Skip to content

පටුනට යන්න

ඔබේ අධ්‍යාත්මික අවශ්‍යතාවන් සපුරාගත හැකි හොඳම මඟ

ඔබේ අධ්‍යාත්මික අවශ්‍යතාවන් සපුරාගත හැකි හොඳම මඟ

ඔබේ අධ්‍යාත්මික අවශ්‍යතාවන් සපුරාගත හැකි හොඳම මඟ

මිනිසාට ආගමක් අවශ්‍ය ඇයි? මිනිසා ආත්මික දේවලට යොමු වන්නේ අවිනිශ්චිත ලොවක සුරක්ෂිතභාවය සොයාගැනීමටයි කියා ඇතමෙකු පවසන්න පුළුවන. එහෙත් එහි තවත් පැත්තක් තිබේ. එක් ජර්නලයක (American Sociological Review) පළ වූ ලිපියක සඳහන් වූයේ “ආගමකට ආකර්ෂණය වන්නේ සුරක්ෂිතභාවයට තිබෙන අවශ්‍යතාව නිසාම නොවේ. මිනිසා ඈත අතීතයේ සිටම අප පැමිණියේ කොහෙන්ද? අප යන්නේ කොහෙටද? අප මෙහි සිටින්නේ මන්ද වැනි ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට යත්න දරා තිබේ.”

ඉහත සඳහන් වූ ප්‍රශ්න අතිවැදගත් ඒවා බව ඔබ පිළිගන්නවා නොඅනුමානයි. එසේනම් ඒවාට විශ්වාසදායී පිළිතුරු ලබාගත යුතු නැද්ද? එම ප්‍රශ්නවල වැදගත්කම හා බැරෑරුම්කම ගැන සලකා බලද්දී ඉන් පැහැදිලි වන්නේ විවිධ සම්ප්‍රදායන්ගෙන් අපිට රිසි පරිදි ආගමික විශ්වාසයන් තෝරාගෙන ඒවාට පිළිතුරු සපයාගැනීම නුසුදුසු බවයි. ජීවිතයේ ගැඹුරු ප්‍රශ්නවලට ස්ථිරසාර මෙන්ම විශ්වාසදායක පිළිතුරු සොයාගැනීමට නම් ඊට වඩා හොඳ ක්‍රමයක් තිබිය යුතු බව නොකිවමනාය.

ඇත්තෙන්ම ඊට වඩා හොඳ ක්‍රමයක් තිබේද? ෆෙරාර් ෆෙන්ටන්, බයිබල් පරිවර්තකයෙකි. ඔහු බයිබලය ගැන සැලකිය යුතු යමක් පැවසීය. “මිනිසාට විශ්වය පිළිබඳව මෙන්ම තමා පිළිබඳව වූ අභිරහස් හෙළි කර දිය හැකි එකම දේ” එයයි කියා ඔහු පැවසීය. ඔව්, අතීතය, වර්තමානය හා අනාගතය ගැන පැනනඟින ප්‍රශ්නවලට බයිබලය පිළිතුරු සපයයි. අප ආවේ කොහෙන්ද? ජීවිතයේ අර්ථය කුමක්ද? සන්තෝෂය සොයාගත හැකි අන්දම හා අනාගතයේදී අපට අපේක්ෂා කළ හැක්කේ කුමක්ද වැනි කාරණා ගැන එය කියා දෙයි. ඉතිහාසය දෙස බලද්දී මෙතරම් බලවත් හා දරුණු ප්‍රහාරවලට ලක් වී විනාශ නොවූ පොතක් නැත. එසේනම්, බොහෝදෙනෙකු ජීවිතයේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමේදී මෙම අද්විතීය පොත නොසලකා හරින්නේ මන්ද?

බොහෝදෙනෙකු තමන් දන්නා පල්ලි හා බයිබලය අතර ඇති විශාල පරතරය සලකා බැලීමට කාලය ගෙන නැත. ක්‍රිස්තියානියයි කියාගන්නා අය දෙවිගේ නාමයෙන් ඇන කොටා ගන්නා හැටි ඔවුන් දැක තිබේ. ද ගාඩියන් පෙන්වා දුන් ලෙස “පල්ලියේ සාමාජිකයන්ගේ අධ්‍යාත්මික ශුභසිද්ධිය තකා ඔවුන්ව බැහැදකින්න යනවාට වඩා පූජකයන්ට ඕනේ මුදල් එකතු කරගන්නයි” කියා බොහෝදෙනෙක් මැසිවිලි නඟති. බයිබලය එවන් හැසිරීම් රටාවකට දිරි දෙන බව හෝ එයට ඉඩහරින බව ඔවුන්ගේ විශ්වාසයයි. එහෙත් සැබෑ තත්වය මෙයයි. “එකිනෙකාට ප්‍රේම කරන්න” කියාත් දේවවචනය දේශනා කරන්නන්ට “නුඹලා නොමිලයේ ලැබුවහුය, නොමිලයේ දෙන්න” කියාත් ක්‍රිස්තියානීන්ට බයිබලයේ ආඥා කර තිබේ. (යොහන් 13:34; මතෙව් 10:8) එසේනම් බයිබලයට ගරු කරනවායයි කියන නමුත් එය පිළිපදින්නේ නැති මිනිසුන්ගේ ක්‍රියා පදනම් කොටගෙන ඒ ගැන නිගමනයකට එළඹීම සාධාරණයි කියා පැවසිය හැකිද?

බයිබලය විද්‍යාවට පටහැනි, එකිනෙකට පරස්පර විරෝධී අදහස් ඉදිරිපත් කරන හා යල්පැන ගිය පොතක් බව බහුතරයකගේ පිළිගැනීමයි. එහෙත් එය හොඳින් පරීක්ෂා කර බැලීමේදී ඊට හාත්පසින්ම වෙනස් දෙයක් තමයි හෙළි වන්නේ. බයිබලය විද්‍යා අත්පොතක් නොවෙයි කියා පිළිගත යුතුයි. එහෙත් විද්‍යානුකූල විෂයන් ගැන එහි සඳහන් වන විට එය කිසිවිටෙක වැරදි තොරතුරු ඉදිරිපත් කරන්නේ නැත. මිහිපිට ජීවීන් හටගත් අනුපිළිවෙළ, පෘථිවියේ හැඩය හා බෝවන රෝගවලට ප්‍රතිකාර කළ යුතු ආකාරය මීට නිදසුන් කිහිපයකි. ඇත්තෙන්ම කියනවා නම් එහි සඳහන් සමහර ප්‍රකාශයන් තුළින් හෙළි වන්නේ එය එවකට තිබූ විද්‍යාත්මක දැනුමට වඩා බොහෝ ඉදිරියෙන් සිටි බවයි. තවද පොත් 66කින් යුත් බයිබලය අවුරුදු 1,600ක කාලපරිච්ඡේදයක් පුරා ලියැවුණු නමුත් එහි සෑම පොතක් අතරම එකඟතාවක් තිබෙන බව පෙනී යයි. එපමණක්ද නොව, බයිබලයට මිනිසුන්ගේ ස්වභාවය ගැන විශේෂාකාර අවබෝධයක් තිබෙන බව පෙනෙන්ට තිබෙන අතර එය එදා මෙන්ම අදටත් එක සේ අදාළ වන බව මින් පැහැදිලි වේ.

මෙම අසමසම පොත දෙවිට දෙන නමස්කාරය ගැන අතිවැදගත් යමක් පවසයි. එවන් නමස්කාරයක් පදනම් විය යුත්තේ මිනිසුන්ගේ කොන්දේසි මත නොව දෙවිගේ කොන්දේසි මතයි කියා එහි පැහැදිලි කර ඇත. (යොහන් 5:30; යාකොබ් 4:13-15; 2 පේතෘස් 1:21) නමුත් එම ප්‍රතිපත්තිය පිළිනිමින් එය රැකගෙන තිබෙන්නේ සුළුතරයක් පමණයි. ආදි කාලයේ සිටම මිනිසා තමාගේ අරමුණු ඉටු කරගැනීමේ අදහසින් ආගම් පිහිටුවාගෙන තිබේ. මිනිසුන් ලී කොටයකින් දේවතා රූපයක් සාදාගෙන ඊට නමස්කාර කරන විට සිදු වන්නේ එයයි. ආගමික සංවිධාන තම අදහස් මූලධර්ම වශයෙන් උගන්වන විට සිදු වන්නේද එම දේමයි. එමෙන්ම තමාගේ රුචි අරුචිය අනුව පෞද්ගලික ආගමක් සකස් කරගන්නා අය සම්බන්ධයෙනුත් මෙය සැබෑවක් නොවේද?

විකල්පයක් ගැන සිතා බලන්න. එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ එක් ප්‍රධාන විනිසුරුවෙකු කළාක් මෙන් ඔබත් නොකරන්නේ මන්ද? ඔහු නඩු විභාග විනිශ්චය කළ ආකාරයටම බයිබලයට විරුද්ධව හා පක්ෂව තිබෙන සාක්ෂි මොනවාද කියා සාධාරණව හා විවෘත මනසකින් සලකා බැලුවේය. ඉන් අත් වූ ප්‍රතිඵලය ගැන ඔහු මෙසේ සඳහන් කරයි. “බයිබලය ලියා ඇත්තේ මිනිස් බලයකින් නෙවෙයි. එය දෙවිගෙන් ලැබූ පොතක් කියා මම දැන් විශ්වාස කරනවා.”

ඔබටත් ඒ හා සමානව බයිබලය පරීක්ෂා කර බැලිය හැක්කේ කෙසේද? බයිබලය විධිමත් ලෙස අධ්‍යයනය කරන්න. මෙම ලිපියේ මුලින්ම සඳහන් කළ ප්‍රශ්නවලට එහි ලබා දෙන පිළිතුරු පරීක්ෂා කර බලන්න කියා අපි යෝජනා කරන්නෙමු. මෙවන් අධ්‍යයනයක් කර ඇති යෙහෝවාගේ සාක්ෂිකරුවෝ මිලියන හයක් පමණ රටවල් 235ක සිටිති. ඉගෙනගෙන ඇති දේ අන්‍යයන්ට කියා දීමට ඔවුන් තම කාලය යොදවන්නේ ස්වකැමැත්තෙනි. ඔවුන් ඉදිරිපත් කරන නිවාස බයිබල් පාඩම් පාඨමාලාවට කිසිදු මුදලක් අය කරන්නේ නැත. තවද එමගින් මිලියන ගණනකට උපකාර කර තිබෙන්නේ වත්මන් රැල්ලට හෝ පෞද්ගලික රුචියට අනුව සකස් වූ ඇදහිල්ලක් නොව ස්ථිරසාර පදනමක් සහිත ඇදහිල්ලක් ගොඩනඟා ගැනීමටය. බයිබලය තුළ නිදන් වී ඇති සත්‍යය මෙන්ම නිර්මල වූ ක්‍රිස්තියානි ධර්මය නිකම්ම නිකම් ආගමක් නොවේ. එය දෙවි පිළිබඳවත් ඔහුගේ අරමුණු පිළිබඳවත් සත්‍යය කියා දෙයි. එසේනම් ඊට වඩා බාල යමක් තෝරාගන්නේ කුමටද?—යොහන් 17:17, 18.

[10වන පිටුවේ පින්තූර]

ඔබේ අධ්‍යාත්මික අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමට හොඳම මඟ වන්නේ බයිබලය තුළින් දෙවි ගැන ඉගෙනගැනීම හා සත්‍ය නමස්කාරකයන් සමඟ ඇසුරු කිරීමයි