Skip to content

පටුනට යන්න

භූමිකම්පාවක ව්‍යූහය

භූමිකම්පාවක ව්‍යූහය

භූමිකම්පාවක ව්‍යූහය

“අපි පුරුදු වෙලා තියෙන්නේ නොසෙලවෙන පොළොවක ජීවත් වෙන්නයි. ඉතින් ඒක එකපාරටම සෙලවෙන්න පටන්ගන්නකොට ඒක දරාගන්න බැරි වෙනවා.”—“ද වයලන්ට් අර්ත්.”

“භූමිකම්පා, සොබාදහම තුළ දක්නට ලැබෙන ඉතා විනාශකාරි හා අධික බල ශක්තියකින් යුත් බලයන් අතරෙහිලා ගිනිය හැකියි” කියා ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියාහි පවසයි. මුල්ම පරමාණු බෝම්බයෙන් නිකුත් කළ ශක්තියට වඩා දරුණු භූමිකම්පාවකින් නිකුත් කරන ශක්තිය 10,000 ගුණයකින් වැඩි නිසා එම ප්‍රකාශය අතිශයෝක්තියක් නොවේ! ඕනෑම දේශගුණයකදී, ඕනෑම සමයකදී හා දවසේ ඕනෑම වේලාවකදී භූමිකම්පා සිදු විය හැකියි යන කාරණයෙන් බිය දෙගුණ තෙගුණ වෙයි. එමෙන්ම ප්‍රබල භූමිකම්පා හටගන්නේ කොතැනකදැයි යම් අදහසක් දීමට විද්‍යාඥයන්ට හැකි වුවත් ඒවා සිදු වන්නේ කවදාදැයි ඔවුන්ට නිශ්චිතවම පැවසිය නොහැකියි.

භූමිකම්පා හටගන්නේ පෘථිවි කබොල යට ඇති පර්වතවල පිහිටීමේ වෙනසක් වන විටයි. මෙවන් ක්‍රියාවලියන් නොකඩවාම සිදු වෙයි. බොහෝ අවස්ථාවලදී, කම්පන තරංග පෘථිවි පෘෂ්ඨයෙහි සෙලවීමක් කිරීමට තරම් ප්‍රබල නැතත් භූ කම්පන මානයකින් ඒවා සටහන් කරගෙන වාර්තා කළ හැකියි. a අනික් අවස්ථාවල, තරමක් විශාල පාෂාණ බිඳී යෑම හේතුවෙන් පෘෂ්ඨයෙහි දරුණු සෙලවීමක් ඇති කිරීමට ප්‍රමාණවත් චලනයක් සිදු වෙයි.

එහෙත් පෘථිවි පෘෂ්ඨයේ නිරතුරුවම චලනයන් සිදු වන්නේ මන්ද? “ඒ ගැන පැහැදිලි කිරීම සඳහා මහා තල භූ කාරක හේතු ගැන සඳහන් කිරීමට සිදු වේ. එය භූ විද්‍යාවන් සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වූ සංකල්පයක් ඉදිරිපත් කරයි” කියා ජාතික භූමිකම්පා තොරතුරු මධ්‍යස්ථානය (NEIC) පවසයි. “මහා භූ තල හතක් තිබෙන බව අප දැන් දන්නා අතර ඒවාද වඩාත් කුඩා තලවලට බෙදී තිබේ. ඒවා නොනැවතී එකිනෙකට සාපේක්ෂව චලනය වෙයි. මේවා චලනය වන වේගයේ ප්‍රමාණය වසරකට මිලිමීටර් 10 සිට 130 [අඟලකින් අටෙන් තුනක සිට අඟල් පහ] අතර වන” බවද NEIC පවසයි. භූ කම්පනවලින් වැඩි හරියක් සිදු වන්නේ භූ තල මායිම් ලෙස හැඳින්වෙන පටු තීරුවලයි. විශාල භූමිකම්පා සියයට 90ක් හටගැනීමට ඉඩ කඩ තිබෙන්නේ ඒවාවලය.

ප්‍රබලතාව හා තීව්‍රතාව

භූමිකම්පාවක් කෙතරම් දරුණුදැයි දැනගත හැක්කේ එහි ප්‍රබලතාව හෝ එහි තීව්‍රතාව මැනීමෙනි. චාල්ස් රික්ටර් භූමිකම්පාවල ප්‍රබලතාව මැනීම සඳහා 1930 ගණන්වල පරිමාණයක් නිර්මාණය කළේය. භූ කම්පන ප්‍රස්තාර සටහන් කෙරෙන ස්ථාන සංඛ්‍යාව වැඩි වූ විට රික්ටර්ගේ අදහස පදනම් කොටගත් නව පරිමාණයන් බිහි වන්නට විය. උදාහරණයක් වශයෙන් ප්‍රබලතාව මනින පරිමාණය ලෙස හැඳින්වෙන උපකරණය, කම්පනය හටගත් ස්ථානයෙන් මුදාහළ ශක්ති ප්‍රමාණය සටහන් කරයි.

මෙම පරිමාණවලින් භූ කම්පනයකින් සිදු වූ හානියේ තරම සැමවිටම හෙළි නොකරන බව අමුතුවෙන් කිව යුතු නැත. වර්ෂ 1994 ජූනිවලදී උතුරු බොලිවියාවේ 8.2ක ප්‍රබලතාවකින් සිදු වූ භූමිකම්පාවේදී මියගියේ පස්දෙනෙකු පමණක් බවට වාර්තා වේ. එහෙත්, 1976දී 8.0ක ප්‍රබලතාවකින් චීනයේ ටාංෂාන්හි සිදු වූ කම්පනය මගින් සිය දහස්දෙනෙකුව බිලිගත්තා!

ප්‍රබලතාවට වෙනස්ව තීව්‍රතා සටහන්වලින් පෙන්වන්නේ භූමිකම්පාවක් මගින් ජනයා, ගොඩනැඟිලි හා පරිසරය මත ඇති කරන බලපෑමයි. මිනිස් කෝණයෙන් බලන කල එය භූමිකම්පාවක දරුණුකම සවිස්තරාත්මකව දක්වන මිනුමකි. ඇත්තෙන්ම, කම්පනයකින් සාමාන්‍යයෙන් මිනිසුන්ට හානියක් සිදු නොවේ. බොහෝමයක් හානි සහ මරණ සිදු වන්නේ තාප්ප කඩා වැටීම, ගෑස් පයිප්ප පිපිරීම හෝ විදුලි රැහැන් කඩා වැටීම, නොයෙක් භාණ්ඩ වැටීම යනාදි හේතු නිසාය.

භූමිකම්පා විශේෂඥයන්ගේ එක් ඉලක්කයක් වී තිබෙන්නේ භූමිකම්පා ක්‍රියාවලිය පිළිබඳ කලින් අනතුරු ඇඟවීමක් කිරීමට හැකියාව ලබාගැනීමය. ඒ සඳහා ප්‍රවර්ධිත භූමිකම්පා පර්යේෂණය හා මෙහෙයුම් පද්ධතිය වශයෙන් හඳුන්වා තිබෙන සංඛ්‍යාංක ක්‍රමලේඛනයක් බිහි කර තිබේ. මෙම ක්‍රමලේඛනය හා තොරතුරු වේගවත්ව ලබාගැනීම මෙන්ම අධි-බලැති මෘදුකාංග යොදාගැනීම හේතුවෙන්ද නිලධාරීන්ට “භූමිකම්පාවකින් වඩාත්ම දරුණු කම්පනය හටගත් ස්ථානය ක්ෂණිකව දැක්විය හැකියි” කියා CNN වාර්තාවක පවසයි. ප්‍රතිඵලයක් වශයෙන්, හානියට ලක් වූ ප්‍රදේශය කරා ආධාර යැවීමට අධිකාරීන්ට පහසු වෙනු ඇත.

භූමිකම්පාවක් හටගැනීමට පෙර සූදානම්ව සිටීමෙන් සිදු වන තුවාල හා දේපළ හානිවීම් අඩු කරගැනීමට මෙන්ම විශේෂයෙන්ම ජීවිත බේරාගැනීමට හැකි වන බව නොකිවමනාය. කෙසේවුවද, භූමිකම්පා නොකඩවාම සිදු වේ. එබැවින් මෙම ප්‍රශ්නය පැනනඟී. භූමිකම්පාවකින් පසුව ඇති වන ඛේදනීය තත්වයන්ට සාර්ථකව මුහුණ දීමට ජනයා උපකාර ලැබ තිබෙන්නේ කෙසේද?

[පාදසටහන]

a භූ කම්පන මානය යනු භූමිකම්පාවකදී සිදු වන භූ චලනය මැන, වාර්තා කරන උපකරණයකි. ප්‍රථම එක සාදනු ලැබුවේ 1890දීයි. අදදින, ලොව පුරා භූ කම්පන මාන පිහිටුවා ඇති මධ්‍යස්ථාන 4,000කට වඩා තිබේ.

[5වන පිටුවේ වගුව]

(මුද්‍රිත පිටපත බලන්න)

භූමිකම්පා ගණන කොපමණද?

විස්තරය ප්‍රබලත්වය වාර්ෂික සාමාන්‍යය

දරුණු 8 සහ ඊට වැඩි 1

විශාල 7-7.9 18

ප්‍රබල 6-6.9 120

මධ්‍යම 5-5.9 800

කුඩා 4-4.9 6,200*

සුළු 3-3.9 49,000*

ඉතා සුළු <3.0 ප්‍රබලත්වය 2-3:

දිනකට 1,000ක් පමණ

ප්‍රබලත්වය 1-2:

දිනකට 8,000 පමණ

* තක්සේරුව.

[හිමිකම් විස්තර]

මූලාශ්‍රය: ජාතික භූමිකම්පා තොරතුරු මධ්‍යස්ථානය අමෙරිකා එක්සත් ජනපදයේ USGS/ජාතික භූමිකම්පා තොරතුරු මධ්‍යස්ථානයේ අවසරය ඇතුව

[5වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

4 සහ 5 පිටුවල භූ චලන ප්‍රස්තාරය: Figure courtesy of the Berkeley Seismological Laboratory