Skip to content

පටුනට යන්න

වහල්භාවයෙන් මිදීමට දිගු සටනක්

වහල්භාවයෙන් මිදීමට දිගු සටනක්

වහල්භාවයෙන් මිදීමට දිගු සටනක්

“වහලෙක් යනු අඩන්තේට්ටම්වලට ලක් විය යුතු, ඉන් අත් වන දුක් ගින්දර ඉසිලිය යුතු, නොවරදවාම ප්‍රචණ්ඩත්වයෙන් හිරිහැර විඳිය යුතු කෙනෙක්.”—පො.යු.පෙ. පස්වන සියවසේ ග්‍රීක නාට්‍ය රචකයෙකු වූ යුරිපිඩීස්.

වහල්භාවයට තිබෙන්නේ දීර්ඝ මෙන්ම බොහෝවිට අමිහිරි ඉතිහාසයක්. මිසරයේ හා මෙසපොතේමියාවේ මුල් පුරවැසියන්ගේ කාලයේ පටන්, බලවත් ජාතීන් සිය අසල්වැසි සුළු ජාතීන්ව වහල්භාවයට ගත්තා. මිනිස් අසාධාරණයේ එක් දුක්බර කතා පුවතක් ඇරඹුණේ එලෙසිනි.

පොදු යුගයට පෙර දෙවන සහස්‍රයේදී, මිලියන ගණනකින් සමන්විත මුළු ජාතියක්ම මිසරයේ වහල්භාවයට ගොදුරු වුණා. (නික්මයාම 1:13, 14; 12:37) මධ්‍යධරණී ප්‍රදේශය ග්‍රීසියේ පාලනයට නතුව තිබූ අවදියේදී, ග්‍රීක් පවුල් බොහොමයකට අඩුම තරමින් එක දාසයෙක්වත් සිටියා. එය හරියට අදදින ඇතැම් රටවල සෑම පවුලකටම පාහේ මෝටර් රියක් තිබෙන්නාක් මෙනි. ග්‍රීක් දාර්ශනිකයෙකු වූ ඇරිස්ටෝටල් එහි ඇති යුක්තිසහගතබව පෙන්වීමට පැවසුවේ ස්වාමිවරුන් හා දාසයන් වශයෙන් මිනිසුන්ව කොටස් දෙකකට වර්ග කළ හැකියි; මුලින් සඳහන් කළ අයට අණ දීමේ අයිතිය නිතැතින්ම තිබෙන අතර දෙවනුව සඳහන් කළ අය ඉපද සිටින්නේ කීකරු වීමටයි කියායි.

ග්‍රීක්වරුන්ටත් වඩා රෝමවරුන් වහල්භාවයේ වර්ධනයට දායක වුණා. ප්‍රේරිත පාවුල්ගේ කාලයේදී, රෝම නගරයේ ජනතාවගෙන් සමහරවිට අඩක්ම, එනම් පැහැදිලිවම සියදහස් සංඛ්‍යාත සෙනඟක් වහලුන් වී සිටියා. එමෙන්ම ඓතිහාසික ගොඩනැඟිලි තැනීම, ආකරවල වැඩ කිරීම, කෙත් වතු වගා කිරීම සහ ධන කුවේරයන්ගේ සුවිසල් මන්දිරවල සේවය කිරීම වැනි දෑ සඳහා සෑම වසරකම වහලුන් මිලියන භාගයක් සොයාගැනීමට රෝමානු අධිරාජ්‍යයට සිදු වුණ බව පෙනේ. a එබැවින් යුධ වැදී අල්ලාගත් සෙනඟව වහලුන් ලෙස යොදාගත්තා. මෙලෙස මෙම අධිරාජ්‍යයට හැකි තරම් වහලුන්ව එකතු කරගැනීමේ අවශ්‍යතාව සපුරාගැනීම සඳහා ඇති වූ බලවත් පෙලඹීම නිසා ඔවුන් දිගටම යුධ වැදුණා.

රෝම අධිරාජ්‍යය බිඳ වැටී ගිය විට යම් දුරකට වහල්භාවයට ගැනීම අඩු වුවත් සම්පූර්ණයෙන්ම නැවතුණේ නැහැ. ඩෝම්ස්ඩේ (පො.යු. 1086) නමැති පොතට අනුව, මධ්‍යකාලීන යුගයේදී, එංගලන්තයේ සිටි ශ්‍රමිකයන්ගෙන් සියයට 10ක්ම වහලුන් විය. එකලත් වහලුන්ව රැස් කරගත්තේ යුධ වැදීමෙනි. මධ්‍යතන යුගයේ මුල් අවදියේදී යුරෝපයේ සිටි වහල් ජනගහනයෙන් විශාල පිරිසක් ස්ලාවික් ජනතාවගෙන් සමන්විත වුණා. ඒ නිසයි “ස්ලාව්” යන වචනයෙන් වහලා යන අර්ථය ඇති “ස්ලේව්” නම් ඉංග්‍රීසි වචනය සෑදී තිබෙන්නේ.

කෙසේවුවත්, ක්‍රිස්තුස්ගේ කාලයේ පටන් අප්‍රිකාව තරම් වෙන කිසි මහාද්වීපයක් වහල් වෙළඳාමේ විනාශකාරි බලපෑමෙන් පීඩා විඳ නැහැ. යේසුස්ගේ කාලයට පෙර පවා පුරාණ මිසරවරුන් ඉතියෝපියානු වහලුන්ව මිල දී ගැනීමේ හා විකිණීමේ නියැලුණා. ගණන් බලා ඇති ආකාරයට, වසර 1,250ක පමණ කාලයක් පුරා යුරෝපයේ හා මැද පෙරදිග අවශ්‍යතා සපුරාගැනීමට අප්‍රිකානුවන් මිලියන 18ක් වහලුන් ලෙස රැගෙන ගොස් තිබෙනවා. දහසයවන සියවසේදී අමෙරිකාවල යටත් විජිතයන් පිහිටුවීමත් සමඟම නව වහල් වෙළඳාමක් ඇරඹුණා. එම වෙළඳාම අත්ලාන්තික් හරහා සිදු වන වඩාත්ම ලාභ උපයන වෙළඳාම බවට පත් වුණා. වර්ෂ 1650 සහ 1850 අතර කාලය තුළදී මිලියන 12කට වඩා වහලුන්ව අප්‍රිකාවෙන් රැගෙන ගොස් තිබෙන බවට ඉතිහාසඥයන් තක්සේරු කරයි. b බොහෝදෙනෙකුව විකුණා තිබෙන්නේ වහල් වෙළඳපොළවල් තුළින්.

වහල්භාවයෙන් මිදීමේ සටන

සියවස් ගණනාවක් පුරා, තනි පුද්ගලයන් හා ජාතීන් වහල්භාවයෙන් මිදීමට සටන් කර තිබෙනවා. ක්‍රිස්තුස්ට පෙර පළමු සියවසේදී, ස්පාටකස් රෝම වහලුන් 70,000ක හමුදාවක් යොදවමින් නිදහස වෙනුවෙන් දියත් කළ සටන නිෂ්ඵල වුණා. සියවස් දෙකකට පමණ පෙර හෙයිටි වහලුන්ගේ විප්ලවය ඊට වඩා සාර්ථක වූයේ 1804දී ස්වෛරී ආණ්ඩුවක් පිහිටුවීමේ ප්‍රතිඵලය ලබමිනි.

ඇත්තෙන්ම, එක්සත් ජනපදයේ වහල්භාවය ඊටත් වඩා දිගු කාලයක් පුරා පැවතුණා. තමන්වත් තමන්ගේ ප්‍රේමනීයයන්වත් මුදාගැනීමට වහලුන් නොදැරූ වෑයමක් නැහැ. එමෙන්ම නිදහස් ජනයා පවා වහල්භාවය නැති කර දැමීමට අත හිත දෙමින් හෝ වහලුන්ට පැන යෑමට උදව් කරමින් අවංකවම ඊට එරෙහිව සටන් කළා. එහෙත්, 19වන සියවසේ අගභාගය වන තෙක්ම, එම රට තුළ වහල්භාවය නීති විරෝධි ක්‍රියාවක් කර තිබුණේ නැහැ. අදදින ගැන කුමක් කිව හැකිද?

සටන් නිෂ්ඵල වී ඇද්ද?

“කිසිවෙකු වහල්භාවයේ හෝ දාසභාවයේ තබා නොගත යුතුයි; ඕනෑම ආකාරයක වහල්භාවයක් හා වහල් වෙළඳාමක් තහනම් කරනු ලබයි” යනුවෙන් මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය පවසයි. වර්ෂ 1948දී උද්‍යෝගයෙන් ප්‍රකාශයට පත් කළ එම අදහස ඇත්තෙන්ම ශ්‍රේෂ්ඨයි. අවංක බොහෝදෙනෙක් එම ඉලක්කය අත් කරගැනීමට තම කාලය, ශක්තිය හා ධන සම්පත් පුදා තිබෙනවා. කෙසේවෙතත්, සාර්ථකත්වය ඉබේම ලැබෙන්නේ නැහැ.

කලින් ලිපියේ පෙන්වන පරිදි, මිලියන සංඛ්‍යාත ජනකායක් තවමත් තැතිගන්වනසුලු තත්වයන් යටතේ ශ්‍රමය වැය කරන්නේ වේතනයක්වත් නොලබයි. ඔවුන්ගෙන් හුඟදෙනෙකුව මිලයට ගෙන හෝ අලෙවි කර තිබෙන්නේ අකමැත්ත පිටයි. වහල්භාවය උදුරා දැමීමට මනා අභිප්‍රායකින් වෙර දරා තිබුණත්, එය අනීතික කිරීමට ජාත්‍යන්තර ගිවිසුම්වලට අත්සන් තබා තිබුණත් සැබෑ නිදහස ලැබීමේ ඉලක්කය තවමත් මායාවක් පමණකි. රහස් වහල් වෙළඳාම වැඩි ලාභයක් උපදවන මාධ්‍යයක් කර තිබෙන්නේ ලෝක ආර්ථිකය මගිනි. දැන් දැන් පෙනී යන්නේ වහල්භාවය නමැති තොණ්ඩුවෙන් මිනිසාගේ ගෙල තව තවත් සිර වන බවයි. ඉන් අදහස් වන්නේ කවදා හෝ මේ තත්වයෙන් මිදිය නොහැකි බවද? අපි බලමු.

[පාදසටහන්වල]

a පෞරාණික මූලාශ්‍රයක පවසන්නේ ඇතැම් රෝම ධන කුවේරයන්ට වහලුන් 20,000ක් වැනි විශාල සංඛ්‍යාවක් සිටි බවයි.

b කිසි ප්‍රතිපත්තියක් නැති ඇතැම් ආගමික නායකයන් පවසා තිබෙන්නේ, මිනිස් ජීවිත අමානුෂික ලෙස වෙළඳාම් කිරීම කෙරෙහි දෙවිගේ අනුබලය තිබෙන බවයි. එමනිසා, බයිබලය තුළ එම කෲර ක්‍රියාව සාධාරණ එකක් බව පෙන්වා තිබෙනවාය යන වැරදි හැඟීම තවමත් බොහෝදෙනෙකු තුළ පවතිනවා. නමුත් බයිබලයේ එය සාධාරණ දෙයක් ලෙස පෙන්වා නැහැ. වර්ෂ 2001 සැප්තැම්බර් 8 පිබිදෙව්! කලාපයේ “බයිබලයේ දෘෂ්ටිකෝණය: වහල් වෙළඳාම දෙස දෙවි බලා සිටියේ ඇස් කන් පියාගෙනද?” යන ලිපිය බලන්න.

[14වන පිටුවේ පින්තූර]

වහල් නැව්වලින් අප්‍රිකාවෙන් ගෙනා අයව (ඉහළ) එක්තරා කාලයකදී අමෙරිකානු වහල් වෙළඳපොළවලදී අලෙවි කළා

[හිමිකම් විස්තර]

Godo-Foto

Archivo General de las Indias