Skip to content

පටුනට යන්න

මව්වරුන්ගේ දහසකුත් වැඩ

මව්වරුන්ගේ දහසකුත් වැඩ

මව්වරුන්ගේ දහසකුත් වැඩ

පෙ.ව. 4:50. නිදිමරගාතේ අඬමින් පුංචි ඇලෙක්ස් තම අම්මා වන හෙලන්ගේ ඇඳට නඟින්න හදනවා. අනිත් දරුවෝ දෙන්නා වන පෙනි (5) හා ජොඇනා (12) මෙන්ම ඔවුන්ගේ තාත්තා වන නික් නිදාගෙනයි ඉන්නේ. හෙලන් ඇලෙක්ස්ව ඇඳ උඩට ගන්නවා. ඊට පස්සේ ඔහුව තුරුල් කරගෙන ඇගේ කිරි දෙනවා. ඇයට ආයෙත් නම් නින්ද යන්නේ නැහැ.

පෙ.ව. 5:45. හෙලන් හීන් සැරේ කුස්සියට ගිහින් කෝපි එකක් හදාගෙන පොතක් කියවන්න පටන්ගන්නවා.

පෙ.ව. 6:15–7:20. නික්ට ඇහැරෙනවා. හෙලන් පෙනිවයි ජොඇනාවයි කූද්දලා, උදේ කෑම එක හදන්න යනවා. ඊට පස්සේ කරන්නේ ගෙදර අස් පස් කරන එකයි. පෙ.ව. 7:15ට නික් ගෙදරින් පිටත් වන අතර වැඩට යන ගමන් ජොඇනාව ඉස්කෝලේට ගිහින් දානවා. ඒ අතරතුර හෙලන්ගේ අම්මා එනවා ඇලෙක්ස්ව බලාගන්න.

පෙ.ව. 7:30. හෙලන් පෙනිව මොන්ටිසෝරියට ගෙනියනවා. වැඩපොළට යන අතරතුර හෙලන්ට අවස්ථාවක් ලැබෙනවා මවකගේ වගකීම් ගැන යථාර්ථවාදීව කල්පනා කරන්න. “මගේ ජීවිතයේ මට ලැබිලා තියෙන අමාරුම වැඩේ මේකයි” කියා ඇය තමාටම කියාගන්නවා.

පෙ.ව. 8:10. හෙලන්ගේ ලියන මේසය මත වැඩ කන්දරාවක් ගොඩ ගැසී තිබෙනවා. ඇය කල්පනා කර කර ඉන්නේ තවත් බබෙක් හම්බ වුණොත් නම් රැකියාවෙන් අයින් වෙන්න වේවි කියලයි. හැබැයි පවුලට අමතර ආදායමකුත් නැතුව බැහැ.

පෙ.ව. 10:43. හෙලන් දුරකථනයේ රිසීවරය තියනවා. ඇය කතා කරමින් සිටියේ ඇගේ දරුවන් ගැනයි. වැඩපොළේ සේවිකාවක් වන නැන්සි “ඔයා කොච්චර හොඳ අම්මා කෙනෙක්ද!” කියා පවසමින් ඇයව සනසනවා. හෙලන්ගේ කම්මුල් දිගේ කඳුළු ගලන්න පටන්ගන්නවා.

ප.ව. 12:05. හෙලන් හදිසියෙන් වාගේ පාන් පෙත්තක් කකා ඇගේ පළමු දූ ඉපදුණ කාලය ගැන කල්පනා කරනවා. “විවේක” කාලය තුළදී කරන්න ඕන දේවල් සඳහා ඇය ඒ කාලයේ එක එක සැලසුම් යොදලා තිබුණා. ‘හැබැයි කවදාවත් ඒ වගේ දේවල් නම් කරන්න හම්බ වුණේ නෑ’ කියලා ඇයට හිතෙනවා.

ප.ව. 3:10. ඇලෙක්ස්ගේ දඟකාර වැඩ ගැන හෙලන්ට ගෙදරින් දුරකථන ඇමතුම් කිහිපයක් ලැබෙනවා. ඊට පස්සේ ඇගේ දරුවන් සමඟ ඇයට තිබෙන කිට්ටු බැඳීම ගැන හෙලන් විස්තර කරන්නේ මෙහෙමයි. “මං මගේ ළමයින්ට තරම් වෙන කිසිම කෙනෙකුට ආදරය කරලා නැහැ.” මුලදී මතු වූ අනපේක්ෂිත ගැටලුවලට සාර්ථකව මුහුණ දෙන්න ඇයට උදව් කළේ දරුවන් සඳහා තිබෙන එම ගැඹුරු ආදරයයි.

ප.ව. 5:10. හෙලන් ජොඇනාව ඉස්කෝලේ ඉඳන් ගෙදර එක්කගෙන යන අතරතුර අමතර වැඩ වගයක් කරගැනීම සඳහා එහෙ මෙහෙ යනවා. නික්ට දුරකථනයෙන් කතා කර ඔහුට මතක් කරනවා පෙනිව ගෙදර එක්කගෙන එන්න කියලා.

ප.ව. 6:00–7:30. හෙලන් ගෙදර ගිහින් පුංචි ඇලෙක්ස්ව බලාගනිමින් සිටි ආච්චිව නිදහස් කරනවා. ගෙදර දොරේ වැඩ ටිකක් කරලා ඇය රෑ කෑම හදන්න පටන්ගන්නවා. කුඩා දරුවෙකුගේ ඕනෑ එපාකම් ගැන ඇගෙන් ප්‍රශ්න කළ විට හෙලන් පිළිතුරු දෙන්නේ මෙහෙමයි. “චූටි බබෙක් අම්මාව සම්පූර්ණයෙන්ම අයිති කරගන්නවා. එයාගේ ඇඟ, අත් හා කිරි විතරක් නෙමෙයි, එයාගේ නින්ද වුණත් සොරාගන්නවා.”

ප.ව. 8:30–10:00. හෙලන් ඇලෙක්ස්ට කිරි දෙන ගමන් ජොඇනාට ඉස්කෝලේ වැඩ ටිකක් කරන්න උදව් වෙනවා. නික් කතන්දර පොතක් අරගෙන පැය භාගයක් විතර පෙනිට ඇහෙන්න කියවනවා. ඒ අතරතුරේ තමයි හෙලන් ඉතිරි වී ඇති ගෙදර වැඩ ටික කරගන්නේ.

ප.ව. 11:15. පෙනිටයි ජොඇනාටයි නින්ද ගිහින්. පුංචි ඇලෙක්ස් අම්මාගේ තුරුලට වෙලා තවමත් ඉන්නේ ඇහැරගෙනයි. හැබැයි ටික වේලාවකට පස්සේ ඔහුත් නිදි. “දැන් නම් බබාට නින්ද ගිහින්” කියා හෙලන් නිදි කිරා වැටෙන නික්ට පවසනවා.