Skip to content

පටුනට යන්න

ලුණු වටිනා වෙළඳ ද්‍රව්‍යයක්

ලුණු වටිනා වෙළඳ ද්‍රව්‍යයක්

ලුණු වටිනා වෙළඳ ද්‍රව්‍යයක්

“නුඹලා පොළොවේ ලුණුය.” යේසුස් තම ගෝලයන්ට එසේ කීවේය. (මතෙව් 5:13) “අපි අතරේ ලුණු බැඳිලා.” අරාබිවරු එසේ කියති. “ලුණුවලට ද්‍රෝහි වුණා.” එය යමෙකුව (පක්ෂපාතකම කැඩූ කෙනෙකුව හෝ ගුණමකුවෙකුව) හැඳින්වීමට පර්සියානුවෝ යොදන කියමනකි. ලුණුවල ඇති සංරක්ෂක ගුණය නිසා, පුරාණ හා වර්තමාන භාෂාවල උසස් හා ගෞරවාන්විත යමක් හැඳින්වීමට “ලුණු” කියන වචනය යොදාගැනිණ.

ලුණු, ස්ථාවරත්වයේ හා සදාකාලික බවේ සංකේතයක් බවටත් පත්ව ඇත. එමනිසා, බයිබලය දිගු කාලීන ගිවිසුමක් “ලවණ ගිවිසුමක්” ලෙස හඳුන්වන අතර එම ගිවිසුම වලංගු කිරීම සඳහා ඊට හවුල් වන අය එකට එක්කාසු වී ලුණු අඩංගු ආහාරයක් භුක්ති විඳිති. (ගණන් කථාව 18:19) මෝසෙස්ට දුන් ව්‍යවස්ථාව යටතේ, පූජාසනය මත ඔප්පු කළ පූජාවන්ට ලුණු එකතු කළ යුතු වූ අතර, එනයින් දූෂ්‍යබවින් හා කුණුවීමෙන් තොරකම නියෝජනය කළ බව නිසැකය.

සිත්ගන්නාසුලු ඓතිහාසික තොරතුරු

ඉතිහාසය පුරාම ලුණු (සෝඩියම් ක්ලෝරයිඩ්) ඉතාම වටිනා වෙළඳ ද්‍රව්‍යයක් ලෙස සැලකූ අතර, ඒ වෙනුවෙන් යුද්ධ පවා කර තිබේ. දහසයවන ලුවී රජු ලුණු මත පැණවූ ඉහළ බද්ද ප්‍රංශ විප්ලවයට හේතු වූ සාධකයක් විය. භාණ්ඩ හුවමාරුව සඳහාද ලුණු යොදාගැනිණ. යෝනක වෙළෙන්දෝ ග්‍රෑමයට ග්‍රෑමය බැගින් රත්‍රන්වලට ලුණු හුවමාරු කරගත්තෝය. සමහර මධ්‍යම අප්‍රිකානු ගෝත්‍රිකයෝ පැතලියට සාදාගත් ලුණු කැබලි මුදල් වෙනුවට පාවිච්චි කළහ. වේතනය සඳහා යෙදෙන “සැලරි” යන ඉංග්‍රීසි වචනය පැමිණෙන්නේ සැලරියම් (සැල් හෙවත් සෝල්ට් [ලුණු]) නම් ලතින් වචනයෙනි. එය යොමු දක්වන්නේ මුල් රෝම හේවායන්ට ගෙවූ වේතනයටයි. එයින් කොටසක් ලෙස ලුණු ලැබිණ. ග්‍රීක් ජාතිකයන් ඔවුන් යටතේ වැඩ කළවුන්ට ලුණුවලින් ගෙවීය. “දීපු ලුණු තරම්වත් වටින්නේ නැහැ” යන ඉංග්‍රීසි කියමන ඇති වුණේ එලෙසය.

කෙසේවෙතත් මධ්‍යයතන යුගයේදී, ලුණු වටා විවිධ මිථ්‍යා විශ්වාසයන් ගොඩ ගැසෙන්ට පටන්ගත්තේය. ලුණු බිම ඉහිරී යෑම විපත්තියක පෙර නිමිත්තක් විය. උදාහරණයක් හැටියට, ලියනාඩෝ ඩා වින්චි විසින් කළ “අන්තිම රාත්‍රී භෝජනය” නමැති සිත්තමෙහි යූදස් ඉස්කාරියොත් හිඳගෙන සිටින ස්ථානය ඉදිරියෙන් මේසය මත ඉහිරී ඇති ලුණු බඳුනක් චිත්‍රයට නඟා ඇත. අනිත් අතට, 18වන සියවස වන තුරුම, භෝජන මේසයක ලුණු බඳුන තබා තිබෙන ස්ථානයේ සිට මුලසුන දක්වා ආසන ගරුතරයන්ට හිමි විය. මේ අනුව, ලුණු තබා ඇති ස්ථානයට ඉදිරියෙන් හෝ පිටුපසින් අසුන්ගැනීම පදනම් කරගෙන කෙනෙකුගේ සමාජ තරාතිරම ඇඟවීය.

ස්වාභාවික කරදියෙන්, මුහුදු වතුරෙන් හා ඛනිජ වශයෙන් (සහිඳ ලුණු) ලුණු ලබාගැනීමට අතීතයේ සිට මිනිසා පුරුදුව සිටියේය. ඉපැරණි චීන ඖෂධ විද්‍යාව පිළිබඳ නිබන්ධයක ලුණු වර්ග 40කට වැඩියෙන් සඳහන් කර ඇති අතර, ලුණු ලබාගන්නා ක්‍රම දෙකක්ද සඳහන් වේ. පුදුමයකට මෙන් ඒ ක්‍රම අද තිබෙන ක්‍රමවලට බොහෝ සෙයින් සමානය. මුහුදු වතුරෙන් ලුණු ඉවත් කිරීමට සූර්ය බලය යොදාගැනීම එක් ක්‍රමයකි. එසේ කරන ලෝකයේ විශාලම සූර්යබල ලුණු ලේවා පිහිටා ඇත්තේ මෙක්සිකෝවේ බායා කැලිෆෝනියා සර්හි, බායියා සෙබාස්තියාන් බිස්කායිනෝ නමැති වෙරළබඩ ප්‍රදේශයේය.

තවත් සිත්ගන්නා කරුණකි. “ලෝකයේ තිබෙන සියලුම සාගර මුළුමනින්ම හිඳුණොත්, ඝන කිලෝ මීටර එක් කෝටි නව ලක්ෂයක් විශාලැති ලුණු තට්ටුවක් හෝ මුහුදේ වඩදිය මට්ටමට ඉහළින් ඇති මුළු යුරෝපා මහාද්වීප කුට්ටිය මෙන් 14 හමාර ගුණයක් සෑදෙයි” කියා එන්සයික්ලෝපීඩියා බ්‍රිටැනිකා පවසයි. තවදුරටත්, සාගරයට වඩා මළ මුහුදේ ලවණ ගතිය නවගුණයකින් වැඩිය!

ලුණුවල වත්මන් පාවිච්චිය

අදදිනද ලුණු වටිනා වෙළඳ ද්‍රව්‍යයක් ලෙස සැලකේ. එය ආහාර රස ගැන්වීමට, මස් කල් තබාගැනීමට, සබන් හා වීදුරු නිෂ්පාදනය ඇතුළු වෙනත් කටයුතු සඳහා ප්‍රයෝජනයට ගැනේ. එහෙත්, උනන්දුව දනවන කාරණයක් වන්නේ, මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේදීද ලුණු පාවිච්චි කිරීමයි. උදාහරණයක් හැටියට, වායු ගෙඩි (තයිරොයිඩ් ග්‍රන්ථි ඉදිමීම) හා මානසික ඌන වර්ධනයට හේතු වන අයඩීන් ඌනතාව මර්දනය කිරීම සඳහා ලෝකයේ බොහෝ රටවල සිටින ප්‍රජාවන් අයඩීන් මිශ්‍රිත ලුණු පාවිච්චියට ගනු ලැබේ. සමහර රටවල දත් දිරායෑම වළක්වාගැනීම සඳහා ලුණුවලට ෆ්ලෝරයිඩ් එකතු කරති.

සුවපත් සෞඛ්‍යයක් පවත්වාගැනීමට එනම්, රුධිර පරිමාව හා පීඩනය පාලනය කිරීම සඳහා ලුණු අවශ්‍යය. එහෙත්, මතභේදයට තුඩු දී ඇති, ලුණු කෑමත් අධිරුධිර පීඩනයත් අතර ඇති සම්බන්ධය ගැන කුමක් කිව හැකිද? අධිරුධිර පීඩනයෙන් පෙළෙන රෝගීන්ට ලුණු හා සෝඩියම් ගන්නා ප්‍රමාණය සීමා කරන ලෙස වෛද්‍යවරු උපදෙස් දෙති. අධිරුධිර පීඩනයෙන් පෙළෙන රෝගීන්ගෙන් සියයට 30-50 තරම් සංඛ්‍යාවක් ලුණුවලට සංවේදීය. මේ නිසා, අඩු ලුණු ප්‍රමාණයක් ශරීරගත කිරීම හේතුවෙන් අඩු රුධිර පීඩනයක් පෙන්නුම් කර ඇත.

යෝබ් ඇඟවූ ලෙස ලුණු මගින් ආහාරවල රසය නිසැකවම වැඩි කරනු ඇත. ඔහු මෙසේ ඇසුවේය. “රස නැති දේ ලුණු නැතුව කනවාද?” (යෝබ් 6:6) එම වටිනා වෙළඳ ද්‍රව්‍ය වන ලුණු ඇතුළු “සියල්ල භුක්ති විඳින පිණිස අපට බහුල ලෙස දෙන්නාවූ” අපේ මැවුම්කරුවාට සැබවින්ම ණයගැති වීමට අපට හේතු ඇත.—1 තිමෝති 6:17.

[15වන පිටුවේ පින්තූරය]

විවිධ ලුණු වර්ගවලින් සමහරක් (ඉහළ සිට දක්ෂිණාවර්තව) (1) ආලේඊයා මුහුදු ලුණු, හවායි; (2) ෆ්ල ඩ සල්, ප්‍රංශය; (3) ඓන්ද්‍රීය මුහුදු ලුණු; (4) සල් ග්‍රී (අළු ලුණු), ප්‍රංශය; (5) රළු මුහුදු ලුණු; (6) කළු ලුණු කුඩු, ඉන්දියාව