Skip to content

පටුනට යන්න

වහල්භාවය නිම වන දා!

වහල්භාවය නිම වන දා!

වහල්භාවය නිම වන දා!

නිදහස! මෙය මිනිසුන්ගේ හද බැඳලන වචන ස්වල්පයෙන් එකක්. නිදහස පසු පස හඹා යන දනන් ඒ වෙනුවෙන් සටන් වැද හා දුක් විඳ, ජීවත් වී හා දිවි පුදා තිබෙනවා. එහෙත්, හුඟදෙනෙකුට තම ඉලක්කය අත් කරගැනීමට තරම් ප්‍රගතියක් ලබාගැනීමට නොහැකි වී තිබීම කනගාටුවට කරුණක්. එසේනම්, කලකිරීමක් හෝ අධෛර්යය වීමක් අද්දකින්න සිදු නොවන බලාපොරොත්තුවක් එනම් වහල්භාවයෙන් නිදහස් වීම සඳහා බලාපොරොත්තුවක් තිබෙනවාද? තිබෙනවා.

දෙවිගේ මෙම පොරොන්දුව ලිවීමට ප්‍රේරිත පාවුල් ආනුභාවය ලැබුවා. ‘මවා ඇති මේ විශ්වය ජරාපත් වීමේ වහල්කමෙන් මිදී දේවදරුවන්ට හිමි මහිමාන්විත නිදහස ලබයි.’ (රෝම 8:21, නව අනුවාදය) නමුත්, දෙවි එම “මහිමාන්විත නිදහස” ඇත්තටම ගෙනෙයි කියා ස්ථිරයෙන්ම කියන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඉතිහාසය පුරා මිනිසුන් සමඟ දෙවි කටයුතු කර තිබෙන ආකාරය සෝදිසි කර බැලීම මේ සඳහා තිබෙන එක ක්‍රමයක්.

“යෙහෝවාගේ ආත්මය ඇති තැන නිදහස්කම ඇත්තේය” කියා බයිබලයේ පවසනවා. (2 කොරින්ති 3:17) ඔව්, දෙවිගේ ආත්මය නොහොත් ක්‍රියාකාරි බලය අතිශ්‍රේෂ්ඨ බලයක්. ඔහු නිදහස ලබා දීමට දිගු කලක් පුරා බොහෝ ආකාරවලින් එය භාවිත කර තිබෙනවා. ඒ කෙසේද? ඇත්තෙන්ම, වහල්භාවයේ පැති බොහෝමයක් තිබෙන බව අප මතක තබාගත යුතුයි. බලපුළුවන්කාර පුද්ගලයන් බලෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් අසරණයන්ව වහල්ලු කරගැනීමේ අතිකෲර ක්‍රියාව ගැන අපි දැනටමත් සාකච්ඡා කර තිබෙනවා. නමුත් වහල්භාවයේ වෙනත් පැති කීපයක් ගැනද සලකා බලන්න.

පහසුවෙන් මිදිය නොහැකි නොයෙකුත් දේවලට ඇබ්බැහි වීමෙන් ජනයා ඒවායේ වහලුන් බවට පත් විය හැකියි. එමෙන්ම ඔවුන් බොරුවෙන් හා වංචාවෙන් ජීවත් වෙන තත්වයකට මෙන්ම බොරු ඉගැන්වීම්වලින් මුළා වූ ජීවිතයකට වහල් විය හැකියි. මේ සියල්ලටම වඩා අපි හැමෝටම හානි කරන භයානක වහල්භාවයක් තිබෙනවා. දැනුවත්ව හෝ නොදැනුවත්ව ඊට වහල් වුවහොත්, ඉන් ඇති වන ප්‍රතිඵල මාරාන්තිකයි. මෙම සාකච්ඡාවේදී වහල්භාවයේ පැති කීපයක් විස්තර කරන නමුත්, ඒවා එකිනෙකට සමාන බව අප පවසනවා නොවෙයි. ඒවා සම්පූර්ණයෙන්ම වෙනස්. එහෙත් මේ හැම එකටම ආවේණික වූ වැදගත් පොදු ලක්ෂණයක් තිබෙනවා. මිනිසාව යටපත් කර ඇති වහල්භාවයේ එම සියලු පැති ඉවත් කිරීමට නිදහසේ දෙවි මතු දිනක වගබලාගනීවි.

ඇබ්බැහි වීම්වලට වහල් වූ විට

වෙන් ලක් රන්ස් අවුට් [වාසනාව නැති වන විට] නම් පොතේ සූදුවට ඇබ්බැහි වී සිටීම සම්බන්ධයෙන් මෙසේ විස්තර කරයි. “එය අක්‍රමිකතාවකි. එයින් සිදු වන්නේ පුද්ගලයෙකු තමා තුළ සූදුවේ නියැලීමට ඇති වන අධික හා පාලනය කළ නොහැකි ආශාවෙන් පෙලඹී ක්‍රියා කිරීමයි. ආශාව දිගටම පවතින අතර ඉක්මනින්ම එය සන්තර්පණය කරගැනීමටද වුවමනා වෙයි. අවසානයේදී එය පුද්ගලයාගේ මුළු ජීවිතයම ආක්‍රමණය කරගන්නා අතර ඔහුගේ අරුත්බර දිවියටද කණ කොකා හඬවන්නේ බොහෝවිට සියල්ලම නැති භංගස්තාන කරමින්ය.” කොතරම් සංඛ්‍යාවක් සූදුවට වහල් වී ඇද්දැයි කිසි කෙනෙක් දන්නේ නැහැ. ගණන් බලා ඇති ආකාරයට එක්සත් ජනපදයේ මිලියන හයක් පමණ එහි නියැලෙනවා.

මත්පැන් මත රඳා සිටීම ඒ හා සමානව හෝ ඊටත් වඩා වැඩියෙන් විනාශකාරි විය හැකි අතර එය හුඟක් ස්ථානවල පුළුල්ව පැතිර තිබෙනවා. එක් විශාල නගරයක වැඩිහිටියන්ගෙන් අඩක්ම මත්පැන් ඇබ්බැහියෙන් යම් දුරකට දුක් විඳිනවා. වසර 20කට පෙර බේබද්දෙකු බවට පත් වූ රිකාඩෝ මෙම ඇබ්බැහියෙන් අදහස් කරන දේ ගැන මෙසේ විස්තර කරනවා. “ඔබ අවදි වෙන්නේ කොයි මොහොතෙද, ඒ වෙලාවේ ඉඳලම ඔබට හැඟෙන්නේ ඇඟ පතේ අමාරුව යන්නත් එක්ක, ගැටලු ප්‍රශ්න අමතක කරලා දාන්නත් එක්ක එහෙමත් නැත්නම් ප්‍රශ්නවලට මුහුණ දෙන්න අවශ්‍ය ආත්ම විශ්වාසය ඇති කරගන්නත් එක්ක පොඩි අඩියක් ගැහැව්වොත් හොඳයි කියලයි. මේ හින්දා ඊළඟ අඩිය ගහන තුරු ඔබේ හිතටත් ඇඟටත් හරිම අමාරුයි. හැබැයි ඔබ, ඔබටත් ඔබ අවට සිටින අයටත් පෙන්නන්න හදන්නේ ඔබේ හැසිරීමේ කිසි අමුත්තක් නැති බවයි.”

මිනිසුන්ව වහල් කරගන්න එකම දේ මත්පැන් පමණක් නොවෙයි. ලොව පුරා, මිලියන ගණන් ජනයා නීති විරෝධි මත් ද්‍රව්‍ය අනිසි ලෙස පාවිච්චි කරනවා. එපමණක්ද නොව, බිලියන 1.1ක පමණ සෙනඟක් දුම් පානය කරන අතර දුම් වැටියක අන් සෑම මත් ද්‍රව්‍යයකටම වඩා වැඩියෙන් කෙනෙකුව ඇබ්බැහි කළ හැකි ද්‍රව්‍යයක් අඩංගුයි. මේ පුරුද්ද අත්හැරීමට හුඟදෙනෙක් කැමැත්තෙන් සිටියත් ඔවුන්ට හැඟෙන්නේ ඉන් මිදිය නොහැකි බවයි. මෙවැනි වහල්භාවයන්වලින් සැලකිය යුතු මිදීමක් ලබා දීමට තමාට හැකි බව යෙහෝවා ඔප්පු කර තිබෙනවාද? a

රිකාඩෝගේ උදාහරණය සලකා බලන්න. ඔහු මෙසේ පැහැදිලි කරනවා. “අවුරුදු දහයකට විතර ඉස්සෙල්ලා මට තේරුණා මත්පැන් මගේ ජීවිතය පාලනය කරන බව. මගේ විවාහය, මගේ රැකියාව සහ මගේ පවුල අසාර්ථක වෙන්න පටන්ගත්තා. මත්පැන්වල ග්‍රහණයෙන් මිදුණේ නැත්නම් කවදාවත් මට මගේ ප්‍රශ්න නිරාකරණය කරගන්න ලැබෙන්නේ නැහැ. බයිබලය පාඩම් කළහම මම දැනගත්තා මත්පැන් ලෝලීන් භෞතිකව හා ආත්මිකව යන දෙපැත්තෙන්ම දිළිඳු වෙන බව. (හිතෝපදේශ 23:20, 21) දෙවි එක්ක හොඳ සම්බන්ධයක් තියාගන්න මට ඕන වුණා. දිව්‍යමය උපකාර ඉල්ලා මා කළ අවංක යාච්ඤා නිසා මට මා එක්කම අවංක වෙන්න පුළුවන් වුණා. මගේ බයිබල් පාඩම කරපු කෙනා මට හොඳ මිතුරෙක් වුණා. මම ආපහු බීමට ඇදිලා ගිය අවස්ථාවලදී ඔහු මාව අත්හැරියේ නැහැ. ඔහු ඉවසිලිවන්තව, හැබැයි ස්ථිරවම පෙන්වලා දුන්නා සැබෑ ක්‍රිස්තියානීන්ට දෙවි දීලා තියෙන මාර්ගය මේකයි කියලා.”

දැන් රිකාඩෝ ඒ වහල්භාවයෙන් සෑහෙන දුරකට මිදී සිටින නිසා ඔහුට නිදහස් හැඟීමක් තියෙනවා. මුලින් ඔහුට තම පුරුද්ද අත්හරින්න නොහැකි වූ අවස්ථාවල් තිබුණ බව පිළිගනිමින් ඔහු මෙසේ පවසයි. “ආපහු ඒ පුරුද්දට වැටුණ අවස්ථාවල් තිබුණත් යෙහෝවාට විශ්වාසවන්තව සේවය කරන්න තියෙන ආශාව නිසාත්, මගේ බිරිඳගේ සහ වෙනත් ක්‍රිස්තියානීන්ගේ උපකාරය නිසාත් තත්වය පාලනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ‘තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන’ මෙන්ම බේබදුකම අතීතයේ දෙයක් බවට පත් වෙන කාලයක් ගැන දෙවි දීලා තියෙන පොරොන්දුව ඉටු වෙන තුරු මම බලාගෙන ඉන්නේ හරිම ආසාවකින්. ඒ අතරතුර මගේ ශරීරය ‘ජීවමාන, ශුද්ධ, දෙවිට පිළිගත හැකි වූ පූජාවක් මෙන්’ ඉදිරිපත් කරන්න මම හැමදාම ලොකු සටනක් කරනවා.”—යෙසායා 33:24; රෝම 12:1.

විවිධ ඇබ්බැහි වීම්වලින් තමන්ව මුදවාගැනීමට වෙහෙසුණු ලෝ වටා දසදහස් සංඛ්‍යාත සෙනඟක් වෙන කවරෙකුගෙන්වත් නොව දෙවිගෙන්ම උපකාර ලැබ තිබෙනවා. සමහරවිට නොයෙක් පීඩා හෝ පරීක්ෂා හමුවේදී තමන්ගේම වහල්භාවයෙන් මිදීමට ඔවුන් විශාල වැඩ කොටසක් කළ බවට සැකයක් නැහැ. කෙසේනමුත් යෙහෝවා හුඟක් ඉවසිලිවන්ත මිදුම්කරුවෙකු බව ඔවුන්ට දැනී තිබෙනවා. ඔහුට සේවය කිරීමට ඇත්තෙන්ම වුවමනා සියල්ලන්ටම උපකාරය හා ශක්තිය සපයන්න ඔහු කැමැත්තෙන් සිටියි.

“සත්‍යය ඔබව නිදහස් කරනවා”

බොරුව හා මුළාවට වහල් වී සිටීම ගැන කුමක් කිව හැකිද? එයින් නිදහස ලැබිය හැකි බව යේසුස් ක්‍රිස්තුස් අපට සහතික කරයි. “ඔබ මාගේ වචනයෙහි පවතිනවා නම්, සැබවින්ම ඔබ මාගේ ගෝලයෝය. ඔබ සත්‍යය දැනගන්නවා ඇත. සත්‍යය ඔබව නිදහස් කරනවා ඇත” කියා ඔහු පැවසුවා. (යොහන් 8:31, 32, NW) ඔහු කතා කළ අවස්ථාවේදී ඔහුට සවන් දී සිටියවුන්ගෙන් බොහෝදෙනෙක් ඵරිසිවරුන්ගේ සම්ප්‍රදායට අනුව පැවති දැඩි නීති මාලාවකට වහල් වී සිටියා. ඇත්තවශයෙන්ම, යේසුස් ඔහුගේ කාලයේ සිටි ආගමික නායකයන් ගැන මෙසේ පැවසුවා. “ඔවුහු උසුලන්ට අමාරු මහත් බර බැඳ මනුෂ්‍යයන්ගේ කරේ තබති; නුමුත් තමුන්ගේ ඇඟිල්ලවත් ඒවාට තබන්ට කැමති නොවෙති.” (මතෙව් 23:4) එවැනි වහල්භාවයකට පත්ව සිටි මිනිසුන්ට යේසුස්ගේ ඉගැන්වීම්වලින් මිදීමක් ලැබුණා. ආගමික බොරුවල සැබෑ තත්වය හෙළි කළ ඔහු ඒවායේ උල්පතද හඳුන්වා දුන්නා. (යොහන් 8:44) එමෙන්ම ඔහු බොරු දේවල් වෙනුවට සත්‍යය කියා දී මිනිසාගෙන් දෙවි අපේක්ෂා කරන සාධාරණ දේවල් පැහැදිලිව හෙළි කළා.—මතෙව් 11:28-30.

යේසුස්ගේ ගෝලයන් මෙන් අදදින දහස් ගණන් සෙනඟකටද තමන්ව වහල් කරගෙන තිබූ ආගමික බොරුවලින් හා අසත්‍ය සම්ප්‍රදායන්වලින් මිදීමට හැකි වී තිබෙනවා. බයිබලයේ ඇති සහනදායී සත්‍යයන් ඉගෙනීමෙන් පසු මළවුන් පිළිබඳ පීඩාකාරි බියෙන්, ගිනිමය නිරයක සදහටම දැවි දැවි ඉන්න සිදු වෙයි යන බියෙන් මිදෙන්න ඔවුන්ට හැකි වී තිබෙනවා. එමෙන්ම “නුඹලා නොමිලයේ ලැබුවහුය, නොමිලයේ දෙන්න” කියා පැවසූ ක්‍රිස්තුස්ව නියෝජනය කරනවායයි පවසන පූජකයන් සිදු කරන ආගමික මෙහෙයන්වලට තමන් දාඩිය මහන්සියෙන් හරි හම්බ කරගත් දේ වියදම් කිරීමට සිදුවීමේ පීඩනයෙන් මිදෙන්නත් ඔවුන්ට හැකි වී ඇත. (මතෙව් 10:8) කෙසේනමුත්, මීටත් වඩා උතුම් නිදහසක් ලැබීමේ දිනය ඉතා ළඟයි!

නොදැනීම වහල්භාවයට පත්වීම

කලින් සඳහන් කළ පරිදි, නොදැනීම වහල්භාවයට පත්වීම ගැන යේසුස් විස්තර කළ අයුරු සලකා බලන්න. එය මිහි මත වෙසෙන සෑම පුරුෂයෙකුටම, ස්ත්‍රියකටම හා දරුවෙකුටම බලපාන දෙයක්. යේසුස් ඒ ගැන මෙසේ පැවසුවා. “සැබවක් නුඹලාට කියමි—පව් කරන සියල්ලෝම පාපයාගේ වහල්ලුය.” (යොහන් 8:34) මම නම් පාපයක් කරන්නේ නැහැ කියා පැවසිය හැකි කෙනෙක් සිටීද? ප්‍රේරිත පාවුල් පවා මෙසේ පිළිගත්තා. “මම කැමති යහපත නොකර අකමැති නපුර කරමි.” (රෝම 7:19) පාපයේ යදම්වලින් මිදෙන්න කිසිවෙකුට නොහැකි වුවත් බලාපොරොත්තු සුන් වූ තත්වයක නොවෙයි අප සිටින්නේ.

යේසුස් සිය ගෝලයන්ට මෙසේ සහතික වුණා. “පුත්‍රයා ඔබව නිදහස් කරන්නේ නම්, ඔබ සැබවින්ම නිදහස් වනු ඇත.” (යොහන් 8:36, NW) මෙම පොරොන්දුවෙන් අදහස් වන්නේ, වහල්භාවයේ හැම පැත්තකටම වඩා හානිකර වහල්භාවයෙන් සම්පූර්ණ නිදහසක් ලැබෙන බවයි. ඉන් මිදිය හැකි අයුරු තේරුම්ගන්න නම් අපේ එම වහල්භාවයේ මූලාරම්භය කොතැනද කියා මුලින්ම සොයා බැලිය යුතුයි.

දෙවි මිනිසාව මැව්වේ පාපයට නැඹුරුවාවක් නොමැති, නිදහස් චින්තනයක් සතු පුද්ගලයෙකු ලෙසින්යයි බයිබලයේ එළිදරව් කරයි. එනමුත් දෙවිගේ ආත්මාර්ථකාමි අදෘශ්‍යමාන ආත්ම පුත්‍රයෙක් මිනිසුන්ට විඳින්න වන දුක්ගැහැට ගැන බිඳකුදු තැකීමක් නොකර මුළු මිනිස්වර්ගයාවම පාලනය කිරීමේ අයිතිය තම අතට ගැනීමට ආශා කළා. ඉතින් එම ඉලක්කය අත් කරගැනීම සඳහා මෙම කැරලිකාර දේවදූතයා, එනම් පසුව සාතන්යයි කියන ලද යක්ෂයා අපේ මුල් දෙමාපියන් වූ ආදම් සහ ඒවව දෙවිගෙන් වෙනතකට යොමු කළා. දෙවි නිශ්චිතව දුන් උපදෙස්වලට ආදම් හිතා මතාම අකීකරු වීමෙන් පසුව, ඔහු පව්කාරයෙකු බවට පත් වුණා පමණක් නොව ඔහුගෙන් පැවතෙන සියලු ජනිතයන්ටද අසම්පූර්ණත්වය හා මරණය හිමි කර දුන්නා. (රෝම 5:12) අන්තිමේදී, සාතන් “ලෝකයේ පාලකයා” වූ අතර ‘මරණය සලසමින් පාපය රජකම් කරන්නාක් මෙන් පාපයද මිනිසාව පාලනය කර ඇත.’—යොහන් 12:31; රෝම 5:21; NW; එළිදරව් 12:9.

කොහොමද අපි නිදහස් වෙන්නේ? යේසුස්ගේ ගෝලයන් බවට පත්වීමෙන් අපට ක්‍රිස්තුස්ගේ යාගික මරණයෙන් ප්‍රයෝජන ගත හැකියි. “මරණය කෙරෙහි බලය ඇත්තා වන යක්ෂයාව මරණය කරණකොටගෙන බල නැති කොට, ජීවිතය මුළුල්ලෙහි මරණයට භයින් වහල්කමට යටත්ව සිටි සියල්ලන් නිදහස්” කිරීමට එම යාගික මරණයට බලය ඇත. (හෙබ්‍රෙව් 2:14, 15) හිතලා බලන්න, පාපයේ හා මරණයේ වහල්භාවයෙන් නිදහසක්! එවැනි නිදහසක් ලැබීම මොනතරම් අපූරු දෙයක්ද!

එහෙත් අපි මුලින්ම කතා කළ වහල්භාවය ගැන කුමක්ද කියන්න තිබෙන්නේ? ජනයාව බලහත්කාරයෙන් වහල්භාවයට ගැනීමට නිමාවක් ඇද්ද?

බලාපොරොත්තු තබාගැනීමට ස්ථිර පදනමක්

ස්ථිරවශයෙන්ම, එවැනි පිළිකුල්සහගත වහල්භාවයක් තුරන් වේවියි කියා අපට නිසැක විය හැකියි. ඒ මන්ද? හොඳයි මේ ගැන සිතා බලන්න. මිනිස් ඉතිහාසය දෙස බලද්දී, වහල්භාවයේ සිටි සෙනඟක් මුදවාගැනීමට ශ්‍රේෂ්ඨතම ක්‍රියාමාර්ගය ගත්තේ යෙහෝවා දෙවියි. එම ඓතිහාසික වාර්තාව ඔබ අසා ඇති.

මිසරය මුළු ඉශ්‍රායෙල් ජාතියම වහල්භාවයට ගෙන, ඔවුන්ගේ ශ්‍රමය සූරාකමින් නින්දිත ලෙස හිංසා පීඩා කළා. ඔවුන් උපකාරය පතා දෙවිට කන්නලව් කළ විට ඔහු ඉමහත් දයාවෙන් ඔවුන්ට සවන් දී, ක්‍රියාත්මක වුණා. මෝසෙස්ව හා ආරොන්ව තම නියෝජිතයන් ලෙස යොදාගනිමින් ඉශ්‍රායෙලිතයන්ව නිදහස් කරන්න කියා යෙහෝවා මිසරයේ ඵාරාවෝගෙන් ඉල්ලා සිටියා. යෙහෝවා එම රටට විනාශකාරි පීඩා මාලාවක් ගෙන ඒමෙන් පසුවත් ඒ උඩඟු රජ පිට පිටම එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. අවසානයේදී, දෙවි ඵාරාවෝව තමා ඉදිරියේ දණගැස්සුවා. ඇති යන්තම් ඉශ්‍රායෙල්වරුන්ට නිදහස ලැබුණා!—නික්මයාම 12:29-32.

මෙය හද දනවන කතන්දරයක් නොවෙයිද? එහෙත්, ඇයි අදත් දෙවිට එවැනිම දෙයක් කරන්න බැරි කියා සමහරවිට ඔබ කල්පනා කළ හැකියි. ඔහු මිනිසාගේ කටයුතුවලට මැදිහත් වී වහල්භාවයට නිමාවක් නොගෙනෙන්නේ මන්ද? “ලෝකයේ පාලකයා” යෙහෝවා නොව සාතන් බව මතක තබාගන්න. ඒදන්හිදී එල්ල කළ අභියෝගයන් නිසා මේ දුෂ්ට සතුරාට සීමිත කාලයකට පාලනය කරන්න යෙහෝවා ඉඩහැර තිබෙනවා. වහල්භාවය, හිංසා පීඩා සහ කෲරත්වය සාතන්ගේ පාලකත්වය සලකුණු කරන ලක්ෂණයි. එවැනි බලපෑමක් යටතේ මිනිස් පාලන ක්‍රම ඇති කරගෙන තිබෙන්නේ අප්‍රසන්න වාර්තාවක්. බයිබලය එම වාර්තාව මෙසේ සංක්ෂිප්ත කරයි. ‘මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට මනුෂ්‍යයෙකු විසින් ඔවුන් කෙරෙහි ආණ්ඩු කර තිබේ.’—දේශනාකාරයා 8:9.

එහෙත් කොතරම් කාලයකටද? අප ජීවත් වන්නේ ආත්මාර්ථකාමිත්වය හා ගිජුකම බහුලව ඇති “අන්තිම දවස්වල” බව බයිබලය පැහැදිලි කරයි. (2 තිමෝති 3:1, 2) මින් අදහස් කරන්නේ, අපට යාච්ඤාවෙන් ඉල්ලන්න කියා යේසුස් ඉගැන්වූ ධර්මිෂ්ඨ සමාජයක් ස්ථාපිත කරන දෙවිගේ රාජ්‍යය ළඟදීම පිහිටුවන බවයි. එහිදී වහල්භාවයට ඉඩක් නොලැබෙයි. (මතෙව් 6:9, 10) අන්තිම සතුරා වන මරණය නැති කරන තුරු වහල්භාවයේ සෑම සේයාවක්ම අකා මකා දැමීමට දෙවි විසින් පත් කරනු ලැබූ යේසුස් ක්‍රිස්තුස් පියවර ගනු ඇත.—1 කොරින්ති 15:25, 26.

එදා මිසරයේ වහල්භාවයෙන් දෙවිගේ සෙනඟ අද්දුටු නිදහස, මිනිසා අද්දකින මෙම උතුම් නිදහස පිළිබඳ ඉතා සුළු පෙර ඡායාවක් පමණක් බව විශ්වාසවන්ත මිනිස්වර්ගයා දැනගනු ඇත්තේ අන්තිමේදී එම දිනය උදා වූ විටයි. ඇත්තෙන්ම, කාලයාගේ ඇවෑමෙන්, ‘මවා ඇති මේ විශ්වය ජරාපත් වීමට වහල්ව සිටීමෙන් නිදහස් කරනු ලබයි.’ සියලුදෙනාටම ‘දෙවිගේ දරුවන්ට හිමි මහිමාන්විත නිදහස’ සම්පූර්ණයෙන්ම භුක්ති විඳීමට හැකි වනු ඇත.—රෝම 8:21.

[පාදසටහන්වල]

a පළමු සියවසේදී, රෝමයේ පැවති විශාල මධුපානෝත්සවවලදී කෑදරකම පොදු දෙයක්ව පැවතුණා. මෙබැවින්, ආහාරවලට හෝ ඒ හා සමාන වෙනත් දෙයකට හෝ තමන්ව වහල් කරගැනීමට ඉඩ නොදෙන ලෙස ක්‍රිස්තියානීන්ට අනතුරු අඟවා තිබුණා.—රෝම 6:16; 1 කොරින්ති 6:12, 13; තීතස් 2:3.

[17වන පිටුවේ පින්තූරය]

ගණන් බලා ඇති ආකාරයට, එක්සත් ජනපදයේ පමණක් මිලියන හයක ජනතාවක් සූදුවට වහල් වී ඇත

[17වන පිටුවේ පින්තූරය]

මත් ද්‍රව්‍ය, මත්පැන් හා දුම්පානයට මිලියන සියගණන් වහල් වී ඇත

[18, 19වන පිටුවේ පින්තූරය]

රිකාඩෝ මෙන් දහස් ගණනක් ඇබ්බැහි වීම්වලින් නිදහස් වීමට දෙවිගේ උපකාරය ලැබ තිබේ

[20වන පිටුවේ පින්තූරය]

පුරාණ ඉශ්‍රායෙලිතයන් වහල්භාවයෙන් නිදහස් වූවාක් මෙන් දෙවිගේ සත්‍ය නමස්කාරකයන් ඊටත් වඩා උතුම් නිදහසක් ළඟදීම භුක්ති විඳිනු ඇත