Skip to content

පටුනට යන්න

කිසිදා නිමාවක් නොදුටු වහල්භාවය

කිසිදා නිමාවක් නොදුටු වහල්භාවය

කිසිදා නිමාවක් නොදුටු වහල්භාවය

වහල්භාවයට විරාමයක් තියා ඇද්ද? ඔව්, දැන් එහෙම දෙයක් නැහැ කියා බොහෝදෙනෙකුට හැඟේවි. වහල්භාවය යන වචනය ඇසෙත්ම මනසේ මැවෙන්නේ තිරිසන් ලෙස වධ හිංසා පමුණුවන බියකරු පින්තූරයි. වහල්භාවය ගැන කතා කරද්දී හුඟදෙනෙකුගේ මනස දිව යන්නේ අතීතයටයි. උදාහරණයක් කියනවා නම්, සමහරුන්ගේ මනසේ ඇඳෙන්නේ ගෙවී ගිය සියවස්වල තිබූ වහල් නැව්ය. ඒවායෙහි බඩු පටවන කොටසේ එක පොදියට පටවා සිටි මිනිසුන් සිටියේ හුස්මක් කටක් ගන්න බැරි තරම් අපිරිසිදු වාතාවරණයක බිරන්තට්ටු වෙලයි.

දැන් එවැනි වහල් නැව් මුහුදේ යාත්‍රා කරනවා දකින්න ලැබෙන්නේ නැති බවත්, එවැනි වහල්භාවයන් අදදින ජාත්‍යන්තර ගිවිසුම් මගින් අනීතික කර ඇති බවත් ඇත්තයි. නමුත්, වහල්භාවය නම් නිම වී නැහැ. ඇන්ටි-ස්ලේවරි ඉන්ටර්නැෂනල් නමැති මානව අයිතිවාසිකම් පිළිබඳ සංවිධානය ගණන් බලා ඇති ආකාරයට, මිලියන 200ක ජනතාවක් තවමත් යම් ලෙසකින් සිටින්නේ වහල්භාවයෙයි. සමහරවිට ඔවුන්ට වැඩ කරන්න සිදු වන්නේ එදා, සියවස් ගණනාවකට කලින් සිටි වහලුන් විඳදරාගත් තත්වයන්ට වඩා දරුණු තත්වයන් යටතේයි. ඇත්තවශයෙන්ම, ඇතැම් විශ්ලේෂකයන්ගේ නිගමනය වන්නේ, “ඉතිහාසයේ මොනයම් කාලයකටත් වඩා අදදින වැඩි පිරිසක් වහල්භාවයේ සිටිනවාය” යන්නයි.

නවීන දින වහලුන් පිළිබඳ කතා සෝචනීයයි. කෲර වහල් හිමියන්ගේ හරක් පට්ටි දක්කන වයස අවුරුදු දහයක් වූ කාන්ජි  a නිතරම ඔවුන්ගෙන් ගුටි බැට කයි. ඔහු පවසන්නේ “වාසනාව තියෙන දාට මට පරණ පාන් කෑල්ලක් හම්බ වෙනවා. එහෙම නැති දාට මුළු දවසෙම ඉන්න වෙන්නේ හාමතේ” කියායි. “මම ඒගොල්ලන්ගේ දාසයෙක් නිසාත්, ඒගොල්ලන්ගේ භාරයේ ඉන්න නිසාත් මට කිසිම දාක ගෙවීමක් කරලා නැහැ. . . . මගේ වයසේ ඉන්න අනිත් ළමයි එකතු වෙලා සෙල්ලම් කරනවා දකිනකොට මේ නරුම ජීවිතේ ගත කරනවාට වඩා මැරිලා යනවා නම් හොඳයි කියලා හිතෙනවා.”

කාන්ජි මෙන් බොහෝවිට අදදින වහලුන් වී සිටින්නේ දරුවන් හෝ ස්ත්‍රීන්ය. ඔවුන් දාඩිය මුගුරු වගුරවමින් බිම් පලස් සාදන්නේ, පාරවල් තනන්නේ, උක්ගස් කපන්නේ හෝ ගණිකාවන් හැටියට පවා වැඩ කරන්නේ හිතේ කැමැත්තකින් නොවෙයි. එමෙන්ම ඔවුන්ව අමෙරිකානු ඩොලර් 10ක් වැනි සුළු මුදලකට අළෙවි කළ හැකියි. සමහර දරුවන්ව ඔවුන්ගේම දෙමාපියන් වහල් මෙහෙවරට අලෙවි කරන්නේ එය ණය බරින් නිදහස් වීමේ මඟක් ලෙස සලකාගෙනයි.

එවන් වාර්තා ඇසෙද්දී ඔබට පිළිකුලක් දැනෙනවාද? එසේ දැනෙන්නේ ඔබට විතරක් නොවෙයි. ඩිස්පෝසබල් පීපල් නම් පොතේ කර්තෘ කෙවින් බේල්ස් මෙසේ පවසයි. “වහල්භාවය නීච දෙයක්. ඒකෙන් වෙන්නේ කෙනෙකුගේ ශ්‍රමය සූරාකෑම විතරක් නෙවෙයි මුළු ජීවිතයම සූරාකෑමයි.” මිනිසා මිනිසාටම පාන නොමිනිස්කම් ගැන කල්පනා කර බලන විට වහල්භාවය නමැති හිංසනය කවදා හෝ නිම වේවි කියා සිතිය හැකිද? වහල්භාවය යන වදන සවනේ වැකෙද්දී ඔබේ මනසේ ඇඳෙන දෙයට වඩා ඇත්තෙන්ම එම ප්‍රශ්නය ඔබට පෞද්ගලිකව බලපාන දෙයක්.

අප දැන් වහල්භාවයේ පැති කීපයක්ම තිබෙන අයුරු දක්නට යනවා. විවිධ ස්වරූපයන් ගන්නා එහි ඇතැම් පැති සෑම පුද්ගලයෙකුටම බලපායි. එබැවින් කවදා හෝ මිනිස්වර්ගයාට සැබෑ නිදහස ලැබේවිද යන්න අප සියල්ලන්ම දැනගත යුතුයි. එහෙත් මුලින්ම අපි මානව වහල් වෙළඳාම පිළිබඳ ඉතිහාසයෙන් බිඳක් දැන් සලකා බලමු.

[පාදසටහන]

a ඔහුගේ නියම නම නොවේ.

[13වන පිටුවේ පින්තූර]

දිළිඳු ස්ත්‍රීන් හා දරුවන් දිගු කලක් පුරා වහල් වෙළඳාමට ගොදුරු වී තිබෙනවා

[හිමිකම් විස්තර]

ඉහළ පින්තූරය: UN PHOTO 148000/Jean Pierre Laffont

U.S. National Archives photo