලබාගත හැක. ඒ කෙසේද? “සාමාන්‍ය වේගයෙන් බයිසිකලයක් පදින විට මිනිත්තුවකදී වැය වන ශක්ති ප්‍රමාණය ආසන්න වශයෙන් කැලරි හතක් වන අතර පැය භාගයකදී වැය වන ශක්ති ප්‍රමාණය කැලරි 200ක් වේ” කියා ද ගාඩියන් පුවත් පත වාර්තා කරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් සිහින් ඉඟටියක් ඇති කරගත හැකි අතර කලවවල තරබාරුකමද අඩු කරගත හැක.

ආරක්ෂාව ගැනත් සිතන්න

මෝටර් රථවාහනවලට ප්‍රමුඛත්වයක් හිමි වී තිබෙන රටවල බයිසිකල් පදවන්නන්ගේ ආරක්ෂාව ගැන වැඩි අවධානයක් යොමු වෙමින් පවතී. නිදසුනක් වශයෙන් බයිසිකලයක් පදවන්නෙකු ආරක්ෂිත හිස් වැස්මක් පැළඳිය යුතුද? ආරක්ෂාව සඳහා පියවර ගැනීම නැණවත් දෙයකි. කෙසේවෙතත් ආරක්ෂිත හිස් වැස්මක් පැළඳගැනීමෙන් පමණක්ම තුවාල වීමෙන් වැළකී සිටිය නොහැක. ආරක්ෂිත හිස් වැසුම් පැළඳ සිටි විවිධ වයස් මට්ටම්වලට අයත් බයිසිකල් පදින්නන් 1,700දෙනෙකු සම්බන්ධයෙන් කළ අධ්‍යයනයක් වෙත පුවත් පත් ලේඛිකාවක් වන සිල්යා හෝල් අවධානය යොමු කළාය. මෙම අධ්‍යයනයේදී සොයාගත් කැපීපෙනෙන දේවලින් එකක් වූයේ ආරක්ෂිත හිස් වැස්මකින් සැබෑ ආරක්ෂාවක් බයිසිකලය පදින්නාට නොලැබෙන බවයි. මෙහි වඩාත් දරුණුම දෙය වූයේ ඔවුන්ගෙන් සියයට 6ක් පැළඳ සිටි හිස් වැසුම් නිසි ලෙස හිසට සවි වී නොතිබීමයි. නිසි ලෙස හිසට සවි වී නොමැති ආරක්ෂිත හිස් වැස්මක් නිසා සිදු විය හැකි අවදානම සියයට 50කින් වැඩි වේ. ඔබ ආරක්ෂිත හිස් වැස්මක් පළඳිනවා නම් එය නිසි ලෙස ඔබේ හිසට සවි කරගන්න. ඔබේ දරුවා පළඳින ආරක්ෂිත හිස් වැස්ම නිතිපතා පරීක්ෂා කර බලන්න. ලොකු හිස් වැසුම් මගින් මාරාන්තික අනතුරු සිදු විය හැක.

බොහෝ අවස්ථාවලදී රියැදුරන් බයිසිකල්කරුවන්ව සලකන්නේ කරදරයක් ලෙසය. ඔවුන් ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේද නැත. එනිසා ඔබ ඔවුන්ගේ අවධානයට ලක් වන අයුරින් සිටීම වැදගත්. ආරක්ෂිත ඇඳුම් අඳින්න. දහවල් කාලයේදී දීප්තිමත් වර්ණයෙන් යුත් ඇඳුම්ද රාත්‍රි කාලයේදී ආලෝකය පරාවර්තනය කරන “ලුමිනස්” ඇඳුම්ද අඳින්න. අඳුරු අවස්ථාවලදී පවා ඔබේ බයිසිකලය දැකගත හැකි විය යුතුයි. පෙඩලවල ආලෝක පරාවර්තකයන් සවි කර තිබීම හා ඉදිරිපස මෙන්ම පසුපස පැහැදිලි ආලෝකයක් සපයන පහන් තිබීම ඇතැම් රටවල නීතිමය අවශ්‍යතාවකි. ඇත්තෙන්ම එය නැණවත් ආරක්ෂක පියවරක්ද වේ. ඔබ තෝරාගන්නා ආරක්ෂිත උපකරණ ඔබේ රටේ නීතිවලට එකඟ වන බවට සහතික වන්න.

ආරක්ෂාව ලැබීමට නම් බයිසිකලය හොඳින් නඩත්තු කිරීමද වැදගත්. එය නිතර පරීක්ෂා කර බලන්න. නිතිපතා නඩත්තු කරන්න. මේ සියලුම ආරක්ෂිත පියවර ගැනීමෙන් පසු ඔබ ප්‍රදේශයේ තිබෙන පාරවල් බයිසිකල් පැදීමට සුදුසු තත්වයේ තිබෙනවාද කියා සොයා බැලීමද නැණවත් දෙයකි. පාරට ගැළපෙන සුදුසු වර්ගයේ බයිසිකලයක් තෝරාගැනීමද වැදගත්.—“ඔබට ගැළපෙන එක” නමැති කොටුව බලන්න.

ක්‍රීඩාවක් ලෙස බයිසිකල් පැදීම

ක්‍රීඩාවක් ලෙස බයිසිකල් පදින අයද සිටිති. ලොව සුප්‍රසිද්ධ ප්‍රංශ සයිකල් සවාරිය අපකීර්තියට පත් කරවමින් මෑතකදී පළ වූ පුවත්වලින් එම සවාරියේදී සිදු වූ වංචා හා තහනම් ඖෂධ භාවිත කිරීම ගැන හෙළි කර තිබිණ. “ජය ප්‍රබලතම ඖෂධයට හිමි වේවා!” යන ශීර්ෂ පාඨයෙන් ටයිම් සඟරාවේ පළ වූ ලිපියක එම සුප්‍රසිද්ධ තරඟය හැඳින්වූයේ “අවුල් ජාලාවක්” ලෙසය. ජයග්‍රහණ ළඟා කර දෙන ඖෂධ හා නොයෙකුත් රසායනික ද්‍රව්‍ය භාවිත කිරීම ගැන පැනනැඟුණු මත භේද නිසා මෙම ක්‍රීඩාවේ ජනප්‍රියත්වය ගිලිහී ගොස් ඇත.

මෙම ක්‍රීඩාව සඳහා තමන් කොතරම් කාලයක් හා ශ්‍රමයක් වැය කරනවාද කියා නැණවත් සයිකල් පදින්නෝ සලකා බලති. සයිකල් පැදීමෙන් ලැබෙන සෞඛ්‍යමය වාසි ප්‍රයෝජන සිත්ගන්නාසුලු වුවත් සමබරව කටයුතු කරන අය ව්‍යායාමය සලකන්නේ නිරෝගි හා දිගුකල් දිවියකට මඟ සලසන එක් සාධකයක් ලෙස පමණි. කෙසේවෙතත් ඔබ ඊළඟ වතාවේදී ඔබේ බයිසිකලය පදින විට ඉන් ගතට මෙන්ම සිතටද ලැබෙන සුවය විඳින්න.

[31වන පිටුවේ කොටුව⁄පින්තූර]

ඔබට ගැළපෙන එක

කඳු සහිත රළු පාරවල පැදීම සඳහා සාදා තිබෙන බයිසිකල්වල රාමුව (frame) කුඩාය. ශක්තිමත්ය. හැඬලය කෙළින් සිටින සේ සාදා ඇත. සාමාන්‍ය බයිසිකල්වලට වඩා පෙඩල උසය. එහි පළල් රෝද රළු පෘෂ්ඨ මත ඇති කරන ඝර්ෂණය වැඩිය. ගියර කිහිපයක් තිබෙන නිසා අමාරුවක් නැතිව කන්දක් නඟින්න පුළුවනි.

ඔබ සමතලා මෙන්ම කඳු සහිත රළු පාරක බයිසිකල් පදිනවා නම් ඔබට ගැළපෙන්නේ රළු පාරකට ඔරොත්තු දෙන බයිසිකලයකින් හා සාමාන්‍ය බයිසිකලයකින් කෙරෙන කාර්යයන් දෙකම කළ හැකි සේ සාදන ලද බයිසිකලයකි. මෙම වර්ගයේ බයිසිකලයක රෝද අනිත් බයිසිකල්වලට වඩා සිහින් වන අතර පෙඩල තරමක් පහතට පිහිටන ලෙස සාදා තිබේ. සිරුර කෙළින් සිටින සේ පදින්න අවශ්‍ය නම් ඊට ගැළපෙන්නේ සාමාන්‍යය වර්ගයේ බයිසිකලයකි. එහි ගියරත් අඩුය.

ඔබ තෝරාගන්නා වර්ගය කුමක් වුවත්, එහි ප්‍රමාණය ඔබට ගැළපෙන බවට සහතික වන්න. එය පැද බලන්න. ඔබට ගැළපෙන විදිහට හැඬලය, අසුන හා පෙඩල සකස් කරගන්න. ඔබ බයිසිකලයේ හරස් පොල්ලට උඩින් දෙපා විහිදා සිටගත් විට ඔබේ දෙපා බිම තැබීමට හැකි විය යුතුයි (ඉහළ රූපය බලන්න).

ආරක්ෂාකාරිබවක් හා පහසුවක් දැනෙන අයුරින් බයිසිකල් පැදීම සඳහා එහි අසුනේ උස සකස් කරගැනීම වැදගත්. ඔබ අසුනේ හිඳගත් පසු, ඔබේ අඩි පතුල තබාගෙන සිටින පෙඩලය භූමියට ආසන්න මට්ටමට පැමිණෙන විට ඔබේ දෙපා කෙළින් තබාගත හැකි නම්, එම අසුනේ උස ප්‍රමාණය ඔබට ගැළපෙයි. (වමේ තිබෙන රූපය බලන්න.) සාමාන්‍යයෙන් හැඬලය සකස් කරගත යුත්තේ අසුනේ උසට ගැළපෙන පරිදිය.—විච්? නමැති සඟරාව ඇසුරෙනි.

[28, 29වන පිටුවේ පින්තූරය]

පෙනි ෆාදිං සයිකලයක්

[හිමිකම් විස්තර]

Police Gazette, 1889

[29වන පිටුවේ පින්තූරය]

විලොසිපීඩයක්

[හිමිකම් විස්තර]

මිනිස්සු: A Pictorial Archive from Nineteenth-Century Sources/ Dover Publications, Inc.

[30වන පිටුවේ පින්තූරය]

ඇතැම් රටවල ආරක්ෂක හිස් වැසුම් පැළඳීමට නීතියෙන් නියම කර තිබේ

[30වන පිටුවේ පින්තූර]

බයිසිකල් බොහෝ රටවල ප්‍රවාහන මාධ්‍යයකි