Skip to content

පටුනට යන්න

හිරු රැසින් නැහැවුණු දිනයන් කැන්දයි රාත්‍රි සුවබර නින්දක්

හිරු රැසින් නැහැවුණු දිනයන් කැන්දයි රාත්‍රි සුවබර නින්දක්

හිරු රැසින් නැහැවුණු දිනයන් කැන්දයි රාත්‍රි සුවබර නින්දක්

ඔබට නිදාගැනීමේ දුෂ්කරතාවක් තිබෙනවාද? විශේෂයෙන්ම ඔබ වයෝවෘද්ධ අයෙක් නම් ඔබේ ගැටලුව දහවල් කාලයේදී දීප්තිමත් ආලෝකයට නිසි අයුරින් නිරාවරණය නොවීම විය හැකියි. නින්ද නොයෑමේ රෝගය සඳහා සාත්තු නිවාසයක නේවාසිකව ප්‍රතිකාර ගන්නා කණ්ඩායමක් පිළිබඳව ජපානයේ පර්යේෂකයන් පිරිසක් මෑතකදී අධ්‍යයනයක් කළෝය. නේවාසිකයන්ගේ නින්ද යෑමේ ඌනතාව හා දෛනිකව ඔවුන් එළිමහනේ ආලෝකයට නිරාවරණය නොවීම අතර සම්බන්ධයක් ඇති බව එහිදී ඔවුන් විසින් සොයාගනු ලැබීය. ඒ සමඟම, ලේ පරීක්ෂණවලින් හෙළි වූයේ මෙම වයෝවෘද්ධ නේවාසිකයන්ගේ මෙලටෝනින් හෝමෝනයද පහළ මට්ටමක ඇති බවයි.

මෙලටෝනින් ස්‍රාවය වන්නේ මොළයේ කේතු දේහ (pineal gland) නම් ග්‍රන්ථියෙනි. එක් සඟරාවක (The Journal of Clinical Endocrinology & Metabolism) මෙසේ වාර්තා කර තිබුණි. සාමාන්‍යයෙන් සිරුරේ මෙලටෝනින් ස්‍රාවය වීමේ දෛනික රටාව ගත් කල, එහි මට්ටම “රාත්‍රි කාලයේදී ඉහළ නඟින අතර, දිවා කාලයේදී ඉතා පහළ මට්ටමක පවතී.” කෙසේ නමුත්, වයෝවෘද්ධ අයෙක් දහවල් කාලයේදී ආලෝකයට ප්‍රමාණවත් අයුරින් නිරාවරණය නොවන විට රුධිරයේ මෙලටෝනින් මට්ටම පහත බසී. මෙසේ ආලෝකය නිසි ලෙස නොලැබී යෑම නිසා රාත්‍රිය සහ දවාල අතර පවතින වෙනස හරි හැටි හඳුනාගැනීමට සිරුරට නොහැකි වේ. මේ අනුව පර්යේෂකයන් පවසා සිටින්නේ රාත්‍රී නින්ද කෙරෙහි මෙය බෙහෙවින් බලපාන බවය.

නින්ද නොයෑමේ රෝගයෙන් පෙළෙන වයෝවෘද්ධ පුද්ගලයන්ව සති හතරක් තිස්සේ දවසේ මැද භාගයට ආසන්න වේලාවකදී (පෙරවරු දහයේ සිට මධ්‍යාහ්නය දක්වා සහ පස්වරු දෙකේ සිට හතර දක්වා) පැය හතරක කාලයක් පුරා දීප්තිමත් කෘත්‍රිම ආලෝකයට නිරාවරණය කර තබන ලදි. එවිට ඔවුන්ගේ මෙලටෝනින් ස්‍රාවය වීමේ මට්ටම “පරීක්ෂණයට භාජන කළ කණ්ඩායමට අයත් යෞවනයන්ගේ මෙලටෝනින් මට්ටමට සමාන වූ බව” වාර්තා වේ. a ඒ සමඟම, ඔවුන්ගේ නින්ද යෑමේ ප්‍රවණතාවද ඉහළ ගියේය.

මෙම සොයාගැනීම්වලට අනුව පර්යේෂකයන් දැන් මෙසේ පිළිගෙන තිබේ. එනම් “දිවා කාලයේදී බොහෝ දුරට කාමරවලට සීමා වී සිටින වයෝවෘද්ධ අය, විශේෂයෙන්ම නින්ද නොයෑමේ රෝගයෙන් පෙළෙන අය ලබන ආලෝකය ප්‍රමාණවත් නොවන බවය. මෙය ඔවුන්ට කෙසේ බලපානවාද කියනවා නම්, රාත්‍රියේ සුවබර නින්දක් ලබාගැනීමට හැකි වන පරිද්දෙන්, ඔවුන්ගේ සිරුරේ අභ්‍යන්තර ක්‍රියාවලියට සකස් විය නොහැක. [මෙහි කතා කරන්නේ දිවා රාත්‍රිය තීරණය කිරීමට සිරුරට ඇති හැකියාව බොඳවීම ගැනයි].” ඇතැම් වයස්ගත පුද්ගලයන් නිදාගැනීමේ ආධාරයක් ලෙස මෙලටෝනින් අතිරේකව ගැනීම සම්බන්ධයෙන්ද වාර්තාව මෙසේ අදහස් දක්වයි. “දිගු කාලීනව මෙලටෝනින් භාවිත කිරීම නිසා ඇති වන අතුරු ආබාධ සුළු කොට නොතැකිය යුතුය. එමනිසා දිවා ආලෝකයට නිරාවරණය වීම මෙලටෝනින් ස්‍රාවය වීමේ ඌනතාවෙන් පසුවන නින්ද නොයෑමේ රෝගයෙන් පෙළෙන වයස්ගත වූවන් [EIs] සඳහා ලබා දිය හැකි වඩා යෝග්‍ය, ප්‍රබල, සුරක්ෂිත හා තමන් විසින්ම සලසාගත හැකි චිකිත්සක ක්‍රමය ලෙස හැඳින්විය හැක.”

ඉඳින්, ඔබ දවසේ වැඩි වේලාවක් ඇතුල් කාමර තුළ සිටී නම් හා නින්ද නොයෑමේ රෝගයෙන් පෙළේ නම් වැඩි වේලාවක් එළිපහලියේ ගැවසීමට යත්න දරන්න. නැත්නම් අඩුම තරමින් දහවල් කාලය තුළදී ඔබේ නිවස තුළට හැකි තාක් දුරට හිරු එළිය වැටීමට සලස්වන්න. එසේම රාත්‍රි භාගයේදී ඔබේ නිදන කාමර තුළ අන්ධකාර තත්වයක් තබාගන්න. එවිට ඔබම සොයාගනීවි දීප්තිමත් දිනයන් සුවබර නින්දක් කැඳවන බව.

[පාදසටහන]

a මෙම අධ්‍යයනයට කණ්ඩායම් දෙකක් ඇතුළත් වුණි. එක් කණ්ඩායමකට තරුණයන් දසදෙනෙක් ඇතුළත් වූහ. අනික් කණ්ඩායමට ඇතුළත් වූයේ නින්ද නොයෑමේ රෝගයෙන් පෙළුණු වයෝවෘද්ධයන් සිටි සාත්තු නිවාසයේම නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටි සෞඛ්‍ය සම්පන්න වයෝවෘද්ධයන් දසදෙනෙකුය.