Skip to content

පටුනට යන්න

මට මගේ නූපන් දරුවා අහිමි වුණා

මට මගේ නූපන් දරුවා අහිමි වුණා

මට මගේ නූපන් දරුවා අහිමි වුණා

වර්ෂ 2000 අප්‍රියෙල් 10වන සඳුදා හොඳින් ඉර පායා තිබුණා. ඒ නිසා මම එළියේ වැඩවල යෙදෙන්න හිතුවා. මගේ දරු ගැබට යන්තම් මාස හතරක් වුණා විතරයි. මගේ ඇඟට එතරම් ශක්ති සම්පන්න බවක් දැනුණේ නැති වුණත් මම ආස වුණා ගෙයින් පිට කාලය ගත කරන්න. මම සාප්පුවකින් බඩු අරගෙන බිල ගෙවන්න පෝලිමේ ඉන්නකොට මට අමුත්තක් දැනුණු අතර මම හොඳටම බය වුණා.

ගෙදර ආ විට මා තුළ ඇති වූ බියට හේතුව මට අවබෝධ වුණා. එනම් මට ලේ යන්න පටන්ගෙන තිබෙන බව මම දැක්කා. මීට පෙර ගැබ්ගත් අවස්ථා දෙකේදීම සිදු නොවූ තත්වයකටයි මම මුහුණ දෙමින් සිටියේ. මම හොඳටම බය වුණා! මම ඉක්මනට දොස්තරට කතා කරලා මගේ තත්වය ගැන කිව්වාම, ඊළඟ දවසේ මට දොස්තර හමුවීමට නියමිතව තිබූ නිසා එදාටම එන්න කියා මට කිව්වා. එදා රෑ මමයි මගේ මහත්තයයි දරුවන් දෙන්න නිදි කරන්න කලින් යෙහෝවාට යාච්ඤා කළා මේ තත්වයේදී මුහුණ දෙන්න වෙන ඕනෑම දුෂ්කරතාවක් සමඟ සාර්ථකව කටයුතු කරන්න ශක්තිය දෙන්න කියා. ටික වේලාවක් ගියාට පස්සේ මම නින්දට වැටුණා.

මම ඊට පස්සේ පාන්දර දෙකට විතර ඇහැරුණේ දරාගත නොහැකි වේදනාවක් සමඟයි. ටික වේලාවකින් එය ක්‍රම ක්‍රමයෙන් අඩු වෙලා ගියා. ආයෙත් මට යාන්තම් නින්ද යන විට නැවතත් කැක්කුම පටන්ගත්තා. මේ වතාවේදී කැක්කුම විටින් විට දැනෙන්න වුණා. තවද රුධිර වහනය වීම නිසා මම දැනගත්තා මම අද්දකින්නේ ප්‍රසූති වේදනාව බව. මම කල්පනා කර බැලුවා මේ දේ සිද්ධ වෙන්ට මගෙන් වූ අත්වැරැද්ද මොකක්ද කියලා. නමුත් මගෙන් අත්වැරැද්දක් නොවූ බව නම් මට ස්ථිරයි.

පාන්දර 5:00 වෙනකොට මට තේරුණා රෝහලට ඇතුල් වීම අවශ්‍ය බව. ඒ නිසා මගේ මහත්තයයි මමයි රෝහලට ගිය අතර, හදිසි සත්කාර ඒකකයේ කරුණාවන්ත, උපකාර කිරීමට කැමති හා සංවේදී කාර්ය මණ්ඩලයක් සිටීම අපට මහත් සහනයක් වුණා. ඉන් පැය දෙකකට පසු දොස්තර අපව බියට හා කම්පාවට පත් කළ ආරංචිය කිව්වා. මගේ දරුවා නැති වෙලා!

මම මුලින් අද්දැකපු වේදනාව හා රෝග ලක්ෂණ නිසා මෙවැනි දෙයක් විය හැකි බව බලාපොරොත්තු වූ නිසා මම එතරම් කලබල වුණේ නැහැ. ඊට අමතරව මේ මුළු කාලය අතරතුර මගේ ස්වාමිපුරුෂයා මා ළඟ සිටීම මට මහත් ශක්තියක් වුණා. නමුත් දැන් අපිට තියෙන ප්‍රශ්නෙ තමයි ගෙදර යන්නේ දරුවා නැතුව නිසා අපි අනික් ළමයි දෙන්නාට එනම් දුව කේට්ලින්ට් (අවුරුදු හයයි) සහ පුතා ඩේවිඩ්ට (අවුරුදු හතරයි) මොනවාද කියන්නේ කියන එක.

අපේ දරුවන්ට අපි මොනවද කියන්නේ?

ගෙදර කුමක් හෝ ප්‍රශ්නයක් මතු වී තිබෙන බව ඉවෙන් මෙන් තේරුම්ගත් දරුවන් නින්දට වැටී තිබුණා. අපි කොහොමද කියන්නේ එයාලගේ චූටි නංගි හෝ මල්ලී මැරුණා කියා. අපි තීරණය කළා ඔවුන්ට විවෘතව හා අවංකව කතා කරන්න. මගේ මව ඒ වෙනකොට දරුවන්ට කියා තිබුණා චූටි දරුවා ගෙදර එන්නේ නැති බව. මෙය අපට මහත් උපකාරයක් වුණා. අපි ගෙදර පැමිණි විගස ඔවුන් අප වෙතට දුවගෙන ඇවිත් අපිව බදාගෙන හාදු දුන්නා. ඔවුන්ගේ පළවෙනි ප්‍රශ්නය වුණේ “බබා සනීපෙන්ද?” යන්නයි. මාව ගොළු වුණා. නමුත් මගේ මහත්තයා දෑත් විහිදා අපිව බදාගෙන කිව්වා “බබා මැරුණා” කියලා. අපි එකිනෙකාව බදාගෙන ඇඬුවා. මෙය අපේ ශෝකය තුනී කිරීමට මුලපිරීමක් වූවාට සැකයක් නැහැ.

ඊට පසුවත් දරුවන් මේ සම්බන්ධව දක්වන ප්‍රතිචාරවලට මුහුණ දීමට අපි සූදානම්ව සිටියේ නැහැ. ඉන් සති දෙකකට පස්සේ සභාවේ (යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ) නිවේදනය කළා වැඩිහිටි කෙනෙක් හා අපි ළඟින් ඇසුරු කළ කෙනෙක් මිය ගොස් ඇති බව. අවුරුදු හතරක් වයසැති ඩේවිඩ් මේ පුවත අසා නොනවත්වා අඬන්න පටන්ගත්තා. ඔහුව නතර කරන්න බැරි වූ තැන මගේ මහත්තයා ඔහුව පිටතට ගෙන ගියා. ඇඬීම නතර කළාට පසු ඩේවිඩ් ඇහුවා ඔහුගේ යාළුවා මැරුණේ ඇයි කියා. ඊළඟ ප්‍රශ්නය වුණේ ඇයි බබා මැරුණේ යන්නයි. ඊට පස්සේ ඔහු තාත්තාගෙන් ඇහුවා “ඔයත් මැරෙයිද?” කියලා. ඔහුට දැනගන්න අවශ්‍ය වුණා යෙහෝවා දෙවි සාතන්ව විනාශ කර “ඔක්කොම ප්‍රශ්න විසඳන්නේ නැත්තේ ඇයි” කියා. මේ පුංචි මොළෙන් මෙතරම් දේවල් කල්පනා කිරීම ගැන අපිට පුදුම හිතුණා.

කේට්ලින්ට් පවා බොහෝ ප්‍රශ්න ඇසුවා. ඇය බෝනික්කන් හා සෙල්ලම් කරන විට බොහෝ අවස්ථාවලදී එක බෝනික්කෙක් අසනීප බෝනික්කෙක් හැටියටත් අනික් බෝනික්කන් හෙදියන් හා පවුලේ සාමාජිකයන් හැටියටත් පත් කර සෙල්ලම් කළා. කාඩ්බෝඩ්වලින් රෝහලක් හදන අතර ඇය බොහෝවිට සෙල්ලම් කළේ එක බෝනික්කෙක් මැරුණු ආකාරයටයි. අපේ දරුවන්ගේ ප්‍රශ්න හා ඔවුන්ගේ සෙල්ලම් නිරීක්ෂණය කිරීම මගින් අපට අවස්ථාවක් ලැබුණා ජීවිතය ගැනත් ප්‍රශ්න සමඟ කටයුතු කිරීමට බයිබලය අපට උපකාර කරන ආකාරය ගැනත් ඔවුන්ට උගන්වන්න. ඒ වගේම අපි මතක් කර දුන්නා දෙවිගේ අරමුණ නම් පොළොව පාරාදීසයක් කර සියලුම දුක් වේදනා මෙන්ම මරණය පවා ඉවත් කිරීමයි කියා.—එළිදරව් 21:3, 4.

මම අහිමි වීම දරාගත් හැටි

රෝහලේ සිට මම මුලින්ම පැමිණි අවස්ථාවේ හැඟීම් සිර වී වියවුල් තත්වයකට පත් වුණා. ගෙදර දොරේ කළ යුතු වැඩ කටයුතු අපමණ තිබුණද කොතැනින් පටන්ගන්නද කියා සිතාගන්නවත් බැරිව හිටියා. මා හා සමාන තත්වයකට මුහුණ දුන් මගේ යහළුවන් කිහිපදෙනෙකුට මම කතා කළ අතර ඔවුන් මට මහත් සැනසීමක් ගෙන දුන්නා. අපේ යෙහෙළියක් අපිට මල් කලඹක් එවා තිබුණු අතර මගේ දරුවන් දෙදෙනාව හවස් වරුවේ බලාගැනීමට ඉදිරිපත් වුණා. ඇයගේ සැලකිල්ල හා ප්‍රායෝගික උපකාරය මම බෙහෙවින් අගය කළා.

මම අපේ පවුලේ පින්තූර ඇල්බමය නැවත සකස් කළා. මගේ නැති වූ කිරිකැටියා පිළිබඳ තිබුණු එකම මතක සටහන නම් අන්දන්න ආසාවෙන් බලා සිටි චූටි ගවුම් පොඩිත්තයි. ඒවා මම තුරුලු කරගත්තේ ඉතා ආදරයෙන්. සති ගණනාවක් යන තුරු මගේ හැඟීම් පාලනය කරගැනීම අපහසු වුණා. මගේ පවුලේ අයගේ හා යහළුවන්ගේ උපකාරය තිබුණද සමහරදාට මට ඇඬීම නවත්වගන්න බැරුව ගියා. සමහර අවස්ථාවල මට හිතුණා මගේ කල්පනා ශක්තිය නැති වීගෙන යනවා කියා. ගර්භිණීව සිටින යෙහෙළියක් සමඟ ඉන්නකොට මට හරි අපහසුතාවක් දැනුණා. මීට ඉස්සර නම් මම ස්වාභාවික ගබ්සා වීමක් ගැන හිතුවේ ගැහැනු කෙනෙක් “තාවකාලිකව” අද්දකින වේදනාවක් හා කාලයත් සමඟ අමතක වෙන දෙයක් හැටියටයි. මට දැන් තේරෙනවා මම කොච්චර වැරදිද කියලා. a

හොඳම පිළියම නම් ප්‍රේමයයි

කාලයත් සමඟම මට ඒ තත්වයෙන් මිදෙන්න හැකි වුණේ මගේ ස්වාමිපුරුෂයා හා සභාවේ අනික් සාමාජිකයන් දැක්වූ ප්‍රේමය නිසයි. එක් සහෝදරියක් අපිට රෑ කෑම ගෙනත් දුන්නා. එක් වැඩිමහල්ලෙක් හා ඔහුගේ භාර්යාව මල් රැගෙන ආ අතර සැඳෑ වරුව අපිත් සමඟ ගත කළා. අපි දන්නවා ඔවුන් කොතරම් කාර්යබහුලද කියා. නමුත් ඔවුන් අප ගැන දැක්වූ සැලකිල්ල අපේ සිතට තදින් කාවැදුණා. තවත් බොහෝ යහළුවන් අපිට කාඩ්පත් හා මල් එව්වා. “අපි ඔබ ගැන සිතනවා” කියා ඔවුන්ගෙන් සමහරෙක් ලියා එවූ කුඩා වැකි කිහිපය අපට මහත් දිරිගැන්වීමක් වුණා. සභාවේ එක් සාමාජිකාවක් මෙසේ ලියා එව්වා. “අපිත් ජීවිතය දෙස බලන්නේ යෙහෝවා හා සමානවයි. එය ඉතා වටිනා වස්තුවක්. ගේ කුරුල්ලෙක් පවා බිමට වැටෙන විට යෙහෝවා දන්නවා නම් අනිවාර්යයෙන්ම මිනිස් කලලයක් වැටෙන විටත් ඔහු දන්නවා.” මගේ ඥාති සහෝදරියක් ලියා එව්වේ “අපි ජීවිතයක උපත හා පැවැත්ම නමැති ආශ්චර්යය ගැන පුදුම වෙනවා. ඒ හා සමානව ජීවිතයක් නැති වන විටද අපි පුදුම වෙනවා” යනුවෙනුයි.

සති කිහිපයකට පසු රාජ්‍ය ශාලාවේදී මගේ ඇස්වලට කඳුළු පිරීගෙන එන විට රැස්වීම් පටන්ගන්න කලින් මම රාජ්‍ය ශාලාවෙන් එළියට ගියා. මා ඇඬූ කඳුළින් එළියට යනවා දුටු මගේ ප්‍රේමනීය සහෝදරියන් දෙදෙනෙක් වාහනයේ මා ළඟින් වාඩි වී දෑත් අල්ලාගෙන මාව හිනස්සන්න නොයෙක් විහිළු කතා කිව්වා. ඉන් ටික වේලාවකට පසු අපි තුන්දෙනාම රාජ්‍ය ශාලාව ඇතුලට ගියා. ‘සහෝදරයෙකුට වඩා ඇලුම් වෙන මිත්‍රයන්’ සිටීම මොනතරම් ප්‍රීතියක්ද!—හිතෝපදේශ 18:24.

මෙම ආරංචිය අන් අය අතරේ පැතිරුණු අවස්ථාවේ මම දැනගත්තා තවත් සාක්ෂිකාරියන් බොහෝදෙනෙක් මෙම අද්දැකීමට මුහුණ දී ඇති බව. සමහර අය සමඟ ඉස්සර මම කිට්ටුවෙන් ආශ්‍රය කර නොතිබුණත් ඔවුන් මට සැනසීම හා දිරිගැන්වීම ලබා දුන්නා. මට අවශ්‍ය වූ අවස්ථාවේ ඔවුන් ලබා දුන් ප්‍රේමනීය උපකාරය මට බයිබලයේ මෙම වදන් පෙළ සිහිපත් කරනු ලැබුවා. “මිත්‍රයෙක් සෑම කල්ම ප්‍රේම වන්නේය. සහෝදරයෙක් ඉපද සිටින්නෙත් විපත්තියේදී පිහිට වීමටය.”—හිතෝපදේශ 17:17.

දේවවචනයෙන් සැනසීම

මගේ ගබ්සා වීමෙන් පසුව එළඹුණු සතියේ යේසුස්ගේ මරණය සිහි කිරීම පැවැත්වුණා. එක් සැන්දෑවක යේසුස්ගේ අන්තිම දවස් ගැන බයිබල් වාර්තාව කියවන විට මට එකපාරටම වැටහුණා ‘යෙහෝවාත් කෙනෙක් අහිමි වීමේ දුක දන්නා බව. මොකද ඔහුට ඔහුගේ පුතා අහිමි වුණා!’ යෙහෝවා අපේ ස්වර්ගික පියා නිසා මට සමහරවිට අමතක වෙනවා ඔහු අප ගැන කොතරම් සැලකිලිමත්ද හා සංවේදීද කියා. ගැහැනු වුණත් පිරිමි වුණත් ඔහුගේ සියලුම සේවකයන්ව ඔහු හොඳින් තේරුම්ගන්නවා. ඒ වෙලාවේම මට මේ අදහසින් නව පණක් ලැබුණා. මම ඉස්සරට වඩා යෙහෝවාට ළං වෙලා වගේ හැඟුණා.

ශුද්ධ ලියවිල්ල අනුසාරයෙන් ලියන ලද පොත් පත් කියවීමෙන් මම මහත් දිරිගැන්වීමක් ලැබුවා. ප්‍රේමනීය කෙනෙකුගේ වියෝව දරාගත හැකි ආකාරය ගැන මුරටැඹ හා පිබිදෙව්! සඟරාවල පළ වී තිබුණු ලිපි විශේෂයෙන්ම මට උපකාරවත් වුණා. ඔබ ප්‍රේම කරන යමෙක් මියගිය විට යන විවරණිකාව හා 1988 සැප්තැම්බර් 8 පිබිදෙව්! කලාපයේ පළ වූ “උපදින විට මිය ගොස් සිටි දරුවෙකුගේ වියෝවට මුහුණ දීම” යන ලිපි මට හුඟක් ප්‍රයෝජනවත් වුණා. b

සන්තාපයේ නිමාව

කාලයත් සමඟ මා අද්දකිමින් සිටි ශෝචනීය හැඟීම් වැළලෙමින් තිබුණා. වරද සහිතභාවයේ හැඟීම්වලින් මිදී අන් අය සමඟ සිනාසී සුහදව කතා බහේ යෙදීමට හැකි වුණා. ඒ විතරක් නොවෙයි, මගේ නැති වූ බබා වටා කේන්ද්‍රගත වූ විෂයන් කතා නොකර වෙනත් විෂයන් සම්බන්ධව නිදහසේ කතා බහ කිරීමට හැකි වුණා. කෙසේවෙතත් ඉඳ හිට මම මානසිකව වැටුණු අවස්ථා තිබුණා. එවැනි තත්වයන්ට මුහුණ දීමට සිදු වුණේ විශේෂයෙන් මේ ගැන ආරංචි නොවූ යහළුවෙක් මුණගැසුණු විට හෝ අලුත් ළදරුවෙක් අපේ රාජ්‍ය ශාලාවට ගෙනා විටයි.

දවසක් උදෑසන පිබිදෙන විට මට නැවුම්බවක් දැනුණා. මගේ අඳුරු මතකයන් ඈත් වූ බවක් මට හැඟුණා. මගේ දෑස් අරින්නත් කලින් මට අමුතු සුවයක්, ඇතුළාන්ත සාමයක් හා සැනසීමක් මාස ගණනකට පසු දැනෙන්න පටන්ගත්තා. නමුත් අවුරුද්දකට පමණ පසු මම නැවත ගර්භණී වූ විට තවත් ස්වාභාවික ගබ්සාවක් වෙයිදෝ යන බිය ආයෙමත් මතු වුණා. කෙසේවෙතත් මට 2001 ඔක්තෝබර් මාසයේ නිරෝගිමත් පුතෙකු බිහි කිරීමට හැකිවීම ප්‍රීතියට කරුණක්.

කෙසේවෙතත් මම තවමත් මගේ නැති වූ බබා ගැන කඳුළු සලනවා. මේ සියලු අද්දැකීම්වලින් මට ජීවිතය ගැනත් අපව සනසන දෙවි ගැනත්, මගේ පවුලේ අය හා අනික් ක්‍රිස්තියානීන් ගැනත් වචනෙන් කියාගන්න බැරි මහත් අගය කිරීමක් ඇති වී තිබෙනවා. මෙම කටුක අද්දැකීමෙන් අපේ සිතට තදින් කාවැදුණු සත්‍යය නම් දෙවි අපේ දරුවන් උදුරාගන්නේ නැති බවත් “කාලයත් හදිසි කාරණාත් [අප] සියල්ලන්ට සිද්ධ වන” බවත්ය.—දේශනාකාරයා 9:11.

හැඬීම, දුක, වේදනාව පමණක් නොව ස්වාභාවික ගබ්සා වීම්වලින් ඇති වෙන ශාරීරික හා මානසික වේදනාවෙන් දෙවි අප සැමෝවම මුදන කාලය එන තුරු මම බලා සිටිනවා. (යෙසායා 65:17-23) එවිට සියලුම කීකරු ජනයාට එක හඬින් මෙසේ කිව හැකියි. “එම්බා මරණය, නුඹේ ජය කොයිද? එම්බා මරණය, නුඹේ කටුව කොයිද?”—1 කොරින්ති 15:55; යෙසායා 25:8.—සපයන ලද්දකි.

[පාදසටහන්වල]

a ස්වාභාවික ගබ්සා වීම්වලදී එක් එක්කෙනා දක්වන ප්‍රතිචාරය ඔවුන්ටම ආවේණික බවත් එකිනෙකට හාත්පසින්ම වෙනස් බවත් පර්යේෂණ මගින් සොයාගෙන තිබෙනවා. සමහර අයට මෙය ප්‍රහේළිකාවක්, තවත් සමහර අයට මෙය බලාපොරොත්තු සුන්වීමක්, තවත් සමහරෙකුට මෙය දරාගන්න බැරි දුකක්. ගබ්සා වීමකින් ජීවිතයක් අහිමි වීමේදී දැනෙන දුක සාමාන්‍ය දෙයක් බව පර්යේෂකයන් පවසනවා. ඔවුන් තුළ ඇති වූ කම්පනයෙන් සුවය ලැබීමට එම දුක දායක වෙනවා.

b ප්‍රකාශයට පත් කරන ලද්දේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසිනි.

[23වන පිටුවේ කොටුව]

ස්වාභාවික ගබ්සා වීම් හා එය නිතර නිතර සිදුවීමට හේතු

“අධ්‍යයනවලින් පෙන්නුම් කරන්නේ ගැබ්ගැනීම්වලින් සීයට 15ත් 20ත් අතර ප්‍රමාණයක් ස්වාභාවිකව ගබ්සා වන බවයි” යනුවෙන් එක් ග්‍රන්ථයක (The World book Encyclopedia) පවසා තිබුණා. “නමුත් පිළිසිඳගත් මුල් සති දෙක තුළ ස්වාභාවිකව ගබ්සා වීමේ ප්‍රවණතාව වැඩියි. මේ කාලයේදී බොහෝ මව්වරුන් ඔවුන් ගැබ්ගෙන ඇති බව පවා නොදනී.” තවත් මූලාශ්‍රයක පවසන්නේ වැඩිපුරම “ස්වාභාවික ගබ්සාවීම් එනම් සීයට 80ක් පමණ සිදු වන්නේ ගැබ්ගෙන පළමුවෙනි සති 12 ඇතුළත බවයි.” ගබ්සාවීම් සීයට 50ක් පමණ සිදු වන්නේ කලලයේ වර්ණදේහවල ඇති වන අක්‍රමිකතා හේතුකොටගෙනයි කියා මතයක් තිබෙනවා. කලලයේ වර්ණදේහවල ඇති වන අක්‍රමිකතා පියාගේ හෝ මවගේ වර්ණදේහවල අක්‍රමිකතාවල ප්‍රතිඵලයක් වශයෙන් ඇති වන ඒවා නොවෙයි.

සමහර ස්වාභාවික ගබ්සා වීම් මවගේ සෞඛ්‍ය තත්වය නිසා ඇති වන ඒවා විය හැකියි. වෛද්‍ය ආයතනවලින් පෙන්නුම් කරන පරිදි හෝමෝන හා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වලකම්, යම් ආසාදනයක් සහ ගැබ්ගෙලෙහි හෝ ගර්භාශයේ ඇති වන විකෘතිතා ඉන් සමහරක්. (ප්‍රමාණවත් ලෙස පාලනය නොකළ තත්වයේ) දියවැඩියාව වැනි නිදන්ගත රෝග හා අධික රුධිර පීඩනයද ස්වාභාවික ගබ්සා වීම්වලට බලපෑ හැකි තවත් සමහර හේතුයි.

ප්‍රවීණයන් පවසන පරිදි ව්‍යායාම් කිරීම, අධික බර එසවීම හෝ ලිංගික සම්බන්ධකම් පැවැත්වීම නිසාම ගබ්සාවන් සිදු නොවේ. වැටීම නිසා, සෙමින් වැදුණු පහරක් නිසා හෝ ක්ෂණික කම්පනයක් නිසා ගබ්සා වීමට තිබෙන ඉඩ කඩ අඩුයි. එක් මූලාශ්‍රයක පවසන්නේ “ඔබේ ජීවිතයට බලපාන තරම් යම් හානියක් සිදු වුවහොත් මිස, නැත්නම් ඔබේ කලලයට පහසුවෙන් හානියක් සිදු කළ නොහැකි බවයි.” ගර්භාශය නිර්මාණය වී ඇති ආකාරය එය ප්‍රඥාවන්තව හා ප්‍රේමනීය ලෙස මැවූ දෙවි ගැන කොතරම් හොඳ සාක්ෂියක් සපයයිද!—ගීතාවලිය 139:13, 14.

[25වන පිටුවේ කොටුව/පින්තූරය]

පවුලේ සාමාජිකයන්ට හා මිත්‍රයන්ට උපකාර කළ හැක්කේ කෙසේද?

පවුල් සාමාජිකයෙක් හෝ හිතවතෙක් ස්වාභාවික ගබ්සා වීමක් නිසා පීඩා විඳින විට කිව යුත්තේ හා කළ යුත්තේ කුමක්ද කියා සිතාගැනීම බොහෝවිට උගහටයි. පුද්ගලයන් විවිධාකාරව මේ ප්‍රශ්නයේදී ප්‍රතිචාරය දක්වන නිසා, සැනසීම ගෙන දීම සඳහා සැමෝටම සරිලන එක පොදු පිළියමක් නැහැ. කෙසේවෙතත් පහත දක්වා ඇති යෝජනා සැලකිල්ලට ගන්න. c

ඔබට පිරිනැමිය හැකි ප්‍රායෝගික උපකාර:

◆ වැඩිමල් දරුවන් බලාගැනීමට ඉදිරිපත් වන්න.

◆ කෑම වේලක් පිළියෙළ කර ගෙනැවිත් දෙන්න.

◆ පියාටත් උපකාර අවශ්‍ය බව මතක තබාගෙන කටයුතු කරන්න. එක් පියෙක් කියා සිටියේ “මෙවැනි අවස්ථාවකට මුහුණ දෙන පියවරුන්ව සැනසීම සඳහා කාඩ්පත් සාදා නැහැ” යන්නයි.

සැනසීමට කිව හැකි වදන්

◆ “ඔයාට ලැබෙන්න හිටපු දරුවා නැතිවීම ගැන මම කනගාටු වෙනවා.”

මෙය ඉතා සරල වාක්‍යයක් වුවද, අර්ථවත් විය හැකියි. මෙය තවදුරටත් සැනසිලිදායක සංවාදයක් පවත්වාගෙන යෑමට මඟපෑදිය හැකියි.

◆ “අඬන එක සාධාරණයි.”

පළමුවෙනි සති කිහිපය තුළදී හෝ මාස කිහිපයකට පසු පවා සෑම විටම කඳුළු සැලීම ස්වාභාවිකයි. ඇයගේ දුකට හැඬීම නිසා ඔබ ඇයව පහත් කොට සලකන්නේ නැති බව ඒත්තුගන්වන්න.

◆ “මම ලබන සතියෙත් දවසක ඔයාගේ දුක සැප දැනගන්න කෝල් එකක් දෙන්නද?”

පීඩාවන්ට ලක්වූවන් මුලදී බොහෝ අනුකම්පාව හා ආදරය ලැබුවත් කලක් ගත වන විට ඔවුන්ගේ වේදනාව තිබුණද අන් අය ඔවුන්ව අමතක කර ඇති බව හැඟෙන්න පුළුවන්. ඔබගේ උපකාරය දිගටම ලැබෙන බව ඔවුන් දැනගත්තාම එය ඔවුන්ගේ ප්‍රීතියට හේතුවක් වේවි. වේදනාබර හැඟීම් සති හෝ මාස කිහිපයක් පුරා කඩින් කඩ මතු විය හැකියි. නැවත වරක් සාර්ථකව ගැබ්ගත්තද වේදනාබර හැඟීම් මතු වේ.

◆ “මම දන්නේ නැහැ මොනවා කියන්නද කියලා.”

මෙවැනි යමක් කීම මුනිවත රැකීමට වඩා හොඳයි. ඔබේ අවංක හැඟීම් හා ඔබ ඔවුන් සමඟ සිටීම ඔවුන් කෙරෙහි ඔබ සැලකිල්ලක් දක්වන බවට සාක්ෂියක්.

නොකිව යුතු දේ:

◆ “ඔයාට තව දරුවෙක් හදාගන්න පුළුවන්.”

මෙය සත්‍යයක් වුණත් පීඩාකාරි අද්දැකීම ලැබූ තැනැත්තා ගැන කිසිම හැඟීමක් නැති බවක් හෝ අනුකම්පා විරහිත බවක් එයින් පෙන්නුම් කරයි. මේ දෙමව්පියන්ට අවශ්‍ය වන්නේ වෙනත් දරුවෙක් නොව නමුත් දරුවවයි. ඔවුන් තවත් දරුවෙක් ගැන සිතීමට පෙර, ඔවුන්ට නැති වූ දරුවාගේ ශෝකය දරාගැනීමට හැකි විය යුතුයි.

◆ “ඒ දරුවාගේ යම් අඩු පාඩුවක් තියෙන්න ඇති.”

මෙය සමහරවිට සත්‍යයක් වුවද මෙවැනි වදනකින් දෙමව්පියන්ට සැනසීමක් ලැබෙන්නේ නැහැ. මවගේ දැනීම අනුව ඇය කුස දරා සිටියේ සෞඛ්‍ය සම්පන්න දරුවෙක්.

◆ “මොනවා වුණත් ඔයා දරුවාව දැනගෙන සිටියේ නැහැනේ. කාලයකට පස්සේ මේ දේ සිද්ධ වුණා නම් දරාගන්න අමාරු වෙයි.”

මව්වරුන් තමන්ගේ කුසේ සිටින දරුවා සමඟ සම්බන්ධ වන්නේ මුල් කාලයේ සිටයි. එවැනි සම්බන්ධයක් තිබූ දරුවෙක් අහිමි වීම දුකට හේතුවීම වැළැක්විය නොහැකියි. මෙහි සත්‍යතාව නම් මව “දැන සිටි තරම්” මෙම දරුවාව හොඳින් දැන සිටි වෙන කිසිවෙක් නැහැ.

◆ “ඔයාට ඉතිං තව ළමයි ඉන්නවානේ.”

දුකෙන් පෙළෙන දෙමව්පියන්ට මේ වගේ දෙයක් කීම හරියට එක කකුලක් නැති වූ කෙනෙකුට “ඔයාට තව කකුලක් තියෙනවානේ” කියා පවසනවා හා සමානයි.

බොහෝවිට අනුන් ගැන අවංකව සැලකිලිමත් වන අයගේ මුවින් පවා යම් වැරදි දේ පිට විය හැකි බව පිළිගත යුතුයි. (යාකොබ් 3:2) එමනිසා, ස්වාභාවික ගබ්සාවක් අත්විඳ ඇති දැනුම් තේරුම් ඇති කාන්තාවන් අන් අය හොඳ චේතනාවෙන් වුවද හිතා බැලීමකින් තොරව කියන හිත පෑරෙන වචන නිසා උරණ නොවී ඔවුන් කෙරෙහි ක්‍රිස්තියානි ප්‍රේමය පෙන්වීමට වෑයම් කළ යුතුයි.—කොලොස්සි 3:13.

[පාදසටහන]

c නවසීලන්තයේ වෙලිංටන්හි ස්වාභාවික ගබ්සා වීම්වලට මුහුණ දෙන අයට උපකාර කරන කණ්ඩායමක් මගින් නිකුත් කළ ස්වාභාවික ගබ්සා වීමක් දරාගැනීම සඳහා උපදෙස් නමැති පොත ආශ්‍රයෙනි (සිංහලෙන් නැත).