Skip to content

පටුනට යන්න

අප සැමටම පොදු වූ අවශ්‍යතාවක්

අප සැමටම පොදු වූ අවශ්‍යතාවක්

අප සැමටම පොදු වූ අවශ්‍යතාවක්

ඔබට ආහාර, ජලය හා වාතාශ්‍රය අවශ්‍යයි. කටුක කාලගුණ තත්වයන්ගෙන් යම් දුරකට ආරක්ෂාව ලබා දෙන හිසට සෙවණක්ද අවශ්‍යයි. මේවා සෑම මිනිසෙකුටම පමණක් නොව මිහිපිට වෙසෙන අසංඛ්‍යාත ගණන් ජීවීන්ටද නැතුවම බැරි දේවල්ය. කෙසේවෙතත්, මිනිසාට පමණක් ආවේණික වූ එක් අවශ්‍යතාවක් ඇත. ඒ කුමක්ද?

කැනේඩියානු ජාතික සමාජ විද්‍යාඥයෙකු වන රෙජිනල්ඩ් ඩබ්. බිබි ඒ සම්බන්ධයෙන් මෙසේ ලීවේය. “ආගමෙන් පමණක්ම සපුරාලිය හැකි අවශ්‍යතා මිනිසුන්ට ඇත.” තවද එක්තරා ජර්නලයක (American Sociological Review) 2000 පෙබරවාරි කලාපයේ පළ වූ ලිපියක මෙසේ සඳහන් විය. “අධ්‍යාත්මික කාරණා ගැන උනන්දු වීමට තිබෙන නැඹුරුවාව මිනිස් චින්තනය තුළ සදහටම රැඳී පවතියි කියා සිතිය හැකියි.”

මින් පැහැදිලි වන්නේ තමන්ට නමස්කාරයේ යෙදීම සඳහා අවශ්‍යතාවක් තිබෙන බව ඉතිහාසයේ ආරම්භයේ සිටම මිනිසාට දැනී ඇති බවය. සියවස් ගණනාවක් පුරා, එම අවශ්‍යතාව සපුරාගැනීමට බහුතරයක්ම හැරී ඇත්තේ සංවිධානාත්මක ආගම් වෙතටයි. එහෙත් දැන් නම් තත්වය වෙනස් වීගෙනයි යන්නේ. අද උතුරු අමෙරිකාව හා උතුරු යුරෝපය වැනි කාර්මික රටවල් බොහොමයක එන්න එන්නම වැඩි පිරිසක් තම පල්ලි අත්හැර දමති. මෙම ප්‍රවණතාව, ආගම අභාවයට යන බව සනිටුහන් කරන ලකුණක්ද? කිසිසේත් නැත.

“ආගම අභාවයට යෑම පිළිබඳව සඳහන් කරන වාර්තා ඒ ගැන පවසන්නේ ඇත්තටම අතිශයෝක්තියෙන්” බව ස්වීඩනයේ පුවත්පතක (Svenska Dagbladet) සඳහන් වේ. එසේනම්, දැන් සම්ප්‍රදායික පල්ලිවල තැන ගනු ඇත්තේ කුමක්ද? එම පුවත්පතේ තවදුරටත් විස්තර කරන්නේ මෙසේයි. “පල්ලියකට අයත් නොවීම යන්න දැන් අලුත්ම ප්‍රවණතාව වේ. දැන් අපට ජාත්‍යන්තර ආගම් සමුදායෙන් කැමති වත්පිළිවෙත්, ඉගැන්වීම් ආදිය තෝරාගෙන ඒ සෑම එකක්ම මුසු කරගත් අපටම ගැළපෙන නමස්කාර ක්‍රමයක් සකස් කරගන්න පුළුවන. . . . මෙයට සුව කිරීම සඳහා පළිඟු යොදාගැනීම මෙන්ම බුදු දහමට අනුව පැවිදි ජීවිතයකට පා තැබීමද ඇතුළත් කරගත හැකියි. ඔබ තෝරාගත් ක්‍රමය ඔබටම එපා වුණොත් එය පසෙක දමා වෙනත් ක්‍රමයක් සකස් කරගන්න ඔබට පූර්ණ නිදහස ඇත.”

ආගම් පිළිබඳව අධ්‍යයනය කරන සමාජ විද්‍යාඥයන් මෙම ප්‍රවණතාව හඳුන්වන්නේ “පෞද්ගලික ආගම්” නැතහොත් “අදෘශ්‍යමාන ආගම්” යනුවෙනි. ඉහත සඳහන් කළ සමාජ විද්‍යාඥ බිබි එය හඳුන්වා දීම සඳහා “තමන්ට රිසි පරිද්දෙන් සකස් කරගත් ආගම්” යන යෙදුම භාවිත කළේය. “තමන්ටම කියාපු” හෝ “පෞද්ගලික රුචිය අනුව සකස් කරගත්” ඇදහිලි ක්‍රම වශයෙන්ද එම ප්‍රවණතාව හඳුන්වන අය සිටිති. සම්ප්‍රදායානුකූල ක්‍රිස්තියානි පසුබිමක් ඇති සමහර රටවල පවා දැන් විශාලතම ආගමික කණ්ඩායම වී තිබෙන්නේ පෞද්ගලික ආගමක් සකස් කරගත් අයයි.

ලෝකයේ වැඩියෙන්ම ආගම දහමෙන් ඈත් වූ රටවලින් එකක් වන ස්වීඩනයේ කළ සමීක්ෂණයක ප්‍රතිඵල සලකා බලන්න. “නියම අර්ථයෙන් ක්‍රිස්තියානීන් නොවුවත් තමන්ගේ දෘෂ්ටි කෝණයෙන් බලන විට” තමන් ක්‍රිස්තියානියයි තුන්දෙනෙකුගෙන් දෙදෙනෙකුම සිතාගෙන සිටි බව එම සමීක්ෂණයෙන් හෙළි විය. තවත් සමහරුන් පැවසුවේ මෙලෙසයි. “ක්‍රිස්තියානි ධර්මය ගැන මට මගේ පෞද්ගලික මත තිබෙනවා,” “මට පල්ලි ගියාම අපහසුතාවක් දැනෙනවා,” “පල්ලියට ගිහින් පූජකයා කියන දේවල් අහගෙන ඉන්න මට කම්මැළියි” නැතහොත් “මගේ කාමරේ ඉඳන් තනියෙන් යාච්ඤා කරන්න මට පුළුවන්.” පුනරුත්පත්තිය හා දෛවය වැනි විශ්වාසයන් පිළිබඳව බොහෝදෙනා අතර පිළිගැනීමක් තිබිණ. බහුතරයක් යම් ආකාරයක දිව්‍යමය බලවේගයක් නැතහොත් බලයක් ගැන විශ්වාස කළත් එය නිශ්චිතව විස්තර කිරීමට ඔවුන්ට නොහැකි විය.

බොහෝ අය තම ආගමික හැඟීම් සීමා කර තිබෙන්නේ එළිමහනේ ස්වභාව සෞන්දර්යය රස විඳින අවස්ථාවලට පමණක් බව තවත් පරීක්ෂණයකින් හෙළි විය. ගොවිතැන් කරන එක් තරුණියක් මෙසේ පැවසුවාය. “කෙත්වතු හා කැලෑවල් අස්සට ගියාම තමයි අපිට වැඩියෙන්ම දෙවියන්ට ළං වෙන්න පුළුවන්.” සම්මුඛ සාකච්ඡාවට හවුල් වූ තවත් කෙනෙක් තමා ආගම දහම ගැන එතරම් උනන්දුවක් දක්වන්නේ නැති බව පවසා සිටිය නමුත් මෙසේ කීවේය. “කැලේ ඇවිදින්න යනකොට මට හැඟෙන්නේ ඒක හරියට විශාල දෙව්මැදුරක් වගේ කියලා. . . . ඒක රැකබලා ගන්නේ කවුද කියලා නම් මං දන්නේ නැහැ, හැබැයි එහෙම තමයි මට හැඟෙන්නේ.” ඇතැමෙක් ස්වභාව ධර්මය ශුද්ධ හෝ දිව්‍යමය ස්වභාවයක් ඇති ගරුබිය දනවන දෙයක් හැටියට විස්තර කළ අතර එය කිට්ටුවෙන් නිරීක්ෂණය කරන විට අමුතුම නැවුම්බවක්, මානසික සුවයක් හා නිරවුල්බවක් දැනෙන බව පවසති. මේ අදහස් සියල්ල කැටි කොට දක්වමින් සම්මුඛ පරීක්ෂකයෙක් තම වාර්තාව මෙසේ අවසන් කළේය. “දැන් දෙවියන්ව සොයාගත හැක්කේ ස්වභාව ධර්මය තුළිනුයි.”

මෙම ප්‍රවණතාව දැන් ලෝකයේ බොහෝ තැන්වල දක්නට ලැබේ. ආගම් පිළිබඳ සමාජ විද්‍යාඥ අමෙරිකානු ජාතික තොමස් ලක්මන් පැවසූ ආකාරයට, දැන් කාර්මික රටවල ජනයා පල්ලි ක්‍රම අත්හැර දමා “සමාජීය මුහුණුවරක් ඇති ආගම්” පිළිගැනීමට නැඹුරු වෙති. ජනයා අධ්‍යාත්මික කාරණා පිළිබඳ යම් අදහස් එහෙන් මෙහෙන් අහුලගෙන ඒ සෑම එකක්ම එකට මුසු කරගනිමින් ජීවිතය පිළිබඳව යම් දර්ශනයක් ඉදිරිපත් කරන අතර එමගින් තම පෞද්ගලික ආගම සකස් කරගනිති.

ඇතැම්විට ඔබ මෙසේ කල්පනා කරාවි. ‘ඇත්තෙන්ම පිළිගත් ආගම්වලට හා පල්ලිවලට සමාජයේ හිමි තැන දැන් නැති වී යනවාද? එසේනම්, ඊට හේතුව කුමක්ද? මෙම ප්‍රශ්න ගැන ඊළඟ ලිපිය තුළ සාකච්ඡා කෙරේ.

[3වන පිටුවේ පින්තූරය]

ස්වභාව ධර්මය තුළින් අධ්‍යාත්මික අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමට තිබෙන නව ප්‍රවණතාවක් පිළිබඳව අදහස් දක්වමින් එක් පර්යේෂකයෙක් මෙසේ නිගමනය කළේය. “දැන් දෙවියන්ව සොයාගත හැක්කේ ස්වභාව ධර්මය තුළිනුයි”