Skip to content

පටුනට යන්න

බාධක හමුවේ නොසැලෙන දීප්තිමත් බලාපොරොත්තුවක් ඇතුව

බාධක හමුවේ නොසැලෙන දීප්තිමත් බලාපොරොත්තුවක් ඇතුව

බාධක හමුවේ නොසැලෙන දීප්තිමත් බලාපොරොත්තුවක් ඇතුව

පැවසුවේ ආන්ඩ්‍රෙජ් හානාක්

වර්ෂ 1943දී දෙවෙනි ලෝක මහා යුද්ධය දරුණු ලෙස පැවතෙමින් තිබුණා. මම මධ්‍යස්ථව කටයුතු කළ නිසා මාව හංගේරියාවෙහි බුඩාපෙස්ට් කඳවුරේ සිරගත කරනු ලැබුවා. එහිදී, රැවුල දිග ඕතඩොක්ස් පූජකයෙක් මගෙන් ඇසුවා, මගේ දවස් තුනක කෑම වේලට ඔහුගේ බයිබලය හුවමාරු කරගැනීමට කැමතිදැයි කියා. හාමතෙන් පෙළෙන අවස්ථාවක වුවද මම බයිබලය ලබාගැනීමට කළ තේරීම හරියයි මට සිතෙනවා.

නාට්සි පාලනය පැවති දෙවෙනි ලෝක මහ යුද්ධ සමයේදී අපේ රට තුළ ක්‍රිස්තියානියෙක් හැටියට යහපත් හෘද සාක්ෂියක් පවත්වාගැනීම ලොකු අභියෝගයක් වුණා. ඉන්පසුව පවා, අවුරුදු 40ක් පුරා පැවති කොමියුනිස්ට් පාලනය යටතේදීත් බයිබල් ප්‍රතිපත්ති පාවා නොදී අපේ මැවුම්කාර දෙවි වන යෙහෝවාට සේවය කිරීමට මහත් වෑයමක් දරන්න සිදු වුණා.

ඒ කාලයේදී දෙවිට අඛණ්ඩව සිටි අයුරු කතා කිරීමට පළමුව මම මගේ පසුබිම ගැන ටිකක් විස්තර කරන්නම්. ඒ කාලයේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් විඳදරාගත් තත්වයන් ගැන දැනගැනීමට ඔබ කැමති වෙනවාට කිසිම සැකයක් නැහැ. මම මුලින්ම කියන්නම් අපේ ප්‍රදේශයේ පැවති ප්‍රධාන ආගම් සම්බන්ධයෙන් මා තුළ සැකයක් ඇතිවීමට හේතු වූ ආගමික වාතාවරණය ගැන.

මනස වියවුල් කරන ආගමික ප්‍රශ්නයක්

මම ඉපදුණේ 1922 දෙසැම්බර් මාසේ 3වෙනිදා හංගේරියාවේ ස්ලෝවැක් මායිමේ පැට්සන් නම් ගම්මානයකයි. එවකට චෙකෝස්ලොවැකියාවේ නැඟෙනහිර ප්‍රදේශය වූයේ ස්ලෝවැකියාවයි. දෙවෙනි ලෝක මහ යුද්ධයෙන් පසු චෙකෝස්ලොවැකියාවේ විශාල ප්‍රදේශයක් සෝවියට් දේශය අත් පත් කරගැනීම නිසා යුක්‍රේනය අයත් වූ දේශ සීමාව පැට්සන්වලින් සැතපුම් 20ක් පමණ ඈතට විහිදුණා.

භක්තිවන්ත රෝමානු කතෝලික දෙමව්පියන්ට උපන් දරුවන් පස්දෙනාගෙන් මම දෙවෙනියා. මම අවුරුදු 13දී අද්දුටු යම් දෙයක් නිසා ආගම ගැන මීට වඩා ගැඹුරට සිතා බැලීමට පෙලඹීමක් ඇති වුණා. මම අම්මා සමඟ වන්දනා ගමනකට සහභාගි වීමට සැතපුම් 50ක් එපිටින් පිහිටි හංගේරියානු ගම්මානයක් වන මොරෙපොච්වලට ගියා. අපි ගියේ පයින්. අපි හිතුවා එහෙම ගියාම අපිට ගොඩාක් ආශීර්වාද ලැබෙයි කියලා. එම වන්දනා ගමනට රෝමානු කතෝලික හා ග්‍රීක කතෝලික භක්තිවන්තයන් සහභාගි වුණා. මම මුලින් සිතාගෙන සිටියේ මේ පල්ලි දෙකම එකම කතෝලික ආගමට අයිති කොටස් දෙකක් හැටියටයි. නමුත් මම ඉක්මනින්ම වෙනස වටහාගත්තා.

පළමුව ග්‍රීක කතෝලිකයන්ගේ පූජාව පවත්වනු ලැබූ නිසා මම ඒ පූජාවට සහභාගි වෙන්න තීරණය කළා. මම ඒ පූජාවට සහභාගි වූ බව අම්මා දැනගත් විට ඇය හුඟක් කලබල වුණා. මෙයින් ව්‍යාකූල තත්වයට පත් වූ මම අම්මාගෙන් ඇහුවා “අපි කොයි පූජාවට ගියත් ඒකේ වෙනසක් නැහැ නේද? යේසුස්ගේ එකම ශරීරයට නෙවෙයිද අප සියලුදෙනාම පංගුකාරයන් වෙන්නේ” කියලා.

එයට පිළිතුරු දීමට අපහසු වූ නිසා අම්මා පැවසුවේ “පුතා ඒ වගේ ප්‍රශ්න අහන එකත් පාපයක්” කියලයි. කෙසේවෙතත් ඒ ප්‍රශ්නය මගේ සිතේ රැඳී තිබුණා.

මගේ ප්‍රශ්නවලට නිසි පිළිතුරු

වර්ෂ 1939දී දෙවෙනි ලෝක මහා යුද්ධය පටන්ගෙන ටික කලකට පසු මම කිලෝමීටර් කිහිපයක් ඈතින් පිහිටි (දැන් නැඟෙනහිර ස්ලෝවැකියාවට අයත් වන) ස්ට්‍රේඩා නැඩ් බොඩ්රෝගම් නම් නගරයේ විසීමට ගියා. මට එතකොට වයස අවුරුදු 17යි. මම එහි ගියේ කම්මල්කරුවෙක්ගෙන් වැඩ ඉගෙනගැනීමටයි. එහිදී අශ්වයන් වැනි සතුන්ට ලාඩම් ගැසීමට හා වෙනත් වානේ උපකරණ සෑදීමට වඩා වැඩි වැදගත්කමකින් යුත් දෙයක් මම ඉගෙනගත්තා.

කම්මල්කරුවාගේ භාර්යාව වන මරියා පැන්කෝවිච් යෙහෝවාගේ සාක්ෂිකාරියක්. දවල් කාලයේ මම ඇගේ ස්වාමිපුරුෂයාගෙන් කම්මලේ වැඩ ඉගෙනගත් අතර රාත්‍රි කාලයේදී බයිබලය ඉගෙනගත්තා. ඒ විතරක් නොවෙයි එහි සාක්ෂිකරුවන් සමඟ රැස්වීම්වලටද සහභාගි වුණා. කම්මල්කරුවෙක් ලෙස පුහුණුව ලබන විට ගීතාවලිය 12:6හි සඳහන් වදන් අතිශයින් අගය කරන්න මට පුළුවන් වුණා. එහි සඳහන් වන්නේ “පොළොවේ උදුනක සත් වරක් පවිත්‍ර කළ රිදී මෙන් යෙහෝවාගේ වචන පිරිසිදුය” කියායි. යෙහෝවාගේ වචන හදාරමින් මගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාගත් ඒ සැන්දෑවන් කොතරම් ප්‍රියකරුද!

දෙවෙනි ලෝක මහා යුද්ධයේ තීව්‍ර අවධියේදී මගේ අලුතෙන් සොයාගත් ඇදහිල්ල පරීක්ෂාවට ලක් වෙයි කියා මම හීනෙකින්වත් හිතුවේ නැහැ.

ඇදහිල්ල නිසා අත්අඩංගුවේ

හංගේරියාවේ පිරිමින්ව හමුදා පුහුණුව සඳහා බඳවාගනිද්දී, මම කම්මල්කරුවෙක් ලෙස පුහුණුව ලබන්න ආරම්භ කර වැඩි කාලයක් ගත වී තිබුණේ නැහැ. නමුත් යෙසායා 2:4ට අනුව ‘යුද්ධ කරන්න තවදුරටත් ඉගෙනගන්නේ නැහැ’ කියා මම අධිෂ්ඨාන කරගත්තා. මගේ මේ තීරණයේ ප්‍රතිඵලයක් හැටියට මාව දවස් දහයක් සිරගත කරනු ලැබුවා. මම හිරෙන් නිදහස් වූ පසු නැවතත් බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. ඉන්පසු 1941 ජූලි 15වෙනිදා මම යෙහෝවා දෙවිට මගේ කැපවීම වතුර බව්තීස්මය මගින් ප්‍රකාශ කළා.

ඒ කාලය වන විට නාට්සි ජර්මනිය විසින් සෝවියට් දේශය ආක්‍රමණය කර තිබූ අතර නැඟෙනහිර යුරෝපයේ යුධ වාතාවරණයක් තිබුණා. යුධ ප්‍රචාර හා දේශාභිමානි අදහස් රට පුරාම පැතිරෙමින් තිබුණා. නමුත් බයිබලය කෙරෙහි තිබුණු නොසැලෙන ඇදහිල්ල නිසා යෙහෝවාගේ සාක්ෂිකරුවන් මධ්‍යස්ථව කටයුතු කළා.

වර්ෂ 1942 අගෝස්තු මාසයේදී අපිට විරුද්ධව දරුණු ප්‍රහාරයක් දියත් කරනු ලැබුවා. බලධාරීන් විසින් ස්ථාන දහයක් පිළියෙළ කර තිබුණා බාල මහලු සියලුම සාක්ෂිකරුවන්ව රැස් කිරීම සඳහා. බව්තීස්ම නොලත් අයව පවා මෙම ස්ථානයට රැගෙන ගියා ඔවුන් සාක්ෂිකරුවන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ නිසා. මගේ ගමෙන්, එනම් පැට්සන්වලින් කිලෝමීටර් 20කට එපිටින් පිහිටි ෂාරෂ්පාටක්හි හිර කඳවුරට ගෙන ගිය අය අතරින් මමත් එක්කෙනෙක්.

සිරකඳවුරේ සිටි ළාබාලම දරුවාගේ වයස මාස තුනයි. ඔහුව ඔහුගේ මව සමඟ සිර කරනු ලැබුවා. අපි මේ ළදරුවාට කෑම ටිකක් ඉල්ලුවාම මුරකාරයා මෙහෙම පැවසුවා. “හොඳට අඬපුවාවේ. ඒක ඔහුට ශක්තිමත් සාක්ෂිකරුවෙක් වෙන්න උදව් කරාවි.” අපිට මේ කිරිසප්පයා ගැන දුක හිතුණා. ඒ විතරක් නොවෙයි ජාතිවාදී ප්‍රචාරයන් හේතුවෙන් මෙවැනි තරුණ මුරකාරයෙකුගේ මනස දූෂිත වී තිබුණ එක ගැන අපි ඇත්තෙන්ම කනගාටු වුණා.

නඩු විභාගයෙන් මට අවුරුදු දෙකක සිර දඬුවමක් නියම කෙරුණා. මාව බුඩාපෙස්ට්හි අංක 85, මෝර් ජෙට් කෙරුට් කඳවුරට මාරු කරනු ලැබුවා. මෙහි එක සිර කුටියක ප්‍රමාණය අඩි 15 x 20ක් වූ අතර එහි පුද්ගලයන් 50ක් 60ක් විතර හිර වී සිටියා. අපිට මාස අටක්ම නාන කාමර හා වැසිකිළි පහසුකම් තිබුණේ නැහැ. ඉතිං මේ කාලය අතරතුර නෑමට හා ඇඳුම් සෝදාගැනීමට හැකි වුණේ නැහැ. අපේ ඔළුවේ තඩි පිරිලා හිටියා. රෑට අපේ කිලිටි ඇඟ උඩින් මකුණෝ දිව්වා.

අපි අවදි විය යුතුව තිබුණේ පාන්දර හතරටයි. අපිට උදේ ආහාරය වශයෙන් ලැබුණේ කුඩා කෝපි කෝප්පයක් විතරයි. දවල් ආහාරය සඳහා එම කෝප්පයේ තරමටම සුප් ටිකක් හා පාන් ගෙඩියෙන් තුනෙන් පංගුවක් සමඟ ධාන්‍යවලින් සාදාගත් තලප ටිකක් ලැබුණා. හැන්දෑවට අපිට කිසි දෙයක් ලැබුණේ නැහැ. මම අවුරුදු විස්සක සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙක් වූවත් පසුව දුර්වල වී ඇවිදගැනීමට පවා අපහසු වුණා. හිරකාරයෝ හාමතෙන් හා බෝවෙන රෝගවලින් මියැදුණා.

ඒ කාලයේදී අපේ හිර කුටියට අලුත් සාමාජිකයෙක් පැමිණියා. ඔහු තමයි මම මේ ලිපියේ මුලින් සඳහන් කළ රැවුල දිග ඕතඩොක්ස් පූජකයා. ඔහුට බයිබලයක් තබාගැනීමට අවසර දී තිබුණා. මම කොච්චර ආස වුණාද බයිබලය කියවන්න. නමුත් මම ඔහුගෙන් බයිබලය කියවීමට ඉල්ලූ විට ඔහු දුන්නේ නැහැ. නමුත් පස්සේ දවසක ඔහු මට මෙහෙම කිව්වා. “ඒයි තරුණයා, ඔයාට බයිබලය ගන්න පුළුවන් මම මේක විකුණනවා.”

“විකුණනවා? ඒ වෙනුවෙන් ඔයා මොනවද ඉල්ලන්නේ? මා ළඟ සල්ලි නම් නැහැ” කියා මම කිව්වා.

ඒ අවස්ථාවේදී තමයි ඔහු මට බයිබලය දුන්නේ දවස් තුනක කෑම වේලට. එය ප්‍රයෝජනවත් කදිම හුවමාරුවක් වූවාට කිසිම සැකයක් නැහැ. මම හාමතේ හිටපු වේලාවක වුවද ලබාගත් මෙම ආත්මික තිළිණය මටත් අන් අයටත් ඒ පීඩාකාරි කාලවලට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ලබා දුන්නා. ඒ බයිබලය අද වන තුරුත් මා ළඟ තියෙනවා.—මතෙව් 4:4.

අපේ මධ්‍යස්ථභාවය පරීක්ෂණයට ලක් වේ

වර්ෂ 1943 ජූනි මාසයේදී හංගේරියාවේ සිටි යෞවන සාක්ෂිකරුවන් 160දෙනෙක්ව පමණ බුඩාපෙස්ට් අසල යෑස්බෙරෙනි නම් නගරයකට ගෙන ගියා. හමුදා තොප්පි පැළඳීම හා වර්ණ තුනකින් යුත් පටියක් අත වටේ බැඳීම ප්‍රතික්ෂේප කළ නිසා අපිව බඩු මැදිරියක දමා බුඩාපෙස්ට්හි කොබැන්ය දුම්රියපොළ වෙත ගෙන ගියා. එහි ගිය විට බඩු මැදිරියෙන් පිටතට ඒමට හමුදා නිලධාරියා අප එක් එක්කෙනාගේ නම් කතා කළ අතර අපට හමුදා භටයන් හැටියට වාර්තා කරන්න කිව්වා.

අපට “හයිල් හිට්ලර්” කියා කියන්න අණ කළා. එහි තේරුම නම් “හිට්ලර්ට ජය වේවා!” යන්නයි. සාක්ෂිකරුවන් සැමෝම මෙය කීම ප්‍රතික්ෂේප කළ නිසා අපට හොඳටම තැළුවා. අවසානයේදී අපට තැළූ අයට වෙහෙස දැනුණු නිසා ඉන් එක් කෙනෙක් මෙහෙම කිව්වා. “හොඳයි අපි තව එක්කෙනෙකුට ගහමු. හැබැයි එයාව ඉතුරු වෙන්නේ නැති විදිහට ගහමු.”

එහි සිටි අපි සියලුදෙනාගේ නම් ලැයිස්තුවක් වයසක සහෝදරයෙක් වන ටිබෝ හාෆ්නර් ළඟ තිබුණා. ඔහු මට රහසින් කිව්වා “සහෝදරයා ඔයයි ඊළඟට යන්න ඉන්නේ. සිතට ධෛර්යය ගන්න. යෙහෝවා කෙරෙහි විශ්වාස කරන්න” කියා. ඒ එක්කම මගේ නම කතා කළා. මම බඩු මැදිරියේ දොර ළඟ සිටගෙන සිටින විට මට බහින්න කියා කිව්වා. “මෙයාට ගහන්න ඇඟක් ඉතුරු වෙලා නැහැ” කියා එක් සොල්දාදුවෙක් කිව්වා. ඉන්පසු ඔහු මෙහෙම කිව්වා. “ඔයා අපි කියන විදිහට වාර්තා කරනවා නම්, අපිට පුළුවන් ඔයාව කුස්සියේ කෑම උයන්න දාන්න. එහෙම නැත්නම් ඔයාව මරනවා.”

මම මෙහෙම පිළිතුරු දුන්නා. “මම හමුදා සේවයට වාර්තා කරන්නේ නැහැ. මගේ සහෝදරයන් එක්ක ඉන්න මට බඩු මැදිරියට යන්න ඕනේ.”

මා ගැන අනුකම්පා කළ සොල්දාදුවෙක් මාව නැවත බඩු මැදිරියට තල්ලු කර දැම්මා. මගේ බර රාත්තල් 90කට වඩා අඩු නිසා එසේ තල්ලු කිරීමට ඔහුට අපහසු වුණේ නැහැ. සහෝදර හාෆ්නර් ඇවිත් මගේ කර වටා අත යවා, මගේ මුහුණ ආදරයෙන් අත ගාලා ගීතාවලිය 20:1හි ඇති බයිබල් පදය මතක් කර දුන්නා. “විපත්ති දවසේදී යෙහෝවා නුඹට උත්තර දෙත්වා. යාකොබ්ගේ දෙවිගේ නාමය නුඹ උසස් [ආරක්ෂා, NW] කෙරේවා.”

වැඩ කඳවුරක සේවය කරමින්

ඉන්පසු අපිව බෝට්ටුවක දමා යුගෝස්ලාවියාවේ ඩැනියුබ් ගඟ හරහා ගෙන ගියා. බෝර් නගරය අසල වැඩ කඳවුරකට අපව ගෙන ගියේ 1943 ජූලි මාසයේදීයි. යුරෝපයේ තිබෙන විශාලතම තඹ ආකරවලින් එකක් පිහිටා තිබුණේ මේ නගරයෙයි. කාලයත් සමඟ කඳවුරට ගෙනෙන විවිධ ජාතීන්ගේ ගණන 60,000 දක්වා වැඩි වූ අතර එහි යුදෙව්වන් 6,000ක්ද යෙහෝවාගේ සාක්ෂිකරුවන් 160දෙනෙක්ද සිටියා.

එහිදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව විශාල බැරැක්කයකට දැම්මා. එහි සාලේ මැද මේස හා බංකු තිබුණා. අපි සතියකට දෙවතාවක් රැස්වීම් පැවැත්තුවේ එතැනයි. කඳවුරට හොරෙන් ගෙනෙන ලද මුරටැඹ සඟරා අපි අධ්‍යයනය කළ අතර මගේ කෑම වේල් සඳහා හුවමාරු කරගත් බයිබලය අපි කියෙව්වා. අපි එකට ගීතිකා ගැයූ අතර එකට යාච්ඤාත් කළා.

අපි අනෙකුත් සාමාජිකයන් සමඟ කුලුපගව කටයුතු කළ එක අපට මහත් ප්‍රයෝජනයක් වුණා. අපේ සහෝදරයෙකුට දරුණු බඩේ වේදනාවක් තිබුණා. නමුත් එතැන සිටි මුරකරුවන් ඔහුට උපකාර කරන්න කැමති වුණේ නැහැ. ඔහුගේ තත්වය දරුණු අතට පත් වෙමින් තිබුණු අවස්ථාවක අප සමඟ සිටි යුදෙව් දොස්තර කෙනෙක් ඉදිරිපත් වුණා ශල්‍ය කර්මයක් කරන්න. ඔහු මේ සහෝදරයාව සිහි නැති කිරීමට සරල ක්‍රමයක් භාවිතා කළ අතර හොඳට මුවහත් හැඳි මිටකින් ශල්‍ය කර්මය කරනු ලැබුවා. එයින් සුවය ලැබූ සහෝදරයා යුද්ධයෙන් පසු නිවස බලා ගියා.

මෙම ආකරවල වැඩ කිරීම ඉතාම වෙහෙසකාරියි. කෑම හරියට ලැබුණෙත් නැහැ. එක් සහෝදරයෙක් රෝගයකින් මිය ගිය අතර, තවත් සහෝදරයන් දෙදෙනෙක් වැඩ කරන අතරතුර අනතුරකට ලක් වී මිය ගියා. වර්ෂ 1944 සැප්තැම්බර් මාසයේදී රුසියාවේ හමුදාව පැමිණෙන බව දැනගත් නිසා කඳවුර හිස් කිරීමට තීරණය කර තිබුණා. ඊට පසු සිදු වූ දේවල් මම මේ ඇස් දෙකින් නොදැක්කා නම් විශ්වාස කරන එකක් නැහැ.

භයංකර පා ගමනක්

සතියක වෙහෙසකාරි පා ගමනින් පසු තවත් බොහෝ යුදෙව් හිරකාරයන් සමඟ අපි බෙල්ග්‍රේඩ් වෙත පැමිණියා. තවත් දින කිහිපයක් ගමන් කිරීමෙන් පසු අපි චර්වෙන්කෝ ගමට ළඟා වුණා.

අපි චර්වෙන්කෝ ගමට පැමිණීමෙන් පසු යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට එක පේළියේ පස්දෙනා බැගින් හිටගන්න අණ කළා. ඉන්පසු පේළියක් හැර පේළියකින් සාක්ෂිකාරයෙක්ව තෝරාගනු ලැබුවා. එසේ ගෙන යන සහෝදරයන් දිහා අපි කඳුළු පිරි දෑසින් බලා සිටියා. අපි හිතුවේ ඔවුන්ව ඝාතනය කරන්න ගෙන යනවා කියා. නමුත් ටික වේලාවකින් පසු ඔවුන් නැවතත් ආවා. මොකක්ද සිද්ධ වුණේ? ජර්මන් භටයින් ඔවුන්ට වළවල් හාරන්න නියෝග කර තිබුණා. නමුත් එහි සිටි හංගේරියානු අණ දෙන නිලධාරියෙක් කියා ඇත්තේ ඔවුන් සතියක් පමණ කෑම අනුභව කර තිබුණේ නැති නිසා වැඩ කරන්න තරම් ශක්තියක් ඔවුන්ට නැති බවයි.

එදා හවස සාක්ෂිකරුවන් සියලුදෙනාවම ගඩොල් වේළන ගොඩනැඟිල්ලක අට්ටාලයක සිර කෙරුවා. ජර්මානු නිලධාරියෙක් කිව්වා “සද්ද නොකර මෙහි ඉන්න. මේක දුක්ඛිත රාත්‍රියක් වෙයි” කියලා. පසුව ඔහු දොර වසා ගියා. ඉන් මිනිත්තු කිහිපයකට පසු අපිට ඇහුණා සොල්දාදුවන් කෑගහනවා “ඉක්මන් කර එන්න! ඉක්මන් කර එන්න!” කියා. ඒත් එක්කම ඇහුණා ස්වයංක්‍රීය තුවක්කුවල වෙඩි හඬ. වෙඩි හඬින් පසු ටික වේලාවකට බියකරු නිහඬතාවක් තිබුණා. ඉන්පසු නැවතත් අපිට ඇහුණා “ඉක්මන් කර එන්න! එන්න!” කියා කෑගසන හඬත් තුවක්කු වෙඩි සද්දත්.

වහලෙන් එබී අවට සිදු වෙන දේ දැකබලා ගන්න පුළුවන් වුණා. සොල්දාදුවන් යුදෙව් සිරකරුවන් දහදොළොස්දෙනාගෙන් යුත් කණ්ඩායම් ගෙන ආ අතර වළක් අද්දර සිටවා ඔවුන්ට වෙඩි තිබ්බා. ඉන්පසු එම වළට මිනි එකතු වුණාට පස්සේ ඒකට අත් බෝම්බයක් ගැහුවා. එළිය වැටෙන විට ඉතිරි වී සිටියේ යුදෙව් සිරකරුවන් අටදෙනෙක් පමණයි. ජර්මානු සොල්දාදුවන් එතැනින් පලා ගොස් තිබුණා. එය අපිව ශාරීරිකව හා මානසිකව කම්පනයට ලක් වූ අවස්ථාවක්. මෙම සමූලඝාතනය දුටු අය අතරින් යානොෂ් ටෝරෝක් සහ යාන් බෝලී තවමත් ජීවතුන් අතර සිටිනවා.

ජීවත් වීමට වරමක්

හංගේරියානු සොල්දාදුවන්ගේ අධීක්ෂණය යටතේ අප බටහිරටත් උතුරටත් ගමන් කළා. හමුදා සේවයට බැඳෙන්න කියා නැවත නැවත කියා සිටියදීත් අපේ මධ්‍යස්ථභාවය පාවා නොදී ජීවිතය රැකගැනීමට ලැබීම සතුටක්.

වර්ෂ 1945 අප්‍රියෙල් මාසයේදී අපි හංගේරියාව හා ඔස්ට්‍රියාව අතර දේශ සීමාව අසල පිහිටි ස්සොම්බැත්ලී නම් නගරයට පැමිණියා. එතැනදී අපි ජර්මානු හා රුසියානු හමුදාවලට මැදි වී සිටියා. ගුවන් ප්‍රහාරයක් ගැන අනතුරු අඟවමින් නිවේදනයක් කළ විට අපිව භාරව සිටි හංගේරියානු කපිතාන්වරයා අපෙන් මෙසේ ඇසුවා. “ඔයගොල්ලන් එක්ක ආරක්ෂාකාරි තැනකට යන්න මමත් එන්නද? මට පේනවා දෙවි ඔයගොල්ලන් එක්ක ඉන්න බව.” බෝම්බ ප්‍රහාරයෙන් පසු අපි එම නගරයෙන් පිටත් වුණා. අපිට යන්න තිබුණේ සතුන්ගේ හා මිනිසුන්ගේ මිනි උඩින්.

යුද්ධය අවසානය කරා ළඟා වෙමින් තිබුණා. අපි සමඟ ගිය කපිතාන්වරයා සැමෝටම මෙහෙම කිව්වා “මට ගෞරවය දැක්වූවාට බොහෝම ස්තුතියි. මං ළඟ තේ කොළ හා සීනි ටිකක් තියෙනවා ඔයගොල්ලන්ට දෙන්න. මේ වේලාවේ ඒක ඔයාලට උපකාරයක් වෙයි කියලා හිතනවා.” අපි ඔහුට ස්තුති කළා අපිට මනුස්සකමින් සැලකීම ගැන.

ඉන් දින කිහිපයකට පසු රුසියාවේ හමුදාව පැමිණි අතර අපව කුඩා කණ්ඩායම් වශයෙන් අපේ රටට පිටත් කර යැව්වා. නමුත් අපේ කරදර ඉවර වුණේ නැහැ. අපි බුඩාපෙස්ට්වලට පැමිණියාට පසු නැවතත් අපිව හමුදා සේවයට බඳවාගන්න වෑයම් කළා. මේ සැරේ නම් අපව බඳවාගන්න හැදුවේ සෝවියට් හමුදාවටයි.

මෙම කටයුතු භාරව සිටියේ දොස්තර කෙනෙක්. ඔහු රුසියාවේ උසස් නිලධාරියෙක්. කාමරයට ඇතුල් වූ විගස අපි ඔහුව අඳුනගත්තේ නැහැ. නමුත් ඔහු අපිව අඳුනගත්තා. ඔහු අප සමඟ බෝර් වැඩ කඳවුරේ සිටි කෙනෙක්. ඔහු නාට්සිවරුන් කළ සාපරාධී ඝාතනයෙන් බේරුණු යුදෙව්වන් අතළොස්සගෙන් කෙනෙක්. අපිව දැක්කම ඔහු මුරකාරයාට අණ කළා “මේ අටදෙනා ගෙදර යවන්න” කියලා. අපි ඔහුට ස්තුති කළ අතර අපිව මෙතෙක් ආරක්ෂා කිරීම ගැන යෙහෝවා දෙවිට අනේක වාරයක් ස්තුති කළා.

මගේ බලාපොරොත්තුව තවමත් දීප්තිමත්

වර්ෂ 1945 අප්‍රියෙල් 30වෙනිදා මම පැට්සන්වල මගේ ගෙදරට ආවා. ඉන් ටික කාලයකට පසු ස්ට්‍රේඩා නැඩ් බොඩ්රෝගම්හි කම්මල්කරුවාගේ ගෙදරට නැවතත් ගියා මගේ පුහුණුව සම්පූර්ණ කිරීම සඳහා. පැන්කෝවිච් පවුල මට ගොඩක් උදව් කරලා තියෙනවා. මට ජීවිකාව ගෙනයෑමට මාර්ගයක් පාදා දුන්නා පමණක් නොවෙයි වඩාත් වැදගත් ලෙස ජීවිතය වෙනස් කරගැනීමට බයිබල් සත්‍යයන්ද කියා දුන්නා. මේ වතාවේදී මම ඔවුන්ගෙන් තවත් වටිනා දෙයක් ලබාගත්තා. ඔවුන්ගේ සිත් ඇදගන්නා රූමත් දියණිය වන යෝලානාව 1946 සැප්තැම්බර් 23වෙනිදා මම මගේ භාර්යාව කරගත්තා.

යෝලානායි මමයි සුපුරුදු පරිදි දේශනා සේවයේ ගිය අතර බයිබල් පාඩම්ද පැවැත්වුවා. අපිට 1948දී තවත් ආශීර්වාදයක් භුක්ති විඳීමේ ප්‍රස්තාව උදා වුණා. එය නම් අපි ආන්ඩ්‍රෙජ් පුතාගේ දෙමව්පියන් වීමේ ආශීර්වාදයයි. අපිට ආගමික නිදහස වැඩි කාලයක් භුක්ති විඳින්න හැකි වූයේ නැහැ. අපේ රට කොමියුනිස්ට් පාලනය යටතට ගත් අතර තවත් පීඩාකාරි කාලයකට මුහුණ දීමට සිදු වුණා. නැවතත් 1951දී චෙකෝස්ලොවැකියාවේ කොමියුනිස්ට් අධිකාරීන් මාව කැඳෙව්වා. කලින් වතාවේදී මෙන් නැවතත් නඩු විභාගයක්, සිර දඬුවම්, වැඩ කඳවුරුවල සිටීම හා හාමතෙන් සිටීම යන මේ සියල්ල දරාගැනීමට සිදු වුණා. දෙවිගේ උපකාරය ඇතුව නැවතත් මම බේරුණා. පොදු සමාවක් ලබා දීමේ ප්‍රතිඵලයක් ලෙස මාව 1952දී නිදහස් කළ අතර මම ස්ලෝවැකියාවේ ලැඩ්මෝවුස්හි සිටි මගේ පවුලේ අය සමඟ නැවත එක් වුණා.

ක්‍රිස්තියානි දේවසේවය අවුරුදු 40ක් තහනම් කර තිබුණද අපි දිගටම පරිශුද්ධ සේවයෙහි නියැලුණා. වර්ෂ 1954 සිට 1988 දක්වා කාලය තුළ චාරිකා අවේක්ෂකයෙක් ලෙස සේවය කිරීමේ වරප්‍රසාදය මට හිමි වුණා. මම සති අන්තවල සභාවන් බැහැදකින්න ගිය අතර දිගටම නොසැලී සිටීමට සහෝදර සහෝදරියන්ට දිරිගැන්වූවා. සතියේ දිනවල මම පවුලේ අය සමඟ කාලය ගත කළ අතර අපේ පවුලේ ශාරීරික අවශ්‍යතාවන් පිරිමැසීම සඳහා රැකියාවක් කළා. මේ සෑම විටකම යෙහෝවා දෙවිගේ ප්‍රේමනීය මඟ පෙන්වීම අපට නොමසුරුව ලැබුණා. බයිබලයේ ගීතිකාකරුගේ මේ වචන සැබෑ බව මම අද්දැක්කා. “මනුෂ්‍යයන් අපට විරුද්ධව නැඟිටි කල අපේ පක්ෂයෙහි සිටියේ යෙහෝවා නොවී නම්, ඔවුන්ගේ උදහස අපට විරුද්ධව ඇවුළුණු කල, ඔවුන් අප පණපිටින් ගිලගන්ට තිබුණේය.”—ගීතාවලිය 124:2, 3.

අපේ පුත් ආන්ඩ්‍රෙජ් විවාහ වී ටිකින් ටික ආත්මිකව මේරූ ක්‍රිස්තියානි අවේක්ෂකයෙක් වෙනවා දැකීමෙන් යෝලානා හා මා ඉමහත් සතුටක් ලැබුවා. ඔහුගේ භාර්යාව එලිස්කා මෙන්ම රඩිම් හා ඩැනියෙල් යන පුතුන් දෙදෙනාද කාර්යශීලී දේවසේවකයන් බවට පත් වුණා. වර්ෂ 1998දී මගේ ආදරණීය යෝලානාගේ මරණය මට මහත් සිත් වේදනාවක් ගෙන දුන්නා. මෙය මම මෙතෙක් විඳ ඇති සියලුම පීඩා අතරින් දරාගැනීමට තිබූ අසීරුම පීඩාව වුණා. ඇය නැති පාළුව මට සෑමදාම දැනෙනවා. මට ඇති එකම සැනසිල්ල ඇයව නැවත නැඟිටීමේදී දැකබලා ගත හැකිය යන බලාපොරොත්තුවයි.—යොහන් 5:28, 29.

දැන් මගේ වයස අවුරුදු 79යි. මම වැඩිමහල්ලෙක් ලෙස ස්ලෝවැකියාවේ සොල්වෙන්ස්කේ නෝවේ මෙස්ටෝ ගමේ සේවය කරනවා. මගේ අසල්වාසීන් සමඟ බයිබලයේ වටිනා සත්‍යයන් බෙදාගැනීමෙන් තමයි මම වැඩියෙන්ම ප්‍රීතියක් අද්දකින්නේ. පසුගිය දේවල් ආවර්ජනය කිරීමෙන් හා මම යෙහෝවාට අවුරුදු 60කට වඩා වැඩි කාලයක් සේවය කර තිබීමෙන් මට ඒත්තු යන දේ නම් යෙහෝවාගේ උපකාරය ඇතුව අපට පැමිණෙන පරීක්ෂා හා පීඩා විඳදරා ගත හැකි බවයි. මගේ ආශාව හා බලාපොරොත්තුව ගීතාවලිය 86:12ට එකඟයි. එහි සඳහන් කරන්නේ මෙයයි. “මාගේ දෙවි වූ යෙහෝවා, මාගේ මුළු සිතින් ඔබට ප්‍රශංසා කරන්නෙමි. සදාකල් ඔබගේ නාමයට ගෞරව කරන්නෙමි.”

[16වන පිටුවේ පින්තූරය]

මගේ ආහාර වේල් පරිත්‍යාග කර ලබාගත් බයිබලය

[17වන පිටුවේ පින්තූරය]

මගේ පීඩාවලදී දිරිගැන්වූ ටිබෝ හාෆ්නර්

[18වන පිටුවේ පින්තූරය]

බෝර් වැඩ කඳවුරේ සාක්ෂිකරුවන්

[18වන පිටුවේ පින්තූරය]

බෝර් වැඩ කඳවුරේ ජර්මානු සොල්දාදුවන් සිටියදී සාක්ෂිකාරයෙකුගේ අවමගුල් කටයුතු සිදු කිරීම

[19වන පිටුවේ පින්තූරය]

ඝාතනය සිදු වූ අවස්ථාවේදීද සිටි යානොෂ් ටෝරෝක් සහ යාන් බෝලී (ඇතුළත පින්තූරය)

[19වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1946 සැප්තැම්බර් මාසයේ යෝලානාව මගේ භාර්යාව කරගත්තා

[20වන පිටුවේ පින්තූරය]

මා සමඟ මගේ පුතා, ඔහුගේ භාර්යාව හා මගේ මුනුබුරන්