යුද්ධවලට දෙවිගේ අනුමැතිය ලැබේද?
බයිබලයේ දෘෂ්ටිකෝණය
යුද්ධවලට දෙවිගේ අනුමැතිය ලැබේද?
දෙවිගේ නාමයෙන් පාලකයන්, ජෙනරාල්වරුන් හා පූජකයන් පවා කොපමණ වරක් නම් යුධ වැදී හෝ ඊට අනුමැතිය දී ඇද්ද! වර්ෂ 1095දී IIවන අර්බන් නමැති පාප්වරයාගේ ආසිරි මැද ප්‍රථම කුරුස යුද්ධය දියත් කළේ ක්‍රිස්තියානි ලෝකයට යෙරුසලම් “ශුද්ධ නගරය” යළිත් ඈඳාගැනීමටය. එහෙත්, කුරුස යුද්ධයෙහි සහභාගිවූවන් තුළ ත්‍රිත්වය ගැන තිබූ තද විශ්වාසය හා සමානවම තුර්කීය ජාතිකයන් තුළද අල්ලා දෙවියන් ගැන ජ්වලිතයක් තිබිණ. එමනිසා ඔවුහු සිය ගමනාන්තය කරා ළඟාවීමට පෙර කුරුස යුද්ධයෙහි සහභාගි වූ එක් කණ්ඩායමක් ඝාතනය කළහ.
වර්ෂ 1914 අගෝස්තුවලදී Iවන ලෝක මහා යුද්ධයට සැරසෙමින් සිටි ජර්මානු තරුණයෙක් මෙසේ ලීවේය. “ඉතිහාසය පුරා මෙතෙක් යුක්තිය ඉටු වී, දිව්‍යමය මඟ පෙන්වීම ලැබී තිබෙනවා නම් අපිට ජය නියත බව හොඳටම විශ්වාසයි.” එම මාසයේදීම, IIවන සාර් නිකලස් විසින් ජර්මනියට එරෙහිව රුසියානු හමුදා පිටත් කර හරිනු ලැබුවේ මෙසේ ප්‍රකාශ කරමිනි. “මගේ වීර සෙබළුන්ට හා මගේ උදාර මිත්‍ර පාක්ෂිකයන්ට මගේ හද පත්ලෙන්ම සුබ පතමි. දෙවියන් අප සමඟයි!”
මින් දිරිය ලැබූ සෙබළුන් මිලියන ගණනක් යුධ පිටියට ගියේ දෙවි ඔවුන්ගේ පැත්තේ සිටින බවට පූර්ණ විශ්වාසය ඇතුවය. දෙවි එවැනි සටන්වලට ඉඩහරින්නේ නිදහස ලබා දීමට බව බොහෝදෙනාගේ හැඟීමයි. ඊට රුකුල් දීමක් වශයෙන් ඔවුහු හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල (පොදුවේ හඳුන්වන පරණ තෙස්තමේන්තුවේ) සඳහන් යුද්ධවලට යොමු දක්වති. දෙවිගේ වචනය පිළිබඳ ඔවුන්ගේ අර්ථකථනය නිවැරදිද?
පුරාණ ඉශ්‍රායෙලයේ සිදු වූ යුද්ධ
දූෂිත කානානිවරුන්ව පොරොන්දු දේශයෙන් පහ කර දැමීම සඳහා යුධ වැදීමට යෙහෝවා දෙවි ඉශ්‍රායෙල්වරුන්ට අණ දුන්නේය. (ලෙවී කථාව 18:1, 24-28; ද්විතීය කථාව 20:16-18) නෝවාගේ කාලයේදී ජලගැල්ම මගින් හා සොදොමෙහි සහ ගොමොරාවෙහි ගින්න මගින් නපුරු ක්‍රියා කරන්නවුන්ට දඬුවම් කළ ලෙසම දෙවි තම දඬුවම් කිරීමේ මාධ්‍යය වශයෙන් ඉශ්‍රායෙල් ජාතිය ඉදිරියට යැව්වේ ඔහුගේ විනාශකාරි කඩුව ලෙළවන්නා සේය.—උත්පත්ති 6:12, 17; 19:13, 24, 25.
බයිබලයට අනුව, ඉශ්‍රායෙල්වරුන් වෙනත් අවස්ථාවලදීත් සටන්වල යෙදුණේ දෙවිගේ මඟ පෙන්වීම යටතේය. සාමාන්‍යයෙන් එසේ කළේ සාමකාමීව සිටිද්දීත් සටනට පැමිණෙන සතුරන්ව පලවාහැරීමටයි. ජාතීන් යෙහෝවාට කීකරු වූ විට ඔවුන්ගේ සටන් කෙළවර වූයේ වාසිදායක ලෙසය. (නික්මයාම 34:24; 2 සාමුවෙල් 5:17-25) එහෙත් ඉශ්‍රායෙල්වරුන් දිව්‍යමය උපදෙස්වලට පටහැනිව සටන් වැදීමට නිර්භීත වූ තැන විපත්ති අද්දැකීමට සිදු විය. යෙරොබොවම් රජු සම්බන්ධ සිද්ධිය සලකා බලන්න. කෙළින්ම ලැබුණු අනාවැකිමය අනතුරු ඇඟවීම නොසලකා ඔහු යූදාවරුන්ට එරෙහිව සිවිල් යුද්ධයකට සැරසෙමින් සිය මහා හමුදා සේනාව පිටත් කර යැවීය. එම සංහාරය අවසන් වන විට යෙරොබොවම්ගේ සොල්දාදුවන් 5,00,000ක් මියගොසින් තිබිණ. (2 ලේකම් 13:12-18) ඇදහිලිවන්ත යොෂියා රජ පවා එක් වතාවක තමන්ට අයිති නැති යුද්ධයක නියැලුණේය. තමන් ගත් හදිසි තීරණය හේතුවෙන් ඔහුගේ දිවි කෙළවර විය.—2 ලේකම් 35:20-24.
මෙම සිද්ධීන්වලින් කියාපාන්නේ කුමක්ද? පුරාණ ඉශ්‍රායෙලයෙහි යුද්ධ කරනවාද නැද්ද කියා තීරණය කිරීමේ අයිතිය තිබුණේ දෙවිට බවය. (ද්විතීය කථාව 32:35, 43) විශේෂ අරමුණු වෙනුවෙන් සටන් කිරීමට ඔහු තම සෙනඟව යෙදවීය. කෙසේවුවද, එම අරමුණු මීට බොහෝ කලකට පෙර ඉටු විය. එපමණක්ද නොව, තමන්ට සේවය කරන්නන් ‘මතු දවස්වලදී කඩුවලින් හීවැල් තළාගන්න’ බවත්, ‘තවත් යුද්ධ ඉගෙනගන්නේ’ නැති බවත් යෙහෝවා පුරෝකථනය කළේය. (යෙසායා 2:2-4) බයිබලයේ සඳහන් යුද්ධ නවීන දින ගැටුම්වලට යුක්තිසහගතබවක් ලබා දෙන්නේ නැති බව පැහැදිලියි. මන්ද මේවා සිදු වන්නේ දෙවිගේ මඟ පෙන්වීම යටතේ හෝ ඔහුගේ අණ පරිදි හෝ නොවන බැවිනි.
ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්වලින් ඇති වන බලපෑම
යේසුස් මිහිමත සිටි අවදියේදී “මා නුඹලාට ප්‍රේම කළාක් මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේම කරන්න” කියා අණ කරමින් වෛරය වෙනුවට පරාර්ථකාමී ප්‍රේමය පාන අයුරු පෙන්නුම් කළේය. (යොහන් 15:12) ඔහු “සාමය ඇති කරන්නෝ සන්තෝෂවත්ය” කියාද පැවසීය. (මතෙව් 5:9, NW) මෙහි “සාමය ඇති කරන්නෝ” යනුවෙන් පරිවර්තනය කර ඇති ග්‍රීක් වචනයෙන් ශාන්ත තත්වයක් අද්දකිනවාට වඩා වැඩි යමක් අඟවයි. හොඳ හිත දිනාගැනීමට ක්‍රියාශීලීව පියවර ගනිමින් සාමය රෝපණය කිරීම ඊට ඇතුළත් වේ.
යේසුස් අත්අඩංගුවේ සිටියදී, මාරක අවියක් භාවිතා කරමින් ප්‍රේරිත පේතෘස් ඔහුව බේරාගැනීමට උත්සාහ කළේය. එනමුත් දේවපුත්‍රයා ඔහුට තරවටු කරමින් මෙසේ පැවසීය. “නුඹේ කඩුව කොපුවේ දමන්න. මක්නිසාද කඩු ගන්න සියල්ලෝ කඩුවෙන්ම විනාශ වන්නෝය.” (මතෙව් 26:52) පළමු සියවසේ ක්‍රිස්තියානීන් එම වචන අදාළ කරගත්තේ කෙසේද? මතු සඳහන් උපුටා දැක්වීම් සලකා බලන්න.
“ලැබී ඇති සියලු තොරතුරු පරෙස්සමින් සමාලෝචනය කළ පසු [පෙනී යන්නේ] මාකස් ඔරේලියස්ගේ කාලය [පො.යු. 121-180] වන තෙක් කිසිම ක්‍රිස්තියානියෙකු සෙබළෙකු වී නැති බවය; එමෙන්ම ක්‍රිස්තියානියෙකු වූ පසු කිසි සොල්දාදුවෙකු තවදුරටත් හමුදා සේවයේ නිරත නොවූ බවය.”—ද රයිස් ඔෆ් ක්‍රිස්ටියැනිටි.
“[මුල්] ක්‍රිස්තියානීන්ගේ හැසිරීම රෝමවරුන්ගේ හැසිරීමට වඩා බෙහෙවින් වෙනස් විය. . . . ක්‍රිස්තුස් සමාදානය ගැන දේශනා කර තිබූ බැවින් ඔවුහු සෙබළුන් වීම ප්‍රතික්ෂේප කළහ.”—අව වර්ල්ඩ් තෲ දි ඒජස්.
ක්‍රිස්තුස්ගේ ගෝලයන් අධිරාජයාගේ භටයන් වීම ප්‍රතික්ෂේප කළ නිසා රෝමානුවන් විසින් ඔවුන්ගෙන් වැඩිදෙනෙකුව ඝාතනය කරන ලදි. ක්‍රිස්තියානීන් ජනප්‍රිය නොවූ එවැනි ස්ථාවරයක් පවත්වාගත්තේ මන්ද? සාමය ඇති කරන්නන් වන්න කියා යේසුස් ඔවුන්ට ඉගැන්වූ බැවිනි.
නවීන දින යුද්ධය
ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන්ට එකිනෙකා ඝාතනය කරමින් විරුද්ධවාදි හමුදා සමඟ සටන් කිරීමට සිදු වූවා නම් ඇති වන භයානක තත්වය ගැන සිතා බලන්න. එවැනි දෙයක් ක්‍රිස්තියානි ප්‍රතිපත්තිවලට පටහැනි වනු ඇත. ඇත්තෙන්ම, බයිබලයේ සඳහන් දෙවිට කීකරුවන්නන් කිසිවෙකුට හානි කරන්නේ නැත. ඔවුන්ගේ සතුරන්ට පවා ඔවුහු හානි නොකරති. a—මතෙව් 5:43-45.
අදදින මිනිසුන් අතර සිදු වන ලෞකික යුද්ධවලට දෙවි ආශීර්වාද නොකරන බව පැහැදිලිය. සාමය ඇති කරන්නන් වීමෙන් සැබෑ ක්‍රිස්තියානීහු දෙවිගේ රාජ්‍යය යටතේ පිහිටුවන්නාවූ සාමයට දායක වෙති.
[පාදසටහන]
a බයිබලයේ සඳහන් “හර්–මගෙදොන්,” “දෙවිගේ මහත් දවසේ යුද්ධය” කියාද හැඳින්වේ. මෙය යොමු දක්වන්නේ මිනිසුන්ගේ යුද්ධයකට නොව දෙවි විසින් නපුරන්ව පමණක් විනාශ කරන යුද්ධයකටය. මෙබැවින් නවීන දින මානව ගැටුම් යුක්තිසහගත කිරීමට හෝ ඔවුන්හට දෙවිගේ අනුමැතිය තිබෙන බව ඇඟවීමට හර්–මගෙදොන් යන වචනය භාවිත කළ නොහැක.—එළිදරව් 16:14, 16; 21:8.
[28වන පිටුවේ පින්තූරය]
ස්පාඤ්ඤයේ ජෙනරාල් ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝ කතෝලික පූජකයන් කීපදෙනෙකු සමඟ
[හිමිකම් විස්තර]
U.S. National Archives photo
[29වන පිටුවේ පින්තූරය]
වර්ෂ 1999 ජූනි 11වනදා කොසොවෝ බලා පිටත් වීමට පෙර ග්‍රීක් ඕතඩොක්ස් පූජකයන්ගෙන් සෙබළුන්ට ආසිරි
[හිමිකම් විස්තර]
AP Photo/Giorgos Nissiotis