Skip to content

පටුනට යන්න

රැකියා ස්ථාන අනතුරුදායක වීමට හේතු

රැකියා ස්ථාන අනතුරුදායක වීමට හේතු

රැකියා ස්ථාන අනතුරුදායක වීමට හේතු

“පාරේ මිය යන මිනිසුන්ට වඩා වැඩපොළේ මිය යන මිනිසුන්ගේ සංඛ්‍යාව වැඩියි.” මෙය ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හි, ආරක්ෂාව පිළිබඳ ආයතනයක් (WorkCover) මගින් බෙදාහරිනු ලැබූ පෝස්ටරයක ලොකු අකුරින් දිස් වූ ශීර්ෂ පාඨයකි.

ඇත්ත වශයෙන්ම, හදිසි අනතුරු හේතුවෙන් මිය යෑම මෙම ගැටලුවේ එක් පැත්තක් පමණයි. සෑම වසරකම රැකියා ස්ථානයේදී මිලියන ගණන් ජනයා ඉතා දරුණු ලෙස තුවාල ලබන අතර ඇතැම් විට එම තුවාල මුළු ජීවිත කාලය පුරාම ඔවුන්ට බලපෑම් කරයි. රැකියා ස්ථානයේදී හානිකර ද්‍රව්‍යවලට නිරාවරණය වීම හේතුවෙන් හෝ අධි මානසික පීඩනය හේතුවෙන් අකල් මරණයට ගොදුරු වන තවත් බොහෝදෙනෙක්ද සිටිති.

ව්‍යාපාර හා කර්මාන්ත ක්ෂේත්‍රයේ සෑම අංගයකම පාහේ මරු කැඳවන හෝ බරපතළ තුවාල ඇති කරවන වැඩ හා සම්බන්ධ අනතුරු සිදු වන නිසා, මෙම ප්‍රශ්න මතු කිරීම යෝග්‍යයි. ඔබේ රැකියා ස්ථානය කොතරම් ආරක්ෂා සහිතද? එහිදී කුමන තත්වයන්ද ඔබේ සෞඛ්‍යයට හෝ ජීවිතයට තර්ජන එල්ල කරනවා විය හැක්කේ?

පීඩනයෙන් හෙම්බත් වූ පරිසරයක්

බොහෝවිට නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සඳහා සේවකයන් මත අතිවිශාල පීඩනයක් එල්ල කෙරේ. ජපානයේ කාරෝෂී, එනම් “අධික වැඩ හේතුවෙන් මිය යෑම” යන යෙදුම මුලින්ම භාවිත කළේ වියෝ දුකින් පෙළුණු පවුල් සාමාජිකයන් වන්දි මුදල් ඉල්ලා ගොනු කළ නඩු ලියකියවිලි තුළයි. ජපානයේ කාර්යාලවල වැඩ කරන ජනයාගෙන් සියයට 40ක්ම ජීවත් වන්නේ තමන් අධික වැඩ හේතුවෙන් මිය යාවී යන බිය සමඟින් බව වසර ගණනාවකට පෙර එහිදී කළ සමීක්ෂණයකින් හෙළි විය. මෙවන් වන්දි නඩු පිළිබඳ විශේෂඥ නීතිඥයෙකු කළ ගණනය කිරීමකට අනුව “සෑම වසරකම ජපානයේ 30,000දෙනෙකු කාරෝෂීවලට ගොදුරු වේ.”

වයස අවුරුදු 50ත් 59ත් අතර ජනයා දැන් වැඩි වැඩියෙන් සියදිවි හානි කරගැනීමට පෙලඹෙන අතර එයට ප්‍රධාන හේතුවක් විය යුත්තේ ඔවුන්ගේ රැකියාව හා බැඳි ගැටලු බව පොලිස් නිලධාරීන් අඟවා තිබේ. වැඩ හා සම්බන්ධ ගැටලුවලින් හෙම්බත් වූ යම් සේවකයෙකු සියදිවි හානි කරගත් නිසා ඔහුගේ ස්වාමියා එයට වගකිව යුතුයයි එක් අධිකරණයක් මගින් තීන්දු කළ බව ප්‍රචණ්ඩත්වයට නැඹුරු වන රැකියා ස්ථානය (සිංහලෙන් නොමැත) නමැති පොතෙහි සඳහන් විය.

‘දැන් ලෝකයේ වැඩිම පැය ගණනක් රැකියාවේ නිරත වන්නේ ජපන් ජාතිකයන් නොව, අමෙරිකානුවන්’ බව කැන්බරා ටයිම්ස් නම් ඕස්ට්‍රේලියානු පුවත් පතේ පළ කර තිබිණ. එමනිසා, “අමතර පැය ගණනාවක් වැඩ කිරීම හේතුවෙන් මිනිස්සු මරු දකිති” වැනි පුවත් පත් ශීර්ෂ පාඨ දක්නට ලැබේ. ප්‍රවාහන සේවකයන්, ගිලන් රථ රියැදුරන්, ගුවන් නියමුවන්, කම්කරුවන් හා රාත්‍රි වැඩ මුරවල යෙදෙන අය වැනි විඩාවට පත් වූ සේවකයන් සේවයේ නිරත වන ගමන්ම මිය ගිය ආකාරය එම පුවත් වැකිවල විස්තර කර ඇත.

ප්‍රතිසංවිධානය කිරීම හා සේවක පිරිස අඩු කිරීම මගින් වැඩි ලාභ ඉපයීමට වෑයම් කරන ආයතන, නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සඳහා තම සේවකයන් මත දැඩි පීඩනයක් එල්ල කරයි. සේවක පිරිස අඩු කිරීමේ ක්‍රියාවලිය සේවකයන්ගේ සෞඛ්‍යයට ඉතා අහිතකර බව එක් වෛද්‍ය ජ’නලයක (British Medical Journal) වාර්තා විය.

රැකියා ස්ථාන තුළ ප්‍රචණ්ඩත්වය

අධික වැඩ ප්‍රමාණයක් කරන, පීඩනයට ලක් වූ සේවකයන් හානි පමුණුවාගන්නේ තමන් මත පමණක්ම නොවේ. බ්‍රිතාන්‍යයේ කළ එක් සමීක්ෂණයකට අනුව, සාමාන්‍ය වැඩ කරන දිනයකදී කාර්යාල සේවකයන් සෙසු සේවකයන් සමඟ වැඩි වේලාවක් නුරුස්සන ස්වභාවයකින් කටයුතු කරන අතර මෙම තත්වය බොහෝවිට ප්‍රචණ්ඩත්වය දක්වා උත්සන්න වේ.

“සෑම සතියකදීම අමෙරිකානු සේවකයන් 15දෙනෙකු පමණ තම රැකියා ස්ථානයේදී මැරුම් කනවා” යයි බිස්නස් වීක් සඟරාවේ පළ වී තිබිණ. “කිසිම කළමනාකරුවෙකු වැඩපොළේ සිදු වන ප්‍රචණ්ඩ ක්‍රියාවන් ගැන කතා කිරීමට කැමති නැති” බව තවත් සඟරාවක (Harvard Business Review) සඳහන් විය. “ඒ කෙසේවෙතත්, සෑම වසරකදීම සේවකයෝ සියගණනක් තම සෙසු සේවකයන්ට පහර දීමට හෝ ඔවුන්ව මරණයට පත් කිරීමට පෙලඹෙති.”

තවත් බොහෝදෙනෙකුට රැකියා ස්ථානයේ ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන්න සිදු වී තිබෙන්නේ තම සේවා දායකයන් හෝ පාරිභෝගිකයන් නිසාය. ඕස්ට්‍රේලියානු අපරාධ පරීක්ෂක වාර්තාවක පවසා තිබුණේ දරුණු පහර දීම්වලට මුහුණ දෙන්න සිදු වේවි යන බිය නිසා ඇතැම් වෛද්‍යවරු නිවස්වලදී ලෙඩුන්ව බැහැදැකීමට යන විට තවත් කෙනෙකු රැගෙන යන බවයි. ප්‍රචණ්ඩත්වයේ අවදානමට මුහුණ දෙන තවත් පිරිසක් වන්නේ පොලිස් නිලධාරීන් හා පාසැල් ගුරුවරුන්ය.

වැඩපොළේ සිදු වන ප්‍රචණ්ඩත්වයේ තවත් පැත්තක් වන්නේ මානසිකව බිඳ වට්ටන ආකාරයේ හිරිහැරයි. ජාත්‍යන්තර කම්කරු සංවිධානය මෙය හඳුන්වන්නේ මානසික ප්‍රචණ්ඩත්වය වශයෙනි. ප්‍රචණ්ඩකාරි උසුලු විසුලුවලට ලක් කිරීම මේ ආකාරයේ හිරිහැරවලට ප්‍රධාන නිදසුනකි.

අමෙරිකා එක්සත් ජනපදයේ මිනිසෝටා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රොබට් එල්. වෙනින්ග සඳහන් කරන ආකාරයට “මානසික පීඩනය හා එයින් ඇති වන රෝග ලක්ෂණ ලෝකයේ සෑම රටකම පාහේ සිටින සේවකයෝ අද්දකිති.” ඔහු තවදුරටත් මෙසේ සඳහන් කළේය. “එක්සත් ජාතීන්ගේ 1993 ලෝක කම්කරු වාර්තාවට අනුව මානසික පීඩනය නමැති ගැටලුවට මුල් වන්නේ පුද්ගලයා ගැන තැකීමක් නොකරන, නිතර වෙනස් වීම්වලට භාජනය වන හා බොහෝවිට කලහකාරි වාතාවරණයක් පවතින රැකියා ස්ථානමයි.”

මෙහිදී පැන නඟින වැදගත් ප්‍රශ්නයක් වන්නේ, තමන්ගේ රැකියා ස්ථානය වඩාත් ආරක්ෂා සහිත කරගැනීම සඳහා ස්වාමිවරුන්ට මෙන්ම සේවකයන්ට කළ හැක්කේ කුමක්ද යන්නයි. මෙම ප්‍රශ්නය ඊළඟ ලිපියේ සාකච්ඡා කරනු ඇත.