Skip to content

පටුනට යන්න

පොලිස් නිලධාරීහු—ඔවුන් අත්‍යවශ්‍ය වන්නේ මන්ද?

පොලිස් නිලධාරීහු—ඔවුන් අත්‍යවශ්‍ය වන්නේ මන්ද?

පොලිස් නිලධාරීහු—ඔවුන් අත්‍යවශ්‍ය වන්නේ මන්ද?

පොලිස් නිලධාරීන් නොසිටියා නම් අපේ ජීවිත කොයි ආකාරයේ එකක් වේවිද? වර්ෂ 1997දී බ්‍රසීලියානු නගරයක් වන රෙසීෆ්වල සිදු වූ දේ නිදසුනකට ගන්න. පොලිස් නිලධාරීන් 18,000ක් වැඩ වර්ජනය කළ නිසා එහි වැසියන් මිලියනයකට අධික සංඛ්‍යාවකට පොලිස් ආරක්ෂාව අහිමි වී ගියා.

“මුහුදු වෙරළ ආසන්න මෙම අගනුවරේ අවුල්සහගත දින පහක් ඇතුළත මිනිමැරුම් සංඛ්‍යාව තුන් ගුණයකින් වැඩි වුණ” බව ද වොෂිංටන් පෝස්ට් වාර්තා කළා. “බැංකු අටක් මංකොල්ල කා තිබෙනවා. වෙළඳ සංකීර්ණයක් ඇතුලේ නොහික්මුණු ලෙස හැසිරුණු මැර කල්ලි, ඉහළ පංතියේ ජනයා වෙසෙන පෙදෙස්වලට ගොස් තුවක්කුවලින් ඉහළට වෙඩි තබමින් ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් සිදු කළා. කිසිවෙක් මාර්ග නීති අනුගමනය කරන්නේ නැහැ. . . . සාපරාධී ක්‍රියාවල මෙම වර්ධනය හේතුවෙන් මිනී කාමර පිරී ඉතිරී ගොස් තිබෙනවා. ප්‍රදේශයේ විශාලතම රෝහලේ පවා ඇඟිල්ලක් ගසන්න තරම්වත් ඉඩක් නැති නිසා වෙඩි හා පිහි පහරින් තුවාල ලැබූ රෝගීන් රෝහලේ බිම වැතිරී සිටිනවා.” අධිකරණ දෙපාර්තමේන්තුවේ ඇමති මෙසේ කී බව වාර්තා වෙයි. “මීට පෙර කවදාවත් මේ විදිහේ අපරාධ අපේ නගරයේ සිදු වෙනවා අපි අද්දැකලා නැහැ.”

අප ජීවත් වන ප්‍රදේශය කුමක් හෝ වේවා, සමාජය ශිෂ්ටසම්පන්නයයි පෙනෙන්න තිබුණත් දුෂ්ටකම කෙසේ හෝ හිස ඔසවන්න මාන බලමින් සිටිනවා. එමනිසා පොලිස් ආරක්ෂාව අපට නැතුවම බැරි දෙයක්. කොහොම නමුත්, සමහර පොලිස් නිලධාරීන්ගේ කෲර ගති, දූෂිත ක්‍රියා, උදාසීනත්වය හා ඔවුන් බලය අනිසි ලෙස යොදාගන්නා ආකාරය ගැන අප වැඩිදෙනෙක් අසා තිබෙනවා. මෙවැනි සිද්ධීන් සිදු වන පරිමාණය රටින් රටට වෙනස් වන බව පිළිගත යුතුයි. එහෙත් පොලිස් නිලධාරීන් නොසිටියා නම් අපට කුමක් සිදු වේවිද? එමෙන්ම පොලිස් නිලධාරීන් බොහෝවිට අගනා සේවාවන් රැසක් පිරිනමන බව අප පිළිගත යුතු නැද්ද? රටවල් කිහිපයක සිටින පොලිස් නිලධාරීන් සමහරෙකුගෙන් මෙම වෘත්තිය තෝරාගත්තේ ඇයි කියා පිබිදෙව්! විමසා බැලුවා.

ප්‍රජාවට හා සමාජයට පිරිනමන සේවයක්

බ්‍රිතාන්‍යයේ පොලිස් නිලධාරියෙක් වන අයිවන් පවසන්නේ මෙලෙසයි. “අනුන්ට උපකාර කිරීමෙන් මම සතුටක් ලබනවා. ඒ වගේම කරන්න තිබෙන වැඩ විවිධාකාර නිසාත් මේ වෘත්තියට මගේ හිත ඇදිලා ගියා. අපරාධ මර්දනය සඳහා වෙන් වී තිබෙන්නේ පොලිස් සේවාවෙන් සියයට 20ක් හෝ 30ක් වැනි ප්‍රමාණයක් විතරයි කියා ගොඩක් අය දන්නේ නැහැ. අපි කරන්නේ බොහෝදුරට ප්‍රජාව හා සමාජය වෙනුවෙන් සේවයක්. සාමාන්‍ය දිනකදී මුර සංචාරයේ යෙදෙන අතරතුර හදිසි මරණයක්, මාර්ග අනතුරක් හා අපරාධයක් වැනි තත්වයන් මතු වූ විට උපකාර කරන්න මට සිදු වන වෙලාවල් තියෙනවා. ඒ වගේම මනස අවුල් වූ, වයසක කෙනෙකුට උදව් කරන්න අවස්ථාවක් ලැබෙන්නත් පුළුවන්. අතරමං වූ දරුවෙකුව නැවත තම දෙමව්පියන්ට භාර දීමෙන්, නැත්නම් අපරාධයකට ගොදුරු වීම නිසා කම්පනයට ලක් වූ කෙනෙකුව සැනසීමෙන් මම විශේෂයෙන්ම තෘප්තියක් ලබනවා.”

කලින් පොලිස් නිලධාරියෙක්ව සිටි එක්සත් ජනපදයේ ස්ටීවන් පවසන්නේ මේ ආකාරයටයි. “ජනයා අවංක විශ්වාසයකින් අපෙන් උපකාර පතන විට, පොලිස් නිලධාරීන් වන අපට නියම උපකාරය පිරිනමන්න පුළුවන්. මොකද ඒ සඳහා අපට අවශ්‍ය සම්පත් වගේම කාලයත් තිබෙනවා. මේ වෘත්තියට මගේ හිත ඇදිලා ගියේ ඒ නිසයි. මගේ ආශාව වුණේ මිනිසුන්ට අවශ්‍ය වූ විට උපකාර පිරිනමා ඔවුන්ට සහනයක් ලබා දෙන්නයි. ජනයාව යම් දුරකට අපරාධවලින් ආරක්ෂා කරන්න මට පුළුවන් වුණා කියලා මට හැඟෙනවා. අවුරුදු පහක් ඇතුළත මම 1,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒත් අතරමං වූ දරුවන්ව සොයාගැනීම, ඉබාගාතේ යන ඇල්සීමර්ස් රෝගීන්ට උදව් කිරීම හා සොරකම් කළ වාහනයක් සොයා දීම වගේ දේවලින් තමයි මම වැඩියෙන්ම තෘප්තියක් ලැබුවේ. ඊට අමතරව සැකකරුවන් පසුපස ලුහුබැඳ ඔවුන්ව අල්ලාගැනීමත් එක්තරා විදිහකින් උද්වේගකර හැඟීම් පුබුදුවන අද්දැකීමක්.”

“හදිසි අවස්ථාවලදී මිනිසුන්ට උදව් කරන්න මට ආශාවක් තිබුණා” කියා බොලිවියාවේ පොලිස් නිලධාරියෙක් වන රොබට් පවසනවා. “පොලිසිය මිනිසුන්ව අනතුරුවලින් ආරක්ෂා කරන නිසා මම තරුණ කාලේ ඔවුන්ට ගොඩක් ගරු කළා. මම පොලිස් නිලධාරියෙක් වුණ අලුත නගර මධ්‍යයේ පා මුර සංචාරය භාරව සිටියේ මමයි. ආණ්ඩුවේ කාර්යාල තියෙන්නේ එතැන. දිනපතාම වගේ අපට දේශපාලනික පෙළපාළි හැසිරවීමට සිදු වුණා. මගේ රාජකාරිය වුණේ යම් සිද්ධීන් ප්‍රචණ්ඩකාරි තත්වයන් බවට පත්වීම මැඩපවත්වන එකයි. පෙළපාළි නායකයන් සමඟ මිත්‍රශීලීව හා සාධාරණව කටයුතු කළ අවස්ථාවලදී උද්ඝෝෂණ හටගැනීම වළක්වන්න මට පුළුවන් වුණා. ඒකෙන් බොහෝදෙනෙකුව අනතුරුවලින් ආරක්ෂා කළා කියා මට හැඟෙනවා. ඒ ගැන සිතද්දී මගේ සේවය ගැන මට තෘප්තියට පත් වෙන්න පුළුවන්.”

පොලිස් නිලධාරීන් සේවාවන් රැසක් සපයනවා. ගසක සිර වී සිටින පූසෙක්ව බේරාගැනීම, ත්‍රස්තවාදීන්ගේ අත්අඩංගුවේ සිටින ප්‍රාණ ඇපකරුවන්ව මුදාගැනීම හා බැංකු මංකොල්ලකරුවන්ව අල්ලාගැනීම වැනි විවිධාකාර සේවාවන් සැපයීමට ඔවුන්ට සිදු විය හැකියි. කොහොම නමුත්, නූතන පොලිස් බලකායන් ආරම්භ වූ දා සිට ජනයාගේ හදවත් තුළ බලාපොරොත්තු හටගන්වන්නත් බිය උපදවන්නත් ඔවුන් හේතුවක් වී තිබෙනවා. ඊළඟ ලිපියේදී ඊට හේතු සලකා බලමු.

[2, 3වන පිටුවේ පින්තූර]

2 සහ 3 පිටු: චීනයේ චෙංඩුහි වාහනවලට මඟ පෙන්වීම. ග්‍රීසියේ උද්ඝෝෂණ මැඩපවත්වන පොලිස් නිලධාරීන්. දකුණු අප්‍රිකාවේ පොලිස් නිලධාරීන්

[හිමිකම් විස්තර]

Linda Enger/Index Stock Photography

[3වන පිටුවේ පින්තූරය]

බ්‍රසීලයේ සැල්වඩෝරයේ 2001 ජූලි මාසයේ සිදු වූ පොලිස් වැඩ වර්ජනයේදී කොල්ල කෑ සාප්පුවක්

[හිමිකම් විස්තර]

Manu Dias/Agência A Tarde

[4වන පිටුවේ පින්තූරය]

අමෙරිකා එක්සත් ජනපදයේ ස්ටීවන්

[4වන පිටුවේ පින්තූරය]

බොලිවියාවේ රොබට්