Skip to content

පටුනට යන්න

ක්‍රිස්තියානීන් දෙවිගේ ආරක්ෂාව අපේක්ෂා කළ යුතුද?

ක්‍රිස්තියානීන් දෙවිගේ ආරක්ෂාව අපේක්ෂා කළ යුතුද?

බයිබලයේ දෘෂ්ටිකෝණය

ක්‍රිස්තියානීන් දෙවිගේ ආරක්ෂාව අපේක්ෂා කළ යුතුද?

තමන්ගේ නමස්කාරකයන්ව අනතුරුවලින් ආරක්ෂා කරගැනීමට දෙවිට තිබෙන හැකියාව ගැන බයිබලයේ බොහෝ තැන්වල සඳහන් වේ. දාවිත් රජ වරක් මෙසේ පැවසුවේය. “[යෙහෝවා] නපුරු මනුෂ්‍යයාගෙන් මා ගැළෙවුව මැනව. බලාත්කාර කරන්නාගෙන් මා ආරක්ෂා කළ මැනව.” (ගීතාවලිය 140:1) අදදින දෙවිට නමස්කාර කරන බොහෝදෙනෙකු ප්‍රචණ්ඩකාරි ක්‍රියාවලට හෝ ස්වාභාවික විපත්තිවලට මුහුණ දී මරණයෙන් හෝ තුවාල වීමෙන් බේරී තිබෙන්නේ අනූනවයෙනි. කෙසේවෙතත් දේවබියැති පුද්ගලයන් දරුණු අනතුරුවලට හෝ මරණයට පවා ගොදුරු වූ අවස්ථාද තිබේ. මේ නිසා තමන් යම් අනතුරකින් බේරුණේ දෙවි ආශ්චර්යවත් ලෙස තමන්ට ආරක්ෂාව සැලසූ නිසාද කියා සමහරුන් කල්පනා කිරීමට පෙලඹී ඇත.

යෙහෝවා දෙවි කොටසක්ව අනතුරුවලින් ආර-ක්ෂා කර කොටසක්ව ආරක්ෂා නොකර සිටිනවාද? මේ කාලයේ සිදු වන ප්‍රචණ්ඩ ක්‍රියාවලින් හා විපත්තිවලින් ආශ්චර්යවත් ගැළවීමක් අප අපේක්ෂා කළ යුතුද?

ආශ්චර්යවත් ආරක්ෂාවක්—බයිබලයේ සඳහන් උදාහරණ

ආශ්චර්යවත් ලෙස දෙවි මැදිහත් වී ඔහුගේ නමස්කාරකයන්ව ගළවාගත් අවස්ථා ගැන වාර්තා ගණනාවක් බයිබලයේ සඳහන් වේ. (යෙසායා 38:1-8; ක්‍රියා 12:1-11; 16:25, 26) තවත් අවස්ථාවලදී යෙහෝවාගේ සේවකයන් විපත්තිවලින් ආරක්ෂා නොවූ ආකාරය ගැනද ශුද්ධ ලියවිල්ලෙහි විස්තර කර ඇත. (1 රාජාවලිය 21:1-16; ක්‍රියා 12:1, 2; හෙබ්‍රෙව් 11:35-38) මෙයින් පැහැදිලි වන්නේ යම් විශේෂ හේතුවක් හෝ අරමුණක් නිසා තමන් තෝරාගන්නා ඕනෑම විටක ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට යෙහෝවාට හැකි බවයි. එනිසා යම් ක්‍රිස්තියානියෙකුව පරීක්ෂණවලින් මුදවා නොගැනීම නිසා දෙවි තමන්ව අත්හැර දමා තිබෙන බව නිගමනය කිරීමට අවශ්‍යතාවක් නැත. යෙහෝවාට විශ්වාසවන්තව සේවය කරන අය පවා අනතුරුවලට ගොදුරු වන බවට වූ යථාර්ථය පිළිගැනීමට අපට සිදු වේ. එවැනි අය අනතුරුවලට මුහුණ දෙන්නේ ඇයි?

දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් අනතුරුවලට ගොදුරු වීමට හේතු

එක් හේතුවක් වන්නේ, අප සියලුදෙනාටම ආදම්ගෙන් හා ඒවගෙන් පාපය හා අසම්පූර්ණකම උරුම වී තිබීමයි. දුක් වේදනාවලට හෝ මරණයට ගොදුරු වීම අපේක්ෂා කිරීමට සිදු වන්නේ එනිසාය. (රෝම 5:12; 6:23) අප අන්තිම දවස්වල ජීවත් වීම තවත් හේතුවකි. අපේ කාලයේ ජීවත් වන මිනිසුන්ව බයිබලයේ විස්තර කර තිබෙන්නේ ‘ජන්ම ස්නේහය නැති, සමාදාන නොවන, කේලම් කියන, තෘෂ්ණාව මැඩපවත්වා නොගන්න, කෲර, යහපතට ප්‍රේම නොකරන’ අය ලෙසය. (2 තිමෝති 3:1-5) ස්ත්‍රී දූෂණ, පැහැරගැනීම්, මිනීමැරීම් හා වෙනත් දරුණු අපරාධ බහුලව සිදුවීමට හේතුව මිනිසුන්ගේ එම ගතිලක්ෂණයි.

දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් බොහෝදෙනෙක් ජීවත් වන්නේ හා රැකියා කරන්නේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන මිනිසුන් සිටින ස්ථානවලයි. සමහර අවස්ථාවලදී ඔවුන් එම මිනිසුන්ගේ ඉලක්කයන් වීමට පවා පුළුවන. අනතුරක් සිදුවීමට වැඩි ඉඩක් තිබෙන තැනක සිටීම නිසා ජීවිතයට තර්ජනයක් එල්ල වන අවස්ථාවකට මුහුණ දීමට අපට සිදු විය හැකියි. එපමණක්ද නොව, “කාලයත් හදිසි කාරණාත් ඔවුන් සියල්ලන් [පිට පැමිණෙයි]” කියා සාලමොන් පැවසූ වදන්වල සත්‍යතාවද අපි අද්දකින්නෙමු.—දේශනාකාරයා 9:11.

මීට අමතරව ප්‍රේරිත පාවුල් සඳහන් කළ පරිදි දෙවිට නමස්කාර කිරීම නිසා ක්‍රිස්තියානීන් හිංසා පීඩාවලට ගොදුරු වීමට ඉඩ තිබේ. “එසේය, ක්‍රිස්තුස් යේසුස් තුළ භක්තිවන්ත ලෙස ජීවත් වන්ට කැමති සියල්ලෝම පීඩා විඳින්නෝය” කියා ඔහු පැවසුවේය. (2 තිමෝති 3:12) රටවල් ගණනාවක සිටින ක්‍රිස්තියානීහු පසුගිය අවුරුදුවල එම වදන්වල සත්‍යතාව අද්දුටූහ.

මේ නිසා දේවබියැති පුද්ගලයන් පවා ප්‍රචණ්ඩකාරි ක්‍රියාවලට, ස්වාභාවික විපත්තිවලට හා හදිසි මරණවලට ගොදුරු විය හැකියි. යෙහෝවා ඔහුගේ සේවකයන්ව කිසිම අනතුරක් නොවෙන විදිහට ආරක්ෂා කරන බවට වූ මතභේදයට තුඩු දී තිබෙන කාරණය නිතර නිතර ඉස්මතු කිරීමට සාතන් වෑයම් කරයි. (යෝබ් 1:9, 10) සැබෑ තත්වය එය නොවේ. කෙසේවෙතත්, උද්ගත වන යම් තත්වයකදී යෙහෝවා අපව ආශ්චර්යවත් ලෙස ගළවා නොගන්න විටදී පවා ඔහුගේ සෙනඟට ඔහු ආරක්ෂාව සපයන බවට අපට ස්ථිර විය හැකියි.

අද යෙහෝවා ඔහුගේ සෙනඟට ආරක්ෂාව සපයන අයුරු

යෙහෝවා තම සෙනඟට ආරක්ෂාව සලසන මඟ පෙන්වීම් ඔහුගේ වචනය මගින් ලබා දෙයි. හොඳ විනිශ්චයක් කිරීමේ හා නිරවුල්ව සිතීමේ හැකියාව අපට තිබෙනවා නම් අනවශ්‍ය වැරදිවලින් වැළකී සිටීමටත් නැණවත් තීරණ ගැනීමටත් අපට හැකියි. මෙම හැකියාව අත් කරගත හැක්කේ හොඳ ආත්මිකත්වයක් හා බයිබලය ගැන දැනුම ලබාගැනීමෙනි. (ගීතාවලිය 38:4; හිතෝපදේශ 3:21; 22:3) නිදසුනක් වශයෙන් ලිංගික සදාචාරය, ගිජුකම, කේන්ති යෑම හා ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් බයිබලය දී තිබෙන උපදෙස් පිළිපැදීමෙන් බොහෝ අනතුරුවලින් ආරක්ෂා වීමට ක්‍රිස්තියානීන්ට පුළුවන. එමෙන්ම නපුරු මිනිසුන් සමඟ කිට්ටු ඇසුරක් නොපැවැත්වීමෙන් අනතුරු සිදු විය හැකි ස්ථානවලින් හා අවස්ථාවලින් ඉවත්ව සිටීමට ඉඩ සැලසෙයි. (ගීතාවලිය 26:4, 5; හිතෝපදේශ 4:14) ජීවත් වීමට තිබෙන හොඳම මඟ වන බයිබල් ප්‍රතිපත්තිවලට අනුව ජීවත්වන්නෝ බොහෝ අවස්ථාවලදී වඩාත් යහපත් මානසික හා ශාරීරික සෞඛ්‍යයක් භුක්ති විඳිති.

අනතුරුවලට මුහුණ පෑමට දෙවි ඉඩහැරියත් එය දරාගැනීමට අවශ්‍ය ශක්තිය ඔහු තමන්ගේ නමස්කාරකයන්ට සපයයි. මෙය දැන සිටීමෙන් අප ලබන්නේ මහත් සැනසිල්ලකි. ‘දෙවි විශ්වාස කෙනෙක්ය. ඔහු නුඹලාගේ පුළුවන්කමට වඩා නුඹලා පරීක්ෂා කරනු ලබන්ට ඉඩ නොදී, නුඹලාට පරීක්ෂාව ඉවසිය හැකි වන පිණිස ඒ සමඟ ගැළවෙන මාර්ගයද සාදා දෙන්නේය’ කියා පවසමින් ප්‍රේරිත පාවුල් අපේ බිය සැක දුරු කරයි. (1 කොරින්ති 10:13) අනතුරුවලට මුහුණ දෙද්දී ඒවා විඳදරාගැනීමට “සාමාන්‍ය ඉක්මවූ ශක්තිය” අපට දෙන බවටද බයිබලයේ පොරොන්දු වී තිබේ.—2 කොරින්ති 4:7, NW.

දෙවි කටයුතු කරන්නේ ඔහුගේ කැමැත්තට එකඟවයි

තමන් අනතුරකට මුහුණ දෙන සෑම අවස්ථාවකදීම දෙවි ආශ්චර්යවත් ලෙස තමන්ව ගළවාගනියි කියා ක්‍රිස්තියානීන් අපේක්ෂා කළ යුතුද? මෙවැනි අපේක්ෂාවක් ඇතුව සිටීමට අනුබල දෙන කිසිවක් බයිබලයේ සඳහන් වන්නේ නැත.

තමන්ගේ ඕනෑම සේවකයෙකු වෙනුවෙන් කෙළින්ම මැදහත් වීමට යෙහෝවා දෙවිට හැකි බව නොකිවමනාය. තමන් අනතුරකින් බේරුණේ දෙවිගේ මැදිහත් වීම නිසා කියා යම් කෙනෙක් විශ්වාස කරයි නම්, ඔහුව විවේචනයට ලක් නොකළ යුතුයි. නමුත් එසේ මැදිහත් නොවීමට යෙහෝවා තෝරාගත්තොත්, ඔහුගේ අප්‍රසාදයට ලක් වී තිබෙන බවට එය ලකුණක් කියා කිසිවිටකත් නොසිතිය යුතුයි.

අප මුහුණ දෙන පරීක්ෂාව හෝ අනතුරුදායක තත්වය කුමක් වුවත්, එය ඉවත් කිරීමෙන් හෝ එය දරාගැනීමට අවශ්‍ය ශක්තිය සැපයීමෙන් හෝ අප මිය ගියොත් ඔහුගේ නව ලොවෙහි සදාකාල ජීවනය සඳහා අපව නැවත නැඟිටුවීමෙන් හෝ ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ව ආරක්ෂා කරගන්න යෙහෝවාට හැකි බවට වූ නිසැකකම ඇතිව සිටිමු.—ගීතාවලිය 37:10, 11, 29; යොහන් 5:28, 29.