Skip to content

පටුනට යන්න

ප්‍රචණ්ඩත්වය ගැන දෙවිට හැඟෙන්නේ කෙසේද?

ප්‍රචණ්ඩත්වය ගැන දෙවිට හැඟෙන්නේ කෙසේද?

බයිබලයේ දෘෂ්ටිකෝණය

ප්‍රචණ්ඩත්වය ගැන දෙවිට හැඟෙන්නේ කෙසේද?

ප්‍රචණ්ඩත්වය නන් දෙස පැතිර ඇති අතර ඊට බොහෝ පැති කඩ තිබේ. යුද්ධයට අමතරව ක්‍රීඩා තරඟවල, පාසැල්වල හා රැකියා ස්ථානවලද, මැර කල්ලි අතරද, මත් ද්‍රව්‍ය භාවිතය හා සම්බන්ධව මෙන්ම විනෝදවීම්වලද ප්‍රචණ්ඩත්වය දක්නට ලැබේ. නිවෙස් තුළ පවා ප්‍රචණ්ඩත්වය සාමාන්‍ය දෙයක් වී ඇත. උදාහරණයක් වශයෙන්, එක් මෑත අධ්‍යයනයකින් පෙන්වූයේ කැනඩාවේ පුරුෂයන් හා ස්ත්‍රීන් මිලියන 1.2ක් ගෙවුණු පස්-වසරක කාලපරිච්ඡේදය තුළදී අඩුම තරමින් එක් වතාවක් හෝ තම කලත්‍රයාගේ ප්‍රචණ්ඩකාරි පහර දීම්වලට ලක් වී ඇති බවය. තවත් අධ්‍යයනයක නිගමනය වූයේ තම භාර්යාවන්ට පහර දෙන පිරිමින්ගෙන් සියයට 50ක් පමණ තම දරුවන්ටද ප්‍රචණ්ඩකාරිව පහර දෙන බවය.

එවැනි ප්‍රචණ්ඩකාරි ක්‍රියා ගැන අසන්න ලැබෙන විට වෙනත් බොහෝදෙනෙකුගේ මෙන් ඔබේ හිතද කීරි ගැහෙන බව නොඅනුමානය. එහෙත් අද දින තිබෙන විනෝදවීම් බොහොමයකට ප්‍රචණ්ඩත්වය නැතුවම බැරි අංගයක් වී ඇත. ප්‍රේක්ෂකයන්ව ඇදබැඳගන්නේ චිත්‍රපටවල තාත්විකව පෙන්වන ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පමණක් නොව සැබෑ දිවියේදී සිදු කරන කලහකාරි ක්‍රියාවන් රූපවාහිනියෙන්ද පෙන්වීමෙනි. බොක්සිං ක්‍රීඩාව හා වෙනත් ප්‍රචණ්ඩකාරි ක්‍රීඩාවන් බොහෝ රටවල ප්‍රියතම ක්‍රීඩාවන් බවට පත්ව තිබේ. එහෙත් ප්‍රචණ්ඩත්වය ගැන දෙවිට හැඟෙන්නේ කෙසේද?

ප්‍රචණ්ඩත්වයේ දිගු ඉතිහාසය

ප්‍රචණ්ඩත්වයට දිගු ඉතිහාසයක් ඇත. බයිබලයේ වාර්තා වී ඇති මුල්ම ප්‍රචණ්ඩ ක්‍රියාව විස්තර කෙරෙන්නේ උත්පත්ති 4:2-15හිය. ආදම් සහ ඒවගේ කුලුඳුල් පුත් කායින් සිය සහෝදර ආබෙල්ට ඊර්ෂ්‍යා කළ අතර අවසානයේදී ඔහුව හිතාමතාම මරා දැමීය. දෙවි ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? සිය සහෝදරයාව මරා දැමූ කායින්ට යෙහෝවා දෙවි තදින් දඬුවම් කළ බව බයිබලයේ පැහැදිලි කරයි.

එම සිද්ධියෙන් වසර 1,500කට වඩා වැඩි කාලයක් ගෙවී ගිය පසුවද පොළොව “ප්‍රචණ්ඩත්වයෙන් පිරී තිබූ” බව උත්පත්ති 6:11හි [NW] අපට කියවීමට තිබේ. මේ අවස්ථාවේදී, දෙවිගේ ප්‍රතික්‍රියාව කුමක් වීද? ධර්මිෂ්ඨ නෝවාටත්, සිය පවුලේ සාමාජිකයන්ටත් බේරීම සඳහා නැවක් ගොඩනඟන්න කියා දෙවි නෝවාට අණ කළේය. ඉන්පසු යෙහෝවා පොළොව මත ජලගැල්මක් ඇතිවීමට සලස්වා එම ප්‍රචණ්ඩකාරි සමාජය ‘විනාශ කර දැමීය.’ (උත්පත්ති 6:12-14, 17) එහෙත් ජනයා තුළ ප්‍රචණ්ඩත්වයට එතරම් නැමියාවක් ඇතිවීමට හේතු වූයේ කුමක්ද?

භූතයන්ගේ බලපෑම

දෙවිගේ ඇතැම් පුත්‍රයන්, එනම් අකීකරු වූ දේවදූතයන් මිනිසුන් මෙන් මූර්තිමත් වී ස්ත්‍රීන් විවාහ කරගෙන දරුවන් ඉපදෙවූ බව උත්පත්ති වාර්තාවේ හෙළි කරයි. (උත්පත්ති 6:1-4) නෙඵිලීම්වරු ලෙස හඳුන්වනු ලැබූ එම දරුවන් යෝධ සිරුරකින් හෙබි කීර්තිමත් මිනිසුන් විය. තම භූත පියවරුන්ගේ බලපෑම යටතේ ඔවුහු ප්‍රචණ්ඩකාරි දාමරිකයෝ වූහ. ජල මට්ටම එන්න එන්නම ඉහළ නැඟීමත් සමඟම පොළොව යට වූ විට මෙම දුෂ්ට දාමරිකයෝ විනාශ වූහ. එහෙත් භූතයෝ යළි තම මුල් ස්වභාවය ගෙන නැවතත් ආත්ම විෂයට ගියහ.

එදා පටන් කැරලිකාර දූතයෝ මිනිසාට දැඩි ලෙස බලපෑම් කරන බව බයිබලයේ පැහැදිලි කර ඇත. (එපීස 6:12) ඔවුන්ගේ නායකයා වන සාතන්ව හඳුන්වන්නේ මුල්ම ‘මිනීමරුවා’ ලෙසය. (යොහන් 8:44) මෙබැවින් පොළොවේ සිදු වන ප්‍රචණ්ඩ ක්‍රියා භූතයන්ගේ හෝ සාතන්ගේ ක්‍රියා ලෙස හැඳින්වූවාට වරදක් නැත.

ප්‍රචණ්ඩත්වයේ පොලඹවනසුලු බලය ගැන බයිබලය අනතුරු අඟවයි. හිතෝපදේශ 16:29හි මෙසේ පවසයි. “බලාත්කාර මනුෂ්‍යයා තමාගේ අසල්වාසියා කැමති කරවාගෙන, හොඳ නැති මාර්ගයක ඔහු ගෙනයන්නේය.” අදදින බොහෝදෙනෙකු ප්‍රචණ්ඩත්වයේ ක්‍රියා අනුමත කිරීමට, ඒවාට රුකුල් දීමට හෝ ඒවා සිදු කිරීමට පෙලඹී ඇත. එමෙන්ම, මුළා වී සිටින මිලියන සංඛ්‍යාත ජනකායක් ප්‍රචණ්ඩත්වය ඉහළ තලයකට දමන විනෝදාස්වාදය ලැබීමට කැමැත්තක් දක්වති. අදදින සිටින පරම්පරාව විස්තර කිරීමට ගීතාවලිය 73:6හි සඳහන් වචන නිවැරදි ලෙස යොදාගත හැක. ගීතිකාකරු මෙසේ පවසයි. “ආඩම්බරය ඔවුන්ගේ බෙල්ලේ මාලාවක් මෙන්ය; බලාත්කාරය [ප්‍රචණ්ඩත්වය, NW] වස්ත්‍රයක් මෙන් ඔවුන් සරසයි.”

දෙවිට ප්‍රචණ්ඩත්වය පිළිකුලකි

ප්‍රචණ්ඩ ලෝකයක් තුළ ක්‍රිස්තියානීන් තමන්ව හසුරුවාගත යුත්තේ කෙසේද? යාකොබ්ගේ පුතුන් වන සිමියොන් සහ ලෙවී සම්බන්ධ බයිබල් වාර්තාව අපට නිසි මඟ පෙන්වීමක් සපයයි. ඔවුන්ගේ සහෝදරිය වූ දීනා ෂෙඛෙම්හි සිටි දුරාචාරයේ යෙදුණු අයව ඇසුරු කළාය. එහි ප්‍රතිඵලය වූයේ ෂෙඛෙම් ජාතිකයෙකු අතින් ඇය ලිංගික දූෂණයට ලක්වීමය. සිමියොන් සහ ලෙවී පළිගැනීමේ චේතනාවෙන් ෂෙඛෙම්හි පුරුෂයන් සියලුදෙනාවම කෲර ලෙස මරා දැමූහ. පසුව, දෙවිගේ ආනුභාවය ඇතුව යාකොබ් තම පුත්‍රයන්ගේ නොහික්මුණු කෝපය නිසා මෙලෙස ශාප කළේය. “සිමියොන් සහ ලෙවී සහෝදරයෝය; ඔවුන්ගේ කඩු වනාහි බලාත්කාරකමේ ආයුධය. එම්බා මාගේ ආත්මය, ඔවුන්ගේ මන්ත්‍රණයට ඇතුල් නොවන්න; මාගේ මහිමය ඔවුන්ගේ සමාගමට එකතු නොවන්න.”—උත්පත්ති 49:5, 6.

මෙම වචනවලට එකඟව ක්‍රිස්තියානීහු ප්‍රචණ්ඩ ක්‍රියාවලට රුකුල් දෙන හෝ ඒවායෙහි නියැලෙන අයව ඇසුරු කිරීමෙන් වැළකී සිටිති. ප්‍රචණ්ඩත්වයට රුකුල් දෙන අය පැහැදිලිවම දෙවිට පිළිකුලකි. බයිබලය මෙසේ පවසයි. “යෙහෝවා ධර්මිෂ්ඨයා විමසයි. නමුත් ඔහුගේ ආත්මය දුෂ්ටයාටත් බලාත්කාරකමට ප්‍රිය වෙන්නාටත් ද්වේෂ කරයි.” (ගීතාවලිය 11:5) පාලනය නොකර මොනයම් ක්‍රමයකින් හෝ කෝපය පිට කිරීමෙන් වැළකීමට ක්‍රිස්තියානීන්ට අවවාද කර තිබේ. වාචික ප්‍රචණ්ඩත්වයෙන් පවා වැළකිය යුතුය.—ගලාති 5:19-21; එපීස 4:31.

ප්‍රචණ්ඩත්වය නිම වන දිනක් තිබේද?

පුරාණයේදී අනාගතවක්තෘ හබක්කුක් යෙහෝවා දෙවිගෙන් මෙසේ විමසීය. “බලහත්කාරයෙන් අප මුදන තෙක් මම කොපමණ කල් ඔබට මොරගසම්ද?” (හබක්කුක් 1:2, නව අනුවාදය) සමහරවිට ඔබද එවැනිම ප්‍රශ්නයක් අසා තිබිය හැක. දෙවි හබක්කුක්ට පිළිතුරු දෙමින් ‘දුෂ්ටයන්’ නැති කර දමන බවට පොරොන්දු විය. (හබක්කුක් 3:13) අනාවැකි අඩංගු යෙසායාගේ පොතද බලාපොරොත්තුවක් සපයයි. දෙවි මෙසේ පොරොන්දු වේ. “නුඹේ දේශයෙහි බලාත්කාරයද නුඹේ සීමා ඇතුළේ නාස්තිය හා විනාශයද ගැන තවත් අසන්ට නොලැබෙන්නේය.”—යෙසායා 60:18.

ළඟදීම දෙවි සියලු ආකාර ප්‍රචණ්ඩ ක්‍රියා මෙන්ම ඒවාට රුකුල් දෙන අයව පොළොවෙන් ඉවත් කරන බවට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට නිසැකය. ඒ කාලයේදී, ප්‍රචණ්ඩත්වයෙන් පිරී පවතිනවා වෙනුවට “ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක් මෙන් යෙහෝවාගේ තේජස දැනගැන්මෙන් පොළොව පිරීයන්නේය.”—හබක්කුක් 2:14.

[16වන පිටුවේ පින්තූරය]

ප්‍රචණ්ඩත්වය ආරම්භ වූයේ කායින් ආබෙල්ව මැරූ අවස්ථාවේ සිටය