බිහිසුණු දසුන් අතරින් අපේක්ෂා මල් පූදී
බිහිසුණු දසුන් අතරින් අපේක්ෂා මල් පූදී
“මා වටා තිබුණ හැම ගොඩනැඟිල්ලක්ම සෙලවෙන්න පටන්ගත්තා. ඒත් එක්කම ගිනි දළු අහසට නැඟුණා. මම දුවද්දි දැක්කා මිනිස්සු විලාප නඟමින්, යාච්ඤා කරමින් උපකාර ඉල්ලනවා. මම හිතුවේ ලෝක විනාශය ඇවිල්ලා කියලයි.”—ජී. ආර්., භූමිකම්පාවෙන් බේරුණු කෙනෙක්.
නිරන්තරයෙන් ගමන් කරන අපේ පෘථිවි ග්‍රහයාගේ පෘෂ්ඨයෙහි සෑම වසරකම භූමිකම්පා සියදහස් ගණනක් ගෝරනාඩු කරනවා. මේවායින් වැඩිහරියක් අපට දැනෙන්නේ නැහැ. a ඒ වුණත් සාමාන්‍යයෙන් වසරකදී සිදු වන භූමිකම්පා 140කට ආසන්න සංඛ්‍යාව “ප්‍රබල,” “විශාල” හෝ “දරුණු” ඒවා හැටියට නම් කළ හැකියි. ඉතිහාසය පුරා ඒවා මගින් මරණ සියදහස් ගණනක් සිදු කර තිබෙන අතර දේපොළ හානිවීම් සම්බන්ධයෙන් තක්සේරුවක් කළ නොහැකියි.
භූමිකම්පාවලින් බේරෙන්නන් තුළ ගැඹුරු චිත්තවේගීය පීඩාවක්ද ඇති වෙයි. උදාහරණයක් හැටියට, 2001 මුල් භාගයේදී එල් සැල්වඩෝර්හි සිදු වූ දරුණු භූමිකම්පා දෙකෙන් පසුව, එම රටේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික-සෞඛ්‍ය පිළිබඳ උපදේශක කමිටුවේ සංවිධායක මෙසේ පැවසීය. “දුක, බලාපොරොත්තු බිඳ වැටීම හා කෝපය වැනි ගති ලක්ෂණ විදහා දැක්වීමෙන් පෙනී යන්නේ ජනයා මානසික ගැටලුවලට මුහුණ දෙමින් ඉන්න බවයි.” මානසික අවපීඩනයෙන් හා කාන්සාවෙන් පෙළෙන රෝගීන් ගණනාව සියයට 73කින් වැඩි වී ඇති බවට එල් සැල්වඩෝර්හි සෞඛ්‍ය සේවකයන් වාර්තා කිරීම පුදුමයක් නොවෙයි. ඇත්තවශයෙන්ම, සරණාගත කඳවුරුවල සිටින අයගේ මානසික සෞඛ්‍යය වෙත අවධානය දීමේ අවශ්‍යතාව දෙවෙනි වූයේ ජල අවශ්‍යතාවට පමණයි.
නමුත් භූමිකම්පා පිළිබඳ කතා කරන විට මරණ, විනාශ සහ ඉච්ඡාභංග වීම් පමණක් නොවේ සඳහන් කිරීමට තිබෙන්නේ. බොහෝ අවස්ථාවලදී, මෙම ව්‍යසනයන් අතිවිශිෂ්ට මානව හිතවාදිකම සහ ආත්ම පරිත්‍යාගශීලීත්වය විදහාපෑමට ජනයාව පොලඹවා ඇත. ඇත්තවශයෙන්ම, කැඩී බිඳීගිය ගොඩනැඟිලි අලුත්වැඩියා කිරීමට හා සිඳී බිඳී ගිය ජීවිත යළි ගොඩනැඟීමට සමහරු වෙහෙස නොබලා වැඩ කර තිබෙනවා. අති බිහිසුණු දුක්ඛිත දසුන් මැද පවා අපේක්ෂා මල් පීදී ඇති බව අපි දකින්නෙමු.
[පාදසටහන]
a මෙයට සෑම දවසකම සිදු වන ඉතා සුළු භූමිකම්පා දහස් ගණනක්ද ඇතුළත් වේ.
[2, 3වන පිටුවේ පින්තූර]
2 සහ 3 පිටුවල: ග්‍රීසියේ ඇතන්ස්හි යෞවනියක්, කඩා වැටුණු ගොඩනැඟිල්ල තුළ ඇගේ මව සිර වී සිටින බව දැනගනියි. මේ අතරේ සිය පස්-හැවිරිදි දියණිය බේරාගෙන ඇති බව දැනගැනීමෙන් පියෙක් ප්‍රමුදිත වේ
[හිමිකම් විස්තර]
AP Photos/Dimitri Messinis