සෑම වරදකාරි හැඟීමක්ම වැරදිද?
බයිබලයේ දෘෂ්ටිකෝණය
සෑම වරදකාරි හැඟීමක්ම වැරදිද?
අදදින මනුෂ්‍යයන් වැඩිදෙනෙකුගේ සිතුවිල්ල වරදකාරි හැඟීම් ඇති කරගැනීමට කිසිම අවශ්‍යතාවක් නැත යන්නයි. තවත් සමහරෙක් ජර්මන් දර්ශනවාදියෙකු වන ෆ්‍රීඩ්රිහ් නීචචිගේ අදහස අනුමත කරති. ඔහු පවසා සිටියේ “මිනිසාගේ මනසටත් ශරීරයටත් පහර දී ඇති දරුණුම විෂබීජය වරදකාරි හැඟීම” බවය.
නමුත් සමහර ප්‍රවීණයන් දැන් කියන්නේ වෙනත් කතාවකි. දර්ශන ශූර ආචාර්ය උපාධිධාරී (Ph.D.), ජගත් කීර්තියට පත් චිකිත්සකවරියක් සහ ගත්කතුවරියක් වන සුසැන් ෆෝවඩ් මෙසේ පවසා තිබේ. “වරදකාරි හැඟීම යනු වගකීමේ හැඟීමකින් කටයුතු කරන පුද්ගලයෙකුට අනිවාර්යයෙන්ම තිබිය යුතු ලක්ෂණයක්. එය හෘදය සාක්ෂියේ එක් අංගයකි.” එසේ නම් සෑම වරදකාරි හැඟීමක්ම වැරදිද යන ප්‍රශ්නයත් වරදකාරි හැඟීම උපකාරකයෙක් බවට පත් විය හැකි අවස්ථාවන් තිබේද යන ප්‍රශ්නයත් ඉස්මතු වේ.
වරදකාරි හැඟීම යනු කුමක්ද?
අප සැලකිල්ල දක්වන කෙනෙකුව රිදවා තිබෙනවා කියා අපට දැනුණ විට හෝ අප ජීවත් විය යුතුයයි සිතා සිටින යම් ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වීමට අසමත් වූ විට හෝ වරදකාරි හැඟීමක් අප තුළ ජනිත විය හැකියි. එක් ග්‍රන්ථයක මෙසේ පවසා තිබේ. “යම් අසමත් වීමකට, වරදකට, අපරාධයකට හෝ පාපයකට තමා දඬුවම් ලැබිය යුතු බව තේරුම්ගන්නා පුද්ගලයෙකු ඒ සඳහා වන්දි ගෙවිය යුතු බවට තමා තුළ ඇති කරගන්නා හැඟීම” වරදකාරි හැඟීම ලෙස හැඳින්විය හැකියි.
හෙබ්‍රෙව් ලියවිලි තුළ ඉශ්‍රායෙල්වරුන් දෙවිගේ ව්‍යවස්ථාවට අනුකූලව ජීවත් වීමට අසමත් වීම වරදකාරි හැඟීම සමඟ සම්බන්ධ කර තිබේ. වරදකාරි හැඟීම පිළිබඳව කර ඇති සඳහන් කිරීම් ගණනාවෙන් අඩක්ම බයිබලයේ ලෙවී කථාව සහ ගණන් කථාව නමැති පොත්වල සඳහන් වී ඇති ආකාරය මෙයට නිදසුනකි. වරදකාරි යන වදන ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලි තුළ නොදකින තරම්ය. නමුත් එය දැකගත හැකි අවස්ථා කිහිපයේදී දෙවිට විරුද්ධව කරන බරපතළ වරදවල් දැක්වීමට එය භාවිත කර ඇත.—මාර්ක් 3:29; 1 කොරින්ති 11:27.
කනගාටුවට කාරණයක් වන්නේ අප අනවශ්‍ය ලෙස වරදකාරි හැඟීම් ඇති කරගැනීමයි. මෙයට නිදසුනක් පෙන්වනවා නම්, සෑමවිටම පරිපූර්ණත්වය බලාපොරොත්තු වන කෙනෙක් තමන්ට අත් කරගත නොහැකි ප්‍රමිති තම ජීවිතයේ තබාගෙන එම ප්‍රමිතිවලට අනුකූල වීමට තමාට නොහැකි වන විට අනවශ්‍ය ලෙස වරදකාරි හැඟීමක් ඇති කරගනියි. (දේශනාකාරයා 7:16) එසේ නැතහොත් අප අතින් සිදු වූ යම් වරදක් හෝ අත්වැරදීමක් ගැන පසුතැවිලි වීමෙන් අනතුරුව ඒ ගැන අනවශ්‍ය ලෙස ලැජ්ජාවට පත්වීමටත් අපටම නිරපරාදේ දොස් පවරාගැනීමටත් පෙලඹිය හැක. එසේ නම් වරදකාරි හැඟීමකින් ඇති විය හැකි යහපත කුමක්ද?
වරදකාරි හැඟීම් යහපත් විය හැකියි
වරදකාරි හැඟීම අඩුම තරමින් තුන් ආකාරයකින් යහපත් විය හැකියි. පළමු යහපත නම්, එවන් හැඟීමකින් පිළිගත් ප්‍රමිති කුමක්ද කියා අප තුළ වැටහීමක් තිබෙනවා කියා පෙන්නුම් කරන අතර අපට සංවේදී හෘදය සාක්ෂියක් තිබෙනවා කියාද පෙන්නුම් කරයි. (රෝම 2:16) අමෙරිකාවේ මනෝචිකිත්සක සංගමය මගින් ප්‍රකාශිත ග්‍රන්ථයක වරදකාරි හැඟීම නොමැතිකම සමාජයට තර්ජනයක් ලෙස විග්‍රහ කර තිබුණි. මන්ද දූෂිත හෝ හංවඩු ගැසුණු හෘදය සාක්ෂියක් ඇති පුද්ගලයන්ට හරි වැරැද්දේ වෙනස වටහාගැනීමට නොහැකි නිසා එය අනතුරුදායකය.—තීතස් 1:15, 16.
දෙවන යහපත නම්, වරදකාරි හැඟීම අයථා ක්‍රියා මඟහැරීමට උපකාර වීමයි. වැළඳිය හැකි රෝගාබාධයක් පිළිබඳව ශරීරයේ ඇති වන වේදනා මගින් අනතුරු ඇඟවීමක් කරන්නා සේ වරදකාරි හැඟීම නිසා ඇති වන චිත්තවේගීය වේදනාව, අපගේ අවධානයට හසු විය යුතු සදාචාරාත්මක නැතහොත් ආත්මික ගැටලුවක් ගැන කරන අනතුරු ඇඟවීමක් වැනිය. අප අපගේ දුර්වලකම දැනගත් පසු මත්තට අපටම රිදවාගැනීමට, අප ආදරය දක්වන කෙනෙකුව හෝ වෙනත් කෙනෙකුව රිදවීමට ඇති වන නැඹුරුවාව අඩු වේ.—මතෙව් 7:12.
සිදු වන තුන්වන යහපත නම් කළ වරද පාපොච්චාරණය කිරීමෙන් වරද කළ පුද්ගලයාටත් එයින් පීඩා විඳි පුද්ගලයාටත් උපකාරයක් ලැබිය හැකිවීමයි. නිදසුනකට දාවිත් රජු විසින් සිදු කළ වරද නිසා ඔහුට දැනුණේ දැඩි සන්තාපයකි. “මාගේ වරද ගැන නිහඬ ව සිටිමින්, දවස පුරා කඳුළු හෙළා සුසුම්ලෑමෙන් මාගේ ඇඟපත දිරා ගියේ ය” කියා ඔහු කීවේ ඒ නිසාවෙනි. නමුත් තම පාපය දෙවිට පාපොච්චාරණය කළ පසු දාවිත් සිතේ ප්‍රීතියෙන් “මා රැකවරණය ඔබ ය. දුක් දොම්නසින් ඔබ මා [රකියි]” කියා ගැයුවේය. (ගීතාවලිය 32:3, 7, නව අනුවාදය) පාපොච්චාරණය මගින් පීඩාවට හසු වූ පුද්ගලයාට පවා යම් සහනයක් ලැබෙයි. මන්ද වරද පිළිගැනීමෙන් පීඩාවට පත් තැනැත්තාට හෝ තැනැත්තියට දුන් වේදනා තමන්ට දැනුණ බවත් ඔවුන් කෙරෙහි ප්‍රේමයක් තිබෙන බවත් පීඩාව සිදු කළ පුද්ගලයා සහතික කරන බැවිනි.—2 සාමුවෙල් 11:2-15.
වරදකාරි හැඟීම පිළිබඳව සමබර ආකල්පයක්
වරදකාරි හැඟීම පිළිබඳව සමබර අදහසක් පව්කාරයන් සහ පාපය සම්බන්ධයෙන් යේසුස් සහ ඵරිසිවරුන් දැරූ ආකල්පයෙන් සොයාගත හැකියි. අනාචාර ස්ත්‍රියක් ඵරිසිවරයෙකුගේ නිවසට පැමිණි ආකාරය ලූක් 7:36-50හි අපට කියවීමට තිබේ. යේසුස් එම නිවසේ සිටියේ ආහාර ගනිමින්. එවිට ඇය නිහඬව නිවසට ඇතුල් වී යේසුස් ළඟට ගොස් ඇගේ කඳුළුවලින් ඔහුගේ පාද සෝදා ඉතා අනර්ඝ තෛලයකින් සුගන්ධවත් කළාය.
භක්තිවන්තයැයි කියාගත් මෙම ඵරිසිවරයා මෙම ස්ත්‍රිය දෙස බැලුවේ පිළිකුල් සහගතවයි. ඔහු තමන්ටම කියාගත්තේ මෙසේයි. ‘මෙම මිනිසා [යේසුස්] අනාගතවක්තෘ කෙනෙක් නම් තමාට අත ගසන මේ ස්ත්‍රිය කවුද කියාත් කොහොම කෙනෙක්ද කියාත් දැනගන්නවා ඇත, මන්ද ඈ පව්කාරියක්ය.’ (ලූක් 7:39) යේසුස් ඔහුගේ වැරදි ආකල්ප නිවැරදි කිරීමට පමා වූයේ නැත. “නුඹ මාගේ හිසේ තෙල් ගෑවේ නැත. නමුත් මෑ මාගේ පාදවල සුවඳ තෙල් ගෑවාය. එබැවින් නුඹට කියමි. බොහෝ වූ ඇගේ පව් ඈට කමා කරන ලද්දේය. මක්නිසාද ඈ බොහෝකොට ප්‍රේම කළාය.” මෙම කාරුණික වදන් එම ස්ත්‍රියට යම් ශක්තියක් සහ හදවතට සැහැල්ලුවක් ගෙන දුන් බවට සැකයක් නැත.—ලූක් 7:46, 47.
යේසුස් දුරාචාරය හරි දෙයක් කියා පවසමින් සිටියේ නැත. ඔහු ඒ උද්දච්ච ඵරිසිවරයාට උගන්වමින් සිටියේ දෙවිට සේවය කිරීමට පෙලඹවිය යුත්තේ ප්‍රේමය බවයි. (මතෙව් 22:36-40) එම ස්ත්‍රියට තම අඳුරු අතීතය ගැන වරදකාරි හැඟීමක් ඇතිවීම සාධාරණයි. නමුත් ඈ පසුතැවුණ බව පැහැදිලියි. මන්ද ඈ අඬා වැළපුණාය. ඇය තම අතීතය යුක්තිසහගත කිරීමට මාන බැලුවේ නැත. ඇය සියල්ලන් ඉදිරියෙහි යේසුස්ට ගෞරව කිරීමට ඒකාන්ත පියවර ගත්තාය. යේසුස් මෙය දුටු විට, ප්‍රතිචාරය දැක්වූයේ, “නුඹේ ඇදහිල්ල නුඹ ගැළෙවුවේය, සමාදානයෙන් යන්න” කියා කීමෙනි.—ලූක් 7:50.
නමුත් ඵරිසිවරයාගේ අභිප්‍රාය වූයේ දිගින් දිගටම පව්කාරියක වශයෙන් ඇයව නින්දාවට පත් කිරීමටයි. සමහරවිට ඔහු ‘දෙවිට ඈ ගණන් දිය යුතුයි’ යන හැඟීම ඇය තුළ ජනිත කොට ඇයව ලැජ්ජාවට පත් කිරීමටත් සිතුවා විය හැකියි. නමුත් අප සිතන පතන ආකාරයට අන් අය කටයුතු නොකරන විට ඔවුන් තුළ වරදකාරි හැඟීමක් ඇති කිරීමට නිරතුරුවම වෑයම් කරනවා නම් එය ප්‍රේමනීය දෙයක් නොවන අතර එය ගැටලුවලට මුලපිරීමකි. (2 කොරින්ති 9:7) හොඳම ප්‍රතිඵල නෙළාගත හැකි වන්නේ යේසුස්ව අනුකරණය කිරීමෙන් පමණි. එනම් ආදර්ශවත් හැසිරීමෙන්, අවංකව අන් අයව පැසසුමට ලක් කිරීමෙන් සහ ඔවුන්ට යම් අවස්ථාවල අවවාදයක්, උපදෙසක් අවශ්‍ය වූ විටකදී පවා ඔවුන් තුළ විශ්වාසයක් ගොඩනැඟෙන ආකාරයෙන් එය පිරිනැමීමෙන් යේසුස්ව අනුකරණය කළ හැකියි.—මතෙව් 11:28-30; රෝම 12:10; එපීස 4:29.
වරදකාරි හැඟීම වැරදි නැත. අප වරදක් කර ඇති විටක එවන් හැඟීමක් අවශ්‍යමයි. හිතෝපදේශ 14:9හි පවසන්නේ, “මෝඩයෝ වරද ගැන සරදම් කෙරෙති” කියායි. වද දෙන හෘදය සාක්ෂියට වරද හෙළි කිරීමටත් ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට අපව පෙලඹවීමටත් පුළුවන. එමෙන්ම, එවන් ක්‍රියාමාර්ගයක් ගැනීමට අපව අනිවාර්යයෙන්ම පෙලඹවිය යුතුයි. නමුත් යෙහෝවාට සේවය කිරීමේ මූලික පදනම ප්‍රේමය මිසක වරදකාරි හැඟීම නොවෙයි. (යෝබ් 1:9-11; 2:4, 5) යහපත් ජනයාට ප්‍රේමනීයව උපකාර කළ විට ඔවුන් තමුන්ට කළ හැකි සෑම දෙයක්ම කරාවිය කියා බයිබලයෙහි සහතික කර තිබේ. වැදගත්ම දේ එය කිරීමෙන් ඔවුන් සතුට භුක්ති විඳීමය.