Skip to content

පටුනට යන්න

ඛේදනීය තත්වයට සාර්ථකව මුහුණ දීම

ඛේදනීය තත්වයට සාර්ථකව මුහුණ දීම

ඛේදනීය තත්වයට සාර්ථකව මුහුණ දීම

“උදේ ඉඳන්ම අපි ඇවිදිනවා. අපේ දිවි රැකගන්නයි අපි වෙහෙසෙන්නේ. වතුර නෑ, කෑම නෑ, ගෙවල් ඔක්කොම කැඩිලා ගිහින්.”—ඉන්දියාවේ 7.9ක ප්‍රබලත්වයකින් සිදු වූ භූමිකම්පාවකින් බේරුණු හර්ජීවන්.

භූමිකම්පාවක වියරුව අද්දැකීම බිය උපදවන්නක්. “මගේ ඇඳ ළඟ තිබුණ අඩි අටක් උස ලී අල්මාරියේ තිබුණ පොත් වීසි වෙන්න පටන්ගත්තා” යයි පවසමින් 1999දී තායිවානයේ සිදු වූ භූමිකම්පාවෙන් බේරුණු තැනැත්තියක් ඇගේ මතකය අවදි කරයි. ‘මෝටර් සයිකලයේ යනකොට දාන්න ගත්ත අලුත්ම හෙල්මට් එක තියලා තිබුණේ අල්මාරිය උඩයි. අන්තිමේදී ඒක විසි වෙලා ඇවිත් මගේ ඔළුවේ ගෑවී නොගෑවී ඇඳ උඩට වැටුණා. තව පොඩ්ඩෙන් මං ඉවරයි’ කියා ඇය තවදුරටත් පවසයි.

බේරීමෙන් අනතුරුව

භූමිකම්පාවකින් බේරිලා ජීවත් වෙන්න ලැබෙන එක තැතිගන්වන අද්දැකීමක් වන නමුත් ඊට පස්සේ මූණ දෙන්න වෙන්නේ ඊටත් වඩා අමාරු ජීවිතයකටයි. මෙවැනි සිද්ධියකින් පසු හෝරා කීපයේදී සහන සේවකයන් ධෛර්යය උපදවාගෙන මහන්සි වන්නේ තුවාලකරුවන්ව සොයා ප්‍රතිකාර කිරීමටයි. බොහෝවිට, ඔවුන් එසේ කරන්නේ සුළුවෙන් හෝ තවත් භූමිකම්පාවක් සිදුවීමේ අවදානම තිබියදීයි. මෑතකදී එල් සැල්වඩෝරයේ සිදු වූ භූමිකම්පාවකින් පසු තමා සිටි ස්ථානය අවට වැළලී ගිය සුන් බුන් කන්දරාව ගොඩගැනීමට කල්පනා කළ එක් තැනැත්තෙක් මෙසේ පැවසුවා. “අපි හුඟාක් පරෙස්සම් වෙන්න ඕන. හදිසියෙන්වත් ආපහු පොළොව හෙලවෙන්න ගත්තොත් මේ කන්දේ ඉතිරි ටිකත් ගිලා බහීවි.”

ඇතැම්විට සමහරු ගොදුරු වූවන් කරා ළඟා වන විට අසාමාන්‍ය ලෙස ආත්ම පරිත්‍යාගශීලී ස්වභාවයක් විදහාපෙන්වනවා. උදාහරණයක් වශයෙන්, දැන් එක්සත් ජනපදයේ වෙසෙන මනූ නම් වයසක තැනැත්තෙක් 2001 මුල්භාගයේදී ඉන්දියාවේ විශාල භූමිකම්පාවක් සිදු වූ මොහොතේ තමන්ගේ මව්රට බලා ගියා. ඔහු කියා සිටියේ “මගේ පවුලේ අයට විතරක් නෙවෙයි ඛේදවාචකයට මුහුණ දීලා ඉන්න හැමෝටම උපකාර කරන්න මම එහෙට යන්න ඕන” කියලයි. මනූ දැක්කේ තමා බලන්න ගිය පළාත් සියල්ලම ජරාවාස වෙලා තියෙන බවයි. කෙසේනමුත්, ඔහු මෙසේ පවසයි. “හරි පුදුම ධෛර්ය ශක්තියක් තමයි මිනිසුන්ට තියෙන්නේ.” එමෙන්ම පත්‍රකලාවේදියෙක් මෙසේ පවසයි. “තමන්ට දෙන්න පුළුවන් මොනම හරි දෙයක්වත් නොදී හිටිය කෙනෙක් ගැන නම් මම කියන්න දන්නේ නැහැ. සමහරු දවසේ, සතියේ හෝ මාසේ වැටුප දුන්නා. තවත් සමහරු තමන් ඉතුරු කරගෙන තිබුණ දෙයින් යමක් දුන්නා. එහෙමත් නැත්නම් උපකාර කිරීමට මොනවා හරි දෙයක් පරිත්‍යාග කළා.”

ඇත්තෙන්ම, සුන් බුන් ඉවත් කොට තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීම එක් දෙයක්. එහෙත් නිමේෂයක ඛේදවාචකයකින් පෙරළියක් ඇති කළ ජීවිත යළි සාමාන්‍ය තත්වයට ගෙන ඒම තවත් දෙයක්. එල් සැල්වඩෝරයේ සිදු වූ භූමිකම්පාවෙන් තම නිවස අහිමි වූ ඩිලෝරස් නමැති කාන්තාව ගැන සලකා බලන්න. “මේක යුද්ධයටත් වඩා දරුණුයි. යුද්ධය තිබුණ කාලයේදී නම් අඩුම තරමින් අපේ හිසට සෙවනක්වත් තිබුණා” කියා ඇය පවසයි.

අපේ මුල් ලිපියේ සඳහන් වූ පරිදි, සමහරවිට ද්‍රව්‍යමය ආධාර දීම පමණක් නොව නමුත් චිත්තවේගීය පැත්තෙන් උපකාර කිරීමත් අත්‍යවශ්‍ය වෙනවා. උදාහරණයකට, 1999 මුල් භාගයේදී හටගත් භූමිකම්පාවකින් අපරදිග කොලොම්බියාවේ ආමේනියා නගරය නිසොල්මන් වූයේ දහස් ගණනකට වැඩි පිරිසක් මරුට බිලි කරමින් හා තවත් බොහෝදෙනෙකුව කම්පිත හා බලාපොරොත්තු රහිත තත්වයකට ගොදුරු කරමිනුයි. “කොහේ ගියත් උපකාරය පතන අය තමයි හම්බ වෙන්නේ. මම අවන් හලකට යද්දී මුණගැහෙන අයගෙන් වැඩිදෙනෙක් ඔවුන්ට නින්ද යන්නේ නැති එක ගැනයි, ඔවුන්ගේ ශෝකප්‍රලාපය ගැනයි කියන්න නම් අමතක කරන්නේ නැහැ” කියා මනෝචිකිත්සක රොබටෝ එස්ටෙෆාන් පැවසුවා. ඔහුගේ නේවාසික ගොඩනැඟිල්ලත් එම ව්‍යසනයේදී කැඩී බිඳී ගොස් තිබුණා.

භූමිකම්පාවකින් පසුව මානසිකව ඇති වන කම්පනය ඉතා දරුණු එකක් විය හැකි බව වෛද්‍ය එස්ටෙෆාන් හොඳින්ම දන්නා කරුණකි. සහන සේවා කඳවුරක් ඉදි කිරීමට උපකාර කිරීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ එක් ස්ත්‍රියක් නිරීක්ෂණය කර තිබෙන ආකාරයට, රැකියා කරමින් සිටි සමහරු සේවයට යන්න ඒ තරම් උනන්දුවක් නොදක්වන්නේ වැඩි කල් නොගොස් ඔවුන්වත් මිහිකත බිලිගනියි කියා සිතන නිසායි.

සුන් වූ බලාපොරොත්තු යළි දළුලමින්

මෙවැනි ව්‍යසනවලදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් වෙහෙසෙන්නේ, ගළවාගත හැකි ජීවිතවලට ශාරීරික සුවය පමණක් නොව ආත්මික හා චිත්තවේගීය සුවයද ලබා දීමටයි. නිදසුනක් වශයෙන්, කොලොම්බියාවේ කලින් සඳහන් කළ භූමිකම්පාව සිදු වුණත් එක්කම වගේ එහි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය හදිසි සේවා කමිටුවක් සංවිධානය කළා. රටේ සෑම කොටසකින්ම සාක්ෂිකාර ස්වේච්ඡා සේවකයන් දහස් ගණනක් ආහාර හා මුදල් පරිත්‍යාග කළා. විපත්තියට ගොදුරු වූ ප්‍රදේශය වෙත විගස ආහාර ටොන් 70ක් පමණ යවනු ලැබුවා.

බොහෝ අවස්ථාවලදී, ආත්මික උපකාරය දීම ඉතා වැදගත් වුණා. කොලොම්බියා භූමිකම්පාවෙන් පසු එක් උදෑසනක විනාශ වූ ආමේනියා නගරයේ වීදියක් ඔස්සේ කාන්තාවක් ගමන් කරමින් සිටියා. මෙම කාන්තාව සෑහෙන කලකිරීමකින් සිටින බව එම ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකාරියක් දැක්කා. ඇය කාන්තාව වෙත ගොස් මියගිය ප්‍රේමනීයයන්ට ඇති බලාපොරොත්තුව කුමක්ද? යන පත්‍රිකාව ඇයට දුන්නා. a

කාන්තාව නිවසට ගොස් පත්‍රිකාව හොඳින් කියෙව්වා. ඊළඟ වතාවේ යෙහෝවාගේ සාක්ෂිකාරියක් ඇගේ ගෙදරට පැමිණි විට ඇය තම කතාව කියන්න පෙලඹුණා. භූමිකම්පාවෙන් එම නගරයේ ඇයට හිමිව තිබූ නිවාස කීපයක්ම පොළොවට සමතලා වී තිබුණ නිසා ඇයට ඉන් ලැබුණ හොඳ ආදායම නොලැබී ගියා. ඇය දිළිඳු තත්වයකට ඇද වැටුණා. ඒ විතරක් නෙවෙයි භූමිකම්පාව සිදු වූ මොහොතේ ඇය පදිංචිව සිටි නිවස තුළ සිටි ඇගේ 25-හැවිරිදි පුතාද මියගොස් තිබුණා. කලින් කවදාවත් තමා ආගම ගැන උනන්දුවක් දැක්වුවේ නැති බවත්, දැන්නම් අහන්න හුඟක් ප්‍රශ්න තිබෙන බවත් ඇය තම නිවසට පැමිණි සාක්ෂිකාරියට පැවසුවා. එම පත්‍රිකාවෙන් ඇයට නියම බලාපොරොත්තුවක් ලැබී තිබෙනවා. අප්‍රමාදව ඇය බයිබල් පාඩමක් ඇරඹුවා.

මිනිසා තවදුරටත් භූමිකම්පා ඇතුළු ස්වාභාවික විපත්වල තර්ජනයට මුහුණ නොදෙන්නාවූ කාලයක් එන බව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට නිසැකයි. මීළඟ ලිපියේ ඊට හේතුව විස්තර කරනු ඇත.

[පාදසටහන]

a ප්‍රකාශයට පත් කරනු ලැබුවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසිනි.

[6වන පිටුවේ කොටුව]

පෙර සූදානම!

◼ ජල තාපක නිසි ලෙස වසා තැබීමට හා බර ද්‍රව්‍යය බිම හෝ උසින් අඩු රාක්කවල තැබීමට වග බලාගන්න.

◼ විදුලි බලය මෙන්ම ගෑස් සහ ජලය විසන්ධි කරන ආකාරය පවුලේ සාමාජිකයන්ට උගන්වන්න.

◼ ඔබේ නිවසෙහි ගිනි නිවනයක් සහ ප්‍රථමාධාර පෙට්ටියක් සවි කර තබන්න.

◼ අලුත් බැටරි යොදන ලද කුඩා ගුවන් විදුලි යන්ත්‍රයක් තබන්න.

◼ පවුලේ ගිනි නිවුම් හරඹ පවත්වමින් (1) සන්සුන්ව සිටීමට, (2) ගිනි උදුන් හා තාපක විසන්ධි කිරීමට, (3) දොර අසල සිටගැනීමට හෝ මේසයක් හෝ ලියන මේසයක් යටට රිංගාගැනීමට සහ (4) ජනේල, කණ්ණාඩි සහ දුම් කවුළුවලින් ඈත්ව සිටීමට අවශ්‍ය බව අවධාරණය කරන්න.

[7වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ඉශ්‍රායෙලයේ භූමිකම්පා

“මිහිතලයේ සිදු වූ කම්පා පිළිබඳව වඩාත් දීර්ඝ මෙන්ම නිරන්තර ඓතිහාසික වාර්තාව” තිබෙන්නේ ඉශ්‍රායෙලයට කියා විශාරද ආමොස් නූර් ලියයි. එයට හේතුව මහා සුවිභේද නිම්නයේ කොටසක, එනම් මධ්‍යධරණී හා අරාබි පෘෂ්ඨ අතරෙහි විභේද රේඛා උතුරේ සිට දකුණට දිව යන්නේ ඉශ්‍රායෙලය මැදින් වීමයි.

පුරාණ ඉංජිනේරුවන් භූමිකම්පාවලින් සිදු වන හානිය අඩු කරගැනීමට විශේෂ තාක්ෂණයක් යොදාගන්න ඇති කියා ඇතැම් පුරාවිද්‍යාඥයන් විශ්වාස කිරීම සැලකිල්ලට ගත යුත්තක්. ඒ හා සමාන තාක්ෂණයක් සාලමොන්ගේ ඉදි කිරීමේ වැඩසටහන පිළිබඳ බයිබල් විස්තරයෙන් දැක්වේ. “වට කර තිබුණ මහ මිදුල කැපූ ගල් පේළි තුනකින්ද කිහිරි දැව පේළියකින්ද සාදන ලද්දේය; [යෙහෝවාගේ] ගෘහයේ ඇතුළු මිදුලත් ගෘහයේ ශාලාවත් එසේමය.” (1 රාජාවලිය 6:36; 7:12, අකුරු ඇල කළේ අපය.) සාලමොන්ගේ කාලයේ හෝ ඊට පෙර සිට තිබෙනවායයි සැලකෙන මෙගිද්දෝහි දොරටුව ඇතුළු බොහෝ ස්ථානවල ගොඩනැඟිල්ලක් වැනි දෙයක් ගලින් කර තිබෙන විට, ඊට බාල්කද යොදාගැනීමේ තාක්ෂණය දකින්න ලැබෙනවා. ප්‍රවීණයෙකු වූ ඩේවිඩ් එම්. රෝල්ගේ අදහස වන්නේ, මෙම බාල්ක යොදාගෙන තිබෙන්නේ “භූමිකම්පාවලින් ගොඩනැඟිලි ආරක්ෂා කරගැනීමේ අටියෙන්” විය හැකියි යන්නයි.

[පින්තූරය]

ඉශ්‍රායෙලයේ බෙත් ෂෙඇන්හි භූමිකම්පාවේ සුන්බුන්

[8වන පිටුවේ කොටුව⁄පින්තූර]

තැතිගන්වනසුලු විනාඩි දෙකක්​—බේරුණු තැනැත්තෙකුගේ කතාව

ඉන්දියාවේ අහමදබාද්වල ඉන්න අපේ පවුලේ අය මගේ ඥාති සොහොයුරියකගේ විවාහ මංගල්‍යයට සූදානම් වෙවී හිටියා. එදා 2001 ජනවාරි 26වෙනිදා මම ඇහැරුණේ ඔරලෝසුවේ හඬෙන් නොව නමුත් දරුණු සෙලවීමකිනුයි. යකඩ සේප්පු දඩබඩ ගාලා හෙලවෙන හඬ මට ඇහුණා. මට දැනුණා මොකක්දෝ අමුතු දෙයක් සිද්ධ වෙන බව. “එළියට පැනගන්න” කියලා බාප්පා කෑගැහැව්වා. එළියේ ඉන්නකොට ගේ එහාට මෙහාට වැනෙන හැටි අපි දැක්කා. සෙලවීම පැවතුණේ විනාඩි දෙකක් වුවත් අපිට දැනුණේ ඒක සෑහෙන වෙලාවක් තිබුණා වගෙයි.

මෙම තැතිගන්වන සිද්ධිය දරාගෙන ඉන්න ලේසි වුණේ නැහැ. අපේ පවුලේ අය කරදරයක් නැතුව ඉන්නවද කියලා අපි සොයා බැලුවා. දුරකථන මාර්ග විසන්ධි වී ගොස් තිබුණ අතර විදුලියත් ඇණහිටලා තිබුණා. ඒ නිසා අවට නගරවල ඉන්න අපේ නෑදෑයන්ගේ තත්වය ඒ මොහොතෙම දැනගන්න අපිට විදිහක් තිබුණේ නැහැ. දැන් මොකද කරන්නේ කියලා හිත හිත ඉන්දැද්දි, පැයකට විතර පස්සේ ඒගොල්ලෝ කරදරයක් නැතුව ඉන්න බව අපිට දැනගන්න ලැබුණා. ඒ භාග්‍යය හැමෝටම ලැබිලා තිබුණේ නැහැ. උදාහරණයකට, අහමදබාද්වල ගොඩනැඟිලි සීයකට වඩා කඩා වැටිලා 500කට වැඩිදෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තිබුණා.

සති කීපයක් යනකම්ම හැමදෙනාම හිටියේ තැතිගැන්මකිනුයි. කලින් දැනුම් දී තිබූ පරිදි තවත් කම්පාවක් ඇති වෙයිද කියලා භයෙනුයි මිනිස්සු නින්දට ගියේ. යථා තත්වයට එන්න කාලයක් ගත වුණා. හුඟදෙනෙකුට උන්හිටි තැන් අහිමි වුණා. භූමිකම්පාවෙන් මේ හැම දෙයක්ම සිද්ධ වෙන්න ගත වුණේ විනාඩි දෙකක කාලයක් වුණත් අපේ මතකයෙන් නම් ඒක කවමදාකවත් මැකී යන එකක් නැහැ.—මෙය පැවසුවේ සමීර් සරයියා.

[6, 7වන පිටුවේ පින්තූරය]

වර්ෂ 2001 ජනවාරි මස ඉන්දියාවේ සිදු වූ භූමිකම්පාවෙන් බේරුණු තැනැත්තෙක් ආදාහනය කරමින් සිටින තම මවගේ පින්තූර පෙන්වමින්

[හිමිකම් විස්තර]

© Randolph Langenbach/UNESCO (www.conservationtech.com)