Skip to content

පටුනට යන්න

මගේ පාසැල් මිතුරන්ට දේශනා කරන්නේ කොහොමද?

මගේ පාසැල් මිතුරන්ට දේශනා කරන්නේ කොහොමද?

යෞවන අය අසති . . .

මගේ පාසැල් මිතුරන්ට දේශනා කරන්නේ කොහොමද?

“මම දේශනා සේවයේ යනකොට මාව හඳුනන කෙනෙක් මුණගැහුණා. ඒ වේලාවේ මාව ගොළු වුණා. මාත් එක්ක හිටිය අනෙක් කෙනා තමයි මං වෙනුවට කතා කළේ.”—ආබෙර්ටෝ.

“මගේ පංතියේ ළමයෙක් මේ පළාතේ ඉන්නවා කියලා මම දැනගෙන හිටිය නිසා මගේ අයියාට හැම ගෙදරකම කතා කරන්න කියලා කිව්වා. කොහොම හරි ඊළඟ ගෙදරට මට කතා කරන්න කියලා බල කළ නිසා මම කතා කළා. බලනකොට, මම දන්න ළමයා හිටියේ ඒ ගෙදරයි! ඒත් එක්කම මාව ගැහෙන්න පටන්ගත්තා!”—ජේම්ස්.

යෞවන අයගේ නිරන්තර සිතුවිල්ල වී තිබෙන්නේ ආගම ගැන කතා කිරීම “අසාමාන්‍ය” දෙයක් ලෙසයි. නමුත් සැබෑ ක්‍රිස්තියානීන් අතර සිටින යෞවනයන් අන් අයට තම ඇදහිල්ල ප්‍රකාශ කිරීමට දෙවි දී තිබෙන වරප්‍රසාදය අගය කොට සලකනවා. යෙහෝවාගේ යෞවන සාක්ෂිකරුවන් දහස් ගණනක් ගෙයින් ගෙට ගොස් කරන දේශනා සේවයේ හවුල් වෙමින් සිටින්නේ ඒ හේතුව නිසයි. නමුත් සමහරෙක් මෙය කරනු ලබන්නේ පාසැලේ තමාව දන්න කෙනෙකු මුණගැහේවි යන බියෙන්. “මම ඉස්කෝලේ විභාග පාස් කරලා අවුරුදු කිහිපයක් ගිහිල්ලත් තවම මම ගිය පාසැලේ අයව මුණගැහෙයි කියලා බයයි” කියා ජෙනීෆර් පවසනවා.

ඔබත් යොවුන් වියේ පසු වන ක්‍රිස්තියානියෙකු නම් ඔබටත් සමහර අවස්ථාවල මෙලෙස හැඟෙන්නට පුළුවන්. අපි හැමෝම භයයි අපව ප්‍රතික්ෂේප කරයි කියා. ඒ නිසා පාසැල් මිතුරෙකු සමඟ ආගම ගැන කතා කිරීමේදී පුංචි තිගැස්මක් ඇතිවීම සාමාන්‍යයි. a නමුත් බියෙන් වෙළී සිටීමට කිසිදු අවශ්‍යතාවක් නැහැ. ඔබට මතකද බයිබලයේ සඳහන් කරන “අරිමාතියේ යෝසෙප්?” ඔහු යේසුස්ගෙන් ඉගෙනගත් දේවල් විශ්වාස කළා. නමුත් බයිබලයේ ඔහුව හඳුන්වන්නේ “යුදෙව්වරුන්ට භය නිසා රහසින් යේසුස්ගේ ගෝලයෙක්” වූ කෙනෙකු ලෙසයි. (යොහන් 19:38) දැන් මොහොතකට මේ දේ ගැන සිතන්න. එනම්, ඔබේ මිතුරෙක් ඔබත් සමඟ තිබෙන මිත්‍රත්වය රහසිගතව තබාගන්නවාට ඔබ සතුටුද? (ලූක් 12:8, 9) එසේ නම් දෙවි සෑම ක්‍රිස්තියානියෙකුගෙන්ම තම ඇදහිල්ල ‘ප්‍රසිද්ධියේ ප්‍රකාශ’ කිරීම අපේක්ෂා කිරීම අරුමයක් නොවෙයි. (රෝම 10:10, NW) මෙයට ඔබේ පාසැලේ සිටින යෞවනයන්ට කතා කිරීමද ඇතුළත් වෙනවා.

කෙසේ හෝ අරිමාතියේ යෝසෙප් යම් දුරකට තම බිය පාලනය කරගත් අතර අවසානයේ යේසුස්ගේ මිනිය භූමිදාන කිරීමට අවසර ඉල්ලන්ට පවා ඉදිරිපත් වුණා. ඔබේ බිය පලවාහැරිය හැක්කේ කෙසේද?

දේශනා කිරීමට උනන්දුවක් වඩවාගැනීම

ප්‍රේරිත පාවුල් නම් තම ඇදහිල්ල ගැන අන් අයට කතා කිරීමට ලැජ්ජ වුණේ නැහැ. රෝම 1:15හි ඔහු තමන්ව හඳුන්වන්නේ බයිබලයේ අන්තර්ගත පණිවිඩය ප්‍රකාශ කරන්න උනන්දුමත් ලෙස බලා සිටිය කෙනෙකු ලෙසයි. එවන් උනන්දුවකට හේතුව කුමක්ද කියා ඔහු 16වන පදයෙහි පවසනවා. ‘මම ශුභාරංචිය ගැන ලජ්ජා නොවෙමි. අදහන්නාවූ සියල්ලන්ටම ගැළවීම පිණිස එය දෙවිගේ බලයව තිබේ.’ ඔබ ගැන කුමක් කිව හැකිද? පළමුකොට සත්‍යය, සත්‍යය බව ඔබට සහතික වී තිබෙනවාද? (රෝම 12:2) එමෙන්ම බයිබලයේ අන්තර්ගත පණිවිඩය ‘ගැළවීම පිණිස දෙවිගේ බලය’ බව ඔබ පෞද්ගලිකවම ඒත්තුගෙන තිබෙනවාද?

ඔබේ දෙමාපියන් සමඟ නිකම්ම රැස්වීම්වලට යෑම ප්‍රමාණවත් නොවෙයි. “දෙමාපියන් රැස්වීම්වලට යන්න කියලා කියන නිසා රැස්වීම්වලට ගියා. ඒත් මිනිස්සු මගෙන් බයිබලය ගැන ප්‍රශ්න අහන කොට මට පිළිතුරු දෙන්න බැරුව ගියා?” කියා ඩෙබ්රා පවසනවා. මී යං නමැති යෞවනියටත් එවැනිම අද්දැකීමක් තිබෙනවා. “මේක සත්‍යය කියලා අපිටම සහතික වෙලා තියෙන්න ඕනේ.”

ඔබ සතු බයිබල් දැනුම අන් අය සමඟ බෙදාගැනීමට ඔබ තුළ පෙලඹවීමක් ඇති කළ හැක්කේ කුමකටද කියා ඔබ දන්නවාද? එය අනෙකක් නොවෙයි, පෞද්ගලිකවම බයිබලය පාඩම් කිරීම මගිනුයි. ෂෝන් නමැති යෞවනයා මෙහෙම කියනවා. “අපි පෞද්ගලිකවම බයිබලය පාඩම් කරන විට සත්‍යය අපේම කරගැනීමට පටන්ගන්නවා විතරක් නෙවෙයි, අපි පාඩම් කරන්නේ අපේම යහපත සඳහායි.” සෑම කෙනෙක්ම උපතින්ම ඉගෙනීමට නැඹුරු නොවන්න පුළුවන්. ෂෙවොන් එවැනි යෞවනියක්. “මම කියවන්න ආසම නැහැ. මුලදී මුරටැඹ සහ පිබිදෙව්! සඟරා හෝ බයිබලය දිනපතා කියවන්න හරිම අමාරු වුණා. නමුත් කාලයක් ගියායින් පස්සේ නිකම්ම පුරුදු වුණා.”

එලෙස උනන්දුමත් ලෙස පාඩම් කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල සම්බන්ධයෙන් ප්‍රේරිත පාවුල් මෙසේ අදහස් දක්වනවා. ‘ඇසීමෙන් ඇදහිල්ල පැමිණෙන්නේය.’ (රෝම 10:17) ඔබේ ඇදහිල්ල සහ විශ්වාසය වර්ධනය වන විට ඔබේ ආකල්පයත් අනිවාර්යයෙන්ම වෙනස් වෙයි. බ්‍රසිලියානු යෞවනියක් වන එලිසන්ජෙලා මෙම නිගමනයට එළඹුණා. “ක්‍රිස්තියානියෙක් වෙනවා කියන්නේ ගෞරවනීය දෙයක් මිසක ලැජ්ජාවට කාරණයක් නෙමෙයි.” ඔබේ ඇදහිල්ල වර්ධනය වන විට අන් අයට කතා කිරීමට ඔබ තුළ මහත් පෙලඹීමක් තියෙනවා කියලා පෙනේවි. පාසැල් මිතුරන්ට පවා කතා කරන්න ඔබට හැකි වේවි. පාවුල් පැවසුවේ “අපිත් විශ්වාස කරමුව, එබැවින් කතා කරමුව” කියායි. (2 කොරින්ති 4:13) මේ ගැන මොහොතකට සිතන්න. ඔබ නිතර දෙවේලේ දකින මේ දරුවන්ට ජීවනය උරුම කර දෙන දැනුම නොදී සිටිනවා නම් ඔබ අන් අයගේ “ලෙයින් නිදොස්” කියලා කියන්නේ කොහොමද?—ක්‍රියා 20:26, 27.

තවත් සමහර යෞවනයන්ට අන් අය සමඟ බයිබලය ගැන කතා කිරීමට තමන් සුදානම් නැහැයි කියා හැඟෙන්නට පුළුවන්. “මොනවද කියන්නේ කියලා ඔබ හරියට දන්නේ නැත්නම් දේශනා කිරීමෙන් ප්‍රීතියක් ලැබෙන්නේ නැහැ” කියා ජොෂුවා නමැති යෞවනයා පවසනවා. නැවතත් කීමට ඇත්තේ බයිබලය පිළිබඳ මනා දැනුම තමයි මෙයට විසඳුම. (2 තිමෝති 2:15) යෞවනයන්ට තම ඉගැන්වීමේ කලාව දියුණු කරගැනීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවල සිටින වැඩිමහල්ලන් වෙතට ගොස් පෞද්ගලිකව යම් උපකාරයක් අයැද සිටිය හැකියි. ජර්මනියේ වෙසෙන මාතියාස් තම අද්දැකීම වදනට නඟනවා. “මම නිකම්ම බයිබල් පොත් පත් විතරක් ඉදිරිපත් කරන්නේ නැතුව මනුෂ්‍යයන් සමඟ කතා බහ කරන්න පටන්ගත්තට පස්සේ දේශනා සේවයෙන් ප්‍රීතියක් අද්දකින්න පුළුවන් වුණා.”

අවසන් වශයෙන් සඳහන් කරනවා නම් නිර්භීතව කතා කිරීම සඳහා දෙවිගේ උපකාරය පතා යාච්ඤා කිරීමටද ඔබට හැකියි. (ක්‍රියා 4:29, 30අ) දෙවිගේ උපකාරය පෞද්ගලිකවම අද්දැක්ක කෙනෙක් තමයි ප්‍රේරිත පාවුල්. පළමුවන තෙසලෝනික 2:2හි ඔහු පවසන්නේ, “මහත් පොර ඇල්ලීමක් ඇතුව දෙවිගේ ශුභාරංචිය නුඹලාට කියා දෙන්ට අපගේ දෙවි තුළ නිර්භීත වුණෙමු” කියායි. එම ප්‍රකාශය පිළිබඳව එක් ග්‍රන්ථයක දක්වා තිබුණේ “දෙවි අපේ සිතේ බිය උදුරා දැම්මා” යනුවෙනි. ඔබේ සිතේ තිබෙන බිය පලවාහරින්න කියා දෙවිට යාච්ඤා නොකරන්නේ මන්ද?

ඔබ කවුද කියා හඳුන්වා දෙන්න

යාච්ඤාවට එකඟව ඔබට නිර්භීතව පියවර ගත හැකියි. එංගලන්තයේ යෞවනියක් වන ෂීක් මෙවන් උපදෙසක් දෙනවා. “ඔබේ මිතුරන්ට ඔබ ක්‍රිස්තියානියෙක් කියලා කියන්න.” ඔබට ‘රහසිගත ගෝලයෙක්’ වීමට උවමනාවක් නැහැ. රෙබෙකා නමැති යෞවනිය ගෙයින් ගෙට සේවයෙහි යෙදෙන විට ඇය දන්න කෙනෙකු මුණගැහේවි කියා බියට පත් වූ කාලයක් තිබුණා කියා පිළිගන්නවා. නමුත් ඈ ඉගෙනගත් දෙයක් පිළිබඳව මෙසේ පවසනවා. “ඔබ ක්‍රිස්තියානියෙක් බවත් ඔබ ගෙයින් ගෙට සේවයේ සහභාගි වෙන බවත් ඔවුන්ට පැවසුවොත් සමහරවිට ඔවුන් මෙසේ අසාවි, ‘ඔයා කවදාද මගේ ගෙදරට එන්නේ?’”

හදිසියේ මුණගැසෙන තුරු බලා නොසිට ඔබේ ඇදහිල්ල පාසැල් මිතුරන් සමඟ බෙදාගැනීමට ප්‍රස්තාවන් සොයන්න. ප්‍රේරිත පාවුල් ඇසූ ප්‍රශ්න ඔබට මතකද? ඔහු මෙසේ ඇසුවා. “තමුන් නොඇසුවාවූ කෙනෙකු කෙරෙහි අදහන්නේ කොහොමද? දේශනාකරන්නෙක් නැතුව ඔවුන් අසන්නේ කොහොමද?” (රෝම 10:14) ඔබේ පංතියේ ළමයින්ට උපකාර කළ හැකි සුදුසුම කෙනා ඔබයි. “පාසැල අපිට විතරක් හවුල් විය හැකි දේශනා ක්ෂේත්‍රයක්” කියා ඉරයිඩා පවසනවා. අවිධිමත් ලෙස සාක්ෂි දැරීමට ලැබෙන මෙවන් අවස්ථාවලින් බොහෝ යෞවනයන් ප්‍රයෝජන ලබනවා.

සමහරවිට ඔබේ පාසැලේදී ලැබෙන පැවරුම් බයිබල් සත්‍යය අන් අය සමඟ බෙදාගැනීමට ඉඩ සලසා දෙයි. එංගලන්තයේ ජේමී නමැති යෞවනිය මේ සම්බන්ධව මෙසේ අදහස් දක්වනවා. “අපි පරිණාමවාදය ගැන පංතියේ සාකච්ඡා කරන කොට මම මගේ විශ්වාසයන් ගැන කිව්වා. එක පිරිමි ළමයෙක් මට සමච්චල් කළා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ බුද්ධිය අද කාලයට ගැළපෙන්නේ නැහැ, ඒ නිසා අපිව පාසැල්වලට සුදුසු නැහැ කියලා. ඒ අවස්ථාවේදී පංතියේ අනිත් ළමයි අරගත්තේ මගේ පැත්ත.” ආදර්ශවත් ක්‍රිස්තියානියෙකු හැටියට ඇයට තිබූ හොඳ නාමයට ලැබුණ ප්‍රතිඵලයි ඒ. “මේ අවස්ථාවේදී ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? යන පොත පංතියේ මිතුරියකට දීමට හැකි වුණා” කියා ජේමී තවදුරටත් පවසනවා. b

රුමේනියාවේ 14 හැවිරිදි දැරියක් වන රෝක්සානාටත් එවැනිම අද්දැකීමක් තිබෙනවා. “සිගරට්, මත්පැන් සහ මත්ද්‍රව්‍ය පිළිබඳව පංති කාමරය තුළ සාකච්ඡාවක් පවත්වනවා කියලා මගේ ගුරුවරිය දැනුම් දීමක් කළා. දුම්පානය නතර කළ හැකි ආකාරය සම්බන්ධයෙන් පළ වූ, 2000 අප්‍රියෙල් 8 පිබිදෙව්! සඟරාව මම රැගෙන ගියා. පංතියේ ළමයෙක් සඟරාව දැකලා අරගෙන ආපසු මට දුන්නේ නැහැ. එම සඟරාව කියවීමෙන් පසු ඇය දුම්බීම නතර කරන්න අදිටන් කළා කියා ඈ මට පැවසුවා.”

එවන් යහපත් ප්‍රතිචාර ඔබට සෑම විටම නොලැබෙන්න පුළුවන්. නමුත් දේශනාකාරයා 11:6හි අපට ලස්සන දිරිගැන්වීමක් දී තිබෙනවා. එහි පවසන්නේ, “උදයේ නුඹේ බීජ වපුරන්න. සවසත් නුඹේ අත නවත්වා නොගන්න. මක්නිසාද සඵල වෙන්නේ ඒවාද නොහොත් මේවාද කියා නුඹ නොදන්නෙහිය” කියායි. ඔබේ විශ්වාසයන් ගැන පාසැලේදී මිතුරන්ට පැවසීමේදී යහපත් ප්‍රතිචාරයක් නොලැබුණත් වෙනත් ප්‍රයෝජනයක් තිබෙනවා. එනම් ඔබ ගෙයින් ගෙට සේවයේ යද්දී ඔවුන්ව මුණ ගැසුණොත් හිතකර සාකච්ඡාවක් ආරම්භ කිරීමට එමගින් ඉඩ කඩ සැලසිය හැකියි. “ඔබේ පාසැලේ ඔබව හොඳින් දන්න කෙනෙකුට සාක්ෂි දරන්න පහසු” බවයි බ්‍රිතාන්‍යයේ යෞවනියක් වන ජෙසිකාගේ අදහස. ඔබේ පාසැල් මිතුරන්ගෙන් සමහරෙකුට ඔබේ විශ්වාසයන් ගැන දැනගැනීමට තිබෙන කුතුහලය කොයිතරම්ද කියා දැනගත් විට ඔබ පුදුමයට පත් වෙයි!

හැමෝම ඔබව කාරුණිකව පිළි නොගන්න බව ඇත්ත. එවන් අවස්ථාවල යේසුස්ගේ මෙම ප්‍රායෝගික උපදේශය මතකයට නඟන්න. “කවරෙක් නුමුත් නුඹලා පිළිගන්නේවත් නුඹලාගේ වචන අසන්නේවත් නැත්නම්, ඒ ගෙදරින් . . . පිටත්ව යන කල නුඹලාගේ පාදවල ධූලි ගසා දමන්න.” (මතෙව් 10:14) වෙනත් විදිහකට කියනවා නම් ඔබව ප්‍රතික්ෂේප කළ විට ඒ ඔබගේ වරදක් නිසායි කියා නොසිතන්න. සාමකාමි ලෙස එතැනින් පිටත් වී සවන් දීමට කැමති කෙනෙකුව සොයන්න. වැඩි කල් නොගොස් සත්‍යයට සවන් දීමට පිපාසයෙන් සිටින අවංක හදවතක් තිබෙන කෙනෙකුව ඔබට සම්බ වේවි. එවන් හදවතක් ඔබේ පාසැලේ මිතුරන්ගෙන් කෙනෙකුට තිබේ නම් මොනතරම් සතුටක්ද? එවැනි දෙයක් සිදු වේ නම්, ඔබේ පාසැලේ මිතුරන් සමඟ ඔබේ ඇදහිල්ල බෙදාගැනීමට තිබූ බියෙන් ගොඩ ආ නිසා ඔබට සතුටු විය හැකියි.

[පාදසටහන්වල]

a වර්ෂ 2002 මාර්තු 8වෙනිදා කලාපයේ පළ වූ “යෞවන අය අසති . . . පාසැලේ මාව දන්න කෙනෙක් මුණගැසුණොත්?” නමැති ලිපිය බලන්න.

b ප්‍රකාශයට පත් කරනු ලබන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින්.

[12වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“අපි පෞද්ගලිකවම බයිබලය පාඩම් කරන විට සත්‍යය අපේම කරගැනීමට පටන්ගන්නවා.”—ෂෝන්.

[10වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තියානියෙකු ලෙස ඔබව හඳුන්වා දීමට බිය වන්න එපා

[10වන පිටුවේ පින්තූරය]

පංතියේ ලැබෙන පැවරුම් බයිබල් සත්‍යය අන් අය සමඟ බෙදාගැනීමට ඉඩ සලසා දෙනවා