Skip to content

පටුනට යන්න

විප්ලවකාරි දේශපාලනඥයෙකු මධ්‍යස්ථ ක්‍රිස්තියානියෙකු වී

විප්ලවකාරි දේශපාලනඥයෙකු මධ්‍යස්ථ ක්‍රිස්තියානියෙකු වී

විප්ලවකාරි දේශපාලනඥයෙකු මධ්‍යස්ථ ක්‍රිස්තියානියෙකු වී

පැවසුවේ ලෑඩීස්ලැව් ස්මෙජ්කල්

මට උසාවි නියෝගය ලැබුණු පසු මාව නැවත සිර කුටියට ගෙනෙනු ලැබුවා. මම එකෙණෙහිම එම ගොඩනැඟිල්ලේ දෙවෙනි මහලේ සිටි මගේ මිතුරෙකුට මෝර්ස් සංඥා මාර්ගයෙන් බිත්තියට තට්ටු කර පණිවිඩයක් දුන්නා. එතෙක් ඔහු බලා සිටියේ මට දුන් දඬුවම ගැන දැනගන්නයි.

මම මොර්ස් සංඥාවෙන් බිත්තියට තට්ටු කර මෙහෙම කිව්වා. “අවුරුදු දාහතරක්.”

ඔහුට එය විශ්වාස කරන්න බැරි වූ නිසා ඔහු නැවතත් ඇසුවා “මාස දාහතරක්ද” කියලා.

“නැහැ. අවුරුදු දාහතරක්” කියා මම පිළිතුරු දුන්නා.

එය සිදු වූයේ 1953දීය. ස්ථානය, ලිබෙරෙක් චෙකෝස්ලොවැකියාව (දැන් හඳුන්වන්නේ චෙක් ජනරජය යනුවෙනි). මම එවකට දේශපාලන ක්‍රමයේ යම් පෙරළියක් කිරීමට විප්ලව කරමින් සිටි අවුරුදු 19ක තරුණයෙක්. ඒ කාලය තුළ බලයට පත් වී සිටි කොමියුනිස්ට් ආණ්ඩුව පිළිබඳව පළ වූ විවේචනාත්මක අත්පත්‍රිකා අප බෙදාහරිමින් සිටියා. අපේ මෙම ක්‍රියාව සලකනු ලැබුවේ රාජ ද්‍රෝහිකමක් ලෙසයි. ඒ නිසයි මට දිගු කාලීන සිර දඬුවමක් ලැබුණේ.

උසාවි නියෝගය ලැබෙන්න කලින් මම අවුරුද්දක් විතර හිරේ හිටියා. ඒ කාලයේදී සිරදඬුවම ලබන්න කලින් එක සිර කුටියක සිරකරුවන් දෙදෙනෙක් බැගින් සිටි අතර වරින් වර මේ අයගේ ඇස් ගැට ගසා ප්‍රශ්න කරන්න රැගෙන ගියා. සිර කුටිය තුළ කතා බහ කිරීම තහනම් කර තිබුණා. ඒ නිසා අප රහසින් හෝ මෝර්ස් සංඥා භාවිතා කිරීමෙන් අදහස් හුවමාරු කළා.

සිර කඳවුරේ සිටි බොහෝදෙනෙක් යෙහෝවාගේ සාක්ෂිකරුවන් බව දැනගන්න මට වැඩි කාලයක් ගත වුණේ නැහැ. සෑම මසකට හෝ දෙකකට වරක් සිර කුටියේ සිටින අයව මාරු කිරීම සිරිතක්ව තිබුණා. බයිබලය කෙරෙහි මගේ උනන්දුවක් තිබුණු නිසා මාව සාක්ෂිකරුවෙකු සිටින කුටියකට මාරු කරනු ලැබූ විට මම සතුටු වුණා. කාලයාගේ ඇවෑමෙන් මම සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා.

අප කළ පාඩම් බයිබල් පාඩම් ලෙස හැඳින්වුවද අප ළඟ බයිබලයක් හෝ බයිබල් පොත් පත් තිබුණේ නැහැ. ඇත්තම කියනවා නම් මම ජීවිතේටම බයිබලයක් දැකලා තිබුණේත් නැහැ. නමුත් සාක්ෂිකරුවා ඔහුට මතක බයිබල් මාතෘකා විස්තර කළේ කාටවත් නොඇසෙන්න හොර රහසින්. මම ඔහු ළඟින් වාඩි වී ඒවායේ සටහන් ගත්තා.

පනාව භාවිත කරලා වැසිකිළියේ කඩදාසිවල මම සටහන් ගත්තා. අප සාකච්ඡා කළ බොහෝ බයිබල් පද මම කට පාඩම් කළා. මට පාඩම් පැවැත්වූ සාක්ෂිකරුවන් මට ගීතිකාද ඉගැන්නුවා. එක් සාක්ෂිකරුවෙක් මෙහෙම කිව්වා. “දැන් ඔයා හිරේ ඉන්නේ දේශපාලන අපරාධකරුවෙක් හැටියට වුණත් සමහරවිට අනාගතයේදී ඔයාට හිරේ ඉන්න වෙන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වෙන නිසා.”

නිමක් නැති ප්‍රශ්න කිරීම්වලින් පසු මාව ශ්‍රම කඳවුරකට යවන්න තීන්දු කළා. මෙම කඳවුර පිහිටා තිබුණේ යාකීමොෆ් නගරය ආසන්නව. මම ඒ වන විට තීරණය කරලා තිබුණේ මම කවදාහරි යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වෙනවා කියලා.

වසර ගණනාවක සිර දඬුවමක්

යුරේනියම් පතල් හාරන එම කඳවුරට පැමිණි විගස මම සාක්ෂිකරුවන්ව සොයා දැනගැනීමට උත්සාහ කළා. නමුත් පසුව දැනගන්න ලැබුණා ඔවුන්ව වෙනත් ස්ථානයකට රැගෙන ගොස් තිබෙන බව. කෙසේවෙතත් කෝකියෙක් වශයෙන් සේවය කළ එක් සාක්ෂිකරුවෙකුට එම කඳවුරේ රැඳෙන්න අවස්ථාව ලැබී තිබුණා. නොයෙක් ස්ථානවල සඟවා භාවිත කර තිබූ පැරණි බයිබලයක් ඔහු මට ලබා දුන්නා. මම මතක තබාගෙන සිටි බයිබල් පද කියවා බලන්න මට මෙයින් අවස්ථාව ලැබුණා. මම කියවන කොට මටම මෙහෙම කියාගත්තා. ‘මට සහෝදරයෝ ඉගැන්නුවේත් හරියටම මේකේ තියෙන විදිහටමයි.’

ඉන් මාසයකට පසු මාව පර්ෂීබ්‍රාම් නම් නගරයට ආසන්නව පිහිටි බයිටිස් නම් කඳවුරට මාරු කෙරුවා. මට එහිදී තවත් සාක්ෂිකරුවන්ව මුණගැසුණා. බයිටිස් කඳවුරේදී මට නිතිපතා හොරෙන් ගෙනෙන ලද බයිබල් පොත් පත් ලැබුණා. මෙම පොත් පත් අපට ලැබෙන්නේ කොහොමද කියා කඳවුරේ පරිපාලකයන් දැනගන්න උත්සාහ කළද එය අසාර්ථක වුණා. අපි 14දෙනෙකු ක්‍රියාශීලීව අන් අය සමඟ ශුභාරංචිය බෙදා දීමේ කර්තව්‍යයේ යෙදුණා. මේ අයගෙන් අඩක් බව්තීස්ම වූ අය වන අතර මා ඇතුළු අනෙක් අය සිර කඳවුරේදී සත්‍යය දැනගෙන සාක්ෂිකරුවන්ගේ ඇදහිල්ල කෙරෙහි විශ්වාස කළ අයයි.

යෙහෝවාට වූ අපේ කැපවීම වතුර බව්තීස්මය තුළින් ප්‍රකාශ කිරීමට අපෙන් බොහෝදෙනෙකුට උවමනා කර තිබුණා. නමුත් අවශ්‍ය ප්‍රමාණයට වතුර එනම් ගිල්වා බව්තීස්ම කිරීමට තරම් අවශ්‍ය වතුර සහිත කටාරම් තිබුණේ නැති නිසා බව්තීස්මය සංවිධානය කිරීම අපහසු කාර්යයක් වුණා. මේ නිසා බොහෝදෙනෙකුට බව්තීස්ම වීමට අනුමැතිය ලැබුණද සිරෙන් නිදහස් වෙන තෙක් බලා සිටින්නට සිදු වුණා. කෙසේවෙතත් බයිටිස් කඳවුරේ පතල් සම්පීඩක (mine compressors) සිසිල් කිරීමට තිබුණු විශාල කුලුනුවලින් එන වතුර එකතු වීමට තටාක තිබුණා. වර්ෂ 1950 මැද භාගයේදී අපි කිහිපදෙනෙක් මෙම වතුර එකතු වන තටාකයක බව්තීස්ම වුණා.

අවුරුදු කිහිපයකට පසු එනම් 1960 මාර්තු මාසයේ දේශපාලන සිරකරුවන් භාරව සිටි පොලිසියේ නිලධාරියෙක් මාව කැඳෙව්වා. ඔහු මට පැවසුවා, අනෙක් සිරකරුවන්ගේ ක්‍රියාකාරකම් ගැන මම කියන්න කැමති නම් මාගේ සිර දඬුවම් කාලය ලිහිල් කරන්න සැලසුම් යොදන බව. මම එසේ කරන්න අකමැති වූ විට ඔහු මට මහ හඬින් අසභ්‍ය භාෂාවෙන් බැණවැදුණා. “උඹට ලැබුණු හොඳ අවස්ථාවක් උඹ නැති කරගත්තා. මම උඹට ආයේ කවදාවත් ගෙදර යන්න ඉඩ තියන්නේ නැහැ. උඹට මෙහේම මැරෙන්න වෙයි” කියා ඔහු කිව්වා. ඉන් මාස දෙකකට පසුව පොදු සමාවක් යටතේ අවුරුදු අටක සිර දඬුවම නිමා වී මම ගෙදර ආවා.

කෙටි කාලීන නිදහසක්

චෙකෝස්ලොවැකියාවේ 1949 අප්‍රියෙල් මාසයේ සිට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කරනු ලැබුවා. මෙවැනි තත්වයක් යටතේ සේවය කිරීම හරියට හිරේ ඉඳන් සේවය කරනවා හා සමානයි. හිරෙන් නිදහස් වුණාට පසු මම තවත් ප්‍රශ්නයකට මුහුණ දුන්නා. ඒ, රටේ සෑම පුරවැසියෙකුම අවුරුදු දෙකකට හමුදා සේවයට බැඳෙන්න අවශ්‍ය වීමයි.

රාජ්‍ය සංස්ථාවල සේවය කළ සමහර අයට හා ගල් අඟුරු ආකරවල සේවය කළ අයටද හමුදා සේවයෙන් නිදහසක් අත් වුණා. මම පතල්වල වැඩ කර තිබුණු නිසා මට පතලක වැඩක් ලැබුණා. මාව එහිදී මෙසේ සුහදව පිළිගනු ලැබුවා. “හමුදා සේවය ගැන බය වෙන්න එපා, ඒ සේවයෙන් ඔයාව නිදහස් කරගැනීම අපිට ඒ තරම් අමාරු වැඩක් නෙවෙයි.”

ඉන් මාස දෙකකට පසු අනිවාර්ය හමුදා සේවය සඳහා මට කැඳවීමේ ලිපියක් එවා තිබුණා. නමුත් අඟුරු ආකරවල සේවය කරන පරිපාලකයන් මට කිව්වා “කලබල වෙන්න එපා, ඒක වැරදීමක් වෙන්න ඇති. අපි හමුදාවට ලියන්නම්. එතකොට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ” කියා. නමුත් එම ප්‍රයත්නය සාර්ථක වුණේ නැහැ. එහි එක් නිලධාරියෙක් ඇවිත් මට ඔහුගේ කනගාටුව ප්‍රකාශ කර මෙසේ කිව්වා. “පළමුවෙනි වතාවට මේ වගේ දෙයක් වුණේ. ඔයාට හමුදාවට වාර්තා කරන්න සිදු වෙනවා.” මගේ හෘදය සාක්ෂියට එකඟව යුද්ධවලට සහභාගි වීම ප්‍රතික්ෂේප කිරීම නිසා මාව ළඟම පිහිටි හමුදා කඳවුරේ සිර කරනු ලැබුවා.—යෙසායා 2:4.

විනිශ්චය මණ්ඩලයක් ඉදිරිපිට

වර්ෂ 1961 ජනවාරි මාසයේදී ක්ලෑඩ්නෝ නගරයේ මාව සිරගත කරනු ලැබූ අතර එහිදී හමුදා සේවයට මාව බඳවාගැනීමට සෑහෙන උත්සාහයක් දැරුවා. හමුදා කටයුතු භාරව සිටි නිලධාරියෙක් රැස්වීමක් සංවිධානය කරමින් මාව සම්මන්ත්‍රණ ශාලාවකට කැඳෙව්වා. එහි රවුම් මේසයක් වටා සැප පහසු ලස්සන හම් අත්පුටු තබා තිබුණු අතර ටික වේලාවකින් නිලධාරීන් ඇවිත් එම පුටුවල අසුන්ගත්තා. එය බාරව සිටි නිලධාරියා එහි පැමිණ සිට සියලුදෙනාවම මට පුද්ගලිකව හඳුන්වා දුන්නා. ඉන්පසු මෙම නිලධාරියා කිව්වා “දැන් ඔයා අපිට ඔයාගේ ආගම ගැන කියන්න” කියා.

මම ඉක්මනින්ම කෙටි යාච්ඤාවක් කර කතා කරන්න පටන්ගත් විට එහි සිටි සියලුදෙනා මීයට පිම්බා වගේ නිශ්ශබ්දව අහගෙන සිටියා. ටික වේලාවකින් පරිණාමය පිළිබඳ විෂය සාකච්ඡාවට භාජනය වුණා. ඔවුන් කියා සිටියේ පරිණාමය විද්‍යාත්මක සත්‍යයක් බවයි. මීට කලින් මම වැඩ කඳවුරක සිරගත වී සිටි කාලයේ පරිණාමවාදයට එරෙහිව නව ලොව a (සිංහලෙන් නොමැත) යන ප්‍රකාශනය අධ්‍යයනය කර තිබුණා. ඒ නිසා පරිණාමය තවත් ඔප්පු කර නැති සංකල්පයක් පමණක් බව ඒත්තුගන්වමින් ඔවුන්ගේ තර්කය බිඳින්න මට හැකි වුණා. මෙය අසා සිටි නිලධාරීන් මෙම තොරතුරු සම්බන්ධයෙන් පුදුම වුණා.

නියත වශයෙන්ම කතෝලික පසුබිමකින් පැමිණි බව සිතිය හැකි නිලධාරියෙක් සාකච්ඡාවට හවුල් වෙමින් මෙසේ ඇසුවා. “කන්‍යා මරියතුමී ගැන ඔබේ අදහස මොකක්ද? ඒ වගේම දිව්‍ය පූජාව ගැන ඔබ හිතන්නේ මොකක්ද?” මම ඔහුගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නා. ඊට පස්සේ මම මෙන්ම මෙහෙම කිව්වා. “සර්, මට පේනවා ඔබට ආගම කෙරෙහි දැඩි ඇදහිල්ලක් තිබෙන බව. ඔබ අහපු ප්‍රශ්න මෙතැන අනිත් අයගේ ප්‍රශ්නවලට වඩා ගොඩක් වෙනස්.”

“නැහැ! නැහැ! නැහැ! මගේ එහෙම කිසිම ඇදහිල්ලක් නැහැ” කියා ඔහු හයියෙන් කෑගහලා විරෝධය පළ කළා. කොමියුනිස්ට් ආණ්ඩු යටතේ ක්‍රිස්තියානි භක්තිකයන් ලෙස ප්‍රසිද්ධ වී සිටි කිසි කෙනෙකුට ගෞරවයෙන් සැලකුවේවත් වගකීම් දුන්නේවත් නැහැ. අපි දෙදෙනා අතර ඇති වූ එම කතා බහෙන් පසු ඔහු නිහඬ වුණා. මම ගොඩක් සතුටු වුණා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ විශ්වාසයන් පිළිබඳව එම නිලධාරීන්ට කතා කිරීමට ලැබීම ගැන.

සාක්ෂි දැරීමට තවත් ප්‍රස්තාවන්

ඉන් දින කිහිපයකට පසුව ප්‍රාග් නගරයේ හමුදා ගොඩනැඟිල්ලක හමුදා ආරක්ෂාව යටතේ කල් ගෙවීමට මට සිදු වුණා. මාව මුර කරන්න පැමිණි පළමු සොල්දාදුවා මට සපයන විශේෂ ආරක්ෂාව සම්බන්ධව පුදුම වුණා. ඔහු මෙසේ කිව්වා. “අපි මේ වගේ කෙනෙකුට පුද්ගලික ආරක්ෂාවක් සපයන පළමු වතාවයි මේක.” මම සිරගත වී සිටීමට හේතුව ඔහුට විස්තර කළා. මගේ අද්දැකීම කෙරෙහි මහත් උනන්දුවක් දැක්වූ ඔහු වාඩි වී තුවක්කුව දණිස් දෙක මැද රඳවාගෙන මට සවන් දුන්නා. සෑම පැය දෙකකට වරක් මාව ආරක්ෂා කරන සොල්දාදුවන් මාරු වුණා. මේ සෑම කෙනෙක්ම මගෙන් කලින් සොල්දාදුවා ඇසූ ප්‍රශ්නයම ඇසූ විට මට අවස්ථාවක් ලැබුණා බයිබලයේ සත්‍යයන් ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට.

ඉන්පසු මුර කරන සොල්දාදුවන්ට පමණක් නොවෙයි, ඔවුන්ගේ අවසරය ඇතුව අනෙකුත් සිරකරුවන්ටද මම දේශනා කළා. සොල්දාදුවන් සිර කුටි විවෘත කර සිරකරුවන්ට අවසර දුන්නා සමූහයක් හැටියට එකට එකතු වී බයිබලය සාකච්ඡා කිරීමට. ඉන් ටික කාලයකට පස්සේ මට හිතුණා මේ ආරක්ෂක සොල්දාදුවන් වෙනත් අය සමඟ කතා කිරීමට දෙන නිදහස අනෙක් නිලධාරීන් දැනගත් විට බරපතළ ප්‍රශ්න ඇති වෙයිද කියා. නමුත් මේ සියලුම කාරණා රහසිගතවම පැවතුණා.

මට උසාවි තීන්දුව දීමට කැඳවාගෙන යන දවසේ මා සාක්ෂි දරා තිබූ සියලුදෙනා මාව දිරිමත් කළා. කලින් පොදු සමාව යටතේ නියම වී තිබුණු අවුරුදු හයක සිර දඬුවම ඉවත් වුවද මෙවර එම අවුරුදු හයට තවත් අවුරුදු දෙකක් එකතු කරනු ලැබුවා. මේ අනුව අවුරුදු අටක සිර දඬුවමක් විඳීමට මට නියම වුණා.

දෙවිගේ උපකාරය ගැන නිසැකකම

චෙකෝස්ලොවැකියාවේ කඳවුරෙන් කඳවුරට හා සිර ගෙදරින් සිර ගෙදරට යන බොහෝ අවස්ථාවලදී මට යෙහෝවාගේ උපකාරය ගැන නිසැකකමක් තිබුණා. වාල්ඩයිස් සිර කඳවුරට පැමිණි අවස්ථාවේදී එහි අණ දෙන නිලධාරියා මගෙන් ඇහුවා මොන වැරැද්දක් නිසාද එහි ආවේ කියා. මම කිව්වා “හමුදා සේවය ප්‍රතික්ෂේප කළ නිසාත් යුද්ධවලට සහභාගි වීම මගේ ඇදහිල්ලට විරුද්ධ නිසාත්” කියලා.

එවිට අනුකම්පාසහගත ලෙස ඔහු කිව්වා “හැමෝටම ඒ ආකල්පය තියෙනවා නම් කොච්චර හොඳද” කියා. නමුත් ටික වේලාවක් කල්පනා කිරීමෙන් පසු ඔහු මෙහෙම කිව්වා. “නමුත් අද බොහෝදෙනෙක් මේ වගේ හිතන්නේ නැති නිසා අපි ඔයාට දඬුවම් කරන්න ඕනේ. ඔව් හොඳ දඬුවමක් දෙන්න ඕනේ.”

මට නියම වුණේ විසිතුරු වීදුරු කැපීමේ අංශයේ වැඩ කිරීමටයි. මෙය දඬුවම් කිරීම සඳහා වෙන් කළ අංශයක්. යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් ලෙස හමුදා සේවයට බැඳෙන්න අකමැති නිසා සිරගත වුවද මාව තවමත් සැලකුවේ දේශපාලන විප්ලවවාදියෙක් හැටියටයි. ඒ නිසා මට අනිත් අයට වඩා අමාරු වැඩ දුන්නා. වීදුරු පහන් කූඩුවලට වීදුරු කැපීම හා වෙනත් මිල අධික වීදුරු කැපීම ඉතා අසීරු කාර්යයක් වුණේ එය කිසිම පලුද්දක් නැතුව නිම කළ යුතුව තිබුණු නිසයි. සාමාන්‍යයෙන් සිරකරුවන් එදිනෙදා තමන් නිම කරන දෑ භාර දුන්නද ඊට පහුවෙනිදා ඒවායින් භාගයක් පමණ නැවත සකස් කිරීම සඳහා ලබා දෙනවා. ඒ නිසා ඔවුන්ට අවශ්‍ය විදියට දෙයක් හරියටම කිරීම අමාරු කාර්යයක්.

මෙම අංශයට ගිය පළමුවෙනි දවසේ එහි ප්‍රධානියා එන තුරු බලා සිටින්න මට සිදු වුණා. ඔහු පැමිණි විගස එතන වැඩ කරමින් සිටි සියලුදෙනාට කෑ ගසා බනින්න පටන්ගත්තා. ඔහුට හැඟුණේ ඔවුන් උපරිමයෙන් වැඩ කරන්නේ නැති බවයි. ඔහු සියලු සිරකරුවන් පසු කර මා ළඟට ඇවිත් ඇහුවා “ඔහේ මොකද කරන්නේ? ඇයි වැඩ කරන්නේ නැත්තේ” කියා.

මම ඔහුට පැහැදිලි කළා මම අලුතෙන් පැමිණි කෙනෙක් බව. ඔහු මාව ඔහුගේ කාර්යාලයට කැඳවාගෙන ගිය අතර ඔහුත් මගෙන් සුපුරුදු ප්‍රශ්නය, එනම් මා සිර කඳවුරට පැමිණීමට හේතුව ඇසුවා. මම සියල්ල පැහැදිලි කළ පසු ඔහු මෙහෙම කිව්වා. “ආහ්! එහෙනම් ඔයා යෙහෝවාගේ සාක්ෂිකරුවෙක්.”

මම “ඔව්” කියා උත්තර දුන්නා.

ඔහුගේ ආකල්පය වෙනස් වුණා. “කලබල වෙන්න එපා මෙහේ ගොඩක් සාක්ෂිකරුවන් ඉඳලා තියෙනවා. අපි ඔවුන්ට ගෞරව කරනවා. ඒ අය මහන්සි වී වැඩ කරන හොඳ මිනිස්සු. මම ඔයාට ඉවර කරන්න පුළුවන් වැඩ කොටසක් දෙන්න සූදානම් කරන්නම්.”

එම ප්‍රධානියාගේ හැසිරීම් රටාවේ වෙනස දැකලා මම පුදුම වුණා. මම පළමුකොට යෙහෝවාටත් ඉන්පසු සිර කඳවුරේ හොඳ නාමයක් දිනාගෙන තිබුණු නාඳුනන සෙසු සාක්ෂිකරුවන්ටත් ස්තුතිවන්ත වුණා. ඇත්තෙන්ම සිර කඳවුරේ ගෙවූ සම්පූර්ණ කාලය තුළදී මම යෙහෝවාගේ ප්‍රේමනීය කරුණාව අද්දැක්කා.

කොපමණ දුෂ්කරතා අද්දකින්න සිදු වුවත් මම දැනගෙන හිටියා අවසානයේදී මගේ ක්‍රිස්තියානි සහෝදරයන්ව මට මුණගැසෙන බව. ඔවුන්ගේ ප්‍රියකරු සිනහව දකින්නත්, ඔවුන්ගෙන් ධෛර්යය ලබන්නත් එවිට මට පුළුවන් වේවි. ඔවුන් නොසිටින්න මගේ සිර දඬුවම ඉතා අසීරු එකක් වෙන්න තිබුණා.

එහි සිටි බොහෝ සිරකරුවන්ගේ එකම ආශාව වුණේ ඔවුන්ට අසාධාරණ ලෙස සලකන සියල්ලන්ගෙන් පළිගැනීමයි. නමුත් මට කිසිදා එවැනි හැඟීමක් ඇති වී නැහැ. මම තේරුම්ගත්තා යෙහෝවාගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට කීකරු වීමට වෑයම් කරන නිසයි මම මේ දුක විඳින්නේ කියා. මම මේ සිර කඳවුරේ ගෙවපු සෑම දවසක් වෙනුවෙන්ම යෙහෝවා පාරාදීසයේදී ගණනය කළ නොහැකි කදිම දවස්වලින් පිරුණු ජීවිතයක් ලබා දෙන බවට ස්ථිරයි.—ගීතාවලිය 37:29; 2 පේතෘස් 3:13; එළිදරව් 21:3, 4.

අද භුක්ති විඳින ආශීර්වාදවලට කෘතඥපූර්වක වෙමින්

අවුරුදු 15ක සිර දඬුවමෙන් පසු වර්ෂ 1968 මැයි මාසයේදී මාව නිදහස් කරනු ලැබුවා. මුලින්ම මට වෙනත් අය සමඟ කතා කිරීමේදී සබකෝලයක් දැනුණා. දීර්ඝ කාලයක් සිරකරුවන් හා සිර ගෙදර මුලාදෑනීන් සමඟ කල් ගෙවීම නිසා මෙවැනි තත්වයක් අද්දැකීම අසාමාන්‍ය දෙයක් නොවෙයි. මගේ ක්‍රිස්තියානි සහෝදරයන් දේශනා සේවයේ හවුල් වීමට මට උපකාර කළා. ඒ වන විටත් සේවය තහනම් කරලයි තිබුණේ.

සිර ගෙදරින් නිදහස් වී සති කිහිපයකින් මට ඊවාව මුණගැසුණා. අවුරුදු තුනකට පෙර සිට ඇයත්, ඇයගේ සොහොයුරාත් පවුලේ අයගේ දැඩි විරෝධතා මැද වූවද බයිබල් සත්‍යය කෙරෙහි ස්ථීර අධිෂ්ඨානයක් ගෙන තිබුණා. අපි වැඩි කල් නොගොස් එකට සේවය කිරීමටත් බයිබල් පොත් පත් සකස් කිරීමටත් පටන්ගත්තා. මෙම මුද්‍රණ කටයුතු කරගෙන ගියේ රහසිගතවයි. වර්ෂ 1969 නොවැම්බර් මාසයේදී අපි විවාහ දිවියට ඇතුල් වුණා.

අපේ කුලුඳුල් දියණිය වන යානා 1970දී උපත ලැබුවා. කාලයාගේ ඇවෑමෙන් මම සභාවල සිටින්නන්ට ආත්මික උපකාර ලබා දීම සඳහා සති අන්තවලදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ චාරිකා අවේක්ෂකයෙක් ලෙස කටයුතු කළා. මෙම සේවය කරන අතරතුර මාව නැවතත් 1975දී අත් අඩංගුවට ගෙන සිරබාරයට ගත්තා. නමුත් මේ වතාවේදී මට එහි සිටින්න සිදු වූයේ මාස කිහිපයක් පමණයි. වර්ෂ 1977දී අපේ පුතා ෂ්ටේපාන් උපත ලැබුවා.

අවසානයේදී 1993 සැප්තැම්බර් 1වෙනිදා චෙක් ජනරජය විසින් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සේවය නීත්‍යනුකූල කරනු ලැබුවා. ඊළඟ අවුරුද්දේදී අපේ දියණිය වන යානා, ඩැලිබෝ ඩ්‍රාෂාන් නම් ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් හා විවාහ වුණා. අපේ පුත් ෂ්ටේපාන් සභා සේවකයෙක් වන අතර ඔහු බ්ලැන්කා නම් පූර්ණ කාලීන දේවසේවිකාව හා විවාහ දිවියට පිවිසුණා. දැන් අපි සියලුදෙනාම ප්‍රාග් සභාවේ සාමාජිකයෝ. අපි ආසාවෙන් බලා සිටින්නේ අලුත් පොළොව පැමිණෙන තුරුයි. මගේ ලොකුම ආශාව වන්නේ සිර කඳවුරු නැති එම කාලය දැකගැනීමටයි.

[පාදසටහන]

a වර්ෂ 1950දී යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කරන ලදි.

[28වන පිටුවේ පින්තූර]

බයිබල් පද ලිවීමට මම උපයෝගි කරගත්තේ පනාවක්

[29වන පිටුවේ පින්තූර]

මා සිරගත වී සිටි බයිටිස් කඳවුර. මම බව්තීස්ම වුණේත් මෙතැනයි

[31වන පිටුවේ පින්තූර]

අපි විවාහ වූ දා

[31වන පිටුවේ පින්තූර]

ඊවා සහ මම (මැද), ෂ්ටේපාන් හා බ්ලැන්කා අපේ වම් පසින්, යානා හා ඩැලිබෝ අපේ දකුණෙන්