ජාතීන් තවමත් ඉගෙනගෙන නැත
ජාතීන් තවමත් ඉගෙනගෙන නැත
“මිනිසා ඉතිහාසයෙන් ඉගෙනගන්නවා නම්, එයින් අපට මොනතරම් පාඩම් උගත හැකිද! තණ්හාව හා බෙදුම්වාදී මත අපේ ඇස් අන්ධ කර ඇත. එපමණක්ද නොව අද්දැකීමෙන් ලබා දෙන්නාවූ ජීවිතාවබෝධය, නැව් අවරේ එල්ලා ඇති අප පිටුපස තිබෙන දිය රැළි මත පමණක් විහිදෙන ලන්තෑරුම් එළියක් සේය!”—සැමුවෙල් ටේලර් කෝල්රිජ්.
සැමුවෙල් කෝල්රිජ් නමැති ඒ ඉංග්‍රීසි කිවියා සමඟ ඔබ එකඟ වෙනවාද? යම් පරමාර්ථයක් ඉටු කරගැනීමට තිබෙන තණ්හාවෙන් අප අන්ධ වී අතීත පරම්පරාවන් වැටුණු ගැඹුරු වළේම යළිත් වැටීමට ඉඩ කඩ තිබෙනවාද?
කුරුස යුද්ධ
කුරුස යුද්ධ කෙරුණු අවදියේදී මිනිසුන් කළ සමහර දේවල් ගැන සලකා බලන්න. ශුද්ධ වූ දේශය මුස්ලිම්වරුන්ගෙන් යළි අත් පත් කරගන්නා ලෙස IIවන අර්බන් පාප් පො.යු. 1095දී “ක්‍රිස්තියානීන්ගෙන්” දැඩිව ඉල්ලා සිටියේය. දෙවන අර්බන්ගේ අණසක යටතේ සිටි සෑම ජාතියකටම අයත් රජවරු, සාමිවරු, නයිට්වරු සහ පොදු වැසියෝ මේ ඉල්ලීමට එකඟ වූහ. මධ්‍යකාලීන යුගයේ විසූ එක් ඉතිහාසඥයෙකු දක්වන පරිදි, එම මෙහෙයුමට සහයෝගය දැක්වීමට අකමැති “ක්‍රිස්තුස්ගේ නීතියට එකඟව ජීවත් වූ කෙනෙකු සොයාගැනීමට සිටියේ නැති තරම්ය.”
ඉතිහාසඥ සෝවේ ඕල්ඩන්බූර් පවසන්නේ කුරුස යුද්ධ භටයන්ගෙන් බහුතරයකට “තමන්ව දෙවියන් විසින් කෙළින්ම එම හේවාකමට බඳවාගත් බවට පූර්ණ විශ්වාසයක්” තිබූ බවයි. ඇය කියන ආකාරයට “යක්ෂයාගේ දරුවන්ව විනාශ කරන දේවදූතයන්” හැටියට ඔවුන් තමන්ව සලකා ඇත. ලේඛක බ්‍රයන් මොයිනහන් පවසන්නේ “යුද්ධයේදී මිය යන අය ස්වර්ගයේදී ප්‍රාණ පරිත්‍යාගිකයන්ගේ ඔටුන්න ලබන” බව ඔවුන් විශ්වාස කළා කියායි.
තම සතුරන්ද ඒ හා සමානම දෙයක් විශ්වාස කළ බව කුරුස යුද්ධ භටයන් නොදැන සිටියා වන්ට ඇත. ඉතිහාසඥ ජේ. එම්. රොබට්ස් ඔහුගේ කෘතියේ (Shorter History of the World) පවසන්නේ ඉස්ලාම් භටයන් යුද්ධයට ගියේ තමන් සටන් කරන්නේ දෙවියන් වෙනුවෙන් බවටත් “මිසදිටුවන්ට එරෙහිව යුද්ධ කර සටන් බිමේදී මියැදුණත් එය [ස්වර්ගයේ] පාරාදීසයට මඟ පෙන්වන” බවටත් වූ විශ්වාසයෙන් කියාය.
තමන් කරන යුද්ධය දෙවියන් විසින් අනුමත කර ආශීර්වාද කර ඇති ධර්මිෂ්ඨ යුද්ධයක් බව දෙපිරිසටම උගන්වා තිබිණ. මෙවන් විශ්වාසයන් පෝෂණය කළ ආගමික නායකයෝ හා දේශපාලකයෝ තම යටත් වැසියන්ගේ ඇවිළුණු හැඟීම්වලට පිදුරු දැමුවෝය. මෙසේ දෙපිරිසම සිතාගත නොහැකි තරම් භයංකර දාමරිකත්වයක පැටලිණ.
මොවුහු කවුරුන් වූවෝද?
මෙවැනි දරුණු දේවල් කළාහු කවුරුන් වූවෝද? බහුතරයක් සාමාන්‍ය ජනයා විය. අද සිටින සෙනඟට වඩා ඔවුන්ගේ වැඩි වෙනසක් නොවීය. ඔවුන්ගේ දවසේ තිබූ ලෝකයට ආවේණික වූ පරිසමාප්තවාදයෙන් සහ වරද නිවැරදි කිරීමට වූ ආශාවෙන් ඔවුන්ගෙන් බොහෝදෙනෙකු දැවෙමින් සිටි බවට සැකයක් නැත. ඔවුන් සිටි ලේ කෝප වූ හැඟීම් ඇවිස්සුණු මානසික තත්වය තුළ “යුක්තිය” වෙනුවෙන් කළ ඔවුන්ගේ සටනින්, යුධ කලාපයට මැදි වූ අහිංසක ස්ත්‍රී, පුරුෂ, ළමා
සියදහස් දෙනෙකුට අයුක්තිය, දුක සහ වේදනාව හැර වෙන දෙයක් ඉටු කර නොදුන් බව ඔවුන්ට නොවැටහුණාක් මෙනි.ඉතිහාසය පුරාම ක්‍රියාත්මක වූ ක්‍රමය වී තිබෙන්නේ මෙය නොවේද? ආගමික නායකයන් විසින් කිසිදාක එවන් හැසිරීමක යෙදෙන්ට නොසිතූ දශලක්ෂ ගණනාවක්ව ඔවුන්ගේ ආගමික සහ දේශපාලනික විරුද්ධවාදීන්ට විරුද්ධව ම්ලේච්ඡ හා තිරිසන් යුද්ධවල නියැලීමට පොලඹවා නැද්ද? ගැටුමට පැටලෙන දෙපාර්ශ්වයම ආයුධ සන්නද්ධ වෙමින් දෙවියන් තමන්ගේ පැත්තට සටන් කරන බව කියමින් නීත්‍යනුකූල ආකාරයට දේශපාලනික සහ ආගමික මර්දනකාරි ක්‍රියා පිළිවෙත් සැහැසික අන්දමින් කරගෙන යති. මෙය සියවස් ගණනාවක් පුරා කුරිරු ඒකාධිපතීන්ගේ අභිලාෂයන් පෝෂණය කළ මැනවින් ස්ථාපිත වූ ක්‍රමයක අංගයක් විය. “මුල් කුරුස යුද්ධය දියත් කිරීමට එම ක්‍රමය උල්පන්දම් දුන්නා සේම, සමූලඝාතන සහ වර්තමාන වාර්ගික ශුද්ධිකරණයේ හවුල්වන්නන්ගේ සම්මතය ලෙස සැලකෙන්නේද” එම ක්‍රමය බව මොයිනහන් පවසයි.
‘ඒත් බුද්ධිමත් මිනිස්සු ඔය විදිහට තමන්ව පොලඹවන්න ඉඩ දෙන්නේ නැහැ. අපි ඉන්නේ වඩා ශිෂ්ටසම්පන්න ලෝකයක’ කියා කෙනෙකු කිව හැකිය. ඇත්තෙන්ම ඒ සිතුවිල්ල නිවැරදි විය යුතුයි. එහෙත්, ඉතිහාසය ලබා දුන් පාඩම්වලින් අප ඉගෙනගෙන තිබේද? පසුගිය අවුරුදු සීයක ඉතිහාසය දෙස බැරෑරුම් ලෙස නෙත් හරවා බලන කල එසේ ඉගෙනගෙන තිබෙනවායැයි තම සිතට එකඟව පැවසිය හැක්කේ කාටද?
පළමුවන ලෝක මහා සංග්‍රාමය
කුරුස යුද්ධයෙන් ස්ථාපිත කළ රටාව යළිත් කරළියට පැමිණිණ. පළමුවන ලෝක මහා සංග්‍රාමය ඊට නිදසුනකි. එය “1914දී සිදු වූ සිතාගත නොහැකි දේවලින් එකක්. මන්ද සෑම රටකම සිටින සෑම පක්ෂයකටම, ආගමකටම සහ ජන වර්ගයකටම අයත් විශාල ජන සංඛ්‍යාවක් පුදුම දනවන ආකාරයට කැමැත්තෙන් සහ සතුටින් යුද්ධයට ගිය බවක් පෙනුණු” බව රොබට්ස් පවසයි.
සාමාන්‍ය ජනයාගෙන් බහුතරයක් ‘කැමැත්තෙන් සහ සතුටින් යුද්ධයට ගියේ’ මන්ද? ඔවුන්ට පෙර එවැනිම කැමැත්තකින් යුද්ධයට ගිය අය මෙන් ඔවුන්ද එවකට ජනප්‍රියව තිබූ දර්ශනවාදයෙන් ඔවුන්ගේ ප්‍රමිති සහ විශ්වාසයන් අඹාගෙන තිබූ නිසාය. සමහරුන්ව ස්වාධීනත්වය සහ යුක්තිය පිළිබඳ ප්‍රතිපත්තිවලින් පොලඹවනු ලැබුවද, තමන්ගේ ජාතිය අනිත් ජාතීන්ට වඩා උසස් කියා සිතූ නිසා ඔවුන්ට යටත් වෙන්ට අවශ්‍ය නැත යන උඩඟු සිතුවිල්ලෙන් බොහෝදෙනෙකු පෙලඹුණේ නැතැයි සිතීම උගහටය.
යුද්ධය ස්වාභාවික දෙයක් එනම්, යම් ආකාරයක “ජෛව අවශ්‍යතාවක්” බව විශ්වාස කිරීමට ඔවුන්ව පොලඹවනු ලැබීය. උදාහරණයක් හැටියට, යුද්ධය යනු “පැවැත්මට වටින්නේ නැති සත්ව වර්ග මුලිනුපුටා දැමීම” සඳහා තිබෙන නීත්‍යනුකූල මාධ්‍යය යන අදහස “සමාජීය ඩාවින්වාදය” මගින් පෝෂණය කළායැයි ලේඛක ෆිල් විලියම්ස් කියයි.
එම මාවත ඇත්තෙන්ම යුක්තිසහගත එකක් බව සැමෝම සිතූහ. ඉන් ලැබුවේ කිනම් ප්‍රතිඵලද? පළමුවන ලෝක මහා සංග්‍රාමය අතරතුරේදී, “ආණ්ඩු වර්ගවාදය, ජාත්‍යාලය අවුස්සමින් සිය යුධ ශක්තිය ගැන පුරසාරම් දෙඩීය. සෙනඟද ඔවුන්ව අන්ධ ලෙස අනුකරණය කළෝය” කියා ලේඛක සහ ඉතිහාසඥ මාටින් ගිල්බට් පවසයි. ආර්ථික විශේෂඥ ජෝන් කෙනත් ගැල්බ්‍රේත් එම යුධ සමයේදී හැදී වැඩුණේ කැනඩාවේ පිටිසර පෙදෙසකය. “යුරෝපයේ පවතින මෝඩ ගැටුම්” ගැන තමා වටා සිටි මිනිසුන් කතා කළ බව ඔහු කීවේය. “බුද්ධිමත් මිනිසුන් . . . එවැනි අඥාන ක්‍රියාවලට අත දෙන්නේ නැති” බව ඔවුහු පැවසූහ. එහෙත්, ඔවුහු නැවත වරක් එයම කළෝය. කිනම් විපාක ඇතුවද? පළමුවන ලෝක මහා සංග්‍රාමය ලෙස හැඳින්වූ එම පිළිකුල්සහගත යුද්ධයේදී මියගිය දශලක්ෂ නවයකට වැඩි යුධ භටයන්ගෙන් 60,000ක් පමණ කැනඩාවේ යුධ භටයන් විය.
පාඩමක් ඉගෙනගෙන නැත
ඊළඟ දශක දෙක තුළදී, ඒකාධිපතිවාදය හා නාට්සිවාදය සමඟින් නැවත වරක් එවැනිම ආකල්පයක් පෙනෙන්ට පටන්ගත්තේය. ඒකාධිපතිවාදීන් “මිනිසුන්ගේ හැඟීම් ඇවිස්සීමට සංකේත සහ මිථ්‍යා කථා වැනි පාරම්පරික ප්‍රචාරණ ක්‍රම” යොදාගත් බව හියු පර්සෙල් ලියයි. එසේ යොදාගත් විශේෂයෙන්ම වැදගත් මාධ්‍යයක් නම්, තම හමුදා බල ඇණිවලට දේවාශීර්වාද අයැදි ආගම සහ දේශපාලනය නමැති ප්‍රබල මිශ්‍රණයයි.
ඇඩොල්ෆ් හිට්ලර් “මහජනයාව නම්මාගැනීමේ නිපුණයෙක් මෙන්ම අතිදක්ෂ දේශකයෙක්” විය. අසාධාරණ උද්වේගකර කතාවෙන් මහජනයාව පෙලඹවූ අතීතයේ සිටි බොහෝ ජන නායකයන් මෙන් “මහජනයාව බුද්ධියෙන් නොව හැඟීම්වලින් නම්මාගත හැකි බව” හිට්ලර් විශ්වාස කළායැයි හිට්ලර් සහ නාට්සිවාදය (සිංහලෙන් නැත) නමැති පොතේ ඩික් ගියරි පවසයි. ඔහු මේ මිනිස් දුර්වලකම අතකොළුවක් කරගත්තේ, පොදු සතුරෙකුට විරුද්ධව ජනතා වෛරය ඇවිස්සීම නමැති ඉපැරණි ක්‍රමය ක්‍රියාත්මක කිරීමෙනි. ඔහු එසේ කළේ, “ජර්මන්වරුන්ගේ සැකය හා අමනාපය යුදෙව්වන්ට විරුද්ධව ඇවිස්සීමෙනි” කියා පර්සෙල් පවසයි. ඔහු යුදෙව්වන්ව නීච ලෙස හෙළා දැක්කේ ‘යුදෙව්වා යනු ජර්මානු ජාතියේ දූෂකයා’ යැයි පවසමිනි.
එම යුගය ගැන කියන්ට තිබෙන බිහිසුණුම දෙය නම්, වැදගත්යැයි පෙනෙන්ට සිටි දශලක්ෂ ගණන් ජනයාව නැවත වරක් සමූලඝාතන සඳහා පෙලඹවීමට ඒ තරම්ම අපහසු නොවීමයි. “ශිෂ්ටයැයි කියාගත් රටක සිටි සෙනඟක් අනුන්ගේ අදහස් උදහස් ඉවසා දරා සිටිනවා වෙනුවට, නාට්සි ආණ්ඩුවේ කුරිරු ම්ලේච්ඡත්වයට කොහොම හවුල් වුණාද?” කියා ගියරි අසයි. තවදුරටත්, එය “ශිෂ්ට” රටක් පමණක් නොව ක්‍රිස්තියානි රටකි! ඔවුන් මේ තත්වයට ඇද වැටුණේ, ඔවුන් යේසුස් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම් වෙනුවට, මිනිසුන්ගේ දර්ශනවාදය සහ උපායන්වලට වැඩි කැමැත්තක් දැක්වූ නිසාය. එතැන් සිට බිහිසුණු කුරිරුකම් සිදු කිරීමට අවංක සහ යහපත් ස්ත්‍රීන් හා පුරුෂයන් කොතරම් සංඛ්‍යාවක් මෙහෙයවනු ලැබ ඇද්ද!
“අද්දැකීම සහ ඉතිහාසය උගන්වන්නේ මෙයයි. ජාතීන් සහ ආණ්ඩු, ඉතිහාසයෙන් කිසිදාක කිසිම දෙයක් ඉගෙනගෙන නැත. එයින් ලබාගත් කිසිම පාඩමක් අදාළ කරගෙනද නැත” කියා ජර්මානු දාර්ශනික ජෝර්ජ් හේගල් පවසයි. හේගල්ගේ ජීවත් වීමේ දර්ශනය සමඟ බොහෝදෙනෙකු එකඟ නොවන්ට පුළුවන. එහෙත්, ඔහු කියූ දෙය සමඟ එකඟ නොවන්නේ ස්වල්පදෙනෙකු පමණි. කනගාටුවකට මෙන්, ඉතිහාසයෙන් පාඩමක් ඉගෙනගැනීමට මිනිසුන්ට දැඩි දුෂ්කරතාවක් තිබේ. නමුත් ඔබ එසේ විය යුතුද?
නිසැකවම, ඉගෙනගත යුතු පැහැදිලි පාඩමක් ඇත. එනම්, අතීත පරම්පරාවන් විඳි විපත් වළක්වාගැනීමට නම් වරදිනසුලු මිනිස් දර්ශනයට වඩා විශ්වාසය තැබිය හැකි දෙයක් අපට අවශ්‍යය යන්නය. මිනිස් දර්ශනය නෙවෙයි නම්, අපේ සිතුවිලිවලට මඟ පෙන්විය යුත්තේ කුමක්ද? කුරුස යුද්ධ සිදුවීමට අවුරුදු දහසකට පමණ පෙර, එකම සාධාරණ ජීවන රටාව වන සැබෑ ක්‍රිස්තියානි ජීවන මාර්ගය කුමක් විය යුතුදැයි යේසුස් ක්‍රිස්තුස්ගේ ගෝලයෝ පෙන්වූහ. ඔවුන්ගේ දවසේ තිබූ ලේ හැළූ ගැටුම්වලින් වැළකී සිටීම සඳහා ඔවුන් කළේ කුමක්ද කියා අපි විමසා බලමු. එහෙත්, අද සිටින ජාතීන් එය කරන්නේ කෙසේද කියා ඉගෙනගෙන ගැටුම්වලින් වැළකී සිටින බවක් පෙන්වනවාද? ජාතීන් කුමක් කළත්, මිනිසුන්ගේ මේ සියලු දුක් ගාවිනාවලට අවසානයක් ගෙන ඒම සඳහා දෙවිගේ විසඳුම කුමක් වේවිද?
[6වන පිටුවේ පින්තූර]
ම්ලේච්ඡත්වය සහ දුක් වේදනා මිනිස් ගැටුම්වල අංගයක් වී ඇත
[6වන පිටුවේ පින්තූර]
ඉහළ: යුද්ධයෙන් දෙදරා ගිය ප්‍රදේශයක වෙසෙන සරණාගතයෝ
ශිෂ්ටයැයි කියාගන්නා සෙනඟ අදහාගත නොහැකි ප්‍රචණ්ඩත්වයක නියැලෙන්නේ කෙසේද?
[හිමිකම් විස්තර]
රුවන්ඩා ජාතික සරණාගතයෝ: UN PHOTO 186788/J. Isaac; ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කඩා වැටීම: AP Photo/Amy Sancetta