Skip to content

පටුනට යන්න

භූමිකම්පා, බයිබල් අනාවැකි සහ ඔබ

භූමිකම්පා, බයිබල් අනාවැකි සහ ඔබ

භූමිකම්පා, බයිබල් අනාවැකි සහ ඔබ

යේසුස් තම මරණයට පෙර, “පවතින ක්‍රමයේ නිමාවට” [NW] මිහිතලය පා තබා ඇති බව අඟවන සිද්ධීන් හා තත්වයන් පිළිබඳව පුරෝකථනය කළා. එම කාල වකවානුවේ ලක්ෂණයන් ලෙස වසංගත, ආහාර හිඟයන් සහ මහා පරිමාණයේ යුද්ධ වැනි දේ ඇති වේවි කියා ඔහු පැවසුවා. ‘නොයෙක් තැන්වල මහත් භූමිකම්පා’ හටගනු ඇතැයි කියාද පැවසුවා. (මතෙව් 24:3, 7; ලූක් 21:10, 11) යේසුස් යොමු දක්වමින් සිටියේ අපගේ දවස්වලටද?

බොහෝදෙනෙක් පවසන්නේ එසේ නොවන බවයි. ඔවුන් තරයේ කියා සිටින්නේ මෑත දශකවලදී භූමිකම්පා සංඛ්‍යාව සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වී නැති බවයි. ඇත්තවශයෙන්ම, එ.ජ. ජාතික භූමිකම්පා තොරතුරු මධ්‍යස්ථානය වාර්තා කරන්නේ 20වන සියවස පුරා 7.0 හෝ ඊට වැඩි ප්‍රබලත්වයකින් සිදු වන භූමිකම්පා සංඛ්‍යාවේ “එතරම් වෙනසක්” සිදු වී නැති බවයි. a

එහෙත්, යේසුස්ගේ අනාවැකිය ඉටුවීම සඳහා භූමිකම්පාවල සංඛ්‍යාව හෝ ප්‍රබලත්වය වැඩිවීම අවශ්‍ය නෑ. යේසුස් පැවසුවේ නොයෙක් තැන්වල මහත් භූමිකම්පා හටගනු ඇති බවයි. එපමණක්ද නොව, මේ සිද්ධීන් “ගාවිනාවල පටන්ගැන්ම” සඳහා ලක්ෂණයක් කියාත් ඔහු පැවසුවා. (මතෙව් 24:8) ගාවිනාවල ප්‍රමාණය ගිනිය හැක්කේ භූමිකම්පා සංඛ්‍යාවෙන් හෝ ඒවා රික්ටර් පරිමාණයේ සටහන් වන ආකාරයෙන් නොව ඒවා ජනයාට කොතරම් දුරකට බලපෑමක් කරනවාද යන්න අනුවයි.

ඇත්තෙන්ම අපගේ කාලයේදී භූමිකම්පාවලින් ඉමහත් ව්‍යසනයක් සිදු කර තිබෙනවා. ඇරත්, 20වන සියවසේදී, මෙම ව්‍යසනයන් හේතුවෙන් මිලියන සංඛ්‍යාතයක් මරු වැළඳගෙන හෝ උන් හිටි තැන් අහිමි අනාථයන් බවට පත්ව තිබෙනවා. ප්‍රවීණයන් පවසන්නේ මෙම මරණවලින් බොහෝමයක් වළක්වාගත හැකිව තිබූ බවයි. “සංවර්ධනය වෙමින් පවතින රටවල ශීඝ්‍රයෙන් සිදු වන නාගරීකරණයේ අවශ්‍යතා පිරිමැසීම සඳහා ලාභෙට, කඩිනමින් නිවාස ඉදි කිරීම සඳහා ඉදි කිරීමේ නීති රීති බොහෝවිට නොසලකා හරියි” කියා BBC පුවත් මගින් වාර්තා කරයි. මෑතකදී සිදු වූ ඛේදවාචකයන් දෙකක් පිළිබඳව අදහස් දක්වමින් නගරබද ව්‍යසනයන් සම්බන්ධයෙන් ප්‍රවීණයෙකු වූ බෙන් විස්න මෙසේ පවසයි. “මේ මිනිසුන්ව මරා දැමුවේ භූමිකම්පාවලින් නොවේ. මිනිසුන්ගේම වැරදි, නොසැලකිලිමත්කම්, දූෂණයන් හා ගිජුකම්වල සංකලනය තුළිනුයි.”

ඔව්, සමහර අවස්ථාවලදී භූමිකම්පාවකින් වඩාත්ම මාරාන්තික ප්‍රතිඵල ඇති වන්නේ මිනිස් ආත්මාර්ථකාමිත්වය හා නොසැලකිලිමත්භාවය නිසයි. පවතින ක්‍රමයේ ‘අවසාන දවස්’ සම්බන්ධයෙන් පළ කර තිබෙන වෙනත් බයිබල් අනාවැකියක එවැනි ගුණාංග හුවා දැක්වෙනවා. බයිබලයේ පවසන්නේ, ඒ කාලයේදී ජනයා “ආත්මාර්ථකාමී, මිලමුදලට ආලය කරන” සහ “අනුකම්පා රහිත” මිනිසුන් වේවි කියායි. (2 තිමෝති 3:1-5, නව අනුවාදය) පවතින ක්‍රමයේ නිමාව සම්බන්ධයෙන් යේසුස් පැවසූ වචන හා මෙම අනාවැකිය පැහැදිලි සාක්ෂියක් සපයයි. එය මානසික අවපීඩනයට ලක්ව සිටින ජනයාට භූමිකම්පා ඇතුළු දුක් වේදනාවන් ඇති කරන සියල්ලෙන්ම සහනයක් දෙවි විසින් ගෙනෙනු ලබන කාලයට අප ළඟා වෙමින් සිටින බවට සාක්ෂියයි.—ගීතාවලිය 37:11.

බයිබලය මත පදනම් මෙම බලාපොරොත්තුව සම්බන්ධයෙන් වැඩි යමක් ඉගෙනීමට ඔබ කැමතිද? ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හමු වන්න, එසේ නැතහොත් 5වන පිටුවේ සඳහන් සුදුසු ලිපිනයකට ලියන්න.

[පාදසටහන]

a භූමිකම්පා සංඛ්‍යාවේ වැඩිවීම පිළිබඳ වාර්තා ලැබෙන්නේ තාක්ෂණයේ දියුණුව නිසාය යන්න ඇතැමුන්ගේ අදහසයි. මේ හේතුවෙන් භූ කම්පනයන් වැඩි ප්‍රමාණයක් සොයාගැනීමට හැකි වේ.