Skip to content

පටුනට යන්න

සැහැසියාවේ සියවසක්

සැහැසියාවේ සියවසක්

සැහැසියාවේ සියවසක්

ජාතීන් සතුව මාරක අවි තිබුණොත් සාමය රැකගත හැකි වෙතැයිද, එවිට ඕනෑම ආක්‍රමණිකයෙකුව බිහිසුණු ලෙස විනාශ කර ජාතීන්ට ඉක්මනින්ම එකමුතු විය හැකියැයිද අල්ෆ්‍රඩ් නොබෙල් විශ්වාස කළේය. “එය යුද්ධය එපා කරවන බලවේගයක් වනු ඇත” කියා ඔහු ලීවේය. නොබෙල්ගේ මතය වූයේ, තමන්ටම විනාශකාරි ප්‍රතිඵල ගෙනෙන බව දන්නා කිසිම බුද්ධිමත් ජාතියක් ගැටුමකට මුල පුරන්නේ නැති බවයි. එහෙත්, පසු වූ සියවසෙන් හෙළි වී ඇත්තේ කුමක්ද?

නොබෙල්ගේ මරණයෙන් 20 වසරක්වත් යෑමට පෙර, Iවන ලෝක මහා සංග්‍රාමය ඇරඹුණි. ඒ සඳහා මැෂින් තුවක්කු, විෂ වායු, ගිනිදැල් පිට කරවන ආයුධ, යුධ ටැංකි, යුධ අහස් යානා හා සබ්මැරීන වැනි අලුත් මාරක අවි පාවිච්චි කෙරුණි. එහිදී හමුදා භටයන් කෝටියක් පමණ ජීවිතක්ෂයට පත් වූ අතර එගණන මෙන් දෙගුණයක් තුවාල ලැබූහ. සාමය බිහි කිරීමේ අවශ්‍යතාව යළි පණගැන්වීම සඳහා Iවන ලෝක මහා සංග්‍රාමයේ වූ ම්ලේච්ඡත්වය හේතු විය. ජාතීන්ගේ සංගමය පිහිටුවීමට පාර කැපුවේ එයයි. එය පිහිටුවීමේ පුරෝගාමී වූ එ.ජ. ජනාධිපති වූ වූඩ්‍රෝ විල්සන් 1919දී ඒ වෙනුවෙන් නොබෙල් ත්‍යාගය ලැබීය.

යුද්ධය සදහටම නැති වී යයි කියා යම් ආකාරයකින් හෝ සිතුවා නම්, 1939දී IIවන ලෝක මහා සංග්‍රාමයේ ගිනි ඇවුළුණු විට ඒ බලාපොරොත්තුවද බිඳී ගියේය. විවිධ පැතිවලින් දෙවන යුද්ධය පළමු එකට වඩා මහත් සේ බියකරු විය. මේ ගැටුම සිදු වන අවදියේදී, ඇඩොල්ෆ් හිට්ලර් කෲමල්හි පිහිටි නොබෙල්ගේ කම්හල ජර්මනියේ තිබෙන විශාලම වෙඩි බෙහෙත් කම්හල්වලින් එකක් බවට පත් කළේය. ඔහු එය පුළුල් කර සේවකයන් 9,000ක් ලවා වැඩ ගත්තේය. එහෙත්, යුද්ධය අවසන් වේගන එන විට මිත්‍ර පාක්ෂිකයෝ ගුවනේ සිට පහර දෙමින් නොබෙල්ගේ කම්හල සහමුලින්ම විනාශ කර දැමූහ. ඒ සඳහා බෝම්බ දහසක් පමණ යොදාගැනුණි. වේදනාසහගත හාස්‍යය නම්, ඌරාගේ මාළු ඌ පිටම තියා කපන්නාක් මෙන් නොබෙල්ගේම සොයාගැනීමෙන් වැඩිදියුණු කරගත් බෝම්බම මේ විනාශය සඳහා යොදාගැනීමයි.

නොබෙල්ගේ මරණයෙන් පසු ගත වූ සියවස තුළ සිදු වී ඇත්තේ ලෝක යුද්ධ දෙකක් පමණක් නොවේ. ගණන් කළ නොහැකි තරම් සුළු ගැටුම් විශාල සංඛ්‍යාවක්ද සිදුව ඇත. එම කාලපරිච්ඡේදය තුළ අවි ආයුධ සංඛ්‍යාව බහුගුණ වී ඇති අතර, ඉන් සමහර අවි අතිදරුණු වී ඇත. නොබෙල්ගේ මරණයෙන් පසු ගෙවී ගිය දශක ගණනාව පුරා ප්‍රකට වී තිබෙන යුධෝපකරණ සමහරක් සලකා බලමු.

කුඩා හා සැහැල්ලු අවි. අත් තුවක්කු, රයිෆල, අත් බෝම්බ, මැෂින් තුවක්කු, මෝටාර් හා අතේ ගෙන යා හැකි වෙනත් අවි මේ ගණයට ගැනේ. මේ කුඩා හා සැහැල්ලු අවි එතරම් මිල අධික නොවන අතර පහසුවෙන් නඩත්තු කළ හැකිය. එමෙන්ම පාවිච්චියටද පහසුය.

මේ අලුත් අවි දැක දැකත් ඒවායින් එල්ල වන තර්ජන දැනි දැනීත් මිනිසා යුද්ධ කිරීමෙන් වැළකී සිටිත්ද? නැත. බුලටින් ඔෆ් දි අ’ටොමික් සයන්ටිස්ට්ස්හි මයිකල් ක්ලාර් මෙසේ ලියයි. සැහැල්ලු අවි “ශීත යුද්ධ සමයෙන් පසු කෙරුණු අප්‍රමාණ වූ ගැටුම්වල ප්‍රධාන යුධෝපකරණය” බවට පත්ව ඇත. ඇත්තෙන්ම, මෑත කාලීන යුද්ධවලින් විපතට පත් වූවන්ගෙන් සියයට 90ක්ම කුඩා හා සැහැල්ලු අවිවල ගොදුරුය. අනූව දශකයේදී පමණක් දශලක්ෂ හතරක පමණ ජනකායක් ඒ හේතුවෙන් මරු වැලඳගත්තෝය. බොහෝ අවස්ථාවලදී, කිසිම හමුදාමය පුහුණුවක් නැති තරුණයෝ සම්ප්‍රදායික යුධ නීති උල්ලංගනය කිරීම ගැන කිසිම තැකීමකින් තොරව එවන් සැහැල්ලු අවි පාවිච්චි කර ඇත.

බිම් බෝම්බ. විසිවන සියවසේ අවසානයත් සමඟම සෑම දිනකම බිම් බෝම්බ හේතුවෙන් සාමාන්‍යයෙන් මිනිසුන් 70දෙනෙකු පමණ මරණයට හෝ අබ්බගාත තත්වයට පත් වී ඇත! ඔවුන්ගෙන් වැඩිදෙනෙකු යුධ භටයන් නොව සාමාන්‍ය වැසියන්ය. බිම් බෝම්බ බොහෝවිට යොදාගැනෙන්නේ, ඝාතනය කිරීමට නොව මිනිසුන්ව අබ්බගාත කිරීමට හෝ එමගින් ඇති කරන බිහිසුණු හානිය පිළිබඳව බියක් හෝ ත්‍රාසයක් ජනිත කිරීමටය.

බිම් බෝම්බ නිෂ්ක්‍රීය කිරීමට මෑත වර්ෂවලදී දැඩි වෑයමක් දරා ඇති බව ඇත්තයි. එහෙත්, ඇතැමුන් පවසන ආකාරයට නිෂ්ක්‍රීය කරන සෑම බිම් බෝම්බයක් වෙනුවට තව විස්සක් වළලන අතර, මුළු ලෝකය පුරාම බිම්බෝම්බ කෝටි හයක් පමණ වළලා ඇතැයි පැවසේ. භටයෙකුගේ පාදයක්ද නැතහොත් පිට්ටනියක සෙල්ලම් කරන දරුවෙකුගේ පාදයක්ද කියා වෙන් වෙන්ව හඳුනාගැනීමට බිම්බෝම්බයකට බැරිය යන කාරණය, මේ බියකරු අවිය නිෂ්පාදනය හා පාවිච්චිය නතර කිරීමට හේතුවක් වී නොමැත.

න්‍යෂ්ටික අවි. න්‍යෂ්ටික අවි සොයාගැනීමත් සමඟම යුධ භටයන් අතර කිසිම ගැටුමක් නොමැතිව තත්පර ගණනකදී මුළු නගරයක් වුණත් සුන්නද්දූලි කර දැමීමට හැකි විය. උදාහරණයක් හැටියට, 1945දී හිරෝෂිමා හා නාගසාකි නගරවලට පරමාණු බෝම්බ හෙළීමෙන් ඇති වූ රුදුරු විනාශය සලකා බලන්න. එයින් පිට වූ අධිආලෝකය නිසා සමහරු අන්ධ වූහ. විකිරණ හේතුවෙන් තවත් සමහරුන්ට විෂ ශරීරගත විය. බොහෝදෙනෙක් ගින්නෙන් හා අධික රස්නෙන් මිය ගියෝය. අවසානයේදී, මේ නගර දෙකේම සිදු වූ මරණ සංඛ්‍යාව 3,00,000ක් පමණ බව ගණන් බලා ඇත!

ඇත්තෙන්ම, එම නගර දෙකට බෝම්බ හෙළීමෙන් සාමාන්‍ය සම්ප්‍රදායක යුද්ධයකින් සිදුවීමට ඉඩ තිබූ මරණ සංඛ්‍යාව අඩු කරගත හැකි වූ බවට සමහරෙකු තර්ක කළ හැකිය. කෙසේවෙතත්, මෙතරම් දරුණු ජීවිත හානියක් වීම නිසා කම්පනයට පත් සමහරෙක් මේ කුරිරු අවිය ජාත්‍යන්තර වශයෙන් පාලනය කිරීමට සාකච්ඡා පවත්වන්ට පටන්ගත්හ. මිනිසා තමාවම කාබාසිනියා කරගැනීමේ තැනට පැමිණ ඇති බව වටහාගෙන සමහරුන් බියට පත්වීම පුදුමයක් නොවේ.

න්‍යෂ්ටික අවි වැඩිදියුණු කිරීමෙන් සාමය ළඟපාතට ගෙනැවිත් තිබේද? සමහරු ඔව්යැයි පවසති. මේ ප්‍රබල අවි දැනට අඩ සියවසක පමණ කාලයක් පුරා පාවිච්චි කර නොතිබීම ඔවුහු ඊට හේතුව ලෙස දක්වති. කෙසේවෙතත්, වෙනත් අවි යොදාගෙන යුද්ධ දිගටම කෙරෙමින් පවතින නිසා, වඩා ප්‍රබල මාරක අවියකින් සමූලඝාතනයක් කළ හැකිය යන නොබෙල්ගේ විශ්වාසය සැබෑවක් වී නැත. ඊට අමතරව, න්‍යෂ්ටික ප්‍රතිපත්ති පිළිබඳ කොමිසමක් පවසන පරිදි, න්‍යෂ්ටික යුධෝපකරණ දහස් ගණනක් ඕනෑම මොහොතක කෙස්සෙන් ගස්සන මානයේ රඳවා ඇත. ත්‍රස්තවාදය මෙතරම් බැරෑරුම් ගැටලුවක්ව පවතින මේ යුගයේදී බොහෝදෙනෙක් මෙම න්‍යෂ්ටික අමුද්‍රව්‍ය “වැරදි” අත්වලට ගියොත් යන බියෙන් පසු වෙති. ඒවා “හරි” අත්වල රැඳුණත්, සිදු විය හැකි එක හදිසි අනතුරකින් මුළු ලෝකයම තාප න්‍යෂ්ටික ව්‍යසනයක ගිල්වීමේ එබඳුම ගැටලුවක් පවතී. නිසැකවම, විනාශකාරි අවි සම්බන්ධව ගනිද්දී, නොබෙල් සිහින මැවූ සාමය එය නොවේ.

ජීවාණු හා රසායනික අවි. ඇන්ත්‍රැක්ස් වැනි විනාශකාරි බැක්ටීරියාවක් හෝ වසූරිය වැනි වෛරසයක් පාවිච්චි කිරීම යුධ කටයුතුවලදී ජීවාණු යොදාගැනීමට ඇතුළත් වේ. වසූරිය ඉතාම වේගයෙන් පැතිරෙන වෛරසයක් නිසා එය විශේෂයෙන්ම භයානකය. එමෙන්ම, විෂ වායු වැනි රසායනික අවිද තිබේ. මේ විෂ ද්‍රව්‍ය විවිධ ස්වරූපයෙන් නිපදවේ. දශක ගණනාවක සිට එහි භාවිතයට තහනම් පමුණුවා ඇති මුත් එහි පාවිච්චිය නතර කිරීමට එය හේතුවක් වී නැත.

නොබෙල් පුරෝකථනය කළ පරිදි, මේ රුදුරු අවි හා එමගින් ගෙනෙන තර්ජනය “බියෙන් පසුබා තම හමුදා [විසුරුවාහරින්ට]” ජාතීන්ව පොලඹවා තිබේද? එසේ වනවා වෙනුවට, යම් දිනයක ආධුනිකයෙකු අතින් පවා මේ අවි පාවිච්චි වෙයි යන බියෙන් ඔවුහු සලිත වී සිටිති. “කෙනෙකුට තමන් උසස් පාසැලේදී ඉගෙනගත් රසායනික විද්‍යාව ගැන සුළු අවබෝධයක් හෝ තියෙනවා නම්, තමාගේ ගෙදරදීම රසායනික අවි සාදාගන්ට පුළුවනි” කියා එ.ජ. අවි පාලන හා නිරායුධකරණ නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂවරයා දැනට දශකයකට පමණ පෙර සඳහන් කළේය.

විසිවන සියවස තුළදී වෙන කිසිම යුගයකට වඩා විනාශකාරි යුද්ධ සිදු වූ බව අවිවාදයෙන්ම පිළිගත යුතුය. තවදුරටත්, 21වන සියවසේ අරුණළු වැටෙන්ටත් පෙර සාමය සඳහා තිබූ අපේක්ෂාවන් සිහිනයක් පමණක්ම බවට පත් විය. එය විශේෂයෙන්ම එසේ වූයේ, 2001 සැප්තැම්බර් 11වනදා, නියූ යෝක් හා වොෂිංටන් ඩී.සී. නගරවලට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වීමත් සමඟය. නියුස්වීක් සඟරාවට ලියමින් ස්ටීවන් ලිවි කියන්නේ, “තාක්ෂණයේ දියුණුව නපුරට අරඅදින්නන්ගේ අතකොළුවක් වේවිද කියා ඇසීමට තරම් කිසිවෙකු දිරි උපදවාගෙන නැත. එවන් තත්වයක් හටගතහොත් ඊට මුහුණ දීමට කාට හැකි වේවිද? මිනිසාට ඇත්තේ දියුණුවයැයි තමන් සලකන දේ ලුහුබැඳ ගොස් එහි විපාක ගැන ප්‍රමාද වී සිතන ඉතිහාසයකි. නොසිතූ විරූ විපත් ඇති කරගැනීම අපේ පරමාර්ථය නොවුවත් එවන් දේවල් හටගැනීමට අවකාශ සැලසෙන වාතාවරණයක් ඇති කිරීම අපගේ පුරුද්ද වී තිබේ” කියාය.

විනාශකාරි පුපුරන ද්‍රව්‍ය හා අවි ආයුධවල සොයාගැනීම මේ ලෝකයට සාමය ළඟා කර නැති බව ඉතිහාසය අපට උගන්වයි. එසේ නම්, ලෝක සාමය යනු සිහිනයක් පමණක්ද?

[26වන පිටුවේ කොටුව⁄පින්තූර]

නයිට්‍රොග්ලිසරින් මෙල්ල කිරීම

ඉතාලි ජාතික රසායනඥ ආස්කාන්යෝ සොබ්‍රේරෝ 1846දී, උකු තෙල් සහිත පුපුරන ද්‍රාවණයක් වන නයිට්‍රොග්ලිසරින් සොයාගත්තේය. මේ ද්‍රව්‍ය හානිකර බව ඔප්පු විය. පිපිරීමකින් විසි වී ආ වීදුරු කැබලි මුහුණේ වැදී සොබ්‍රේරෝගේ මුහුණ දරුණු ලෙස කැපී ගියේය. අවසානයේදී, එම ද්‍රව්‍යයත් සමඟ වැඩ කිරීම ඔහු අතැර දැමීය. කෙසේවෙතත්, මේ ද්‍රාවණය හා බැඳි විසඳිය නොහැකි ගැටලුවක් සොබ්‍රේරෝට විය. එනම්, එම ද්‍රාවණයෙන් ස්වල්පයක් කිණිහිරයක් මත හලා එයට මිටියෙන් ගැසූ විට පිපිරී ගියේ මිටියෙන් තැළූ කොටසේ වූ ද්‍රාවණය පමණය. එහෙත්, ඉතිරි ද්‍රාවණයට කිසිවක් සිදු වූයේ නැත.

නොබෙල් මෙම ගැටලුව විසඳාගත්තේ පුපුරන ද්‍රව්‍ය ස්වල්පයකින් තවත් පුපුරන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ඇවිළවිය හැකි අයුරින් ක්‍රියාත්මක වන පතරොමක් නිපදවීමත් සමඟය. පසුව, 1865දී, නොබෙල් පුපුරුවන කොපුව නිපදෙව්වේය. මෙය පුපුරන රසදිය පිරවූ කුඩා කොපුවක් වූ අතර නයිට්‍රොග්ලිසරින් දැමූ තවත් ඇසුරුමක බහා ගිනිනූලක් ආධාරයෙන් අවුළුවනු ලැබුණි.

කෙසේවෙතත්, නයිට්‍රොග්ලිසරින් අතපත ගෑම ඒ වන විටත් හානිකර යමක් විය. උදාහරණයක් හැටියට, 1864දී ස්ටොක්හෝම්වලින් පිට පිහිටා තිබූ නොබෙල්ගේ වැඩපොළක සිදු වූ පිපිරීමකින් ඔහුගේ බාල සහෝදරයා වූ එමිල් ඇතුළු පස්දෙනෙක් මිය ගියෝය. ජර්මනියේ කෲමල්හි පිහිටි නොබෙල්ගේ කම්හල දෙවතාවක් පුපුරා ගියේය. දරුණු ප්‍රතිඵල මැද වුවත් ලාම්පු තෙල් ලෙස හා සපත්තු ඔප කිරීමට හෝ කරත්ත රෝදවලට දමන තෙල් හැටියට මේ ද්‍රාවණය එවකටත් පාවිච්චි විය. පර්වත පුපුරුවා හැරීම සඳහා මෙය පාවිච්චි කළත් වැඩිමනත් තෙල් දෙදරා ඉරිතලා ගිය තැන්වලට ගලා ගොස් පසුව අනතුරු සිදු විය.

නොබෙල් වර්ෂ 1867දී, නයිට්‍රොග්ලිසරින් නමැති තෙල් ද්‍රාවණය නොපුපුරන සවිවර හෙවත් උරාගන්නා ද්‍රව්‍යයක් වන කීසල්ගුවර් සමඟ මිශ්‍ර කර ඝන ද්‍රව්‍යයක් බවට හැරවීය. නොබෙල් ඊට “බලශක්ති” නම් අරුත් ඇති ඩයිනමිස් යන ග්‍රීක් වචනය සම්බන්ධ කරගෙන ඩයිනමයිට් යන නම පටබැඳීය. පසුව ඊට වඩා ඉහළ ගණයේ පුපුරන ද්‍රව්‍ය වැඩිදියුණු කළත් ඔහුගේ වඩාත්ම වැදගත් සොයාගැනීම ලෙස සැලකෙන්නේ ඩයිනමයිට්ය.

ඇත්තෙන්ම, නොබෙල්ගේ පුපුරන ද්‍රව්‍ය යුධ කටයුතුවලට බාහිරවද යොදාගෙන තිබේ. උදාහරණයක් හැටියට, සාන්ත ගෝටාහ්ට් උමඟ ඉදි කිරීමේදී (1872-82), නියූ යෝක් ඊස්ට් ගඟේ වතුර යට තිබූ පර්වත බිඳදැමීමට (1876, 1885) හා ග්‍රීසියේ කොරින්ත් ඇළ හෑරීමට (1881-93) එය ප්‍රමුඛව යොදාගැනුණි. එසේ වුවත්, ඩයිනමයිටය සොයාගැනීමත් සමඟම එය විනාශයේද මරණයේද අවියක් ලෙස නමක් සාදාගත්තේය.

[පින්තූරය]

ඩයිනමයිට් අඩංගු පුපුරන ද්‍රව්‍ය යොදා විනාශ කළ කොලොම්බියානු පොලිස් ස්ථානය

[හිමිකම් විස්තර]

© Reuters NewMedia Inc./CORBIS

[22වන පිටුවේ පින්තූරය]

නොබෙල්ගේ මරණයෙන් 20 වසරක්වත් යෑමට පෙර අලුත්ම මාරාන්තික අවි යොදාගනු ලැබූ Iවන ලෝක මහා සංග්‍රාමය ඇරඹුණි

[හිමිකම් විස්තර]

U.S. National Archives photo

[24වන පිටුවේ පින්තූර]

කාම්බෝජයේ, ඉරාකයේ හා අසර්බයිජානයේ බිම් බෝම්බවලට ගොදුරුවූවෝ

[හිමිකම් විස්තර]

UN/DPI Photo 186410C by P.S. Sudhakaran

UN/DPI Photo 158314C by J. Isaac

UN/DPI Photo by Armineh Johannes

[24වන පිටුවේ පින්තූරය]

න්‍යෂ්ටික ප්‍රතිපත්ති පිළිබඳ කොමිසම පවසන පරිදි, න්‍යෂ්ටික යුධෝපකරණ දහස් ගණනක් ඕනෑම මොහොතක කෙස්සෙන් ගස්සන මානයේ රඳවා ඇත

[හිමිකම් විස්තර]

UNITED NATIONS/PHOTO BY SYGMA

[25වන පිටුවේ පින්තූර]

1995දී ටෝකියෝහි උමං දුම්රියපොළකදී පාවිච්චි කළ සරින් නමැති විෂවායුව හේතුවෙන් රසායනික අවිවල තිබෙන රුදුරු ස්වභාවය දසත පතළ විය

[හිමිකම් විස්තර]

Asahi Shimbun/Sipa Press

[23වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

UN/DPI Photo 158198C by J. Isaac