Skip to content

පටුනට යන්න

කෘමි ලෝකයේ නිපුණ කසළ ශෝධකයෝ

කෘමි ලෝකයේ නිපුණ කසළ ශෝධකයෝ

කෘමි ලෝකයේ නිපුණ කසළ ශෝධකයෝ

මිනිසා දැනට වසර 150කට පමණ පෙර, කැත කුණු හා කුණු කසළ ඉවතලෑමේ සංකීර්ණ පද්ධති නිර්මාණය කිරීම ආරම්භ කළේය. එහෙත් ඒ වන විටත් කුණු කසළ ඉවත් කිරීමේ නිපුණයෙක් සිටියේය. ඒ අදටත් නිවර්තන කලාපීය අමෙරිකාවේ වෙසෙන කුඩා කුහුඹුවෙකි.

විශාල භූගත ගුල්වල වෙසෙන මේ පත්‍ර කන කුහුඹුවා ගැවසෙන්නේ දශලක්ෂ ගණනින් යුත් කුහුඹු ප්‍රජාවලය. කුහුඹු ශ්‍රම හමුදාවේ සිටින මේ කෘමීන්ට විවිධ වැඩකටයුතු පැවරී ඇත. සමහර කුහුඹුවෝ පත්‍ර කැබලි එකතු කරති. තවත් කණ්ඩායමක් ඒවා තලපයක් වන තුරු විකති. උයන් ගොව්වන් සේ කටයුතු කරන කුහුඹුවෝ ඒ තලපය පාවිච්චි කරමින් අනුභවයට ගත හැකි හතු වර්ගයක් ගුලේ කුටි තුළම වගා කරති. උන් හානිකර දිලීර, මැරුණු හෝ මරණාසන්නව සිටින කුහුඹුවන් හා දිරාගිය ද්‍රව්‍ය වැනි රෝග බෝ කරන සෑම දෙයක්ම ඉවත් කිරීමෙහිද යෙදී සිටිත්. මෙම කුහුඹුවන් කුණු කසළ ඉවත් කරන්නේ කෙසේද?

ෂෙෆීල්ඩ් විශ්වවිද්‍යාලයේ සිටින බ්‍රිතාන්‍ය ජාතික විද්‍යාඥයන් ඊට පිළිතුර සොයාගෙන තිබෙන බව දි ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් පත වාර්තා කරයි. උයන් ගොව් කුහුඹුවා වැඩ කරන කුටිවලට යාබදව කුණු කසළ ගොඩගසන වඩා විශාල කුටි ඇත. කුණු කසළ සමඟ වැඩ කරන කුහුඹුවෝ උන්ගේ මුළු ජීවිත කාලයම එම කුටි තුළ ගත කරති. උන් කුණු කසළ එහාට මෙහාට පෙරළමින් එය දිරායෑමට සලස්වන අතර, එහි ප්‍රතිඵලයක් හැටියට රෝග බෝ කරන බැක්ටීරියා විනාශ කර දැමෙයි. උයන් ගොව් කුහුඹුවෝ කිසිවිටෙක කුණු කසළ කුටි තුළට නොයති. උන් කුණු කසළ උමං තුළට ගෙනා විට, ඒවා එකතු කරනු ලබන්නේ කුණු එකතු කරන්නන් විසිනි. කුණු කසළ ඉවත් කිරීමේ මෙම ඵලදායක ක්‍රමය මගින් ගුල දූෂ්‍ය වීම වැළකෙන අතර, කුහුඹු කොලනියේ සෞඛ්‍යයද සුරැකේ.

සහජයෙන්ම ඥානවන්තව කටයුතු කිරීමට යෙහෝවා දෙවි කෘමීන්ට ඉව දී තිබේ. එපමණක්ද නොව, දැනට අවුරුදු 3,500කට පමණ පෙර ඉශ්‍රායෙල්වරුන්ට ශරීර සෞඛ්‍යය පිළිබඳ ප්‍රායෝගික මඟ පෙන්වීම්ද ඔහු ලබා දුන්නේය. එවන් අණ පණත් අදාළ කරගැනීම මගින් ආහාරපාන හා ජලය දූෂණය වීම මෙන්ම බෝ වෙන රෝග පැතිරී යෑම වළක්වාගැනීමට හැකි වූ අතර, කැත කුණු ඉවතලෑම සෞඛ්‍යාරක්ෂිත ලෙස කෙරෙන බවටද සහතික වුණි. එවන් ප්‍රතිපත්ති රැකීමෙන් මොනතරම් කම්කටොලු හා මරණ සංඛ්‍යාවක් වළක්වාගත හැකි වූවාදැයි සිතා බලන්න!—ලෙවී කථාව 11:32-38; ගණන් කථාව 19:11, 12; ද්විතීය කථාව 23:9-14.