Skip to content

පටුනට යන්න

නේවාසික මිතුරා සමඟ මට සමඟියෙන් කල් ගෙවිය හැක්කේ කොහොමද?

නේවාසික මිතුරා සමඟ මට සමඟියෙන් කල් ගෙවිය හැක්කේ කොහොමද?

යෞවන අය අසති . . .

නේවාසික මිතුරා සමඟ මට සමඟියෙන් කල් ගෙවිය හැක්කේ කොහොමද?

“මම කැමතියි කුස්සිය පිරිසිදුව තබාගන්න. ඒත් මගේ නේවාසික මිතුරියට නම් ඒ ගැන කිසිම ගානක් නැහැ. දීසි, පිඟන් හෝදන්නේ නැතුව එහෙම නැත්නම් පිසින භාජන කෑම එක්ක එහෙමම ලිප උඩ තිබුණත් එයාට ගානක් නැහැ.”—ලීන්. a

නේවාසික මිතුරෝ. “ඔවුන් මිතුරෝ වෙන්නත් පුළුවන් සතුරෝ වෙන්නත් පුළුවන්.” එසේ පැවසුවේ කෙවින් ස්කොලෙරි නමැති ලේඛකයා. මෙම කියමනේ සත්‍යතාව ඔබට එතරම් නොදැනෙන්න පුළුවන්. නමුත් නේවාසික මිතුරෙක් හෝ මිතුරියක් සමඟ ජීවත් වෙන කෙනෙකුට නම් එය මසුරන් වටින කියමනකි. b නේවාසික විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අතර ගැටුම් ඇතිවීම ඉතා සුලබ දෙයක් බව එක් වාර්තාවක් (U.S.News & World Report) පවසනවා. පාසැල් මගින් සම්මන්ත්‍රණ සහ නොයෙකුත් “සමථ මණ්ඩල” යොදාගනිමින් නේවාසික මිතුරන්ට සමඟියෙන් සිටීමට උපකාර කිරීමට “ඉමහත් පරිශ්‍රමයක්” දරයි.

පූර්ණකාලීන එවැන්ජලිස්ත සේවය කිරීමට නිවසෙන් පිට වී ගොස් සිටින තරුණ ක්‍රිස්තියානියෙකුට පවා නේවාසික ස්ථානයක් හවුලේ බෙදාගැනීම දුෂ්කර කාර්යයක් විය හැකියි. අධෛර්ය වීමට කිසිම හේතුවක් නැහැ. මන්දයත් බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙනුත් “ප්‍රායෝගික ප්‍රඥාව” ඇතුව කටයුතු කිරීමෙනුත් ප්‍රශ්න නිරාකරණය කරගැනීමට බොහෝදුරට හැකියාව තිබෙනවා.—හිතෝපදේශ 2:7, NW.

එකිනෙකාව දැනහඳුනා ගැනීම

අලුත් තැනට යෑමට තිබූ උද්‍යෝගය පහව ගියායින් ටික කාලයකට පසුව ඔබේ නිවසේ පරිසරයම තිබුණා නම් කොතරම් හොඳද කියා ඔබට හැඟෙන්න පුළුවන්. (ගණන් කථාව 11:4, 5) ඒත් අතීතය ගැන සිතන්න ගියොත් නම් ඔබට තත්වයට හැඩ ගැහෙන්න අමාරු වේවි. දේශනාකාරයා [ධර්මදේශකයා] 7:10හි පවසන දෙයට අවධානය දෙන්න. “අතීතය වර්තමානයට වඩා හොඳව තිබුණේ මන්දැයි ප්‍රශ්න නොකරන්න. එය බුද්ධිමත් ප්‍රශ්නයක් නොවේ.” (නව අනුවාදය) පුළුවන් තරම් ඔබ දැන් සිටිනා තත්වය හොඳ අතට හැරවීමට උත්සාහ කරන්න.

මේ සඳහා ප්‍රථමයෙන්ම ඔබේ නේවාසික මිතුරාව හඳුනාගැනීමට වෑයම් කරන්න. නේවාසික මිතුරන් තම සමීපතම මිතුරන්ම විය යුතු නැහැ. ඒ වගේම ඔබේ සිත ඇදී යන කෙනෙකුම විය යුතුත් නැහැ. ඔබට එකට ජීවත් වීමට සිදු වන පුද්ගලයා සමඟ සාමකාමී සම්බන්ධතාවක් ඇති කරගැනීම සාධාරණයි කියා ඔබට සිතෙන්නේ නැද්ද?

පිලිප්පි 2:4හි අපිට කියන්නේ, “එක් එක්කෙනා තම තමාගේම කාරණා නොව අනුන්ගේ කාරණාත්” බලන ලෙසයි. නිකම් රණ්ඩුවට වගේ යම් යම් දේවල් ගැන ප්‍රශ්න විචාරමින්ම කතා නොකරන්න. පවුලේ විස්තර, ඔහුගේ හෝ ඇයගේ රුචි අරුචිකම්, ඉලක්ක සහ සිතුම් පැතුම් වැනි සාමාන්‍ය දේවල් ගැන විමසන්න. ඔබේ තොරතුරුත් පවසන්න. එකිනෙකා ගැන දැනගන්න දැනගන්න එකිනෙකාව තේරුම්ගැනීම පහසු වෙනවා.

ඉඳහිට එකට එකතු වී වැඩ කිරීමට සැලසුම් කරන්න. ලී නමැති තරුණිය එවන් සැලසුම් ක්‍රියාත්මක කළා. “අපි සමහර දාට කෑම ගන්න එළියට යනවා. එහෙම නැත්නම් චිත්‍ර ප්‍රදර්ශනයක් බලන්න යනවා.” දෙදෙනාම ක්‍රිස්තියානීන් නම් සභා රැස්වීම්වලට සහභාගි වීම, එවැන්ජලිස්ත සේවයේ හවුල් වීම වැනි දේවල් කලින් සඳහන් කළ දේවලට වඩා මිත්‍රත්වය ශක්තිමත් කිරීමට දායක වෙනවා.

ඩේවිඩ් මෙහෙම කියනවා. “මගේ මිතුරාට බයිබලයට අදාළ දේශනයක් දෙන්න තියෙනකොට මම එයාගේ දේශනය අහලා එයාව දිරිගන්වන්න එයා ඉන්න සභාවට ගියා.” ඔහුටයි ඔහුගේ නේවාසික මිතුරාටයි වෙනස් රුචි අරුචිකම් තිබුණත් ක්‍රීඩාව, සංගීතය, ආත්මික දේවල් කෙරෙහි ඔවුන්ට තිබෙන ප්‍රේමය වැනි දේවල් නිසා ඔවුන්ගේ බැඳීම ශක්තිමත් වුණා. “අපි හුඟාක් ආත්මික දේවල් ගැන කතා කරනවා. ඇත්තම කියනවා නම් ආත්මික දේවල් ගැන වරු ගණන් වුණත් කතා කර කර ඉන්න අපිට පුළුවන්” කියා ඩේවිඩ් පවසනවා.

මෙන්න මේ පුංචි අවවාදය සිතේ තියාගන්න. වෙනත් මිතුරු මිතුරියන් ඇති කරගැනීමට නොහැකි වන සේ නේවාසික මිතුරා හෝ මිතුරිය සමඟ ඕනෑවට වඩා කුලුපග වෙන්න එපා. එලෙසම ඔබේ නේවාසික මිතුරා හෝ මිතුරිය යන සෑම ගමන් බිමන්වලටම ඔබවත් හවුල් කරගත යුතුයි කියා ඔහුට හෝ ඇයට සිතේ නම් එමගින් ඔහුගේ හෝ ඇයගේ නිදහස සීමා වන බව හැඟීමට සැලැස්විය හැකියි. බයිබලයෙහි උපදෙස් දෙන්නේ ඔබේ මිත්‍රත්වය වෙනත් අය කෙරෙහිත් “පුළුල්” කරනා ලෙසටයි.—2 කොරින්ති 6:13, NW.

රන් අණට එකඟව ජීවත් වෙන්න

ඔබ එකිනෙකාව දැනහඳුනා ගන්න විට ඔබේ පුරුදු, රුචි අරුචිකම්, අදහස් උදහස් සහ සිතුම් පැතුම්වල ඇති වෙනස්කම් පිළිබඳව දැනගැනීමට හැකියාවක් ලැබේවි. මාර්ක් මෙවැනි අනතුරු ඇඟවීමක් කරනවා. “ඔබ අඩු පාඩුකම් බලාපොරොත්තු විය යුතුයි.” සංවේදී නොවීම එසේ නැතහොත් තමන් ගැනම නුවමනා සේ සිතීමෙන් සිදු වන්නේ මානසිකව පීඩාවට පත්වීමයි. මං මොකටද වෙනස් වෙන්නේ. එයයි වෙනස් වෙන්න ඕනේ කියා සිතීමෙන්ද සිදු වන්නේ මානසිකව පීඩාවට පත්වීමයි.

නේවාසික මිතුරෙක් වීමෙන් ෆර්නැන්ඩෝ මෙය ඉගෙනගත්තා. ඔහු මෙහෙම කියනවා. “ඔබ ආත්මාර්ථකාමී නොවී පරාර්ථකාමී වෙන්න ඕනේ.” ඔහු කියූ දේ සුප්‍රසිද්ධ රන් අණටද එකඟයි. එම අණ නම් “අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමතිද, ඔබත් ඒ දේම ඔවුන්ටත් කරන්න” යන්නයි. (මතෙව් 7:12, න.අ.) ෆර්නැන්ඩෝට ඉක්මනින්ම තේරුම්ගියා තමන්ටත් තමන්ගේ මිතුරාටත් කාමරයේ උෂ්ණත්වය සම්බන්ධයෙන් ගැටුමකට මුහුණ දෙන්න සිදු වෙයි කියා. හේතුව මිතුරා සාමාන්‍යයෙන් නිදාගන්න කැමති කාමර උෂ්ණත්වය පහත තිබෙන විටයි. නමුත් ෆර්නැන්ඩෝ කැමති උණුසුම්ව තිබෙනවාට. ෆර්නැන්ඩෝ එය විසඳාගත් ආකාරය මෙසේ පැහැදිලි කරනවා. “මම බැලැන්කට් එකක් අරගත්තා පාවිච්චියට.” මාර්ක් ඒ පිළිබඳව මෙසේ අදහස් දක්වනවා. “නම්‍ය සුළු වෙන්න. ඔබේ හැම පුරුද්දක්ම වෙනස් කළ යුතු නැහැ. එකක් දෙකක් වෙනස් කරන්න සිදු වෙන්න පුළුවන්.”

රන් අණ ක්‍රියාවට නැංවීමෙන් ඔබේ නේවාසික මිතුරාගේ හෝ මිතුරියගේ රුචි අරුචිකම් ඉවසිය හැකියි. උදාහරණයක් පෙන්වනවා නම්, ඔබ ඔහු හෝ ඇය සවන් දෙන සංගීතයට අකමැතිවා සේම ඔහු හෝ ඇයත් ඔබ සවන් දෙන සංගීතයට අකමැති විය හැකියි. එමනිසා ඔබේ නේවාසික මිතුරා සවන් දෙන සංගීතය සදාචාරාත්මක ලෙස පහත් නොවේ නම් ඒ ගැන ඉවසන්න පුරුදු වෙන්න. “මම මගේ මිතුරාගේ සංගීත රුචිකත්වයට කැමති නැහැ. ඒත් මම ටිකෙන් ටික ඔහුගේ රුචිකත්වයට පුරුදු වෙනවා.” එහෙම කියන්නේ ෆර්නැන්ඩෝ. එහෙම නැත්නම් එක් කෙනෙක් පාඩම් කරන විට අනෙක් කෙනාට හෙඩ්ෆෝන්ස් දමාගෙන සංගීතය රස විඳිය හැකියි.

රන් අණ අදාළ කරගැනීමෙන් බඩු බාහිරාදිය පිළිබඳව ඇති වන ගැටුම්වලින් පවා නිදහස් විය හැකියි. උදාහරණයක් හැටියට ශීතකරණයේ තිබෙන දේවල් අවසරයක් නොමැතිව කන්න ඔබ පුරුදු වෙලා තිබෙනවා නම් ප්‍රවේසම් වෙන්න වෙයි. මොකද ඒක ප්‍රශ්නවලට අත වැනීමක්. ඒ වගේම ඔබ මිල දී ගෙන තිබෙන යමක් ඔහු හෝ ඇය පාවිච්චි කරන විට ඒ ගැන කෝපවීම හෝ රවා බැලීමට යෑමෙන් යහපත් සම්බන්ධතාවක් නම් ඇති වන්නේ නැහැ. බයිබලයෙහි අපට උනන්දු කරන්නේ “ත්‍යාගිවන්තව, බෙදා දීමට ලැදිව” සිටින ලෙසයි. (1 තිමෝති 6:18) නිශ්ශබ්දව සිටීමෙන් ඔබේ නේවාසික මිතුරා කරට නඟින්න හදනවාය කියා ඔබට හැඟී ගියොත් කාරුණිකව හා සන්සුන්ව ඔබේ කාරණය පහදා දෙන්න.

කොහොම වුණත් අනිත් අයගේ බඩු බාහිරාදිය ගැන සැලකිලිමත් විය යුතුයි. අහන්නේ බලන්නේ නැතුව තව කෙනෙකුගේ දෙයක් පාවිච්චි කරන එක උඩඟුකමේ ලක්ෂණයක්. (හිතෝපදේශ 11:2) ඔබේ නේවාසික මිතුරාගේ පෞද්ගලික නිදහසටත් ගරු කරන්න. ඔහුගේ හෝ ඇයගේ කාමරයට ඇතුල් වීමට පෙර තට්ටු කිරීම වැනි ආචාරශීලී පුරුදු විදහාපෙන්වන්න. ඔබ ගෞරවය පෙන්වන විට ඔබේ නේවාසික මිතුරාත් ඔබට ගෞරවය පෙන්වයි. “අපි දෙන්නටම එකට ගෙදර ඉඳන් පාඩම් කරන්න පුළුවන්. මොකද අපි දෙන්නට දෙන්නා ගෞරවය පෙන්වනවා. ඒත් සමහර අවස්ථාවල මම පුස්තකාලයට ගිහිල්ලා පාඩම් කරනවා. එතකොට මගේ මිතුරාට වෙන මොනවා හරි දෙයක් කරගන්න පුළුවන්” කියා ඩේවිඩ් පවසනවා.

කුලිය ගෙවීමේදී ඔබේ කොටස ගෙවීමෙන් එසේ නැතහොත් ගෙදර වැඩ කිරීමේදී ඔබේ වගකීම් ඉටු කිරීමෙන් රන් අණ ක්‍රියාත්මක කළ හැකියි.

ගැටලු විසඳාගැනීමේදී

බයිබල් කාලයේදී ගෞරවාදරයට පත් ක්‍රිස්තියානි පුරුෂයන් දෙදෙනෙක් වූ පාවුල් සහ බාර්ණබස් අතර “සැර විවාදයක්” හටගත්තේය. (ක්‍රියා 15:39) ඔබ දෙදෙනා අතර මීට සමාන දෙයක් සිදු වුණොත් තත්වය කුමක්ද? යම් අවස්ථාවලදී පෞද්ගලිකත්වයේ වෙනස්කම් නිසා සිදු වන ගැටුම් එසේ නැතහොත් කුපිත කරවන පෞද්ගලික පුරුදු නිසා ඔබේ ඉවසීම රතු ඉර පන්නනවා විය හැකියි. යම් එකඟ නොවීමක් හෝ සැර විවාදයක් ඇති වූ පමණින් ඔබ දෙදෙනා එක කාමරයේ වාසය නොකර වෙන් විය යුතුද? ඇත්තෙන්ම නැහැ. පාවුල් සහ බාර්ණබස් තම මතභේදය විසඳාගත් බව පැහැදිලියි. එක විගස නේවාසික කාමරයෙන් පිටවීමට පියවර නොගන්න. මෙවැනි අවස්ථාවකදී පහත සඳහන් බයිබල් ප්‍රතිපත්ති ඔබට උපකාරවත් විය හැකියි.

● “පක්ෂවාදීකමෙන්වත් නිෂ්ඵල පාරට්ටුකාරකමෙන්වත් කිසි දෙයක් නොකොට එකිනෙකා තම තමාට වඩා වෙන කෙනෙක් උතුමැයි යටහත්කමින් සිතාවා.”—පිලිප්පි 2:3.

● “සියලු තිත්තකමත් කෝපයත් උදහසත් කෝලාහලත් අපහාසත් සියලු ක්‍රෝධත් නුඹලා කෙරෙන් පහ කරනු ලැබේවා. නුඹලා එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතුව සිට, ක්‍රිස්තුස් තුළ දෙවි නුඹලාට කමා වුණ ලෙසම නුඹලාත් එකිනෙකාට කමා වෙන්න.”—එපීස 4:31, 32.

● “නුඹේ පඬුර පූජාසනය ළඟ පුදන කල්හි, නුඹේ සහෝදරයා නුඹ කෙරෙහි යම් විරුද්ධයක් ඇති බව එහිදී නුඹට සිහි වී නම්, නුඹේ පඬුර පූජාසනය ඉදිරියෙහි තබා ගොස්, පළමුකොට නුඹේ සහෝදරයා හා සමඟි වී, පසුව ඇවිත් නුඹේ පඬුර පුදන්න.”—මතෙව් 5:23, 24; එපීස 4:26.

ප්‍රයෝජන

බොහෝ යෞවන ක්‍රිස්තියානීන් (වැඩිහිටිභාවයට පා තබා ඇති යෞවනයන්) ප්‍රඥාවන්ත සාලමොන්ගේ වදන් එනම් “එක්කෙනෙකුට වඩා දෙදෙනෙක් හොඳය” යන්න සත්‍යයක් බව තේරුම්ගෙන තිබෙනවා. (දේශනාකාරයා 4:9) තව කෙනෙකු සමඟ විසීම ඇත්තෙන්ම ප්‍රයෝජනදායක බව බොහෝදෙනෙකු තේරුම්ගෙන තිබෙනවා. “මම මිනිසුන් සමඟ කටයුතු කරන හැටිත් සකස් වෙන හැටිත් ඉගෙනගත්තා” කියා මාර්ක් පවසනවා. රීනි මෙහෙම කියනවා. “තමන් ගැනම හුඟක් ඉගෙනගන්න පුළුවන්. ඒ වගේම නේවාසික මිතුරන්ගෙනුත් හොඳ දේවල් ඉගෙනගන්න පුළුවන්.” ලීන් තම අද්දැකීම අපත් සමඟ බෙදාගන්නේ මෙලෙසයි. “නේවාසික මිතුරිය සමඟ ඉන්න ආව මුල් දවස්වල මම හරිම නපුරුයි. ඒ වගේ දරුණු කෙනෙක් වෙන එක හොඳ නැහැයි කියලා පස්සේ මම තේරුම්ගත්තා. යම් කෙනෙක් මගේ ක්‍රමයට වැඩ කටයුතු නොකරන නිසාම එම පුද්ගලයා වැරදියි කියලා කියන්න බැහැයි කියන එකත් මම දැන් තේරුම් අරගෙන ඉන්නේ.”

නේවාසික මිතුරෙකු සමඟ පෑහී කටයුතු කිරීමට වෑයම සහ කැප කිරීම අවශ්‍යයි. නමුත් ඔබ බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමට උත්සාහ ගන්නෙහි නම් නිකම් සාමකාමී සම්බන්ධතාවයකට වඩා වැඩි දෙයක් අත් කරගත හැකියි. ඒ තමයි නේවාසික මිතුරෙක් හෝ මිතුරියක් සමඟ විසීමෙන් අත් කරගත හැකි ප්‍රීතිය.

[පාදසටහන්වල]

a සමහර නම් වෙනස් කර ඇත.

b වර්ෂ 2002 මැයි 8 පිබිදෙව්! කලාපයේ “නේවාසික මිතුරා සමඟ කල් ගෙවන්න මේ තරම් දුෂ්කර ඇයි?” යන ලිපිය බලන්න.

[25වන පිටුවේ පින්තූරය]

පීඩනයක් ඇති නොවන සේ කටයුතු කිරීමට ඔබ වගබලාගන්න

[26වන පිටුවේ පින්තූරය]

එකිනෙකා ගැන සැලකිලිමත් වෙන්න