Skip to content

පටුනට යන්න

ජනයා සම්ප්‍රදායික ආගම් අත්හැර යන්නේ මන්ද?

ජනයා සම්ප්‍රදායික ආගම් අත්හැර යන්නේ මන්ද?

ජනයා සම්ප්‍රදායික ආගම් අත්හැර යන්නේ මන්ද?

යේසුස් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම් මත පදනම් වී ඇති බව සඳහන් කරන ආගම්වලට අයත් බැතිමත්හු බිලියන 1.7ක් පමණ සිටිති. ලෝකයේ විශාලතම ආගම වශයෙන් ගණන් ගනු ලබන්නේ ක්‍රිස්තියානි ලෝකය වන අතර බෞද්ධ, හින්දු හා ඉස්ලාම් වැනි ජනප්‍රිය ආගම්වල සිටින බැතිමතුන්ට වඩා වැඩි සංඛ්‍යාවක් එහි සිටියි. කෙසේවෙතත්, ක්‍රිස්තියානියයි කියාගන්නා බොහෝ රටවල වෙසෙන ජනයා කෙරෙහි බලපෑම් කිරීමට ක්‍රිස්තියානි ලෝකයට තිබූ හැකියාව ක්‍රමක්‍රමයෙන් නැති වී යන බව වාර්තාවලින් හෙළි වේ.

සමාජයේ සෑම පසුබිමකටම අයත් ජනයා තම පල්ලිය අත්හැර යන බව පෙනෙන්ට තිබේ. මිචිගන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෙකු මෙන්ම ලෝකයේ සාරධර්ම පිළිබඳව කරන ජාත්‍යන්තර පර්යේෂණයක (World Values Survey) අධ්‍යක්ෂක රොනල්ඩ් එෆ්. ඉංග්ල්හාර්ට් පැවසුවේ සංවර්ධිත රටවල ආගමට තිබෙන තැන ක්‍රමක්‍රමයෙන් නැති වී යන බවයි. බයිබල් රිවියු නමැති සඟරාවේ ඔහු කියූ දේ සඳහන් කර තිබුණේ මෙලෙසයි. “සතිපතා පල්ලි යෑම එන්න එන්නම අඩු වෙනවා පමණක් නොව, ලතින් අමෙරිකානු රටවල් තමන්ට කිතු දහම හඳුන්වා දුන් යුරෝපීය රටවල ජනයාව ගළවාගැනීම සඳහා දැන් එම රටවලට මිෂනාරිවරුන්ව පිටත් කර හරිනවා.” “ආගමේ පරිහානිය” වැඩියෙන්ම දක්නට ලැබෙන්නේ ඇතැම් උතුරු යුරෝපීය රටවලයි කියා ඔහු තවදුරටත් අදහස් දක්වයි. නෝර්වේ හා ඩෙන්මාර්ක්වල ජනගහනයෙන් සියයට 5ක් පමණයි නිතිපතා පල්ලි යන්නේ. ස්වීඩනයේ එම ප්‍රතිශතය සියයට 4ක් වන අතර රුසියාවේ එය සියයට 2ක් දක්වාම පහත වැටී ඇත.

ජර්මනියෙන් ලැබී තිබෙන වාර්තාවලට අනුව 1984 සිට 1993 දක්වා කාලය තුළදී පවුල් පොතේ ලියාපදිංචි වූ නිතිපතා පල්ලි යන කතෝලිකයන්ගේ සංඛ්‍යාව සියයට 25.3 සිට සියයට 19 දක්වාම පහත වැටිණ. වර්ෂ 1992 වන විට රෙපරමාදු භක්තිකයන්ගෙන් සියයට 4ක් පමණයි සෑම ඉරු දිනකම පල්ලියේ දේශනාවලට සහභාගි වෙමින් සිටියේ. වර්ෂ 1999දී ක්‍රිස්ටියැනිටි ටුඩේහි වාර්තා කර තිබුණේ “සතිපතා පල්ලි යන්නේ ජර්මානුවන් දසදෙනෙකුගෙන් එක්කෙනෙකු පමණක්” කියාය.

බ්‍රිතාන්‍යයේ ඇදහිලිවන්තයන්ගේ සංඛ්‍යාවේ පහත වැටීම පිළිබඳව ද ගාඩියන් නමැති පුවත්පතේ මෙසේ සඳහන් විය. “පෙර කවරදාකටත් වඩා ක්‍රිස්තියානි ධර්මය පරිහානියට ලක් වී ඇත.” එහි තවදුරටත් සඳහන් වූයේ “1950 සිට 2000 දක්වා ගත වූ අඩ සියවස තරම් අමාරු කාල පරිච්ඡේදයකට මීට කලින් පූජකයන් හා පැවිද්දන් මුහුණ දී නැති” බවයි. එක්සත් රාජධානියේ ආගම පිළිබඳව නිකුත් කළ විශේෂ වාර්තාවක සඳහන් වූ දෙය ගෙනහැර දක්වමින් එම පුවත්පතේ කියා තිබුණේ දැන් යොවුන් පරපුර පමණක් නොව වයෝවෘද්ධ වූ අය තුළ පවා සංවිධානාත්මක ආගම් කෙරෙහි තිබූ ඇදහිල්ල කෙමෙන් කෙමෙන් හීන වී යන බවයි. එහි සඳහන් කර තිබුණේ මෙලෙසයි. “වයසට යන්න යන්න වියපත් වූ අයට දෙවියන් කෙරෙහි තිබෙන ඇදහිල්ල නැති වී යයි. මෙවැනි ප්‍රවණතාවක් ඇති බව අලුත් පර්යේෂණවලින් තහවුරු වී තිබෙන අතර දැනටමත් අර්බුදයකට මුහුණ දෙමින් සිටින බ්‍රිතාන්‍යයේ පල්ලි එමගින් දැඩි කම්පනයකට ලක් වන බව නම් නිසැකයි. මන්ද මේ වන තෙක්, දවසින් දවස සාමාජිකයන් අඩු වන එහි සභාවල ජීවනාලිය වශයෙන් සැලකුවේ එම වයෝවෘද්ධයන් වන නිසයි.”

යුරෝපයෙන් පිටද මීට සමාන ප්‍රවණතාවක් දක්නට ඇත. නිදසුනකට එක් කැනේඩියානු සඟරාවක (Alberta Report) පවසන්නේ, කැනඩාවේ “සංවිධානාත්මකව සිදු කෙරෙන නමස්කාර ක්‍රම හා ඒවාට අයත් විශ්වාසයන් දැන් පරිහානියට ලක් වන” බවයි. “කැනඩාවේ නිශ්චිත ආගමික පිළිවෙතකට යටත් වී සිටින අය මෙන් තුන්ගුණයක් දෙවියන් පිළිබඳව තම පෞද්ගලික අදහස් හා හැඟීම් මත පදනම් වූ විශ්වාස ක්‍රමයක් පිළිපැදීමට කැමැත්තක් දක්වති” යනුවෙන් එහි තවදුරටත් විස්තර කර තිබිණ.

පල්ලියේ මෙහෙයන්වලට යන විට තමන් අධ්‍යාත්මිකව ගොඩනැඟෙන්නේ නැති බවත් අවශ්‍ය ඥානාලෝකය නොලැබෙන බවත් බොහෝදෙනෙකුට හැඟේ. කැනඩාවේ මක්ලීන්ස් නම් සඟරාවට අනුව, හිමාලයෙහි ආශ්‍රමයකදී [හින්දු ආගමික රැස්වීම් ස්ථානයකදී] සම්මුඛ සාකච්ඡාවකට හවුල් කරගත් යුදෙව්වන් මෙන්ම කතෝලිකයන්ගේ අදහස වූයේ මෙයයි. “දැන් යාන්ත්‍රිකව සිදු කෙරෙන මේ වත්පිළිවෙත් අපිට එපා වෙලා. ඒවා අපි තුළ කොයිම විදිහකින්වත් අධ්‍යාත්මික හැඟීම් ඇති කරවන්නේ නැහැ.” ඇත්තෙන්ම අවුරුදු ගණනාවක් තිස්සේ නොවරදවාම පල්ලි යෑමෙන් පසු බොහෝදෙනෙකු මෙසේ කල්පනා කිරීමට නැඹුරු වේ. ‘පල්ලියේදී මං ඇත්තටම මොනවාද ඉගෙනගෙන තියෙන්නේ? මං ඒ තුළින් දෙවියන්ට වඩා ළං වෙලා තියෙනවාද?’ එසේනම්, කර්තෘ ග්‍රෙග් ඊස්ටබෘක් මෙසේ පැවසීම ගැන අප පුදුම විය යුතුද? “දැන් බටහිර ලෝකයේ ජනයා දුගීකම අද්දකින්නේ ද්‍රව්‍යමය අතින් නොව අධ්‍යාත්මික අතිනි. අපේ යුගයේ ප්‍රධානතම ඌනතාව වන්නේද එයයි.”

කොහොම නමුත් පල්ලිවල පැවැත්වෙන මෙහෙයන්වලට වඩා හොඳ සහභාගිත්වයක් ඇති රටවල් ගණනාවක් තිබෙන බවද පිළිගත යුතුයි. නමුත් ඔවුන් පල්ලියට ගිය පමණින්ම එහි ඉගැන්වීම්වලට පක්ෂපාතී වන බව පැවසිය නොහැක. නිදසුනකට දි ඒජ් නම් ඕස්ට්‍රේලියානු පුවත්පතේ සඳහන් වූයේ බටහිර රටවල “තම ආගම නියම ආකාරයෙන් පිළිපදින ජනයාගේ සංඛ්‍යාවේ ශීඝ්‍ර පහත වැටීමක් සිදු වන” බවයි. “අප්‍රිකාවේ, ආසියාවේ හා ලතින් අමෙරිකාවේ බොහෝ ප්‍රදේශවල සිටින බහුතරයක් ක්‍රිස්තියානි ධර්මය නමැති වෙස් මුහුණ පිටුපස සැඟවී තවමත් ගෝත්‍රික හා චාරිත්‍රානුකූල විශ්වාසයන් භක්ත්‍යාදරයෙන් පිළිපදිති. එම විශ්වාසයන් සම්ප්‍රදායානුකූල ක්‍රිස්තියානි ඉගැන්වීම්වලට කොහෙත්ම සම්බන්ධ නොවනවා පමණක් නොව ඒවා බොහෝවිට එම ඉගැන්වීම්වලට පටහැනි වන නිසා අවුරුදු ගණනාවකට පෙර ඒවා නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබිණ.”

තරුණ මහලු දෙපිරිසටම අයත් මෙතරම් විශාල සංඛ්‍යාවක් තම පල්ලි අත්හැර දමන්නේ ඇයි? එක් ප්‍රධාන හේතුවක් වන්නේ බලාපොරොත්තු සුන්වීමයි.

ආගමේ නින්දාසහගත වාර්තාව

මතු දැක්වෙන ප්‍රකාශය සඳහන් වී තිබුණේ ද ගාඩියන්හියි. “ස්පාඤ්ඤ සිවිල් යුද්ධයෙන් පසු හමුදා ජෙනරාල් ෆ්‍රැන්කෝට සුබ පැතීමෙන් හා වඩා මෑතකදී හමුදා ජෙනරාල් පීනෝෂේට සහයෝගය දැක්වීමෙන් රෝමානු කතෝලික සභාව විසිවන සියවස පුරාම ඉතා නින්දාසහගත ලෙස ෆැසිස්ට්වාදීන්ට අත හිත දී තිබේ.” ද ගාඩියන්හි තවදුරටත් සඳහන් කර තිබුණේ යුද සමයේදී පාප් ධුරය දැරූ XIIවන පයස් පාප් “[හිට්ලර්] සමඟ එකඟතාවකට පැමිණීමට සතුටු වූ බවත්, සමූලඝාතනය හෙළා දැකීම වැනි තමාව අපහසුතාවට ලක් කළ හැකිව තිබූ කාර්යයන්ගෙන් වැළකී සිටි” බවත්ය.

දි ඒජ්හි පවසා තිබුණේ, “ක්‍රිස්තියානියයි කියාගන්නා අය නිතරම වාගේ තම ක්‍රියාවලින් තමන් ක්‍රිස්තියානීන් නොවන බව ඔප්පු කර තිබේ. ක්‍රිස්තියානීන් එකිනෙකා අතර සාමය හා සමඟිය රැකගැනීමට අසමත් වී ඇත. . . . තම ක්‍රියාවන් සාධාරණීකරණය කරගැනීම සඳහා ක්‍රිස්තුස්ට තවත් අනුගාමිකයන් එක්රැස් කරගන්නවායයි කියමින් විවිධ ජාතීන් යටත් කරගැනීමේ හා ඔවුන්ගෙන් කොල්ල කෑමේ චේතනාවෙන් කළ අසංඛ්‍යාත යුද්ධ මෙයට ස්ථිරසාර සාක්ෂියකි. ඇදහිල්ල, බලාපොරොත්තුව හා ප්‍රේමය සුචරිතවත් ක්‍රිස්තියානියෙකු තුළ පැවතිය යුතු ප්‍රධාන ගුණාංග වුවත් මෙම ගුණාංග තිබෙන බවට කියාගන්නා අය ක්‍රිස්තියානි නොවන අය තරම්ම සෑම දෙයක් දෙසම වපර ඇසෙන් බැලීමට, බලාපොරොත්තු අත්හැර දැමීමට හා අකාරුණික ලෙස හැසිරීමට පෙලඹිය හැකියි. . . . සමූලඝාතනය පටන්ගත්තේ ක්‍රිස්තියානි රටකින්මය. එමෙන්ම ජපානයේ තැතිගන්වනසුලු පරමාණු යුද්ධය ආරම්භ කළේත් ක්‍රිස්තියානි රටකි.”

ක්‍රිස්තියානි ලෝකය බොහෝ කලක් තිස්සේ අරපිරිමැස්ම, එඩිතරකම, හික්මවීම හා යුක්තිය වැනි යහපත් ගුණාංගවලට දිරි දී ඇති බවට යමෙකු තර්ක කළ හැකියි. කොහොමවුණත්, දි ඒජ් මෙසේ අදහස් දක්වා ඇත. “පොදුවේ ගත් කල, යුරෝපයේ, උතුරු අමෙරිකාවේ හා ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්තියානීහු පෘථිවියේ සම්පත්වලින් තමන්ට හිමි ප්‍රමාණයට වඩා ඉතා අධික ප්‍රමාණයක් පරිභෝජනය කරති. එපමණක්ද නොව තමන්ගේ ආශාවන් පිනවාගැනීම සඳහා වඩා දුගී රටවල ජනයාව පීඩාවට පත් කිරීමට හා ඔවුන්ගේ පරිසරය හප කර දැමීමටද පසුබට වන්නේ නැත.”

ක්‍රිස්තියානි ලෝකයේ අනාගතය ගැන දි ඒජ් ප්‍රකාශ කළේ මෙලෙසයි. “ක්‍රිස්තියානි ධර්මය මගින් ස්ථිරසාර පදනමක් ඇති විධිමත් ක්‍රියා පටිපාටියක් දියත් කළේ නැත්නම් සියවස් ගණනාවක් පුරාම සමාජය කෙරෙහි එයට තිබූ බලය නැවත ලබාගැනීමට නොහැකි වේ. ඔබේ දෘෂ්ටියට අනුව මෙය හොඳ හෝ නරක දෙයක් ලෙස පෙනෙන්නට පුළුවන. ඒ කොහොම වුණත් ඉදිරි අනාගතයේදී ක්‍රිස්තියානි ධර්මය මුහුණ දිය යුත්තේ එම යථාර්ථයටයි.”

සංවිධානාත්මක ආගම්වල මෙම පිරිහීම හේතුවෙන් සම්ප්‍රදායානුකූල පල්ලිවලින් බොහෝදෙනෙක් ඉවත් වෙති. එහෙත් ඔවුන් තෝරාගන්නා විකල්පය මගින් තමන්ගේ අවශ්‍යතාවන් ඇත්තටම සපුරාගත හැකිද? ඇත්තෙන්ම පිළිතුර එයද?

[7වන පිටුවේ පින්තූර]

සම්ප්‍රදායානුකූල ආගම් යුද්ධවලට හා පීඩාකාරි දේශපාලන ක්‍රමවලට අත හිත දී තිබෙන නිසා බොහෝදෙනෙක් ඒවා අත්හරිති

[7වන පිටුවේ පින්තූර]

මහ ඉහළින් පවත්වන ආගමික උත්සව මගින් බොහෝදෙනෙකු අධ්‍යාත්මික වශයෙන් තෘප්තියට නොපැමිණේ

[හිමිකම් විස්තර]

foto: age fotostock