Skip to content

පටුනට යන්න

විද්‍යාව සහ ආගම එක් කිරීම

විද්‍යාව සහ ආගම එක් කිරීම

විද්‍යාව සහ ආගම එක් කිරීම

“විද්‍යාව සහ ආගම එකිනෙකට අනුකූල නොවන විෂයන් දෙකක් ලෙස තවදුරටත් සැලකෙන්නේ නැත.”—ද ඩේලි ටෙලිග්‍රාෆ්, ලන්ඩනය, 1999 මැයි 26.

විද්‍යාව සහ ආගම සිය කාර්යයන්හි ප්‍රතිපත්ති ගරුකව සහ අවංකව නිරත වුවහොත්, සත්‍යය දැනගැනීමට මං විවෘත වේ. මිහි තලය පුදුම දනවන ක්‍රමවත්බවකින් යුක්ත බවත්, විශ්වය බුද්ධිමත් නිර්මාතෘවරයෙකු සිටින බවට සුවිශේෂ සාක්ෂි සපයන බවත් විද්‍යාව අනාවරණය කරයි. සැබෑ ආගම එලෙස අනාවරණය වූ දේවලට යම් අරුතක් ලබා දෙයි. එසේ කරන්නේ භෞතික ලෝකයේ පැහැදිලිව දකින නිර්මාණශීලිත්වය පිටුපස මැවුම්කරුගේ බුද්ධිය තිබෙන බව ඉගැන්වීමෙනි.

අණුක ජීව විද්‍යාඥයෙකු වන ෆ්‍රැන්සිස් කොලින්ස් පවසන්නේ මෙසේය. “විද්‍යාව පිළිබඳ මගේ අවබෝධය සහ ආකල්පය තවත් ඔප් නැංවෙන්නේ ආගම මගින් බව මට පෙනී යයි.” ඔහු තවදුරටත් මෙසේද පවසයි. “මිනිස් ජීනෝමය ගැන යමක් මට අනාවරණය වන විට, ජීවයේ අභිරහස් පිළිබඳව මට ගරුබියක් දැනේ. ඉන්පසුව මම මටම මෙසේ කියාගන්නෙමි: ‘මේ ගැන කලින් දැන සිටියේ දෙවි පමණයි.’ ඇත්තෙන්ම එම හැඟීම නිම් හිම් නොමැති සතුට උපදවන්නකි, හැඟීම් දනවන්නකි. එමෙන්ම දෙවිව තවත් අගයක් කිරීමටත්, විද්‍යාව නමැති විෂය තුළින් වැඩිමනත් තෘප්තියක් අද්දැකීමටත් එය මට උපකාරවත් වී තිබේ.”

එසේ නම්, විද්‍යාව සහ ආගම එක් කිරීමට කුමක් උපකාර වේවිද?

නිරන්තර ගවේෂණයක්

අපගේ සීමාවන් පිළිගනිමු. නිමක් තෙරක් නැති විශ්වය, අභ්‍යවකාශය සහ කාලය සම්බන්ධයෙන් අපට ඇති ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම සඳහා කරන ගවේෂණයට අවසානයක් පෙනෙන තෙක් මානයක නම් නොමැත. ජීව විද්‍යාඥ ලුවිස් ටොමස් මෙසේ අදහස් පළ කළේය. “මෙම ක්‍රියාවලට අවසානයක් නැත. සෑහීමකට පත් කළ නොහැකි කුතුහලයක් අපට ඇති නිසා, අපි දිගටම ගවේෂණය කරමින්, වට පිටාව නිරීක්ෂණය කරමින් සිටිමු. යම් දේවල් තේරුම්ගැනීමට උත්සාහ දරමින් සිටිමු. අපගේ ප්‍රශ්න විසඳාගත හැකි ඒවා නොවේ. ‘දැන් මට ඔක්කොම තේරුණා’ කියමින් සැනසුම් සුසුමක් හෙළිය හැකි පර්යන්ත (අවසාන) අවස්ථාවක් කරා අප සියල්ලන් පැමිණෙයි කියා සිතීම උගහටය. මිනිසුන්ට කවදාකවත් සෑම දෙයක්ම තේරුම්ගත නොහැකියි.”

ඒ හා සමානව, ආගමික සත්‍යතා පිළිබඳ ගවේෂණය ගත් කල, ඊටද සීමාවක් නැත. එක් බයිබල් ලේඛකයෙකු වන පාවුල් මෙසේ පැවසීය. “දැන් අපට කැඩපතින් මෙන් නොපැහැදිලිව පෙනෙන්නේය. . . . දැන් මාගේ දැනුම අසම්පූර්ණය.”—1 කොරින්ති 13:12, නව අනුවාදය.

කෙසේවෙතත්, අපට විද්‍යාත්මක සහ ආගමික ප්‍රශ්න සම්බන්ධයෙන් අසම්පූර්ණ දැනුමක් තිබුණත්, අපට අනාවරණය වී ඇති කාරණා පදනම් කරගනිමින් නිවැරදි, පැහැදිලි නිගමනවලට එළඹිය නොහැකි බවක් ඉන් අදහස් නොකෙරේ. හෙට දින හිරු පායන බව සහතිකව විශ්වාස කිරීම සඳහා සූර්යයා බිහි වූ ආකාරය පිළිබඳව සවිස්තර දැනුමක් ලබාගත යුතු නොවේ.

අනාවරණය වී ඇති කරුණු සලකා බලමු. පිළිතුරු සෙවීමට කරන ගවේෂණයේදී අප ප්‍රතිපත්ති ගරුකව කටයුතු කළ යුතුය. සාක්ෂි සලකා බැලීමේදී, ඒවා නිවැරදි ප්‍රමිතිවලට එකඟද කියා සලකා බැලීම අවශ්‍යය. එසේ නොවන්නට විද්‍යාත්මක සහ ආගමික සත්‍යතා පිළිබඳ අපගේ ගවේෂණය පහසුවෙන් වෙනතකට යා හැකියි. වර්තමානයේ විශාල පුස්තකාලවල පිරී ඇති පොත්වල අඩංගු විද්‍යාත්මක දැනුම සහ අදහස් සම්භාරය තක්සේරු කර බැලීමට අප කාටවත්ම බැරිය. අනික් අතට, තේරුම්ගැනීමට පහසු ආගමික ඉගැන්වීම් සම්භාරයක් බයිබලයෙහි අන්තර්ගතය. දැනටමත් අනාවරණය වී ඇති කාරණා බයිබලය සත්‍යය බව මනා ලෙස කියාපායි. a

කෙසේවෙතත්, විද්‍යාව සහ ආගම යන ක්ෂේත්‍ර දෙක සම්බන්ධයෙන්ම දැනුම ලබාගැනීමට උත්සාහ දරන විටදී, සැබෑ කාරණා සහ අනුමාන අදහස් අතරද, යථාර්ථය සහ මුළාව අතරද වෙනස තේරුම්ගැනීමට අවංක වෙහෙසක් දැරිය යුතු වේ. බයිබල් ලේඛක පාවුල් අවවාද කළාක් මෙන් “ප්‍රඥාව ලෙස සැලකෙන පරස්පර විරෝධී මත” අප ප්‍රතික්ෂේප කළ යුතුය. (1 තිමෝති 6:20, න. අ.) එසේ නම්, විද්‍යාව සහ බයිබලය අතර ඇති පරස්පර විරෝධී අදහස් සමථයකට පත් කිරීම සඳහා අප සැබෑ කරුණුවලට අපගේ සවන් යොමු කළ යුතුය. පදනමක් නැති අනුමාන සහ උපකල්පන ප්‍රතික්ෂේප කරමින්, සැබෑ කරුණු මගින් යථාර්ථය තහවුරු වන අන්දම පරීක්ෂා කළ යුතුය.

නිදසුනකට, බයිබලයෙහි “දවස” යන වචනය භාවිත වන්නේ විවිධාකාර කාලපරිච්ඡේදයන් නියෝජනය කිරීමට බව අපි අවබෝධ කරගෙන සිටින්නෙමු. එවිට උත්පත්ති පොතෙහි මැවීමේ දවස් හයක් පිළිබඳ වාර්තාව, පෘථිවිය වසර බිලියන සතරාමාරකට කලින් ඇති වුණු බවට වූ විද්‍යාත්මක නිගමනය සමඟ ගැටෙන්නේ නැත. ඇත්තෙන්ම බයිබලයට අනුව මැවීමේ දවස් ආරම්භ වීමට පෙර පෘථිවිය අවිනිශ්චිත කාලපරිච්ඡේදයකට පැවතියේය. (“මැවීමේ දවස්—පැය 24 දවස්ද?” යන කොටුව බලන්න) විද්‍යාව මතුවට තවත් සංශෝධනයක් ඉදිරිපත් කරමින් පෘථිවිය වෙනම යුගයක බිහි වූවාය යන මතය ප්‍රචලිත කළත්, බයිබලයෙහි සඳහන් දේවල සත්‍යතාව ඉන් අවලංගු වන්නේ නැත. ඇත්තෙන්ම නියම විද්‍යාව බයිබලයට පරස්පර විරෝධී අදහස් ඉදිරිපත් නොකරයි. මැවීම සම්බන්ධ කාරණයේදී මෙන්ම වෙනත් කාරණා රැසකදී අපගේ භෞතික ලෝකයේ වර්තමානය මෙන්ම අතීතය ගැන අතිරේක තොරතුරු සම්භාරයක් විද්‍යාව මගින් සැපයේ.

අන්ධ විශ්වාසයක් නොව, ඇදහිල්ලය. දෙවි සහ ඔහුගේ අරමුණු පිළිබඳව වෙනත් කිසිදු මූලාශ්‍රයකින් නෙළාගත නොහැකි තොරතුරු සම්භාරයක් අපට බයිබලයෙන් ලබාගත හැකිය. මෙම තොරතුරු අප විශ්වාස කළ යුත්තේ මන්ද? එහි නිරවද්‍යතාව සෝදිසි කර බැලීමට බයිබලයම අපට ආරාධනා කරයි. නිදසුනකට, එහි ඓතිහාසික නිරවද්‍යතාව, එහි අඩංගු උපදෙස්වල ප්‍රායෝගිකබව, ලේඛකයන්ගේ අවංකකම සහ එහි දෝෂ රහිත බව සලකා බලන්න. විද්‍යාත්මක දේවල් ගැන එහි පවසා ඇති දේද, යුග ගණනාවක් පුරා අපගේ කාලය දක්වා නොවැරදී ඉටු වී ඇති අනාවැකි සිය ගණනක පවසා ඇති දේද බයිබලයෙහි නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට අපට ආධාරකයකි. මෙලෙසින් දේවවචනය කෙරෙහි ස්ථිර ඇදහිල්ලක් ගොඩනැඟීමට යමෙකුට පුළුවන. බයිබලය කෙරෙහි ඇදහිල්ලක් තිබීම නිකම්ම අන්ධ විශ්වාසයක් නොවේ. එය ශුද්ධ ලියවිල්ලේ පළ වී ඇති දේවල නිරවද්‍යතාව සම්බන්ධයෙන් ක්‍රමානුකූලව ගොඩනඟා ගෙන ඇති ස්ථිර විශ්වාසයකි, නිසැකකමකි.

විද්‍යාවට ගරු කරමු; විශ්වාසයද පිළිගනිමු. විද්‍යාවට මෙන්ම ආගමට ගරු කරන විවෘත මනස් ඇති පුද්ගලයන්ට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් සාදර ඇරයුමක් තිබේ. එය නම්, මෙම ක්ෂේත්‍රයන් දෙකේම සත්‍යය සඳහා ගවේෂණයක යෙදීමට ඔවුන් හා එක්වීමටයි. සාක්ෂිකරුවන්ගේ සභාවල සාමාජිකයන් විද්‍යාව සහ හොඳ පදනමක් ඇති එහි සොයාගැනීම් සඳහා නිසි ගෞරවයක් ඇති කරන අතර, ආගමික සත්‍යය සෙවිය හැක්කේ බයිබලයෙන් පමණක් බවට වූ ගැඹුරු විශ්වාසයක්ද ඔවුන් තුළ ඇත. ඉතා පැහැදිලි හා නොයෙකුත් ස්ථිර සාක්ෂි සමඟින් බයිබලය දෙවිගේ වචනය බවට සනාථ වී ඇත. ප්‍රේරිත පාවුල් පැවසුවේ මෙසේය. ‘දෙවිගේ පණිවුඩය අප ඔබ වෙත ගෙනා කල, ඔබ එය අසා පිළිගත්තේ මනුෂ්‍යයන්ගෙන් එන පණිවුඩයක් මෙන් නොව, ඇත්තෙන්ම දෙවිගෙන්ම එන පණිවුඩයක් හැටියටය.’—1 තෙසලෝනික 2:13, න. අ.

කෙසේවෙතත්, විද්‍යාව සම්බන්ධයෙන් සැබෑවක් වී ඇත්තාක් මෙන්, හානිකර මිථ්‍යාවන් සහ ව්‍යවහාරයන් ආගම තුළටත් රිංගා ඇත. මේ අනුව, සැබෑ ආගම සහ බොරු ආගම නමැති කාණ්ඩ දෙකක් තිබේ. මිනිසුන් බොහෝදෙනෙකු සංවිධානාත්මක, ප්‍රධාන පෙළේ ආගම් අත්හැර යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන් බවට පත් වී ඇත්තේ එමනිසාය. ඔවුන් කලින් ඇදහූ ආගම් අනාවරණය වී ඇති සත්‍යයන් ප්‍රතික්ෂේප කරමින්, මිනිස් සම්ප්‍රදායන් සහ මිථ්‍යාවන්ට ඇලී සිට ඇති නිසා, ඔවුන් මෙම ආගම් ගැන කලකිරීමට පත්ව ඇත.

මීට අමතරව, සැබෑ ක්‍රිස්තියානීහු ජීවිතයට සැබෑ අරුතක් සහ අරමුණක් තිබෙන බව සොයාගෙන ඇත. ඒ සඳහා පදනම සපයන්නේ මැවුම්කරු ගැනද, මිනිස්වර්ගයා සහ අප ජීවත් වන පෘථිවිය සඳහා ඔහු කිරීමට අදහස් කරන දේ ගැනද බයිබලය තුළින් හෙළි කර තිබෙන තොරතුරුයි. එමනිසා ඔවුන්ට මැවුම්කරු ගැන ඇත්තේ ඉතා පැහැදිලි, තියුණු, පුළුල්, හැඟීම් දනවන අවබෝධයකි. අප මෙහි සිටින්නේ මන්ද සහ අප යන්නේ කොතැනටද වැනි ප්‍රශ්නවලට බයිබලයෙන් ලබාගත හැකි සාධාරණ පිළිතුරු සම්බන්ධයෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවෝ සෑහීමට පත්ව සිටිති. මේ පිළිබඳව ඔවුන් ලබා ඇති පුළුල් අවබෝධය ඔබ සමඟ බෙදා හදා ගැනීමට ඔවුන් ඉතාමත් සතුටු වනවාට සැකයක් නැත.

[පාදසටහන]

a යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් පළ කරන ලද සියලුම ජනයා සඳහා පොතක් යන ප්‍රකාශනය බලන්න.

[10වන පිටුවේ කොටුව]

මැවීමේ දවස්—පැය 24 දවස්ද?

මිනිස් වාසයට පෙර ජීවීන්ගේ ඉතිහාසය පැහැදිලි කිරීමට පරිණාමය නොව මැවුම්වාදය ඉවහල් වන බව ඇතැම් මූලධර්මවාදීහු කියා සිටිති. ඔවුන් තරයේ කියා සිටින්නේ, භෞතික දේවල් සියල්ල පැය 24කින් යුත් දවස් හයක් තරම් කෙටි කාලයක් තුළ බිහි වූ බවත්, මෙය සිදු වූයේ වසර 6,000කට හෝ 10,000කට ඉහතදී බවත්ය. එනමුත් එසේ පැවසීමෙන් ඔවුහු ශුද්ධ ලියවිල්ලට විරෝධී ඉගැන්වීමකට උල්පන්දම් දෙති. ඒ හේතුවෙන් බොහෝදෙනෙකු විසින් බයිබලය සමච්චලයට ලක් කර තිබේ.

බයිබලයේ සඳහන් දවස් හැම විටකම පැය 24 දවස්ද? උදාහරණයකට උත්පත්ති 2:4හි ‘යෙහෝවා දෙවි පොළොවත් අහසත් සෑදූ දවස’ ගැන සඳහන් වේ. මෙම දවසට උත්පත්ති 1වන පරිච්ඡේදයේ සඳහන් මැවීමේ දවස් හයම ඇතුළත්ය. බයිබලයට අනුව දවසක් යනු එක්තරා නියමිත කාලපරිච්ඡේදයකි. එය අවුරුදු දහසක් හෝ දහස් ගණනාවක් පවා විය හැක. මේ අනුව බයිබලයේ සඳහන් මැවීමේ දවස් අවුරුදු දහස් ගණනක් දක්වා දිව ගිය ඒවා වන්නට පුළුවන. අනික, මෙම මැවීමේ දවස්වල ආරම්භයට පෙරාතුව පෘථිවිය බිහි කර තිබිණ. (උත්පත්ති 1:1) එමනිසා මෙම කාරණය සම්බන්ධයෙන් ඇති බයිබල් වාර්තාව සැබෑ විද්‍යාවට අනුකූලතාවක් දක්වයි.—2 පේතෘස් 3:8.

මැවීමේ දවස් සියල්ල පැය 24කින් යුක්ත ඒවා බවට වූ අදහස ගැන තම අදහස් දක්වමින් අණුක ජීව විද්‍යාඥ ෆ්‍රැන්සිස් කොලින්ස් මෙසේ පැවසීය. “නවීන ඉතිහාසයේ ඇදහිල්ල යන සංකල්පයට ප්‍රබලතම පහර එල්ල වී ඇත්තේ මැවුම්වාදී සංකල්පයෙනි.”

[11වන පිටුවේ කොටුව]

සදාචාරමය වශයෙන් ගත් කල වඩා උසස් විද්‍යාවද?

ආගම විද්‍යාවේ ප්‍රගතියට විරෝධය පා ඇති නිසාත්, ඊට ඉතාමත් කනගාටුදායක ඉතිහාසයක් ඇති නිසාත්, එහි කුහකකම සහ කුරිරුකම නිසාත් විද්‍යා ක්ෂේත්‍රයේ බොහෝදෙනෙකු ඊට පිටු පෑම අපට තේරුම්ගත හැකිය. ක්ෂුද්‍ර ජීව විද්‍යාවේ මහාචාර්ය ජොන් පෝස්ට්ගේට් මෙසේ අදහස් පළ කරයි. “ලෝකයේ ආගම් . . . මිනිස් බිලි පූජාවන්, කුරුස යුද්ධ, සමූලඝාතන සහ අධර්ම මර්දනාධිකරණ වැනි බිහිසුණු දේවල් මිනිස් අද්දැකීමට එකතු කර ඇත. නූතන ලෝකයේ ආගමේ මෙම අඳුරු පැත්ත අවදානම් සහිත වී ඇත. මන්ද විද්‍යාව මෙන් නොව, ආගම් පැති ගෙන කටයුතු කර ඇති හෙයිනි.”

ඒ හා සසඳද්දී විද්‍යාව සාධාරණව, පැති නොගෙන, විනයක් ඇතුව කටයුතු කරන බවට වූ අදහස ප්‍රචලිත වී තිබෙන නිසා, “විද්‍යාව සදාචාරාත්මක අතින් උසස් බව” පෝස්ට්ගේට් කියා සිටියි.

ඇත්තටම විද්‍යාව ආගමට වඩා සදාචාරමය වශයෙන් උසස්ද? පිළිතුර නැත විය යුතුය. “විද්‍යා ක්ෂේත්‍රයේ උදවිය අතර ඊර්ෂ්‍යාව, ගිජුකම, අගතිය සහ කුඩුකේඩුකම දක්නට ලැබෙන” බව පෝස්ට්ගේට්ම පිළිගනියි. “පර්යේෂණ කිරීමේ නාමයෙන් මිනීමැරීමට පවා විද්‍යාඥයන් කිහිපදෙනෙකු කැමැත්තක් දක්වා ඇති බව” ඔහු තවදුරටත් පවසයි. “නාට්සි ජර්මනියේ සහ ජපානයේ සිර කඳවුරුවල සිදු වූ දේ” මීට උදාහරණ ලෙස දැක්විය හැක. නැෂනල් ජියොග්‍රැෆික් සඟරාව හා බැඳි සිද්ධියෙන් මෙය සත්‍යයක් බව මැනවින් තහවුරු වේ. ප්‍රෝඩාකාරි ෆොසීලයක් පිළිබඳ වාර්තාවක් එම සඟරාවේ පිටුවල පළ වූයේ කෙසේදැයි සොයා දැනගැනීමට වාර්තාකරුවෙකුව පත් කරන ලදි. එම වාර්තාකරු දුටුවේ කුමක්ද? විද්‍යාඥයන් අතර “කිසිදු හරයක් නොමැති රහස්‍ය බවක්, පදනම් විරහිත විශ්වාසයක් පැවතිණ. මමත්වයෙන් උමතු වූ පාර්ශ්වයන් අතර නිතර ගැටුම් දක්නට ලැබිණ. තමාට නාමයක් ඇති කරගැනීමට දරන වියරු උත්සාහයක්ද, පදනමක් නොමැතිව නිගමනවලට එළඹීමද, බොළඳ උපකල්පනද, අත් වැරදීම්ද, මුරණ්ඩුකම්ද, දෙපිට කාට්ටුකමද, කේලම් කීමද, බොරු කීමද, දූෂණයද” ඔහුට දැකගත හැකි විය.

තවද අවි ලෙස යොදාගත හැකි රෝගකාරක ක්ෂුද්‍ර ජීවීන්, විෂකර වායු, මිසයිල, “බුද්ධිමත්” බෝම්බ සහ න්‍යෂ්ටික බෝම්බ වැනි බිහිසුණු යුද්ධෝපකරණ මිනිස්වර්ගයාට හඳුන්වා දී ඇත්තේ විද්‍යාව බවත් අමතක නොකරමු.

[8, 9වන පිටුවේ පින්තූරය]

කඩි නිහාරිකාව (මෙන්සෙල් 3), හබල් අභ්‍යවකාශ දූරේක්ෂය ඇසුරෙන්

[හිමිකම් විස්තර]

NASA, ESA and The Hubble Heritage Team (STScI/AURA)

[9වන පිටුවේ පින්තූර]

විද්‍යාත්මක සොයාගැනීම් තුළින් බුද්ධිමත් නිර්මාණවලින් පිරි ලොවක් අනාවරණය වී තිබේ

[10වන පිටුවේ පින්තූරය]

යෙහෝවාගේ සාක්ෂිකරුවෝ නියම විද්‍යාව සඳහා ගෞරවයක් සහ බයිබලය කෙරෙහි විශ්වාසයක් ගොඩනංවති