Skip to content

පටුනට යන්න

කොහොමද මම හොඳ නේවාසික මිතුරෙක් හොයාගන්නේ?

කොහොමද මම හොඳ නේවාසික මිතුරෙක් හොයාගන්නේ?

යෞවන අය අසති . . .

කොහොමද මම හොඳ නේවාසික මිතුරෙක් හොයාගන්නේ?

“නේවාසික මිතුරන් නොහිටියා නම් මට පූර්ණ-කාලීන එවැන්ජලිස්තවරයෙක් හැටියට සේවය කරන්නවත්, කුලිය ගෙවාගන්නවත්, වතුර බිල, විදුලි බිල වගේ නොයෙකුත් බිල් ගෙවන්නවත් බැරි වෙනවා.”—ලීන්. a

යෞවනයන් නිවසෙන් පිට වෙලා තනියෙන් දිවි අරඹන විට අධික වියදමක් දරන්න සිදු වන බව පෙනී යද්දී බොහෝවිට පුදුමයට පත් වෙනවා. බොහෝදෙනෙකුට අධික ජීවන වියදම දරන්න පුළුවන් වෙන්නේ නේවාසික මිතුරෙක් හෝ කීපදෙනෙක් එක්ක වියදම බෙදාගැනීමෙනුයි.

නමුත් මේ ලිපි මාලාවේ කලින් ලිපියක පෙන්නුම් කළ පරිදි තවත් කෙනෙක් එක්ක, විශේෂයෙන්ම නන්නාඳුනන කෙනෙක් එක්ක කාමරය බෙදාගැනීම ඇත්තෙන්ම අභියෝගයක් විය හැකියි. b පූර්ණ-කාලීන එවැන්ජලිස්තවරුන් හැටියට සේවය කරද්දී එක කාමරයක හවුලේ වෙසෙන යෞවන ක්‍රිස්තියානීන්ගේ අද්දැකීමත් එයම විය හැකියි. ඔබේ තත්වය කුමක් වුවත් ඔබ කාමරය හවුලේ බෙදාගැනීමට සිතනවා නම්, එම තැනැත්තාව තෝරාගනිද්දී “ප්‍රායෝගික ප්‍රඥාව” පාවිච්චි කිරීම නුවණට හුරුයි. cහිතෝපදේශ 3:21, NW.

නරක ආශ්‍රයෙන් සිදු වන හානිය

තරුණ අය හුඟදෙනෙක් සුදුසු නේවාසික මිතුරන් සෙවීමට දැන්වීම් පුවරු, පුවත්පත් නිවේදන තීරු හා අන්තර් ජාලය වෙත යොමු වෙනවා. නමුත් එවැනි මූලාශ්‍ර වෙත යෑමෙන් යෞවන ක්‍රිස්තියානීන් අහු වෙන්නේ මර උගුල්වලටයි. එම මූලාශ්‍ර ඔබේ ඇදහිල්ලට, සාරධර්මවලට හෝ ප්‍රමිතිවලට පටහැනිව ක්‍රියා කරන අයව ඔබට මුණගස්වන්න ඉඩ තිබෙනවා. තමන්ගේම ඇදහිල්ලේ ඉන්න කෙනෙක් එක්ක විතරක් කාමරය බෙදාගැනීමට වුවමනා වීම පටු කල්පනාවක් හෝ සමාජ විරෝධී වීමක් නොවෙයිද? නැහැ. එය ඥානවන්ත ක්‍රියාමාර්ගයක්. බයිබලය මෙසේ අනතුරු අඟවනවා. “නරක ආශ්‍රයෙන් හොඳ චරිත වැනසේ.”—1 කොරින්ති 15:33, නව අනුවාදය.

ලී නමැති යොවුන් ස්ත්‍රිය ගැන සලකා බලන්න. ඇය විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ නවතිනකොට බව්තීස්ම ලත් ක්‍රිස්තියානියෙක් නෙවෙයි. ඇය මතකය අවදි කරමින් මෙසේ පවසයි. “ඒක භයානක පරිසරයක්. සමහර ගෑනු ළමයි නේවාසිකයට එනකොට ඒගොල්ලන්ගේ කාමර මිතුරියන් ලිංගික සම්බන්ධකම් පවත්වමින් ඉන්නවා.” එහි වෙසෙද්දී ලීගේ ආත්මිකත්වයට ඉක්මනින්ම පහර වදින්න පටන්ගත්තා. “මම හුඟක් වෙලාවට ක්‍රිස්තියානි රැස්වීම් අතපසු කළා” කියා ඈ කියනවා. ඇගේ හැසිරීම ටිකෙන් ටික පිරිහී යෑම පුදුමයක් නෙවෙයි. “දවසක් දා මම නරක වචන පාවිච්චි කරද්දී එක ගෑනු ළමයෙක් ඇහැව්වා ‘ඔයා ඔහොම කතා කරනවාට යෙහෝවා කැමතිද’” කියලා. එය මොනතරම් නින්දාවක්ද! භාග්‍යයකට ලී එම අහිතකර පරිසරයෙන් මිදී ආත්මික ප්‍රගතියක් ලබන්න පටන්ගත්තා. නමුත් ඇගේ අද්දැකීමෙන් පෙනී යන්නේ තමන්ගේ ප්‍රමිතිවලට ගරු නොකරන අය සමඟ වාසය කිරීම හානිදායක බවයි.

සුදුසු නේවාසික මිතුරන් සොයාගැනීම

එහෙමනම් ඔබ යා යුත්තේ කා වෙතටද? යෙහෝවාගේ සාක්ෂිකරුවන් සිටින ඔබේම සභාවෙන් අරඹන්න. පූර්ණ-කාලීන දේවසේවකයන් සඳහා විශේෂයෙන්ම පැවැත්වෙන විවිධ පාසැල් හා රැස්වීම්වලදී පූර්ණ-කාලීන එවැන්ජලිස්තවරුන්ට බොහෝවිට ආත්මික මනසක් ඇති වෙනත් යෞවනයන්ව මුණගැසේ. d දෙමාපියන්, සභා වැඩිමහල්ලන්, සංචාරක අවේක්ෂකයන් හා වෙනත් අයගෙනුත් උපකාර ලබාගත හැකියි. සුදුසු නේවාසික මිතුරන් වීමට ඉඩ කඩ ඇති සමහර යෞවනයන් ගැන ඔවුන් දන්නවා වෙන්න පුළුවන්.

ඒ ගැන අන්‍යයන්ට පැවසීමත් ප්‍රබල මාධ්‍යයක් විය හැකියි. ඔබේ අවශ්‍යතාව ගැන වැඩිදෙනෙක් දැනගනිද්දී වැඩියෙන් ප්‍රතිඵල ලැබීමටද තිබෙන ඉඩ කඩ වැඩියි. (දේශනාකාරයා 11:6) සියල්ලටම වඩා නේවාසික මිතුරෙක් ලබාගැනීමට යෙහෝවාගෙන් උපකාරය පතන්න. ඔබේ වෑයමට ඔහු ආශීර්වාද කරන තෙක් බලා සිටින්න.—1 යොහන් 5:14, 15.

විමසීමක් කර බැලීම

සුදුසු නේවාසික මිතුරෙකු හෝ මිතුරියක සොයාගත් විට ඉක්මනින්ම ඒ තැනැත්තා සමඟ විසීමට ඔබ තුළ ආශාවක් ඇති විය හැකියි. නමුත් මුලින්ම යම් විමසීමක් කර බැලීම නැණවත් දෙයක්. ඔහු හෝ ඇය සභාවේ “සහෝදරයන් අතරේ යහපත්යයි ප්‍රසිද්ධ වූ” කෙනෙක්ද? (ක්‍රියා 16:1, 2) සමහරවිට ඔබටයි, ඔබේ දෙමාපියන්ටයි පුළුවන් ඔහුව හෝ ඇයව දන්නා හොඳ ආත්මිකත්වයක් ඇති අයගෙන් කෙළින්ම විමසා බලන්න. ඔබට මෙසේ අසා බැලිය හැකියි. ‘මේ තැනැත්තා ඇති කරගෙන තිබෙන්නේ මොන වගේ නමක්ද? මොහුට චෛතසික හා ආත්මික ස්ථාවරත්වයක් තිබෙනවාද? ඔහු හෝ ඇය අන්‍යයන්ට දේශනා කිරීමෙහි හා රැස්වීම්වලදී අදහස් ඉදිරිපත් කිරීමෙහි හවුල් වෙනවාද? මේ තැනැත්තා හොඳ හැසිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ලබා තිබෙනවාද?’

‘ඥානවන්තයන් කැටුව යන තැනැත්තා ඥානවන්ත වන’ බව මතක තබාගන්න. (හිතෝපදේශ 13:20) “මගේ නේවාසික මිතුරා ආත්මික දේවලට හුඟක් ලැදියි. මගේ ආත්මිකත්වය පවත්වගන්න ඒක මට උපකාරයක්” කියා ඩේවිඩ් පවසනවා. නේවාසික මිතුරියන් කීපදෙනෙක් එක්කම හිටිය රනේත් එවැනිම දෙයක් කියනවා. “මගේ නේවාසික මිතුරියන්ගෙන් කීපදෙනෙක් හැමදාම රෑට අපි බයිබලයේ පරිච්ඡේදයක් කියවමු කියලා යෝජනා කළා. මගේ දෙමාපියන් සාක්ෂිකරුවන් නොවුණ නිසා කවදාවත් අපි පවුලේ බයිබල් පාඩමක් පවත්වලා තිබුණේ නැහැ. ඉතින් මගේ නේවාසික මිතුරියන් එක්ක ‘පවුල් පාඩමක්’ පවත්වන්න පුළුවන් වුණ එක ගැන මම හුඟක් සතුටු වුණා!” ආත්මික දේවලට ඔබ දක්වන ලැදියාවම තිබෙන නේවාසික මිතුරෙකු හෝ මිතුරියක සිටීම ඇත්තෙන්ම ආශීර්වාදයක්.

අවංක කතා බහක යෙදීම

ඊළඟට, දෙදෙනා එකට එකතු වී කාරණා කතා කරගන්න. මෙලෙස කතා බහ කිරීමෙන් ඔබේ පෞද්ගලිකත්වයන් ගැළපෙනවාද කියා බලන්න පුළුවන්. එක සමාන අදහස් හුවමාරු කිරීමේ ප්‍රවණතාවන් ඇති නේවාසික මිතුරන් “වැඩියෙන්ම සෑහීමට පත්ව තිබෙන බවත් එකිනෙකාව ප්‍රිය කරන බවත් වාර්තා වී” ඇතැයි කමියුනිකේෂන් රිසච් රිපෝට්ස් සඟරාවේ සඳහන් අධ්‍යයනයක හෙළි කර තිබීම උනන්දුව දනවන්නක්. එබැවින් ඔබ අවංක, සමාජශීලී, විවෘතව කතා බහ කරන කෙනෙක් නම්, පැත්තකට වෙලා, නිහඬව හෝ තනියෙන් ඉන්න කැමති කෙනෙක් එක්ක එකට විසීමේදී ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙයි.

ඔබේ සංවාදය, පොලිසියෙන් වග උත්තර අහනවා වගේ දෙයක් කරගැනීම සුදුසු නැති වුණත් නේවාසික මිතුරා හෝ මිතුරිය වීමට සිටින තැනැත්තාගේ වත්මන් ඉලක්ක හා සැලසුම් ගැන සාකච්ඡා කිරීම උපකාරවත් විය හැකියි. ආත්මිකව දියුණු වීමට උත්සාහ කරනවාද නැත්නම් ඔහුට හෝ ඇයට තිබෙන්නේ නිවසේ පවතින කලබලකාරි තත්වයෙන් මිදීමේ අරමුණද? උද්ගත විය හැකි තවත් ගැටලුවක් ගැන ලීන් පෙන්වයි. “පෙම්වතෙක් ඇසුරු කරන නේවාසික මිතුරියක් මා එක්ක හිටියා. ඇගේ පෙම්වතා නිතරම ඇවිත් හුඟක් රෑ වෙනකම් ඉන්නවා.” ඔවුන් ආලවන්ත හැඟීම් පෙන්වන ආකාරය නුසුදුසු දෙයක් මෙන්ම මනසට වදයක් බව ලීන්ට පෙනී ගියා. එහෙත්, කලින්ම ස්ථිර නීති පිහිටුවාගත්තා නම් සමහරවිට එවැනි ගැටලු වළක්වාගත හැකිව තිබුණා. උදාහරණයක් වශයෙන් රනේ මෙසේ පවසයි. “පිරිමි ළමයින්ට අපේ කාමරයේ රැඳෙන්න පුළුවන් මේ වෙලාව වෙනකං විතරයි කියලා අපි වෙලාවක් නියම කරගත්තා.” විරුද්ධ ලිංගයේ කෙනෙක් එක්ක කාමරයේ හෝ නවාතැනේ තනියෙන් කිසිවිටකත් නොඉන්න නේවාසික මිතුරන් හෝ මිතුරියන් දෙදෙනාම එකඟ වීමත් සුදුසු දෙයක්.

එමෙන්ම විනෝදාංශ, ප්‍රිය කරන දේවල් හා සංගීත රුචිකත්වයන් ගැනත් කතා බහ කිරීම ප්‍රයෝජනවත් විය හැකියි. “මම කැමති දේවලටම කැමති, මට සමාන පෞද්ගලිකත්වයක් තිබෙන, එකම දේවල් කරන්න කැමති එක්කෙනෙක් එක්ක කාමරය බෙදාගන්න මම කැමතියි” කියා මාර්ක් පවසයි. ඇත්තෙන්ම, වෙනස් රුචිකත්වයන් තිබෙන නිසාම එකට කාමරයේ විසීම නුසුදුසු දෙයක් වෙන්නේ නැහැ. සැබෑ අභියෝගය වන්නේ ඔබ දෙදෙනා කෙතරම් දුරට නම්‍යසුලු වෙනවාද යන්නයි. වෙනස්කම් ඉවසා දරාගෙන ඉන්නත්, අනිත් තැනැත්තාගේ රුචිකත්වයට අනුව හැඩගැහෙන්නත් ඔබ කැමතිද?

ලී මෙසේ පවසයි. “එකට කාමරයේ විසීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා අනිත් තැනැත්තාගෙන් අහන එකත් වැදගත්. සමහරු කැමති ඔබ ඔවුන්ගේ හොඳම මිතුරා හෝ මිතුරිය නැත්නම් අඹ යහළුවා වෙනවා දකින්නයි. නමුත් මම කැමති නැහැ එහෙම වෙන්න.” එලෙසම ඩේවිඩ් මෙහෙම කියනවා. “එකට දේවල් කරන නේවාසික මිතුරෙකුට මම කැමතියි. ඒත් මට අනිත් අය එක්ක දේවල් කරන්න ඕන වෙලාවටත් එයා මාත් එක්කම ඉන්න ඕනේ කියලා මම හිතන්නේ නැහැ.” තවත් එකක්, අනිත් තැනැත්තා කැමති එවැන්ජලිස්ත සේවයේදී ඔබේ සහකාරිය වීමටද නැත්නම් විදේශ-භාෂාවක් කතා කරන සභාවක සේවය කිරීම වැනි වෙනත් දෙයක් කරන්නද කියා සොයා බලන්න.

ඉවුම් පිහුම් (ඔබ දෙන්නගෙන් එක්කෙනෙකුට හරි පුළුවන්ද?), අස් පස් කිරීමේ වැඩ කොටසට හවුල් වීම, පෞද්ගලික භාණ්ඩ පාවිච්චි කිරීම, ඇඳුම් පැළඳුම් තබන කුටියේ ඉඩ ප්‍රමාණය, ලී බඩු, ගබඩා කිරීමේ ඉඩ ප්‍රමාණය හා සුරතල් සතුන් යන දේවල් ගැනද නොසලකා නොහැරීමට වගබලා ගන්න. ඒ දේවල් ගැන කතා කිරීමෙන් වරදවා තේරුම්ගැනීම් හා සිත් වේදනාවන් වළක්වාගත හැකියි. හිතෝපදේශ 20:18හි මෙසේ පවසයි. “සියලු අදහස් මන්ත්‍රණයෙන් ස්ථිර වේ.”

‘ඔබිනා ලෙස හා පිළිවෙළින්’

තවත් උපකාරවත් ප්‍රතිපත්තියක් ලූක් 14:28හි තියෙනවා. එහි පවසන්නේ ‘වියදම ගණන් බලන්න’ කියායි. දිවි පෙවෙත ගත කිරීමට වැය වන වියදම ගැන ගණන් බැලීමක් කිරීමට වෑයම් කරන්න. කුලිය, කෑම බීම සහ බිල් පත් ගෙවීම සඳහා කොච්චර මුදලක් වැය වෙනවාද? දෙදෙනාම දුරකථනය භාවිත කරනවාද? එසේ නම් බිල ගෙවන්න බෙදාගන්නේ කොහොමද? “තව කෙනෙක්ව නේවාසික මිතුරිය හැටියට ගන්න ඉස්සෙල්ලා, දරන්න වෙන වියදම ඇයට ගෙවන්න පුළුවන් වෙයිද කියලා මම සහතික කරගන්නවා” කියා ලීන් පවසයි. අන්තර්ජාලය ඔස්සේ පිවිසිය හැකි ද නෙක්ස්ට් ස්ටෙප් නම් සඟරාව මෙසේ නිවැරදි නිරීක්ෂණයක් කරයි. “කුලිය ගෙවන්න හෝ කෑම බීමවලට ගෙවන්න අකමැති . . . එහෙමත් නැත්නම් බිල්පත්වල ගාන වැඩි කර කියන නේවාසික මිතුරු මිතුරියන් ඔබට අනවශ්‍ය මානසික පීඩනයක් ඇති කරයි.”

“සමහර වෙලාවට ප්‍රශ්නේ වෙන්නේ ගාන නෙවෙයි කවදාද ලැබෙන්නේ කියන එකයි කියා රනේ පවසයි. ඈ එය මෙසේ පැහැදිලි කරයි. “හැම මාසේම තුන්වෙනිදාට අපි කුලිය ගෙවන්න ඕන. ඒත් මිතුරියක් එයාගේ කොටස නොදී සති අන්තයේ ගියහම මට සිද්ධ වෙනවා අයිතිකාරයාගෙන් සමාව ඉල්ලන්න.” සෑම දෙයක්ම ‘ඔබිනා ලෙස හා පිළිවෙළින්’ කිරීමත්, වැදගත් කාරණා සම්බන්ධයෙන් ඔහේ ඕන එකක් වුණාවේ කියා නොසලකා නොහැරීමත් නුවණට හුරු බව පැහැදිලියි. (1 කොරින්ති 14:40) බොහෝවිට, එකඟ වීම් සම්බන්ධයෙන් ලිඛිත ලියවිල්ලක් තබාගැනීම නුවණක්කාරයි.

පරෙස්සම් වීමෙන් සහ දූරදර්ශී වීමෙන්, මානසික පීඩනයේ මුලක් නොව ඔබට ආශීර්වාදයක් වන නේවාසික මිතුරෙක් හෝ මිතුරියක් ලැබීමට ඇති ඉඩ කඩ වැඩියි. කෙසේවුවත්, ගැටලු හා පෞද්ගලික ගැටුම් ඇති වුණොත් තත්වය මොකක්ද? මේ තත්වයන් ගැන මතු ලිපියක පළ වෙයි.

[පාදසටහන්වල]

a සමහර නම් වෙනස් කර ඇත.

b 2002 මැයි 8 කලාපයේ පළ වී ඇති “නේවාසික මිතුරා සමඟ කල් ගෙවන්න මේ තරම් දුෂ්කර ඇයි?” යන ලිපිය බලන්න.

c අද හුඟදෙනෙක් එකට ජීවත් වෙන්නේ දුරාචාර අරමුණු සඳහා බැවින්, මෙම ලිපියේ සාකච්ඡා කරන්නේ ආර්ථිකමය හා පහසුකම් යන හේතු මත එකට වෙසෙන එකම ලිංගයේ නේවාසික මිතුරන් ගැන බව අපි අවධාරණයෙන් කියා සිටිනවා.

d පූර්ණ-කාලීන එවැන්ජලිස්තවරුන්ට පුරෝගාමී සේවා පාසැලට සහභාගි වීමේ වරප්‍රසාදය ඇත. වාර්ෂිකව පැවැත්වෙන චාරිකා එක්රැස්වීම් සමඟම පූර්ණ-කාලීන එවැන්ජලිස්තවරුන් සඳහා රැස්වීම්ද පැවැත්වේ.

[30වන පිටුවේ පින්තූරය]

බයිබල් සාරධර්ම පිළි නොපදින පුද්ගලයන් සමඟ හවුලේ විසීම අනතුරුදායකයි

[30වන පිටුවේ පින්තූරය]

කෙනෙක් සමඟ එකට විසීමට එකඟ වීමට පෙර එක්ව වැදගත් කාරණා ගැන සාකච්ඡා කරන්න