Skip to content

පටුනට යන්න

විශ්වය සහ ජීවය බිහි වූයේ කෙසේද?

විශ්වය සහ ජීවය බිහි වූයේ කෙසේද?

විශ්වය සහ ජීවය බිහි වූයේ කෙසේද?

“ආගමකින් තොර වූ විද්‍යාව කොරය. විද්‍යාවෙන් තොර වූ ආගම අන්ධය.”—ඇල්බට් අයින්ස්ටයින්.

අප ජීවත් වන මෙම යුගය පෙර නොවූ විරූ අරුම පුදුමයන් සිදු වන වකවානුවක් ලෙස හැඳින්විය හැක. අභ්‍යවකාශය හා සම්බන්ධ නව සොයාගැනීම් හේතුවෙන් විශ්වයේ මූලාරම්භය පිළිබඳ තම මතයන් සකස් කිරීමට තාරකා ශාස්ත්‍රඥයන්ට පවා සිදු වී ඇත. විශ්වයේ ව්‍යූහය ගැන හැදෑරීමට මහත් ආශාවක් දක්වන බොහෝදෙනා, අපගේ පැවැත්ම සම්බන්ධයෙන් යුග ගණනාවක් පුරා අසමින් සිටි ප්‍රශ්න යළිත් මතු කරති. එනම් විශ්වය සහ ජීවය බිහි වූයේ කෙසේද සහ ඒ මන්ද යන්නයි.

අපගේ සිරුරේ ව්‍යූහය දෙස බලද්දී මිනිස් ජානමය තොරතුරු (genetic code) සිතියම් ගත කිරීමෙන් සොයාගත් තොරතුරුවලින් වෙනත් ආකාරයේ ප්‍රශ්න මතු වී තිබේ. එනම් නානාවිධ ජීවීන් බිහි වූයේ කෙසේද? ඒවා යම් කෙනෙකු විසින් මවනු ලැබුවාද යන්නයි. අපගේ ප්‍රවේණි පිඹුරු පතෙහි දක්නට ලැබෙන ඇදහිය නොහැකි තරම් සංකීර්ණත්වය හේතුවෙන් එක්සත් ජනපද ජනාධිපතිවරයෙක් මෙසේ කීමට පෙලඹීය. “දෙවියන් ජීවීන් මැවීමට යොදාගත් භාෂාව අපි ඉගෙනගනිමිනුයි සිටින්නේ.” ඇත්තෙන්ම, ප්‍රවේණි කේතයේ තොරතුරු විග්‍රහ කිරීමේ කටයුත්තෙහි සහභාගි වූ ප්‍රධාන පෙළේ විද්‍යාඥයෙක් නිහතමානීව අදහස් දැක්වූයේ මෙලෙසය. “අපව බිහි කිරීමට අවශ්‍ය උපදෙස් මාලාව මෙතෙක් දැන සිටියේ දෙවියන් පමණි. දැන් අපිද දැනුවත් වී සිටිමු. එනමුත් අප උරගා තිබෙන්නේ දැනුමේ මතුපිට පොත්ත පමණි.” ඔහු එසේ පවසන්නේ ජීවය බිහි වූයේ කෙසේද සහ මන්ද යන්න තවමත් ප්‍රහේලිකාවක්ව තිබෙන හෙයිනි.

‘කවුළු දෙකක්’

විශ්වයේ සියලුම ක්‍රියාකාරිත්වයන් තර්කානුකූල විශ්ලේෂණයකින් පැහැදිලි කළ හැකි බව සමහර විද්‍යාඥයෝ කියා සිටිති. එසේ පැහැදිලි කරන්නට හැකියාව ලැබුණොත් විශ්වය හා ජීවය බිහි කිරීමට දේව ප්‍රඥාව යම් අන්දමකින් මැදිහත් වූවා කියා පැවසිය නොහැක. එනමුත් එම මතය ගැන සෑහීමට පත් විය නොහැකි කිහිපදෙනා අතර විද්‍යාඥයෝද සිටිති. යථාර්ථය වටහාගැනීමට ඔවුන් උත්සාහ දරන්නේ විද්‍යාව සහ ආගම යන කෝණ දෙකම උපයෝගි කරගෙනය. අප සහ අප අවට විශ්වය බිහි වූයේ කෙසේද යන්න විද්‍යාව මගින් හෙළි කරන බවත්, අප ජීවත් වන්නෙත්, විශ්වය පවතින්නෙත් මන්ද යන තොරතුරු ආගම මගින් හෙළි කරනු ලබන බවත් ඔවුන්ට හැඟේ.

මෙම ද්විත්ව එළඹීම පැහැදිලි කරමින් භෞතික විද්‍යාඥ ෆ්‍රීමන් ඩයිසන් පැවසුවේ මෙසේය. “අපට බාහිරව පිහිටි දැවැන්ත විශ්වය තේරුම්ගැනීමට දරන උත්සාහයේදී මිනිසා කරන්නේ විද්‍යාව සහ ආගම නමැති කවුළු දෙකින් එබිකම් කිරීමයි.”

“විද්‍යාව යම් සීමාවන් ඇති හා මිනිය හැකි දේවල් සැලකිල්ලට ගන්නා අතර, ආගම මිනිය නොහැකි සීමා මායිම් නොමැති දේවල් සැලකිල්ලට ගනියි.” මෙවැනි අදහසක් ඉදිරිපත් කළේ විලියම් රීස්-මෝග් නමැති කර්තෘය. ඔහු තවදුරටත් මෙසේ පැවසීය. “යම්කිසි දෙයක් කලාත්මකද නැද්ද යන්න හෝ යම් ක්‍රියාමාර්ගයක් සභ්‍යද අසභ්‍යද යන්න ඔප්පු කිරීමට විද්‍යාවට නුපුළුවන. එලෙසම දෙවි කෙනෙකු පවතිනවාද නැද්ද යන්න සාක්ෂි ඇතුව පැහැදිලි කිරීමට විද්‍යාවට පුළුවන්කමක් නැත. තම අසල්වාසියාට ප්‍රේම කිරීම සඳහාවත්, මිනිස් ජීවිතයට ගරු කිරීම සඳහාවත් කිසිදු විද්‍යාත්මක හේතුවක් නැත. . . . යම්කිසි දෙයක් විද්‍යාත්මකව ඔප්පු කළ නොහැකි වූ පළියට එය නොපවතින බව තර්ක කිරීම ඉතා බොළඳ තර්කයකි. එලෙස තර්ක කළහොත් අප ජීවිතය තුළ අගය කොට සලකන සෑම දෙයක්ම ඉවතලෑමට අපට සිදු වේ. අප වැදගත් කොට සලකන දෙවි කෙනෙකු පිළිබඳ සංකල්පය හෝ මිනිස් බුද්ධිය පිළිබඳ සංකල්පය පමණක් නොවේ ආදරය, කාව්‍ය රසය සහ සංගීතය පවා අපගේ ජීවිතයෙන් බැහැර කළ යුතු වේ.”

විද්‍යාව නමැති “ආගම”

විද්‍යාඥයන් තම මතයන් ගොඩනඟන්නේ යම් උපකල්පන මතය. ඇත්තෙන්ම එවන් උපකල්පන විශ්වාස කිරීමට ඊටම ආවේණික වූ ඇදහිල්ලක් අවශ්‍යය. නිදසුනකට, ජීවයේ සම්භවය සලකා බලන විට, පරිණාමවාදීන් අනුග්‍රහය දක්වන අදහස් විශ්වාස කිරීමට ඇතැම් “මූලධර්මයන්” කෙරෙහි යම් ඇදහිල්ලක් තැබීම අවශ්‍යය. සැබෑ කරුණු මතවාද සමඟ මිශ්‍ර වී ඇත. එමනිසා විද්‍යාඥයන් තම බලතල යොදාගනිමින් පරිණාමයක් සිදු වූවාය යන අන්ධ විශ්වාසය පිළිගන්නා ලෙසට යම් බලපෑම් කරන විට ඔවුන් ඇත්තටම අදහස් කරන්නේ මෙවැන්නකි. ‘ඔබ ජීව විද්‍යාවේ, රසායනික විද්‍යාවේ සහ භෞතික විද්‍යාවේ නිපැයුමකි. එමනිසා, සදාචාර සම්පන්නව හැසිරීමට ඔබට කිසිදු වගකීමක් නැත.’ මෙවැනි තර්කයකට අනුග්‍රහය දක්වමින් ජීව විද්‍යාඥ රිචඩ් ඩෝකින්ස් පවසන්නේ විශ්වය තුළ ‘කිසිදු නිර්මාණයක්, අරමුණක්, නපුරක්, යහපතක්, පරමාර්ථයක් හා දිශාවක් නොමැති’ බවය.

මෙවැනි විශ්වාසයන් තහවුරු කරගැනීම පිණිස, ඇතැම් විද්‍යාඥයෝ ජීවයේ සම්භවය පිළිබඳව ඔවුන් ප්‍රබන්ධ කර ඇති මතයන්වල අඩිතාලමට විරුද්ධව අදහස් පළ කරන වෙනත් විද්‍යාඥයන්ගේ පුළුල් පර්යේෂණ නොසලකා හැරීමට තීරණය කරති. අප වසර බිලියන ගණනක් බලා සිටියත්, ක්‍රියාකාරි ජීවමාන සෛලයක් බිහි කිරීමට අවශ්‍ය සංකීර්ණ අණු අහම්බෙන් එකතු වීමට තිබෙන ඉඩ කඩ ගණිතමය වශයෙන් සිදු විය නොහැක්කක් බවට ඔප්පු වී තිබේ. a එමනිසා, බොහෝ පාඩම් පොත්වල ජීවයේ සම්භවය පිළිබඳව පළ වී ඇති අත්තනෝමතික මත පදනම් විරහිත ඒවා ලෙස සැලකිය යුතුය.

ඇත්තෙන්ම ජීවය අහඹු සිදුවීම් මාලාවකින් බිහි වූවා යන්න විශ්වාස කිරීමට මැවීමක් සිදු වූවා යන්න විශ්වාස කිරීමට වඩා ඇදහිල්ල අවශ්‍ය කරවන්නකි. තාරකා ශාස්ත්‍රඥ ඩේවිඩ් බ්ලොක් මෙසේ නිරීක්ෂණය කළේය. “මැවුම්කරුවෙකු විශ්වාස කරන පුද්ගලයෙකුට තිබෙන ඇදහිල්ලට වඩා වැඩි ඇදහිල්ලක් එසේ විශ්වාස නොකරන කෙනෙකුට තිබිය යුතුය. පුද්ගලයෙක් දෙවිකෙනෙකු නැතැයි යන්න ප්‍රකාශ කරන විට, ඔහු කිසිදු පදනමක් නොමැති ප්‍රකාශයක් තම මුවින් පළ කරයි. එය ඇදහිල්ල මත පදනම් වූ උපකල්පනයක් පමණි.”

විද්‍යාවෙන් කරන ලද සොයාගැනීම්වලින් ඇතැම් විද්‍යාඥයන් තුළ යම් ගෞරවාන්විත ආකල්පයක් හටගත හැකිය. ඇල්බට් අයින්ස්ටයින් පිළිගත්තේ මෙසේය. “විද්‍යාව ඉතා ගැඹුරින් හදාරන විද්‍යාඥයන් දෙස බැලුවොත් යම් ගැඹුරු භක්තිවන්ත හැඟීමක් නැති කෙනෙකු සොයාගැනීම දුෂ්කරය. . . . මෙම භක්තිවන්ත හැඟීම් ඇතිවීමට මුල් වී තිබෙන්නේ ස්වාභාවික නීතිවල පුදුම දනවන එකඟතාවයි. එම බුද්ධිය කොතරම් උත්කෘෂ්ටද කිවහොත්, මිනිසුන්ගේ විධිමත් සිතිවිලි හා ක්‍රියාකාරකම් පුස්සක් මෙනි.” ඒ කෙසේවෙතත්, මෙම භක්තිවන්ත හැඟීම තිබූ පළියට විද්‍යාඥයන් මැවුම්කරුවෙකු නැතහොත් පෞද්ගලිකත්වයක් ඇති දෙවි කෙනෙකු පවතින බව විශ්වාස කිරීමට පෙලඹෙන්නේ නැත.

විද්‍යාවේ සීමාවන්

විද්‍යාව හේතුවෙන් එකතු කරගත් දැනුම් සම්භාරය සහ එයින් ඉටු වී ඇති දේ සඳහා, ඊට නිසි ගෞරවයක් දැක්වීම සුදුසුය. කෙසේවෙතත්, විද්‍යාව තොරතුරු දැනගැනීමට තිබෙන එක් මාධ්‍යයක් වුවත්, එය දැනුම ලබාගැනීමේ එකම මූලාශ්‍රය නොවන බවට බොහෝදෙනෙක් එකඟ වෙති. විද්‍යාවේ අරමුණ වන්නේ ස්වාභාවික ලෝකයේ සංසිද්ධීන් විස්තර කිරීමත්, ඒවා සිදු වන්නේ කෙසේදැයි කියා සොයාගැනීමට උපකාර සැපයීමත්ය.

අපට භෞතික විශ්වය සම්බන්ධයෙන්, එනම් නිරීක්ෂණය කළ හැකි සෑම දෙයක් සම්බන්ධයෙන්ම වඩාත් ගැඹුරු අවබෝධයක් ලැබෙන්නේ විද්‍යාව මාර්ගයෙනි. එනමුත් විද්‍යාවෙන් කොතෙක් දුරට විමර්ශන කටයුතු කළද, සියලු දේවල අරමුණ සම්බන්ධයෙන් මතු වන ප්‍රශ්නයට, එනම් විශ්වයේ පවතින්නේ මන්ද යන ප්‍රශ්නයට පිළිතුරක් තවමත් සොයාගැනීමට නොහැකි වී තිබේ.

කර්තෘ ටොම් අට්ලි පවසන්නේ “විද්‍යාඥයන්ට කිසිදා පිළිතුරු දිය නොහැකි සමහරක් ප්‍රශ්න පවතින” බවය. “මහා පිපිරුම වසර බිලියන 12කට ඉහතදී සිදු වූවා විය හැකියි. එනමුත් එවැන්නක් සිදු වූයේ මන්ද? . . . පිපිරීමට හේතු වූ අංශු බිහි වූයේ කෙසේද? ඊට කලින් තිබුණේ මොනවාද?” අට්ලිගේ නිගමනය: “පිළිතුරු ලැබීම සඳහා මිනිසාට තිබෙන පිපාසය විද්‍යාවෙන් කිසිදා සන්සිඳෙන්නේ නැති බව සක්සුදක් සේ . . . පැහැදිලි වේ.”

මිනිසුන් තුළ ඇති කුතුහලය හේතුවෙන් මෙලෙස එකතු කරගන්නා විද්‍යාත්මක දැනුම දෙවි කෙනෙකු නොසිටින බව කිසි අන්දමකින්වත් ඔප්පු කරන්නේ නැත. ඇත්තෙන්ම ඉන් සනාථ වී තිබෙන්නේ අප ජීවත් වන්නේ කොතරම් චිත්තාකර්ෂණීය, සංකීර්ණ හා ගරුබිය දනවන ලෝකයකද යන්න පමණි. පවතින භෞතික නීති, රසායනික ප්‍රතික්‍රියාවන්, DNA සහ පුදුම දනවන ජෛව විවිධත්වය දෙස බලද්දී, ඒ සියල්ල මැවුම්කරුවෙකුගේ පැවැත්මට සාක්ෂි සපයන බව සාධාරණව නිගමනය කිරීමට බුද්ධිමත් පුද්ගලයන් බොහෝදෙනෙකු පෙලඹී ඇත. සැබවින්ම ඊට පටහැනිව දිවයන සාක්ෂි කිසිවක් නැත.

‘ඇදහිල්ල, යථාර්ථය මත පදනම් වූවකි’

විශ්වයේ පැවැත්ම පිටුපස මැවුම්කරුවෙකු සිටිනවා නම්, දූරේක්ෂ, අණ්වීක්ෂ හෝ වෙනත් විද්‍යා උපකරණ භාවිත කරමින් ඔහුව හෝ ඔහුගේ අරමුණු හෝ අපට වටහාගන්නට හැකි වෙයි කියා අපේක්ෂා කළ නොහැකිය. මොහොතකට කුඹල්කරුවෙකු සහ ඔහු විසින් නිර්මාණය කර ඇති බඳුනක් ගැන කල්පනා කර බලන්න. එම බඳුන කොතරම් සියුම් ලෙස පරීක්ෂා කළද එය සෑදුවේ මන්ද යන ප්‍රශ්නයට පිළිතුරක් ලබාගත නොහැකිය. ඒ ගැන අප ඇසිය යුත්තේ කුඹල්කරුවාගෙන්මයි. පිළිතුර ඇත්තේ ඔහු ළඟය.

විද්‍යාවේ මෙම අඩුව වැසීමට ඇදහිල්ල සහ අධ්‍යාත්මය දායක වන අන්දම අණුක ජීව විද්‍යාඥ ෆ්‍රැන්සිස් කොලින්ස් මෙසේ පැහැදිලි කරයි. “මිනිස් ජීනෝමයේ (සෛල න්‍යෂ්ටියක ඇති වර්ණදේහ කට්ටලයේ) රසායනික සංයුතිය නියම කිරීමට නිවැරදි මෙවලම ආගම බව මා සිතන්නේ නැත. කෙසේවෙතත්, ඒ තර්කය යොදාගනිමින් අධ්‍යාත්මික දේවල් වටහාගැනීමට විද්‍යාව මාධ්‍යයක් ලෙස යොදාගැනීම සාධාරණ වන්නේද නැත. ‘අප මෙහි සිටින්නේ මන්ද?’ නැතහොත් ‘මිනිසුන්ට අධ්‍යාත්මික කාරණා සඳහා පිපාසයක් ඇත්තේ මන්ද?’ වැනි වැදගත්කමින් වැඩි ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට උත්සාහ දරන විට විද්‍යාවෙන් මට සෑහීමට පත් විය හැකි පිළිතුරක් ලැබී නැත. මිථ්‍යා විශ්වාස බොහොමයක් අප අතරට පැමිණි මුත්, ඒවා දැන් අතුරුදහන් වී ගොස් තිබේ. එනමුත්, ඇදහිල්ලට එවන් දෙයක් සිදු වී නැත. ඉන් අඟවන්නේ එය යථාර්ථය මත පදනම් වූ දෙයක් බවය.”

සැබෑ හේතු පැහැදිලි කිරීම

සැබෑ ආගම විශ්වයේ සහ ජීවයේ පැවැත්මට නියම හේතුවත් ජීවිතයේ අරමුණ හා සම්බන්ධ ප්‍රශ්නවලට පිළිතුරුත් සපයන අතරතුරේදී සාරධර්ම, සදාචාරය සහ ආචාර ධර්ම පිහිටුවීමට යම් ප්‍රමිති ලබා දෙයි. එමෙන්ම ජීවිතයටද නිසි මඟ පෙන්වීමක් ලබා දෙයි. ඇලන් සැන්ඩේජ් නමැති විද්‍යාඥයා මෙම කාරණය මෙලෙස පැහැදිලි කළේය. “ජීවත් විය යුත්තේ කෙසේද යන්න ඉගෙනීමට මා ජීව විද්‍යා පංතියකට නම් යන්නේ නැත.”

ජීවත් විය යුත්තේ කෙසේද යන්න ඉගෙනීමට යා යුතු තැන තමන් සොයාගෙන ඇති බව ලොව පුරා වෙසෙන මිලියන සංඛ්‍යාත ජන පිරිසකට වැටහී තිබේ. අප මෙහි සිටින්නේ මන්ද සහ අප යන්නේ කොතැනටද යන ප්‍රශ්නවලට සැබවින්ම සෑහීම ගෙන දෙන පිළිතුරු සොයාගෙන ඇති බවත් ඔවුන්ට පෙනී ගොස් ඇත. සැබවින්ම මිනිසාගේ මූලික ප්‍රශ්නවලට පිළිතුරු තිබේ. කොහෙද? ලොවෙහි පැරණිම, වඩාත් පුළුල්ව බෙදාහැර ඇති පරිශුද්ධ ග්‍රන්ථය වන බයිබලයෙහිය.

පෘථිවිය විශේෂයෙන්ම මිනිසුන් වෙනුවෙන්ම දෙවි විසින් පිළියෙළ කරන ලද්දක් බව බයිබලය අපට පවසයි. පෘථිවිය සම්බන්ධයෙන් යෙසායා 45:18හි අපට පවසන්නේ මෙසේය. ‘දෙවි පොළොව මවා සාදා එය පිහිටෙවූ අතර, එය හිස්කමට නොමවා වාසය පිණිස සෑදුවේය.’ අනතුරුව, නිකම්ම ජීවිතයට පමණක් නොව ජීවිතයෙන් උපරිම තෘප්තියක් ලබාගත හැකි වන පරිද්දෙන් පෘථිවිය තුළ මිනිසුන්ට අවශ්‍ය සෑම දෙයක්ම දෙවි විසින් සපයන ලදි.

පෘථිවිය “වවන්ටත් බලාගන්ටත්” එහි භාරකාරත්වය දෙන ලද්දේ මිනිසුන්ටය. (උත්පත්ති 2:15) දැනුම සහ ප්‍රඥාව දෙවිගෙන් ලද දීමනා බවත්, එකිනෙකා සමඟ ප්‍රේමයෙන් සහ යුක්තියෙන් කටයුතු කළ යුතු බවත් බයිබලයෙහි පැහැදිලි කර ඇත. (යෝබ් 28:20, 25, 27; දානියෙල් 2:20-23) මේ අනුව මිනිසුන්ට තම ජීවිතයෙහි අරමුණක් සහ අර්ථයක් සොයාගත හැකි වන්නේ දෙවි ඔවුන් සඳහා අරමුණු කර ඇති දේ සොයා, ඊට එකඟව ජීවත් වුවහොත් පමණි. b

එසේ නම්, විද්‍යාත්මක තර්කණය සහ ආගමික විශ්වාසයන් අතර පෙනෙන ප්‍රකාරයට පවතින සුවිසල් පරතරය එක් කිරීමට මෙම නූතන යුගයේ බුද්ධිමත්ව සිතන කෙනෙකුට හැක්කේ කෙසේද? ඒ සඳහා උපකාරවත් විය හැකි මඟ පෙන්වන ප්‍රතිපත්ති හෝ මූලධර්මයන් මොනවාද?

[පාදසටහන්වල]

a යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් පළ කරන ලද ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? යන පොතෙහි “ජීවයේ මූලාරම්භය කුමක්ද?” නමැති 3වන පරිච්ඡේදය බලන්න.

b තවත් සවිස්තර තොරතුරු ලබාගැනීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් පළ කරන ලද ජීවිතයේ අරමුණ කුමක්ද? ඔබට එය දැනගත හැක්කේ කෙසේද? යන විවරණිකාව බලන්න.

[7වන පිටුවේ කොටුව⁄පින්තූර]

විද්‍යාඥයන් කිහිපදෙනෙකුට සවන් දෙමු

විද්‍යාඥයන් වැඩිදෙනා අධ්‍යාත්මය හා ආගම සම්බන්ධ විෂයන් මඟහරින බව ඇතැම් අය දරන මතයකි. ඔවුන් පවසන්නේ විද්‍යාඥයන්ට ආගමක් දහමක් ගැන කිසිදු උනන්දුවක් නොමැති බවයි. එසේ නැතහොත් විද්‍යාව හා ආගම අතර තිබෙන මතභේදයට හවුල් වීමට විද්‍යාඥයන් තුළ කිසිදු කැමැත්තක් නැති බවයි. මෙය ඇතැම් විද්‍යාඥයන් සම්බන්ධයෙන් සැබෑවක් විය හැකියි. එහෙත් සියලුදෙනා එම ගණයට නොවැටේ. මෙය සනාථ කිරීම සඳහා විද්‍යාඥයන් පවසා ඇති මතු දැක්වෙන දේවලට සවන් දෙමු.

“විශ්වයට ආරම්භයක් තිබෙන නමුත්, ඊට හේතුව විද්‍යාඥයන්ට පැහැදිලි කළ නොහැකිය. ඊට හේතුව දෙවි කෙනෙකි.” “බයිබලය මා දකින්නේ සැබෑ මෙන්ම දේවානුභාවයෙන් ලියන ලද පොතක් ලෙසයි. ජෛව විවිධත්වය දෙස බලන කල එය පිටුපස බුද්ධියක් ඇති බව කිව යුතුය.”—එක්සත් ජනපදයේ භූ විද්‍යා සමීක්ෂණ කණ්ඩායමේ ග්‍රහ භූ විද්‍යාඥයෙක් වන කෙන් ටානාකා.

“විවිධාකාර (විද්‍යාත්මක හා ආගමික) ක්ෂේත්‍ර අතර තිබෙන දැනුමේ වෙනස්කම් මිනිසා විසින් ඇති කරන ලද්දකි. . . . මැවුම්කරු පිළිබඳ දැනුම සහ මැවිල්ල පිළිබඳ දැනුම අතර තිබෙන්නේ ඉතා කිට්ටු නෑකමකි.”—මෙක්සිකෝවේ ජාතික ස්වාධීන සරසවියේ භෞතික විද්‍යා හා න්‍යායික රසායනික විද්‍යා අංශයේ පර්යේෂක මහාචාර්ය එන්රීකේ එර්නාන්ඩෙස්.

“[මිනිස් ජීනෝමය පිළිබඳව] අප රැස් කරගෙන ඇති තොරතුරු සම්භාරය පෙළ ගස්වද්දී, එහි සංඝටකවල සංකීර්ණත්වය සහ අන්තර් සහයෝගිතාව පිළිබඳ තොරතුරු හෙළි වනු ඇත. එහි මූලාරම්භය බුද්ධිමත් මැවුම්කරුවෙකු නැතහොත් බුද්ධිමත් පුද්ගලයෙකු ආධාරයෙන් සිදු වූවක් බවද ඉන් සනාථ වනු ඇත.”—ජීව රසායන විද්‍යාඥයෙක් වන ඩ්වේන් ටී. ගිෂ්.

“විද්‍යාව සහ ආගම අතර ඇත්තෙන්ම කිසිදු ඝට්ටනයක් නොමැත. එම විෂයන් දෙකින්ම සොයන්නේ එකම සත්‍යතාවයි. දෙවිකෙනෙකු සිටින බව විද්‍යාවෙන්ද ප්‍රත්‍යක්ෂ වේ.”— ටෙක්සස්හි රසායනික විද්‍යාවේ මහාචාර්යවරයෙක් වන ඩී. එච්. ආර්. බාර්ටන්.

[හිමිකම් විස්තර]

NASA/U.S. Geological Survey

ඡායාරූපය: www.comstock.com

NASA and The Hubble Heritage Team (STScI/AURA)

[5වන පිටුවේ පින්තූර]

අප මෙහි සිටින්නේ මන්ද යන ප්‍රශ්නයට පිළිතුර විද්‍යාත්මක පරීක්ෂණවලින් දැනගත හැකිද?

[හිමිකම් විස්තර]

Courtesy Arecibo Observatory/David Parker/Science Photo Library

[6වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

2, 3, 5වෙනි පිටුවල සහ 7වෙනි පිටුවේ ඉහළ තාරුකා: National Optical Astronomy Observatories