Skip to content

පටුනට යන්න

රැකියාව පිළිබඳව සමබර ආකල්පයක්

රැකියාව පිළිබඳව සමබර ආකල්පයක්

රැකියාව පිළිබඳව සමබර ආකල්පයක්

විශාල කැපවීමකින් සේවය කළ හමුදා නිලධාරියෙක් උසස් නිලයක් හෙබවූ තම ස්වාමියාගේ හදිසි වැඩ ටිකක් සම්පූර්ණ කර දීම සඳහා දිවා ආහාරය සඳහා දෙන විවේකය තුළදීත් වැඩ කරන්න තීරණය කළේය. ආහාර ගෙන නැවත කාර්යාලයට පැමිණි සෙසු සේවකයෝ ඔහු ලියන මේසය මත වැටී මිය ගොස් ඇති බව දුටූහ.

ඔහු මිය ගොස් පැය දෙකක් ගතවීමටත් පෙර සෙසු නිලධාරීන්ව පුදුමයට පත් කරවමින් ඔවුන්ගේ ස්වාමියා දුරකථන ඇමතුමකින් මෙසේ පැවසීය. “———, මැරුණු එක ගැන නම් කනගාටුයි. හැබැයි හෙට උදේ වෙද්දී එයාගේ වැඩ ටික කරලා දෙන්න වෙන කෙනෙක්ව හොයලා දෙන්න.” මින් සිදු වූයේ, ඔවුන්ගේ ස්වාමියා වටිනවායයි සැලකුවේ එම නිලධාරියා කළ වැඩ කොටස පමණක්ද කියා මෙය අසා සිටි අය සිතන්න පෙලඹීමයි.

මෙම සැබෑ අද්දැකීම මගින් ජීවිතයේ එක් යථාර්ථයක් කාවද්දවයි. එනම්, බොහෝ අවස්ථාවලදී කෙනෙකුගේ වටිනාකම මනින්නේ ඔහු හෝ ඇය ස්වාමියාට කොතරම් ප්‍රයෝජනවත්ද යන කාරණය මතයි. එසේ නම්, යමෙකු මෙසේ ප්‍රශ්න කිරීමට පෙලඹෙන්න පුළුවන. මම ජීවත් වෙන්නේ වැඩ කරන්නද, නැත්නම් වැඩ කරන්නේ ජීවත් වෙන්නද? රැකියාව වෙනුවෙන් මම පරිත්‍යාග කර තිබෙන්නේ මගේ ජීවිතයේ කුමන දේවල්ද?

නැණවත් තීරණ ගැනීම

ඇතමෙක් විවාහ කලත්‍රයෙකු තේරීම හා රැකියාවක් තේරීම ජීවිතයේ වැදගත්ම තීරණ දෙක වශයෙන් සැලකුවත් බොහෝවිට මෙම තීරණ දෙක ගනු ලබන්නේ දුර දිග කල්පනා කිරීමකින් තොරවය. කලක් රැකියාව හා විවාහය දිගු කල් පවතින දේවල් හැටියට සලකනු ලැබීය. ඒ නිසා, ඒ සම්බන්ධව තීරණ ගත්තේද හොඳින් සිතා බලායි. බොහෝ අවස්ථාවලදී වැඩිහිටි මිතුරන්ගෙන් හෝ දෙමව්පියන්ගෙන් ඒ සඳහා උපදෙස් ගනු ලැබීය.

අද කාලයේ නම් බොහෝදෙනෙකු විවාහ කලත්‍රයෙකු තෝරාගැනීමේදී සලකා බලන එකම දේ වන්නේ එම තැනැත්තා සිත් ඇදගන්නාසුලු පුද්ගලයෙකුද යන්නයි. විවාහය අසාර්ථක වූවොත් තමන්ගේ කලත්‍රයාව අත්හැර දමා වෙන කෙනෙකුව තෝරාගත හැකි බව ඔවුහු සිතති. බොහෝදෙනෙකු රැකියාවක් තෝරාගන්නේද ඒ ආකාරයටමයි. සාමාන්‍යයෙන් රැකියාවක් ආකර්ෂණීය එකක්යයි පෙනෙන්න තිබේ නම් එහි හානිකර පැති ගැන සලකා බැලීමට කාලය ගනු ලබන්නේ නැත. එහි හානිකර පැති ගැන සැකයක් ඉස්මතු වෙද්දී පවා ‘අපෝයි, මට පුළුවන් ඒ ප්‍රශ්නයට මුහුණ දෙන්න’ කියා සිතමින් ඔවුහු එය පසෙක දමති.

කනගාටුවකට මෙන්, දිළිඳු රටවල ජීවත් වන බොහෝ කාන්තාවෝ වඩාත් සැපපහසු, සුඛෝපභෝගි ජීවිතයක් ගත කළ හැකි බවට පොරොන්දු කරන විදේශීය රැකියා පිළිබඳ වෙළඳ දැන්වීම්වලට රැවටෙති. කොහොම වුණත්, එම රටවලට ගිය පසු ඔවුන්ව බොහෝවිට ගණිකා මඩම්වලට රැගෙන යන අතර ගණිකාවන් ලෙස එහිදී ගත කරන්න සිදු වන ජීවිතය ඔවුන්ගේ කලින් ජීවිතයට වඩා අතිශයින් දුක්බරයි. නීච ලෙස සිදු කෙරෙන මේ ආකාරයේ නවීන දින වහල් මෙහෙකාරකම් “තුරන් කළ නොහැකි වසංගතයක්” යයි එක් සඟරාවක (World Press Review) පවසා තිබිණ.

සාමාන්‍ය රැකියාවක් පිළිගැනීමට පෙලඹුණු අයට පවා පසු කාලයකදී තමන් වහලුන් බවට පත් වී ඇතැයි කියා හැඟෙන අවස්ථා තිබිය හැකිද? ඇත්තෙන්ම එසේ සිදු වී තිබේ. නිදසුනකට, සමහර ආයතන තම සේවකයන්ගේ ප්‍රයෝජනය තකා ඔවුන්ට සුඛෝපභෝගි දීමනා පිරිනමා ඇත. රැකියා ස්ථානය තුළම පවුලේ අයට හා හිත මිතුරන්ට භාවිත කළ හැකි කෑම කාමරයක්, නොමිලේ ලබා දෙන ප්‍රවාහන හා නිර්ජල සේදීමේ (dry cleaning) පහසුකම්, රැකියා ස්ථානය තුළම දන්ත වෛද්‍යවරයෙකුගේ සේවාව, නොමිලේ ව්‍යායාම පරිශ්‍රයක් (gymnasium) භාවිත කිරීමේ අයිතිය හා මිල අධික භෝජන ශාලාවල ආහාර මිල දී ගැනීමේ වට්ටම් යනාදිය මෙම දීමනාවලට ඇතුළත් වේ.

“අධික වැඩවලින් හෙම්බත් වූ තම සේවකයන් සඳහා මුදල් ගෙවා විරුද්ධ ලිංගයේ අයව හඳුන්වා දෙන ආයතනයක සේවාව පවා සපයන සමාගමක් තිබෙනවා” යයි පුවත් පත් කලාවේදියෙක් වන රිචඩ් රීව්ස් වාර්තා කරයි. එහෙත් පරෙස්සම් වන්න! “ඔබේ ජීවිතය වඩාත් පහසු එකක් කරගැනීම සඳහා මෙම ආයතන එක් එක් සැලසුම් යොදන්නේ ඔබේ ජීවිතය ඔවුන්ගේ අතට භාර දිය යුතුයි යන කොන්දේසිය මතයි. ඔබ දවසකට පැය 18ක් මෙන්ම සති අන්තවලදීත් වැඩ කළ යුතු බව ඉන් අදහස් වේ. සියල්ලම කළ යුත්තේ ඔවුන්ගේ ලාභය තකා වන අතර ආහාර ගත යුත්තේද, ව්‍යායාම් කළ යුත්තේද, විනෝද විය යුත්තේද නිදාගත යුත්තේද රැකියා ස්ථානය තුළදීමයි.”

වඩා හොඳ විකල්පයක් තෝරාගැනීම

ඉපැරණි හිතෝපදේශයක මෙසේ පවසා ඇත. “මළ සිංහයෙකුට වඩා පණ ඇති බල්ලෙක් හොඳය.” (දේශනාකාරයා 9:4) මෙම හිතෝපදේශය වැදගත් ප්‍රශ්නයක් ඉස්මතු කරයි. එනම් මගේ ජීවිතය නැත්නම් මගේ සෞඛ්‍යය පරදුවේ තැබීමට තරම්ම මගේ රැකියාව වටිනවාද යන්නයි. මෙම ප්‍රශ්නය සලකා බැලීමෙන් පසු බොහෝදෙනෙක් තම තත්වය පිරික්සා බලා තමන්ට මෙන්ම තමන්ගේ පවුලේ අයට ප්‍රමාණවත්ව සැපයීමට හා සතුටින් පිරි අර්ථවත් ජීවිතයක් ගත කිරීමට ඉඩ සලසා දෙන විකල්ප ක්‍රමයක් සොයාගෙන තිබේ.

ඇත්තෙන්ම මෙවැනි දෙයක් කිරීම සඳහා නිහතමානීකම අවශ්‍ය වනවා සේම අත්‍යවශ්‍ය නොවන තමන්ගේ වුවමනාවන්ට වඩා තමන්ගේ සැබෑ අවශ්‍යතාවන් මොනවාද කියා තීරණය කිරීමට සිදු වේ. උසස් තනතුරක් හෝ නම්බු නාමයක් පසුපස හඹා යන අය එතරම් ආකර්ෂණීය නොවන රැකියා තෝරාගැනීමට අකමැත්තක් දක්වන අතර එවැනි රැකියා තෝරාගන්නා අය මෝඩයි කියා සැලකිය හැකියි. එහෙත් ජීවිතයේ සැබවින්ම වටින්නේ කුමක්ද? ඔබ මෑතකදී ඒ සම්බන්ධව මොහොතකට හෝ සිතා බැලුවද?

ඉහත සඳහන් හිතෝපදේශය ලියූ සාලමොන් රජ මිහිපිට ජීවත් වූ වෙනත් කිසිදු කෙනෙකුට වඩා ද්‍රව්‍යමය සැප සම්පත් භුක්ති විඳි කෙනෙකි. එහෙත් සැබවින්ම වැදගත් වන්නේ කුමක්ද කියා කැටි කොට දක්වමින් ඔහු දේවානුභාවයෙන් මෙසේ ලීවේය. “සියල්ල අසන ලදි, මුළු කාරණයේ තීන්දුව නම් මේය. [දෙවිට] භයව [ඔහුගේ] ආඥා පවත්වන්න. මේ වනාහි සියලු මනුෂ්‍යයන්ගේ යුතුකමය.”—දේශනාකාරයා 12:13.

ඒත් සමඟම සාලමොන් වැඩ කිරීමද අගය කළේය. ඔහු ලීවේ, “කා බී තමාගේ වැඩෙන් සැපය භුක්ති විඳින්ට තමාගේ ප්‍රාණයට ඉඩ දෙනවාට වඩා හොඳ යසසක් මනුෂ්‍යයෙකුට නැත” කියායි. (දේශනාකාරයා 2:24) උතුම් සාලමොන් වන යේසුස් ක්‍රිස්තුස්ද ස්වර්ගයේ වෙසෙන තම පියා මෙන් වැඩ කිරීම වටිනා දෙයක් සේ සලකයි. “මාගේ පියාණන් මේ දක්වා වැඩ කරමින් සිටින්නේය. මමත් වැඩ කරමින් සිටින්නෙමි” කියා යේසුස් පැවසුවේය.—යොහන් 5:17, NW; මතෙව් 12:42.

එහෙත්, අද මනුෂ්‍යයන්ගේ ආයුෂ ප්‍රමාණය සීමිතයි. (ගීතාවලිය 90:10) කොහොම වුණත්, දේවරාජ්‍යයේ පාලනය යටතේ මිහිපිට සදාකල් ජීවිතය භුක්ති විඳිය හැකි බව ක්‍රිස්තුස් දැනගෙන සිටි අතර එම රාජ්‍ය පාලනය වෙනුවෙන් යාච්ඤා කරන්න කියා ඔහු තම ගෝලයන්ට ඉගැන්නුවේය. ඔහු තම ප්‍රසිද්ධ කන්ද උඩ දේශනාවේදී මෙසේ උනන්දු කළේ එනිසයි. “එබැවින් පළමුකොට රාජ්‍යයද ඔහුගේ ධර්මිෂ්ඨකමද නොකඩවාම සොයන්න. එවිට මේ සියල්ලත් ඔබට දෙනු ලැබේ.”—මතෙව් 6:9, 10, 33, NW.

රාජ්‍ය පාලනය යටතේ පවතින ජීවිතය ගැන බයිබලය මෙසේ පොරොන්දු කරයි. “ඔවුහු ගෙවල් ගොඩනඟාගන එහි වාසය කරන්නෝය. මිදි වතු වවා එහි ඵල කන්නෝය. ඔවුන් ගෙවල් ගොඩනැඟුවාම වෙන කෙනෙක් වාසය කරන්නේ [නැත.] . . . මාගේ තෝරාගත් අය තමුන්ගේ අත් වැඩ බොහෝ කල් භුක්ති විඳින්නෝය.”—යෙසායා 65:21, 22.

මොනතරම් මහිමාන්විත අපේක්ෂාවක්ද! සදාකල් ජීවිතය භුක්ති විඳින අතරතුර අර්ථාන්විත මෙන්ම ඵලදායී වැඩ කිරීමට අපට හැකියි! “සැබෑ ජීවනය,” එනම් අනාගතයේදී දෙවිගේ රාජ්‍යය යටතේ ජීවත් වීමට තිබෙන ප්‍රස්තාව අහිමි කර නොගැනීම සඳහා අපි දැන් කරන වැඩ සම්බන්ධයෙන් යම් සකස් කිරීම් කළ යුතු බව අපේ තත්වය බැරෑරුම්ව තක්සේරු කිරීමෙන් පසු හෙළි විය හැකියි. (1 තිමෝති 6:19, NW) එසේ නම්, අපේ රැකියාවේදී මෙන්ම අප කරන වෙනත් ඕනෑම දෙයකදී අපට ජීවිතය දුන් තැනැත්තාට අපි ගරු කරන බව පෙන්වමු.—කොලොස්සි 3:24.

[22, 23වන පිටුවේ පින්තූර]

දෙවිගේ රාජ්‍යය යටතේ මිනිසුන්ට ආරක්ෂා සහිත මෙන්ම ඵලදායී වැඩ භුක්ති විඳිය හැකියි