Skip to content

පටුනට යන්න

පාසැලේ මාව දන්න කෙනෙක් මුණගැසුණොත්?

පාසැලේ මාව දන්න කෙනෙක් මුණගැසුණොත්?

යෞවන අය අසති . . .

පාසැලේ මාව දන්න කෙනෙක් මුණගැසුණොත්?

“සඳුදාට ඉස්කෝලේ යනවායි කියන කොටත් මගේ ඇඟට මොනවද වෙනවා වගෙයි. මගේ යහළුවෝ කවුරුහරි මාව දැකලා තිබුණොත් මම මොකක් හරි බොරුවක් ගොතලා ඒගොල්ලන්ට කියනවා. උදාහරණයකට කියනවා නම්, මම කියනවා මම කම්කරු පක්ෂයට සල්ලි එකතු කරන්න ගියා කියලා.”—ජේම්ස්, එංගලන්තයෙන්.

“මාව දැක්ක අය පාසැලේදී මට සමච්චල් කළා. ඒක මට හරි වදයක්.”—ඩෙබොරා, බ්‍රසීලයෙන්.

ඇයි මෙම යෞවනයන් තම මිතුරන් දකීවි කියා එතරම් බිය වෙන්නේ? ඔවුන් යම් නීති විරෝධී ක්‍රියාවක නිරතව සිටියාද? අනේ නැහැ. ඇත්තටම ඔවුන් කරමින් සිටියේ වර්තමානයේ මේ පොළොව මත සිදු වෙමින් තිබෙන උසස්ම සහ වැදගත්ම කර්තව්‍යයයි. එනම් “නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න, . . . මා විසින් නුඹලාට අණ කළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න” යනුවෙන් යේසුස් කරන්න කියා අණ කළ කාර්යයෙයි ඔවුන් නිරතව සිටියේ.—මතෙව් 28:19, 20.

එක්සත් ජනපදයේ ගැලප් සමීක්ෂණයට අනුව, යෞවනයන්ගෙන් සියයට 90ක්ම දෙවි කෙනෙකුව විශ්වාස කරන අතර අඩක් පමණ පිරිසක් සෑම සතියකම පල්ලි යනවා. ඒ වගේම යෞවනයන් වැඩිදෙනෙක් පල්ලි මගින් සංවිධානය කරන ගීතිකා කණ්ඩායම්වලට සම්බන්ධ වී සිටින අතර සුළු පිරිසක් තම පාසැල් මිතුරන් සමඟ දෙවියන් ගැන කතා බහ කිරීමටත් මනාපයි. නමුත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලෝ සුපතළ වී සිටින්නේ ගෙයින් ගෙට ගොස් දේශනා කිරීම නිසායි. යෞවනයන් දහස් ගණනක් මෙම කාර්යයෙහි හවුල් වෙමින් සිටිනවා.

ඔබත් යෞවන සාක්ෂිකරුවෙක් නම් දැනටමත් මෙම දේශනා සේවයෙහි නිරත වන බව නිසැකයි. නමුත් දේශනා සේවයෙහි නිරත වීම ඔබට පහසු දෙයක් කියා මින් අදහස් කරන්නේ නැහැ. ලිපිය ආරම්භයේදී යෞවනයන් පැවසූ ආකාරයට පාසැල් මිතුරෙකුගේ හෝ මිතුරියකගේ නිවසට යන්න සිදු වුණොත් යන සිතුවිල්ල ඔබට පීඩාවක් වෙන්න පුළුවන්. එංගලන්තයේ වෙසෙන යෞවනියක් වන ජෙනි තම හැඟීම් මෙසේ වදනට නැඟුවා. “මම පාසැලේ ඉන්නවාට වඩා හොඳට ඇඳ පැළඳගෙන බෑග් එකකුත් අරගෙන යනකොට පාසැලේ කවුරු හරි මාව දකියි කියන බය තරම් තවත් බයක් මට නැහැ.”

පාසැල් මිතුරෙකුව මුණගැසෙයි යන බිය නිසා සමහර යෞවන ක්‍රිස්තියානීන් සැඟවීමට ක්‍රම උපාය පවා යොදනවා. මේ පිළිබඳව ලියෝන් නමැති යෞවනයා පවසන්නේ මෙසේයි. “මම හඳුනන සාක්ෂිකාරයෙක් ඉන්නවා. එයා දේශනා සේවයේ යනකොට හිස් වැස්මක් සහිත කබායක් පළඳිනවා. පාසැලේ මිතුරෙකුව දැක්ක ගමන්ම ඔහු කරන්නේ මුහුණ වැහෙන විදිහට හිස් වැස්ම දමාගන්න එකයි.” වෙනත් යෞවනයන් සමහර ප්‍රදේශවල දේශනා කිරීමට යෑමෙන් වැළකී සිටියි. සයිමන් නමැති යෞවනයා තම මතකයන් මෙසේ අවදි කරනවා. “පාසැලේ මිතුරන් හුඟදෙනෙක් හිටිය පළාතක දේශනා කරන්න නම් සිද්ධ වෙන්න එපා කියලා මම යාච්ඤා කරපු හැටි මට තාම මතකයි.”

ඔබ දේශනා සේවයේ නිරත වී සිටින විට ඔබව දන්න කෙනෙකුව මුහුණට මුහුණලා හමු වුවොත් ඔබට යම් අපහසුතාවක් දැනීම සාමාන්‍යයි. නමුත් එම බියට ඔබව පාලනය කිරීමට ඉඩහළහොත් ඔබට සිදු වන්නේ යහපතක් නොව අයහපතකි. “දේශනා සේවය සම්බන්ධයෙන් මට තිබුණා ඒ වගේ වැරදි ආකල්පයක්. එයින් සිදු වුණේ මගේ ආත්මික වර්ධනය පස්සට යෑමයි” කියා ජර්මනියේ ආලීසා නමැති යෞවනිය ප්‍රකාශ කරනවා.

දේශනා සේවයෙහි හවුල් වීම ඔබට දුෂ්කර කටයුත්තක් වුවත් ඔබ එය අතපසු නොකළ යුත්තේ මන්ද? මෙයට පිළිතුරු දීම සඳහා දෙවි ඔබට මෙම පැවරුම දුන්නේ ඇයි කියා සලකා බලන්න. ඉන්පසු ඔබේ බිය පලවාහැරීමට වෑයම සහ අදිටන උපකාරවත් වන්නේ කෙසේද කියා පෙන්වන්නම්.

දේශනා කිරීම වගකීමක්

ප්‍රථමයෙන්ම ඔබේ ඇදහිල්ල පිළිබඳව අන් අය සමඟ කතා කිරීම අලුත් දෙයක්වත් අමුතු දෙයක්වත් නොවෙයි යන කාරණය සැලකිල්ලට ගැනීම උපකාරවත් වෙයි. ඈත අතීතයේ සිට දේවභයැති ස්ත්‍රීන් සහ පුරුෂයන් මෙය කර තිබෙනවා. නෝවා ගැන ටිකක් සිතන්න. ඔහුගේ නම කිවූ පමණින් සිහියට නැඟෙන්නේ ඔහු තැනූ පතාක නැවයි. (උත්පත්ති 6:14-16) නමුත් 2 පේතෘස් 2:5හි ඔහුව හඳුන්වා තිබෙන්නේ “ධර්මිෂ්ඨකමේ දේශනාකාරයෙක්” ලෙසයි. ඉතාමත් ආසන්නයේ තිබුණු විනාශය ගැන අනතුරු ඇඟවීම තමන්ගේ වගකීමක් කියා ඔහුට හැඟුණා.—මතෙව් 24:37-39.

වෙනත් ජාතීන්ට දේශනා කරන්න කියා යුදෙව්වරුන්ට විශේෂිත ආඥාවක් දී නොතිබුණද බොහෝදෙනෙකු තම ඇදහිල්ල ගැන අන් අය සමඟ කතා කළා. යුදෙව්වෙක් නොවන රූත්ට යෙහෝවා ගැන දැනගන්න ලැබුණෙත් මේ නිසයි. ඇගේ යුදෙව් ජාතික නැන්දම්මා වූ නායොමිට රූත් මෙසේ පැවසුවා. ‘නුඹේ සෙනඟ මාගේ සෙනඟ වන්නේය, නුඹේ දෙවි මාගේ දෙවි වන්නේය.’ (රූත් 1:16) යුදෙව් නොවන සමහර අය දෙවිගේ “උතුම් නාමය” ඇසීමටත් ඔහුගේ ගෘහයේ නමස්කාර කිරීමටත් පැමිණෙන බව පසු කාලයකදී සාලමොන් රජ පවා සඳහන් කළා.—1 රාජාවලිය 8:41, 42.

දෙවිගේ මෙම පුරාණ සේවකයන්ට විශේෂිත අණක් නොමැතිවත් ඔවුන් අන් අයට කතා කළා නම් අදදින සිටින ක්‍රිස්තියානීන් දේශනා කිරීමේ වගකීම කොයිතරම් බැරෑරුම්ව සැලකිය යුතුද! මන්ද අපට “රාජ්‍යයේ මේ ශුභාරංචිය” දේශනා කරන්න කියා අණ කර තිබෙනවා. (මතෙව් 24:14) අපි හරියට ප්‍රේරිත පාවුල් වගෙයි. ඒ කියන්නේ ශුභාරංචිය දේශනා කරන්න අප බැඳී සිටිනවා. (1 කොරින්ති 9:16) අපේම ගැළවීම රඳා පවතින්නෙත් ඒ මතයි. රෝම 10:9, 10හි ලියා තිබෙන්නේ මෙසේයි. ‘යේසුස් ස්වාමීන්යයි නුඹේ මුඛයෙන් ප්‍රකාශ කරන්නෙහි නම්, . . . නුඹ ගළවනු ලබන්නෙහිය. මනුෂ්‍යයා ධර්මිෂ්ඨකම පිණිස සිතින් අදහාගන්නේය. ගැළවීම පිණිස මුඛයෙන් කියා දෙන්නේය.’

ඔබට ප්‍රසිද්ධියේ ‘මුඛයෙන් කියා දිය’ හැක්කේ කෙසේද? අවිධිමත් ලෙස දේශනා කළ හැකි වුවත් පුද්ගලයන් හමුවීමට තවමත් තිබෙන ප්‍රබලතම ආකාරය ගෙයින් ගෙට සේවයයි. (ක්‍රියා 5:42; 20:20) ඔබ තරුණ නිසා මේ සේවයට හවුල් විය යුතු නැතැයි කියා ඔබ සිතනවාද? බයිබලයේ ගීතාවලිය 148:12, 13හි අණ කර තිබෙන්නේ මොනවාද කියලා බලන්න. එහි සඳහන් වී ඇත්තේ ‘තරුණයන් හා තරුණියෙනි, මහල්ලන් හා බාලයෙනි, පොළොවේ සිට යෙහෝවාට ප්‍රශංසා කරන්න’ යනුවෙනි.

සම වයසේ මිතුරන්ට දේශනා කිරීමේ අභියෝගය

දේශනා සේවයේ යන විට ඔබට ඔබේ පාසැලේ කෙනෙකුව මුණගැසුණොත් ලැජ්ජාවක් හෝ යම් තිගැස්මක් ඇති විය හැකියි. ඇත්තෙන්ම අන් අයගේ පිළිගැන්ම ලැබීමට ඇති ආශාව අප කා තුළත් දක්නට තිබෙන දෙයක්. අන් අයගේ උසුළු විසුළුවලට ලක් වෙන්න, අපහාසාත්මක කතා අසන්න කවුද කැමති! “පාසැලේ ඉන්න ළමයි හරිම නපුරුයි” කියා යෞවනියක් වන ටාන්යා පවසනවා. එමනිසා ඔබ පිළිවෙළකට ඇඳ පැළඳගෙන බයිබලයක් අත ඇතිව ඉන්නවා ඔබේ පාසැල් මිතුරන් දුටුවොත් ඔවුන් කෙලෙස ප්‍රතිචාරය දක්වයිද කියා ඔබ කල්පනා කරනවා ඇති. කීමට කනගාටු වුවත්, ඔබ ඔවුන්ගේ සමච්චලයට ලක්වීමට ඉඩ කඩ තිබෙනවා. බ්‍රසීලයේ ෆිලිප් නමැති යෞවනයා තම අද්දැකීම් මෙසේ සිහියට නඟනවා. “මගේ ගෙවල් ළඟ ඉන්නවා ළමයෙක්. එයා ඉන්නේ මගේ පංතියේමයි. ඒ ළමයා මාව දැක්ක ගමන්ම මෙහෙම කියනවා. ‘මෙයාට නම් බයිබලයෙන් තොර ලෝකයක් නැහැ! මොනවාද ආ ඔය බෑග් එකේ තියෙන්නේ.’”

එවන් උසුළු විසුළුවලට ලක්වීම සිනහවට කාරණයක් නොවෙයි. ආබ්‍රහම්ගේ පුත් ඊසාක්ව, ඔහුගේ අර්ධ සහෝදර ඉශ්මායෙල්ගේ දැඩි සමච්චලයට ලක් වුණාය කියා බයිබලයේ සඳහන් වී ඇති ආකාරය අපට දැකගැනීමට පුළුවන්. (උත්පත්ති 21:9) ප්‍රේරිත පාවුල් මෙම අයුතු සැලකිල්ල සුළුවට තැකුවේ නැහැ. ප්‍රේරිතවරයා ගලාති 4:29හි එය හැඳින්වූයේ ‘පීඩාවක්’ ලෙසයි.

ඒ වගේම තම අනුගාමිකයන්ට සමහර මනුෂ්‍යයන් සතුරුකම් පාන බවට යේසුස් අනතුරු ඇඟෙව්වා. ඔහු පැවසුවේ මෙසේයි. “ලෝකයා නුඹලාට වෛර වෙනවා නම්, නුඹලාට පළමුවෙන් මට වෛර වුණ බව නුඹලා දනිහුය. නුඹලා ලෝකයට අයිති නම්, ලෝකයා තමුන්ගේම අයට ආදරේ වන්නෝය. නමුත් නුඹලා ලෝකයාගෙන් නොවන නිසාත් මා විසින් ලෝකයෙන් නුඹලා තෝරාගත් නිසාත් ලෝකයා නුඹලාට වෛර වෙති.”—යොහන් 15:18, 19.

ක්‍රිස්තියානියෙකු වශයෙන් ඔබ යම් ප්‍රමාණයක පීඩාවක් විඳින්න සූදානම් විය යුතුයි. (2 තිමෝති 3:12) ඔබ ඔබේ වයසේ මිතුරන්ට බයිබලයේ එකදු වදනක් හෝ නොපැවසුවත් ඔබේ ගුණ ගරුක හැසිරීම නිසාත් ඔවුන්ගේ නීච හැසිරීමට ඔබ හවුල් නොවන නිසාත් සමහරෙකු ඔබට පීඩා කරන්න ඉඩ තිබෙනවා. (1 පේතෘස් 4:4) ඒ කෙසේවෙතත් යේසුස් අපව සනසන්නේ මෙම වදන්වලිනුයි. “මනුෂ්‍යයන් මා නිසා නුඹලාට නින්දා පීඩා කොට නුඹලාට විරුද්ධව සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල නුඹලා ආශීර්වාද [සන්තෝෂ, NW] ලද්දෝය.” (මතෙව් 5:11) උසුළු විසුළු කරන විටත් හිංසා කරන විටත් ඒවා ප්‍රීතියක් වෙන්නේ කොහොමද කියා ඔබ කල්පනා කරනවා ඇති. ඔබ එක් දෙයක් හොඳාකාරවම දන්නවා. එනම් ඔබ යෙහෝවා දෙවිගේ හදවත ප්‍රීති කරන බව! (හිතෝපදේශ 27:11) තවත් කාරණයක් වන්නේ දෙවිව ප්‍රසන්න කිරීමෙන් ඔබට සදාතන ජීවනය නමැති ත්‍යාගයට උරුමකම් කිව හැකිවීමයි!—ලූක් 10:25-28.

ඔබ දේශනා සේවයෙහි හවුල් වන විට පාසැල් මිතුරන් ඔබට මුණගැසුණොත් ඒ සෑම කෙනෙක්ම ඔබට නපුරු විදිහට සලකන්නේ නැහැ. එංගලන්තයේ සිටින ඇන්ජලා නමැති යෞවනිය ඇගේ අද්දැකීම අපට මෙසේ පවසනවා. “ඔබේ පාසැල් මිතුරෙකුගේ නිවසට ගියාම ඔබට වඩා ගැස්සෙන්නේ එයාලා!” ඇත්තෙන්ම සමහරක් අයට ඔබ පවසන්නේ කුමක්ද කියා දැනගැනීමට තිබෙන්නේ ලොකු කුතුහලයක්. එමෙන්ම යෞවන ක්‍රිස්තියානීන් වැඩිදෙනෙක් තම මිතුරු මිතුරියන්ට සාක්ෂි දැරීමෙන් යහපත් ප්‍රතිඵල නෙළාගෙන තිබෙනවා. මෙම ලිපි මාලාවේ ඊළඟ ලිපියේ ඔබට අත්හදා බැලිය හැකි විවිධ ක්‍රම උපායන් පිළිබඳව සාකච්ඡා කරයි.

[14වන පිටුවේ පින්තූරය]

දේශනා සේවයේ හවුල් වන විට පාසැල් මිතුරෙක් හෝ මිතුරියක් මුණගැසෙයි කියා යෞවනයන් වැඩිදෙනෙක් බිය වෙයි

[16වන පිටුවේ පින්තූරය]

උසුළු විසුළු නිසා ඔබේ ඇදහිල්ල සඟවන්න එපා