Skip to content

පටුනට යන්න

මවක් වීමේ අභියෝගයට මුහුණ දීම

මවක් වීමේ අභියෝගයට මුහුණ දීම

මවක් වීමේ අභියෝගයට මුහුණ දීම

දරුවන්ගෙන් මතු පරම්පරාව නියෝජනය කෙරේ නම්, ඔවුන්ව උස් මහත් කරන මව්වරුන්ට ගෞරවය, සැලකිල්ල හා සහයෝගය දැක්වීම වටී. නවීන ලෝකය මාතෘත්වය පිළිබඳව විවිධ මත දැරුවත් දරුවන් දෙවිගෙන් ලද ආශීර්වාදයක් බවත් දෙමව්පියන්ට සන්තෝෂය අත් කර දීමට දරුවන්ට හැකි බවත් බයිබලයේ සහතික වෙනවා. (ගීතාවලිය 127:3-5) එහෙත් ශුද්ධ ලියවිලිවල මාතෘත්වය පිළිබඳව යථාර්ථවාදී නොවන පින්තූරයක් දෙන්නේ නැහැ. ඒ හා බැඳි අභියෝග රැසක් ගැන බයිබලයේ වාර්තා කර තිබෙනවා.

දෙමව්පියන් තම දරුවන් හදා වඩා ගැනීම මෙන්ම මාතෘත්වය හා සම්බන්ධව ගන්නා තීරණ දරුවාගේ ජීවිතය මතත් ඔහුගේ පෞද්ගලිකත්වය හැඩගැසීම මතත් විශාල මෙන්ම කල්පවතින බලපෑමක් ඇති කරනවා. මෙම තීරණ මගින් දෙමව්පියන්ගේ ජීවන රටාවේ විශාල වෙනස්කම් ඇති කළ හැකි නිසා ඒවා හදිසියේ නොගත යුතුයි. මීට ඇතුළත් වන ප්‍රශ්න කිහිපයක් වන්නේ මේවායි: මව නිවසින් පිට රැකියාවක් කළ යුතුමද? එසේ නම්, ඒ සඳහා කොතරම් කාලයක් වැය කළ යුතුද? මව නිවසේ නැති අතරතුරේදී දරුවන්ව බලාගන්නේ කවුද? කොහොම නමුත් අවසානයේදී, දෙමව්පියන් තම දරුවන්ට උපරිම යහපතක් අත් කර දෙන හා දෙවිගේ ඇස් ඉදිරියේ හරියයි සලකන ක්‍රියා මාර්ගයක් ගත යුතුයි.

එහෙත් නැණවත් තීරණ ගැනීමේ අභියෝගයට තමන් තනියෙන් මුහුණ දිය යුතුයයි මව්වරුන් නොසිතිය යුතුයි. ඔවුන්ට යෙසායා 40:11හි වදන් තුළින් මහත් සැනසීමක් ලබාගත හැකියි. දෙවි කිරි දරුවන් ඇති මව්වරුන් ගැන විශේෂ උනන්දුවක් දක්වන අතර ඔහු ‘මහත් සැලකිල්ලෙන් [ඔවුන්ට] මඟ පෙන්වන [NW]’ බව එහි සඳහන් වෙනවා. දෙවි ඔවුන් කෙරෙහි දක්වන මෙම දැඩි උනන්දුව විදහාපෙන්වන එක් මාර්ගයක් වන්නේ මවකට ප්‍රීතිය හා සාර්ථකත්වය අත් කර දිය හැකි මඟ පෙන්වීම් රැසක් බයිබලය තුළින් ලබා දීමෙනුයි.

සාධාරණ වන්න: ක්‍රිස්තියානියෙක් තම සාධාරණකම සියල්ලන්ට පෙනෙන්න සැලැස්විය යුතුයි. (පිලිප්පි 4:5, NW) මෙම ප්‍රතිපත්තිය අදාළ කරගැනීමේ වැදගත්කම ලේඛිකාවක් මෙන්ම මවක් වන ජැනට් පෙන්ලි ඉගෙනගත්තා. “මම අම්මා කෙනෙක් වෙච්ච අලුත මට ලොකු ලොකු බලාපොරොත්තු තිබුණා. මං අනිත් හැම කෙනෙකුටම වඩා හොඳ අම්මා කෙනෙක් වෙන්නයි කල්පනා කළේ. මං ඒ ගැන තිබුණ හැම පොතක්ම වගේ කියෙව්වා. ප්‍රවීණයන්ගේ අදහස්වලට ඇහුම්කන් දුන්නා. හැබැයි අන්තිමට මං සාර්ථක, දක්ෂ අම්මා කෙනෙක් කියලා හැඟෙනවා වෙනුවට මට මං ගැනම කලකිරීමක් ඇති වුණා. මං මගේ වගකීම හරියට ඉටු කරන්නේ නැහැයි කියලා හැඟුණ හින්දා මගේ මනසට ලොකු පීඩනයක් දැනුණා” කියා ඇය පවසනවා. “අනිත් අයගේ අපේක්ෂාවන් ඉටු කරන්න හදද්දී හා ‘සර්ව සම්පූර්ණ මවක්’ වෙන්න හදද්දී ඕනෑවට වඩා වෙහෙසට පත් වී අපේ ප්‍රීතිය, උද්‍යෝගය නැති වී යන්න පුළුවන්. දේවල් ගැන අනවශ්‍ය ලෙස කරදර වෙනකොට වරද සහිතබවේ හැඟීම් ඇති වෙන්නත් ඉඩ තියෙනවා.”

ජීවිතය සරල කරගන්න: “මෙම කාර්යබහුල වියරු වැටුණු ලෝකය දරුවන්ගේ ළමා වියේ අද්දැකීම් මෙන්ම පවුල් ජීවිතයේ ප්‍රීතියද සොරාගන්නවා” කියා නිව්ස්වීක් සඟරාවේ අදහස් දක්වා තිබුණා. බොහෝ මව්වරුන් වඩා සරල ජීවිතයක් ගැන සිහින මවන්නේ ඒ නිසයි. ඔබට මෙය ඉටු කළ හැක්කේ කෙසේද? ප්‍රථමයෙන්, ඔබේ ප්‍රමුඛතාවන් මොනවාද කියා නිශ්චය කරගනිමින් දරුවන්ට අවශ්‍ය කාලය හා පෞද්ගලික සැලකිල්ල ඇතුළු “වඩා වැදගත් දේවලට” අවධානය යොමු කරන්න. (පිලිප්පි 1:10, 11, NW) දෙවනුව, ඔබේ ජීවන රටාව කිරා මැන බලන්න. එසේ කිරීමේදී අත්‍යවශ්‍ය නොවන ක්‍රියාකාරකම් හා ඔබට අයිති සමහර දේවල් පසෙක දමන්න සිදු වන බව ඔබට පෙනී යා හැකියි.

ඔබේ ජීවිතයේ වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද? ඔබට අවශ්‍ය වන්නේ සෑම දෙයක්ම එක විටම ලබාගන්නද? ඒ වෙනුවට සෑම ඉලක්කයක්ම එකවර අත් කරගන්න වෑයම් නොකර ඉලක්ක කිහිපයක් විතරක් ලුහුබඳින්න පුළුවන්ද? සීමිත ආදායමක් ඇති මවක් වන කැරලින් මුදල් පාලනය කරන අන්දම මෙසේ විස්තර කරනවා. “මං ජීවිතය පුළුවන් තරම් සරල කරගන්නවා. සල්ලි වියදම් කරන්නෙත් පුළුවන් තරම් අඩුවෙන්.” දරුවන් තුන්දෙනෙක් සිටින මවක් වන ග්ලෝරියා මෙසේ සිහිපත් කරනවා. “අපිට ලොකු ලොකු සාප්පුවලින් අලුත්ම විලාසිතාවේ ඇඳුම් ගන්න සල්ලි තිබ්බේ නෑ. හැබැයි මං ළමයින්ට ඇඳුම් මහලා දුන්නා. වෙන කාටවත් ඒ වගේ ඇඳුම් තිබ්බේ නැති හින්දා ඒගොල්ලන්ගේ ඇඳුම් හරිම විශේෂයි කියලා මම ළමයින්ට කිව්වා.”

දේවවචනයේ කියන්නේ “විචාර බුද්ධිය රක්ෂා කරන්නාට යහපත අත් වේ” කියායි. (හිතෝපදේශ 19:8, NW) ඇත්තෙන්ම මව්වරුන්ගේ හා දරුවන්ගේ කාලය කා දමන නිමක් නොමැති විනෝදාංශ, නොයෙක් බඩු මුට්ටු, මෙවලම් හා ප්‍රවණතාවන් අතර තෝරා බේරීමක් කිරීම සඳහා විචාර බුද්ධිය අවශ්‍යයි. දකුණු අප්‍රිකාවේ මවක් වන ජූඩිත් පවසන්නේ “වැල නොකැඩී එන අලුත් නිෂ්පාදනවලින්, දියුණු තාක්ෂණයෙන් හා වෙනත් සේවාවන් රැසකින් අපේ ජීවිතවලට නිතරම වාගේ බලපෑම් එල්ල වෙනවා” කියායි. ජර්මනියේ වෙසෙන දරුවන් සතරදෙනෙකුගේ මවක් වන ඇන්ජලා මෙම අභියෝගයට මුහුණ දෙන ආකාරය සලකා බලන්න. “ඔබට අත්‍යවශ්‍ය හා ප්‍රයෝජනවත් වන්නේ මොකක්ද කියා තීරණය කරන්න ඕනේ. දරුවන්ටත් එවැනි තේරීමක් කරන්න උගන්වන්න.”

කළ හැකි වෙනස්කම් කරන්න: “ස්ථානෝචිත ප්‍රඥාව හා නිවැරදි විනිශ්චය භාවිත කරන්න” යයි බයිබලය අවවාද කරනවා. (හිතෝපදේශ 3:21, Contemporary English Version) ඔබ නිවසින් පිට රැකියාවක් කරනවා නම්, පවුලේ ඕනෑ එපාකම් සඳහා ඔබේ පුරුෂයාගේ ආදායම පමණක් ප්‍රමාණවත්ද කියා සලකා බලා තිබෙනවාද? මෙම ප්‍රශ්නයට පිළිතුරු ලබාගැනීම සඳහා අයබදු, දරුවන්ගේ අවශ්‍යතාවන්, ගමනාගමනය, ඇඳුම් පැළඳුම්, නිවසින් පිට ගන්නා ආහාර හා අමතර වියදම් සඳහා වැය වන මුදල ඔබ දෙදෙනාගේ මුළු වැටුපෙන් අඩු කළ පසු කොතරම් මුදලක් ඉතිරි වෙනවාද කියා ගණන් කර බලන්න. ඒ වගේම ඔබේ පුරුෂයාගේ හා ඔබේ ආදායම්වල එකතුව නිසා ඔබ ඉහළ ආදායම් කාණ්ඩයට වැටුණොත් ඔබෙන් අය කරන බදු ප්‍රමාණයත් වැඩි විය හැකියි. මේ සියල්ල සලකා බැලීමෙන් පසු ඉතිරි වී ඇත්තේ කොතරම් සුළු මුදලක්ද කියා දැනගැනීමෙන් ඔබ පුදුමයට පත් විය හැකියි.

සමහර අය සුළු පැය ගණනක් වැඩ කිරීමට, නැත්නම් නිවස ආශ්‍රිතව රැකියාවක් කිරීමට තීරණය කරනවා. මෙයින් අඩු ආදායමක් ලැබුණත් දරුවන් සමඟ වැඩි කාලයක් ගත කිරීමට පුළුවන්. ඔබේ රැකියාව නතර කිරීමට තීරණය කළොත් සහ ඔබ රැකියාවක් කරමින් සිටියේ ආත්ම ගරුත්වය හා පෞද්ගලික තෘප්තිය වර්ධනය කරගන්න නම් නිවස තුළදීම මෙම වටිනා හැඟීම් පවත්වාගත හැක්කේ කෙසේද කියා සිතා බලන්න.

උපකාරය ඉල්ලන්න: ‘උපකාරය පතා කරන කන්නලව්වකින් ’ ප්‍රතිඵල අත් විය හැකි බව බයිබලයේ කිහිප වතාවක්ම සඳහන් වෙනවා. (නික්මයාම 2:23, 24; ගීතාවලිය 34:15, NW) මවක් උපකාරය ඉල්ලන විට ඇයට උපකාරය දෙන්න පුරුෂයා ඉදිරිපත් විය යුතුයි. පුරුෂයා ඔබ සමඟ සහයෝගයෙන් වැඩ කරන විට ගෙදර දොරේ වැඩ කටයුතු හවුලේ බෙදාගැනීමට ඔබට සැලසුම් යොදන්න පුළුවන්. මෙමගින් දරුවන්ට ඔබේ කාලය දීම වැනි ඔබ දෙදෙනාගේ ඉලක්ක අත් කරගැනීමට වැඩි කාල වේලාවක් තිබිය හැකියි. හැකි නම්, තමා හා සමාන ඉලක්ක ඇති මෙන්ම තමා උනන්දු වන දේවල් ගැන උනන්දු වන පවුල් සාමාජිකයන්ගෙන් හා හිතමිතුරන්ගෙන් මව උපකාර පැතිය යුතුයි.

බොහෝ මව්වරුන් ක්‍රිස්තියානි සභාවට පැමිණෙන සෙසු නමස්කාරකයන්ගෙන් වටිනා උපකාර ලබනවා. “සභාවේ අය එක්ක කිට්ටු ඇසුරක් පැවැත්වීම, දෙවි අපට ප්‍රේමය හා දයානුකම්පාව පෙන්වන හා ඔහු අපි ගැන සලකන බව පෙන්වන” එක් මාර්ගයක් බව දරුවන් තුන්දෙනෙකුගේ මවක් වන මරියාට වැටහී ගියා.

විවේකය සඳහා කාලය වෙන් කරගන්න: පරිපූර්ණ මෙන්ම ශක්තියෙන් පිරිපුන් මිනිසෙක්ව සිටි යේසුස් පවා තම ගෝලයන්ට “වනාන්තර ස්ථානයකට ඇවිත් ටිකක් පහසු ගන්න” කියා ආරාධනා කළා. (මාර්ක් 6:30-32) මවක් හැටියට ඔබේ සාර්ථකත්වය රඳා පවතින්නේ පවුලේ වැඩ කටයුතු සඳහා ඔබේ කාලය, ශ්‍රමය හා අවධානය වැඩියෙන් අවශ්‍ය වන කාලවලදී සමබරව කටයුතු කිරීමට ඔබට හැකිවීම මතයි. ඔබේ දරුවන්ට ඔබව අවශ්‍ය බව ඇත්තයි. හැබැයි ඔබ සතුටින් හා තෘප්තිමත්ව සිටිනවා දකින්නත් ඔවුන්ට අවශ්‍ය බව අමතක නොකරන්න. ඔබට සාධාරණ ප්‍රමාණයකට විවේකය අවශ්‍යයි.

මෙම ලිපියේ කලින් සඳහන් කළ ඇන්ජලා විවේකය සඳහා සැලසුම් යොදා තිබෙනවා. “මම උදේට පැය භාගයකට විතර මටම කියලා නිස්කලංකව ඉන්න පුළුවන් කාලයක් වෙන් කරගෙන තියෙනවා. ඒ වගේම සතියකට දවසක් නැත්නම් දෙකක් හැන්දෑ වරුවේ මමයි මගේ මහත්තයයි විතරක් එකට කාලය ගත කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ වෙලාවට අපේ ළමයි ගේ ඇතුලේ අපිට පේන්නේ නැති තැනකට ගිහින් නිශ්ශබ්දව මොකක් හරි වැඩක් කරන්න ඕනේ. ඒ හින්දා අපි දෙන්නට පැයක් විතර තනියෙන් ඉන්න පුළුවන්.”

ආත්මික දේවලට මුල් තැන දෙන්න: මාතෘත්වයේ අභියෝග වැඩි වන්නේ මවක් වීමේ අරමුණ අමතක වන විට හා ප්‍රමුඛත්වයන් නොමැති විටයි කියා පවසා තිබෙනවා. ක්‍රිස්තියානි පවුල් සන්තෝෂය අද්දකින්නේ දෙවිගේ කැමැත්ත තම ජීවිතයේ මුල් තැනට තබමින් එකිනෙකා සමඟ සහයෝගයෙන් වැඩ කරන විටයි. ප්‍රේරිත පාවුල් ලීවේ “භක්තිවන්තකමට [දේවභක්තියට, NW] දැන් තිබෙන ජීවිතය ගැනත් මතු ජීවිතය ගැනත් පොරොන්දු තිබෙන බැවින් එය හැම දේටම ප්‍රයෝජනවත්” කියායි. (1 තිමෝති 4:8) දේවභක්තිය ක්‍රියාවට නංවන හා බයිබලයේ සඳහන් දෙවිගේ මඟ පෙන්වීම අනුව ජීවත් වන පවුල් සන්තෝෂය අද්දකින බව නිසැකයි. පවුලේ කිසිවෙක් බයිබල් ප්‍රතිපත්ති අදාළ කර නොගන්නවාට වඩා එක් සාමාජිකයෙක් හෝ බයිබල් ප්‍රතිපත්ති අදාළ කරන්නා විට පවුලේ වාතාවරණය හොඳ අතට හැරෙනවා.

පූර්ණ කාලීන රැකියාවක් කරන ක්‍රිස්තියානි මවක් වන ඇඩෙල් ආත්මික මනසක් ඇතුව සිටීමේ ප්‍රයෝජන අද්දැක තිබෙනවා. “අපේ දරුවන් අද්දකින ගැටලු පිළිබඳවත් ඔවුන්ට උපකාර කළ හැකි ආකාරය පිළිබඳවත් අපිට අධ්‍යාපනයක් සපයන බයිබලය මත පදනම් ප්‍රකාශනවල, මඟ පෙන්වීම් හා තොරතුරු රැසක් සොයාගන්න පුළුවන්. දරුවන්ට දෙන ආත්මික පෝෂණයට ඔවුන් නිසි ප්‍රතිචාරයක් දක්වන විට දරන වෑයම ඇත්තෙන්ම වටිනවා කියලා හැඟෙනවා. ඔවුන්ගේ හැසිරීම හා කල්පනා කරන විදිහ සුළුවෙන් හරි හොඳ අතට හැරෙනවා දකිද්දී ඒ තොරතුරු හා මඟ පෙන්වීම් ඔවුන් තේරුම්ගන්නවා කියලත් අපේ වෑයම් ඇත්තෙන්ම සාර්ථකයි කියලත් වැටහෙනවා.” a

ඔව්, කඩුලු පැනීමේ තරඟයක් වැනි වූ මාතෘත්වයට සාර්ථකව මුහුණ දිය හැකියි. දෙවි කෙරෙහි විශ්වාසය තබන, කඩිසර මෙන්ම ආත්ම පරිත්‍යාගශීලී මව්වරුන් දරන වෑයම් අපතේ නොයන බවට දෙවිම සැනසිලිදායක සහතිකයක් සපයනවා. දෙවි සමඟ පෞද්ගලික සම්බන්ධයක් වර්ධනය කරගන්නා මව්වරුන්ට, ‘ක්ලාන්ත වූ අයට ශක්තිය දෙන’ බවට වූ ඔහුගේ පොරොන්දුව තුළින් සහනයක් මෙන්ම සැනසීමක් ලබාගත හැකියි.—යෙසායා 40:29.

[පාදසටහන]

a යෙහෝවාගේ සාක්ෂිකරුවන් දරුවන් පුහුණු කිරීම සම්බන්ධව බයිබලය මත පදනම් වූ ප්‍රකාශන රැසක් ප්‍රකාශයට පත් කර ඇත. මගේ බයිබල් කතන්දර පොත, යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු සහ පවුලේ සන්තෝෂයට රහස මේ අතර වේ.

[20වන පිටුවේ කොටුව]

මවකගේ බලපෑම

ඔබ මවක් නම් ඔබේ දරුවාගේ ජීවිතය මත ඔබ කොයිතරම් බලපෑමක් ඇති කරනවාද කියා කල්පනා කරනවා ඇති. සමහරවිට සම වයසේ මිතුරන්, ගුරුවරුන්, විනෝදාංශවලින්, වීඩියෝ ක්‍රීඩාවලින් හා සංගීතයෙන් ඊට වඩා ප්‍රබල බලපෑමක් ඇති කරනවා කියා ඔබට හැඟෙන්න පුළුවන්.

මෝසෙස්ගේ මව වූ යොඛෙබෙද්ගේ ආදර්ශය ගැන මොහොතකට සිතන්න. ඇය ජීවත් වූයේ ඉතා දුෂ්කර කාලයකදීයි. ඒ වගේම ඇගේ පුතාව ඇති දැඩි කිරීමේදී ඇයට කළ හැකිව තිබූ දේ සීමා වුණා. එහෙත් ඇයට තිබූ ප්‍රස්තාවලින් ඇය උපරිම ප්‍රයෝජන අරගෙන ඔහුට මඟ පෙන්වීම් සැපයුවා. ප්‍රථමයෙන්, මෝසෙස්ව විනාශ කිරීම වැළැක්වීම මගින් ඇය නිර්භීත ලෙස ඇදහිල්ල ප්‍රකාශ කළා. ළදරුවාගේ ජීවිතය ආරක්ෂා කිරීමෙන් පමණක් නොව, යොඛෙබෙද්ට ඔහුගේ කිරි මව ලෙස ක්‍රියා කිරීමට ඉඩ දීමෙන්ද දෙවි ඇගේ ඇදහිල්ලට ආශීර්වාද කළා.—නික්මයාම 1:15, 16; 2:1-10.

යොඛෙබෙද් ඇගේ පුතාගේ පෞද්ගලිකත්වය හැඩගැස්වීම සඳහා බොහෝ සේ දායක වුණ බව පැහැදිලියි. මෝසෙස් වැඩිහිටියෙක්ව සිටියදී මිසරයේ රජ පවුලට අයත් වුණත් ඔහු හෙබ්‍රෙව්වරුන්ව සැලකුවේ ඔහුගේම සහෝදරයන් වශයෙන්. ඒ වගේම ඔවුන්ගේ දෙවිව සැලකුවේ ඔහුගේ දෙවි ලෙසයි. මින් පැහැදිලි වන්නේ වැඩෙන වයසේදී ඔහුගේ දෙමව්පියන් ඔහු මත විශාල බලපෑමක් ඇති කළ බවයි.—හෙබ්‍රෙව් 11:24-26.

මවක් වශයෙන් ඔබට දරුවන් මත බලපෑමක් ඇති කරන්න යොඛෙබෙද්ට වඩා ප්‍රස්තා තිබෙන්න පුළුවන්. ඔබ ඉතා කෙටි කාලයක් පවතින ඔබේ දරුවාගේ ළපටි වයසේදීම සදාකාලික ප්‍රයෝජන අත් කර දෙන දේව ප්‍රතිපත්ති ඉගැන්වීමට වෑයම් කරනවාද? එහෙමත් නැත්නම්, වර්තමානයේ පවතින සංස්කෘතියේ ජනප්‍රිය සිරිත් විරිත්, විශ්වාසයන් හා හැසිරීම් රටාවට ඔබේ දරුවා මත දැඩි ලෙස බලපෑම් කිරීමට ඔබ ඉඩ දෙනවාද?

[20වන පිටුවේ පින්තූර]

ගෙදර දොරේ වැඩ කටයුතුවලට අනිත් අයව හවුල් කරගන්න. තනියෙන් සිටීමට කාලය වෙන් කරගන්න. ආත්මික දේවලට මුල් තැන දෙන්න