Skip to content

පටුනට යන්න

ඔබට ප්‍රයෝජනවත් ගෝලීයකරණයක්

ඔබට ප්‍රයෝජනවත් ගෝලීයකරණයක්

ඔබට ප්‍රයෝජනවත් ගෝලීයකරණයක්

“ගෝලීයකරණය සාර්ථක වන්න නම් දුප්පත් පොහොසත් දෙපාර්ශ්වයටම භේදයකින් තොරව එහි ප්‍රයෝජන භුක්ති විඳීමට හැකි විය යුතුයි. එමගින් ධනවත්කම හා සමානව මානව හිමිකම්ද ලබා දිය යුතුයි. තවද ආර්ථික සමෘද්ධියට හා දියුණු සන්නිවේදනවලට නොඅඩුව සමාජීය යුක්තිය සහ සාධාරණකමත් මිනිසා ලැබිය යුතුයි.”—එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කෝෆි ආනන්.

කෝෆි ආනන් පෙන්නුම් කරන පරිදි සැබෑ ගෝලීයකරණය මගින් මේ විශ්ව ප්‍රජාවේ සෑම පුරවැසියෙකුගේම ජීවන තත්වය නඟා සිටුවීමට හැකි විය යුතුයි. නමුත් අප මෑත කාලවලදී අද්දැක ඇති දේවලින් පෙනී යන්නේ එම තත්වය පෙනෙන තෙක් මානයකවත් නැති බවයි. තාක්ෂණික දියුණුව හා අනෙකුත් සංවර්ධන ක්‍රියාදාමයන් සමඟ සසඳන විට මානව අයිතිවාසිකම් හා සමාජීය යුක්තිය ඉදිරියට ඇදෙන්නේ ඉබි ගමනෙනි.

මෙයට මූලික හේතුව නම් ආර්ථිකය ගෝලීයකරණය කිරීමේදී එකම ඉලක්කය වී තිබෙන්නේ මුදල් පසු පස හඹා යෑම වීමයි. ලාභ ඉපදවීමේ අභිලාෂය ඉදිරියේ දුප්පත්කම, අසරණභාවය හා අපේ පෘථිවියේ දිගු කාලීන ශුභසාධනය කෙරෙහි හැඟීමක් ඇති වන්නේ ඉතා කලාතුරකිනි. “පාලනයෙන් තොර වූ සමස්ත ලෝක ආර්ථිකය හසුරුවන්නේ, එකම දායාදය මුදල් ලෙස සලකන සංස්ථා විසිනි. එනිසා එය පවතින්නේ අස්ථාවර තත්වයකයි. . . . එය මනුෂ්‍යයන්ව ආර්ථිකමය ලෙස පමණක් නොව වෙනත් ආකාරවලින්ද අසරණ තත්වයකට ඇද දමයි” යනුවෙන් ආචාර්ය ඩේවිඩ් සී. කොට’න් තර්කයක් ඉදිරිපත් කළේය.

සියලුදෙනාටම යුක්තිය ඉෂ්ට වෙන ආකාරයේ ලෝක ආර්ථික ක්‍රමයක් ගොඩනැංවීමට ආණ්ඩු ක්‍රමවලට හැකිද? එය සිදු විය නොහැක්කක් බව පැහැදිලියි. ලෝකයේ කිසිම ප්‍රශ්නයකට විසඳුමක් දීමට මේ දක්වා ආණ්ඩුවලට හැකි වී නැත. එය ජාත්‍යන්තර මට්ටමෙන් සිදු කරන අපරාධ වේවා, ඕසෝන් වියන ක්ෂය වීම නිසා උෂ්ණත්වය ඉහළ යෑම වේවා, නැත්නම් දුගී දුප්පත්කම වේවා මේ කිසිම දෙයකට අද වන තුරු විසඳුම් ලැබී නැත. “ලෝකයේ සියලුම ජනයාගේ සැලකිල්ලට භාජන වන දේවල් ආරක්ෂා කරගැනීම සඳහා සාමූහික ප්‍රයත්නයක් දැරීම අවශ්‍ය බව” ආනන් පෙන්නුම් කරයි. “නමුත් ජාත්‍යන්තර මට්ටමෙන් ප්‍රයත්නයක් දැරීමට ගෝලීයකරණය වූ වත්මන් ලෝකය තවමත් ක්‍රියා පිළිවෙතක් දියත් කර නොමැති තරම්ය.”

ලෝකයේ ප්‍රශ්න විසඳීමට ඇති එකම උපක්‍රමය වන්නේ ජාත්‍යන්තර මට්ටමෙන් ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීම පමණක් නොවෙයි. එක් කොමිසමක් පවසන්නේ (The Commisson on Global Governance) a ලෝකයේ ප්‍රශ්න විසඳීමට ආචාරධර්ම අවශ්‍ය බවයි. “ශිෂ්ට සම්පන්න ගති පැවතුම්වලින් තොර විශ්ව ප්‍රජාවක ගැටුම් හා පීඩාකාරි තත්වයන් ප්‍රගුණ විය හැක. හොඳින්ම සැලසුම් කළ ආයතන හෝ ක්‍රියා පිළිවෙත් පවා නියම නායකත්වයක් නැත්නම් අසාර්ථක වේ.”

ඔවුන් යෝජනා කර තිබුණේ ජාත්‍යන්තර මට්ටමෙන් කුමන ආකාරයේ සාරධර්ම අනුගමනය කිරීමටද? “මනුෂ්‍යයන් තමාට යම් කෙනෙකු කොයි ආකාරයෙන් සලකනවාට කැමතිද එසේම ඔවුන්ද අන් අයටත් සැලකිය යුතුයි” කියා එම වාර්තාවේ උනන්දු කර තිබිණ. මේ ලෝකයේ විසූ ශ්‍රේෂ්ඨතම නායකයා වන යේසුස් ක්‍රිස්තුස් මෙම උපදෙස දුන්නේ මීට අවුරුදු දෙදහකට පමණ පෙරය. (මතෙව් 7:12) එම ප්‍රතිපත්තිය අදටත් එදා මෙන්ම අදාළ වේ. ගෝලීයකරණය එම ප්‍රතිපත්තිය මත රඳා පවතිනවා නම් එනයින් සියලුදෙනාම ප්‍රයෝජන ගන්නවාට කිසිම සැකයක් නැත. මෙය කවදා හෝ ඉටු වෙයිද?

මුළු ලෝකයටම වෙනස් ආකාරයේ විසඳුමක්

බයිබලයේ පුරෝකථනය කර ඇති පරිදි නුදුරු අනාගතයේදී ලෝකය පාලනය කරන එක ආණ්ඩුවක් මනුෂ්‍යයන්ව එක්සත් කරනු ඇත. එය ඉටු කරනු ලබන්නේ මුදල්වලින්වත් තාක්ෂණික දියුණුව නිසාවත් නොව පරාර්ථකාමී ගුණාංග පෙරදැරි කරගෙනය. මෙම විසඳුම සාර්ථක වීමට හේතු වන්නේ මනුෂ්‍යවර්ගයාට යහපතක් සිදු වන අයුරින් ජාත්‍යන්තර මට්ටමෙන් ප්‍රශ්න විසඳීම සඳහා ක්‍රියා මාර්ගයක් ගැනීමට බලයක් හා නිශ්චිත ක්‍රියා පිළිවෙතක් එයට තිබීමයි. යේසුස් පවා මෙම ලෝකය පාලනය කරන එක ආණ්ඩුවක් කෙරෙහි අවධානය යොමු කරමින් ඔහුගේ ගෝලයන්ට ‘දේවරාජ්‍යය මේ පොළොවට පැමිණේවා, දෙවිගේ කැමැත්ත මේ පොළොවේ ඉෂ්ට වේවා’ කියා යාච්ඤා කරන්න ඉගැන්නුවේය.—මතෙව් 6:10.

යේසුස් ක්‍රිස්තුස්ගේ බලය යටතේ පවතින ස්වර්ගික ආණ්ඩුව වන දේවරාජ්‍යය ජාත්‍යන්තර මට්ටමෙන් අලුත් සාරධර්ම ක්‍රියාත්මක කරයි. යේසුස් මේ පොළොවේදී ඉගැන්වූවේද එම සාරධර්ම ගැනයි. සැම දෙයක්ම සිදු කරනු ලබන්නේ දෙවිට හා අසල්වැසියන්ට ප්‍රේම කරන්න යන ප්‍රතිපත්තිවලට අනුකූලවය. (මතෙව් 22:37-39) මෙම නව ආණ්ඩුව ක්‍රියාත්මක කරන දේවල් සම්බන්ධව බයිබලයේ බොහෝ අනාවැකිවල සඳහන් කර තිබේ. එම ආණ්ඩුවේ පාලනය හොබවන යේසුස් ගැන ශුද්ධ ලියවිල්ලේ පොරොන්දු කරන්නේ ඔහු “ධර්මිෂ්ඨකමෙන් දිළිඳුන් විනිශ්චය කොට, පොළොවේ යටහතුන් උදෙසා යුක්තියෙන් නිශ්චය කරන්නේය” කියායි. (යෙසායා 11:4) ධනවත් හා බලය ඇත්තාවුන් අසරණයන්ට තවදුරටත් අයුතුකම් කරන්නේ නැත. යේසුස් “දුප්පතුන් සහ දිළිඳුන් කෙරෙහි අනුකම්පා කරන්නේය. . . . ඔවුන්ගේ ප්‍රාණය පීඩාවෙන්ද බලාත්කාරයෙන්ද මුදන්නේය.”—ගීතාවලිය 72:13, 14.

පාරිසරික ප්‍රශ්න සැණෙකින් විසඳනු ලැබේ. ශුෂ්ක දේශගුණයකින් යුත් කාන්තාර ප්‍රදේශ ක්‍රම ක්‍රමයෙන් පුළුල් වෙනවා වෙනුවට “වනාන්තරයද වියළි දේශයද ප්‍රීති වන්නේය. කාන්තාරය ප්‍රීතිමත් වී සෙව්වන්දි මෙන් මල් දරන්නේය.” (යෙසායා 35:1) කෑම හිඟකම වෙනුවට “පොළොවේ කඳු මුදුන්හි බොහෝ ශස්‍ය වන්නේය.”—ගීතාවලිය 72:16.

දේවරාජ්‍යය මගින් සියලුම තරාතිරම්වල සිටින මනුෂ්‍යයන්ව එකමුතු කරනු ලබනවා ඇත. දෙවි පොරොන්දු කරන්නේ මෙසේයි. ‘කොටුවක සිටින බැටළුවන් මෙන් ඔවුන් එක්රැස් කරන්නෙමි.’ ‘එකල සියලු ජනයන් එක්සිත්ව මට සේවය කරන පිණිස ඔවුන්ට පවිත්‍ර භාෂාවක් දෙන්නෙමි.’ (මීකා 2:12, නව අනුවාදය; ශෙපනියා 3:9) මෙම ‘පවිත්‍ර භාෂාවට’ සදාචාරාත්මක හා ආගමික සාරධර්ම ඇතුළත් නිසා අදටත් මනුෂ්‍යයන්ව එක්සත්ව තැබීමට ඒවාට හැකි වී තිබේ.

ලෝකයේ ගමනාගමන පහසුකම් සඳහා ඉත සිතින් ස්තුතිපූර්වක විය යුත්තේ එමගින් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට නොකඩවා විශාල ජාත්‍යන්තර සමුළු පැවැත්වීමට හැකි වී තිබෙන නිසයි. මෙමගින් විවිධ ජාතික, වාර්ගික හා සංස්කෘතින්වලට අයත් සාක්ෂිකරුවන් අතර බැඳීම ශක්තිමත් වී තිබේ. මෙම සමුළු එක්සත්කමේ ජීවමාන සාක්ෂි වේ. එසේ වන්නේ ඔවුන් තාක්ෂණයෙන් හා වානිජ්‍යයෙන් නොව මනසින් හා හෘදයෙන් එකමුතු වී තිබෙන නිසයි. (මේ සමඟ ඇති කොටුව බලන්න.) එවැනි සමුළුවකට සහභාගි වූ එක් ස්පාඤ්ඤ දේවධර්මවාදියෙක් පැවසුවේ මෙසේයි. ‘මම එයින් පිටතට ආවේ යම් වර්ධනයක් ලබලා. ඒක ශුද්ධ ලියවිලිවලින් පමණක් ලැබුණු ඥානාලෝකය නිසා විතරක් ඇති වූ දෙයක් නොවෙයි. සැමෝම අතර තිබුණු බැඳීම, උසස් සදාචාරය හා හැසිරීම නිසාත් ඇති වූ වර්ධනයක්.’

යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ගෝලීයකරණය මගින් ලබා දී ඇති සමහර පහසුකම් දේවරාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමේ කර්තව්‍යය සඳහා යොදාගනිති. උදාහරණයක් වශයෙන් පිබිදෙව්! සඟරාව භාෂා 80කට වැඩි ගණනකින් පරිවර්තනය කිරීමට ලොව පුරා බොහෝ පරිවර්තකයන් පරිගණක හා ඉලෙක්ට්‍රෝනික තැපෑල වැනි පහසුකම් භාවිතා කරයි. මෙවැනි පහසුකම් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ලොව පුරා බයිබල් අධ්‍යාපනය දියත් කිරීමට මහෝපකාරි වේ. ඇත්ත වශයෙන්ම ගෝලීයකරණය මගින් ලැබෙන පහසුකම්වලින් ජීවිත නඟා සිටුවීමට හෝ කඩා දැමීමට හැකියි.

ප්‍රශ්න ඇති කරන මිනිස් ගෝලීයකරණය මෙන් නොව මුළු ලෝකයම පාලනය කිරීමට නියමිත දේවආණ්ඩුව මගින් ප්‍රශ්නවලට විසඳුම් ලැබෙනවා ඇත. අපට මෙම දිව්‍ය පරිපාලනය කෙරෙහි විශ්වාසය තැබීමට සාධාරණ හේතු තිබේ. දෙවි පොරොන්දු කරන්නේ මෙසේයි. ‘මම අලුත් පොළොවක් මවමි. පළමු දේ මතක් කරනු ලබන්නේවත් සිහි වෙන්නේවත් නැත. එසේය, මා විසින් මවන දෙය ගැන සදාකාලේටම සතුටුව ප්‍රීති වෙන්න.’ (යෙසායා 65:17, 18) දෙවිගේ “අලුත් පොළොව” ජාත්‍යන්තර මට්ටමෙන් සියලුදෙනාටම ප්‍රයෝජන අත් කර දෙයි.

[පාදසටහන]

a ඉහත සඳහන් කොමිසමට ප්‍රසිද්ධ ලෝක නායකයන් 28දෙනෙකු ඇතුළත් වූ අතර, වර්ෂ 1995දී “අපේ විශ්ව ප්‍රජාව” නමැති තේමාව යටතේ ඔවුහු විස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කළහ. ලෝකයේ ආණ්ඩු ක්‍රම දියුණු කළ හැකි පැති සම්බන්ධව එම වාර්තාවේ යෝජනා ඉදිරිපත් කර තිබුණි.

[26වන පිටුවේ කොටුව]

අන්තර් සබඳතා තිබුණද බෙදුණු ලෝකයක්

තාක්ෂණය මගින් මුළු ලෝකයම එකට එකතු කළද බෙදුම්වාදී තත්වයන් එලෙසම පවතියි. රූපවාහිනිය, ජංගම දුරකථනය හා අන්තර්ජාලය මිනිස් සම්බන්ධකම් පැවැත්වීමට උපකාර වූවද එය මිනිසා අතර එක්සත්කම ඇති කිරීමට දායක වී නැත. වාණිජ්‍යමය සංකලනයත් සුපිරි බලවතුන් අතර ගැටුම් සමාප්ත වීමත් සමඟම ප්‍රාන්ත අතර යුද්ධ අඩු වුවද සැහැසික සිවිල් යුද්ධ නිසා දහස් ගණන් ජනයා සෑම අවුරුද්දකම අංගවිකල තත්වයට හෝ මරණයට පත් වෙති.

ඊට හේතුව? සිවිල් යුද්ධ ඇතිවීමට හේතු පාදක වී ඇති ජාතිවාදී, වාර්ගික හා ආගමික විරුද්ධවාදීකම් නිමාවීම පෙනෙන තෙක් මානයකවත් නැති නිසයි. ලෝක පරිමාණයෙන් ව්‍යාපාර හා අපරාධ සිදු කරන කණ්ඩායම් යුද්ධ කරන ජාතීන්ට අඩු මිලකට ලබාගත හැකි ආයුධ නොඅඩුව සැපයීම ගැටුම් තවත් උග්‍රවීමට හේතු වේ. සැබෑ එක්සත්කම කිසිදාක ඉලෙක්ට්‍රෝනික යුගයකින් හෝ ව්‍යාපාරික වස්තු වෙළඳපොළේ සාර්ථකත්වයෙන් හෝ ලබාගත නොහැක.

ඇත්ත වශයෙන්ම සමහර පැතිවලින් ආර්ථික අර්ථයකින් සිදු කරන ගෝලීයකරණය මිනිසුන් අතර අසමගිය ඇති කළ හැක. මුදල් ආයෝජනය හෝ ව්‍යාපාරික ක්ෂේත්‍රය පුළුල් කිරීමෙන් පසු යම් ආර්ථික පසුබැස්මක් ඇති වූ විට එය තමන්ගේ වාසියට හරවාගන්නා අන්තවාදී දේශපාලනඥයන්ට බෙහෙවින් ගොදුරු වන්නේ දුප්පත් ජනතාවයි. මෙයට දිය හැකි විසඳුම කුමක්ද? “ජාතික හා ලෝක ආණ්ඩු ක්‍රමයක් නැවත ප්‍රතිස්ථාපනය කළ යුතුයි. මෙය මිනිස් සබඳතා සමඟින් වර්ධනය විය යුතු අතර යුක්තිය එහි ප්‍රධාන අංගය විය යුතුයි” කියා 1999 මානව සංවර්ධන වාර්තාව පෙන්නුම් කරයි. දේවආණ්ඩුව මගින් ඉෂ්ට කරනු ඇත්තේ මේ දෙයයි.

[27වන පිටුවේ පින්තූර]

යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලෝක ව්‍යාප්තව කරන බයිබල් අධ්‍යාපන කර්තව්‍යය මගින් විවිධ පසුබිම්වල සිටින ජනයාව එක්සත් කිරීමට හැකි වී තිබේ