Skip to content

පටුනට යන්න

ගුරුවරුන් අපට අවශ්‍ය ඇයි?

ගුරුවරුන් අපට අවශ්‍ය ඇයි?

ගුරුවරුන් අපට අවශ්‍ය ඇයි?

“උද්‍යෝගයෙන් දවස් දහසක් තනිවම ඉගෙනගැනීමට වඩා ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් යටතේ එක දවසක් ඉගෙනගැනීම වටී.”—ජපන් ආප්තෝපදේශයක්.

පාසැල් කාලයේදී ඔබේ වඩාත් සිත්ගත් ගුරුවරයාව මතකද? ඔබ තවම පාසැල් ශිෂ්‍යයෙක් නම් ඔබ ප්‍රිය කරන ගුරුවරයෙක් ඉන්නවාද? එසේ නම් එයට හේතුව කුමක්ද?

දක්ෂ ගුරුවරයෙක් ශිෂ්‍යයා තුළ විශ්වාසය ඇති කරන අතර ඉගෙනගැනීම සිත්ගන්නාසුලු අභියෝගයක් බවට පත් කරයි. බර්මිංහම්හි පාසැලක ඉගෙනගත් දැන් අවුරුදු 70ක් වයසැති ඉංග්‍රීසි ජාතිකයෙක් තමාට ඉංග්‍රීසි ඉගැන්වූ ගුරුවරයාව මතක් කරන්නේ ඉතා ආදරයෙන්. “ක්ලිව්ලේ ගුරුතුමා මට වටහාගත නොහැකි වූ මගේ දක්ෂකම් හඳුනාගැනීමට උපකාර කළා. මම ඉතා ලැජ්ජාශීලීභාවයෙන් මුලුගැන්වී සිටි ශිෂ්‍යයෙක්. හැබැයි ඔහුගෙන් ලද පුහුණුව නිසා මට පාසැලේ නාට්‍ය තරඟයට ඉදිරිපත් වීමට හැකි වූ අතර පාසැලේ අවසාන අවුරුද්දේදී නාට්‍ය කලාව සඳහා තෑග්ග දිනාගන්නත් හැකි වුණා. ඔහුගේ දිරිගැන්වීම නොලැබුණා නම් මට කවදාවත් ඒ තෑග්ග ලබාගන්න හැකි වෙන්නේ නැහැ. ශිෂ්‍යයන් වෙනුවෙන් ඔහු කළ කැප කිරීමට ස්තුති කරන්න මට ඉන්පසු කවදාවත් ඔහුව මුණ නොගැසීම කනගාටුවට කරුණක්.”

ජර්මනියේ මියුනික්හි අවුරුදු 50ක් වයසැති ප්‍රියමනාප කාන්තාවක් වන මාර්ජිට් කියා සිටියේ මෙයයි. “ගුරුවරුන් අතරේ මම ගොඩාක් ප්‍රිය කළ ගුරුවරියක් හිටියා. ඇයට හැකියාව තිබුණා තේරුම්ගන්න අමාරු කොටස් සරලව කියා දීමට. නොතේරෙන කරුණු ගැන ප්‍රශ්න කරන්න ඇය අපිට දිරිගැන්නුවා. ඇය අපෙන් ඈත් වෙනවා වෙනුවට මිත්‍රශීලී වූ නිසා ඇය කළ විෂය අපිට ඉතා ප්‍රියජනක එකක් වුණා.”

ඕස්ට්‍රේලියානු ජාතික පීටර් ඔහුගේ ගණිත ගුරුවරයා ගැන කිව්වේ මෙහෙමයි. “අපි ඉගෙනගන්නා විෂයේ ඇති අදාළත්වය හා එය ප්‍රායෝගික වන අන්දම පිළිබඳ උදාහරණ ඔහු අපිට පෙන්නුවා. ත්‍රිකෝණමිතිය හදාරන විට ගොඩනැඟිල්ලක් අල්ලන්නේවත් නැතුව එහි උස ත්‍රිකෝණමිතිය ආධාරයෙන් නිර්ණය කරන හැටි අපිට කියා දුන්නා. ඒ අවස්ථාවේ මම මටම කියාගත් දේ තාමත් මතකයි. ‘එය ඇත්තටම හරිම අපූරුයි.’”

උතුරු එංගලන්තයේ පෝලින් ඇගේ ගුරුවරයාට කිව්වා “මට ගණිතය ඉගෙනගැනීම හරි අභියෝගයක්” කියලා. ඔහුගේ පිළිතුර වූයේ “ඔයා මීට වඩා දියුණු වෙන්න කැමතිද? මට පුළුවන් ඔයාට උදව් කරන්න” යනුයි. ඇය තවදුරටත් මෙසේ කිව්වා. “ඊළඟ මාස කිහිපයේදී ඔහු මගේ වැඩ කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ අතර පාසැල් කාලයෙන් පසුව පවා මට උදව් කළා. මම සාර්ථක වෙනවා දකින්න ඔහු කැමති වුණ බව මම දැනගෙන හිටියා. ඔහු මං ගැන සැලකිලිමත් යන කාරණය වටහාගැනීම නිසා මම මහන්සි වී වැඩ කළ අතර එහි ප්‍රතිඵලය වූයේ ගණිතය විෂයේ ප්‍රගතියක් ලැබීමයි.”

අවුරුදු 30ක් පමණ වයසැති ස්කොට්ලන්තයේ ඇන්ජී ඇගේ ඉතිහාස ගුරුවරයා වූ ග්‍රෙහම්ව සිහිපත් කළේ මෙලෙසයි. “ඔහු ඉතිහාස පාඩම ඉතා රසවත් ලෙස කළා. ඔහු ඉතිහාසගත සිදුවීම් කියා දුන්නේ කතන්දරයක් විලාසයෙන්. හැම පාඩමක් කෙරෙහිම උනන්දුවක් දැක්වුවා. හැම සිදුවීමකටම පණ පෙව්වා.” පළමුවෙනි පංතියේදී තමාට ඉගැන්වූ වයසක හියුවිට් මහත්මියවත් ඇය සිහිපත් කරන්නේ ආදරයෙන්. “ඒ ගුරුවරිය කරුණාවන්ත මෙන්ම සැලකිලිමත් කෙනෙක්. දවසක් මම ඇගෙන් ප්‍රශ්නයක් අහන්න ගිය විට ඇය දෑතින්ම මා ළං කරගත් අතර මා ගැන සැලකිලිමත් බව එයින් මට දැනෙන්න සැලැස්සුවා.”

දකුණු ග්‍රීසියේ වෙසෙන තිමෝති ඔහුගේ අගය ප්‍රකාශ කළේ මෙලෙසයි. “මට තාම මතකයි මගේ විද්‍යා ගුරුවරයාව. ජීවිතය දෙස හා අවට ලෝකය දෙස මම බලන විධිය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඔහු සමත් වුණා. පන්ති කාමරයේ බිය හා විස්මය මුසු වාතාවරණයක් ඇති කළ ඔහු අප තුළ දැනුම ලබාගැනීමට හා තේරුම්ගැනීමට ආශාවක් ඉපදෙව්වා.”

තවත් උදාහරණයක් සලකා බලන්න. කැලිෆෝනියාවේ (අ.එ.ජ.) වෙසෙන රැමෝනා ලිව්වේ මෙසේයි. “මගේ ජ්‍යෙෂ්ඨ පාසැලේ ගුරුවරිය ඉංග්‍රීසි භාෂාවට ලොකු ඇල්මක් දැක්වුවා. ඇගේ මෙම උනන්දුව අප කෙරෙහිත් බලපෑවා. පාඩමේ තිබුණු අමාරු කරුණු පවා ඈ අපට පහසුවෙන් තේරුම්ගැනීමට සැලැස්සුවා.”

කැනඩාවේ ජේන් ඇයගේ පාසැලේ ශාරීරික අධ්‍යාපනය ඉගැන්වූ ගුරුවරයා ගැන කතා කළේ ඉතා උද්‍යෝගයෙන්. “ඔහුට විනෝදයෙන් පාඩම් ඉගැන්වීමේ දක්ෂකම තිබුණා. හිම තරණය කිරීම, අයිස් තට්ටුවේ වළක් හාරා මාළු ඇල්ලීම වැනි බොහෝ එළිමහන් ක්‍රීඩා ඔහු අපිට හඳුන්වා දුන්නා. දවසක් අපි එළිමහනේ ගිනි ගොඩක් ගසා ඉන්දියානු රොටි වර්ගයක් වන බැනෝක් සෑදුවා. ගෙදරට වී පොත් ගුල්ලෙක් වාගේ කාලය ගත කළ මට මේවා රසවත් අද්දැකීම් වුණා.”

ෂැංහයිහි උපත ලැබූ හොංකොංහි පාසැල් ගිය ලැජ්ජාශීලී කාන්තාවක් වන හෙලන් මතකය අවදි කළේ මෙසේයි. “පස්වෙනි පංතියේ ඉගැනුම ලබන විට මට ශාරීරික අධ්‍යාපනය හා චිත්‍ර ඉගැන්වූවේ චාන් ගුරුවරයායි. මා උස මහත නැති නිසා අත් පන්දු (වොලිබෝල්) හා පැසි පන්දුවලට එතරම් දක්ෂකමක් දැක්වූයේ නැති වුණත් ඔහු මාව අපහසුතාවට පත් කළේ නැහැ. මට කළ හැකි ක්‍රීඩා එනම් බැඩ්මින්ටන් හා වෙනත් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දුන්නා. ඔහු සැලකිලිමත් හා කරුණාවන්ත කෙනෙක්.

“චිත්‍ර ඇඳීමේදීත් ඒ වගේමයි. මට රූප හා වස්තු ඇඳීමට හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා මට මෝස්තර හා රටාවන් ඇඳීමට ඉඩ දුන්නා. ඒ සඳහා මට හැකියාවක් තිබුණා. මම අනිත් ශිෂ්‍යයන්ට වඩා වයසින් බාල නිසා තව අවුරුද්දක් එම පන්තියේම රැඳෙන්න කියා ඔහු මට යෝජනා කළා. මෙය මගේ පාසැල් ජීවිතේ සන්ධිස්ථානයක් වුණා. ඊට පසු මම විශ්වාසයෙන් යුතුව පාඩම් කටයුතුවල නිරත වූ අතර ප්‍රගතියක් ලැබුවා. මම හැමදාම ඔහුට ස්තුතිවන්ත වෙනවා.”

දරුවන් කෙරෙහි වැඩි බලපෑමක් කළ හැක්කේ කුමන ආකාරයේ ගුරුවරුන්ටද? ඉගැන්වීමගුරුවරයෙකුගේ ගුරු ගමන (සිංහලෙන් නොමැත) නමැති විලියම් අයර්ස්ගේ පොතේ පෙන්නුම් කරන ආකාරයට “දක්ෂ ලෙස ඉගැන්වීමට අවශ්‍ය වන ප්‍රධාන දේවල් නම් කල්පනාකාරි වීම, සැලකිලිමත් වීම හා දරුවන් වෙනුවෙන් කැපවීමයි. . . . දක්ෂ ලෙස ඉගැන්වීමට නිශ්චිත ක්‍රමයක්, රටාවක්, සැලසුමක් හෝ ක්‍රියා පටිපාටියක් නැහැ. ඉගැන්වීමට ප්‍රධාන කොටම අවශ්‍ය වන්නේ ප්‍රේමයයි.” එසේනම් බලපෑම් ඇති කළ හැකි ගුරුවරයා කවුද? ඔහු කියනුයේ “ඔබේ හෘදය ස්පර්ශ කළ ගුරුවරයායි. ඔබව තේරුම්ගත් හෝ ඔබ කෙරෙහි පෞද්ගලික සැලකිල්ලක් දැක්වූ පුද්ගලයායි. සංගීතය, ගණිතය, ලතින් භාෂාව හෝ සමහරවිට සරුංගලයක් වැනි තමා ප්‍රිය කරන යමකට ප්‍රිය කරන්න ශිෂ්‍යයා තුළද පෙලඹීමක් ඇති කළ ගුරුවරයායි.”

බොහෝ ගුරුවරුන් ශිෂ්‍යයන්ගේ හා දෙමව්පියන්ගේ ප්‍රශංසාවට ලක් වී තිබෙනවාට කිසිම සැකයක් නැහැ. මෙම දිරිගැන්වීම් නිසා අසීරුතා මැද වුවද ගුරු සේවය දිගටම කරගෙන යාමට ඔවුන් තුළ පෙලඹීමක් ඇති වී තිබෙනවා. බොහෝ අවස්ථාවලදී මෙසේ ප්‍රශංසා ලැබීමට හේතුව ගුරුවරුන් දරුවන් කෙරෙහි පෙන්වන අව්‍යාජ උනන්දුව හා කරුණාවන්තකමයි.

කෙසේවෙතත් සියලුම ගුරුවරුන් දරුවන් කෙරෙහි මෙයාකාරයෙන් සැලකිලිමත් වන්නේ නැහැ. ඒ වගේම ගුරුවරුන් මුහුණපාන නොයෙක් පීඩන නිසා ඔවුන්ට ශිෂ්‍යයන් වෙනුවෙන් කළ හැකි දේත් සීමිතයි. මෙය අපව මෙවැනි ප්‍රශ්නයක් ඇසීමට පොලඹවයි. මිනිසුන් මෙතරම් අසීරු රැකියාවක් තෝරගන්නේ ඇයි?

[4වන පිටුවේ පින්තූරය]

“ඉගැන්වීමට ප්‍රධාන කොටම අවශ්‍ය වන්නේ ප්‍රේමයයි”