Skip to content

පටුනට යන්න

සූදුවේ ඇති වරද මොකක්ද?

සූදුවේ ඇති වරද මොකක්ද?

සූදුවේ ඇති වරද මොකක්ද?

“ඕස්ට්‍රේලියානු ජාතිකයන් 2,90,000ක් පමණ සූදුවට ඇබ්බැහි වී ඇත. ඔවුන් අවුරුද්දකට පරදින මුදල අමෙරිකානු ඩොලර් බිලියන 3ක් පමණ වෙනවා. මින් කනගාටුදායක ප්‍රතිඵල ගෙන දෙන්නේ සූදුවෙන් පැරදෙන ඒ අයට පමණක් නොවෙයි. එහි බලපෑමට අසු වන වෙනත් අයද සිටිනවා. මේ හේතුවෙන් බංකොලොත්භාවය, දික්කසාදය, සිය දිවි නසාගැනීම හා වැඩ කරන කාලය නාස්ති වීම නිසා තවත් මිලියන 1.5ක ජනතාවකට ඉන් ඇති වී තිබෙන්නේ ඍජු බලපෑමක්.”—1999දී ඕස්ට්‍රේලියාවේ අගමැති ජේ. හවඩ්.

ඉහත ලිපියේ සඳහන් ජෝන් සූදුවට ඇබ්බැහි වූ කෙනෙක්. a ඕස්ට්‍රේලියාවේ පදිංචියට පැමිණි ඔහු සූදුවට ඇබ්බැහි වී සිටි තැනැත්තියක් වූ ලින්ඩා සමඟ විවාහ වුණා. ඔහුගේ මේ නරක ඇබ්බැහි වීම එන්ට එන්ටම දරුණු අතට හැරුණා. ඔහු මෙසේ පවසනවා. “ලොතරැයි ටිකට් පත් මිලට ගැනීමේ සිට අශ්ව රේස්වලට ඔට්ටු ඇල්ලීමට හා කැසිනෝවලට පවා මම ඇබ්බැහි වුණා. සෑම දවසකම පාහේ සූදුවේ නියැලෙන තත්වයටයි මම පත් වුණේ. ඇතැම් විට මම මගේ මුළු පඩියම සූදුවට වියදම් කළා. මගේ නිවාස ණය මුදල් ගෙවාගන්නටවත් පවුලට කෑම බීම ලබා දෙන්නටවත් මට මුකුත් ඉතිරි වුණේ නැහැ. දිනපු අවස්ථාවලත් මම කළේ තව තවත් ඔට්ටු අල්ලන එකයි. මාව උගුලට හසු කරගත්ත මේ සූදුවට ඔට්ටු අල්ලන එකෙන් මම ලැබුවේ පුදුම වින්දනයක්.”

ජෝන් වැනි පුද්ගලයන් අප අතරත් සිටිනවා. මුළු මහත් සමාජයම සූදුව නමැති උමතුවෙන් වෙළී සිටින බවක් දක්නට තිබෙනවා. එක් සඟරාවක් වන යූ.එස්.ඒ. ටුඩේහි සඳහන් වූයේ 1976 සිට 1997 දක්වා කාලය තුළ එක්සත් ජනපදයේ නීත්‍යනුකූලව සූදුවේ නියැලුණු සංඛ්‍යාව සියයට 3,200කින් වැඩි වූ බවයි.

“සූදුවේ නියැලීම සලකනු ලැබුවේ සදාචාර හා සමාජීය උවදුරක් හැටියටයි. අදදින එය සමාජීය වශයෙන් පිළිගන්නා විනෝදයක් බවට පත් වෙලා.” මෙසේ පැවසුවේ ද ග්ලෝබ් ඇන්ඩ් මේල් නමැති කැනේඩියානු පුවත්පතයි. මහජනයා මේ පිළිබඳව වෙනස් ආකල්පයක් දැරීමට එක් හේතුවක් පෙන්වා දෙමින් එක් පුවත්පතක් මෙසේ පැවසුවා. “මේ ගැන මෙවැනි මහජන මතයක් ගොඩනැඟීමට හේතු වී ඇත්තේ දිගු කලක් පුරා කැනේඩියානු ඉතිහාසයේ රාජ්‍ය අනුග්‍රහය ලැබ වැඩි වියදමක් දරා කර ඇති වෙළඳ ප්‍රචාරණ ව්‍යාපාරයක ඍජු ප්‍රතිඵලයක් හැටියටයි.” ඇතැම් සමාජවල සූදුවේ නියැලීම වැඩි දියුණු කිරීම වෙනුවෙන් දරා ඇති ප්‍රයත්න නිසා ඇති වී තිබෙන බලපෑම කවරේද?

සූදුවට ඇබ්බැහි වීම නමැති වසංගතය

ඇබ්බැහි වීම පිළිබඳ හාවඩ් වෛද්‍ය පාසැල් පීඨය මගින් කරන ලද ගණනයකට අනුව, 1996දී, “අමෙරිකානු වැඩිහිටියන් මිලියන 7.5ක් පාලනය කළ නොහැකි ලෙස සූදුවට ඇබ්බැහි වී සිටි” අතර, මීට අමතරව “අමෙරිකානු යෞවනයන් මිලියන 7.9ක්ද එම තත්වයේ සිටි” බව වාර්තා වුණා. මෙම සංඛ්‍යා ලේඛන ඇතුළත් වුණේ, සූදුවේ නියැලීමෙන් ඇති වන බලපෑම පිළිබඳව සොයා බලන ජාතික අධ්‍යයන කොමිසම විසින් එක්සත් ජනපදයේ කොන්ග්‍රස් සභාවේ සැසිවාරයකට ඉදිරිපත් කරන ලද වාර්තාවකයි. අමෙරිකාවේ සූදුවේ නියැලෙන නියම ගණන මෙම වාර්තාවේ සඳහන් සංඛ්‍යාවට වඩා බොහෝ සෙයින් වැඩි විය හැකි බව මෙම වාර්තාවේ තවදුරටත් සඳහන් වුණා.

රැකියාව අහිමි වීම නිසා, කායික සෞඛ්‍යය පිරිහීම නිසා, විරැකියාවෙන් පෙළෙන්නන්ට යම් දීමනා සැපයීමට සිදුවීම නිසා මෙන්ම සූදුවේ නියැලෙන්නන් පුනරුත්ථාපන කිරීම සඳහා, එක්සත් ජනපදයේ සමාජයට සෑම වසරකම ඩොලර් බිලියන ගණනක් වැය කරන්නට සිදු වී තිබෙනවා. එහෙත් මෙම සංඛ්‍යාවලින්, සූදුව නමැති ගැටලුව ගැන මිනිසුන්ට සිදු වී ඇති හානිය ගැන කියාපාන්නේ ඉතා සුළු වශයෙන් පමණයි. සොරකම්, පොදු මුදල් වංචා කිරීම්, සිය දිවි නසාගැනීම්, ගෘහස්ත අපරාධ හා ළමා දූෂණය වැනි දේවලින් පවුල්වලට, මිතුරන්ට, රැකියා ස්ථානයේ එකට සේවය කරන අයට සිදු වන හානි ගැන මෙම සංඛ්‍යා ලේඛනවල සඳහන් වී නැහැ. එක් ඕස්ට්‍රේලියානු අධ්‍යයනයකින් හෙළි වුණේ සූදුවේ නියැලෙන සෑම පුද්ගලයෙකුගේම ක්‍රියා කලාපය දහදෙනෙකුට පමණ බලපාන බවයි. එක්සත් ජනපදයේ ජාතික පර්යේෂණ සභාවේ වාර්තාවක කියැවෙන්නේ, “කලත්‍රයන්ගෙන් සියයට 50ක් සහ දරුවන්ගෙන් සියයට 10ක් සූදුවට ඇබ්බැහි වූවන්ගේ ශාරීරික අතවරවලට ලක් වන” බවයි.

බෝ වෙන ඇබ්බැහි වීමක්

සූදුවට ඇබ්බැහි වූ දෙමාපියෙකුගෙන් එය තම දරුවාට බෝ වෙන්නේ හරියට බෝ වෙන රෝගයක් වගේ. “සූදුවට ඇබ්බැහි වූවන්ගේ දරුවන්, දුම්බීම, මත් පැන් පානය හා මත්ද්‍රව්‍ය භාවිතය වැනි නරක පුරුදුවලට ගොදුරු වීමට තිබෙන ඉඩ කඩ වැඩියි. ඒ වගේම ඔවුනුත් පාලනය කළ නොහැකි අයුරින් සූදුවට ඇබ්බැහි වීමේ අවදානමද වැඩියි” යයි සූදුවෙන් ඇති වන හානි පිළිබඳ ජාතික පර්යේෂණ කොමිසම සඳහන් කරනවා. තවද මෙම වාර්තාව අනතුරු අඟවමින් කියා සිටින්නේ, “සූදුවට ඇබ්බැහි වීමේ අවදානම වැඩිහිටියන් අතරට වඩා තරුණයන් අතර වැඩියෙන් පවතින” බවයි.

ඇබ්බැහි වීම් පිළිබඳව කරන අධ්‍යයනවලට සම්බන්ධ හාවඩ් වෛද්‍ය පාසැල් පීඨයේ අධ්‍යක්ෂ ආචාර්ය හවඩ් ජේ. ෂැෆර් කියන්නේ මෙසේයි. “මතු වී එන සාක්ෂිවලින් පෙනී යන්නේ, යෞවනයන් විසින් නීති විරෝධි ලෙස සූදුවේ නියැලීම, නීත්‍යනුකූලව සූදුවේ නියැලීමේ තරමට අඩුම තරමින් සමානුපාතිකව හෝ වැඩි වේගන එන බවයි.” සූදුවට ඇබ්බැහි වී සිටින්නන් විසින් අන්තර් ජාලයේ තාක්ෂණය යොදාගැනීම ගැන කතා කරමින් ඔහු කියා සිටියේ, “කොකේන් භාවිතය ක්‍රැක් කොකේන් ඉරීම නිසා වෙනස් වූවාක් මෙන්ම ඉලෙක්ට්‍රොනික තාක්ෂණය නිසා සූදුවේ නියැලීමේ රටාවද වෙනස් වන බවක් මට පෙනෙනවා” කියායි.

සූදුව නමැති ව්‍යාපාරය බොහෝවිට විස්තර කරන්නේ හානිකර නොවන විනෝදයක් ලෙසටයි. නමුත් යෞවනයන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම මෙන්ම සූදුවට ඇබ්බැහි වීමද ඉතා සාපරාධී ක්‍රියාවලට තුඩු දිය හැකියි. එක්සත් ජනපදයේ කරන ලද එක් සමීක්ෂණයකින් හෙළි වූයේ සූදුවේ නියැලීම පිණිස තරුණයින් අතරින් “සියයට 46ක්ම තමන්ගේ ගෙදරින් මුදල් සොරකම් කළ” බවයි.

මෙවැනි සත්‍ය තොරතුරු කොතරම් තිබුණද, එක් ප්‍රබල සූදු ව්‍යාපාරික සංගමයක් සූදුව වැඩි දියුණු කිරීම යුක්තිසහගත කරමින් කියා සිටින්නේ මෙසේයි. “සූදුවෙන් විනෝදයක් ලබන අමෙරිකානුවන්ගෙන් බහුතරයක් කියා සිටින්නේ ඔවුන් ඒ හේතුවෙන් මොනයම් හෝ ගැටලුවකට මුහුණ පා නැති බවයි.” සූදුවේ නියැලීම නිසා ඔබගේ ආර්ථිකයට හෝ කායික සෞඛ්‍යයට එතරම් හානිකර බලපෑමක් සිදු නොවන බව ඔබට හැඟී ගියද, ඔබගේ අධ්‍යාත්මික සෞඛ්‍යයට සූදුවෙන් කොතරම් හානියක් සිදු වේද? සූදුවේ නියැලීමෙන් වැළකී සිටීමට ඔබට හොඳ හේතු තිබෙනවාද? මීළඟ ලිපියේ එම ප්‍රශ්න සාකච්ඡා කර තිබෙනවා ඇති.

[පාදසටහන]

a “සූදුවේ නියැලීමේ පුරුද්ද මට තිබෙනවාද?” නමැති 20 සහ 21 වන පිටුවල සඳහන් කොටුව බලන්න.

[20වන පිටුවේ කොටුව⁄පින්තූර]

සූදුවේ නියැලීමේ පුරුද්ද මට තිබෙනවාද?

අමෙරිකානු මනෝචිකිත්සක සංගමය විසින් 5වන පිටුවේ සඳහන් ලක්ෂණ ඉදිරිපත් කර තිබෙන්නේ සූදුවට ඇබ්බැහි වූ අයව හඳුනාගැනීම පිණිසයි. පහත සඳහන් ක්‍රියාකලාපයන් කිහිපයක්ම අනුගමනය කරනවා නම් ඔබ සූදුවට ඇබ්බැහි වූවෙකු බවට අධිකාරීන් වැඩිදෙනෙක් එකඟ වේවි. තවද මෙම ලක්ෂණවලින් එකක් හෝ ඔබට තිබෙනවා නම් සූදුවට ඇබ්බැහි වූවෙකුගේ ගණයට වැටීමේ අවදානමකයි ඔබ සිටින්නේ.

වශී වී සිටීම මීට පෙර සූදුවේ නියැලී ලබාගත් අද්දැකීම් යළිත් ලබාගැනීමට, ඊළඟ අවස්ථාව සැලසුම් කිරීමට හෝ සූදුවේ තව තවත් නියැලෙනු පිණිස මුදල් ලබාගැනීමේ ක්‍රම ගැන සිතා බැලීමට ඔබ සූදුවේ ඇලී ගැලී සිටීම.

වැඩි වින්දනයක් ලැබීමේ ආශාව අපේක්ෂිත වින්දනය ලැබෙන තෙක් මුදල් ටිකෙන් ටික වැඩි කරමින් සූදුවේ නියැලීමට ඔබට වුවමනා වීම.

විරමණ ලක්ෂණ සූදුවේ නියැලීම අවම කිරීමට හෝ නවතා දැමීමට උත්සාහ කරන විට යම් අපහසු ගතියක් හා නොඉවසිලිවන්ත කේන්ති ගතියක් ඔබට දැනේ.

මිදීමට මඟක් ලෙස අසරණභාවයෙන්, වරද සහිත හැඟීමකින්, කනස්සල්ලෙන් හෝ මානසික පීඩනයෙන් මිදීමේ මාර්ගයක් ලෙස ඔබ සූදුවේ නියැලීම.

පැරදුණු මුදල් යළි ලබාගැනීමේ ආශාව සූදුවේ නියැලී පැරදුණු මුදල් යළි ලබාගැනීමේ මඟක් ලෙස නැවත සූදුවේ නියැලීම. මෙවැනි හැසිරීමක් යමෙකුට නැති වී ගිය යමක් යළිත් ලුහු බැඳ ලබාගැනීම යනුවෙන් හැඳින්වෙනවා.

බොරු කීම ඔබ සූදුවේ නියැලෙන ප්‍රමාණය ගැන ඔබේ පවුලේ අයගෙන්, වෛද්‍යවරුන්ගෙන් හා වෙනත් අයගෙන් සැඟවීම සඳහා බොරු කීම.

තමාව දමනය කර නොගැනීම සූදුවෙන් වැළකීමට, එය නවතා දැමීමට හෝ තාවකාලිකව නතර කිරීමට ඔබ නැවත නැවත ගත් උත්සාහයන් අසාර්ථක වෙලා.

නීතිවිරෝධී ක්‍රියාවන් ඔබ කරන සූදුවට මුදල් සොයාගැනීම පිණිස ඔබ විසින් වංචනික ක්‍රියා, සොරකම් හෝ මං පැහැරීම් සිදු කර තිබෙනවා.

විශේෂ සම්බන්ධතා උවදුරට ලක් කරගැනීම ඔබ විසින් විශේෂ සම්බන්ධතා, අධ්‍යාපනය හෝ රැකියා අවස්ථාවන් සූදුවේ නියැලීම නිසා උවදුරේ හෙළා තිබෙනවා නැතහොත් අහිමි කරගෙන සිටිනවා.

අන්‍යයන් මත යැපීම සූදුවෙන් ඇති වූ පාඩු පිරිමසා ගැනීමටත්, එයින් සිදු වූ මූල්‍යමය අපහසුතාවලින් ගැළවීමටත් අනිත් අයගේ පිහිට මත ඔබ රඳා සිට තිබෙනවා.

[හිමිකම් විස්තර]

මූලාශ්‍රය: චිකාගෝ සරසවියේ මහජන මත පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය, ජෙමිනි පර්යේෂණ ආයතනය සහ ලෙවින් කණ්ඩායම.

[23වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ලොතරැයි ප්‍රචාරක දැන්වීම්වල අන්තර්ගත වූ නියම පණිවුඩය

“ලොතරැයි ප්‍රචාරණයන් . . . සාරධර්ම පිළිබඳ දැනුවත් කිරීමක් ලෙස හුවා දක්වන්නට පුළුවන්. එනම් සූදුව හානිකර නොවන හෝ උතුම් ක්‍රියාවක් ලෙසටත් එම ප්‍රචාරණවලින් ඉගැන්විය හැකියි” යනුවෙන් ජාතික සූදු ව්‍යාපාරයෙන් ඇති වන බලපෑම පිළිබඳ අධ්‍යයන කොමිසමකට එක්සත් ජනපදයේ ඩියුක් සරසවියේ පර්යේෂකයන් දෙන ලද වාර්තාවක සඳහන් වුණා. ඇත්තටම ලොතරැයි ප්‍රචාරණයෙන් යම් සමාජයකට කිනම් බලපෑමක් ඇති කළ හැකිද? එම වාර්තාවේ මෙසේ සඳහන් වෙනවා. “සාර්ථකත්වයට එකම මඟ යම් ඉලක්කමක් තේරීමයි යන යටි කූට්ටු, යථාර්ථයට පටහැනි වූ පණිවුඩයක් දීම ලොතරැයි ප්‍රචාරණයෙන් සිදු වන බව කීම අතිශෝක්තියක් නොවේ. ලොතරැයි ඒජන්සි මගින් කරන මෙම වැරදිසහගත ‘දැනුවත් කිරීම’ නිසා, ආර්ථික වර්ධනය අඩුවීමෙන් දීර්ඝ කාලීන වශයෙන් යම් ආණ්ඩුවකට ලැබිය යුතු දේශීය ආදායම් කෙරෙහි එය අහිතකර ලෙස බලපාන බව පැවසිය හැකියි. විශේෂයෙන්ම, ලොතරැයි ප්‍රචාරණයෙන් මිනිසුන් තුළ වැඩ කිරීමට, ඉතිරි කිරීමට හා අධ්‍යාපනය හා පුහුණුවක් ලැබීමට ඇති නැඹුරුවාව හීන වේ නම්, එහි නරක ප්‍රතිඵලය වනුයේ අවසානයේදී ඵලදායීතාව හීනවීමයි. මිනිසුන් මොනවා පැවසුවත්, සාර්ථක දිවියකට රහස ලෙස ජීවිතයේ යම් ප්‍රාතිහාර්යයක් සිදු වන තෙක් බලා සිටින්නට කියා අප සාමාන්‍යයෙන් අපේ දරුවන්ට උගන්වන්නේ නැහැ.”

[24වන පිටුවේ කොටුව⁄පින්තූරය]

සෑම නිවසක්ම කැසිනෝවක්

සූදු ව්‍යාපාර සඳහා අලුතෙන් ගොඩනැඟිලි ඉදි කිරීමට යන වියදමෙන් අංශු මාත්‍රයක් යොදාගනිමින් සූදු ව්‍යාපාරික සංවිධාන දැන් කරන්නේ යම් නිවසක ඇති අන්තර්ජාලයට සම්බන්ධ කර ඇති පරිගණකයක් මගින් එම නිවස මුළුමනින්ම කැසිනෝවක් හෙවත් සූදු තිප්පළක් බවට පත් කිරීමයි. ඒ සඳහා ඔවුන් අලුතෙන් වෙබ් අඩවි පිහිටුවා තිබෙනවා. වර්ෂ 1990 මැද භාගයේදී අන්තර්ජාලයේ වෙබ් අඩවි තිබුණේ දළ වශයෙන් 25ක් පමණයි. එහෙත් 2001දී වෙබ් අඩවි 1,200ක් පමණ තිබූ අතර, අන්තර්ජාලය හා සම්බන්ධ සූදුවෙන් පැමිණි ආදායම සෑම වසරකම දෙගුණයක් බවට පත් වුණා. වර්ෂ 1997දී සූදුව සඳහා වෙන් වූ අඩවිවලින් ඩොලර් මිලියන 300ක පමණ ලාභයක් ඉපදෙව්වා. වර්ෂ 1998දී තවත් ඩොලර් මිලියන 650ක ආදායමක් ලබාගන්නට හැකි වුණා. වර්ෂ 2000දී, අන්තර් ජාලයේ වෙබ් අඩවිවලින් ඩොලර් බිලියන 2.2ක ආදායමක් උපයාගත් අතර, 2003 වන විට එම සංඛ්‍යාව “ඩොලර් බිලියන 6.4 දක්වා ඉහළ නඟීවියයි අපේක්ෂා කෙරෙන” බව එක් රොයිටර් වාර්තාවක් සඳහන් කරනවා.

[22වන පිටුවේ පින්තූරය]

සූදුවට ඇබ්බැහි වීමේ ආදීනවයන්ට ආහාර ගැනීමට මුදල් නැතිව ළත වෙන පවුල්ද ඇතුළත් වෙනවා

[23වන පිටුවේ පින්තූරය]

තරුණයන් සූදුවේ නියැලීම එන්ට එන්ටම වැඩි වී තිබෙන්නේ මහා පරිමාණයෙන්

[24වන පිටුවේ පින්තූරය]

සූදුවේ නියැලෙන දෙමාපියන්ගේ දරුවන්ද අනාගතයේදී සූදුවට ඇබ්බැහි වූවන් බවට පත්වීමේ අවදානම වැඩියි